දේව පුද පූජා ... - IFBC Organization | Dhamma

‍ෙබෟද්ධයා මැවුම්කාර දෙවියකු විශ්වාස කරන්නේ නැත. අබෞද්ධ උගතුන් අතර ද දෙවියන් කෙරෙහි අ‍‍‍‍‍‍‍‍‍‍‍ැති විශ්වාසය දිනෙන් දින ම පිරිහී ගෙන යන බව පෙනෙන්නට ඇත. පසුගියදා ඇමරිකාවේ කථා පෙළක් පවත්වමින් කතෝලික පූජක තුමකු කියා සිටි පරිදි සිතීමෙහි ලිවීමෙහි හා කියවීමෙහි නිදහස කතෝලිකයන්ට ලැබුනොත් ඒ අතරට කතෝලික ආක්‍රමණය ක්‍රියා විරහිත වුවහොත් මැවුම්කාර දෙවියා කෙරේ විශ්වාසය අවු: 500 යන්නට පෙර නැත්තට නැති වී යන්නට පිළිවන. එහෙත් සෑම ආගමක පවත්නා සාමාන්‍ය දේව විශ්වාසය නැති නොවනු ඇත.

සාමාන්‍යයෙන් දෙවියන් ගැන බුද්ධ ධර්මයේ තරම් අන් කිසි ම සමයක නැතැයි කීම අතිශයෝක්තියක් නො‍ ‍ෙව්. ත්‍රිපිටකයට අයත් විමාන වස්තුව සම්පූර්ණයෙන් ම දෙවියන් හා දිව්‍යලෝක ගැන විස්තර වන පොතකි. සංයුක්ත නිකායෙහි සූත්‍ර රාශියක් ම ‍ෙදවියන් හා සම්බන්ධ වී ඇත. තවත් නොයෙක් තන්හි දෙවියන් ගැන සඳහන් වේ.

“එහෙයින් අමනුෂ්‍යයෙනි, මාගේ දහම් අසවු, මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මෛත්‍රී කරව්, දිවා රාත්‍රී පුණ්‍ය – දක්‍ෂිණා පවත්වන මනුෂ්‍යයන් අප්‍රමාද ව ආරක්‍ෂා කරවු”. මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් විශාලා මහනුවර දී අමනුෂ්‍යයනට දෙවියනට කරන ලද ප්‍රකාශයෙකි. පත්තකම්ම සූත්‍රයෙහි දී දෙවියනට පූජා කිරීම, පින් දීම ගෘහස්ථයන් සපයන ධනයෙන් කළ යුතු යුතුකමක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළහ. ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඉල්ලීම පරිදි ධර්ම දේශනා අවසානයෙ‍් දී පින් දෙන්නට යයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට නියම කළහ. දෙවියන් බණ අසන්නට පිරිත් අසන්නට ඉතා කැමති ය. එහෙයින් බණ පිරිත් දේශනාවලට ප්‍රථම දේවතාරාධනා කොට අවසානයේ පින් අනුමෝදන් කරවනු ලැබේ.

දෙවි – මිනිස් සබඳකම්

මෙසේ පුරාණයේ පටන් දෙවියන් හා මනුෂ්‍යයන් අතර සම්බන්ධය පැවැතිණ. එහෙත් මෙකල පවත්නා සම්බන්ධය මෙයට ඉඳුරා ම වෙනස් බව කිය යුතු ය. අනුරාධපුර යුගයෙහි ආරාමවල තබා ආරාම අසලවත් දේවාලයක් තනා පුද පූජා පැවැත්වූ බවට ලකුණ නැත. අදත් එය එසේ ම ය. පෙ‍ාලෙ‍ාන්නරු යුගයේ දී ඇතැම් රජවරු හින්දු කාන්තාවන් ආවාහ කරැගෙන සිටි නිසාදෝ ආරාම අසල දේවාල තනා ‍ෙගන ඇත. එහෙත් ආරාමයන්හි නොවේ. පසු ව ටිකෙන් ටික වෙනස් වී ඇති බව මහනුවර නාථ දේවාලය ආදියෙන් පෙනේ.

