පරිසරයට ආදරය කල මහා පුරුෂරත්නය - IFBC Organization | Dhamma

සිංහලයන් වන අපි නිරන්තරයෙන් පරිසරයට බද්ධ වූවෝ වෙමු. අපේ අතීත සිංහලයා නිරන්තරයෙන් පරිසරය හා බැදුනු ජීවිතයක් ගත කලහ. ගහට කොළට, ඉරට හදට පමණක් නොව හරකා බානට පවා වැදුම් පිදුම් කලහ. ඒ මිසදිටු බව නිසා නොවේ. කළගුණ සැලකීමකි. යමෙක් මෙයට සිනාසීමට පුලුවන. එහෙත් ලොව්තුරු බුදුපියාණන්වහන්සේ බෝධිය දෙස බලා අනිමිසලෝචන පූජාව කළබව ඔවුනට අමතකය. අපිට මේ ආභාෂය ලැබුනේ ලොව්තුරා බුද්ධ චරිතය තුලිනි. අප ඒදෙස මදක් සිත යොමු කරමු.
බුද්ධ චරිතය, බුද්ධ දේශනා අධ්‍යයනය කිරීමේදී වෘක්‍ෂලතාදීන්ගෙන් ගැවසීගත් පරිසරය කෙරෙහි බෞද්ධ චින්තනය දක්වන ආකල්පය පැහැදිලි වෙයි. තුරු ලතාවන් රෝපණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම ඒවායේ පැවැත්මට උපකාරී වීම මෙන් ම තුරු ලතාවන්ගේ සුන්දරත්වයෙන් නිකෙලෙස් අහිංසක වින්දනයක් ලැබීම ද බුදු දහම තුළ මැනැවින් විද්‍යමාන වෙයි.
බුදුන් වහන්සේ සිය හස්තයෙන් ම වෘක්‍ෂ රෝපණය කළ සේක. යමා මහ පෙළහර පා නිගණ්ඨයන් දමනය කළේ උන් වහන්සේ ම රෝපණය කළ ගණ්ඩබ්බ නම් අඹ රුක මුලදී ය. ආනන්ද හිමියන් විසින් බෝධි අංකුරයක් රෝපණය කරන ලද අතර, එය අද ආනන්ද බෝධිය නමින් හැඳින්වේ. බුදුන් වහන්සේ වනාන්තර සිඳ බිඳ ලන්නන් අවමානයට ලක් කර ඇත. වනාන්තර එළිපෙහෙළි කිරීම පිළිබඳ ව දුකුලා ඇවැතක් ද පනවා ඇත. අප ගෞතම බෝසත්හු ලුම්බිනී සල් උයනෙහි සුපිපි සල් රුක් සෙවණක උපත ලදහ. බුද්ධගයාවෙහි විහිදී ගිය අතුපතර ඇති මහා බෝ රුක් සෙවණකදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ හ. බුදු වී පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝවැසි ජනතාවට හිත සුව සැලසූ උන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයන්හි රුක් සෙවණක පිරිනිවන් පා වදාළහ. මේ අනුව උන් වහන්සේගේ උපත, බුදු වීම, පිරිනිවන් පෑම සිදු වී ඇත්තේ තුරු සෙවණක දී ම ය.බුදු රජාණන් වහන්සේ බොහෝ විට වනය වර්ණනා කර ඇත. වරක් උන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙසේ පැවසූ සේක:
“ආනන්දයෙනි, සුළඟින් සැලුණ ඒ තාල වෘක්ෂ පන්තීන්ගේ මිහිරි වූ ද, සිත් අලවන්නා වූ ද, සිත් මත් කරවන්නා වූ ද හඬෙක් විය” යනුවෙනි. තුරු ලතාවන්හි සෞන්දර්යය බුදු ඇසින් දුටු අයුරුයි, ඒ.
ජලය හා භූමිය අපවිත්‍ර කරමින් අවට පරිසරය දූෂණය කිරීම බෞද්ධ භික්‍ෂුවකට හෝ බෞද්ධයකුට කළ නොහැකි ය. ජලය හා භූමිය ගැන පැවසීමේදී ඉතා කුඩා ආචාර ධර්ම කෙරෙහි පවා සැලකිලිමත් වී ඇත. වළඳා ඉතිරි බොජුන් නොකැමැත්තේ නම් නිල් තණ නැති බිමෙක හෝ ජීවින් නැති දියෙහි හෝ දැමිය යුතු ය. නිල් තණ ආදියෙහි හෝ පරිභෝග ජලයෙහි හෝ මල මූත්‍ර කිරීම හා කෙළ ගැසීම ඇවැත්වලට පැමිණීමට හේතුවක් බව පරිවාර පාළියේ කීප තැනක ම සඳහන් වෙයි.
පරිවාර පාළියේ භික්ඛුණී විභඞ්ගයට අනුව ආරාමයෙහි අවට හෝ පවුරෙන් පිටත අපද්‍රව්‍ය දැමීම ඇවැත්වලට හේතු වේ. යම් තැනක දිය බී එහි මලමූත්‍ර කරන්නේ නම් එය සිවලුන්ගේ දහමක් යැ යි උද්‍යාන දූෂක ජාතකයේ සඳහන් වේ. එම ජාතකය කෙටියෙන් දක්වන්නම්.

