Skip to main content

දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක් … ?

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

නාග ගෝත්‍රිකයන් සිංහල ඉතිහාසයේ ද සඳහන් වන ප්‍රභල ජන වර්ගයකි. එමෙන්ම සිංහල හා දෙමළ ජාතිකවාදය මැද ස්ථානගත වූ ජන වර්ගයකි. යකුන් ගෞතම බුදුන් වහන්සේට මහියංගනයේ දී එරෙහි වන විට නාගයන් උන් වහන්සේ පිළිගත්තෝය. එමෙන්ම නාගයන්ට එරෙහිව යකුන් කෙරෙහි දිගු කාලීනව පැවති බල අරගල වලින් මෙරට ඉතිහාසය පිරී පවතී. යකුන් සවදේශික ජන ගෝත්‍රයක් ලෙස ද නාගයන් ආගන්තුක ජන ගෝත්‍රයක් ලෙස ද අදහස් දැක්වීමක් විද්වත් ලෝකයාට වේ. මේ සියල්ල මැද නාගයන්ගේ දැඩි විරෝධයට බඳුන් වූ සිංහල රජතුමා වන්නේ දුටුගැමුණුය. එම කරුණ සැළකිල්ලට ගනිමින් නාගයන් ද්‍රවිඩ ජාතියේ මූල ජන ගෝත්‍රය බවට මුදලි රාසනායගම් ස්වකීය කෘති කිහිපයකින්ම ඓතිහාසික තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුග් මතය එක් අතකින් ප්‍රබල වන්නේ ලක්දිව සිංහල, දෙමළ ජාතිකවාදයේ උණුසුම්ම දේශපාලන සමය වූ එළාර හා දුටුගැමුණු යුගය සසඳා බලන විටය.


දුටුගැමුණු කුමරු මාගම දිනා ගැනීමෙන් පසු මායා රට දිනා ගන්නට දැරූ තැත වළක්වන්නේ එහි විසූ නාගයන්ය. ඉන් ඉක්බිතිව දුටුගැමුණු කුමරුට තම මව වූ විහාර මහා දේවිය යුද පෙරමුණේ ඉදිරියෙන්ම තබාගන්නට සිදු වූයේ මේ නිසාය. දුටුගැමුණුට විරුද්ධ වූ මායා රට නාග ප්‍රභූහු විහාර මහා දේවියට අවනත වූහ. ඉන් මාගම ද, මායා රට ද එක්සත් කොට ගෙන රජරට දිනාගන්නට ගැමුණු කුමරුට පදනම සකස් කර ගත හැකි විය.
දුටුගැමුණු කුමරුට එරෙහාව නාග විරෝධය යළිත් ඉස්මත්තට එන්නේ සේරු නුවරදී සහ සෝම නුවරදීය. ඒ දීඝාභය කුමරු හරහාය. සේරු නුවරත් සෝම නුවරත් මාගම රාජධානියෙන් ද රජරට රාජධානියෙන් ද වියුක්ත වූ ජනපද විය. මෙම ජනපද දෙකම නාග ගෝත්‍රිකයන්ගේ සුපිරි වෙළඳ නගර වූ අතර, දීඝාභය කුමරු හරහා පාලනය වූ බෞද්ධ පුරවරයන් ද විය. දුටුගැමුණු කුමරුට මායා රට දිනා දුන්තම මව්තුමිය සේරු නුවර සහ සෝම නුවර නාග විරෝධය ද සමනය කර දුන්නේය. මේ සියල්ල වෙතින් පෙනෙන කරුණක් නම් දුටුගැමුණු කුමරුගේ සිංහල රණවාදයේ මුහුණත යක් ගෝත්‍රිකයන් වූ බැවින් එය නාග ගෝත්‍රිකයන් පිළිකෙව් කළ බවකි.
