පැන් පිදීමේ අනුසස් දැනගනිමු …

මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත ද මහ සඟන ඇත ද දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්‍රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් ද රූපශෝභාවෙන් ද සැපයෙන් ද පිරිවරින් ද ආධිපත්‍යයෙන් ද රූපයෙන් ද ශබ්ධයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය. සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්‍ය දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්‍රසිද්ධ වූවා ය.

එකනවුතිතො කප්පො යං දකං අදදිං තදා
දුග්ගතිං නාභිජානාමි දකදානස්සිදං ඵලං
මේ ඒ ස්ථවිරියගේ ප්‍රකාශනයෙකි.

මෙයින් එක් අනූවන කපෙහි යම් ජලය දීමක් කළෙම්ද ඒ හේතුවෙන් මේ වන තෙක් කිසිවිටෙක දුර්ගතියට නො පැමිණියෙමි. මෙය උදක දානයේ ඵලය ය යනු එහි තේරුම යි.
(ආපදාන පාළියෙන්)

== පැන් පූජා කළ දාශියක් ==

එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ බික් සඟන හා කොසොල් රට සැරිසරන සේක් ථුන නම් බමුණු ගම වෙත වැඩම කළ සේක. “ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ගේ ගම සමීපයට පැමිණියහ.” යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිර ගියේය. එහි වෙසෙන බ්‍රාහ්මණයෝ මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. මසුරෝ ය. බුදුරදුන් කෙරෙහි අප්‍රසන්නයෝ ය. ඔවූහු “ශ්‍රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිර වුවහොත් මේ ජන සමූහයා ඔවුන්ගේ කීම පිළිගන්නෝ ය. ඉන්පසු අපගේ බ්‍රාහ්මණ ධර්මයට මෙහි තැනක් නැති වන්නේ ය.” යි බිය වී බුදුරදුන් ගමට ඇතුළු විය නොහෙනු පිණිස තැන තැන ගං ඉවුරෙහි තිබූ යාත්‍රාවන් ඉවත් කරවූහ. ඒදඬු බිඳ දැමූහ. පැන්හල් නැති කළහ. වාසය කළ හැකි ශාලා නැති කළහ. එක් ළිඳක් ඉතිරි කොට අන් සියළු ළිං වසා දැමූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ විප්‍රකාරය දැක අහස් ගමනින් ගඟින් එතෙරව ක්‍රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවණෙහි බික්සඟන පිරිවරා වැඩහුන් සේක.

පැන් ගෙන යන්නාවූ බොහෝ ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් එමඟින් පැන් ගෙන ගියෝය. කලින් එගම බ්‍රාහ්මණයන් ශ්‍රමණ ගෞතමයන් එන කල්හි කිසිවකු පෙර ගමන් කිරීම් ආදියෙන් ඔවුනට කිසිඳු සැලකිල්ලක් නො දැක්වූහ. ඔවුන් අතුරෙන් එක් බ්‍රාහ්මණයෙකුගේ දාශියක් පැන් කළයක් ගෙන යන්නී භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩ සිටින බොහෝ භික්ෂූන් ගමන් විඩාවෙන් පිපාසිතව සිටිනා බව පෙනී “ශ්‍රමණ ගෞතමයනට හෝ ඔවුන්ගේ ශ්‍රාවකයන්ට සැලකිලි නො කිරීමට ගමෙහි බමුණෝ කතිකා කරගෙන සිටින්නාහ. එහෙත් මෙබඳ පුණ්‍යක්ෂේත්‍රයක් ලැබ පැන් ටිකක්වත් පිළිගන්වා පිනක් කර නො ගතහොත් කවදා මම මේ දුඃඛ ජීවිකාවෙන් මිදෙන්නෙම්දැ” යි සිතා “මාගේ ස්වාමියා හා ගම් වැසියෝ මට කරන දඬුවමක් කෙරෙත්වා. මම මේ පුණ්‍යක්ෂේත්‍රයෙහි පානීය දානයක් දෙමි” ය යි අන්‍ය ස්ත්‍රීන් විසින් වළක්වත්දී ම ජීවිතාපේක්ෂාව හැර හිස තැබූ පැන් කළය ගෙන බිම තබා තථාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පැන් පිළිගන්නා සේ යාඥාකළාය.

