පරම පූජනීය රන් සිරිපා පියුම වැදපුදා ගනිමු.

ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්දු, මුස්ලිම් මෙන්ම ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ද පූජනීය වන්දනා ස්ථානයකි. එහෙත් හය සිංහල බොදුනුවන්ගේ ප්‍රධාන සිද්ධස්ථානයක් බව අද ලොවම පිලින ඇත. සුප්‍රකට BBC රෑපවාහිනී සේවය මගින් සිදුකරන ලද නවතම වර්ගීකරණයකට අනුව ලොව හොදම අධ්‍යාත්මික ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාවේ ශ්‍රී පාදය නම් වී තිබෙනවා. (http://www.mashguru.com/2012/07/10.html) ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති. ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක, රත්නපුර-පැලබැද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැදින්විය හැක. මෙම මාර්ග 6න් නල්ලතන්නි හා පැලබැද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.

ශ්‍රීපාද කඳු මුදුනට නැගීම දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පඩි දසස් ගණනක් නැඟිය යුතු අතර කඳු මුදුනට නැගීමට පැය කිහිපයක් ගත වේ. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම උදුවප් පොහෝ දිනයේදීය. වෙසක් පොහෝ දිනයෙන් එය අවසන් වේ. අනෙකුත් මාස වලදි ශ්‍රීපාද කන්ද නැඟීම දුෂ්කරය. එම මාස වලදී ශ්‍රීපාද කන්දට අධික වැසි ඇද හැලෙන අතර තද සුළන් හා ඝන මීදුම පවතී. ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවති. පළමු වරට ශ්‍රීපාද නඟින වන්දනාකරු “කෝඩුකාරයා” ලෙස හඳුන්වන අතර ඔහු “සීත ගඟුල” යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් නාගත යුතුය. “ඉඳිකටු පහන” යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් සවිකර යති. කන්ද නගින අතර තුර සැදැහැවතුන් විවිධ ජන කවි ගායන කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඇති ඝාණ්ඨාරය නාද කරති.

රාත්‍රී කාලයේදී ශ්‍රීපාද කන්ද තරණය කීරීම අපූර්ව අත්දැකීමකි. විදුලි බුබුලු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසයි. ශ්‍රීපාද වන්දනාකරුගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැගීමය. “ඉර සේවය” නමින් ජන වහරේ මෙය හදුන්වන අතර කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. හිරු එළිය කඳු මුදුනට වැටී අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරයි. හිරු ඉහළට නැඟීමත් සමගම සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කරයි.

සමනොලගිර ,ශ්‍රිපාදය හා එය වැඳ පුදාගත් රඡවරු පිළිබඳ සඳහන් සෙල් ලිපි ගණනාවකි. මහාවංශය, දීපවංශය, චූලවංශය, ආදි වංශ කතාවල හා රාඡාවලිය,දඹදෙණි යුගයේ ලියඅවුණු සමන්ත කූට වර්ණාවේද කෝට්ටේ යුගයේ ලියැවුණු ග්‍රන්ථ ගණනාවකද දක්නට පුළුවන.

කෝට්ටේ යුගයේ ලියැවුණු සැලළිහිණි සන්දේශයේ සමනොළ කන්ද පිළිබඳ මෙසේ දැක්වේ.

සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැ නද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

අපේ සාහිත්‍යයේ සුවි‍ශේෂ අංගයක් වන ඡනකවි පිළිබඳ සැළකීමේදී ද සම්බුදු සිරිපා වන්දනාවට අදාළ ඡනකවි රා ශියක් ඇති බව පෙනේ. අපේ පැරැන්නෝ පිරී ඉතිරී ගිය ශ්‍රද්ධා භක්තියෙන්ශ්‍රී පාද වන්දනාවේ යෙදුණහ.සම්බුදු සිරිපා රැඳුණු සමනොළ කන්ද, සමන් දෙවියන් , තෙරුවන් ගුණ,ගමන්මගේ විශේෂ ස්ථාන ආදිය ඇතුළත් වු ඡනකවි වලට නිදසුන් කිහිපයකි.

බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හූනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද

යන්ට හොඳයි තේවතු බල බලායේ
කන්ට හොඳයි පැණිරස අග්ගලායේ
ඉන්ට හොඳයි සීතල පිනි බබායේ
වැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ

සිරිපා වන්දනාවේ මුල්කාලීන තොරතුරු වලට සිරිපා අඩවිය සොයා ගැනීම පිලිබඳව ඡනප්‍රවාද වල සඳහන් වන්නේ මේ විදියටයි.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේ භාතිය රඡතුමා රාඡ්‍ය පාලනය කරන කාලයේදීය.භාතිය රඡතුමාට ආවතේව කළ පුද්ගලයා හැඳින්වූයේ ‍”කොටා ” යන නමිනි.භාතිය රඡතුමාගේ මල් උයනේ දවසින් දවස මල් අඩුවෙන්නට පටන් ගත්හ. කවුරු හෝ තම මල් වත්තේ මල් සොරකම් කරනවා යැයි රඡුට සිතිණි.රඡතුමා හොරා අල්ලන්න කොටා ට භාර කළා.දවසක් මල් උයනේ සැඟවී බලා සිටි කොටාට දකින්නට ලැබුණේ සුරංගානාවියෝ පැමිණ මල් කඩාගෙන යන බවයි.කොටාත් සුරංගනාවියෝ පසුපසම කඳු මුදුනට ගියා.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේඵ් විදියට බව ඡනප්‍රවාදයේ සඳහන් වේ. කෙසේ වෙතත් ඉතිහාසයට අනුව පළමු වෙන්ම සිරිපා වඳින්න පැමිණ ඇත්තේ ක්‍රී.පූ.29-17 අතර කාලයේදීය.ඵකල රඡකම් කළ වළගම්බා රඡතුමා ශ්‍රී පාද වන්දනාවේ යෙදුණි.ඵපමණක් නොව ශ්‍රී පාද යේ දියුණුවට ඉතා විශාල සේවයක්කළ බවත් වංශ කතා වල සඳහන් වේ.

ක්‍රි:පූ: දෙවැනි සියවසේදී – එනම් දුටුගැමුණු රාජ සමයේ මෙම සමන්කුඨ පෙදෙස සංඝයාගේ වාසස්ථානයක් වූ බැව් සටහන් වී තිබේ. මෙය ඇතැම්විට සිරිපා කඳු බෑවුමේ රත්නපුර පෙදෙසට වන්නට පිහිටි ‘පලාබත්ගල ආරණ්‍ය සේනාසනයේ විය හැක. එකල එහි මලියදේව මහරහතුන්වහන්සේ පවා වැඩ සිටි බවට ජනවහර කියයි. දුටුගැමුණු රාජ සමයේ සිට පළමුවැනි විජයබාහු රාජසමය තෙක් ශ්‍රී පාදය ගැන කිසිත් අසන්නට නොලැබීම පුදුමයකි. අභාග්‍යයකි. මහාචාර්ය පරණවිතාන ශූරීන් පවසන්නේ එකොලොස්වැනි සියවසින් එපිට කිසිදු ශිලා ලේඛනයක් එතුමාට ශ්‍රී ලංකාව තුළ ශ්‍රී පාදය පිළිබඳව හමුනොවූ බවයි.

එහෙත්, සිරිපා මළුවෙන් පහල පිහිටි ‘භගවාලෙන’ නමින් හැඳින්වෙන ගල් ගුහාවේ බ්‍රහ්මී අක්‍ෂරවලින් කොටන ලද වාක්‍ය ඛණ්ඩ අපවත්වී වදාල රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමිපාණන්ට දකින්නට ලැබී, උන්වහන්සේ ඒවා පිටපත්කොට සිය ‘සබරගමු දර්ශන’ පොතට ඇතුලත් කොට ඇත.

දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් ශ්‍රී පාදයේ නඩත්තුව හා පැවැත්ම උදෙසා සමනල පෙදෙස අවට සැතපුම් 20 ක පමණ මුළු ප්‍රදේශයම පූජා කොට තිබේ.

පසලොස්වැනි සියවසේදී මහනුවර, සෙංකඩගල රාජධානිය කළ රජෙකු විසින් රියන් පසලොසක වටප්‍රමාණය හා රියන් පහක් උසකින් යුත්, දැවැන්ත පිත්තල පහනකට පොල්තෙල් ‘බරණී’ සියයක් පුරවා පූජා කළ බවත්, අඹගමුව මාර්ගයේ (ගිනිගත්හේන) පියගැටපෙලවල් 780 ක් තැනවූ බවත්, සඳහන්වේ.

අද සදුන් සමන්දේව ප්‍රතිමාව ශ්‍රී පාද මළුවේ දෙවොලෙහි තැන්පත් කිරීම සඳහා (හයමාසයක්) වඩමවනු ලබන්නේ පැල් මඩුල්ලේ ‘කුට්ටාපිටිය’ නමැති ‘ගල්පෝතෑවෙල’ නම් ගම් විහාරස්ථානයේ සිටය. මෙම ‘කූට්ටාපිටිය’ ගම ශ්‍රී පාදස්ථානයට පූජා කරන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. ගල්පොත්තාවෙල වෙල් යායෙහි වටිනා මැණික් ලැබේ. එ සිරිපා සමයටය. රත්නපුර මැණික්පතල්කරුවන් ද පතල්වලින් මැණික් ලැබීම පිණිස “බලාසිටින්නේ” දොළොස්මහේ පහන දල්වන තෙක්ය.

බුද්ධගයාවෙහි ඇති එක්තරා ශිලා ලේඛනයක සඳහන් වන්නේ ‘ලංකා ශිඛරය’ පාමුල පිහිටා ඇති සංඝයාවහන්සේටම වෙන්වූ ශ්‍රවණාරාමයක ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ බවයි. උතුරු ඉන්දියානුවන් විසින් (මධ්‍යදේශය විය හැක) ශ්‍රී පාදය ඉතා උතුම්කොට සලකා තිබෙන බවත්, එහි සඳහන්වේ. ඉහත කී ශ්‍රමණාරාමය පලාබද්දල පිහිටි ප්‍රතිරාජ පිරිවෙනවීමට අවකාශ තිබේ.

සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් වගේම අවට ගම් වල ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝය. එවන් සිරිපා හිමේ සැඟවුණු අපූරු කතා කිහිපයක් ලොවෙත් නෑ අපි මෙසේ ඔබ වෙත තිලිණ කරන්නෙමු.

’දෙවියන්ගේ කුමාරයා’ යැයි මහාවංශයේ පළමුවන පරිච්ඡේදයේ හඳුන්වනු ලබන ‘සුමණකූඨයෙහි’, ‘මහාසුමණ’ තථාගතයන්වහන්සේගෙන් තමන්ට වඳීන්ට, පුදන්ට යමක් ඉල්ලා තිබේ. සිය වම් සිරිපා ලකුණ නීල මාණික්‍යයක ඔබ්බවා තබන ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙම නීල මාණික්‍යය’ සුමණදේවයන් විසින් එහි ආරක්‍ෂාව පතා ගල් කුලකින් වසා දැමූ බව ජනප්‍රවාදයෙහි එයි.

