නාරද බුද්ධ වංශය ( Narada Buddha Wanshaya ) - IFBC Organization | Dhamma

පදුම බුදුරජුන් ට පසුකාලයෙ හි දෙපා ඇති සතුන් ට උතුම් වූ අසම වූ  සමාන පුද්ගලයෙක් නැති නමින් “නාරද” නම් වූ සම්බුදු රජතෙම වී ය. ඒ නාරද බුදුරජතෙම සක්විති රජු ගේ ළයෙ හි වැඩුණු ආදරණීය දෙටුපුත් ය. පළඳින ලද මාලාභරණ ඇත්තේ ධනඤ්ජය නම් උයනට එළඹියේ ය.
ඒ උයනෙ හි ලෝකයෙ හි ප්‍රසිද්ධ ව දැකුම්කළු හොඳින් වැඩුණු මහත් පිවිතුරු රත්තොටිල ගසක් විය. ඒ ගස කරා පැමිණ මහ රත්තොටිල ගස යට හුන්නේ ය. ඒ තොටිල ගස මුල දී වජ්‍රයකට බඳු තියුණු වූ පමණ කළ නො හැකි සර්වඥතාඥානය උපනි.  ඒ ඥානයෙන් ඇතිවීම් වශයෙන් සියලු සංස්කාරයන් විමසීම කළේ ය.


ඒ තොටිල ගස මුල දී සියලු කෙලෙසුන් ඉතිරු නො කොට විනාශය ට පැමිණ වී ය. හුදෙක් තනි රහත් මග නුවණ ට ද, තුදුස් බුදු නැණ ට ද පැමිණි සේක.

උන්වහන්සේ බුදු බව ට පැමිණ දම්සක් පැවැත්වූ සේක. කෝටි ලක‍ෂයක් දෙනා ට පළමු වන ධර්මවබෝධය වී ය.

ඒ කාලයෙ හි නාරද මහමුනිසඳු  “මහාදොණ” නම් නාගරාජයා හික්මවමින් දෙවියන් සහිත ලෝකයා දක්වමින් යමාමහ පෙළහරක් කළ සේක. ඒ කාලයෙහි කළ ඒ දම්දෙසු මෙ හි දී කෝටි අසූ දහසක් දෙවි මිනිස්සු සියලු සැක දුරු කළ හ.

මහාවීර වූ නාරද බුදුරජතෙම යම් කාලයක සිය පුතු ට අවවාද කළ සේක් ද, ඒ කාලයෙහි කෝටි අසූ දහසක් දෙනා ට තුන්වන ධර්මවබෝධය වී ය. මහඍෂී වු නාරද බුදුරජුන් ට ශ්‍රාවකයන් ගේ රැස්වීම් තුනක් වූ හ. කෝටි ලක‍ෂයක් දෙනා ගේ පළමු වන සමාගමය වී ය.
යම් කාලයෙක නාරද බුදුරජතෙම බුදුගුණ කරුණු සහිත ව ප්‍රකාශ කළ සේක් ද,  එ දා කෝටි අනූදහසක් රහතන් වහන්සේලා දෙවන වර රැස්වූ හ. යම් කාලයෙක “වෙරොචන” නම් නාගරාජ තෙම ශාස්තෘන් වහන්සේ ට දානයක් දුන්නේ ද, එ දා අසූ ලක‍ෂයක් පමණ ජිනපුත්‍රයෝ රහත්හු තුන්වන වර රැස්වූ හ. මම ඒ කාලයෙ හි දැඩිලෙස කෙලෙස් තැවූ පඤ්චාභිඥාවන් හි පරතෙර ට පැමිණි  අහසෙ හිගමන් කරන ජටිලයෙක් වීමි. ඒ කාලයෙ හි ද මම සංඝයා සහිත වූ පිරිවර ඇති උපාසක ජනයා සහිත වූ අසමසම වූ බුදුරජුන් ආහාරපානයෙන් වළඳවා සඳුනෙන් මනා ව පිදිවෙමි.

ලෝනාහිමි වූ ඒ නාරද බුදුරජතෙමේ මේ ජටිල තෙම මෙයින් අපමන කපෙ හි බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද,කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය. මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය.”කෝලිත” ද,”උපතිස්ස” ද,යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ. “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය.”ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි. අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.  අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ පදුම බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු. එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ සුමන බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ නාරද බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

ඒ බුදුරදුන් ගේ ද, වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙ හි වතක් ඉටුවෙමි.