‘එක්තරා කැණහිලෙක් බොහෝ භික්‍ෂූන් වහන්සේ බොන-පැන් වළඳන්නා වූ ළිඳක් දැක, ඒ ළිඳින් දවස් පතා ම පැන් බී ඒ ළිඳ කසළ කරන්නේ ය. එක් දවසක් ඒ කියන කැණහිල් බල්ලා දැක සාමණේර මහලු තෙරුන් වහන්සේ කැට කැබලිති දමා ගසා එතනින් පහ කළ සේක. එයිත් එවක් පටන් එතනට නාවිරී ය.’
මේ ‘වත්මන් කතාව’ යි. මෙකරුණ දම් සබාවෙහි කතාබහට ලක් වූ හෙයින් බුදුන් වහන්සේ මේ අරබයා අතීත කතාව මෙලෙස දෙසා වදාළ සේක.
ඒ ඉකුත් වත් කෙසේ ද? යත්:
‘යටගිය දවස බරණැස් නුවර බෝධිසත්ත්වයෝ එක්තරා කුලයක ඉපිද තාපස ව එම බරණැස් නුවර ඉසිපතනාරාමයේ බොහෝ තාපසවරුන් පිරිවරා වාසය කරන්නා හ. ඒ සමයෙහි (ද) මෙම කියන ළිඳ මෙම කියන කැණහිල් පැනුත් බී කසළත් කරන්නේ ය.
‘එවිට තාපසවරු මල බාන් ලා කැණහිලා අල්වා ගෙන ගොස් බෝධිසත්ත්වයන්ට පෑ හ. බෝධි සත්ත්වයෝත් එ කියන කැණහිලා දැක කියන්නාහු, ‘තා විසින් තාපසවරුන් පැන් බොන්නා වූ ළිඳ කසළ කරන්නේ ඇයි ද?’ යි කී හ. එබස් අසා කැණහිල් කියන්නේ, ‘තාපසයන් වහන්ස, මට කෝප නොකළ මැනව, අපගේ සත්මුත්තන් පරම්පරාවේ යම් තෙනකින් යමක් අනුභව කළමෝ නම් එතන කසළ කිරීම අපට තිබී ආ ජාති ධර්මයෙක. එසේ හෙයින් කෙළෙමි. මට කෝප නොකළ මැනැවැ’ යි කී හ.
‘එවිට බෝධිසත්ත්වයෝ ‘තොප ඇමගේ යහපතට ගත් දේ මෙසේ කල නපුර තමා ම වේ දැ?’ යි කියා, ‘අද පටන් තොපි මේ ළිඳ කසළ කළ නම් දන්නවා දැ?’ යි කියා අළහ. ‘එකියන කැණහිලා එතනට එන්නක් නොකෙළේ යැ’ යි වදාරා මේ උද්‍යාන ජාතකය නිමවා වදාළ බුදුහු ‘එසමයෙහි තාපස ව උපන්නෙම් බුදු වූ මම් ම වේ දැ’ යි පූර්වාපර සන්ධි ගළපාලීමෙනික්බිති චතුස්සත්‍යය දේශනාවෙන් මේ උද්‍යාන දූෂක ජාතක කතාව නිම වා ලූ හ.

