දැමුණු සිත - ගෙනෙන සෙත ... - IFBC Organization | Dhamma

සිත හීලෑ නෑ …
හරිම මුරණ්ඩුයි – තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා … …

යහලුවනේ ඔයාලත් මේ ගීතය අහල ඇති. හරිම වටින ගීතයක් නේද? හැබැයි පෙම් ගීයක් විදිහනම් නෙවෙයි. සිත ගැන බොහොම ගැඹුරින් කරල තියෙන පැහැදිලි කිරීමක් මේ ගීත ඛණ්ඩය තුල තියෙනව. හොදයි අද අපි මේ සිත ගැන පොඩ්ඩක් හොයල බලමු නේද? හැබැයි මෙතනදි අභිධර්මය තුල කෙරෙන මහා ගැඹුරු පැහැදිලි කිරීම් කරන්නෙ නෑ.මම මේව කියල දෙන්නෙ එදිනෙදා සාමාන්‍ය ජීවිත ගතකරන අයට මිස මහ පණ්ඩිකටන්ට නම් නෙවෙයි.
යාලුවනේ සිත කියන්නෙ බොහොම දෙනා නොසිතන ඒත් අපි සිතන්නම ඕනි වස්තුවක්. ඇයි මම එහෙම කියන්නෙ. අපේ මුලු පංචස්තන්ධය විතරක් නෙවෙයි. අපේ මුලු සංසාර ගමනම රදා පවතින්නෙ මේ සිත කියන වස්තුව මත. නොයෙක් විද්‍යාඥයන් විසින් සිත ගැන නොයෙක් පර්යේෂණ කරල තියෙනව. ඒව අතරින් ඉතාම වැදගත්ම කාරණාවක් හෙලිවෙලා තියෙනව. ඒ තමයි අපට වැලදෙන රෝග වලින් සියයට අසූව ඉක්මවපු ලෙඩ රෝග ප්‍රමාණයක් වැලදෙන්නෙ මේ සිත නිසයි කියල. ඒ කියන්නෙ සිත මහ බලගතු වස්තුවක් කියල අද විද්‍යාඥයන් පිලිගන්නව. මීට සියවස් ගනනාවකට පෙර සුදු ජාතිකයො හිතුවෙ මේ සිතට අවශ්‍ය හැමදේම දෙන්න ඕනි කියල. තෘප්තිමත් කරන්න ඕනි කියල. එයාල අපේ බුදු දහම සැලකුවෙ බොහොම ග්‍රාම්‍ය විදිහටයි. එයාල අපට හිනා උනා. අපි භාවනා කරද්දි උසුලු විසුලු කලා. මොකද දේවවාදී ආගම්වල ආභාෂය නිසා. ඒත් අද එයාල තරම් භෞතිකව සිත ගැන හොයන වෙන කිසිම ජාතියක් ලෝකෙ නෑ. අනික් අතට ආධ්‍යාත්මික පැත්තටත් එයාල යොමු වෙලා. මේ දින කිහිපයකට උඩදි සිදුවුන සිදුවීමක් බටහිර ලෝකය උඩු යටිකුරු කලා නේද? ලොව සතුටින්ම ඉන්න තැනැත්තා බෞද්ධ භික්ෂුවක් කියල.

“ලෝකයේ සතුටින්ම සිටින මිනිසා සොයා ගැනීම සඳහා මෙතෙක් සිදුකරන ලද පර්යේෂණ අභිබවා, ලොව සතුටින්ම සිටින මිනිසා භාවනාවුයෝගී බෞද්ධ භික්ෂුවක් ලෙස හඳුනාගැනීමට ප‍්‍රංශ ජාතික විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
Matthieu Ricard නම් වූ මෙම ප‍්‍රංශ ජාතික බෞද්ධ භික්ෂුවගේ මොළයෙහි සතුට සඳහා අසාමාන්‍ය ඉඩක් පවතින බව මෙහිදී සොයාගෙන තිබේ.”
ඔන්න ඔය විදිහටයි මාධ්‍ය ඒ පුවත වාර්ථා කලේ.

ඉතින් දැන් දැන් මිනිස්සුන්ට තේරිල සිත තමයි සියල්ලටම මුල වෙන්නෙ කියල. ඒත් අවාසනාවට අපේ ඇත්තන්ට තාම නොතේරෙන එකයි දුක.

හරි. සිත කියන්නෙ වාහන පදවන කුලී රියදුරු මහතෙක් වගේ කියලයි මටනම් හිතෙන්නෙ. එයාට නිශ්චිත වාහනයක් නෑ. දෙන වාහනේ ගන්න ඕනි. ඒක නඩත්තු කරන්න ඕනි. වැඩේ ඉවර උනාම බැහැල යන්න ඕනි. ආයි මොනවගේ වාහනයක්ද හම්බවෙන්නෙ කියල තීරණය කරන්නෙ කලින් වාහනය පදවපු විදිහට. වාහන සුද්ධ පවිත්‍ර කර කර ඉදල විතරක් වැඩක් නෑ. පාරෙ යන්න ඕනිත් විනීත විදිහට. කලින් වාහනය නොසැලකිල්ලෙන් පැදවුව කෙනෙක් නම් ඊලග පාර හම්බවෙන්නෙ පරණ වාහන කබලක් නේද? අනික යම් වැරැද්දක් කරල තියෙනව නම් දඩුවම් විදින්නත් ඕනි. හම්බවෙන වාහනේ පිලිවෙලකට ගෙන ගියානම් අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරයි මෙයාට සුපිරි වාහනයක් දෙන්න. පිංවත් යාලුවනේ අපේ සිතත් මේවගේ. අපිට භවයෙන් භවයට හම්බවෙන්නෙ ශරීර කූඩුව කියන වාහනේ. ඒක සුද්ධ කර කර ඉදල වැඩක් නෑ. එපා කියනව නෙවෙයි. නමුත් අපි යන ගමන විනීතව පැදයන්න ඕනි. පංච ශීලය, අශ්ඨාංග ශීලය කියන මාවත් වල මිස පංච දුෂ්චරිතය කියන මාවතේ ගියොත් ඊලග පාර මොන වගේ වාහනයක් ලැබෙයිද දන්නෙ නෑ. සමහරුන්ට ඊලගට ලැබෙන වාහනේ ගැන ගානක් නෑ. දැන් ලැබුන වාහනේ සුද්ධ පවිත්‍ර කර කර ලේසි මාර්ගවල අරන් යනව වාහනේ. යන්න තියෙන පාර වෙන එකක්. යන්නෙ කෙටි පාරවල් වල. මෙයාව පරික්ෂා කරන්න පරීක්ෂකවරු ඉන්නව. ඒව මෙයා දන්නෙ නෑ. දැනගත්තත් ගානකුත් නෑ. ඊලග වාහනේ හම්බවෙනකොට තමයි ඉතින් දුක්වෙන්නෙ. එතකොට මෙන්න මෙහෙම කවියක් මට මතක් උනා

