ධර්ම කථිකයන් අතර අග්‍රස්ථානය දැරූ මන්තානි පුත්ත පුණ්ණ මහ රහතන් වහන්සේ …

අප බුදුරදුන්ගේ ශාසනයෙහි ශ්‍රාවකයන් අතර ධර්ම කථික භික්‍ෂූන් අතර අගතනතුර ලබා ගන්නා ලද්දේ මන්තානි පුත්ත පුණ්ණ තෙරණුවන් ය. කිඹුල්වත් නුවර මහා ධනවත් දෝණවත්ථු නම් බ්‍රාහ්මණ කුලයක උපත ලැබූ උන්වහන්සේගේ ගිහි නම පුණ්ණ යන්නයි. මව මන්තානි යනුවෙන් හැඳින්වූ අතර පසුව ඒ මවගේ නම ද සම්බන්ධ කොට මන්තාති පුත්ත පුණ්ණ යන නම ලැබුණි. පැවිද්ද ලබා ගත් පුණ්ණ තෙරුන් ටික කලක් කිඹුල්වත් නුවරම වැඩ සිටිමින් භාවනා කොට රහත් භාවය ලබා ගත්තා. උන් වහන්සේ සමග පැවිද්ද ලබා සිටි යහළුවන් පන්සියය ද රහත්භාවයට පත් වීමට තරම් වාසනාවන්ත වූවා. ටික කලකට පසු යහළු පන්සියයක් රහත් තෙරවරුන් බුදුරදුන් දැකීමට රජගහනුවර වේළුවනාරාමයට වැඩම වූවා. බුදුරදුන් සමග සාකච්ඡා කරමින් සිටිය දී දස කතාවස්තුවෙන් ධර්ම දේශනා කරන සහ භික්‍ෂූන්ට අවවාද දෙන භික්‍ෂු නමක් ඇත්දැයි බුදුරදුන් විමසුවා. එවිට භික්‍ෂූන්ගේ පිළිතුර වූයේ මත්තාති පුත්ත තෙරණුවන් එසේ ධර්ම දේශනා කරන බවයි.

බුද්ධ දේශනාවෙහි දැක්වෙන ඉතා උසස් වූ කථාවස්තු දහයකි. එහි පළමුවන කරුණ වශයෙන් දැක්වෙන අල්පේච්ඡ කථා යනුවෙන් සඳහන් වන්නේ තමාට යැපෙන තරම් සිවු පසය පිළිබඳ කැමැත්ත මිස එයට වැඩි දෙයක ආසාවක් නොමැතිකමයි. ලද දෙයින් සතුටු වීම සන්තුෂ්ටි කතා යනුවෙන් දෙවැන්න දැක්වෙනවා. කාය විවේක, චිත්ත විවේක සහ උපධි විවේක යන ත්‍රිවිධ විවේකයෙන් යුක්ත වීම විවේක කතා වශයෙන් හැඳින්වෙනවා. ආශ්‍රය කිරීමට නුසුදුසු අය සමඟ එකතු නොවීම අසංසර්ග කතා ලෙස සලකනවා. වීර්ය කතා යනුවෙන් පස්වෙන්නෙත් දැක්වෙන්නේ උට්ඨාන වීර්ය සම්බන්ධ කතායි.

ශිල කතා යන්නෙන් පන්සිල්, අටසිල්, දස සිල් ආදී ශීලයන් පිළිබඳ කතා කිරීමයි. සමාධි පිළිබඳ කථාව සමාධි කථා වශයෙනුත්, ප්‍රඥා පිළිබඳ කථා ප්‍රඥා කතා යනුවෙනුත් දැක්වෙනවා. නවවැන්න වශයෙන් දැක්වෙන්නේ කෙලසුන්ගෙන් මිදීම නම් වූ නිවන පිළිබඳ කථාව විමුක්ති කථාවයි. විමුක්ති ඥාන දර්ශන කථා යන දස වැන්නෙන් පෙන්වා දී ඇත්තේ ප්‍රත්‍යවේක්‍ෂා ඥානය පිළිබඳ කථාවයි. පුණ්ණ තෙරණුවන් මේ උතුම් වූ දස කතාවස්තූන්ගෙන් යුක්තව ධර්ම දේශනා කිරීම බුදුරදුන් මහත් සේ අගය කොට වදාළා.

