ප්‍රදර්ශන කාමයෙන් පෙලෙන කාන්තාවන්ට චරිතයෙන් අතුල්පත් පහර දුන් මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණිය …

පෙර දවස පියුමතුරා බුදුන් සමයෙහි දඹදිව හංසවතී නුවර කුලගෙයක දැහැමි ඇමැති දියණියක ලෙස උපන් ඕතොමෝ යෙහෙළියන් පිරිවරා ගොස් බුදුබණ අසන්නී බුදුහිමි ශාසනයේ මූලින්ම පැවිදි වූ උන්වහන්සේ සුළු මව්තුමිය චිරරාත්‍රඥ යන ගෞරව නාමය තබනු දුටහ. මින් ඉමහත් ප්‍රමෝදයට පත් මෙතුමිය ‘මම ද යම් කලෙක බුදු කෙනෙකුට සුළු මව වී භික්ෂුනි ශාසනයේ මුලින්ම පැවිදිව ‘චිරරාත්‍රඥ’ ගෞරව නාමය ලබමි’ යි අදිටන්කොට බුදු සිරිපතුල වැන්දාහ. බුදුහිමි මින් කල්ප ලක්ෂයක් ගිය කළ පහළවන ගෞතම බුද්ධ ශාසනයේදී ඒ පැතුම ඉටුවන්නේ යයි විවරණ ප්‍රකාශ කළහ. ඕ තොමෝ දිවි ගමනේ දන් දී, සිල් සමාදන්ව, පෙහෙවස් වැස සසර සැරිසරනුයේ පසේබුදුවරුනට වස් එළඹෙන කුටි තනවා, දන්දීම් ආදිය කරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් අප ගෞතම බුදුරදුන් පහළවීමට පෙර දඹදිව දෙව්දහ නුවර කෝලිය වංශයෙහි මහා සුප්‍රබුද්ධ අංජන රජතුමාගේ කණිටු දියණිය ලෙසින් උපන්නී ‘ගෞතමි’ නම් වූවා ය. ඇයගේ වැඩිමහල් සොයුරිය මහාමායා දේවිය වූ අතර මෑණියන් වූයේ කිඹුල්වත්නුවර සිංහහනු රජුගේ නැගණිය වූද සුදොවුන් රජුගේ නැන්දනිය වූද ශුභ ලක්ඛණ හෙවත් ‘මහා යසෝධරා’ දේවිය යි.

මහත් වූ ප්‍රජාවට පති වන්නේ යයි නැකත්කරුවෝ මැය ‘ මහ ප්‍රජාපතී ’ නම තැබූහ. තවද මහාමායා ප්‍රජාපති දේවින් දෙපොළගේ කුස උපන් දරුවෝ මතු සක්විති වන්නායි ද ඔවුහු ප්‍රකාශ කළහ.
සුද්ධෝදන මහරජතුමා වැඩිවිය පැමිණි කළ මොවුන් දෙදෙනා මහ පෙරහරින් කිඹුල්වත් නුවරට ගෙන්වා මහාමායා දේවිය අගමෙහෙසුන් ලෙසද තැබූහ. අප මහා බෝසත්හු තුසිත දෙව්ලොවින් චුතව මනුලොව මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්හ. බෝසත් උපතින් සත්වන දින මහාමායා දේවිය කළුරිය කළාය. සිදුහත් කුමරු ඉපදි දින පහකට පසුව මහාප්‍රජාපති දේවිය නන්ද කුමරුන් බිහි කළාය. සුදොවුන් මහරජ මහාමායා දේවි අගමෙහෙසුන්ගේ හිස් තැන්හි ප්‍රජාපතී දේවිය තැබූහ. අගමෙහෙසුන් ප්‍රජාපති දේවිය සිදුහත් කුමරුන්ට සිය මව්කිරි දෙමින් පෝෂණය කළ අතර නන්ද කුමරුන්ට කිරි දී පෝෂණ කිරීම කිරිමවුවරුනට භාර කළහ. බෝසතාණෝ සුළු මව් රැකවරණයෙහි වූහ.

