දීඝවාපිය ( Deegawapiya) - IFBC Organization | Dhamma

බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේදී දිවා ගුහාවෙහි දිවා විහරණය කිරීමෙන් අනතුරුව දීඝවාපියට සපැමිණ දීඝවාපී චෛත්‍ය රාජයාණන් පිහිටා ඇති ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි බව වංශ කතා මගින් සනාථ වෙයි.

සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන දීඝවාපිය අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුවට ආසන්නව දීඝවාපි ග්‍රාමසේවා වසම තුළ සමන්තුරය හා අක්කරපත්තුව අතර පිහිටා තිබේ. මෙය අයත් වන්නේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයටය.

බුදුන් වහන්සේගේ පහසින් අති පූජනීයත්වයට පත් වූ නිසාම මෙය සුවිශේෂී වූ පුද බිමක් වශයෙන් සැළකිය හැකි ය.

දීඝවාපිය ඉපැරණි ශාක්‍ය ආර්ය ජනපදයකි. දීඝායු කුමරා විසින් ගල්ඔය නිම්නයේ ගොඩනංවන ලද දීඝ ජනපදය මේ යැයි කියැවෙයි. ධාතු වංශයට අනුව මෙය දිඝා වැව ලෙස සඳහන් වීමෙන් හැඟී යන්නේ මෙහි දීර්ඝ වූ වැවක් නිසා දීඝවාපිය වශයෙන් වැහැරූ බවකි. දීඝවාපිය පසු කලෙක දිගාමඩුල්ල වශයෙන්ද ප්‍රකටව තිබේ.

මෙම දිගාමඩුල්ලෙහි මහා වැවක් කරවන ලද්දේ කාවන්තිස්ස රජතුමා විසිනි. එදා මෙම ජනපදය කෙත් වතු වලින් සපිරි සශ්‍රීක ගොවි බිමක් වශයෙන් පැවතුනි. කාවන්තිස්ස රජතුමා සේරුවිලයාදි දීඝනඛය පිහිටන ස්ථානයේ දිගාමඩුල්ලෙහි සද්ධාතිස්ස කුමාරයා නැවැත් වූ බව ධාතුවංසය පවසයි.

දීඝවාපි චෛත්‍යය කරවන ලද්දේ සද්ධාතිස්ස කුමාරයා (ක්‍රි.පූ. 137 –119 ) විසිනි. මෙම ස්තූපයට සත් රුවන් සැට්ටයක් කරවා පළඳවා රියසක පමණට (කරත්ත රෝද) මලින් අලංකාර කර පූජා කළ බව මහා වංශයේ සඳහන් වෙයි.

ජනප්‍රවාදයේ පැවැත එන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුව නිධන් කර මෙම ස්තූපය සාදා ඇති බවයි.

පූජාවලියට අනුව මෙය දීඝානඛා වෙහෙර ලෙස හඳුන්වයි. මහනුවර යුගයේ නම් පොතෙහි මෙය හඳුන්වන්නේ නඛ වෙහෙර නමිනි. මලියදේව නම් මහ රහතන් වහන්සේ මෙහි සිට ධජග්ග සූත්‍රය දේශනා කළ අතර එය ශ්‍රවණය කළ භික්‍ෂූන් වහන්සේ හැට නමක් රහත් වූ බව පපංචසුදනියෙහි සඳහන් වෙයි.

සද්ධාතිස්ස කුමරු අනුරාධපුරයේ රජවීමෙන් පසුව තම පුත් ලජ්ජතිස්ස කුමරුට දිගාමඩුල්ල පාලනය පැවැරූ බවත් ඔහුගෙන් පසුව මෙම ප්‍රදේශය අභාවට පත්වූ බවත් කියැවෙයි.

ඉන්පසුව මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නඛ වෙහෙරට ගිය විස්තරයක් මහාවංශයේ සඳහන් වෙයි.

