නික්ලේශී වහරණ ඇති සහ දක්‍ෂිණාර්ග භික්‍ෂූන් අතුරින් අග තනතුර ලැබූ සුභූති මහරහතන් වහන්සේ - IFBC Organization | Dhamma

පින්වත් යාලුවනේ ඔබට නොදැනුනාට අපි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා දොළොස් නමක් ගැන මේ වෙනකොට කථා කරල තියෙනව. අද කථා කරන්නෙ දහතුන්වැනි තැනට වැඩ ඉන්න පරම පූජනීය සුභ+ති මහ රහතන් වහන්සේ ගැනයි. ඉතින් මේ අති උත්තම, මහරහතන්වහන්සේලාගේ චරිත ලක්ෂණ ඔබේ ජීවිතයටත් එක්කරගන්න.

අප ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි නික්ලේශී වහරණ ඇති සහ දක්‍ෂිණාර්ග භික්‍ෂූන් අතුරින් අග තනතුර ලබන ලද්දේ සුභූති මහරහතන් වහන්සේයි.

නික්ලේශී රහතන් වහන්සේ වශයෙන් අගතනතුරට පත් වූවත් අනෙකුත් රහතන් වහන්සේලාත් සියලු කෙලෙස් නැති කරන ලද බව පැහැදිලියි. එසේ වුවත් ධර්ම දේශනා කිරීමේ දී බුදුරදුන් හා සමාන ලෙසම ඒ ආකාරයටම අල්පවූ ද ලෝභ ආදී ක්ලේශයක් ඇති නොවන අන්දමට දේශනා පැවැත්වීම සුභූති රහතන් වහන්සේගේ ලක්‍ෂණයයි. රහත් වූවත් අන් බොහෝ අය තුළ මේ සඳහන් කළ ලක්‍ෂණය නෑ. ධර්මය අසා සිටින සමහරුන්ගේ සිත් තුළ නොදැනීම කෙලෙස් ඇති වන්නට පුළුවනි. මේ තත්ත්වය සුභුති රහතන් වහන්සේගේ දේශන තුළින් ඇති වන්නේ නෑ. අග තනතුර ලැබූ දෙවන කරුණ දක්‍ෂිණාර්හ භාවයයි. අනෙකුත් ශ්‍රාවක සංඝයා වහන්සේ දක්‍ෂිණාර්හ වූවත් මේ තුළ විශේෂත්වයක් තිබුණා. පිඬු පිණිස හැසිරෙන කල්හි ගෙයක් ගෙයක් පාසා මෛත්‍රි ධ්‍යානයට සම වැදි ඉන් නැගිට පිඬු සිඟන නිවස වෙත වැඩම වනවා. හැම නිවසකින්ම පිඬු ලබා ගැනීමට පෙර මෙසේ ධ්‍යානයට සම වදින වෙනත් භික්‍ෂු නමක් සොයා ගැනීම අමාරුයි. මේ අන්දමට පිණ්ඩපාතය ලැබීමට පෙර ධ්‍යානයට සම වැදීම නිසා දායකයන් හට දානය පූජා කිරීමෙන් මහත් ආනිශංසයක් ලැබෙනවා. මේ නිසා බුදුරදුන් “ඵදග්ගං භික්‍ඛවේ මම සාවකානං භික්‍ඛුණං අරණ විහාරීනං දක්‍ඛිණෙය්‍යතං යදිදං සුභූති” යනුවෙන් නික්ලේශී විහරණය සහ දක්‍ෂිණාර්හත්වය සලකා සුභූති හිමියන්ට අග්‍රස්ථානය පිරිනැමුවා.

සුභූති මහරහතන් වහන්සේ මේ අග තනතුර ලබා ගැනීම සඳහා කල්ප ලක්‍ෂයක් වැනි දීර්ඝ කාලයක් පාරම්තා පිරූ බව ධර්ම ග්‍රන්ථ පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන් පදුමුත්තර බුදුරදුන්ගේ කාලයෙහි නන්ද නමින් උපත ලබා කුඩා අවධියේ දී ත්‍රිවේදයෙහි කෙළවර තෙක් ඉගෙන ගත්තා. එහි හරයක් නොදැන මහත් පිරිවර සමග හිමාලයට ගොස් තවුස් පැවිද්ද ලබා භාවනා කොට පඤ්චාභිඥා හා අෂ්ටසමාපත්ති උපදවා ගත්තා.