pannaඑකල්හි තථාගතයන් වහන්සේ ඇයට අනුග්‍රහ පිණිස පැන් පෙරහා අත්පා සිසිල් කොට පැන් බීම ද කළ සේක. කළයෙහි පැන් මඳකුදු අඩු නො වීය. ඕ තොමෝ ඒ ප්‍රාතිහාර්යය දැක ඉමහත් ප්‍රීතියට පැමිණ භික්ෂුවකට ද පැන් පිළිගැන්වූවාය. ඒ භික්ෂුව ද පැන් පෙරහා ගෙන අත්පා සිසිල් කර පානය ද කළේය. කළයේ පැන් තිබූ පරිදි ම පිරී තිබිණ. ඈ එසේ සියළුම භික්ෂූන්ට පැන් පිළිගැන්වූවාය. පැන් කළය පළමු සේම පිරී තිබිණ. ඕ තොමෝ අතිශය ප්‍රීතියෙන් පැන් කළය හිස තබා නිවස බලා ගියාය. තමාගේ දාශිය බුදුරදුන් ඇතුළු මහ සඟනට පැන් පිළිගැන්වූ බව ඇසූ බ්‍රාහ්මණයා “මෑ ගම්වැසියන්ගේ කතිකාව බිඳ මටද අවනම්බු කළාය” යි කිපී බිම පෙරළා ඇයට අතින් පයින් පහර දිණ. බමුණාගේ ප්‍රහාරයෙන් දාසිය මියගොස් පැන් පූජා කිරීමේ පින් බලයෙන් තව්තිසා දෙව්ලොව උපන්නාය. ඇයට එහි කල්පවෘක්ෂයක් සහිත අත්‍යාලංකාර විමානයක් එහි පහළ විය. විමන වටා රිදීවන් වැලිතලා ඇති නිල්මැණික් කඳක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළ විය. විමානය ඉදිරිපස පඤ්චවර්ණ පද්ම සමූහයන් ඇති මහා පොකුණක් පහළ විය. එහි ස්වර්ණ නෞකාවක් ද පහළ විය. ඕ එහි දිව්‍ය සම්පත් විඳිමින් විසුවාය.

තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය ළිඳට ගොස් මා හට පැන් ගෙන එව” යි වදාළ සේක. “ස්වාමිනි, මෙගම බමුණන් ළිඳ දූෂණය කොට ඇත්තේය. එබැවින් පැන් නො ගත හැකිය” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ සැළ කළහ. දෙවනුව ද තුන්වෙනුව ද තථාගතයන් වහන්සේ පැන් ගෙන එන්නට වදාළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙන ළිඳ කරා ගියහ. උන්වහන්සේ ගිය කල්හි පැනින් පිරී ළිඳ උතුරා යන්නට විය. ළිඳෙහි වූ වීපොතු පිදුරු ආදී සියල්ල පාවී ගොස් ජලය පිරිසිදු විය. එයින් ගලායන ජලයෙන් ගමෙහි පහත් තැන් යට වන්නට විය. ඒ ප්‍රාතිහාර්ය දුටු බමුණෝ මුළු ගමම ජලයෙන් යට වී යනු ඇතැයි බිය වී තථාගතයන් වහන්සේගේ ම පිහිට සොයා උන්වහන්සේ වෙත වහා අවුත් ක්ෂමා කරවා ගත්හ. එකෙණෙහි ජලය අතුරුදහන් විය. ඔවූහු භාග්‍යවතුන් වහන්සේට හා සංඝයාට වාසස්ථාන පිළියෙල කර දී පසු දින දානයට ද ආරාධනා කළහ. පසුදින බුදුරදුන් ඇතුළු සඟනට දන් දී ඔවූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ හිඳ ගත්හ.
එකෙණෙහි දෙවඟනද තමාගේ සම්පත්තිය බලා ඉමහත් සොම්නසට පැමිණ ඒ මහත් වූ සම්පත්තිය ලැබීමේ හේතුව විමසන්නී ඒ පැන් දීමේ පින බව දැන මහත් සතුටට පැමිණ “දැන් ම මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ වඳිමි. මනාකොට පිළිපන්නවුන්ට කරන ස්වල්ප වූ සත්කාරයෙන් මහත් සම්පත් ලැබෙන බවට මිනිස් ලොවට ප්‍රකාශ ද කරන්නෙමි” යි අප්සරා දහස හා විමානයත් සමග තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට වැන්දාය. තථාගතයන් වහන්සේ ඇගෙන් ම ප්‍රශ්න කර මහජනයාට ඇය හඳුන්වා දී ධර්ම දේශනා කළ සේක. දෙවඟන දහම් අසා සෝවාන් ඵලයට පැමිණියාය. පැමිණි පිරිසට ද ධර්ම දේශනාව සාර්ථක විය. (විමාන වස්තුවෙන් ගන්නා ලදී. එහි නාවාවිමාන නමින් මෙය දැක්වේ)