කරන කලට පව් මිහිරිය මීසේ – විදින කලට දුක් දැඩිවෙයි ගිණිසේ
හැදින එපව් දුරලන උපදේසේ – විදින මැනවි තුන්දොර අවකාසේ

මම හරි නේද යාලුවනේ. හරි අපි හැමදේම රටින් එන නිසා ඒවට වැද වැද ඉන්නව මිසක් අපේ දේ අගය කරන්නෙ නෑනෙ. ඔය විද්‍යාව කියන ශාස්ත්‍රයත් අන්න ඒවගේ රටින් ආපු එකක්. ඒක නරකයි කියනව නෙවෙයි. මම කියන්නෙ රටින් කලිසම් ගෙන්නන්නෙ නැතිව රෙදි ගෙනල්ල අපිට හරියන විදිහට මහගන්නව වගේ ඔය විද්‍යාවත් අපිට ඕනි විදිහට හදාගත්තනම් හොදයි කියල. ඔය විද්‍යාවත් එක්ක බුදු දහම සසදන්න යන අය ඉන්නවනෙ. ඒ අයට හැමදේ ම විද්‍යාත්මකව තහවුරු කරන්න ඕනි. නැත්නම් බොරු. ඉතින් ඔය විද්‍යාව කාලයක් කිව්වනෙ පදාර්ථය කුඩාම දෙය කියල. ඊටපස්සෙ ඉලෙක්‍ට්රෝන, ප්රෝටෝන ආදියට බෙදුව. දැන් තව තවත් බෙදනව. ඒත් බුදු හාමුදුරුවො කීවෙ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් තමයි හැමදේම හැදිල තියෙන්නෙ කියල. ඔන්න ඔය වගේ තමයි ඔය විද්‍යාව කියන එක. හැම වෙලේම විචල්‍ය දෙයක්. ඒනිසා ඒක මත පිහිටල තර්ක කරන එක හරිම මෝඩ කමක්. මමනම් දකින්නෙ ඔය විද්‍යාව කියන්නෙ බුදුදහම කියන සර්වත්‍ර කුලකයෙ උප කුලකයක් විදිහටයි. අනේ ඔය විද්‍යාව ගැන මම වැඩිය දන්නෙ නම් නෑ. මමත් විද්‍යාඥයෙක් වෙන්න හිටපු කෙනෙක් තමයි. පොඩිකාලෙ මාර බලාපොරොත්තු තියන් හිටිය. පොඩි තැනකින් මිස් උනා. ඇත්තමයි. අම්ම ඒලෙවල් වලට කොමන්ස් කරන්න කීව. නැත්නම් මමත් නාසා අද එකේ වැඩ. grin emoticon
අපි දන්නවනෙ සිතක් නැති කයක් කියන්නෙ මළ සිරුරක් කියල. ( මෙතනදි කථාකලේ මේ අපට ඇසට අරමුණුවන දේ පිලිබද පමණයි. නැතිනම් සමහරු රූපාවචර අරූපාවචර ලෝක ගැන ඇදල ගනී මෙතෙන්ට ) ඉතින් බලන්න ඉතා කුඩා ඉන්ද්‍රියන් පවා සෙලවිය හැකි සිරුරෙන් සිත ඉවත් උනාම වෙන දේ මොකක්ද කියල.
හරි හරි. දැන් ඉතින් කථාවට බහිමුකො. ඉතින් ඔය බටහිර සියලු විද්‍යාවන් අභිබවා බුදු දහමෙ තමයි සිත ගැන නියම විස්තරය සදහන් වෙන්නෙ. යාලුවනේ හරියටම කීවොත් බටහිර විද්‍යාව කියන්නෙ අපේ පොලව නම් බුදු දහම ඈත අහසෙ දිලෙන ඇල්ෆාසෙන්චුරි තාරකාව ව‍ගේ. ඒනිසා විද්‍යාව ගැන කථාව පැත්තකින් තියල බුදු හාමුදුරුවො සිත ගන කියපු කාරනා ටිකක් හොයල බලමු.

යහලුවනේ බුදු හිමියන් යම් ධර්මයක් දේශනා කලාද ඒ සියල්ලසිත වෙනුවෙන් දේශනා කරපු දෙයක්. හැම තැනම කියවෙන්නෙ සිත පාලනය කරන හැටි. ගක් කොලක් ගැන පවා කථාකලත් සිත සකස්කරගන්න තමයි කියල දුන්නෙ. උදාහරණයක් බලන්න. බෙහෙත් උයන් වන වගා කිරීම සදා පිංවැඩෙන පිංකම්කමක් කියනව. සිත යහපත් කටයුත්තකට යොමුකරන හැටි කියල දෙන එක. සිත පිලිබද බුදු හිමියන් විග්‍රහකරල තියෙන ආකාරය අපි හොයා බලමු.