එම ගල් කුලමත අදින ලද පා සලකුණටය අද බැතිමතුන් නැමදින්නේ. මෙම නීල මාණික්‍යය පිළිබඳ කතා පුවත සනාථ කරනුවස් නවසිය තිස්, හතලිස් ගණන්වලදී එවකට ශ්‍රී පාදය භාරව සිටි ගිහි භාරකරු වන සිඩ්නි එල්ලාවල (නන්ද එල්ලාවල මැතිතුමාගේ පියා) මහතා වරක් සිරිපා මළුවේ කිසියම් අලුත් කිරීමකට ‘අත ගසද්දී’ යටකී ගල්කුල තුලින් (සිදුරුවලින්) මතුවී ආ කළුදෙබරුන් විශේෂයක් එතුමාට දෂ්ඨ කරන ලදැයි කියැවේ (සපරගමු දර්ශන – රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි) එකී දෙබරුන් පැමිණ සිදුරුතුලින් ඇතුළට එබිකම්කර බලද්දී එකී නීල මාණික්‍යය දිදුලමින් පැවැති බව එතුමෝ වාර්තාකර ඇත.

කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැදුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපු මහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ. මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉදලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ. ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා. සිරිපා හිමේ හාස්කම් එහෙමයි.

වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට පදුර බිදින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.

තිහේ දශකයේ බෙලිහුල්ඔය ගලගම ප‍්‍රදේශයේ සිටි කිරිඅප්පුහාමි නම් උපාසක මහත්මයකු මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරද්දී කට වරද්දා ගැනීම නිසා දහතුන් වතාවක් ඔහුට සිරිපා මලූවට යාමට නොහැකිවූ පුවතක් පැරණි ගැමියන් අතර පවතී. සිරිපා අඩවියට ඇතුළු වන විට තුන් සරණ කීම සිරිතකි. කෙසේ හෝ උපාසක තැනට සිරිපා මළුවට යන්නට ‘‘බෑ’’ කියා කට වැරදුණි. ඔහු අන්තිමේ දී සිරිපා කරුණා කරන්නට ලැබුණොත් වෙහෙරගොඩ පන්සලේ කිරිමැටියෙන් වෛත්‍යයක් තනන බවට බාර වීමෙන් පසු දාහතර වැනි අවස්ථාවේ සිරිපා මළුවට යන්නට හැකිවූ බව ඒ අතීතය මතක තිබූ කිහිප දෙනෙක්ම පැවසූහ. ඉර අවරට යන්නට කලින් ගමෙන් පිටත් වන පිරිස රාත‍්‍රිය පුරාම ගමන් කරන්නේ සිරිපා අඩවියෙනි. ඇතැම් අවස්ථාවල ඉතා ළගපාත හේවිසි හඩ ඇහෙන්නට පටන් ගනී. එදා අද මෙන් විදුලි ආලෝකය හෝ වෙනත් සන්නිවේදන පහසුකම් නොතිබුණ නිසා සමහරු මළුව ළග යැයි රැවටෙන අවස්ථා ද තිබුණි. නමුත් ඒ හඩ ළග ඇසුන ද මළුවට ළගා වන්නට පැය දහයක්වත් ගතවු අවස්ථා තිබිණි. රාත‍්‍රි ගමනේ දී අදුර මකා ගන්නේ පන්දම් හෝ ලන්තෑරුම් එළියෙනි. ඒ නිසා නඩයේ සැම දෙනාම පෙනෙන දුරකින් යාම සිරිතකි. යම් හෙයකින් නඩයෙන් ඈත්වී තනි වුණොත් පාර වරදින්නට පුළුවන. එසේ වුවහොත් සතා සිවුපාවාට ගොදුරු විය හැකිය.

