මෙතෙක් ඵෙතිහාසික වශයෙන් පැවැත එන සොළොස්මස්ථානයන්ගෙන් දිවා ගුහාව යන ස්ථානය නිශ්චිත තත්වයන් මත කෙසේ වෙතත් සාධාරණ විශ්වාසයන් මත හෝ හඳුනා ගැනීමට නොහැකි වීම එම හේතුවයි.

ඇතමකු පවසන්නේ මෙම ස්ථානය මිනිස් ඇසට හසුවීමට ඉඩ නොදී දෙවියන් විසින් ආරක්‍ෂා කරන බව යි. සමහරුන් මෙය අත්භූ®ත බලවේගයන්ට බාර දී තිබේ. තවකකු පවසන්නේ දිවාගුහාව සොයා යාමෙන් අතුරු අන්තරා සිදු විය හැකි බව යි. ඒ නිසා එය කිසිසේත් සොයාගත නොහැකි බව ඔවුන් ගේ අදහස යි. මෙතෙක් දිවා ගුහාව සොයා ගැනීමට නො හැකි වූ නිසාම ඒ වටා මෙවැනි අභූත කයි කතන්දර රාශියක් ගොඩ නැගී තිබේ. ඒවා අභියෝග ලෙස ගනිමින් මෙවැනි ඓතිහාසික ස්ථානයක් ගවේෂණය කිරීමෙන් වැළකී සිටීමම ප්‍රශ්නයට උත්තරයක් නොවේ. ප්‍රාමාණික වියතුන්, පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් ආදි වූ වගකිව යුතු ඇත්තන් මෙවැනි ගවේෂණයකට පෙරට ආ යුතුව ඇත. කෙසේ වෙතත් මෙහි චායාරූපයෙන් දක්වා ඇත්තේ දැනට හදුනාගෙන ඇති දිවාගුහාවේ චායාරූපයයි. මෙම දිවා ගුහාව වර්තමානයෙහි හදුනාගෙන ඇත්තේ සිරිපා මලුවේ සි‍ට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවාලෙනයි.

බුදුන් වහන්සේ සමන්තකූටයට වැඩ ගිරග මත සිරිපා ලකුණ සටහන් කර දිවා විහාරණය (දිවා විහාරය) සඳහා කඳු සිඛර පා මුල වූ ගුහාවකට වැඩිය බව වංශ කතා වල සඳහන් වෙයි. බුදුන් වහන්සේ දිවා කාලය විවේක සුවයෙන් ගත කළ ස්ථානය නිසා මෙය දිවා ගුහාව වශයෙන් ප්‍රකට විය. භගවා ගුහාව, භගවාලෙන යන වෙනත් නම් වලින් ද කියැවෙන්නේත් මෙයම ය.

දිවා ගුහාව පිහිටා ඇත්තේ ශ්‍රී පාද කන්ද පාමුල බව සිතීමට හැකි සාක්‍ෂී බොහෝමයක් තිබේ. මහාවංශය පවසන්නේ සංඝයා සහිත වු සේක් ඒ පර්වත පාදයෙහි සැපසේ දිවා විහරණය කොට…. ආදි වශයෙනි. පූජාවලියට අනුව සමනොල ශ්‍රී පාදය ඔබා එගල් පා විට භගවත් නම් ලෙන වැඩ හිඳ සමවත් සුවයෙන් දිවා විහාර කොට..ලෙස සඳහන් වෙයි. වෙදෙහ සාමින් විසින් රචිත සමන්තකූට වර්ණ ගාථා වලින් ද සමන්කුළ පාමුල දිවා ගුහාව පිහිටා ඇති බව පැවසේ.

සිරිපා මළුව සිට හැටන් පාර දිගේ අඩි 300 ක් පමණ බසින විට මාවත වම් පස අඩි 8 1/2 ක් උස අඩි 25 ක් පමණ දිගැති කොටසක් හාරා පළල් කළ ක්‍රමයෙන් නැමී ගිය රමණීය, පිහිටි ගල් ගුහාවකි. සුමන සුරිඳුන්ගේ ආරාධනාවෙන් සමන්කුළු මත සිරිපා ලකුණූ තැබු තථාගතයාණන් වහන්සේ දිවා විහරණය කළ සේක් පර්වත පාදයෙහි නුදුරින් පිහිටි තෙල ගල් ගුහාවේ යැයි සිතිය හැක. (සබරගමු පැරැණි ලියවිලි – පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල)