අපවිත්‍ර ද්‍රව්‍ය දැමීමට බඳුනක් හෝ ස්ථානයක් වෙන් කර තබාගත යුතු බව චුල්ලවග්ග පාළියේ වත්ථුක්ඛන්ධකයේ දැක්වේ. “සාධු සම්බහුලා ඤාති අපි රුක්ඛා අරඤ්ඤජා” යනුවෙන් තච්ඡසූකර ජාතකයෙහි සඳහන් වේ. එයින් පෙන්වා දෙන්නේ වනාන්තරයෙහි රුක් බොහෝ තිබීම අර්ථ සිද්ධිය සඳහා ම හේතු වන බව යි. යම් ගසෙක සෙවණෙහි යමෙක් හිඳින්නේ වේ ද, ඒ ගසේ අත්තක් හෝ නොබිඳිය යුතු බව ද, එසේ කරන්නේ නම් එය මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් බව ද එය ලාමක බව ද සඳහන් වේ. පේත වත්ථුවේ එන අංකුර පේතවත්ථුවට අනුව ගස් සෙවණකින් එබඳු උපකාරයක් ලබා ගෙන එහි කොළයකුදු නොබිඳිය යුතු බව සඳහන් වේ. බුද්ධත්වය ලබා බුදුරදුන් ගත කළ දෙවැනි සතියේදී අනිමිස ලෝචන පූජාව පවත්වා ලෝකයාට දුන් ආදර්ශය නම්, තුරු ලතා පවා කළගුණ සැලකීමට ලක් විය යුතු බවත් තුරු ලතා හා මිනිසා අතර මිත්‍රශීලි මෙන් ම ඉතා පූජනීය සම්බන්ධතාවක් තිබිය යුතු බවත් ය.

ඇළ, දොළ, ගංගා නදීන් පිළිබඳ ව අලංකාර වර්ණනාවන් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් ද, ඒ සියලු සත්ත්වයෝ වැස්ස නිසා ම ජීවත් වන බව පජ්ජෝත සූත්‍රයෙහි සඳහන් වෙයි. ඇසිඩ් වර්ෂා ඇති වන තත්ත්වයට තරම් පරිසරය දූෂණය කිරීමෙන් පෙනෙන්නේ මිනිසා සියලු සතුනට එරෙහි ව කටයුතු කර ඇති ආකාරය යි.
සිදුහත් බෝසතුන් රජ මැඳුරෙන් නික්මී භාවනානුයෝගී ව වැඩසිටීම සඳහා තෝරාගත් ගයා ශීර්ෂය ඉතා දැකුම්කලු ස්ථානයක් බව අරියපරියේසන සූත්‍රයෙහි විස්තර වෙයි. “පිරිසිදු නිල්වන් ජල ධාරාවකින් යුත් සිත්කලු නදිය දෙපස සුදෝසුදු වැලිතලා ය. ගඟ දෙපස සුපිපි කුසුමින් යුත් මහ වන පියස ය. කුරවිකෙවිලියන්ගේ මිහිරි නාදයෙන් ද ගත සිත පුබුදු කරවන මඳ පවනින් ද මන නුවන් පුබුදු කරයි.” මේ, ගයා ශීර්ෂය පිළිබඳ වර්ණනාවකි.