මහඍෂී වූ නාරද බුදුරදුන් ගේ උපන් නුවර “ධඤ්ඤවතී” නමි.  පියතෙම “සුදේව” නම් රජ ය. වැදූ මව්තොමෝ “අනොමා” නම් වූවා ය. ඒ නාරද බුදුරජතෙම බුදුවීම ට පෙර අවුරුදු නව දහසක්  ගිහිගෙයි විසී ය.”ජිත” ය,  “විජිත” ය,  “අභිරාම” ය යන උතුම් ප්‍රාසාද තුනක් වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් තුන් දහසකි.  බිරිඳ “විජිත සේනා” නම් වූවා ය. පුත් තෙම “නන්දිත්තර” නම් වී ය. සතර පෙර නිමිති දැක  පා ගමණින් මහබිනික්මන් කළේ ය. නාරද ලෝනා හිමි සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්යය කළේ ය.

මහාවීර වූ නාරද ලෝනා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ,  “ධනඤ්ජය” නම් උතුම් උයනෙ හි දී දම්සක් පැවැත්වූ සේක. මහඍෂී වූ නාරද බුදුරදුන් ට “භද්දසාල” ද,  “ජිනමිත්ත” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම “වාසෙට්ඨ” නම් වී ය. “උත්තරා” ද,  “ඵග්ගුණී” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝරුක “තොටිල” ගස ය යි කියනු ලැබේ. “උග්ගරින‍ද” ද,  “වසභ” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වු හ.   “ඉන්දවරී” ද,  “ඉන්දී” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.

අසූඅට රියනක් උස් වූ රන් ඇගෑවක් (පහන් කණුවක්) බඳු නාරද මහමුනිඳු තෙම දස දහසක් සක්වළවල් බබළවති. ඒ නාරද බුදුරජුන් ගේ ශරීරයෙන් බඹයක් පමණ වූ ආලෝකය හාත්පස නිතර දිවෙයි.  පැතිරෙයි.   දවල් ද, රෑ ද, නිතර යොදුනක් තැන් පතුරුවයි. ඒ කාලයෙ හි නාරද බුදුරජුන් ගේ රශ්මියෙන් පැතිරුණු හාත්පස යොදුනක් පමණ තැන ඇතැම් ජනයෝ පන්දම් ද,  පහන් ද, නො දල්වත්.
ඒ කාලයෙ හි අවුරුදු අනූදහසක් ආයුෂ පවතී.  ඒ නාරද බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක. යම් සේ තරු සමූහයන් කරණකොටගෙන අහස විසිතුරු ව හොබී ද,  එ පරිද්දෙන් ම උන්වහන්සේ ගේ ශාසනය රහතුන් කරණකොට ගෙන ශෝභාවත් විය.

ඒ නරදෙටු නාරද බුදුරජතෙම රහතුන් හැර සෙසු පිළිවෙත් පිරූ පුද්ගලයන් ට සංසාර නමැති සැඩපහර එතර කිරීම පිණිස මාර්ග නැමැති හෙය (ඒදණ්ඩ) දැඩිකොට තබා පිරිනිවි සේක. සමස ම වූ ඒ නාරද බුදුරජතෙමේ ද, අසමාන තෙද ඇති ඒ රහත්හු ද යන සියල්ල අතුරුදන් වී ය. සියලු සංස්කාරයෝ සිස්වූවාහු නො වෙත් ද?

නාරද ජිනරාජයන් වහන්සේ “සුදස්සන” නම් නුවරෙ හි පිරිනිවි සේක. ඒ නුවරෙ හි ම ජිනථූපය දාගැබ තුන් යොදුනක් උස ට නැගුනේ ය.

[ඛුද්දක නිකාය , බුද්ධවංශ පාළි, නාරද බුද්ධවංශය]

උපුටා ගැනීම -www.thiryak.org

පදුමුත්තර බුද්ධ වංශය. ( Padumuttara Buddha Wanshaya )
පදුම බුද්ධ වංශය. ( Paduma Buddha Wanshaya )

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.