පරිත්පැන්වල හාස්කම් ... - IFBC Organization | Dhamma

පිරිත් දේශනාවකින් පසු සියලු සැදැහැවතුන් වෙත පිරින් පැන් බෙදා දීම අනිවාර්යයෙන් ම සිදුවන්නකි. ථෙරවාදී, මහායාන හෝ වජ්‍රයාන භේදයකින් තොරව සෑම බෞද්ධ රටකම සෑම බෞද්ධ ප්‍රජාවක් තුළ ම මේ චාරිත්‍රය පවතියි. පිරිත් පැන් තුළ රෝග සමනය කරන ශක්තියක් ඇතැයි ද එමගින් අපේ ගත මෙන් ම සිත ද සුවපත් වෙතැයි ද බෞද්ධයෝ විශ්වාස කරති.

එහෙයින් ආශීර්වාදාත්මක ගාථාවක් සජ්ක්‍ධායනය කරමින් දෑතට යොමු කෙරෙන පිරිත් පැනින් උගුරක් පානය කොට ඉතිරිය මුහුණේත් හිසෙහිත් තවරා ගන්නේ ඉමහත් බැති සිතිනි.අලුත් නිවසක පදිංචි වන විට පිරිත් පැන් ඉස ආසිරි සලසා ගන්නා අතර අලුත් දිවියක් පවුලට එක් වන සුබ නිමිති ආ දා පටන් පිරිත්පැන් නිතර නිතර ගැබිණි ලඳුනට ලැබේ.

බිළිඳා උපදින්නට ලං වත් ම අංගුලිමාල පිරිත කියවා පිරිත් පැන් ලබා දෙන්නේ එමගින් ඇය ට පහසුවක් මෙන් ම රැකවරණයක් ද සැලසෙතියි විශ්වාස කරමිනි. මේ පොදු විශ්වාසය හුදෙක් සාම්ප්‍රදායික වූත් විද්‍යාත්මක සත්‍යයකින් තොර වූත් අභිචාර විධියකට වැඩි යමක් නොවන බවත් සිතන්නෝ එමගින් ලැබෙන්නේ මානසික දිරිමත් කිරීමක් පමණක් බවත් සිතන්නෝ බොහෝ වෙති.

ජල බඳුනක් ඉදිරියේ තබා ගෙන පිරිත් සජ්ක්‍ධායනය කළ පමණින් ජලයට මෙවන් ආශීර්වාදාත්මක ශක්තියක් කැවෙන්නට හැකි ද?

 

අජීව වස්තුවක් වන ජලයට පිරිත්දේශනාවේ ආශීර්වාද ශක්තිය ශරීරය පුරා ගෙන යන්නට ඇති හැකියාව කුමක් ද? එවැන්නක් ඇතැයි සිතුම බොළඳ මිථ්‍යා විශ්වාසයකැයි සිතන්නෝ අපට නිතර හමු වෙති.

ජලය ආශීර්වාද වාහකයක් ලෙස සිතන්නෝ බෞද්ධයෝ පමණක් නොවෙති. කිතුනුවන් බෞතීස්ම ලබන්නේ ද ජලයෙනි. හින්දූහු ගංගා නම් නදියෙහි ජලය අති පරිශුද්ධ වූ සියලු පාපයන් සෝදා හරින පවිත්‍ර කාරක බලයකින් සමන්විත වූවක් ලෙස අදහති. ඉස්ලාම් භක්තිකයෝ දේවස්ථානයට පිවිසෙන්නට පෙර ජලයෙන් පිරිසුදු වෙති.

ජලය හා සම්බන්ධ වතාවත් හැම ආගමක ම පාහේ දක්නා ලැබේ. මන්ත්‍ර ගුරුකම් කරන්නන් අතර එම විශ්වාස බහුලය. ශ්‍රී දළදා පෙරහර නිම කරනු ලබන්නේ ද දිය කැපීමේ චාරිත්‍රයෙනි. විවාහ චාරිත්‍ර අතර උපරිමය වූ අත පැන් වත්කිරීම ජලය සාක්ෂියට තබා ගැනීමකි. යමක් සසුනට පිදීමෙහි දීද මේ සිරිත අනුගමනය කෙරෙයි. මේ සියලු චාරිත්‍ර හුදෙක් අමනකම් සේ සැලකිය හැකි ද?