වනාන්තර බුදු රජාණන් වහන්සේගේ සිත පවා පිනැවූ බව සංයුත්ත නිකායේ සනමාන සූත්‍රයේ සඳහන් වේ. එහි එන සංවාදයකදී එක් රුක් දෙවියෙක් බුදුන් වහන්සේට මෙසේ පවසයි: “සිටි මද්දහනෙහි පක්ෂීන් ඉසිඹුලන කල්හි වනය මහත් සේ හඬ නඟන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.”
එවිට බුදුන් වහන්සේ දුන් පිළිතුර මෙසේ ය:

“සිටි මද්දහනෙහි පක්ෂීන් ඉසිඹුලන කල්හි වනය මහත් සේ හඬ නඟන්නාක් මෙනි. එය මට සිත් පිනවන්නක් ව වැටහේ.
“යමෙක් මල් පල උයන් වවන්නේ ද පියවි වන වගා කරන්නේ ද ඔවුනට දිවා රෑ පින් වැඩේ.” මෙසේ දක්වා ඇත්තේ වන රෝප සූත්‍රයේ ය. වනයෙහි වාසය කරන අයගේ සිරුරු වර්‍ණය පවා පහදින බව අරඤ්ඤ සූත්‍රයේ දක්වා ඇත. වනාන්තර ගිනි තැබීම පිළිබඳ ව දුකුලා ඇවැතක් ද පනවා ඇත.
අලව් පුර වැසි භික්‍ෂූහු නව කර්ම කිරීමට ගොස් වරක් රුක් සින්දා හ; සිඳවූ හ. එවිට ඔවුනට දොස් පැවරූ බුදුන් වහන්සේ, “කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි රුක් සිඳීමත් සිඳවීමත් කළාහු ද? හිස් පුරුෂයෙනි, මිනිස්සු රුක්හි ජීවය ඇතැයි යන හැඟීම් ඇත්තෝ ය” යනුවෙන් වදාළ සේක. අමු ලිය, රුක්, තණ ආදි භූත සමූහය සිඳීමෙහි පචිති සික පදය පනවන ලද්දේ අලවු පුරයේදී ය.
බුදුන් වහන්සේ නිතර ම පි‍්‍රය කළේ ශාන්ත සුන්දර නිසල පරිසරයන් ය. උන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ලද්දේ ද මුවන්ට අභය දානය දුන් බැවින් මිගදාය නම් වූ නිසල සොඳුරු වන පියසක ය. අඹ වනය, සීත වනය, කලන්දක නිවාපය, මෝර නිවාපය වැනි තැන්වලදී ද ධර්ම දේශනා කරන ලදි. කොසඹෑ නුවර භික්ෂූන්ගේ අසමගිය හේතුවෙන් උන් වහන්සේ වැඩම කළේ පාරිලෙයිය වනයට යි. එසේ ම උන් වහන්සේගේ ධර්ම දේශනාවන්හි සඳහන් උපමා උපමේයයන් බොහෝ විට අවට පරිසරයෙන් තෝරාගත් ඒවා ය. වරක් උන් වහන්සේ සිංසපා වන ළැහැබෙහිදී කොළ මිටක් කඩාගෙන “මහණෙනි, මා දෙසූ ධර්මය වැඩි ද? නොදෙසූ ධර්මය වැඩි දැ?” යි ප්‍රශ්න කොට, “දෙසූ ධර්මය මා අත ඇති කොළ තරම් ඉතා සුළු ප්‍රමාණයක්” බැව් වදාළහ. පංචස්කන්ධ විභාගයේදී යොදාගෙන ඇති උපමාවන් ඉතා සිත්කලු ය. මනහර ය. අවට පරිසරයෙන් උකහාගත් උපමා ය. රූපය පෙනපිඬක් ලෙසත්, වේදනාව දිය බුබළක් ලෙසත්, සඤ්ඤාව මිරිඟුවක් ලෙසත්, සංඛාර කෙසෙල් කඳක් ලෙසත් විඤ්ඤාණය මායාවක් ලෙසත් දකින්නට උන් වහන්සේ රුචි වූ හ.