බුදුරදුන් ලෝකයේ පහළ වීමට පෙර විමුක්තිය පතා භාවනා කළ අපමණ තවුසන් සිටියා. එයින් සමහර අය භාවනා කිරීමේ බලයෙන් සිත දියුණු කොට ඉහත සඳහන් අභිඥා සහ සමාපත්ති උපදවා ගත් බව අසිත සහ ආලාර කාලාම වැනි තවුසන්ගෙන් පැහැදිලි වනවා. ඒ අතුරින් අභිඥා පස උපදවා ගැනීම ප්‍රාග් බෞද්ධ යුගයෙහි ඉතා උසස් ගෞරවණීය දෙයක්. අහසෙන් යාම, නොපෙනීයාම ආදී දේ සිදු කිරීමට පුළුවන් වන සෘද්ධිවිධ ඥානය අභිඥා පහෙන් එකක්. දිව්‍ය ශෝත ඥානය නමින් දැක්වෙන ඥානයෙන් අපේ සාමාන්‍ය කණට නොඇසෙන ඉතා දුරවූත් ඉතා සියුම් වූත් ශබ්ද ඇසීමට පුළුවන් වෙනවා. එක් එක් පුද්ගලයන්ගේ සිත් වල ඇතිවන රාග, දෝස, මෝහ සහිත තත්ත්වයන් දැනගැනීමට පරචිත්ත විජානන ඥානය නිසා පුළුවන් වෙනවා. සිවුවනවූ පූර්වේ නිවාසානුස්මෘති ඥානය ලැබීම නිසා මෙයට පෙර ආත්මවල කවර කවර ආත්මයන් ලබා කවර ආකාරයෙන් ජීවත් වූයේ දැයි දැන ගන්නට හැකි වෙනවා. පස්වැන්න වූ දිව්‍ය චක්ෂූර් ඥානය ලැබූ විට සාමාන්‍ය ඇසට නොපෙනෙන ඉතා ඈත තිබෙන නොයෙක් දේ දැක ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මෙයටත් වඩා සිත දියුණු කිරීමෙන් තමයි අෂ්ට සමාපත්ති උපදවා ගන්නේ.

ධ්‍යාන ලබා ගැනීමට සිත දියුණු කිරීමේ දී කෙලෙස් නැති වෙනවා. සාමාන්‍යයෙන් තමා ආසාවෙන් රැස් කරන ධනය කෙරෙහි ආසාවක් නැතිව වියදම් කොට දානයක් දෙන කෙනෙකුගේ සිතෙහි ද කෙලෙස් නැතිවෙනවා. හැබැයි එය ඒ වෙලාවට පමණක් කෙළෙස් නැති කිරීමෙන් සිදු කරන කුසලයක් චිත්ත භාවනාවේ යෙදීමෙන් කලින් දැක් වූ අන්දමට ධ්‍යාන උපදවා ගත් විට සම්පූර්ණයෙන් කෙලෙස් නොපෙනෙන අන්දමට යටපත් වී තිබෙනවා. එය හරියට අලු හෝ වැලි යට ගිනි පුපුරු තිබෙනවා වගෙයි. කවර හෝ රාගික හැඟීමක් ඇති වුවහොත් කෙලෙස් මතු වීම නිසා ලබා තිබූ සියලු ධ්‍යාන නැති වන්නට පුළුවන්. විදර්ශනා ප්‍රඥාව වැඩීම නිසා ඒ සැඟවී සිටින සියලු කෙලෙස් නැති කර දාන්න පුළුවනි. එසේ කළ තැනැත්තා රහතන් වහන්සේ නමින් හඳුන්වනවා.

ඉහත දැක් වූ සුභූති හිමියන් භාවනා කිරීමෙන් කෙලෙස් යටපත් කොට ධ්‍යාන උපදවා ගන්න සමත් වුණා. දිවැස් යොමු කළ පදුමුත්තර බුදුරදුන් නන්ද තවුසාණන් වෙත වැඩමවා සිටියෙන් තම පිරිස සමග නොකඩවා සත් දිනක් බුදුරදුන් ප්‍රධාන සංඝ රත්නයට දන් පුදා උපස්ථාන කරන්නට පුළුවන්කම ලැබුණා. අප බුදුරදුන් කළ ඉහත දැක් වූ තනතුර ලබන බවට විවරණය ලැබුවේ මෙහිදී.

කල්ප ලක්‍ෂයක් සැරි සරා අප ගෞතම බුදුරදුන් කළ සැවැත් නුවර සුමණ සිටු නිවසෙහි ‘බබලන ශරීරයක් ඇත’ යන අර්ථය ඇති සුභූති නමින් උපත ලැබුවා. බුදුසසුනෙහි පැහැදුනු අනේපිඬු සිටුතුමා සමග ජේතවනාරාමයට ගොස් බන අසා පැහැද පැවිදිව භාවනා කොට රහත් භාවය ලබා ගත්තා. සුභූති රහත් හිමිපාණන්ගේ ක්ලේශයන් ගෙන් තොර වූ දේශනාවත්, දායක පක්‍ෂයට මහත් ආනිශංස ලබාදෙන දක්‍ෂිණාර්භ තත්ත්වයත් බුදුරදුන් අගය කොට දැක්වීම නිසා අගතනතුර ලබා ගැනීමට හැකි වුණා.

( උපුටාගැනීම http://www.lakehouse.lk/budusarana/2012/05/12/tmp.asp?ID=fea04 )

හෙළ කුල කත කොහි ගියාද ?
ආරණ්‍යය ශ්‍රාවක භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට පත් ඛදිරවනිය රේවත මහා ශ්‍රාවකයන් වහන්සේ

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.