දීඝවාපිය පුරාවිද්‍යා කැණීම් වලදී වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබේ. ඒ අනුව ස්තූපය වටා ප්‍රාකාර බැමි දෙකක්, තිබුණු බවත් ඒ අතර කලාත්මක වාහල්කඩ තිබූ බවත් තහවුරු වී තිබේ. ගරාවැටුණු බටහිර වාහල්කඩ සුන්බුන් අතර තිබී හමුවූ රන් කරඬු තුනක් සහ රන්පත් ඉරු සන්නසක් වැදගත් ඓතිහාසික පසුබිමක් නියෝජනය කරයි.

මෙම සන්නස ක්‍රි.ව.දෙවන සියවසෙහි ලියන ලද්දකි. මහල්ලක නාග රජ කණිට්ඨතිස්ස රජ මෙම සන්දේශයෙන් හඳුනා ගැනීමට ලැබෙයි.

එසේම අඩි 4 1/2 ක් පමණ උසැති කවන්ධ (හිස නැති) හිටි පිළිම වහන්සේ, කුඩා ඔත් පිළිමය සහ ධ්‍යාන මුද්‍රාව නිරූපණය කරනා හිඳි පිළිම වහන්සේ අනුව සිතාගත හැක්කේ මෙහි පිළිම ගෙයක් තිබූ බවය.

මෙම කැණීම් වලදි පැරැණි බෝධිඝරයක, ආවාස, ගෘහයක සහ ආරෝග්‍ය ශාලාවක ශේෂයන්ද තහවුරු කරගෙන ඇත. මෙහි අක්කර 500 කට අයත් ප්‍රදේශවල ආරාමික ශේෂයන් මතු විය. අක්කර 12,000 ක් පමණ වූ දීඝවාපියට අයත් ව තිබූ පුළුල් වපසරියක් තුළ තවත් බොහෝ නටබුන් රැසක් සොයා ගෙන තිබේ.

මේ සියලු පුරාවිද්‍යා සාධකයන්ගෙන් පෙනී යන්නේ පැරැණි දීඝවාපි පුදබිම ඉතා පුළුල් බෞද්ධාගමික මධ්‍යස්ථානයක්, වශයෙන් පැවැති බවයි.

කාලයද කෙමෙන් ගෙවී යද්දී මේ වටිනා බෞද්ධ උරුමයට අයත්ව තිබූ භූමි ප්‍රදේශයද ඇකී මැකී යමින් අද දීඝවාපියට ඉතිරිව ඇත්තේ කුඩා භූමි ප්‍රදේශයකි. නටබුන් වූ චෛත්‍ය තවමත් මනාසේ ගොඩනැඟී නොමැත.

අප මාතෘ භූමියට ධර්මදීපය යැයි විරුදාවලිය ලැබීමට එක් ප්‍රබල හේතුවක් වූයේ කුදුමහත් කඳු සිඛරයන් මත, නිල්වන් කෙත්වතු ඉහැත්තෑවේ මහා සාගර බඳු වැව් තාවුළු සමීපයේ, සොඳුරු තෝ තැන්නේ ඉදිවූ චෛත්‍ය මණ්ඩලයක ආනන්දනීය වූ දර්ශනය නිසාය. සතර දිසා ඇද බැඳ තබා ගත් මෙවන් මහා සෑ රඳුන් හඬගා කීවේ මේ අපේ මව් බිම ධර්මදීපයක්ම කියාය.

ඒ නිසාම ලාංකේය බෞද්ධ ජනතාව විශේෂයෙන් මේ දීඝවාපිය වැනි පුදබිම් වඩාත් හොඳින් බලා හදාගෙන දියුණු තියුණු කළ යුතු වන්නේ මෙය නැගෙනහිර ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය, බෞද්ධ උරුමය නඟා සිටුවීම, සුරැකීම වෙනුවෙන් මහාමේරුවක් සේ පෙනී සිටින අභිමානවත් ප්‍රභල සංකේතයක් වන බැවිනි.

බුදුසරණ ඇසුරිණි

මුතියංගණ චෛත්‍යරාජයන් වහන්සේ ( Muthiyangana Sthupa )
දිවාගුහාව (Diwaguhawa)

One Comment

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.