බුදුන් වහන්සේ නාගරිත පරිසරයෙහි සිටින කාලයේදී වුණත් වැඩ වාසය කළේ වේළුවනාරාමය, ජේතවනාරාමය ආදි තුරු සෙවණින් සෙවණ ලද පරිසරයක යි. වේළුවනාරාමය අවට ස්වභාව සෞන්දර්යයෙන් ඇලළී ගිය ආකාරය ඛේමා බිසව සම්බන්ධ විස්තරයක එයි. රූප මදයෙන් මත් වූ ඛේමා බිසව බුදුරදුන් තම රූපයට නිගා කරතියි සිතා වේළුවනාරාමයට යෑමට මැළි වූවා ය. එවිට බිම්බිසාර රජු කළේ වේළුවන විහාරයේ සුන්දරත්වය පද්‍යයට නංවා වන්දි භට්ටයන් ලවා ඇයට ඇසෙන සේ ගායනා කරවීම යි. එය ඇසීමෙන් ඇයට වේළුවනාරාමය අවට සිරි නැරඹීමට ආශාවක් ඇති විය. රජතුමා සමඟ එහි ගිය ඇය මල් ගොමු, ලිය ගොමු, පොකුණු අලංකාර මන්දිර ආදියෙන් යුතු නිසල පරිසරය උද්දාමයෙන් යුතු ව නරඹද්දී බුදුන් වහන්සේගේ මධුර කටහඬ ඇයගේ දෙසවන්හි පතිත විය. ඇයට බුදුන් වහන්සේ කරා යෑමට ඉවහල් වූයේ වේළුවනාරාමය අවට පැවැති සුන්දර පරිසරය යි.

දිනක් නිල්වන් ගොයමින් පිරුණු මගධ කෙත් යාය මැදින් වැඩම කළ බුදු රජාණන් වහන්සේ, “ආනන්ද! මේ මගධ කෙත් යායෙහි ඇති විසිතුරු බව බලන්න. මේ කෙතෙහි සැලැස්මට අනුව භික්‍ෂු – භික්‍ෂුණීන්ගේ සිවුරු ද පිළියෙල විය යුතු යැ” යි අනුදැන වදාළහ. බුදුන් වහන්සේගේ නිජ බිම වූ කිඹුල්වත් පුරය වෙත උන් වහන්සේගේ අවධානය යොමු කරමින් කාළුදායී තෙරුන් කළ වැනුම ස්වභාව සෞන්දර්ය වර්ණනාවේ අග්‍ර ඵලයක් බඳු ය. “මනරම් තුරුලතා සුපිපි මලින් පරිසරය සුවඳවත් කරයි. පරණ පත් සලා නව සුමුදු ළපලුවලින් සැරසුණ තුරුලතාවෝ පල දැරීමට කල් බලා සිටිති. වැඩි සීතකුත් නැත. වැඩි දාහයකුත් නැත. වීරයාණෙනි, මේ නික්ම යෑමට ඉතා සුදුසු කාලය යි.” බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩමවීම වූකලි, උපමා රූපක අලංකාරවලින් හා භාවරූප අපූර්ව පද සංඝටනයෙන් චිත්තරූප මැවීමේ සමත් මේ ස්වභාව සෞන්දර්යය වර්ණනාවේ ආස්වාදයේ ප්‍රතිඵලයක් යැ යි සිතිය හැකි ය.
බෞද්ධ විමුක්ති මාර්ගය සඵල කරගැනීමේදී මිනිස් වාසයෙන් ඈත් වූ වන පියෙස බෙහෙවින් යෝග්‍ය බව බුදු දහමෙහි දක්වා ඇත. “ආරඤ්ඤ ගතෝවා, රුක්ඛමූල ගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා…” ආදි වශයෙන් භික්‍ෂූන් වහන්සේලා ආරණ්‍ය සේනාසන, රුක් මුල් වැනි ස්ථානවල වාසය කළ යුතු බව පෙන්වා දී ඇත. එවැනි ස්ථාන නිසසල ය, සන්සුන් ය. ඇතැම් විට පක්‍ෂීන්, මුව පොව්වන් සහ ඇතුන්ගේ නාදයන් ද ඇසෙනු ඇත. එහෙත් ඒවා කලබලකාරී පරිසරයක ඇසෙන කඨෝර ශබ්ද නො වේ. මහා කසුප් හිමියන් වන ළැහැබ් කෙරෙන් අප්‍රමාණ පී‍්‍රති ප්‍රමෝදයකට පත් වූ ආකාරයයි මේ:

“කුරේරි මාලා චිත්තං – භූමි භාගා වනෝරමා
කුඤ්ඡරුභිරුදා රම්මා -තේ සේලාරමයන්ති මං”