දුටුගැමුණු කුමරු එළාර රජු ද ඔහුගේ දෙමළ සේනාව ද නසා දිග්විජය කළේය. ඉන්පසු දුටුගැමුණු රජුගේ යෝධ පියවර වූයේ මහා සෑය, රුවන් වැලි සෑය නැංවීමය. ඒ සඳහා ඔහුට මහමෙව්නා උයනේ පිහිටි පෞරාණික රන් තෙළඹු වෘක්ෂය කපා හෙළන්නට සිදු විය. එම සිදුවීම දුටුගැමුණු රජුට එරෙහිව මාරක විරෝධාකල්පයක් පැන නැඟීමට හේතු වූ අතර එකී විරෝධයට මුලු වූ ගාඩි වංශය දේශපාලනිකව සංවිධානය කළේ නාග ගෝත්‍ර බළමුලුව විසින්ය. එය පාගා දමා මහා සෑය නැංවීම සඳහා දුටු ගැමුණු රජු එඩිතර විය.
එහෙත් මහා සෑයේ තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතූන් වහන්සේලා රැගෙන මහ රහතුන් වහන්සේලා පෝක් සමුද්‍ර සන්ධිය හරහා වැඩමවීමේ දී උන් වහන්සේලා ට මහා විරෝධතාවකට මුහුණ දීමට සිදු වූ බව මහාවංශය සඳහන් කරයි. එම විරෝධතාවයේ දී පෙරමුණ ගත්තේ ද නාගයන්ය. එය දිය ගොඩ දෙකින්ම සිදු වූ යුද්ධයක් බඳු වූයේය. භක්තිමත් බෞද්ධයන් ලෙස ඉතිහාසය පුරා හමුවන නාග ගෝත්‍රික මූල නාගයන් මෙලෙස මහා සෑයට විරෝධය පළ කලේ මන්ද? විටෙක නාගයන්ගේ දේශපාලනික උභතෝකෝටිකය වන්නේ ද එයමය.දුටුගැමුණු රජුට බෞද්ධත්වය හොඳින් ආරෝපණය කර ගැනීමට මෙම විරොධෙතා හේතු වූයේය. අන් අතකින් මහා සෑයේ තැන්පත් කරන්නට ලබා ගත් සර්වඥ ධාතූන් වහන්සේලා එතුවක් කල් දිවිහිමියෙන් රැකගෙන සිටියේ ද නාගයන්ය.
නාගයන් සතුව තිබූ සර්වඥ ධාතූන් වහන්සේලා දුටුගැමුණු රජතුමා අත්පත් කරගත් ශූර මෙහෙයුම වෙනම කතිකා කළ යුත්තකි. නාගයන් සතු වූ ප්‍රභලතම ඓතිහාසික සම්පත වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සර්වඥ ධාතූන් වහන්සේලාය. නාග – යක් දිගු කාලීන වෛරය දුටුගැමුණු සමයේ කූටප්‍රාප්තියට පැමිණ කෙළවර වූයේ නාගයන්ගේ ඓතිහාසික සම්පත දුටුගැමුණු රජු අතට පත් වීමෙනි.
