පන්සාළිස් වසක් පුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ශ‍්‍රී සද්ධර්මයේ ස්පර්ශය ලැබූ දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවූයේ සිව්වැනි සියවසේ කිත්සිරි මෙවන් රජ දවසය. මහින්දාගමනයත් සමඟ බුදු දහමින් පෝෂිත වූ මෙරට ජන ජීවිතය එතැන් පටන් තෙරුවන් මූලික කරගත් සමාජයක් බවට පරිවර්තනය විය. දළදා වහන්සේත්, මහජනතාව සහ රජදරුවන් අතරත් ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනැඟුණු අතර දළදා හිමි ධාර්මිකත්වයේ හා සෞභාග්‍යයේ සංකේතය බවට පත්විය. දළදා වහන්සේ රාජ්‍යයේ උරුමය සංකේතවත් කළ නිසා කලින් කල නායකත්වය හෙබවූ රජ දරුවන් උන්වහන්සේ රැක බලා ගන්නටත්, පුද සත්කාර නො පිරිහෙළා ඉටු කරන්නටත් ඇප කැප වූහ.

දළදා හිමියන් අප රටට වැඩම කරවූයේ කාලිංග දේශයෙනි. කිත්සිරිමෙවන් රජුගේ පියාණන් වූ මහසෙන් රජතුමා කාලිංග දේශයේ රජුගෙන් කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙසය. දන්ත ධාතූන්වහන්සේ ලබා දිය නොහැකි නම් උන්වහන්සේ දෝවනය කළ පැන් ටිකක් හෝ ලබා දෙන ලෙස මහසෙන් රජු කළ ඉල්ලීමක් පිළිබඳ ව දාඨාවංශයෙහි සඳහන්ය.

දළදා වහන්සේ සම්බන්ධයෙන් කාලිංග දේශයේ ඇති වූ අරගලකාරී තත්ත්වය යටතේ මේ ඉල්ලීම සලකා බැලූ කාලිංග දේශයේ රජු දළදාවේ ආරක්ෂාව පතා උන්වහන්සේ ලංකාවට එවීමට තීරණය කළේය.


ඒ අනුව ගුහසීව රජු සිය දියණිය වූ හේමමාලා සහ දන්ත කුමරු මාර්ගයෙන් දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවූහ. එකල මෙහි පාලනය ගෙන ගියේ කිත්සිරිමෙවන් රජු ය. දළදා හිමියන් සමඟ ලක්දිවට පැමිණි පිරිස හරසරින් පිළිගත් කිත්සිරිමෙවන් රජු දළදා වහන්සේ අනුරාධපුරයට වැඩම කරවා මේඝගිරි විහාරයේ තැන්පත් කරවූහ. දළදා වහන්සේ උදෙසා තම මව් බිම ද පූජා කළේය. දළදා හිමියන් ධම්මචක්ක ගෘහයෙහි වැඩ හිඳුවා නිරන්තරව පුද පුජා පැවැත්වූහ.

අනාගතයෙහි දී ද රජදරුවන් විසින් ඒ අයුරින් ම පුද පිළිවෙත් කළ යුතුª බව ග‍්‍රන්ථාරූඪ කළේය. රජතුමා, ධම්මචක්ක ගෘහයෙහි වැඩ සිටි දළදා වහන්සේ වාර්ෂිකව අභයගිරි විහාරය දක්වා පෙරහරින් වැඩම කරවූ බව ද ඉතිහාසයේ සඳහන් වේ. පාහියන් නම් වූ චීන ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේ ගේ වාර්තාවල සඳහන් වන ලෙස දළදා වහන්සේ උදෙසා දින අනූවක් තිස්සේ පෙරහර පැවැත්වූහ. උන්වහන්සේ දුටු පරිදි එදා පෙරහර ගමන්ගත් මාර්ගය දෙපස බෝධිසත්ත්ව චරිත චිත‍්‍රයට නඟා තිබිණි. මඟ දෙපස රැස්වූ පිරිස් දළදා හිමියන්ට සුවඳ මලින් පූජා කළහ.

කිත්සිරි මෙවන් රජු ගේ ආභාෂය ලද කලින් කල රජ පැමිණි රජදරුවන් ද දළදා හිමියන් උදෙසා වූ පුද පිළිවෙත් නොපිරිහෙළා ඉටු කළහ. පෙරහර ද සංවිධානය කළහ. රජමැදුර ආසන්නයේ ම දළදා මාලිගය ඉදිකරවා දළදා හිමියන් එහි වැඩ හිඳවූහ. රාජධානි මාරුවීමත් සමඟ දන්ත ධාතූන් වහන්සේ ද ඒ ඒ රාජධානි කරා වැඩම කරවීමට කටයුතු කළහ.

කි‍්‍ර.ව.455-473 අතර කාලය අනුරාධපුර රාජධානිය කොට ගත් ධාතුසේන රජු දළදා මැදුර ප‍්‍රතිසංස්කරණය කොට දළදා වහන්සේ වෙනුවෙන් කරඬුවක් ද පූජා කළ බව පොත පතේ සඳහන්ය. පළමුවැනි අග්ගබෝධි, දෙවැනි සේන, සිවුවැනි මිහිඳු ආදී රජවරුන් ද දළදා වහන්සේ උදෙසා කළ පුද පූජාවන් පිළිබඳ ව තොරතුරු අනාවරණය වේ.