යහලුවනේ පලමුවෙන්ම බුදු හාමුදුරුවන් සිත හැදින් වූ ආකාරය ඉගෙන ගනිමු. කොහොමද,

‘දූරං ගමං ඒක චරං
අසරීරං ගුහාසයං
යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා’

මොකක්ද මේ‍කෙ තේරුම. දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි බව සම්බුද්ධ දර්ශනයෙහි කියවෙනව. එතනදි අන්තිම පදය හරිම වැදගත්. ‍ “මොක්ඛන්ති මාර බන්ධනා ” කියන්නෙ මාර බන්ධනයෙන් මිදීම. අපි අල්ලගෙන ඉන්න මේ හැම දේම මාරයගෙ බැදීම්. ඒගැන ඉස්සරහට කිටන්නම්කො. ඉතින් දැන් පැහැදිලියි ඔයාලට සිත කියන්නෙ මොන වගේ දෙයක්ද කියන කරනය. අර මම කලින් කියපු කවිය මෙතෙන් හරියටම ගැලපුනා නේද?
බුදු හිමියන් දේශනා කල වැදගත්ම දෙයක් තමයි “ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි ” කියන කාරණය. චේතනාව සියලු කර්මයන්ට මුල වන බව. ඉතින් අපි යමක් කරනවනම් ඒ පිලිබද සිතිවිලි ක්‍රියාත්මක වෙනවනම් ඒ ක්‍රියාවේ හොද හෝ නරක ප්‍රථිඵල අපිට විදින්නම වෙනව. සමහරු අහනව හොද වැඩක් කරන්න නරක දෙයක් කලාට කමක් නැද්ද කියල. එහෙමත් නැත්නම් අහනව පිනක් කරන්න බොරුවක් කීවට කමක් නැද්ද කියල. පිංවත් යාලුවනේ ඔයාල කරන ඒ ක්‍රියා දෙකටම ප්‍රථිඵල ලැබෙනව. සමහර විට ඔයාල කරන්නෙ මහත්ඵල මහානිසංස ගෙනෙන පිංකමක් වෙන්න පුලුවන්. ඒ පිංකමේ බරපතල්කමට අර බොරු කීව පවේ විපාක යටපත් වෙන්නත් පුලුවන්. ඒත් බොරුව කීව එකේ පව ඒ වෙලාවෙ ඇතිවෙනව කියල අමතක කරන්න එපා.
යාලුවනේ මේ දෙයටම සම්බන්ධ තවත් ගාථාවක් මේ විදිහට දක්වන්න පුලුවන්. මේ බලන්න.

මනෝ – පුබ්බංගමා ධම්මා
මනෝ – සෙට්ඨා මනෝමයා
මනසා චෙ පසන්නෙන
භාසති වා කරොති වා
තතො නං සුඛමන්වෙති
ඡායා’ව අනපායීනී

-යමක වග්ගය,2, ධම්ම පදය

දහම්හු සිත පෙරටු කොටැත්තෝය. සිත ශ්‍රේෂ්ඨ කොටැත්තෝය. සිතින්ම උපදනෝය. ඉදින් පහන් සිතින් සිතන්නේ නම් හෝ කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුයෙන් එහි විපාකය වූ සැපය ඔහු අනුව යෙයි. කෙසේද? නොඉවත් ව කැටිවම යන සෙවනැල්ල මෙනි.

ඕක අපිට තේරෙන භාෂාවෙන් මෙහෙමයි. මනස සියලුම සිතිවිලිවලට ඉස්සරලයි ගමන් කරන්න‍ෙ. සිතිවිලි ඇතිකරන්නෙත් එයා. සිතිවිලිවල මූලිකයත් එයයි. කවුරු හරි පහන් සිතින් කථාකරනවනම් ක්‍රියා කරනවනම් එයා පස්සෙ සැප ලුහුබදිනව. හරියට සෙවනැල්ල අපිව අත්හැරල යන්නෙ නෑ වගේ. ( දැන් කියන්න එපා කරුවලේදි අත්හැරල යනව කියල. මොකද ටෝච් එකක් ගහල බැලුවොත් ඔයාලට පෙනෙයි ඔයාල එක්ක ඉන්න බව. tongue emoticon )
යහලුවනේ අපිට වැලදෙන රෝග වලින් සියයට අසූවlටත් වඩා මනස නිසා ඇතිවෙන බව මම කීවනෙ කලින්ම. මේ බලන්නකො ඒක පෙන්වන අවස්ථාවක්.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අන්දමට මිනිසා රෝග වර්ග දෙකකින් පෙලෙන බව දැක්වෙනවා.

‘ද්වෙ මේ භික්ඛවේ රෝගා
කායිකෝ ච රෝගෝ
චේතසිකෝ ච රෝගෝ’

කායික හා මානසික වශයෙන් රෝග දෙවර්ගයක් ඇති බව මෙයින් අපට පැහැදිලි වෙනවා. අපට කායික රෝගවලින් නිදහස් වීමට පුළුවන්. එහෙත් මානසික රෝගවලින් නිදහස්වීමට අපට හැකියාවක් නැහැ.
රහතන් වහන්සේට හැර අනෙක් කිසිදු අයෙකුට මානසික රෝගවලින් මිදීමට හැකියාවක් නැහැ. සෝවාන්, සකෘදාගාමී වුවද මානසික පීඩාවන්ගෙන් මිදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. යම් පමණකට හරි තියෙනවනෙ.
භක්ඛුල මහරහතන් වහන්සේ වයස අවුරුදු 160 ක් දිවි ගෙවූ අතර උන්වහන්සේට ජීවිත කාලය තුළදී කිවිසුමක් හෝ නොගිය බව සඳහන් වනවා. යහලුවනේ ඔයාල නියාම ධර්ම පහ අහල ඇතිනෙ. ඒ කියන්නෙ මේ විශ්වයේ කටයුතු නියාම ධර්ම පහක් මතයි සිද්ධ වෙන්නෙ. උදාහරණයක් විදිහට ඍතු නියාමය කියන්නෙ ඍතුවෙනස් වීම් නිසා සිදුවන දේවල්. බලන්නකො වැහි කාලෙට හෙම්බිරිස්සාව හැදෙනව කියන එක කර්මය නිසා වෙන දෙයක්ද? දෙවියන් වහන්සේ කරනවද? නෑ නෙ. තෙමුන, හෙම්බිරිස්සාව හැදුන. අන්න ඒවගේ නියාම ධර්ම මත හැදෙන ලෙඩ රෝග හැරුනම රහතන් වහන්සේලාට මනස නිසා දුක් විදින්න වෙන්නෙ නෑ. ඇයි. හැමවෙලේම ඉන්නෙ සතුටුම සිතින්. ඇත්තටම ඒකට කියන්නෙ නිරාමිස ප්‍රීතිය. දැක්කද අර මුලින් කියපු ලෝකෙ සතුටින්ම සිටින තැනැත්තා භික්ෂූන් වහන්සේ කෙනෙක් වීමේ රහස. ඔතන රහතන් වහන්සේ කෙනෙක් හිටියනම් ඔය උපකරනවලට මොනව වෙයිද දන්නෙ නෑ. නේද? දැන් අපට හොද තැනක් තියෙනව මෙතනදි බලන්න. අද මේ සමාජෙ මිනිස්සුන්ට ලෙඩරෝග බහුල වෙලා තියෙන්නෙ ඔය කියන හිත් නරක් වෙලා නිසයි නේද? එහෙනම් මේ ධර්මයෙන් ඈත්වීමේ ප්‍රතිවිපාකය මොනතරම් සමාජයට බලපාල තියෙනවද කියල ඔයාලට තේරෙනව නේද?

