ශ්‍රී දළදා වහන්සේට පූජෝපහාර වශයෙන් පැවැත්වෙන පෙරහර මේ දිනවල අලංකාර ලෙස සිදු කෙරේ. දළදා වහන්සේ අපේ රටට ලැබුණ දා පටන් උන්වහන්සේට සිදු කළ නොයෙකුත් ගරු බුහුමන් පෙළහර ගැන ඉතිහාසයේ විස්තර වෙයි. බුදුරදුන්ගේ ශ‍්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ වාම දළදාව ඛේම මහරහතන් වහන්සේ විසින් රැගෙන වූත් කළිඟු රට බඹදත් රජුට භාරදෙන ලදී.

වර්තමාන භාරතයේ ඔරිස්සා ප‍්‍රාන්තය දළදා වහන්සේ තැන්පත් කොට තිබුණ ප‍්‍රදේශය වශයෙන් සැලකෙයි. හින්දු බැතිමතුන් පුරුෂෝත්තම පූජාව පවත්වන ජගන්නාථ පූරී කෝවිල දන්ත ධාතු මන්දිරය ලෙස අනුමාන කෙරේ. විද්වතුන්ගේ අදහස නම් දන්තපුරය ජගන්නාථ පූරී වශයෙන් වෙනස් වූ බව යි. ජගන්නාථ කෝවිලේ වසරක් පාසා පැවැත්වෙන පුරුෂෝත්තම රථ යාත‍්‍රාව මහනුවර දළදා පෙරහරට සමාන වූවකි.

කාලිංග දේශයේ රජවරු ගරු බුහුමන් පෙරදැරිව දළදා වහන්සේ ආරක්ෂා කළහ. එහෙත් බුදුදහමට එරෙහි වූවෝ ගුහසීව රජුගේ පාලන කාලයේ දී දළදා වහන්සේ වැනසීමට උත්සාහ කළහ. ඒ නිසා ගුහසීව රජු දළදා වහන්සේ ආරක්ෂාව සඳහා ලක්දිවට වැඩම කරවීමට කටයුතු යෙදුවේය. ලක්දිව කිත්සිරි මෙවන් රජු දවස හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දළදා වහන්සේ ලක්දිවට වැඩම වන ලදී. ඔවුන් පැමිණියේ අනුරාධපුර වයඹ දිග පිහිටි මේඝගිරි විහාරයට යි. ඒ පුවත දැනගත් කිත්සිරි මෙවන් රජු එම විහාරයට ගිය විට දළදා වහන්සේගේ ප‍්‍රාතිහාර්ය දකින්නට ලැබුණි. එයින් පැහැදුන ඔහු සුදු අසුන් යෙදූ විශේෂ රථයකින් දළදා වහන්සේ අනුරාධපුරයට වැඩම කරවූ බව ජිනකාලමාලි, පුජාවලිය ආදී ග‍්‍රන්ථවල සඳහන් වෙයි. අලංකාර ලෙස පැවැත් වූ අනුරාධපුර දළදා පෙරහර ගැන විස්තරයක් පාහියන් හිමියන්ගේ වාර්තාවේ ද ඇත.


වර්ෂයකට වරක් දළදා වහන්සේ අනුරාධපුර මහා විහාරයේ සිට පෙරහරකින් අභයගිරියට වැඩම කරවීමේ සිරිතක් තිබුණි. මාසයක් තිස්සේ එහි දී පුද පූජා පවත්වා නැවතත් පෙරහරකින් එය මහා විහාරයට වැඩම කරවන බව මහා වංසයේ සඳහන් වෙයි. ඒ අනුව පැහැදිලි වන්නේ දළදා පෙරහර අතීතයේ සිට පැවති උත්සවයක් බව යි. අනුරාධපුර අභයගිරියේ භික්ෂූන් අනුගමනය කළ ශාසනික සම්ප‍්‍රදාය සහ මහා විහාරය අතර භේදයක් තිබුණත් දළදා වහන්සේට ගරු බුහුමන් දැක්වීම සම්ප‍්‍රදාය භේදයකින් තොරව ගෞරවයෙන් සිදු කෙරුණ බව එයින් පෙනී යයි. ඇසළ මාසයේ සැණකෙළි පැවැත්වීම බුදු දහම ලක්දිවට රැගෙන එන්නටත් පෙර ලක්දිව පැවතුන ජාතික සිරිතකි.