මෙවැනි නඩවල සිටින කියන දේ නාහන තරුණ ගැටවු කිහිප දෙනෙක්ම ඒ අකරතැබ්බයන්ට පත්වූ අවස්ථා ඇති බව කියන්නේ සිරිපා අඩවිය අවට ගම්වල වැඩිහිටියන්ය. එක් අවස්ථාවක එසේ නඩයෙන් ඈත්වු තරුණයෙක් රාත‍්‍රියේ අතරමං විය. ඔහු නැති බව නඬේ පිරිසට දැනුනේ අතරමග නැවතී ගිමන් හරින විටය. නඬේ ගුරුන්නාන්සේ අත්දැකීම් ඇති වැඩිහිටියෙක් විය. මුලින්ම ඔහු සමන් දෙවිදුන්ට පඩුරක් බැද බාරයක් විය. හොදින් හද එළිය තිබූ ඒ දිනයේ මේ මග හැරුණු තරුණයා සොයා වැඩිහිටියන් කිහිප දෙනෙක් ආපසු ආවේ නඬේ සෙසු පිරිස එතැන විවේක ගන්නට ඉඩ සලස්වාය. සැතපුමක් දෙකක් ආපසු එන විට පාරෙන් තරමක් දුරින් පුංචි එළියක් එහා මෙහා යනු පැමිණි කිහිප දෙනාට දැක ගන්නට ලැබී තිබේ. ඒ සමගම ගස්වල අතු බිදින ශබ්දයත් ඔවුන්ට ඇසී තිබෙනවා. ඉන් තරමක් බියට පත්වූ පිරිස අතු බිදින ශබ්දය ඇසුණු දෙසට කන් යොමාගෙන අවධානයෙන් ටික වෙලාවක් සිටිය ද කිසිදු ශබ්දයක් ඉන් පසු ඇසී නැහැ. ඒ ශබ්දය ඇසුණු දෙසට කන් යොමද්දී මුලින් දුටු එළිය ගැන ඔවුන්ගේ අවධානය ගිලිහී එය නොපෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ පිරිස එළි වෙන තෙක් අතරමංවූ තරුණයා සෙව්ව ද ඔහු හමුවී නැහැ. එළිය වැටුණු පසු නඬේ අනික් අය බොහෝ දුරකින් ඈත්ව ඇති බව සිතා අතරමංවූ තැනැත්තා සෙවීම නවතා ආපසු ඉදිරියට ගොස් තිබේ. එසේ විනාඩි කිහිපයක් ගත වන විට වන්දනා නඩයක කතාබහක් පිරිසට ඇසී ඒ ගැන සොයා බලද්දී තමන්ගේ නඬේ පිරිස ගිමන් හරිමින් ඉන්නවා දැක තිබේ. පසුව සොයද්දී සැතපුම් ගණනක් ඇවිද තිබෙන්නේ නැවතී සිටි ස්ථානය අවටමය. නඩෙන් අතරංමංවූ තරුණයා තමන් ඉදිරියෙන් පැන්න කළු ගුලියකට බියවී ගහක් මුල සැගවී සිටි බව පවසා ඇතත් ඔහු සැගවි සිටියා යැයි කී තැනට ඔහු සෙවීමට ආ පිරිස කිහිප වතාවක්ම ඇවිත් ගොස් ඇති බව නඬේ ගුරාට අවබෝධවී තිබුණි. මෙය නඬේ කෙනකුගේ කට වරද්දා ගැනීමකින් වුවක් නිසා බව නඬේ ගුරාගේ විශ්වාසය විය. කළු ගුලියක් සේ දිස්ව ගියේ වළසාගේ දිෂ්ටිය බවට ඔහු විශ්වාස කළ බවත් අතු කඩනවා සේ ශබ්දයක් ඇසුනේ අලියාගේ වුවත් එය ද අද්භූත සිදු වීමක් ලෙස එම පිරිස විශ්වාස කළ බව ගැමියන්ගේ මතයයි. මේ සිද්ධිය මතක ඇති වැඩි දෙනෙක් ඉන් පසු සිරිපා ගමනේ දී බොහොම පරිස්සම් වන්නට වූ බව ද ඔවුහු කියති. ගලගම වෙළහාමි මහතා ද මේ ගම්වල සිරිපා නඩවල ගුරුන්නාන්සේ කෙනෙක් ලෙස කටයුතු කළ අයෙකි. වලකඩවල ගමේ පදිංචි හැත්තෑපස් හැවිරිදි එච්.ඒ. පේ‍්‍රමරත්න මහතා එවැනි මතකයන් ඇති කිහිප දෙනාගෙන් කෙනෙකි.