විද්‍යාත්මක ලෙස විවරණය කළ නොහැකි දේ පසු පස ඇත්තේ හුදු මානසික වූත් ස්වයං යෝජනාවකට එහා නොවිහිදෙන්නා වූත් විශ්වාස මාත්‍රයක් පමණක් සේ හඳුන්වමින් මේ සියල්ල ලඝු කොට තැකීම පහසු ය. එතකුදු වුවත් විද්‍යාව දිනෙන් දින තම විෂය ක්ෂේත්‍රය පුළුල් කරමින් මෙතුවක් කල් හුදු ජන විශ්වාස පමණක් සේ සිතූ දේ පිළිබඳව ද පරීක්ෂණ කරන බව නොරහසකි. නිදසුනක් ලෙස වෘක්ෂ – ලතාවනට මිනිස් කටහඬ දැනෙන අයුරු පිළිබඳව පවත්වා ඇති පර්යේෂණ දැක්විය හැකිය. සංගීත නාදරටා මෙන් ම පිරිත් ශබ්ද රටාවනට වෘක්ෂ ලතා ප්‍රතිචාර දක්වන බව සනාථ කර ඇත.

ඒ අයුරින් ම ජලයට ද අප ගේ සජ්ක්‍ධායනා, යාතිකා සහ ආසිරි පැතුම් දැනෙනවා විය නොහැකි ද? ජලයට ‘දැනෙන’ සහ ‘මතක හිටින’ ශක්තියක් ඇතැයි සිතුමට අනුබල දෙන පර්යේෂණයක් 1990 දී ප්‍රංශ විද්‍යාඥයකු වූ ජැක්විස් බෙන්වෙනිස්තේ විසින් කරන ලදී. විවිධ පදාර්ථයන්හි අංශු තම භෞතික සහ ශක්ති පිළිබඳ තොරතුරු වෙනත් අංශූන් වෙත සංවහනය සඳහා ජලය උපයෝගී කරගන්නා බව හෙතෙම හෙළි කළේය. වෙනත් වචන වලින් කියතොක් ද්‍රව්‍ය ලෝකයේ පණිවිඩ කාරයා ජලය ය.

විද්‍යාඥයන් නොවන අය ඉවෙන් මෙන් දැන සිටි කරුණක් පිළිබඳව ඔහු පළ කළ මේ මතය විද්‍යාඥයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කළේය. නොබෙල් ත්‍යාගලාභීනට සම තත්ත්වයේ අග්‍රගණ්‍ය විද්‍යාඥයකු වූ ඔහුට මේ අදහස නිසා ඇතැමුන් ගේ් ගැරහුම් වලට ලක් වීමට පවා සිදු විය. කෙසේ වුවද ජලයට මෙවන් අද්භූත ශක්තියක් ඇතැයි හෝමියෝපති වෛද්‍ය ශාස්ත්‍රයෙන් ද සනාථ වෙයි. හෝමියෝපති ප්‍රතිකර්ම සඳහා ඖෂධ යොදා ගැනෙන්නේ ඖෂධයේ ශක්තිය ශීඝ්‍ර භ්‍රමණ – චලන මගින් (වේගවත් කරකැවීම් මගින්) ජලයට කවා ගැනීමෙනි. රෝගියාට ලැබෙන්නේ ජලය විසින් සංවහනය කරනු ලැබූ ශක්තිය මිස දළ ඖෂධ ය නොවේ. හෝමියෝපති ඖෂධ කිසි කලෙක රෝගියකුට විෂ නොවන්නේ එහෙයිනි. මල්වල සුවඳ හා සාරය ජලයට උකහා ගැනෙන අයුරු පොදු ජනයා අත්දැකීමෙන් දන්නා දෙයකි.

මෑතකදී ජපන් ජාතික වෛද්‍යවරයකු වූ මසුරෝ එමොතෝ මේ විෂයෙහි ඉතා වැදගත් ඡායාරූප පෙළක් විද්‍යාඥයන් හමුවේ ඉදිරිපත් කර ඇත..