පන්සියයක් රහත් හිමිවරුන් සමග බුදුරදුන් පැවැත් වූ ඉහත සඳහන් සාකච්ඡාව අසා සිටි සැරියුත් මහරහතන් වහන්සේ සිතුවා මන්තානි පුත්ත පුණ්ණ තෙරණුවන් හමුව සාකච්ඡා කරන්නට ලැබේනම් එය ඉතා යහපත් බව. පසුව බුදුරදුන් ජේතවනාරාමයට වැඩි අවස්ථාවක දී පුණ්ණ තෙරුන් බුදුරදුන් දැකීමට ගොස් වැඳ සාකච්ඡා කොට විවේක ගැනීම සඳහා අන්ධ වනයට වැඩමුවා. මේ බව දැනගත් සැරියුත් හිමියන් එම වනයට වැඩමවා පුණ්ණ තෙරුන්ගේ සුවදුක් විචාරා අවසානයේ ප්‍රශ්න කළා බුදුරදුන්ගේ ශාසනයෙහි ඔබ බඹසර හැසිරෙන්නේ සීල විසුද්ධිය ලබා ගැනීම පිණිස ද කියා. නැතැයි පිළිතුරු දුන් කල්හි, බඹසර රකින්නේ චිත්ත විසුද්ධිය පිණිසදැයි විමසුවා. එයට ද නැතැයි පිළිතුරු දුන් කල්හි එසේ නම් දිට්ඨි විසුද්ධිය පිණිස දැයි ප්‍රශ්න කළා. එයට ද දුන් පිළිතුර වූයේ නැත යන්නයි.

මේ අන්දමට කංඛා විතරණ විසුද්ධිය, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධිය, පටිපදාඤාණ දස්සන විසුද්ධිය, ඤණ දස්සන විසුද්ධිය යන සත්ත විසුද්ධීන් එකින් එක ඉදිරිපත් කොට එය උදා කරගැනීම සඳහා බඹසර රකින්නේ දැයි විමසුවා. සෑම එකකටම පිළිතුර වූයේ නැත යන්නයි. සප්ත විශුද්ධින් සඳහා බඹසර නොවසන්නේ නම් කුමක් සඳහා බඹසර රකින්නේ දැයි සැරියුත් හිමි නැවතත් ප්‍රශ්න කළා. එවිට පිළිතුර වූයේ බඹසර රකින්නේ ක්ලේශ පරිනිර්වාණය සඳහා යන්නයි. එසේ නම් සප්ත විසුද්ධියෙන් වෙන් වූ ක්ලේශ පරිනිර්වාණයක් තිබේදැයි සැරියුත් හිමියන් නැවත විමසුවා. එවිට පුණ්ණ හිමියන් එය පැහැදිලි කිරීමට කදිම නිදසුනක් ගෙනහැර දැක්වූවා.

සාකේත නුවරට යාමට අවශ්‍යතාවක් ඇති කොසොල් රජතුමා එක් රියකින් මද දුරක් ගොස් එය හැර තවත් රියකට නගිනවා. ටික දුරක් ගොස් තවත් එකකට වශයෙන් නගිමින් බසිමින් රිය හතකින් ගොස් ගමන නිම කරනවා. අමාත්‍යවරයෙකු මේ රියෙන්ම පැමිණියේ දැයි ඇසුවොත් පළමු රියෙන් ටික දුරක් අවුත් දෙවන රියටත් එයින් පසු තෙවන රියටත් නැග පිළිවෙළින් රිය හතකින් පැමිණුන බව ප්‍රකාශ කරන්ට වෙනවා.

අන්න ඒ වගේ එක් විසුද්ධියක් නිසාම නොව එක් එක් විසුද්ධීන්ට පැමිණ ක්ලේශ පරිනිර්වාණය සිදුවන බව පුණ්ණ හිමියන් පෙන්වා දුන්නා. බෙහෙවින් පැහැදුනු සැරියුත් හිමියන් මත්තාති පුත්ත පුණ්ණ හිමියන්ගේ නම විමසා ඔබ වහන්සේ වැනි කෙනෙකු සමග හැසිරෙන්ට ලැබීමත් මහත් භාග්‍යයක් යයි ගුණ වර්ණනා කළා.

එයින් අනතුරුව පුණ්ණ හිමියන් ද සැරියුත් හිමියන්ගෙන් නම කුමක් දැයි ප්‍රශ්න කළා. උන්වහන්සේ ද තමන්ගේ නම ප්‍රකාශ කිරීමත් සමග පුදුමයට පත් වූ පුණ්ණ හිමියන් ඔබ වහන්සේ වැනි උතුම් කෙනෙකු දකින්ට ලැබීමත්, ඇසුරු කරන්ට ලැබීමත් වාසනාවක් වශයෙන් පෙන්වා දුන්නා. පස්වග මහණුන්ගෙන් ප්‍රථමයා වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමියන් බුදුරදුන්ගෙන් වෙන්ව වනගත වීමට පෙර තම ගමට වැඩමවා පැවිදි කරන ලද්දේ බෑනනුවන් වූ මේ පුණ්ණ රහත් හිමියන් බව අප තේරුම් ගත යුතු ය. උන්වහන්සේ මේ බුදුසසුනෙහි ධර්ම කථිකයන් වහන්සේ අතර අග තනතුරු ලැබීමට තරම් භාග්‍ය සම්පන්න වුණා.

කෙටියෙන් දේශනා කරන ධර්මය විස්තර ලෙස දක්වන භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරූ මහා කච්චාන මහ රහතන් වහන්සේ ...
ඍද්ධිබලෙන් සදුන් පාත්‍රය ලබාගත් පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.