කි‍්‍ර.ව.1055 දී රජ පැමිණි පළමුවැනි විජයබාහු රජු පොළොන්නරුව සිය රාජධානිය කොට ගත්තේ ය. ඒ සමඟම දීර්ඝ කාලයක් අනුරාධපුර රාජධානියේ වැඩසිටි දන්ත ධාතූන් වහන්සේ ද පොළොන්නරුවට වැඩම කරවූහ. රජු විසින් එහි දළදා මාලිගයක් ද කරවා පුදපූජා පැවැත්වූහ. ඉන්පසුව දළදාව හා සම්බන්ධ වූ සමාජයීය ආකල්ප ද වැඩිදියුණු විය.

රාජ්‍යත්වය ලැබීමට නම් දළදා වහන්සේ ගේ අයිතිය අනිවාර්යය යන සංකල්පය ජන විඥානයෙහි වර්ධනය විය. විජයබාහු රජුගෙන් පසු රාජ්‍යය බාරගත් මහා පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ ද රාජ්‍ය බලය ලබාගැනීම සඳහා වූ ගැටුම් නිසා දළදා වහන්සේ ගේ ‘ආරක්ෂාව පිළිබඳ ව ගැටලු මතුවිණි. ඒ අවස්ථාවේ දළදා මාලිගාවත් දළදා වහන්සේත් රැකබලාගත්තේ වේලක්කාර හමුදාව විසිනි. වේලක්කාර සෙල්ලිපියේ මේ පිළිබඳ ව තොරතුරු දක්වා ඇත.

පොලොන්නරු රාජධානි සමයේ සිදු වූ දරුණු සතුරු ආක‍්‍රමණ නිසා දන්ත ධාතූන් වහන්සේ පොළොන්නරුවේ සිට කොත්මලේ ප‍්‍රදේශයට ගෙන ඒමට සිදුවිය. වාචිස්සර මහ තෙරුන් වහන්සේ ඒ සඳහා මූලික වූහ. තුන්වැනි විජයබාහු රජු දඹදෙණිය රාජධානිය ආරම්භ කිරීමෙන් පසු දළදා වහන්සේ ද එහි වැඩමවූහ. දළදා හිමි වැඩ හිඳුවීම සඳහා රජු විසින් බෙලිගල පර්වතය මුදුනේ දළදා මැදුරක් කර වූ බව ද සඳහන් වේ.

රාජධානි මාරුවීමත් සමඟ පසුකාලයේ දී යාපහුව, කුරුණෑගල, ගම්පොළ සහ කෝට්ටේ රාජධානිවලට ද දළදා වහන්සේ වැඩම කරවූහ. ගම්පොළ රාජධානි සමයේ හතරවැනි බුවනෙකබාහු රජු විසින් රිදී හත් දහසකින් ධාතු කරඬුවක් කරවා දළදා වහන්සේට පූජා කළ බව ද පැවසේ. ඉන්පසුව වීරබාහු කුමරු විසින් දළදා හිමියන් කෝට්ටේ රාජධානිය වෙත රැගෙන ආයේය. ඓතිහාසික අස්ගිරි තල්පතෙහි මේ පිළිබඳ ව සඳහන් කර ඇත.

කෝට්ටේ රාජධානිය පෘතුගීසීන් ගේ අණසකට නතු වීමත් සමඟ දළදා වහන්සේ උදෙසා වූ පුද පිළිවෙත් සීමාවිය.

මේ අවස්ථාවේ දළදා හිමි ගේ ආරක්ෂාව පතා හිරිපිටියේ දිවන රාළ නම් වූ ප‍්‍රභූවරයා විසින් දළදා හිමි දෙල්ගමුව ප‍්‍රදේශයට ගෙන එනු ලැබුවේය. එහි දී දෙල්ගමුව රජමහා විහාරයේ කුරහන් ගලක දළදා වහන්සේ සඟවා තබා ආරක්ෂා කරන ලදී.

දළදා වහන්සේ මහනුවරට වැඩම කරවන ලද්දේ කි‍්‍ර.ව. 1593 රජ වූ පළමු වැනි විමලධර්මසූරිය රජතුමා විසිනි. ඒ දෙවනගල රතනාලංකාර හිමියන් ගේ අනුශාසනා පරිදිය. පළමුවැනි විමලධර්මසූරිය රජු මුලින් කි‍්‍රස්තු භක්තිකයෙකි. බුදු දහම වැළඳ ගැනීමෙන් පසු හෙතෙම එහි දියුණුව උදෙසා කටයුතුª කළේය. එසේ වුවද දළදා හිමියන් උදෙසා පෙරහර පැවැත්වූ බවක් සඳහන් වන්නේ නැත. එකල පැවැති පෙරහර වැසි ලබා ගැනීම උදෙසා දෙවියන් වෙනුවෙන් කළ චාරිත‍්‍රයක් පමණක් විය.

