දේහයේ ඇට කටු දිරනවාද? - IFBC Organization | Dhamma

වර්ෂ 1922 දී වෛද්‍ය ඇන්තෝනියේ මිල්ෆ්ගන්ග් ඩි සිල්වා විසින් එම දේහය පරීක්‍ෂා කොට මෙසේ කියා තිබේ. මෙම දේහය විජලනය හෝ මමිකරණය කළ එකක්‌ නොවේ. කකුලෙන් බත් කෙන්ඩෙහි මෘදු බව නිසා එය ළඟදී එම්බාම් කරන ලද සිරුරක්‌ සේ පෙනේ. සාමාන්‍යයෙන් මෙය බෙහෙත් ගැල්වූ සිරුරක්‌ බවට නම් කළ හැක. යනුවෙනි. ශාන්ත සේවියර්තුමාගේ සිරුර නරක්‌ නොවී තබාගැනීම සඳහා කිසිදු අවස්‌ථාවක බෙහෙත් පාවිච්චි කළ බැව් හෝ පියතුමා මිය යැමට පෙර එසේ වීමට බෙහෙතක්‌ පානය කළ බවට හෝ කතෝලිකයන් කිසිවිටෙක කිසි තැනක ප්‍රකාශ කොට නොමැත. ඔවුන් විශ්වාස කරන්නේ මෙය දේව බලයෙන් සිදු වූවක්‌ ලෙසය. උක්‌ත වෛද්‍යවරයාද කතෝලිකයකු බැවින් මෙම දේහය ඖෂධ මගින් ආරක්‍ෂා වී ඇති බැව් ඔහුට සක්‌සුදක්‌සේ පැහැදිලි නොවූයේ නම් දෙවියන් බලෙන් එසේ සිදුව ඇතැයි ඔහු අනිවාර්යයෙන් පවසනු ඇත. (සිංහලයන් විශ්වාස කරන්නේ රහල් හිමි අපවත් වීමට මොහොතකට පෙර සිරුර දින දහස්‌ ගණනක්‌ නරක්‌ නොවී තබාගැනීම සඳහා ‘සිදු අළු රසය’ නම් බලගතු ඖෂධයක්‌ පානය කළ බවයි.

සේවියර් පූජකතුමා ශාන්තුවරයෙක්‌ ලෙස ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා කළ ඉල්ලීම් පාප් වහන්සේලා තිදෙනෙක්‌ එනම් දහහතර වන ග්‍රෙගරි පාප් වහන්සේ, පස්‌වන පෝල් පාප් වහන්සේ සහ පහළොස්‌ වන ග්‍රෙගරි පාප් වහන්සේලා විසින් තෙවරක්‌ම ප්‍රතික්‍ෂේප කරන ලද අතර එතුමා ශාන්තුවරයෙක්‌ ලෙස නම් කරන ලද්දේ 1624 දෙසැම්බර් 6 වැනි දින අටවන උර්බන් පාප් වහන්සේ විසිනි. ඉහත ප්‍රතික්‍ෂේපයන් තුළින් පෙන්වන්නේ එම පාප් වහන්සේලා මෙම දේහය සේවියර්ගේ බවට නොපිළිගත් බව නොවේද?

කතෝලික පූජකවරු එම කාල වකවානුවේදී ප්‍රකාශ කිරීමට යෙදුනේ එම දේහය නරක්‌ නොවී පවතින්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ බලය නිසා බවය. නමුත් දැන් එය ක්‍රමක්‍රමයෙන් දිරාපත් වන බව වෛද්‍යවරු සනාථ කරති. තවද එහි ඇටකටු ද දිරමින් පවතී. චීන සහ ඊජිප්තුවේ මමීකරණය කරන ලද දේහයක්‌, ඖෂධ බලයෙන් අවුරුදු 5000 ක්‌ පමණ කාලයක්‌ සුරැකී තිබෙන නමුත්, දෙවියන් වහන්සේගේ ‘ආශිර්වාදය’ ලැබූ මෙම දේහය අවුරුදු තුන්හාරසියයකට පසුව දිරාපත් වන්නට පටන්ගෙන තිබේ. එයට හේතුව ‘ඔෂධවල’ බලය දෙවියන්ගේ බලයට වඩා වැඩි නිසාද? නැත. එයට හේතුව බුදු දහමට ද අනුව රහල් හිමිගේ දේහයට ද ‘සියලු දේ අනිත්‍යය’ යන න්‍යාය බලපාන බැවිනි.