පසුකල බෝසතාණෝ බුද්ධත්වයට පත්ව කිඹුල්වත් පුර වැඩියහ. පිය මහරජ බණ අසා සෝවන් විය. නන්ද කුමරු පැවිදි වූහ. රාහුල කුමරුද පැවිදි වූහ. පසුකල ශුද්ධෝදන රජතුමා අර්හත්ව පිරිනිවියහ. දැන් කිඹුල්වත් පුර රජමැදුර ප්‍රජාපති දේවියට ඇලුම් නැත. තමනුත් පැවිදි වීමට සිතූහ. රෝහිණි ගංතෙර කලහ විවාද සූත්‍ර දේශනාව අවසානයේ නික්ම පැවිදි වූ පන්සියයක් කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් සැවොම එක් සිත්ව මහා ප්‍රජාපති දේවිය කරා ගොස් සියලු දෙනාම ශාස්තෘන් වහන්සේ සමීපයෙහි පැවිදි වෙමිනයි මහා ප්‍රජාපතිය ප්‍රමුඛ කොට බුදුන් සමීපයට ගොස් පැවිදිවනු කැමැති වූහ. සෝවාන් බව ලද ප්‍රජාපති ගෝතමි දේවිය තමනට පැවිද්ද දෙන සේ

සාධු භන්තෙ ලභෙය්‍යා, මාතුගාමො තථාගතප්පවේදිතා

ධම්ම විනයේ අගාරස්මා අනගාමියං පබ්බජ්ජංති

යි භාග්‍යවතුන් වහන්ස! ඔබ හිමි දෙසු ධර්ම විනයෙහි අනගාරික පැවිද්ද ලබා ගැනීමට ස්ත්‍රින්ටද අවසර ලබා දෙනු මැනවයි ආයාචනා කළහ. බුදුහිමියෝ

අලංගෝතමි මා තෙ රුච්චිමාතු ගාමස්ස

තථාගතප්පවෙදිතෙ ධම්ම විනයේ අගාරස්මා අනගාරියං පබ්බංජති

යි ‘ගෝතමිය, බුදු සසුනෙහි ස්ත්‍රි පැවිද්ධ නොපැතුව මැනවි. එම අදහස අත්හැර දමන්නැයි යනුවෙන් ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. ප්‍රජාපති දේවිය දෙවනවර ද තෙවනවරද කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. එහෙත් පැවිදිවීමේ සිත අත් නොහළාය. එතුමිය පිරිසට පවසනුයේ අප හැම දෙන කෙස් කපා කසාවත් හැද පාත්‍ර රැගෙන උපාසිකාවන් ලෙසින් ගොස් අවසර පතමු. සමහරවිට අප කෙරේ අනුකම්පාවෙන් පැවිද්ද දෙනු ඇතැයි යනුවෙනි. එපරිදි කෙස් කපා, කසාවත් රෙදි හැඳ පෙරවා, පාත්‍රධාද්ව බුදුහිමි වැඩ වසනා කූටාගාර ශාලාව වෙත ගමනාරම්භ කළහ. පනස්එක් යොදුන් මග යනු පිණිස බොහෝදෙනා යානවාහන දැක්වුවද ඒ පෙරත්ත ඉවලමින් දූවිලි මග පයින්ම කූටාගාරා ශාලාව වෙත පැමිණියහ.

මහා ප්‍රජාපති ගෝතමී ඉදිමුණ පාදවලින් යුතුව දූවිලි ශරීරයෙන්, දොම්නසින් කඳුළු නෙතින් හඬමින් සිටියා යයි දැක්වේ.