බුදුරජාණන් වහන්සේ අන්‍යයන්ගේ සිත විනිවිද දැක තිබෙනවා. ඒ සඳහා උන්වහන්සේට පරචිත්ත විජානන ඥානය හෙවත් අනුන්ගේ සිත දැකගැනීමේ නුවණ තිබුණා. එසේම ඉන්ද්‍රිය පරෝපරියත්ථි ඥානය නමින් හඳුන්වන අන්‍ය පුද්ගලයන්ගේ හැකියාව හඳුනා ගැනීමේ දස්කමද තිබුණ. තමන් ළඟට පැමිණෙන අයගේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කරුණු පහම නිවැරැදිව හඳුනා ගැනීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. එසේම ආසය අනුහසඥානය හෙවත් නූතන මනෝවිද්‍යාව අනුව නම් උඩුහිත හා යටි හිත නිවැරැදිව හඳුනා ගැනීමයි. ඒ නිසා බුදු නුවණින් දැකපුව ආයිත් කාටවත් බොරු කරන්නනම් බෑ. බුදුරජාණන් වහන්සේ මේ ඥාන තුනම උපයෝගී කරගෙන තමයි මිනිසා දුකින් එතෙර කරවීම සඳහා වසර 45 ක්ම කටයුතු කලේ.

ශරීරයට මනස බලපානු ලබන බව ත්‍රිපිටකයේ එන පහත සිද්ධියෙන් අපට පැහැදිලි කරන්න පුළුවන්.
දිනක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ‘බුදුරජාණන් වහන්ස කැලේට වී බ්‍රහ්මචාරීව දවසට එක් වේලක් පමණ ආහාර ගන්නා ශ්‍රාවකයන් ගැන මා සිතුවේ ඒ අය තනිව ජීවිත ගත කරන නිසා දුර්වල එක වේලක් පමණක් ආහාර ගන්නා නිසා වේලුණු බට දණ්ඩක් මෙන් හැකිලී ගිය ශරීරයන්ගෙන් යුක්තව මැලවුණු මුහුණින් සිටිනු ඇති කියායි, එහෙත් ඔවුන් මෙසේ ප්‍රසන්නව සිටින්නේ කෙසේද?
බුදුරජාණන් වහන්සේ එම දේවතාවනට වදාළා සිටියේ අතීතානානු සෝචන්ති සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් අතීතයේ සිදුවීම් පිළිබඳ හඬා නොවැලපෙන්නේය.මට අරක නැති උනා, මේක නැති උනා, මේක කරගන්න බැරි උනා, ආදී වශයෙන් උනවහන්සේලා අතීතැ ගැන දුක්වෙන්නේ නැහැ.
උදා වී නැති අනාගතයක් ගැන තැවෙන්නේද නැත. තථාගතයන්ගේ ශ්‍රාවකයන් සැමවිටම වර්තමානයේ ජීවත්වන බවත් අතීතය හෝ අනාගතය ගැන හෝ සිත මෙහෙයවන්නේ නැති බවත් වර්තමානයේ සිත මෙහෙයවා කටයුතු කිරීම නිසා තථාගත ශ්‍රාවකයන් ඉඳුරන් ප්‍රසන්නව දිවිගෙවන බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ නිසා මානසික අවුල් බරින් තොරව දිවිගෙවීම උතුම් බව බුදුරජාණන් වහන්සේ එසේ පෙන්වා දුන්හ. මේ මානසික අවුල් නැති කර ගත හැකි ආකාරයන් ත්‍රිපිටකය පුරාම දක්වා තිබෙනවා. විශේෂයෙන්ම ඔය සමහරු බොරුයි කියන අභිධර්මය ඇතුලෙ විශාල වශයෙන් සිත ගැන තොරතුරු දක්වල තියෙනව.

ඉන්ද්‍රියානි මනුස්සානං
තාය අහිතාය ච
අරක්ඛිතානි අභිතාය
රක්ඛිතානි හිතාය ච’