මේ රමණීය ඡායාරූප මගින් ඔහු හෙළි කර සිටින්නේ ජලයට අපගේ අදහස් වැටහෙන බව හා ඒවාට ජලයෙන් ප්‍රතිචාරයන් දැක්වෙන බව ය.

එමොතෝ ජපානයේ ෆූජිවරා වේල්ල අසලින් ජලය සාම්පලයක් ගෙන එය ශීතකරණයේ තබා අයිස් මිදෙන්නට සැලැස්වීය . අනතුරුව එම ජලාශය වෙත ජ්‍යුහොවුයින් ආරාමයේ පූජ්‍ය කතෝ හොකි නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝයා වැඩම කරවා පැයක් පිරිත් දේශනා කරවාගෙන තවත් ජල සාම්පලයක් ශීතකරණයේ තබා අයිස් මුදවා ගත්තේ ය.

ජලය දිය වන්නට පෙර අධිවේගී කැමරාවක උපකාරයෙන් එහි අංශු ඡායාරූප ගත කරන ලදී. පිරිත් කරන ලද ජලයේ ඡායාරූප ඉතා රම්‍ය සුන්දර මෝස්තර දැක්වූ අතර කලින් ලබා ගත් අපිරිසුදු ජලයේ අංශු රූප එවන් රටා නොදැක්වීය. දුර්වර්ණ අපිළිවෙළ රටා දැක්වූ අපිරිසුදු ජලය හුදෙක් පිරිත් දෙසුමෙන් පසුව පිරිසුදු දීප්තමිත් ෂඩ්කෝණ තාරකා රටාවන් ගෙන් සමන්විත වූයේ කෙසේ ද? මෙය ප්‍රාතිහාර්යයක් ලෙස හැඳින්විය හැකි ද?

වෛද්‍ය එමෝතෝ ගේ මෙම පර්යේෂණය ඔහු කළ පර්යේෂණ මාලාවකින් එකක් පමණි. විවිධ තැන් වලින් ජලය ලබාගෙන විවිධ ආකාරයෙන් ආමන්ත්‍රණය කර ජලයේ ප්‍රතිචාරය අංශු ඡායාරූප කරණය මගින් පරීක්ෂා කිරීම් රැසක් ඔහු විසින් කර තිබිණ. ආදරෙයි ස්තුතිය වැනි වචන පවසා සමහර පින්තූර ගත් අතර මෝඩයා, මම කියන් දේ කරපන් වැනි වචන කියා තවත් පින්තූර ද ගන්නා ලදී.

පි‍්‍රය වචන වලින් සුන්දර රටා නිර්මාණය වූ අතර අපි‍්‍රය වචන හේතුවෙන් අප්‍රසන්න රටා නිර්මාණය විය. එමොතො මෙම පර්යේෂණය ගංගානම් නදියේ ජලය විෂයෙහි ද කර බැලීය. බැලූ බැල්මට ඉතා අපිරිසුදු වුවද එහි ජලයෙන් ද සුන්දර අංශු රටා මැවිණි. ඊට හේතුව උදේ සිට සවස් වන තුරු ම එහි කෙරෙන ස්තෝත්‍ර ගායනා බව හෙතෙම තීරණය කළේය.