පැරැණියන් දෙවියන් පිදුවේ බෞද්ධ පිළිවෙලට ය. එනම් තුනුරුවන් පුදා අවසානයේ දෙවියන්ට පින් දීමෙනි. පැරණියෝ ද කතරගම ගියහ. එහෙත් ඒ අසල ම අය හැරෙන්නට ඔවුන් කතරගම යනවා යයි කීවේ වත් නැත. ඔවුන් ව්‍යවහාර කළේ තිස්සමහාරාමයට යනවා යන්න යි. එසේ ම පළමු ව තිස්සමහාරාමයට ගොස් බුදුන් වැඳ දෙවියනට පින් දී කතරගම ගියහ. එහි දී ද පළමු ව කිරිවෙහෙර වැඳ අනතුරු ව බෝධිය ද වැඳ අවසානයේ දේවාලය වෙතට ගොස් දෙවියනට පින් දී ආපසු එති.

බෞද්ධ පිළිවෙලට මෙසේ වුව ද දැන් කතරගම යෑම නවීන මෝස්තරයක් වී ඇත. සමහර ඉහළ පෙළේ බෞද්ධයනට කතරගම යනවා යැයි කීම ද මහ ආඩම්බරයක් වී තිබෙන අතර මාස්පතා නොව සතිපතා යන බෞද්ධයෝ ද සිටිති. ඉතා දුර සිට පවා සතිපතා කතරගම යන බෞද්ධයන් හමසකට වරක් වත් පන්සල් යන්නේ නැත. එසේ කතරගම යන ඇතැම් අය තිස්සමහාරාම වෛත්‍යය පෙනි පෙනී වඳින්නේ වත් නැතිව දිගට ම කතරගම යති. දේවාලය අසල පිහිටි කිරිවෙහෙර බෝධිය වඳින්නේ නැති අයත් සිටින බව ආරංචි ය.

දේවාලය

පුරාණ කාලයෙහි ආරාමය අසල තිබුණේත් ඓතිහාසික සම්බන්‍ධකමක් ඇති දේවාල ය. එහෙත් දැන් ආරාමවල සතර දේවාලය ම තනා ඇත. එය දිනෙන් දින ම වැඩිවන බව ද පෙනෙන්න ට ඇත. එපමණක් නො ව නොයෙක් තැන සමහර විට ගෙවල් වල පවා දේවාලයන් තනාගෙන ඇත. මෙපමණ දේවාලයන් තනාගෙන යන්නේ බුද්ධ ශාසනයට වත් දෙවියන්ට වත් මහජනයාට වත් කරුණාවෙන් දැයි සිතා බැලීම සුදුසු ය.

එක්තරා ප්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේ නමක් අලුතින් සතර දේවාලයක් තනන ලද පන්සලක ධර්ම දේශනාවකට වැඩම කළහ. එහි දී ආරාමාධිපතීන් වහන්සේ සතුටු සාමීචී කථා කෙරෙමින් සිටින අතර “අපේ ස්ථීවරයන් දන්නවාද? දැන් අපට හොඳ ආදායම් එන රබර් වත්තක් තිබෙන බව?” “නෑ ස්වාමීනි” යනු පිළිතුර විය. “එය තිබෙන්නේ සමීපයෙහි ය. එය බලන්නට කැමති ද?” “එහෙමයි ස්වාමීනි” දෙවැනි පිළිතුර විය. ධර්ම දේශකයන් කැඳවාගෙන ගොස් පෙන්නුවේ අලුතින් තනන ලද සතර දේවාලයයි. “ස්ථවිරයනි, මෙය මහා ආදායම් ලබන රබර් වත්තකට වඩා හොඳයි. රබර් වත්තක් පාලනය කරන්න ගියාම හුඟක් වියදම් යනවා නොවැ යි” ඇතුළත බොරු නැති මහ තෙරුන් වහන්සේ ගේ පිළිතුර විය.

