පරිසර හිතවාදී බුදුදහම …

ස්වභාවික පරිසරය පිළිබඳව බුදුදහම නිර්දේශ කොට ඇත්තේ ඉතා වැදගත් සංකල්පයක් බව අප මනාව දන්නා කරුණකි. පරිසර හිතවාදය, පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන් බුදු දහම මෙතරම් සැලකිල්ලක් දැක්වීමට මූලික හේතුව වන්නේ බුදු දහම, බෞද්ධ ආකල්ප, බෞද්ධ පරිසරය, ශ්‍රාවක චර්යාවන් සහ බුද්ධ චරිතය නිරතුරුවම ස්වභාවික පරිසරය සමඟ මනා සම්බන්ධතාවයක් පැවතීමයි.
බුදුරජාණන් වහන්සේ හා තම ශ්‍රාවකයන් වහන්සේලා ස්වභාවික පරිසරයත් සමඟ ජීවත් වීමට වැඩි කැමැත්තක් දැක්වූහ. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලාට වදාළේ මෙවැනි අදහසකි.

“ඒතානි භික්‍ඛවේ රුක්ඛ මූලානි, ඒතානි
සුඤ්ඤාගාරානි, ඣයථ, මා පමාදත්ථ
මා පච්ඡා විප්පටිසාරිනෝ අනුවත්ථ…..”

මහණෙනි, මේ රුක්‍ෂ මුල ඇත. මේ සුන්‍යාගාර තිබේ. ඒ තැන් වලට ගොස් ධ්‍යාන වඩව්. පමා නොවව්. පසුව විපිළිසර, පසු තැවුලට පත් නොවව්. මේ අපගේ අනුශාසනාව වෙයි.
සම්මා සම්බුද්ධ චරිතය පිළිබඳව සලකා බැලීමේ දී සිදුහත් කුමරුන්ගේ උප්පත්තියත්, සම්බුද්ධත්වයත්, සම්බුදුපරිනිර්වාණයත් යන බුද්ධ චරිතයේ එන ප්‍රධානතම සිද්ධීන් තුනම සිදු වී ඇත්තේ තුරුලතා සෙවණේ බව සුප්‍රකට කරුණකි.


සිදුහත් කුමරුන්ගේ ඉපදීම ලුම්බිණි සල් උයනේත්, සම්බුද්ධත්වයට පත්වීම ඇසතු බෝ මුලෙහිත්, සම්බුද්ධ පරිනිර්වාණය උපවත්තන සල් උයනෙහිත් සිදුවිය.
බුදුරජාණන් වහන්සේගේ දිවිපෙවෙත විමසා බැලීමේ දී අපට මනාව පැහැදිලි වන කරුණක් නම් බුදුරජාණන් වහන්සේ සමස්ත ජීවිතයෙන් වැඩි කාලයක් ගත කර ඇත්තේ ස්වාභාවික පරිසරය ඇසුරු කරගෙන බවයි. ගෘහ ආවාස, ආරාම, මන්දිර වල තම ජීවිතය ගෙවනවට වඩා, ස්වාභාවික පරිසරය තුළ තම ජීවිතයෙන් වැඩිකොටසක් ගෙවූ බවට සම්බුද්ධ චරිතයෙන් අපට අප්‍රමාණ වූ සාධක හමු වෙයි.

රමණීයානී අරඤ්ඤානී
යත්ථ න රමණී ජනෝ
වීතරාගා රමෙස්සන්ති
නතේ කාම ගාවේසිනෝ

වීතරාගී උතුමන් වහන්සේලා රමණීය වූ සුන්දර වූ වන ප්‍රදේශ වල තම ජීවිතය ගත කිරීමට කැමැත්ක් දක්වයි. උන්වහන්සේලාට ධ්‍යාන සුවයෙන් විවේකීව සිටීමට පරිසරය මහත් රුකුලක් වෙයි. යනු එහි අදහසය.
ස්වාභාවික පරිසරය වූ මහා වනාන්තර, ගස් මුල, පර්වත, සොහොන් පිටි, ගල්ලෙන්, වන පෙත්, පිදුරුගොඩවල් ආදී ස්ථානයන් හි යෝගී ශ්‍රාවකයන් වහන්සේලාට භාවනාවෙහි නිරත වීමට බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කළ සේක. එපමණක් නොව සීල ශික්‍ෂාවන් පිළිබඳව කරුණු පරීක්‍ෂා කර බැලීමේ දී පරිසර හිතකාමීත්වය පිළිබඳ අදහස් මනාව අවබෝධ වෙයි. භික්‍ෂූන් වහන්සේලා විසින් ක්‍රියාත්මක කළ යුතු ශික්‍ෂා පිළිවෙත් අතර “බීජ ගාම භූත ගාම සමාරම්භා පටිවිරතෝ” යනුවෙන් ගස්වැල් පලුඵල සිඳ බිඳ දැමීම සීලවන්ත භික්‍ෂුවකගේ කාර්යයක් නොවන බවයි. මුලින් හට ගන්නා බීජ හෙවත් මූල බිජ, කඳෙන් හට ගන්නා බිජ හෙවත් කන්ද බීජ, පුරුක් වලින් හට ගන්නා බීජ හෙවත් පලු බීජ, කරටි හෙවත් අග්‍රයෙන් හට ගන්නා බීජ අග්‍රබීජ, බීජ හෙවත්, ඵලයෙන් හට ගන්නා එනම් බීජ බීජ කියන පංච බීජයන්ගෙන් පැලවෙන යම් යම් තුරුලතා ස්වාභාවික පරිසරය තුළ දක්නට ඇත. එසේ හට ගන්නා ඒ සියලු තුරුලතා විනාශ නොකර ආරක්‍ෂා කර ගත යුතු බව සීල ශික්‍ෂා සම්බන්ධව වැඩිදුර අවධාරණය කර පෙන්වා දෙයි.
මිලින්ද පඤ්නයේ සඳහන් පරිදි මිනිසාට ගසකින් ලබා දෙන සේවය මෙසේ ය.
රුක්ඛො නාම පුෂ්ප ඵලධරො – ගසක මල් සහ ගෙඩි දරයි. ගසක තිබෙන මල් වලින් මෙන්ම ගෙඩි වලින් මහත් වූ සේවාවක් සලසාදෙයි.