සිරිපා අඩවියේ බවුන් වඩන හිමිවරු ගැන කතා ද ඇත. ඒ අතර වලහා පැන්න හාමුදුරුවන් ගැන ගම් කිහිපයකදීම අසන්නට ලැබුණි. මේ වන විට ජීවතුන් අතර නොමැති බව පවසන මේ හිමිනම සිරිපා අඩවියේ දී දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණකැයි ද කියති. ඇසින් දුටුවන් කියුවැයි පවසන උදවිය පවසන්නේ සිහින් සිරුරකින් හෙබි භික්‍ෂූ නමක් එලෙස සිරිපා අඩවියේ කුණුදියගල ප‍්‍රදේශයේ ගල් ගුහාවක බවුන් වැඩූ බවයි. සිරිපා අඩවියේ වැඩෙන ඵලවැල අනුභව කරමින් මිනිස් වාසයෙන් බැහැරව විසූ උන්වහන්සේගේ මුහුණට සිරිපා අඩවියේ වෙසෙන වලසෙක් පැන හානි කිරීමෙන් පසු මුහුණෙහි යම් විකෘති බවක් ඇතිව තිබූ බවයි. වලසා පැනීමෙන් පසු ප‍්‍රතිකාර කරගෙන ඇත්තේ ද ඒ හිමියන් විසින් බවත් කැලෑ කොළ ඖෂධ ලෙස භාවිත කර ඇති බවත් සිද්ධිය ගැන දන්නා වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම කීහ. මේ අතර තවත් තොරතුරකින් කියවුණේ ජීවිතයේ සැදෑ සමයේ මේ හිමිනම සිරිපා අඩවියෙන් ගම්මානයකට පැමිණ විහාරස්ථානයක වැඩ විසිමින් සිටිය දී අපවත්වූ බවයි.

අවාරය සිරිපා අඩවියේ වන සතුන් නිදහසේ එහාමෙහා යන කාලය ලෙස සිරිපා අඩවිය අවට ගම්වල වැසියෝ කියති. අවාරයට සුදු ඇතා ද සමනොළ අඩවියේ සැරිසරන නිසා සමනොළ කන්ද පාමුල ප‍්‍රදේශයට නොයා යුතුය යන අදහසක් බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ පැරැුණියන් අතර විශ්වාසයක් පවතී. එමෙන්ම රත්නපුර පැරණි රජ මාවත ඔස්සේ ගිලීමලේ රංකොත් විහාරය ද වැද සිරිපා වදින්නට එන බැතිමත්හු අතීතයේ හිරු අවරට ගිය පසු උඩුතුලාන කදිරවාන් ඇළෙන් එගොඩ නරහින්වලින් ඉදිරියට ගමන් නොකරතියි කියති. විශේෂයෙන් රාත‍්‍රි කාලයට මෙතැනට හේවිසි හඩ ඇසෙන බවත් හාස්කම් නිසා මෙසේ රාති‍්‍ර කාලයට නොයන බව ද කියති.