“පැතුරුණ ලුණුවරණ ගස් වදුලෙන් පරිසරය පිවිතුරු ය. බිම් පෙදෙස මනහර ය. ඇතුන්ගේ කුඤ්චනාදයෙන් වන පියස ගිඟුම් දෙයි. ඒ ගිරි කඳුරු මගේ සිත පැහැරගනියි” යනු එහි අදහස යි.
නිලඹර නැග එන හිරු, අවරදිගින් බැස යන සඳු, පස් පියුමෙන් සැදුම්ලත් ගෙවුයන්, ගලාහැලෙන සුදෝසුදු දිය ඇලි, ආකාශයේ පියාසර කරන පක්‍ෂීන් ගිරි සිඛර ආදියෙන් යුත් සුපිපි කුසුමින් සුසැදි වන ළැහැබ් ආදි ස්වාභාවික ස්ථාන ධාර්මික පී‍්‍රති සුඛය ඇතිකරන අවස්ථාවන් ය.
මේඝයෙන් බියට පත් ව පලා යන සුදෝසුදු පියාපත්වලින් සෑදුණු ඉගිළෙන කොකුන් ඇති අජකරණීය නදියෙහි සිත්කලු රමණීය පරිසරය විචිත්‍ර ව දක්වන සප්පක තෙරුන් වහන්සේ සෞන්දර්යයෙන් මුසපත් වූවාක් මෙන් මෙසේ වර්ණනාවක යෙදෙති:

තැති ගනී දැක වැහි වලාවන්
විදාගෙන සිය සුදු පියාපත්
නදිය අජකරණී
වේ ය මම හරි රමණී

ස්වභාව සෞන්දර්යයෙන් රසාස්වාදයක් විඳිමින් චූලක හිමියන් ගැයූ ගීතයයි මේ:
මනා සිළු ඇති
මනා පිල් ඇති
සොඳුරු නිල් ගෙල ඇති
මනහර මොනරු නද දෙති
ඇත, පොළවෙහි
නිල් තණ පියෙසි
මොනොවට පැතිර ගිය
සොඳුරු වලාකුළු

මෙයින් පැහැදිලි වන්නේ රහතන් වහන්සේලා පවා ස්වභාව සෞන්දර්යයෙන් නිරාමිෂ සුඛ වින්දනයක් ලැබූ ආකාරය යි. මෙසේ බුද්ධ ස්වභාවය කෙරෙන් අපි ගංගා, ඇළදොළ, ගස්, ගල් පර්වත හා සියලු පියකරු දේ සමඟ අදහස් හුවමාරු කරගනිමු. කුරුල්ලාගේ ගීතය, දිය ඇල්ලේ ඝෝෂාව, හෙණ හඬ… මේ සියල්ල යථා තත්ත්වයේ නාදය ය. බුද්ධ ස්වභාවයේ ගාථා රාවය ය.
ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිහුණු මිනිසා අද මේ සියල්ලක් ම විනාශ කරමින් සිටියි. අයථා සම්පත් භාවිතය නිසා පරිසරය දූෂණය වීමත් පරිසරය බිඳවැටීමත් සිදු වේ. “භෝගේ සංහරමානස්ස භමරස්සේව ඉරීයතෝ”යි සිගාලෝවාද සූත්‍රයේ දේශනා කර ඇත්තේ මී මැස්සකු මල නොතළා රොන් ගන්නාක් මෙන් භෝග සම්පත් රැස් කළ යුතු බව යි. පරිසරය සූරාගෙන ප්‍රයෝජන ගැනීම මානවයාගේ අනාගතය අඳුරේ හෙළීමකි. මේ අනුව පරිසරයට හානියක් නොකොට එහි සුන්දරත්වය, වැදගත්කම වින්දනය කිරීමේ පරිසර සංරක්‍ෂණ මාර්ගය ම බුදු දහම අනුදක්නා බැව් සුපැහැදිලි වෙයි

 

චුල්ල කම්ම විභංග සූත්‍රය ...
ආලවක දමනය ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.