පන්සලෙත්, පන්සලෙන් පිටත් කළමනාවත් පිළිවෙත් වේදැයි සොයා බලන ආනන්ද හිමියනට මෙම පිරිස පෙනිණි. ඇයි ගෝතමිය ඔබ පුත් බුදුහිමි වැඩ වසනා අරමට නොපැමිණ මෙතන ඉන්නේ? කිඹුල්වත සිට ඔබලාට සතුරු විපත් වීද? පැවිදි වෙස් ගත්තේ ඇයි? තුවාල පාද දූවිලි සිවුරු ඇයි මේ හඬන්නේ’ යනාදි ප්‍රශ්න නැඟු කළ ‘මම කාන්තා පැවිද්දට බුදුහිමියන්ගෙන් අවසර පැතුමුත් තෙවරක්ම ප්‍රතික්ෂේප වුණු අතර මෙපරිදි පැවිදි වෙසින් පැමිණවත් එම අරමුණ ඉටුකරගන්නට අදහස් කළෙමි. එය ඉටු නොවුවහොත් ආරාමය තුළට නොගොස් ආපසු යන අදහසින් පැමිණියෙමු’ යි ගෝතමිය පිළිතුරු දුන්නාය.ආනන්ද හිමි බුදුහිමි වෙත සියලු පුවත් සැලකළහ. කාන්තා පක්ෂයට සසුන් පැවිද්ද අනුදැන වදාරන ලෙස ඉල්ලූහ. බුදුහිමි ඒ පිළිබඳ උත්සාහවත් නොවන්නැයි තෙවරක්ම අනඳහිමියන්ට වදාළහ. අනතුරුව ‘කාන්තාවනට පැවිදිව මගඵල ලැබිය නොහැකි දැයි අනදහිමි විචාල කළ එසේ ‘පුළුවනැයි’ බුදුහිමියෝ වදාළහ.

එසේනම් ‘කාන්තාවනට පැවිද්ද අනුදැන වදාරනු මැනවි. මේ ඔබ වහන්සේගේ සුළු මවු ය. ඔබ වහන්සේට බොහෝ උපකාර කළාය යනාදි ලෙසින් සිව්වන වරට අනඳහිමි කළ අයැදුම ‘ආනන්ද එසේනම් මහා ප්‍රජාපති ගෝතමිය අෂ්ට ගරුධර්ම පිළිගනියිනම් ඇයට එම පිළිගැනීමට පැවිද්ද හා උපසම්පදාව යයි වදාරා අෂ්ට ගරුධර්ම වදාළහ.

1.උපසම්පදාවෙන් වසර සීයක් ගත් උවද භික්ෂුණිය එදින උපසපන් භික්ෂුවට අභිවන්දනාදිය කල යුතුය.

2. භික්ෂුණිය තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භික්ෂුවක නොමැති ප‍්‍රදේශයක වූ මෙහෙණවරක වස් නො විසිය යුතුය.

3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂූ සංඝයාගෙන් පොහොය විචාල යුතුය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතුය.

4. වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.

5. බර ඇවතකට පත් භික්ෂුණිය, දෙ සතියකට නො අඩු කාලයක් උභයව සංඝයා ඉදිරියෙහි වත් මානත් පිරිය යුතුය.

6. උපසම්පදාව ලබනු කැමැති මෙහෙණිය, අවුරුද්දක් ම ශික්ෂමානාවකව (පුහුණු වන්නියකව) මෙහෙණින් ළඟ විසිය යුතුය.

7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණියක විසින් භික්ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතුය.

8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර, භික්ෂූන් ගේ අවවාද පිළිගත යුතුය

ආනන්ද හිමි ප්‍රජාපති ගෝතමිය වෙත එම අෂ්ටගරු ධර්ම ඉදිරිපත් කළහ. ඉතා ගෞරවයෙන් එතුමිය ඒ හිස් මුදුනින් පිළිගත්තාය. එය සම්බුද්ධ ශාසනයේ ප්‍රථම භික්ෂුණිය බිහිවීම විය.