ගැටුම නොනැවතුණි. නාගයෝ කෙටි කලක් දුර්මුඛව සිටියෝය. දුටුගැමුණු රජු මහා සෑය නංවන කාර්යයේ ය. සිවුසතලිස් (44) වසරක එළාර පාලනය නිමා කොට ලක් පොළෝ තලය මත නංවන අසහාය නිර්මාණය ඉදිකිරීම ඇරඹුණේය. ජන හද තුල වූයේ දුටුගැමුණු රජු ඉර හඳ පවතින තාක් රට කරවන පාලකයා විය යුතුය යන්නයි. එය කොතරම් ගැඹුරු ලෙස කා වැදී තිබුණේ ද යත් විජය රජු සිංහලයන්ට දායාද කළ සිංහල ජාතික ධජය ද දුටුගැමුණු සමයේ වෙනස් වූයේය. තනි සිංහ රුවින් යුත් සිංහල ජාතික ධජය, සිංහයා දෙපසින් ඉර හඳ ලකුණු ඇතුලත්ව නව මුහුණුවරක් ගත්තේය. ඒ දුටුගැමුණු සමය සදාතනික වන බවට තවත් අරුතක් විය. ඉදිවන මහා සෑය ඒ විස්මයට තවත් බලාපොරොත්තුවක් එක් කළේය. සසුන් භාරධාරී තෙරුන් වහන්සේලා රාජ දේශපාලනික භාරධාරීන් වන තරමට සසුන රාජ්‍ය පාලනය සමඟ සහවාස ගත කෙරිණි. මේ සියල්ල වඩාත් කේන්ද්‍රගත වූයේ මහා සෑයට සර්වඥ ධාතූන් වහන්සේලා ලද උදම් සහගත ජයග්‍රහණයෙන් අනතුරුවය.
මහ සෑ ගර්භයේ ධාතු නිදන් කළ මංගල්‍යයට පසුව දුටුගැමුණු මහ රජ දුටු රුදුරු සිහිනය ඔහුගේ ආත්මය සසල කළේය. එතැන් පටන් මහා සෑය නංවා එහි රන්කොත බඳන තුරු ඔහුට ඉවසීමක් නොවිණි. මහා සෑ මළුවට විත් එහි කටයුතු කඩිනම් කරවීම හැර ඔහු අතින් එකල වෙනත් රාජ්‍ය පාලන කටයුත්තක් ඉටු නොවිණි. එය කෙතරම් බරපතළ වූයේ ද යත් රජ දුටුගැමුණු රාජ සභාව පැවැත්වූයේ මහා සෑ මළුවේදීය. හිමිදිරියේ මහා සෑ මළුවට පැමිණි මහ රජු රාත්‍රිය ළඟා වනතුරු එහි සිටිමින් වැඩ මුර ඉක්මන් කළේය.
එක් සැඳෑවක මහ රජතුමාගේ හිස මැදට පැන ගත් නාගයෙක් ඔහුගේ හිස හරි මැද පාදා පෙනය පුම්බා විෂ දළින් ඇන සත් වරක් හිස මුදුනට ගසා නික්මුණේය. පුරුෂ වීර්යයෙන් පිරිපුන් රජ මරණයට මුහුණ දෙන්නට විය. මේ අතර නාගයා රජුගේ රාජකීය වෙදැඳුරාට ද පහර දී මරා දැමුවේය. නාග ප්‍රහාරයෙන් ඔත්පල මහ රජු සත් දිනක් මරණය සමඟ සටන් කොට මරණයට පත් වූයේය.
දුටුගැමුණු මහ රජ ඝාතනය කළ මෙම අභිරහස වසර දෙදහසක් මුළුල්ලේ සිංහල අපි ද, ඉතිහාස කතාකරුවන් ද සඟවා ගෙන පැමිණ ඇත්තෙමු. ඒ මන්ද යැයි නොදනිමි. ඒත් සිංහල ජන කතාකරු අපූරු ජන කතාවක් ජනප්‍රවාද ගත කර ඇත. ඒ අනුව දුටුගැමුණු මහ රජු යුද්ධය දිනූ විගස යාපනයේ නාගදීපයට ගොස් උයනක් ඉදි කළේය. විවේකය, සැහැල්ලුව අවැසි විට ඒ නාග උයනට සපැමිණ තනිකඩ විම රජුගේ සිරිතය. දිනක් උයන්පල්ලා වු ජයසේන නාග පොකුණට බැස සුහුඹුල් නාග කෙළිත්තියක් හා රාග හුරතලයක වෙළී සිටිනු දුටු රජුට කාම උද්දීපනය වී ජයසේන ගෙන් නාග කෙළිත්තිය උදුරා ගෙන ඇය හා රමණය කළේය. ඉන් කෝපයට පත් වූ ජයසේන ගෙල පාගා මහ රජ මරා දමන්නට උත්සාහ කළ බවත්, රජු අතින් එහිදී ජයසේන මිය ගිය බවත් සඳහන් වේ. ඒ මොහොතේ ර්‍ණතෝ, නාගයෙක් වෙලා ඇවිත් මරමිර්‍ණ යැයි පවසා ජයසේන අවසන් සුසුම හෙළා ඇති බව ජනප්‍රවාද කතාව වැඩිදුරටත් කියයි.