“ මේ වන තුරු පිරිත් ඇහුවේත් පිරිත් පැන් භාවිත කළේත් ස්ඵටික රටා ගැන කිසිවක් නොදැනයි. දැන් ඉතින් ඇත්ත දන්නා නිසා වඩාත් විශ්වාසයෙන් තේරුමක් ඇතිව පිරිත් පැන් ලබා ගන්න පුළුවනි”යි වෛද්‍ය එමොතෝ සිංගප්පූරුවේ පළ වන වෛදූර්ය නම් බෞද්ධ සඟරාවට ප්‍රකාශ කළේය. “ පිරිත් දේශනාවකදී දේශකයාගේ චේතනාව හුඟක් වැදගත් වෙනවා. වචන වලට වඩා වචන පසුපස ඇති අරුත වටිනවා. හෙතෙම පවසයි. ජලයට වේතනාව වැටහෙන බව ඔහු සනාථ කරන්නේ ඒ ඒ වචන වලට ජලය දක්වන ප්‍රතිචාර අධ්‍යයනය කිරීමෙනි. බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිත් දේශනා කරන විට මෙම කාරුණිකත්වය තම සිත් තුළ අනිවාර්යයෙන්ම ජනිත කර ගනිති. එය උන් වහන්සේට සම්ප්‍රදාය විසින් තරයේ අවධාරණය කොට උගන්වනු ලබන්නකි. සෑම පිරිත් දෙසුමක ම ‘සදා සොත්ථි භවන්තු තේ’ ,’භවතු සබ්බ මංගලං ‘, ‘ හොතු තෙ ජය මංගලං’ වැනි ආශීර්වාදාත්මක ප්‍රකාශන අන්තර්ගත වන බව සියල්ලෝ ම දනිති විශේෂයෙන් ම මවු පදවිය ලබන්නට සැරසෙන කතුනට ආසිරි පතන අංගුලිමාල පිරිත ආශීර්වාද ශක්තිය ජලය මගින් වහනය වීම පිළිබඳ බෞද්ධ විශ්වාසය තහවුරු කරන්නකි. එම පිරිත දෙසූ තැන ආසනය දෙවූ දිය පවා සුව දනවන බලයෙන් යුත් බව පිරිතේ හැඳින්වීම් ගාථාවල කියැවෙයි.

මනුෂ්‍ය ශරීරයේ සියයට හැත්තෑවක් ම ඇත්තේ ජලය බව වෛද්‍යවරු පවසති. එසේ නම් අප පිරිතට සවන් දෙන විට එහි ශාන්ති දායක ගුණය එම ජලය මත සියුම් කම්පන රටා ජනිත කර කැසට් පටයක රඳවන මතකය මෙන් රැඳවීමක් කර ගැනීම නොවිය හැක්කක් ද? ගංගාවක ඇළක දොළක ජලයෙහිත් පිිරිත් නිසා ප්‍රසන්න ප්‍රමෝදමය ස්වභාවයක් ඇති වේ නම් අප සිරුරේ ඇති ජලයට එම පහන්බව අනිවාර්යයෙන්ම ජනිත විය යුතු ය.

පිරිත් නූලකුත් අත රඳවාගෙන දැඩි විශ්වාසයෙන් පහන් සිතින් පිරිත් ඇසීමෙන් අපේ සිරුරේ රෝග සුව අතට හැරෙමින් සුවපත් සැහැල්ලු බවක් ඇති වන්නේ එහෙයිනි. මසුරෝ එමොතො වෛද්‍යවරයා ගේ මතය නම් පිරිත් සහ ආගමික ස්තෝත්‍ර සජ්ක්‍ධායන ලේසර් කිරණවලට සමාන අයුරින් ක්‍රියාත්මක වන බවය. අපේ සිතිවිලි පිරිසුදු තරමට ඒ කිරණ ද බලගතු වෙයි.

පිරිත් දේශනාවන්හිදී ආශීර්වාද බලය සැදැහැවතුන් වෙත වහනය කරන (ගෙන යන) මාධ්‍යයක් වශයෙන් ජලය යොදා ගැනීම කෙතරම් අර්ථ සම්පන්න ක්‍රියාවක්දැයි විද්‍යාවෙන් අපට පැහැදිලි කර දී ඇත. ජලය සැබවින්ම අපට සම්පතකි. ජලය නැති දාට අපට ජීවිතයක් ගැන සිතිය හැකිද? අපි මේ සොඳුරු සම්පතට ආදරය කරමු. එයට සෙත් පතමු.

‍මේ දැක්‍වෙන්‍නේ ශ්‍රී ලාංකීය සිසු‍වෙක් සිදුකල එවන් පර්‍යේෂණයකි …

 

බුදුදහම හමුවේ නිරුවත්වන ඩාවින්ගේ පරිණාම වාදය ...
‍ලොව ‍ශ්‍රේෂ්ඨතම වාරිමාර්ග තාක්ෂණය හිමිවන්නේ සිංහලයාට බව ‍යෝධ ඇල සාක්ෂි දරයි ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.