තවත් එක් කතාවකට අනුව ගිනිගත්හේනට නුදුරු සිල්මාතාවක් තවත් සිල්මාතාවන් සමඟ ශ්‍රී පාද වන් දනාවේ ගියාය. වෙහෙසට පත්වූ ඔවුහු පියගැටපෙලේ මඳක වාඩි වී ගිමන් හැරියාහ. දෙපා ඉදිමී තුවාල වලින් දෙකකුල් වැසී ගිය මහල්ලෙක් අවුත් සිල්මාතාවන් පසුකර හැරමිටියක ආධාරයෙන් පියගැටපෙළ නගිමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. සිල් මාතාවට ඇතිවූයේ දැඩි පිළිකුලකි. මේ මහළු තුවාල කරු කවදා කෙසේ ශ්‍රී පාදය නඟින්නදැයි සියල්ලෝම කතාබහ කළහ. ටික වේලාවකින් නැවතත් ගමන පටන් ගත් සිල්මාතාවරු තවත් සැතපුම් 2ක් පමණ ඉහළට ගොස් පියගැටපෙළේ වාඩිවී ගිමන් හරින්නට වූහ. තුවාල පිරී ගිය කකුල් ඉදිමුණු අර මහළු මිනිසා දෙවැනි වරටත් ඔවුන් පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. රෝගී මහළු මිනිසා මෙම ස්ථානයට පැමිණි හැටි ඔවුනට පුදුමයක් විය. විවේකය නිමාකොට නැවත ගමන ඇරඹූ සිල්මාතාවරු මහගිරිදඹය අසළ තුන්වැනි වරටත් නැවතී විවේක ගැනීමට වූහ. පාද පුරා තුවාල පිරුණු පිළිකුල් සහගත රෝගී මහල්ලා 3න් වන වරටත් ඔවුන්ව පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා සෙත් පැතුවේය. ඇය පිළිකුලෙන් යුතුව මුහුණ පසෙකට හරවා ගත්තාය. මේ රෝගියා මේ තරම් ඉක්මනින් කඳු මුදුනට ආවේ කෙසේදැයි ඔවුනට ගැටලුවක් විය. ශ්‍රී පාද පද්මය මුදුනට ගිය සිල් මෑණිවරු ඉර සේවය උදා වනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කිරීමට වූහ. පුදුමයකි, නායක සිල් මාතාවගේ මුහුණට එක්වරම අමුතු ආලෝකයක් පතිත විය.
”දරුවා, මං උඹට තුන්සැරයක් කතා කළා. මතකද?” ඒ හඬ හා ආලෝකය අතුරුදන් විය. නායක සිල් මාතාව සහ ඇගේ පිරිවර උතුරා යන භක්තියෙන් ශ්‍රී පාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දුන්හ.
දෙසැම්බර් මස උඳුවප් පුර පසළොස්වක උදාව සමඟ රත්නපුර ගල්පොත්තාවල විහාරයේ සිට හාස්කම් පිරුණු සමන් දෙවි රුව රිය පෙරහරකින් නල්ලතන්නියට වැඩම කරවයි.

නල්ලතන්නියේ සිට සමන් දෙව් රුව ඉතා ගෞරවයෙන් හිස මත තබාගෙන පියගැට පෙළ දිගේ පෙරහරින් වැඩමවීම චාරිත්‍රයයි. එහෙත් මෑත සිට සමන් දෙවිරුව ඉහළට වැඩමවීමට මධ්‍යම පළාත් සභාව මඟින් විශේෂ දෝලාවක් පුදා ඇත.

අතරමඟ සමන් දෙව්රුව ඉහළට වැඩමවද්දී රත් හඳුන් ලීයෙන් නෙළා ඇති හාස්කම් පිරුණු සමන් දෙවි රූපය සීත ගඟුලේදී පවිත්‍ර සීතල ජලයෙන් පිරිසුදු කර ඉහළට වැඩමවීම පැරැණි චාරිත්‍රයයි.

හැටන් පාරෙන් යන විට හමුවන සීත ගඟුල යනු ශ්‍රී පාදයේ ඉහළ කඳු මුදුනේ සිට පහළට ගලා එන කැලණි ගඟට මුල්වන දිය දහරාවලින් එකකි. ශ්‍රීපාද පද්මයේ සිට ගලා එන මහ සීත ගඟුල –කුඩා සීත ගඟුල යන දිය දහරා දෙක සීත ගඟුලේදී එකට එකතුවෙයි. ශ්‍රී පාද පද්මය පිහිටි ශ්‍රී පාද කන්ද අවට කැළෑවේ ඉබේ වැවෙන රන් දෝතලු මල් හා අතු සීත ගඟුල දිගේ පහළට පාවී එයි.