එසේ නම් දුටුගැමුණු මහ රජු රුවන්වැලි සෑ මළුවේ දී විෂ විද මරා දැමුවේ ඔහුමද? නොවේ නම් කවුරුද? නාගයන් විසින් දුටුගැමුණු රජුට එරෙහිව කාලයක් පුරා ගෙන ගිය වෛරයේ අවසානය මෙයද? මෙහි පවසන නාගයා නාගයෙකු ද නොවේ නම් නාග ගෝත්‍රිකයෙකු ද? මේ කිසිවක් නිශ්චිත කර ගැනීමට ඉතිහාසය අපට ඉඩ දී නැත. සරළව පවසතොත් දුටුගැමුණු මහ රජතුමාගේ මරණ පරීක්ෂණ වාර්ථාව ජනගත නොවුනේය. එය ඉතිහාසවේදීන් ඉතිහාසගත කිරීමක් ද නොකළෝය. ගැමුණු රජු සිරිතේ සියල්ල ලියා ඇත. ඔහුගේ බිසව ද, ඔහුගේ මරණය ද ඉතිහාසයෙන් සඟවා තබා ඇත. ඒ මන්ද? දුටුගැමුණු හිස මස්තකයට විද එතුමා මරා දැමු නාගයා කාගේ කවුදැයි අපි තවමත් නොදනිමු. ඒත් ඔහු හෝ එම සර්පයා ඓතිහාසික රාජ දේශපාලන බල අරගලයක ජීවමාන සාධකයක් බව පැහැදිලිය. සියවස් විස්සක් ගෙවී ගොස් ඇතත් සිංහල ජාතියේ අසහාය රාජ විරුවාගේ මරණ පරීක්ෂණය සොයා බැලිය යුතුය. කිසිවෙක් ඒ ගැන නොසිතති. ඒත් මෙය ඉතිහාස නිමිත්තකි.
ඒ අනුව දුටුගැමුණු රජ ඝාතනය කළ නාගයා එකල රජු අතින් පරාජය වූ නාග ජන ගෝත්‍රයේ වෛර ප්‍රාර්ථනාවද? නොවේ නම් ද්‍රවිඩ ජන මූලයේ වෛර ප්‍රාර්ථනාවද? එසේත් නොවේ නම් නාග උයනේ දී තම පෙම්වතිය පැහැරගත් ශෝකය වෛරයට පෙරළී දුටුගැමුණු රජු අතින් මිය ගිය ජයසේන ගේ ආත්මයද? එසේත් නොමැති නම් දුටුගැමුණු රජතුමාගේ කර්ම විපාකයද? එසේ නොවේ නම් මේ සියළු සාධක එකට එක්වී සිදු වූ නියාමයක්ද? කෙසේ නමුත් අවසානයේ දුටුගැමුණු රජුම බලයෙන් පහ කළ සද්ධාතිස්ස කුමරුට ලක්දිව රජ පදවිය යළිත් ලැබුණේය. ගැමුණු පුත් කුමරු සාලිය රාජ දේශපාලනය හැර පියා රොමැන්ටික දාර්ශනිකයකු වූයේය. එළාර ඝාතනය කළ දුටුගැමුණු රජු ද ඝාතනය විය. මහා සෑය සදාතනික වූයේය. ඉතිහාසය සර්ව සාධාරණ රිද්මයක අකුරු මාත්‍රාවක් යැයි විටෙක සිතෙන්නේ එබැවිනි.