== ගිලන්පස පූජාවේ අනුසස් ==

අම්බපානාදී අෂ්ටපානත්, ඒවාට සමාන වන දෙහි දොඩම් ආදියෙන් කරන පාන වර්ගත්, වෙඬරු ගිතෙල් සීනි සූකිරි සීනි බෝල පැණි සකුරු මී පැණි තලතෙල් යන මේවාත් සියළුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකිය.
අම්බපාන – ජම්බුපාන – චෝචපාන – මෝචපාන – මධුපාන – මුද්දිකපාන – සාලුකපාන – ඵාරුස්කපාන යන මේ අට අෂ්ටපාන නම් වේ. මේ පාන වර්ග සෑදිය යුත්තේ ඇල්දියෙනි. තම්බා සෑදුවහොත් විකාලයෙහි කැප නොවේ. ඇතැම් සැදැහැවත්හු අෂ්ටපානය ම සාදා පූජා කෙරෙති. අඹ, ජම්බු, අටිකෙසෙල්, ඇටනැතිකෙසෙල්, අමු මුද්‍රප්පලම්, වියලි මුද්‍රප්පලම්, ඕලුගෙඩි, කටුගෙඩි යන මේවායින් අෂ්ටපානය සාදනු ලැබේ.
පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන් පස පිදීමෙන් අනුසස් දශයක් ලැබූ බව මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ ය.

භෙසජ්ජං සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
දසානිසංසෙ අනුහොමි කම්මානුච්ඡවිකෙ මම,

ආයුවා බලවා ධීරො වණ්ණවා යසවා සුඛී,
අනුපද්දවො අනීති ච හොමි අපචිතො සදා
න මෙ පියවියොගො’ත්ථි තස්ස නිස්සන්දතො මම
(අපදාන පාළි)

ආනිසංස දශය නම් ආයුෂය, ශරීර ශක්තිය, නුවණ, ශරීරයේ යහපත් පැහැය, පිරිවර, සැපය, උපද්‍රව නැති බව, ගොවිතැන් පාළු වීම් ආදී ව්‍යසන නැති බව, ගරු බුහුමන් ලැබීම, ප්‍රියයන්ගෙන් වෙන් නො වීම යන මේවා ය.

== බුද්ධවර්ම මුදලාලි ==

දඹදිව පාටලීපුත්‍ර නගරයෙහි බුද්ධවර්ම නමැති වෙළෙන්දෙක් විය. ගැල්වල බඩු පටවාගෙන වෙළඳාමෙහි ඇවිදින්නා වූ ඔහුට එක් වරෙක භික්ෂු සංඝයා පිරිවරා සත්ත්වයනට සඟමොක් මඟ පහදා දෙමින් සත්ත්වයන් සසර කතරින් එතෙර කරවමින් දනව් සැරිසරන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමු වූහ. ඔහු දිලිසෙන රන් පහන් ගසක් සේ බබළමින් බික්සඟන පිරිවරා හැසිරෙන තථාගතයන් වහන්සේ දැක ඉමහත් ප්‍රීතියට පැමිණ උන්වහන්සේ වෙත එළඹ වැඳ බුදුවරුන්ගේ සිරිත් නො දන්නා බැවින් සවස් කාලයේ බතින් නිමන්ත්‍රණය කළේය. “බුදුවරයෝ විකාලයෙහි ආහාර නො වළඳන්නාහ” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. වෙළඳ තෙමේ “හිමියනි! තථාගතයන් වහන්සේ විකාලයෙහි කුමක් වළඳන සේක්දැ” යි ඇසීය. ඔහුගේ පිළිවිසීම නිසා “අම්බපානය – ජම්බුපානය – චෝචපානය – මෝචපානය – ඵාරුසකපානය – මධුපානය – මුද්දිකපානය – සාළුකපානය යන මේවා විකාලයෙහි කැපවන්නේ ය” යි තථාගතයන් වහන්සේ වදාල සේක. වෙළඳ තෙමේ සකුරුවලින් යුක්ත කොට මුද්‍රික පානයක් පිළියෙල කර තථාගතයන් වහන්සේ ඇතුළු මහසඟනට පිළිගැන්වීය. එය පිළිගෙන වළඳා ඔහුට දහම් දෙසා තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම කළ සේක.