නොයෙක් තැන ආරම්භ කරන ලද දේවාලයවල මුල දී සමහර විට බුලත් අතක් වත් ගන්නේ නැත. සමහර තැන්වල බුලත් අත උඩ තබා දෙන රුපියල පමණ යි ගන්නේ. මහජනයාට ඇති කරුණාව අපමණ යි. ටික කලක් ගොස් ප්‍රසිද්ධ වූ විට පූජාවට උවමනා කරන භාණ්ඩ දෙවියනට නියම කරන්නට පටන් ගනී. එයට රන් ආභරණ ආදිය ද ඇතුළත් වෙයි. ඒ නියමයන් අනුව කරන පූජා වලට සමහර විට රුපියල් 100, 250 , 500 යත් වියදම් වේ. එය කිසිදු වරදක් නැති, කරන පූජාව හොඳට ම කිරීම ඉතා වැදගත් ය. කොපමණ උසස් ලෙස පූජාව පිළියෙල කරගෙන ගියත් වට්ටිය උඩින් රුපියලක් වත් තැබුවේ නැත්නම් දෙවියන් එය පිළිගන්නේ ම නැත.

පින් දීම

පැරැණි බෞද්ධයන් හැම පින්කමක් ම අවසානයෙහි දෙවියන්ට පින් දී “ශාසනය රැකදෙන්න, මා හා අන් ජනතාව රැක දෙන්නැ” යි ආත්මාර්ථකාමී නොවූ එසේ ම ඉතා පුළුල් වූ උසස් වූ ඉල්ලීම් කරන ලදි. එසේ ම දෙවියන් ඒ ආරක්‍ෂාව සැලැසූ බව පිළිගන්නට හොඳට ම ඉඩ ඇත. දැන් නම් දෙවියන් පුදා පුදුම දේ ඉල්ලන බව දැන ගන්නට ඇත. සමහරු යම් යම් අයට ඉතා කරදර දඬුවම් පව‍ා කරන ලෙස ඉල්ලති. ඇත්ත වශයෙන් ඒ තැන්වල දෙවියන් සිටිනුව‍ා නම් මෙබඳු ඉල්ලීම් කරන අයට දේවාල භූමියේ හතර මායිමට එන්නට ඉඩ නො දෙනුවා ඇත. නො දැනුවත්කමින් ආවත් කනින් අල්ලා ටොක්කක් ඇන එළියට ඇද දමනුවා ඒකාන්ත ය. ඉදින් දෙවියන් සිටිය දීත් මෙබඳු දේ නො කරනුවා නම් එය දෙවියන්ගේ කරුණාව නිසා විය හැකි යි.

තව ද සිතිය යුතු කාරණයෙකි. දෙවියනට මිනිසුන් ගේ ගඳ උසුලන්නට බැරි තරම් බව පොත්වල සඳහන් වෙයි. එය එසේ නම් යම් යම් ගැහැණුන් හට දෙවියන් ආරූඪ වන්නේ කෙසේ ද? ඉදින් දෙවියනට ගඳ සුවඳ දැනෙන නහයක් නැතිවා ද? නැතහොත් නාස්පුඩු දෙකේ පොරෙ‍ාප්ප ගසාගෙන එනවා දැ යි සොයා බැලීම වටී. ඔය දෙවියන් ආරූඪ වන ගැහැණුන්ගේ කට හ‍ෙඬ් මුක්කන් ගතියක් තිබෙනුවා දැයි සොයා බැලීම සුදුසු ය.