Join the discussion One Comment

  • සමීර ප්‍රදීප් says:

    මාගේ සීයා මට කියා ඇති කතාවක් කියන්නට සිතුවා මාගේ සීයාට මේ කතාව මගේ සීයගේ සීයා පැවසූ බවත් පැවසුවාලූ දුටුගැමුනු රජුගේ ප්‍රිය බිසවුන් වහන්සේ කතී බිසවලු ඇය නාග කුල කුමාරිකාවක්ලු කතී බිසව සමගින් ඇගේ නැගනිය සහ පිරිවර සමග රුවන්වැලිමහා සෑය වදින්න ආවාලු එවිට රජතුමා දැක ඇගේ අත ගන්න කැමති උනාලු ඇගේ රූ සිරිය සින්දු ගගේ ජාම්බෝනද කියන මැනික් පාශානය හා සමයිලු ඒ වන විට රජු හා ස්වර්නපාලී බිසවත් විවාහවී සිටියාලූ නාගකුල බිසවගේ අතිශය රූමත්කම නිසා ස්වර්නපාලී බිසව තැතිගෙන සිටියාලූ ඇගේ යෝජනාවකට අනුව නාග කුල කුමාරිකාවන් දෙදෙනෙකු රජතුමා විසින් බිසෝ අංතප්පුරයට ගත්තාලු එදිනට ඔවුන්ගේ සේවයට 21 යුත් නාග කුල ජනතාවක් මෙහේ පැමිනියාලු සේවය කිරීමට රජු කතී බිසවට ස්වර්නපාලි බිසවහා සම තැන දී වෙනම මාලිගාවක් කරවා ඇය තැබුවාලූ පසුව දුටු ගැමුනු මහ රජතුමා කතී බිසව හා අභිශේකයට සූදානම් වුන විට ස්වර්නපාලී බිසව කුමන්ත්‍ර්නයක් කරාලු නාග කුමාරියන් හසුවීමට ස්වර්නපාලී බිසව රහසේ විශක් ගෙන්වා කතී කුමරියගේ නැගනියට දී තම සහෝදරියගේ වෙසින් ගොස් රජුට දෙන ලෙසත් පැවසා දුන්නාලු. කවටකමක් ලෙස සිතූ කතී බිසවගේ නැගනිය ස්වර්නපාලී බිසව කියූ ආකාරයටම කතී බිසවගේ වෙස් ගෙන ගොස් රජුට එම පානය දුන්නාලු රජු එය බොන විටම වැටහුනාලූ මේ ආගන්තුක විශක් බව මහ රජුට මහත් දුකක් ඇතිවුනාලූ රජුගේ ප්‍රිය බිසව තමාට වස දුන් එක ගැන මේ කිසිත් නොදත් කතී බිසවගේ සහෝදර නාග කුමරිය. රජුගේ සිරියහනෙන් පිටවීමට පෙර තම ස්වරූපයට පැමිනියාලූ එවිට රජු මෙය කතී බිසව වෙනුවෙන් කරන ලද කුමන්ත්‍රනයක් බව දැන ගත්තාලූ මෙයින් නිසැකවම රජු මිය යන බව දැනුනු විගස සිත ධර්මයේ පිහිටුවාගත් රජු වහාම තමා රුවන්වැලිසෑය අසලට ගෙන යන ලෙස පවසා එහි ගියාලු එසේ ගොස් එහි රජු මියගියාලූ නාග කන්‍යාවක් වසදුන් බව පවසමින් ස්වර්නපාලී බිසව කතී බිසව කුමන්ත්‍රනයට හසුකිරීමට සැරසුන විගස ජයසේන නාරජු පැමින ඇත්ත විමසුවාලු නාගයන් කිසිදා බොරු නොකියන ජනතාවක් නිසා කතී බිසවගේ නැගනිය සිදුවූ සෑම දෙයක්ම