දළදා වහන්සේ වෙනුවෙන් හේවිසි පූජා පැවැත්වීම පෙර සිට ම පැවත එන චාරිත‍්‍රයකි. දඹදෙණි හා කුරුණෑගල සමයේ සිට මේ කාර්යය සඳහා පණික්කි මුර හතරක් පැවැති බව පැවසේ. ඉහළ දොළොස්පත්තුව (කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ මාවතගම ආදී ප‍්‍රදේශ), පහළ දොළොස්පත්තුව (හිරියාල හත්පත්තුව ඇතුළු ප‍්‍රදේශ), දුම්බර සහ මාතලේ යනුවෙනි. වර්තමානයේ මාලගම්මන, මොළගොඩ, ඉහළවෙල සහ උඩුවෙල යනුවෙන් හැඳින්වෙන්නේ එම පරම්පරාවන්ගෙන් පැවත එන පරපුරය.

අතීතයේ දී හේවිසි පූජාව සඳහා අවශ්‍ය ශිල්පීන් රජු විසින් පත්කරනු ලැබූව ද අද එම කාර්යය සිදුවන්නේ දියවඩන නිලමේවරයා අතිනි. තම රාජකාරිය නිසි ලෙස, නො කඩවා ඉටු කිරීම සඳහා මේ ශිල්පීන්ට ගම්වර පවරා දී ඇත.

ශ‍්‍රී දළදා මාලිගාවේ හේවිසි පූජාව දිනපතා අලුයම බුද්ධ පූජාව, නවපෑ බුද්ධ පූජාව, හැන්දෑ ගිලන්පස පූජාව යන ති‍්‍රවිධ අවස්ථාවන්හි දී සිදුකැරේ.

තේවාවන් සඳහා හේවිසි පූජාව පවත්වන්නේ හේවිසි මණ්ඩපයේ සිටය. අලුයම 5.15ට පමණ තේවාව බාර ස්වාමීන් වහන්සේලාට සූදානම් වීමට අලුයම් දූරය නමින් මුල් හේවිසි වාදනය සිදු කැරේ. ඉන්පසු තේවාවේ එක් එක් අවස්ථාවන්ට අනුකූල වන පරිදි හේවිසි පද මාරු කරමින් වාදනය වේ.


බදාදා නානුමුර මංගල්‍යය හා පෝය දිනවලදීත් සතර මංගල්‍යය යනු අවස්ථාවන්හිදීත් හේවිසි පූජා පැවැත්වීමට නියමිත ය. නානුමුර මංගල්‍යය අවස්ථාවේ දී හේවිසි පද තරමක් වෙනස් වේ. විශේෂයෙන් බදාදා දිනයන්හි නාගසිත්තම්, තබ්බොරුව හා කයිතාලම යන භාණ්ඩ වාදනය කරති. ඊට අමතරව වැඩ සිටින මාලිගාව වටා තුන්වරක් කුඩා පෙරහරකින් පැදකුණු කරති. උඩමාලයේ හඳුන්කුඩමට දකුණු පස බරාදයේ සිට කවිකාර මඩුවේ හතර දෙනා උඩැක්කි, පන්තේරු හා තාලම්පොට වාදනය කරමින් දළදා ගුණ ගායනා කරති. මෙසේ තූර්ය වාදනයෙන් පූජා පැවැත්වීම අතීතයේ සිට ම පැවත එන සිරිතකි.

හේවිසි වාදනයට අමතරව උඩමාලයට මල් හත්සියයක් ද පල්ලෙමාලයට මල් හත්සියයක් ද සපයාදීම පනික්කි මුරයට බාර වේ. දිනපතා දෙදෙනෙක් මුර සේවයේ ද නිරත විය යුතුය. පෙරහර මංගල්‍යයන් හි දී අවශ්‍ය නැටුම් ශිල්පීන් සපයාදීම ද මේ පනික්කි මුර හතරට පැවරෙන රාජකාරියකි.

උපුටා ගැනීම – http://www.silumina.lk/2009/08/02/Dalada/_art.asp?fn=ad09080212l

සුද්දගෙන් රැකගත්ත දළදාව ...
දළදා පෙරහර අනාගතයට ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.