යනුවෙන් දක්වා ඇත්තේ මිනිසාගේ සිරිත, අහිත පිණිස ඉන්ද්‍රියයන් බලපාන බවත් සිත දියුණු කොට එම ඉන්ද්‍රියය පාලනය කරගත්විට ඉන් පුද්ගලයාට යහපතක්ම සිදුවන බවයි. නොදියුණු සිතින් ඉන්ද්‍රිය පාලනයන් නොමැති වුවහොත් ඉන් අයහපතක්ම සිදුවෙයි. බලන්න යාලුවනේ අරක්කු බොන මිනිහෙක් මොන දුකක් විදිනවද? හරියට කනව බොනව කියලද? වැටි වැටි සත්තුවගේ අගල් ගානෙ. වමනෙ දාගෙන. සමහර වෙලාවට පාරෙ වමනෙ දාගෙන වැටිල. බල්ලො ඇවිත් කට ලෙව කනව. ගෙදර මිනිස්සු නන්නත්තාර වෙලා. ගෑනු මනුස්සය අපාදුක් විදිනව. දරුවො විනාශ වෙලා යනව. ඉතින් දෙයියනේ මොන දියුණුවක්ද? බලන්න සිතක් නරක් උනාම මොනතරම් විනාශකේ මේ සමාජෙට වෙනවද කියල.
ලෝකයේ සාමාන්‍ය මිනිසුන්ගේ සිත් කෙලෙස් (කිලෙස) නම් වන අකුසල හෝ ලාමක සිතිවිලිවලින් දූෂිතව තියෙනවනෙ. එයට බලපානුයේ අකුසල චෛතසික නම් වන මානසික කරුණු කිහිපයක්ම තියෙනව. අකුසල චෛතසික ලෝභ දෝස මෝහ යන මුල් තුන නිසා හටගන්නා බව බුදුරදුන් විසින් පෙන්වා දීල තියෙනව නේද? . ලෝහ කියන්නෙ ආශාව නැතහොත් පහත් ඇලීමයි. දෝස යනු තරහයි. මෝහ කියන්නෙ සත්‍යය පිළිබඳ නො දැනුමයි. මෙම ගති ස්වභාව උසුලන කාමාචවර ලෝකයේ ඉන්න සත්වයෝ සතුට සොයනුයේ ඉඳුරන් පහ මගින්‍ මිනිසුන්, දෙවිවරුන් හා අපාගත වූවන් මෙයට ගොඩට වැටෙනව. මොවුන් පසිඳුරන් මගින් සොයන සතුට විධිමත්, ස්ථාවර හා දීර්ඝකාලීන වූවක් නොවන බව බුදුරජාණන් වහන්සේ කිය ගියෙනව යාලුවනේ. සක්විති රජා උනත් අපායට යන්න පුලුවන්. එක වරක් බුදු හාමුදුරුවො වේයො රෑනක් පෙන්නල කියනව මෙතන සක්විති රජ නොවූ එක වේයෙක්වත් මට පේන‍්නෙ නෑ කියල. අද සුර සැප විදින කුමාරය හෙට ගොම ගොඩක පණුවෙක් වෙන්නත් පුලුවන්. තණ්හාව සැපක් ලෙස සත්වයා මුලා කරමින් දුක් වේදනාව සන්තාපය ඇති කරවන බවද පෙන්වා දෙනව බුදු දහම මගින්. එපමණක් නොවේ.
සිත අපිරිසුදු කර ගැනීමෙන් මිනිසකුට වන හානි අධික යි. අපිරිසුදු සිත මිනිසා තුළ අකුසල සිතිවිලි උපදවන අතර, දුකෙන් දොම්නසින් කාලය ගෙවීමට ද පසුව අකුසල විපාක විඳීමට ද සලස්වනව යාලුවනේ. ඒඩ්ස් හදාගත්ත මිනිහෙක් මොනතරම් කාලයක් විදවලද මරෙන්නෙ. මැරිලත් විදවන්න ඕනි නේද? . ලෝභය තාවකාලික සතුටක් හිමි කර දෙන අතර, ද්වේෂය කෙනකුට එම මොහොතේ දී ද වේදනාව උරුම කර දෙනව.. මේ නිසා බොහෝවිට අපි ලෝභය, ආශාව, ඇලීම, තණ්හාව යන දේ සමග කාලය ගෙවන අතර ද්වේෂය ද අකුසල චෛතසිකයක් හෝ පහත් ධර්මතාවයක් හෝ නිෂ්ඵල දෙයක් ලෙස හිතන්නෙ නෑ නේද?
අප විසින් සිත මුල් කොට කරනු ලබන කර්මවලට වටිනාකමක් හැම වෙලාවෙම ලැබෙනව. බුදු දහම අනුව කර්ම යනු සචේතනික ක්‍රියා කියල මම කීවනෙ. ඒ කියන්නෙ සිතින් හිතල කරන දේවල්.. ඒ නිසා කරනු ලබන සෑම දෙයක්ම සිතා මතා සිහි කල්පනාවෙන් කිරීමට හුරුවීම වැදගත් . දීර්ඝකාලීන හා අර්ථවත් මානසික සුවයක් අපේක්ෂා කරන්නේ නම් යහපත් දේ කිරීමට පෙළඹීය යුතු මයි. මොකද දන්නවද? කර්මවල විපාක මෙලොවදීම හෝ පරලොව දී හෝ ඉඩ ලද විටක පල දෙන නිසයි. අකුසල කර්මවලට වඩා කුසල කර්ම බලවත් බව ද තේරුම් ගත හැකි යන්නේ, කුසල කර්ම හේතුවෙන් අහෝසි කර්ම ගණයට වැටෙන අකුසල කර්ම විශේෂයක්ද තියනව. මම කීවෙ අර බොරු කියන්නෙ හොද වැඩකට උනත් ඒකෙ පව ලැබෙනව කියල. ඒත් ඒ සමග කරන පින බලවත්නම් අර පව යටපත් වෙන්න පුලුවන්. වැරැදි ක්‍රියාවලට නැත්නම් අකුසල්වලට මූලික හේතුව මෝහය නැතහොත් සත්‍යය පිළිබඳ වැටහීමක් නැතිකමයි. මෙම නො දැනුවත්කම හෙවත් මෝහය නැති කිරීම, අවබෝධය දියුණු කිරීම කළ හැකි පියවර තුනක් පෙන්වා දී තියෙනව. එයින් පළමුවැන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටකයට ඇතුළත් වී ඇති ධර්මය හා අටුවාවලින් ඒවා විවරණය කර ඇති ආකාරය, අසා හෝ කියවීමෙන් තේරුම් ගැනීමයි. හැබැයි නියම සද්ධර්මය ගැන මේ කියන්නෙ. ( භාගයක් පමණක් අල්ලන් බොරු කියන ඒව එහෙම නෙවෙයි. ) එය ‘සුතමය පඤ්ඤා’ නමින් ධර්මයේ විස්තර කරනව.
. දෙවැන්න තමා කී හෝ ඇසූ දේ පිළිබඳව චින්තන ශක්තිය මෙහෙයවීමයි. එය චින්තාමය පඤ්ඤා නමින් හැදින් වෙනව.. තෙවැනි ක්‍රමය විදර්ශනා භාවනාවෙන් මනස දියුණු කිරීමයි. එය භාවනාමය පඤ්ඤා නමින් විස්තර වෙනව.. භාවනාව තමයි මේ සියල්ලෙන්ම හොදම විදිය කියල මටනම් හිතෙන්නෙ.
අපේ සමාජෙ මොනතරම් මිනිස්සු ජීවත් වෙනවද? එක එක දේවලට දක්ෂ අය. ඒ අය දිවා රෑ නොබල වැඩ කටයුතු කරනව. ඒත් ඒ ඇත්තතො නිකමටවත් තම සිත ගැන මොහොතක් හිතනවද? තමන්ගෙ රැකියාවෙ උසස් වීම් බලාගෙන පාන්දර වෙනකම් පාඩම් කරන අය සංසාරෙ දුක නිවාගන්න මොහොතක්වත් ඉඩ වෙන් කරන්නෙ නෑ. ඉතින් යකඩ මිනිස්සු වගේ එහෙට මෙහෙට දුවනව. කිසිම සැහැල්ලුවක් නැහැ. සිහියක් නැහැ. අනික් මිනිහ පරයල ඉහලට යන්නයි දගලන්නෙ.