උපසම්පන්න ප්‍රථම භික්ෂුණිය ප්‍රජාපති භික්ෂුණිය වූවාය. භික්ෂුණි ශාසනයේ මෙහෙණි සස්නේ ආරම්භය එය විය. අනෙක් කාන්තා පිරිස කූටාගාර ශාලාව වෙතගොස් භික්ෂූ සංඝයා වහන්සේ වෙතින් අෂ්ටගරු ධර්ම ගෞරවයෙන් පිළිගෙන භික්ෂුණී උපසම්පදාව ලදහ. පන්සියයක් භික්ෂූන් පිරිවරාගත් ප්‍රජාපති ගෝතමී භික්ෂුණි බුදුහිමි වෙත එළඹැ එකත් පස සිටියහ. කමටහන් ලද ප්‍රජාපති භික්ෂුව භාවනා කොට අර්හත්බවට පත්වූවාය.

එදා පියුමතරා බුදුහිමි දවස පැතු පරිදි ගෞතම බුදුපියාණෝ දිනක් දම්සභා මණ්ඩපයේ දී එතදන්තං භික්ඛවෙ චිරරතනඤ්ඤුනං මම සාවකානං භික්ඛුණිතං චිරරත්ඤ්ඤුනං යදිදං මහා ප්‍රජාපති ගොතමි’ යනුවෙන් මහණෙනි චිරරත්‍රඥ වූ මාගේ ශ්‍රාවිකා භික්ෂුණින් අතුරින් මහා ප්‍රජාපති ගෝතමි භික්ෂුණිය අග්‍රවේයයි වදාළහ. අදහස මුදුන් පත්විය.

බුද්ධ වීර නමොත්‍යත්ථු – සබ්බසත්තාන මුත්තමං
යො මං දුක්ඛා පමෝචෙති – අඤ්ඤංච බ්‍රහකං ජනං

යනාදින් බුද්ධ වීරයාණන් වහන්ස, තිලොව සැමට උතුම් උත්තමයාණෙනි! ඔබ හිමියන් මා ද අන්‍ය බොහෝ ජනයා ද සසර දුකින් මිදුණි. එසේ කළ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවායි උදාන වාක්‍ය පහළ කළහ.

භික්ෂුණි ශාසනය පිහිටුවීමට සහායවූත් ආනන්ද හිමි යන් වෙත ප්‍රජාපති රහත් මෙහෙණින් වහන්සේගේ මහත් ගෞරවයක් විය. ‘බුද්ධ මාතා’ නම් ගෞරව නාමයෙන්ද ප්‍රකට අප රහත් මෙහෙණින් වහන්සේ ලෝ සසුනට මහත් සේවාවක් සිදු කළහ.

එකසිය විසිවන වසරේදී ආයු සංස්කාරය හළ අතර එතුමිය සමගම පිරිනිවන් පාන බව පැවසූ භික්ෂුණීන්. පිරිස පිරිවරාගත් එතුමිය ශාන්ත ගමනින් කුටාගාර ශාලාවට පැමිණ බුදු සිරිපා නමදිමින් “ළදරු කළ සිට හැදු අයුරුත්, යම් දොසක් වීනම් සමාව දෙන ලෙසත්, යළි යළිත් පැවිද්ද ඉල්ලීම ගැනද සමාව දෙන ලෙසත් අයැදුහ’.

මේ අවස්ථාවේදී බුචුපියාණන් වහන්සේගේ ඉල්ලීම අනුව එතුමිය ‍ඍද්ධි පෙළහර පා වදාළා.
මෙහිදී සිදුවූ වැදගත්ම සිදුවීම වූයේ එතුමිය අසුන්ගෙන සිටි ආසනය පිටින් අහසට පැන නැගීමයි. එසේ කලේ ඇයි? උඩ බලා සිටින පෘතග්ජනයන්ගේ සිත්වල කාමුක, රාගික චේතනාවක් ඇතිවේය යන බිය නිසාය. එසේ උවහොත් බෘතග්ජන තැනැත්තියක් නම් එතුමියට පව් සිද්ධ වේ. එහත් රහත්මෙහෙණියක් නිසා පවක් සිදු නොවෙතත් එමගින් අන්‍යයන්ගේ සිතු දූෂණය වීම වැලැක්වීමට ඒ පියවර ගත්සේක. පින්වත් කාන්තාවනි. ඔබත් මින් ලබාගත යුතු පාඩම වන්නේ ඔබ අදින ඇදුම් මගින් ඔබේ සිරුරේ නොයෙක් හැඩයන් කැපී පෙනීමට පුලුවන. ඒත් එමගින් අන්‍යයන්ගේ සිතෙ රාගික චේතනා ඇතිවේනම්, ඔබ හැසිරෙන අයුරින් අන්‍යයන්ට රාගික චේතනා ඇතිවේනම් එමගින් සිදුවන්නේ ඔබට පව්පිරීමයි.