ආචාර්ය උභයසේකර (1934) මහතාගේ තර්කය

ආචාර්ය උභයසේකර මහතා තම ‘ශ්‍රී ලංකාදීප වර්ණනා’ නම් කෘතියේ (වර්ෂ 1934) ගෝවේ තබා තිබෙන දේහය රාහුල හිමියන්ගේම බැව් සාධක සහිතව සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කරයි. ඔහු ප්‍රථමයෙන් සියවස්‌ පහක්‌ තිස්‌සේ මුවින් මුව පැමිණි ඒ හා සම්බන්ධ ජනකවි දෙකක්‌ පිළිබඳව සඳහන් කරයි.

සොඳුරු රාහුල අපත්වී සක දහස සිව් සක තෙලෙස්‌ වේ
ඉසුරු නරනිඳු සවැනි බුවනෙකබාහු සපුමල් රෝස වේ
සතුරු කම් කළ නිසා තෙරිඳුට වැඩිය ගල්ලෙන දිසා වේ
ඇදුරුගේ දෙන ලෙනින් ගත් දින දනෝ යුද කළෙ ඒ නිසා වේ

සතුරු සිංහල සේවියර් සෙන්පතිහු යුද පත් වතාවේ
ඉඳුරු ගල්ලෙනෙහි යක්‌ සෙන් ඇසුරු කර සිටියෙහි මනාවේ
මිතුරු ජපකළ දහසකට කල් පවතිනා තුරු කරපු ජීවේ
මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස්‌ තැබුවෙ “ගෝවේ”

එයින් පළවන කවියෙන් කියනුයේ ‘මන්ත්‍ර බලයෙන් වසර දහසක්‌ සුරක්‍ෂිතව’ තබාගත් සිරුර අඩංගු ගුහාව යක්‍ෂයන් ආරක්‍ෂා කළ බවත්, සාවියර් නමැති සතුරු පෘතුගීසි ජනරාල්වරයා සහ එම හමුදාව උතුම් රාහුලගේ සිරුර ගෝවේ නගරයට ගෙන ගොස්‌ තැබූහ. යන බවත්ය.

ආචාර්ය උභයසේකරයන් තර්ක කරනුයේ මෙම ජන කවියෙන් කියෑවෙන සාවියර් නමැත්තා අන් කිසිවකු නොව ෆ්‍රැන්සිස්‌ සාවියර් බවත්, එවකට සිටි ලංකාවේ රජු දොන් ජුවන් ධර්මපාල කතෝලිකයකු වූ බැවින් එම සිරුර රටින් පිට කිරීමට සහාය දී ඇති බවත්ය. තවද පෘතුගීසීන් දකුණේ ජනතාව භීතියට පත් කරමින් කෲර ලෙස පාලනය කළ බැවින් මෙය ශතවර්ෂ 3 ක්‌ පමණ රහසක්‌ව තබා ගැනීමට හැකිවූ බවත් ඉන්පසු සියල්ලන්ටම එය අමතක වන්නට ඇති බවත් ඔහු පවසයි. තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු දක්‌වන ආචාර්යවරයා මෙසේ කියයි. රාහුල හිමි අම්බන අපවත් වූ අතර ප්‍රදේශයේ ජනතාව දේහයට ඉමහත් ගරුසරු දක්‌වමින් සිටියහ. වර්ෂ 1552 දී පෘතුගීසි ජනරාල් ෆ්‍රැන්සිස්‌ සේවියර්ගේ හමුදාව සිංහලයින් සමඟ සටන් කොට දේහය රටින් පිටකරන ලදී, එම සටන තුළදී දේහයට මරණීය තුවාල සිදුවිය හැකි බැව් පිළිගත හැකි කරුණකි. සේවියර් “ශාන්තුවරයෙක්‌” යෑයි කියනා නිසා එවන් ශාන්තුවරයකුගේ සිරුරේ මරණීය තුවාල තිබිය හැක්‌කේ කෙසේද? (ඉතිහාසඥ පී. ඊ. පීරිස්‌ තම පෝචුගිස්‌ 1505-1695 නමැති කෘතියේ ලංකාවට පැමිණි සේවියර් නමැත්තා ශාන්ත සේවියර් යන නම ලබාගත් කතෝලික ආගම වැළඳගත් කෙනෙක්‌ බව පවසයි.)