සතිථට්ඨානය නැතහොත් සිහි බුද්ධියෙන් යුතුව සියලු කටයුතු කිරීම එදිනෙදා ජීවිතයේ දී ක්‍රියාත්මක කළ හැකි නම් ලෝභය අකුසල චෛතසිකයක් ඇති වන මොහොතෙහි ම එය යටපත් කිරීමටත් කරදර සම්බාධක විවිධ ගැටලු විසඳා ගැනීමටත්, අසතුට දොම්නස වෙනුවට සතුට හා සොම්නස උපදවා ගැනීමටත් පුලුවන්. පාන්දර අවදි වූ මොහොතෙහි සිට ශරීරය පිරිසුදු කරන මිනිසුන් වශයෙන් අපි එහෙම ( ශුද්ධ පවිත% කරගැනීම් ) නොකළහොත් අත්විඳීමට සිදු වන ඛේදජනක ඉරණම ගැන අපි දන්නව නේද? සිරුර ගඳ ගැසීම, සෙසු අය විසින් පිළිකුල් කිරිම, හොරි දද කුෂ්ට තුවාල ඇති වීම සිරුර කුණුවීම රෝගී වීම, දුක වේදනාව දරා ගත නොහැකිවීම යනාදිය එහි ප්‍රතිඵලය , දුගඳ හමන, කුණු වන තම සිරුර අන් අයට පමණක් නොව තමාටම අප්‍රසන්න අත්දැකීමක් වෙනව. මේ නිසා සාමාන්‍ය මොළයක් ඇති කවරෙකු වුවද හැකි තරම් තම සිරුර ශුද්ධ පවිත% කරගන්නව. ඒත් අපේ ඔලුව ඇතුලෙ තියෙන ජරාව ඉවත් කරගන්න අපි පොඩ්ඩක් හරි උත්සාහ කරල නෑ නේද?

අත්තනාව කතං පාපං
අත්ත නා සංකිලිස්සති
අත්ත නා අකතං පාපං
අත්තනාව විසුජ්ජති
සුද්ධී අසුද්ධි පච්චත්තං
නාඤ්ඤ මඤ්ඤෝ විසොධයේ

යනුවෙන් ධම්මපද පාලියෙහි විස්තර කර ඇත්තේ තමා විසින් කරනු ලබන අයහපත් පාපී ක්‍රියාවන් නිසා තමා කෙළෙසීමට පත්වන බවත්, පාපී ක්‍රියාවන් නොකිරීම නිසා තමා පිරිසුදු වන බවත්, කෙනෙකුගේ පිරිසුදුබව හෝ අපිරිසුදුබව අනෙකෙකුට කළ නොහැකි බවත්ය.
ඉතින් අපි සිරුර වගේම මනසත් පිරිසිදු කරගන්න ඕනිමයි. අපි ඒක කරනවද? අපි අතින් ඒක් වෙන්නෙ නෑ. අන්න ඒනිසා අපිට අප%මාන දුක් විදින්න වෙලා තියෙනව. හිත සැහැල්ලු කරගන්න බැරිව සමහරු සිය දිවි නසා ගන්නව. මිනී මරණව. මේවයින් වෙන්නෙ ගැටලුව තව තවත වර්ධනය වෙන එක පමණයි නේද?

මේ බලන්න

සුදුද්දසං සුනිපුනං – යත්‍ථකාම නිපාතිනං
චිත්තස්ස දමථොසාධු – චිත්තං දන්තං සුඛාවහං

“දැකීමට ඉතා අපහසු ඉතාමත් සියුම් වූ පි‍්‍රයමනාප අරමුණුම සොයා යන මෙම සිත දමනය කිරීම මැනවි. දමනය කළ සිත සැප ගෙනදෙයි”
සිත දැකීමට හෝ ස්පර්ශ කිරීමට බැහැ කැමැති අරමුණුවලමයි ලගින්නෙ. කැමති පුද්ගලයන් ගැන ආසා කරන ගෙවල් දොරවල් වතුපිටි ගැන පි‍්‍රය මනාප පදවි තානාත්තර ගැන සිතමින් ඒවා සොයමින් වෙහෙසෙනවා. ඒත් අන්තිමට අපි ඕව ඔක්කොම දාල යනව කියල කවුරුත් හිතට ගන්නෙ නෑ නේද?
දියමත දැමූ කඩදාසි ඔරුව සැහැල්ලු හෙයින් දියමත පාවෙනව. වේගයෙන් ගලන දිය පහරකට හසුවුවහොත් ගසාගෙන යනව. ඒ වගේම නියමිත වැඩක නො යෙදුණු ඒ මේ අත පාවෙන සිතද රාගය, කාමය, ද්වේශය වැනි පහසු පි‍්‍රය අරමුණකට හසු වුවහොත් ඒ කැමැති අරමුණෙහි ගිලී යනව. සහජ ගතිගුණ ඉස්මතුවීම් වශයෙන් නොයෙක් පුරුදු ඇබ්බැහිකම්වලට යොමු වන්නේ මෙවැනි අවස්ථාවලදියි. සිත නිශ්චිත අරමුණක නොපිහිටීම හානිකර හෙයින් යම් කිසි වැඩක යෙදීමෙන් සිත ප‍්‍රබෝධයෙන් තබා ගැනීමට පුහුණු විය යුතුයි. යහලුවනේ දුබල සිත මුල් බුරුවෙලා තියෙන ගහක් වගෙයිලු. පොඩි හුලගටත් වැටෙනව. හරියට පංචකාම වස්තු සොය සොයා දුවන සිත වගේ නේද?
දමනය කල සිත බුදු හාමුදුරුවො උපමා කරල තියෙන්නෙ මහ විශාල කලුගලකට. මොකද වේරම්භ වාතය හැමුවත් ගල හෙලවෙන්නෙ නැති නිසා.