වෙළඳ තෙමේ අන් වෙළඳුන් හා ඒ ඒ ජනපදයන්හි වෙළඳාමෙහි ඇවිදින්නේ මහාවත්තනිය නම් කාන්තාරයට පැමිණියේ ය. එහිදී ඔවුන් ගෙනගිය පැන් අවසන් විය. පැන් ලැබිය හැකි තැනක් කාන්තාරයෙහි නො විණ. මිනිසුන්ට හා ගවයන්ට පිපාසාව සන්සිඳවා ගැනීමට ක්‍රමයක් නැති විය. ගිලන්පස දානය දුන් වෙළෙන්දා පිපාසයෙන් එකින් එක කරත්තවල පැන් විමසමින් ඇවිද්දේය. එක් කරත්තයක මිනිස්සු ඔහු දැක කරුණාවෙන් අමතා “මේ සැළියේ පැන් ස්වල්පයක් ඇත. එය පානය කරව” යි කීහ. ඔහු එයින් ගෙන පැන් පීය. ඔහුට එහි රසය මුද්‍රික පානයේ රසය මෙන් දැනිණ. ඔහු එදා මා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මුද්‍රික පානය පිළිගැන්වීමේ අනුසස අද පැමිණියේ වනැයි සිතා පුදුමයට පැමිණ සැළිය විවෘත කර බැලීය. සැළිය මුද්‍රික පානයෙන් පිරී තිබිණ. ඔහු එයින් ඕජාවත් වූ රසවත් වූ මිදි පැන් බඩ පුරා බී පැන් බීමට එන ලෙස සෙස්සන්ට ද හඬ නගා කීය. සැම දෙනම පැමිණ රිසි සේ මිදි පැන් බී මහත් පුදුමයට පැමිණියෝ ය. වෙළඳ තෙමේ ඔවුනට බුදුරදුන්ගේ අනුසස් හා බුදුන් පිදීමේ අනුසස් ද වර්ණනා කළේය. ගවයන් සහිත සැමදෙන ඇති පමණ පානය කළේ ද මිදි පැන් සැළිය හිස් නො විණ. ඒ ප්‍රාතිහාර්යයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූ වෙළඳ තෙමේ වෙළඳාම අවසන් වූ පසු බුදුරජාණන් වහන්සේ දැක ම සිය නිවසට යෙමි යි රජගහ නුවර වේළුවනාරාමයට ගොස් බුදුන් වහන්සේ දැක වැඳ පිළිසඳර කතා කරනුයේ ගිලන්පස දානයෙන් ලද අනුසසත් සිදුවූ ප්‍රාතිහාර්යයත් තථාගතයන් වහන්සේට සැළ කළේය. තථාගතයන් වහන්සේ ඔහුට දහම් දෙසූහ. වඩාත් පැහැදුනා වූ වෙළඳ තැන බුදුරදුන්ට ආරාධනා කර පසුදින මහාදානයක් දී සිය නිවෙස බලා පිටත් විය. ඉන්පසු ද දානාදී පින්කම් කළා වූ හෙතෙමේ මරණින් මතු දෙව්ලොව දොළොස් යොදුන් රන්විමනක උපන්නේ ය. ඒ විමනෙහි තැනින් තැන දිව්‍ය මුද්‍රික පානයෙන් පිරුණු රත්නමය භාජන පිහිටියේ ය.
(රසවාහිනියෙන්)

ගුරු-ගෝල තරඟයක අපූර්ව නිර්මාණය – අවුකන සහ රැස් වෙහෙර
අට මහා කුසල් හදුනා ගනිමු ...
IFBC Home Page