පළමුවැනි විමලධර්මසූරිය රජුගෙන් පසු සෙනරත් රජු, දෙවැනි රාජසිංහ, දෙවැනි විමලධර්මසූරිය, වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ, ශ‍්‍රී විජයරාජසිංහ, ශ‍්‍රී රාජාධිරාජසිංහ, කීර්ති ශ‍්‍රී රාජසිංහ, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යන රජවරුන් මහනුවර රාජධානි කොට ගත්හ. සිංහල රජචරුවන් අනුව යමින් අවසන් නායක්කාර් වංශික රජවරු සිව්දෙනා ද දළදා වහන්සේ ආරක්ෂා කළහ. පුද පිළිවෙත් ඉටුකළහ.

මහනුවර රාජධානි සමයේ වැසි ලබාගැනීමේ පරමාර්ථයෙන් දෙවියන් උදෙසා පැවැති ඇසළ පෙරහරට දළදා පෙරහර සම්බන්ධ වූයේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ දවසය. සියම් දේශයෙන් මෙරටට උපසම්පදාව රැඟෙනවිත් බෞද්ධ ශාසනයේ පුනරුදයක් ඇති කිරීමට පුරෝගාමීවූ උපාලි මහ තෙරුන්වහන්සේ සහ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන් විසින් රජතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.

ඒ අනුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාල පෙරහරට ඉදිරියෙන් දළදා කරඬුව වැඩමවමින් බෞද්ධ අධ්‍යාත්මික සම්ප‍්‍රදාය අනුව යමින් පෙරහර පැවැත්වූහ. දේශීය සංස්කෘතිකාංග රාශියක් ද මේ පෙරහරට ඇතුළත් වූ බව මහාවංශයේ සඳහන් ය.

කි‍්‍ර.ව.1815 දී කන්ද උඩරට ඉංග‍්‍රීසීන් යටතට පත්වීමත් සමඟ දළදා පෙරහර පැවැත්වීමේ චාරිත‍්‍රය ද නතර විය. ඉංග‍්‍රීසීන් දළදා වහන්සේ තමන් භාරයේ තබාගනිමින් මේ රට පාලනය කිරීමට ඇති බලය ප‍්‍රදර්ශනය කළහ. එහෙත් දළදා හිමියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම ඔවුන්ට ප‍්‍රශ්නයක් විණි.

එම පිළිවෙත් ඉටු කිරීම එංගලන්ත රජු ගේ නියමයෙන් නතර කිරීමට සිදුවූ බැවිනි. ඉංග‍්‍රීසි ජාතිකයන් කි‍්‍රස්තු භක්තිකයන් වීම නිසා බෞද්ධ පුද පිළිවෙත් රැකීම ඔවුන්ට ගැටලුවක් වීම ඊට බලපෑ ප‍්‍රධාන හේතුව විය. මේ නිසා කි‍්‍ර.ව. 1853 දී ඉංග‍්‍රීසි ආණ්ඩුව විසින් දළදා හිමිගේ භාරකාරත්වය නැවතත් බෞද්ධයින් වෙත ලබාදෙන ලදී.

ඒ අනුව මල්වතු අස්ගිරි මහා විහාරයන්හි මහා නායක හිමිවරුන් වෙත දළදා හිමි ගේ භාරකාරත්වය හිමි වුණි. ගිහි බාරකරුවා ලෙස දියවඩන නිලමේවරයා පත් කළ අතර ඔහු සිය ජීවිත කාලය පුරා ම එම ධූරයට හිමිකම් කී ය. එහෙත් 1931 විහාර දේවාලගම් පනත අනුව එම කාලය වසර දහයකට සීමා විය. වර්තමාන යේ දී ද දළදා හිමි ගේ බාරකාරත්වය හිමි වන්නේ මල්වතු අස්ගිරි උභය විහාරයන්හි මහනායක ස්වාමීන්වහන්සේලාට සහ දියවඩන නිලමේතුමාටය.

කිත්සිරි මෙවන් රජ දවස අප රටට හිමි වූ උතුම් දළදා වහන්සේ සියවස් ගණනාවක් මුළුල්ලේ ආරක්ෂා කරගනිමින් අනාගත පරම්පරාවට දායාද කර දෙන්නට අප ගේ මුතුන්මිත්තෝ දිවිහිමියෙන් කැප වූහ. එසේ රැකගත් බෞද්ධයාගේ පරම පුජනීය වස්තුවක් බවට පත්වූ දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කරගැනීමත්, දළදා හිමියන් උදෙසා වූ පුද පිළිවෙත්, චාරිත‍්‍ර වාරිත‍්‍ර නො පිරිහෙලා ඉටු කිරීමත් අප සතු වගකීමක් වන්නේ ය.

උපුටා ගැනීම – http://www.silumina.lk/2009/08/02/Dalada/_art.asp?fn=ad0908026

දළදා පෙරහර අනාගතයට ...
දළදා වහන්සේ වැඩමවන ඇත් රජුන් ගැන හිත පිරෙන කතා ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.