පැවසුවාලූ වස අරන්ගියේ තමන් බවත් එය දුන්නේ ස්වර්නපාලී බවත් පවසා තම පියා වූ නා රජුන්ට හා පරපුරට වුන අපහාසයට ඇය තමන්ටම දශ්‍ට කරගෙන් මියගියාලු නාරජු එදින ලක් රජ පරපුරට සාප කරාලු බොරුවක් කියා එයට නාගලෝකය පටලවපු නිසා ලක් රජ පෙලපත සැමදා කුමන්ත්‍රන වලින්ම විනාශ විය යුතු බවට නාගයන්ට තමා තමාට දශ්ට කරගැනීමෙන් තමාටම මරනයට පත්වීමට එදාසිට හැකිවුනාලු තවද නාගයන් නාගයන් දශ්ඨ කරගැමීමෙන් ඔවුන්ද මරනයට පත්වනවාලු ඉන් පසුව වෙස් මාරු කරන නාගයන්ට එම වේශමාරු කිරීමෙන් ලක්දිවට එන්න තහංචි දැම්මාලු නාගයෙක් කිසිම දවසක මිනිසුන්ට යටත් නොවේවා කියා ප්‍රාර්තනා කරාලු අදත් අපි මෙහෙ කියනවා රජු මැරුවේ නාග කන්‍යාවක් කීවම නාගලෝකයේ තම සනුහරේටම වන කැලැල නිසා ඔවුන් සාප කරනවාලු. අවසානයට මා හට සීයා කියා දුන්නා ඔවුන් එම අපවාදයෙන් මුදවන්න ඕනි විදිහ මම ඒවිදිහටම කීවා මනුශ්‍ය කුල කාන්‍තාවක් උන ස්වර්නපාලී බිසවගේ කුමන්ත්‍රනය නිසා මහ රජු මියගියත් ඇගේ කුමන්ත්‍රනයේ ප්‍රතිපල ලෙසට නාගලෝකේ රජුන්ටත් ඔහුගේ සනුහරේ සියලුම නෑයන්ටත් මුලු නාගලෝකයටත් ඇසීමට සිදුවූ මුසා අවලාදය අපහාසය මනුශ්‍ය අම්මෙක්ට තාත්තෙක්ට දාව දරුවකු ලෙසට ඉපදුන මා විසින් අද සිට ඉවත් කර දුටුගැමුනු රජු මැරුනේ නාගකන්‍යාවක් දශ්ට කර නිසා කියන අපහාසයෙන්. මුලු නාගලෝකයම අද මොහොතේ සිට එම අපහාසයෙන් මා විසින් මුදවනවා මා මේ සිතූ දෙය නාගලෝකයේ සිටින සියලුම නාගයන්ට ඇසේවා දැනේවා.
    රජු මියගිය පසුව තිස්ස රජු හා ස්වර්නපාලී බිසව නැවත විවාහ වුනාලූ මව් බිසව වූ විහාර මහා දේවීන් වහන්සේ කලකිරී පැවිදිවුනාලූ.
    සැ.යු මා හට මාගේ සීය පැවසූ දෙයක් නිසා එය එලෙසම මා පැවසීය දුටුගැමුනු රජ වැනි පුන්‍යවන්ත මහා රජ කෙනෙකු අල්ලා බොරු ගෙතීමට මා කිසිවිටෙකත් සූදානම් නොවන අතර මන්ද උන් වහන්සේ මතු බුදු සසුනේ අගසව් වන නිසා එය මහත් පාපයක් වන නිසාය මෙය මාහට. පොඩිකාලේ ( වසර 10). පමන කියාදුන් කතාවකි මෙය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුය. මෙය අපේ පරපුරේ මුක වහරෙන් පැවත එන්නකි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.