නිශ්චිත වශයෙන් මෙහි සඳහන් වන ගල්ලෙන කිසිසේත් අපට අමතක කර හෝ මග හැර යා නොහැකි ය. එතැනට පිවිසෙන ගවේෂකයාට මෙම ලෙන ඉදිරියේ වන ගල්බිත්තියේ ඇති සෙල් ලිපිය ඇස ගැසෙණු ඇත. කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා (ක්‍රි.ව. 1187) සිරිපා වැඳි ආකාරය දක්වන රේඛාමය රූ සටහනත් පේලි 7 කින් යුතු අඟල් 10 ක් දිග අඟල් 9 ක් පළල සෙල් ලිපියත්, ඊට දකුණු පසින් ඇති අඩි 5 අගල් 6 ක් දිග සහ අඩි 1 යි අඟල් 10 ක් පළල පේලි 14 කින් යුතු සෙල් ලිපියත් මේ ගුහාවේ ඉදිරියේ වන ගල් බිත්තියේ සටහන්ව තිබේ. පොළොන්නරු සමයේ සිංහල අක්‍ෂරයෙන් ලියන ලද මෙම සෙල් ලිපි දෙකෙන් මුල් සෙල් ලිපියේ කොටා ඇති රේඛා සිතුවමෙහි උස් හිස් වැස්මකින් සහ ශරීරය අලංකාර කරන ලද ආභරණ ද පැළැඳ වන්දනීය ඉරියව්වෙන් පිළිබිඹු වන මානව රූපය කීර්ති ශි‍්‍ර නිශ්ශංක රජතුමාගේ බව සනාථ කර ගත හැක.

රජතුමා ඇද සිටින්නේ පොළොන්නරු යුගයට අයත් ඇඳුම් බව වියත් මතය යි. එහි ඇති අක්‍ෂරයන් මෙසේ ය. නිශ්ශං-ක පරාක්‍රමබාහු-හු චක්‍රවර්ති ස්වාමින්වහන්සේ-පදලස දා -බැඳ බැස සිටි-නියායි. මෙහි වචන වෙන් කර තිබෙන්නේ එම පේලි හතේ තිබෙන ආකාරයට ය. දෙවැනි සෙල් ලිපියේ සඳහන් වන්නේ නිශ්ශංකමල්ල රජතුමා සිරිලක එක්සේසත් කළ බවත් සිරිපාමළුව රජත මාලයන්ගෙන් සහ නව රත්නයන්ගෙන් සැරැසූ බවත්….ආදි වශයෙනි. මෙහි සමහර අක්‍ෂර මැකී ගොස් ය.

ගල් පස් රොඩු ආදියෙන් මුහුණත වැසි ඇති කටු කොහොළු වන ලැහැබ ආක්‍රමණයෙන් මෙම ඓතිහාසික ස්ථානය ගන වනයට වහන් වී තිබෙයි. ඒවා ශුද්ධ පවිත්‍ර කර ඇතුළත පාදා ගතහොත් සමහරවිට තවත් ඵෙතිහාසික සාධක මතුකර ගැනීමට පුළුවන් විය හැකි ය. දහස් ගණන් වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට යන මඟ ආසන්නයේ පිහිටා තිබුණ ද එය වනගහනය විසින් සඟවා තබාගෙන සිටියි. එහෙත් රජතුමා සෙල් ලිපියක් කෙටීමට මෙවැනි ස්ථානයක් තෝරා ගැනීමම විශේෂයක් නොවන්නේද?

ගවේෂකයකුට මෙය කදිම සාක්‍ෂියකි. ඒ ඔස්සේ ගමන ඇරැඹිය හැක. දිවා ගුහාව සොයා නොගන්නා තාක්කල් දිවාගුහා තැන තැන බිහිවේ..මිනිසා ද මංමුලා වෙයි. ඒ උතුම් පූජනීය ස්ථානයේ වටිනාකමද හෑල්ලු වෙයි. ඉතින් දැනට ඇති සාක්‍ෂි මත පිහිටා හෝ දිවාගුහාව සොයායන වන්දනා චාරිකාව ඇරැඹිය යුතුය. ඒ ගුහා විහාරයට හෙට මලක් පහනක් පුදන්නට අපට පින ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

බුදුසරණ ඇදුරිණි

දීඝවාපිය ( Deegawapiya)
ශ්‍රී පාදය (Sri Pada / Adam's Peak)

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.