ශ්‍රී පාද පද්මයේ දී ඉපැරැණි චාරිත්‍ර අනුව මළුව පවිත්‍ර කර පිරිත් දේශනා කර සමන් දේවාලයේ සමන් දෙවිරුව තැන්පත් කරයි. ශ්‍රීපාද වන්දනා සමය නිමවන වෙසක් පසළොස්වක දා වනතුරු ඉමහත් පුද සත්කාර සහිත ව ශ්‍රීපාද පද්මයේ සමන් දේවාල කුටියේ සමන් දෙවිඳුගේ කුටිය වැඩ සිටී.

සමන් දෙව්රුව ශ්‍රීපාද පද්මයට වැඩම කිරීමට පෙරහරින් ගෙන එද්දී නල්ලතන්නියේදී සමන් දේව රූපයට රන් මාලයක් පැලැඳ වීමට ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් අතර තියුණු තරගයක් ඇතිවෙයි. එක් අවුරුද්දකදී සමන් දෙවිරුවට පැලඳ විය හැක්කේ එක් රන්මාලයකි. ඒ රන්මාලය පැලැඳවීමට හිමිකම ලැබෙන ව්‍යාපාරිකයාට ඒ වර්ෂයේ ඉමහත් වාසනාව ධන ධාන්‍ය මිල මුදල් වස්තුව සැප සම්පත් දේව පිහිට ලැබෙන බව විශ්වාසයයි. මේ නිසා ම ව්‍යාපාරික හා ධනවත් අය අතර දේව රූපයට රන් මාලයක් පැලැඳවීමට ඇතිවන තරගය විශාල ය.

සඳුන් ලීයෙන් නෙළා ඇති අවුරුදු අටසීයකට වඩා පැරැණි සමන් දේව රූපයට පලඳවන අලුත් රන්මාලය පැරැණි අවුරුදුවලදී පැලඳ වූ සියලු රන් මාල හා එකට එකතු වී ගණකම ඇති එක ම රන් මාලයක් බවට පත්වන බව සමන් දේවාල කපු මහතුන් හා ආවතේව කරන භික්ෂූන් වහන්සේගේ විශ්වාසයයි.

“හැටන් ශ්‍රීපාද මහා විද්‍යාලය හා මස්කෙළිය සමන්එළිය යන විද්‍යාලවල විදුහල්පති ලෙස ශ්‍රී පාද අඩවියේ අවුරුදු පහකට කිට්ටු කාලයක් සේවය කළ මම රත්හඳුන් ලීයෙන් නෙළූ සමන් දේව රූපයේ පැරැණි රන්මාල සමඟ අලුතින් පැලැඳ වූ රන් මාලය එකට එකතු වී ගණකම ඇති එක ම රන්මාලයක් ලෙස එකට එකතු වී ඇලී සකස් වී ඇති අයුරු ශ්‍රී පාද පද්මයේ සමන් දේවරූපය දෙස බොහෝ වේලා බලා සිටියදී උතුරා යන භක්තියෙන් දැකගතිමි ”යි ලෙසින් එස්.කේ.ජයවර්ධන වත්තේගම නම් හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහතා පැවසීය.

මෙවන් පරම පූජනීය ලොව්තුරා බුදු හිමියන්ගේ ශ්‍රීපාදය වැදපුදාගැනීමට ලැබීම අප ලද භාග්‍යයක් සේ හදුන්වන්නට පුලුවන්. එහෙත් අද යන බොහෝ පිරිස් මතු පැන්, මත් ද්‍රව්‍ය රැගෙන යමින් සිදුකරන්නේ මහා විනාශයක්. සසර කෙටිකර ගැනීමට පින්කම් කරනු වෙනුවට සසර දිගු කරගැනීමට මහා පව් කරන්දරාවක් මොවුන් පුරවා ගනිති. ඔබත් ශ්‍රීපාදය පුණ්‍ය භූමිය මහත් ශ්‍රද්ධාවෙන් වැදපුදා ගන්නට පුරුදු වන්න.

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

( අන්තර්ජාලය ඇසුරිනි)

ලොවටම බුදු බලය කියාදුන් මහා ඛේදවාචකය
සිරුරට ඇති ආශාව අත්හරිමු.

Join the discussion One Comment

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.