අසිරිමත් පෙළහර පා අවසන් වරටද සිරිපා වැඳ පිරිනිවන් පෑමට පන්සියයක් භික්ෂුණින් සමග අරම වෙත පිටත් වූ අතර බුදුහිමි ඇය පසුපස මද දුරක් වැඩම කළේ බුද්ධ මාතාවට ගෞරව වශයෙනි. එදිනට පිරිනිවන් පෑ එම භික්ෂුනින් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවය බුදුරජාණන් වහන්සේගේ සහභාගිත්වයෙන් අසිරිමත් අන්දමින් සිදුවූයේය.

එතුමිගේ චරිතයෙන් කාන්තාවන්ට වැදගත් පාඩම් රැසක් ලබාදෙයි. කමන් නිසා අන්‍යයන්ගේ සිතේ රාගික චේතනාවක් හෝ ඇති නොවීමට වගබලාගත්තාය. ගිහිකල සිය ස්වාමියාට සිය උපරිම අයුරින් සේවය කලාය. පැවිදි දිවියෙහිද සියල්ලන්ට අනුශාසනා කරමින් ඉතාම යහපත් ජීවිතයක් ගතකලාය. විශේෂයෙන්ම කාන්තාවක් වශයෙන් බාහිර සමාජයට කිසිම විටෙක අවැඩක් සිදු ‍නොවීමට වගබලාගත්තාය. සාමාන්‍යයෙන් පෘතග්ජන පුරුෂයා ස්වාභාවිකවම රාගයට නැඹුරුය. එහෙත් එම රාගික චේතනා පාලනය වන්නේ කාන්තාව නිසාය. ඒ නිසා අතීතයේ මේ රට පවා තුසිත දිව්‍ය පුරය මෙන් විය. කාන්තාව පූජනීය වශයෙන් සැකීය. එහෙත් අදවන විට මුලින්ම දූෂණය වී ඇත්තේ කාන්තා මනසය. අන්‍යයන්ගේ අවධානය සිය කුණු සිරුර දෙස යොමුකරවා ගැනීමට අඩ නිරුවත පෙන්වන ප්‍රදර්ශන කාමය නැමැති මානසික රෝගයෙන් පෙලෙන කාන්තාවන්ට ප්‍රජාපතී ගෝතමිය සිය ජීවන චරිතයෙන් ලබා දී ඇත්තේ හොද අතුල්පත් පහරකි. එසේම නොපසුබට උත්සාහයෙන් සිය ඉලක්කය කරා යාමටත් ඇය සිය ජීවිත කාලය කැප කලාය.

කාන්තාවනට සිය අධ්‍යාත්මික විමුක්තිය උදාකර ගැනීමට පහසු මං පෙත් සලසමින් භික්ෂුණී ශාසනය බිහිකළ චිරරාත්‍රඥ භික්ෂුණින් වහන්සේලා අතර අග්‍ර මහා ප්‍රජාපති ගෝතමි රහත් මෙහෙණින් වහන්සේ සදානුස්මරණීය වන්නාහ.

බුදු ඇසින් දුටු ස්ත්‍රීත්වය ...
රාජ්‍ය පාලනයට බුදුදහමින් උපදෙස්

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.