තවද මහජනයාට උපකාර කරනුවා යැයි කියන දෙවියන් ඉන්නේ ටික දෙනෙකි. උපකාර ඉල්ලන සංඛ්‍යාව ලක්‍ෂ ගණනකි. මේ තරම් විශාල සංඛ්‍යාවක් දෙවියනට කරදර කරන්නට ගියහම මේ කරදර වලින් නිදහස් වන්නට දෙවියන් මෙරට අතහැර යන්නට පිළිවනි යි සිතමි. මෑතක සිට දේශපාලකයන් මේ දේවාලයවලට රිංගාගෙන මැති ඇමතිකම් ලබා දෙන්නට යයි කරන කරදරය අනෙක් හැමට ම වඩා භයානක වී ඇත.

තවද කල්පනා කළ යුක්තකි. ඉස්සර බෝධි සත්ත්වයෝ දේව පූජාවක් කරන්නට හරකුන් රැගෙන කැලෑබද දේවාලයකට ගියෙන් පූජාවට උවමනා දෙයක් අඩුවී හරකා දේවාල ඉඩමේ ගහක බැඳ තබා ආපසු ගමට ගියහ. ඒ අතර හොරු රැළක් හරකා මරාගෙන කෑහ. උවමනා දේත් රැගෙන නැවැත දේව පූජාවට ගිය බෝසතාණන් වහන්සේට දකින්නට ලැබුනේ හරකා ගේ වල්ගය පමණි. මෙය දුටු බෝසතාණෝ තම පූජාවට ගෙනා හරකා රැක ගන්නට බැරි දෙවියනට ඇති බලය කුමක් ද? කළ හැකි දේ කුමක් දැයි කියමින් “ඉතින් දෙවියනි, වලිගය වත් කාපන්” යැයි ප්‍රකාශ කොට ආපසු ගෙදර ගියහ. බුදුවන්නට පෙර බෝසත්වරුන් ගේ වුවද නුවණ අසම්පූර්ණ ය. කෙසේ වෙතත් බෝධිසත්වයාට දියුණු මට්ටමෙක නුවණක් තිබුණු නිසා තමා විශ්වාස කළ දෙවියන් ගේ ප්‍රමාණය තේරුම් ගෙන ගෙදර ගියහ.

ලංකාවේ ද ඉතා ප්‍රසිද්ධ දේවාලය කීපයකට ම හොරුන් පැන දෙවියන් ගේ කර උඩ නැග ගෙන ඇඳුම් පෙරවුම් ළිහා ගෙන ආභරණ ගලවාගෙන ගිය බව නො රහසකි. පව්කාර හොරුන් ගෙට පැන ඇඳුම් ලිහා ගලවා ගෙන යද්දීත් එය රැකගන්නට බැරි දෙවියන් අනුන් ආරක්ෂා කරන්නේ කෙසේ ද යනු අපේ සමහරුනට තේරුම් ගන්නට බැරිවී තිබෙන්නේ මොළේ අඩු නිසා ද නැතිනම් වැඩි නිසා දැයි වටහා ගැනීම අපහසු වී තිබේ.

පින්වත්නි, තමන් හොඳින් ධාර්මික ව ජීවත් වෙමින් දෙවියන් පිදුවොත් දෙවියන්ගෙන් සියලු උපකාර ලබාගන්නට පිළිවන් වනුවා විනා දෙවියන් පිදීම් මාත්‍රයෙන් පමණක් උපකාර නොලැබෙන බව කරුණාවෙන් මතක් කරමි.

කැමැති නම් තමන්ගේ පෙ‍ෟද්ගලික ප්‍රයෝජනය සඳහා දෙවියන් හා දේවාල සම්බන්ධ කර ගන්න. බුදුරජාණන් වහන්සේට වත් බුද්ධ ශාසනයට වත් දේවාලය සම්බන්ධ කොට නිර්මල බුද්ධ ශාසනය කිළිටි නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

දවස 1963.08.15

ප්‍රඥාප්‍රභා 6

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

ත්‍රිපිටකය ග්‍රන්‍ථාරූඪ කිරී‍‍ෙම් සිට කිතුවසින් පස්වන සියවස දක්වා කාලය තුළ ශාසනික සංසිද්ධි කිහිපයක් ...
පිරිතේ බල මහිමය ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.