‘ශ්‍රී ලංකාද්වීප වර්ණනා’ නම් පොතෙහි ආචාර්ය උභයසේකරයන් විසින් දක්‌වන ලද කරුණු සංක්‍ෂිප්තව මෙසේය.

ෆ්‍රැන්සිස්‌ සේවියර් වර්ෂ 1552 දී දොන් ජුවන් ධර්මපාල රජ සමයේ ලංකාවට පැමිණියේය. රජු කතෝලික බැතිමතෙකු වූ අතර පෘතුගීසීන් සමඟ සුහදව සිටි බැවින් රජුගේ ද ආශිර්වාදය මත සේවියර් දකුණු වෙරලබඩ තීරයේ සිහලුන් කතෝලික ආගමට හැරවීම සඳහා දේශනා පවත්වමින් කටයුතු කළේය. මෙම ක්‍රියාදාමය අතරතුර ඔහු ‘අම්බන’ තිබෙන මෙම දේහය පිළිබඳව දැනගෙන එය මලක්‌කාවට ගෙන යැමට කටයුතු කළේය.

රාජකීය ආසියාතික සමාගමේ 60 වන සංස්‌කෘත සඟරාවේ 159 වැනි පිටුවේ සඳහන් පරිදි සාවියර් මලක්‌කාවේ නව ආණ්‌ඩුකාරවරයා ලෙස පත්වූ තම මිතුරාගේ එම උත්සවයට සහභාගි වීම සඳහා මලක්‌කාවට ගියේය. එසේම ඔහුගේ ජීවිත කතාව අනුව ඔහු දුර ඈත පෙදෙසක 1552 නොවැ. මස මියගිය බව දක්‌වන අතර එම කාලවකවානුව ඉහත සඳහන් මලක්‌කාවේ පැවැත්වූ උත්සවය තිබූ කාලය හා ගැලපේ.

ෆ්‍රැන්සිස්‌ සේවියර් ජපානයේදී බුදුදහම ඉගෙන ගත් අතර ඒ බව ඔහු එස්‌. බීල් නමැති පූජකතුමාට, ශ්‍රී ලංකාවේ දකුණේ පවතින බුදුදහම ක්‍රිස්‌තියානි ආගම හා සසඳන විට සත්‍ය දහමක්‌ සේ සැලකිය හැකි බව පවසා යෑවූ ලිපියෙන් සනාථ වෙයි. ලිලි නමැති කතුවරයා විසින් ලියන ලද ‘බුද්ධා ඇන්ඩ් බුඩිසම්’ නමැති පොතේ 193 වැනි පිටුවේ පූජක බිල්ජසින් එම ලිපිය පාප් වහන්සේට පෙන්වා ඇති බැව් සඳහන් වේ.

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර

පාප්තුමාටශ්‍රී ලංකාවෙන් අභියෝගයක්‌...
දේහයේ උස අඩුවීම ගැන කියන හේතු සාධාරණද?

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.