රුක්ඛො උපගතමනුපවිට්ඨානං ජනානං ඡායා දෙති
– ඕනෑම කෙනකුට ගස සෙවණ ලබා දෙයි. පිරිසුදු වූ වාතය ලබා දෙයි.

රුක්ඛො ඡායා වෙමත්තං න කරොති
– තම සතුරු මිතුරු සෑම දෙනාටම භේදයකින් තොරව ගස සෙවණ ලබා දෙයි. තමා විනාශ කරන්නාටද ගස සෙවණ ලබා දෙයි.

“රමණීයො වන භූමිභාගො, පාසාදිකො ච වන ඝණ්ඩො නදීච සන්දති. සෙතකා සුප්පතිත්‍ථා රමණීයො, සමන්තා ච ගෝචර ගාමො, අලං වතිදං කුලපුත්තස්ස පධානතථිස්ස පධානාය”
ඒකාන්තයෙන්ම භූමි භාගය රමණීය වෙයි. වන ප්‍රදෙස් ප්‍රසාදජනකයි. මනා වූ තොටුපළවල් ඇති සුදු වැලි තලා මතින් ගලා බසින්නා වූ නදිය සිත් ගන්නා බවින් යුක්ත වෙයි. හාත්පසින් ගොදුරු ගම් දනව් ද වෙයි. බවුන් වැඩීමට කැමැත්ත දක්වන්නා වූ කුලපුත්‍රයාට මේ තැන බවුන් වැඩීමට මනාව යෝග්‍ය වූ ස්ථානයකි.

“න උදකේ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරිස්සාමීති සික්ඛා කරණීයා” යනුවෙන් පෙන්වා දෙන්නේ ජලයේ මළ මුත්‍ර පහ කිරීම සහ කෙළ ගැසීම ආදී ජලය අපිරිසුදු වන දේ කිරීම වරදක් වන බවයි. එමෙන්ම නිල් තණ කොළ මත ඉඳුල්, කුඩුරොඩු, මළ මුත්‍ර වැනි අපවිත්‍ර දෑ දැමීම නොකළ යුතු දෙයක් බවද සඳහන් වෙයි. බුදුදහම ස්වභාවික පරිසරයෙහි ගස් වැල්, ජලය ආදී දේ පිළිබඳ මෙවැනි අදහසක් පෙන්වා දෙනවා මෙන්ම එහි ජීවත් වන සතා සිවුපාවා පිළිබඳ දක්වන ආකල්පයද එසේමය. “පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිත දණ්ඩො නිහිත සත්ථො ලජ්ජී දයා පන්නෝ සබ්බපාණභූත හිතානුකම්පී විහරති ඉදම්පිස්ස හොති සීලස්මිං” යන සඳහන අනුව පෙන්වා දෙන්නේ සත්ව ලෝකය කෙරෙහි දැක්විය යුතු කරුණාව හා අනුකම්පාව පිළිබඳවයි. ප්‍රාණඝාතයෙන් වැළකුනේ දඬු මුගුරු බිම තැබුවේ ආයුධ බිම තැබුවේ ඝාතනයට ලජ්ජා වූයේ, දයාවින්විත වූයේ සියලු ප්‍රාණීන් වෙත යහපත හා අනුකම්පා සහිත වූයේ සීලය නිසා බව අවධාරණය කරයි. ඉහත සඳහන් කරුණු මෙන්ම ධර්මයේ සඳහන් පරිසරය පිළිබඳ විවිධ වූ කරුණු පරීක්‍ෂා කර බලන විට පෙනී යන්නේ පරිසර හිතකාමී ස්වභාවය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දැක් වූ ආකල්පයයි. එම නිසා වන සත්ව සංරක්‍ෂණය පිළිබඳ අපේ සිත් නෙත් යොමු විය යුතු ය.

විලානගම සන්තධිති හිමියන් විසිනි

කඨිනානිසංස ගැන දේශනාකල ස්ථානය අනවතප්ත විල ගැන දැනගනිමු.
පාත්‍රය ගැන ඔබ නොදත් දේ ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.