දිසො දිසං යං තං කයිරා
වෙරි වා පන වෙරිනං
මිචජා පණීහිතං චිත්තං
පාපියෝ තං තතො කරෙ

යනුවෙන් ධම්මපද පාලියෙහි දැක්වෙන්නේ පාපයට, වරදට බැඳී ඇති සිත සොර සතුරන් විසින් සිදුකරන නපුරටත් වඩා මහානපුරක් කරන බවයි. මොකද හොරෙක් හතුරෙක් ඔබේ සියලු වස්තුව පැහැර ගත්තත්, ඔබේ ජීවිතය විනාශ කලත් ඔබේ සංසාර ගමන විනාශ කරන්න ඔවුනට බෑ. ඒත් නොදැමුනු සිත, නැතිනම් වරදට පෙඹුනු සිත ඔබේ දේපල, ජීවිතය විතරක් නෙවෙයි සංසාර ගමනත් විනාශ කරනව. හිතන්න මත් පැනට අධිකව ඇබ්බැහි උන මිනිහෙක්ට වෙන දේ.
යාලුවනේ අපේ පැත්තෙ ඉස්කෝල මහත්තයෙක් ඉන්නව විශ්‍රාමගිය. මිනිහ අරක්කු වලට මොන තරම් ඇබ්බැහි වෙලාද කීවොත් ගෙදර තියෙන දේවල් පවා උකස් තියනව. නොකරන දෙයක් නෑ දවසකට අරක්කු ටිකක් හොයාගන්න. දරුවො හොද රැකියා කරන අය. ඔයාල විශ්වාස කරන්න. එකදවසක් අරක්කු බෝතල් දාසයක් කැලේකට ගෙනිහිල්ල එලියටවත් එන්නෙ නැතිව දවස් තුනක් තිස්සෙ බීවලු. බොනව කැලේම නිදියනව. මොන තිරිසන්නුද බලන්න මුන්. ඔන්න බලන්න සිතක් දමනය නොවුනම වෙන දේ.

යහලුවනේ ඒවගේම තමයි මනස එක්ක සෙල්ලම් කරන්නත් හොද නෑ. අපිට තව කෙනෙක්ගෙ මනසට සුවය දෙන්න පුලුවන්නම් ඊට වඩා පිංකමක් නෑ. බුදුහාමුදුරුවො කලේ හැමෝගෙම මනස සුවපත් කරන එක. අපි කවදාවත් කා‍ගෙවත් උපතින් හිමි වූ දේවලට හෝ වෙනස් කරන්න බැරි දේවල් වලට හිනාවෙන්න හොද නෑ. අපි යමෙකුට හිනාවෙන්න් ඕනි ඔහුගෙ හදාගන්න පුලුවන් වැරැද්දකට. මොකද එතකොට එයා ලැජ්ජ හිතිල වැරැද්ද හදාගන්නවනෙ. අපිට යමෙකුගෙ මනස හදන්න පුලුවන් නම් එය හරිම වැදගත් පිංකමක්.
ඉතින් යාලුවනේ බුදු දහම අනුව මනසට ප්‍රතිකාර කිරීමේ දී ආත්ම අවබෝධය ඉතාම වැදගත්. මීට හොඳම උදාහරණය කිසාගෝතමී කතා පුවතින් ලබා ගත හැකි ය. මිය ගිය දරුවා රැගෙන බුදු රජාණන් වහන්සේ ඉදිරියට පැමිණ කිසාගෝතමියට බුදුරදුන් පවසන්නේ නැගෙණියනි අබ ඇට ටිකක් රැගෙන එන්න යනුවෙනි.
තම දරුවා අබ ඇට මඟින් සුවපත් කළ හැකි බව යැයි තේරුම්ගත් ඇය අබ ගෙන ඒමට යාමට පිටත් වන විට ඇයට යළි කතා කළ බුදුරජාණන් වහන්සේ වදාළේ කිසිවකු නොමළ ගෙයකින් අබ ගෙන එන ලෙසය. අබ ගෙන ඒමට කිසිවෙක් නොමළ ගෙයක් සොයා යෑමේ දී කිසාගෝතමියට ජීවිතයේ අනියත බව අවබෝධ වුණා.
බලන්න එකපාරටම බෑ කිව්වනම් මොකද වෙන්නෙ. ඔය මනුස්සය පපුව පලාගෙන මැරෙන්නත් තිබුන. මොනතරම් මහා කරුණාවක් මගෙ බුදු හාමුදුරුවො ගාව තිබුනද?
ඉතින් අන්න ඒකයි කියන්නෙ හිත රැක ගැනීමට අපි හැමවිටම උත්සාහ කරන්න ඕනි කියල. මහා නගරයක් හොර හතුරන්ලෙන් බේරගන්න පුලුවන්ලු. ඒත් හිකරැකගන්න එක අමාරුයිලු.

මේ බලන්න හිත රැක ගිනීමේ වැදගත්කම පෙන්වන අවස්ථාවක්.
යහලුවනේ එක් වරක් බුදු හාමුදුරුවො හමුවෙන්න ආව භික්ෂුවක් බුදුහාමුදුරුවන්ට කීව මට ගිහි ජීවිතේට යන්න ඕනි කියල. බුදු හාමුදුරුවො ඇහුව ඇයි ඒ කියල. අනේ බුදු හාමුදුරුවනේ මට ශික්ෂාපද රකින්න බෑ කිව්ව. හරි. ඔබට ශික්ෂාපද රකින්නනෙ බැරි. එහෙනම් සිත විතරක් රැකගන්න කීව. අනේ ඒ අනුව කටයුතු කල අර මාමුදුරුවො නොබෝ කලකින්ම රහත් උනා. පේනව නේද හිත රැකගැනීමේ වැදගත්කම.
යාලුවනේ අපි සිත රැකගන්නව වගේම අනික් අයගෙ හිත් තලන එකත් හරිම වැරදියි. තව කෙනෙකුට යමක් තේරුම් කරල දෙන්න ඕනි ආදරෙන්. සමහර නංගිල මගෙන් අහනව ඇයි ආදරෙන් කථා කරන්නෙ කියල. ඒකට හේතුව තමයි නංගියේ ඔයාලගෙ හිත් නොතැලෙන විදිහට කථාකරපුවමයි ඔයාලගෙ ගැටලු මට හරියට තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ. හැබැයි එපා කියපු දෙයක් ආයිත කරනවනම් ටිකක් බනින්නත් වෙනව.
ඒ වගේම අපි අනික් අයට ගරු කරන්නත් ඉගෙන ගන්න ඕනි මේ බලන්න ඒකට උදාහරණයක්.
එක් වාරයක් සැරියුත් හැමුදුරුවො මිදුල අතුගගා හිටිය. මේ කියන දවසෙම මහණ උන පුංචිම හාමුදුරු කෙනෙක් දැක්ක සැරියුත් හාමුදුරුවනගෙ සිවුර බිම ගෑවෙනව. ඉතින් කීව ගිහින් හාමුදුරුවනේ ඔන්න සිවුර බිම ගෑවෙනව හරිය පොරව ගන්න කියල. මොකද කීවෙ, සැර කලාද, බැන්නද, නෑ නෑ පුංචි හාමුචුරුවන්ට වදින්න බැරි නිසා බුදු හාමුදුරුවො වැඩ හිටිය ගදකිලිය පැත්තට හැරිල වැදල මේ ගාථාව කීව.
තදහු පබ්බජිතො සන්තො – ජාතියා සත්තවස්‌සිකෝ
සොපි මං අනුසාසෙය්‍ය – පටි ගණ්‌හාම් මුද්ධනා

අදම මහණ වූ උත්පත්තියෙන් සත් අවුරුද්දක්‌ වූ දරුවෙක්‌ මට අවවාද කරන්නේය. ඒ අවවාදය මුදුනෙන් පිළිගනිමි.
පේනව නේද නිහතමානි කම. අපිනම් ඉදලෙන්ම දෙකක් දීල එලවල දානව නේද? අන්න ඒකයි දැමුනු සිතේ ස්වභාවය.
පින්වත් යාලුවනේ පියුමතුරා බුදු හිමියන් හමුවීමට ගිය සුමන නම් කුමාරයෙක් ඒ බුදුහිමියන්ගේ සුමන නමින්ම හැදින්වුන අග% උපස්ථායකයා හිමියන් හමුවී ඒ සදහා අවසර ඉල්ලා හිටිය. ඒඅවස්ථාවේ කුමරුත් සමග එක්වරම බුදුහිමියන් ඉදිරියේ පෙනී සිටිය. මේ පිලිබද පුදුමයට පත් සුමන කමරු තමන්ද මතු භවයක අග% උපස්ථායක වරයෙකු වීමට නියත විවරණ ලබාගත්ත. ඒ තමයි අපේ බුදුපියාණන් වහන්සෙගෙ අග% උපස්ථායක ආනන්ද හාමුදුරුවො. පේනව නේද සිතකට කරන්න බැරි දෙයක් නෑ කියල.
යාලුවො දන්නව දමනය කල සිත තමයි ඍද්ධි ප%ාතිහාර්ය පවා දක්වන්නෙ කියල. බුදු හිමියන් කෝටි ලක්ෂයක් සක්වලට ආඥාවන් පවා නිකුත් කලේ, ගණන් කරන්න බැරිතරම් සක්වලයන් විමර්ශනය කලේ මේ දමනය වූ සිතින්. විශ්වය හරහා ඍද්ධිබල‍ෙයනගෙමන්කලේ මොනතරම් වේගයෙන්ද කියල ඔය ආනන්ද සූත%යේ එහෙම දක්වල තියෙනව. හකුලපු අතක් දිග අරින්න ඉස්ර ඔය සැතපුම් කෝටි ප%කෝටි ගණන් දුර ගිහින් තියෙනව. චිත් බලයෙන් එතිනෙකාට කථා කරන ආකාරය, සැතපුම් දහස් ගණන් පණිවිඩ හුවමාරු කරන ආකාරය, යම් යම් වස්තු චලනය කරන ආකාරය, සිරුරින් සිත ඉවත්කරන ආකාරය ගැන විද්‍යාඥයන්නිතර පරීත්ෂණ පවත්වනව. අනාගතේදි අභ්‍යවකාශ යානා නොයව මනෝකාය යවන්නෙ කොහොමද කියන දේවල් ගැන දැන් සොයමින් පවතින බවට ආරංචි තියෙනව. බලන්න මනසේ ශක්තිය ‍ෙකාතරම්ද කියල.
යාලුවනේ බුදු හාමුදුරුවො පැහැදිලිව කීව තමන්ට ඉන්නෙ තමන් පමණයි කියල. අත්ථාහි අත්තනෝ නාථෝ – කෝහි නාථෝ පරෝසියා කියල කීව නේද? ඒ නිසයි කියන්නෙ දෙමාපියන්ටවත් කරන්න බැරි යහපතක් දැමුනු සිතට කරන්න පුලුවන් කියල.

නතං මාතා පිතා කයිරා
අඤෙඤවාපි ච ඤාතකා
සම්මා පණීහිතං චිත්තං
සෙය්‍යසො නං තතො කරෝ’ති

යනුවෙන් දක්වා ඇත්තේ මනා පිළිවෙතෙහි යෙදූ සිත සිදුකරනු ලබන යහපත මවුපියන්ටත් සිදුකළ නොහැකි බවයි.

ඉතින් යාලුවනේ ඔයාලට තේරෙන්න ඇති සිත රැකගැනීම මොනතරම් දෙයක්ද කියල. දමනය වූ සිතඔබට යහපත උදාකරනව. නිරන්තරයෙන්සිත රැකගන්න. බාහිර ඔපයට වහල් වෙන්න එපා. මේ බලන්න.

කුමට ද කා බී නිති සැර සෙන්නේ
කොතැන ද මේ කය අරගෙන යන්නේ
ඇම සඳ නොමැලිව පින් කර ගන්නේ
එමවද බව සයුරෙන් ගොඩ ලන්නේ

ඉතින් යාලුවනේ ජීවිතය හදනව කියන්නෙ හිත හදන එක තමයි. ඔබත් ඔබේ සිත පාලනය කරගන්න උත්සාහ කරන්න.

සිත හරි සුන්දරයි පිවිතුරු මල් ලෙස
එය රැකගත යුතුයි සදහම් දියෙන් පිස
මිනිසුන් ලෙසින් ඒ සිල්ගුණ දහම් මිස
වෙන දේ පලක් වෙද රැකුමෙන් සිතින් යස

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

මිනිස් ඉතිහාසයේ දැවැන්තම අත්හැරීම ...
පරම පූජනීය සිරි දළදාවහන්සේ‍ගේ තේවාව ගැන දැනගනිමු.

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.