එය දේව විශ්වාසයන් මුල් කරගත් පූජාවකි. නිසි කලට වැසි ලබා ගැනීම සඳහා දෙවියන් සතුටු කිරීම ඇසළ උත්සවයේ අරමුණ යි. මේ අතර දළදා වහන්සේට පුද පූජා පැවැත්වීමෙන් වර්ෂාව ලබාගත හැකි බවට විශ්වාසයක් ලක්වැසියන් අතර තහවුරු විය.

අනුරාධපුර යුගයේ හා පොළොන්නරු යුගයේ පැවති දළදා පෙරහර හා පුද පූජා චාරිත‍්‍ර ගැන ලියැවුන සාහිත්‍ය කෘති රාශියක් ඇත. වැසි නොවසින කල්හි දළදා වහන්සේට පූජා පවත්වන ලෙස දළදා සිරිතෙහි සඳහන් වෙයි. මේ නිසා අතීතයේ පැවති ඇසළ සැණකෙළිය දළදා පෙරහරට එක්වීමෙන් දළදා පෙරහර ජාතික හා ආගමික උත්සවයක් බවට පත් වුණි.

දෙවන රාජසිංහ රජු සමයේ (රාජ්‍ය වර්ෂ 1660) ලක්දිවට පැමිණි රොබට් නොක්ස් වාර්තා කරන පරිදි ජුනි හෝ ජූලි මස මහනුවර දේවාල පූජෝත්සව පැවතුණි. ඇසළ පෙරහර ඒ අතර ප‍්‍රධාන ය. ඔහු ඒ ගැන විස්තර කර තිබේ. දේවාලයේ ප‍්‍රධාන කපුරාල මුඛ වාඩමක් බැදගෙන අලංකාර ලෙස සරසන ලීයක් කර තබාගෙන අලි හතලිස් ගණනක් පිරිවරා ගත් ඇතකු පිට නැගී පෙරහරේ ගොස් ඇත. අලුත්නුවර, කතරගම හා පත්තිනි යන දේවාලයන්හි මේ අයුරින් ඇසළ පෙරහර පැවැත්වුණි. පසුකාලයක දී අලුත්නුවර දෙවියන්ට දැක්වූ ගෞරවය විෂ්ණු දෙවියන්ට හිමි වී තිබේ.

දළදා වහන්සේ දැන් වැඩ සිටින මන්දිරය ඉදි කරන ලද්දේ පළමු වන විමලධර්මසූරිය රජු විසිනි. මහනුවර රාජධානිය මුල් යුගයේ දී රාජ්‍යය සම්බන්ධයෙන් පැවති අර්බුද හා අස්ථාවර තත්ත්වයන් නිසා දළදා වහන්සේ වෙනුවෙන් අඛණ්ඩව පෙරහර පැවැත්වීම සිදු නොවුන බව පෙනේ. රාජ්‍ය වර්ෂ 1707 දී කීර්ති ශ‍්‍රී නරේන්ද්‍රසිංහ රජු ඉතා උත්කර්ෂවත් අයුරින් ඇසළ පෙරහරක් පවත්වා ඇත. දළදා පෙරහර සහ දෙවියන් වෙනුවෙන් පැවැත්වුණ පෙරහර ඒකාබද්ධ කෙරුණේ වැලිවිට ශ‍්‍රී සරණංකර සඟජ මාහිමියන්ගේ උපදෙස් පරිදි කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසිනි. මුංකොටුවේ රාළගේ සඟජවත නමැති කව් පොතේ ඒ බව දැක්වෙයි.

සෙංකඩගල නුවර

ඇසළට කෙරෙන පෙරහර

දෙවියන්ට නිසිකර

පැවත ආවේ කලෙක සිට පෙර

රන්සිවි ගෙයක්කොට

විජයොත් රථය විලසට

තබා ඇත් රජු පිට

වඩා දා කරඬුවක් සිවි ගෙට

බුදුන් පෙරදැරි කොට

දෙවියන් ඊට පසු කොට

පෙරහර යන ලෙසට

පැවතුනේ අප මුනිදු කාලෙට (සඟජවත)

ඇසළ පෙරහර පෙළ ගැසෙන්නේ දළදා පෙරහර, නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල පෙරහර වශයෙනි. බෞද්ධ විශ්වාසයන් අනුව නාථ හා විෂ්ණු දෙවිවරුන් බුද්ධාගමට සම්බන්ධ නිසා දළදා පෙරහරට සමීපව එම දේවාල දෙකෙහි පෙරහර යෙදූ බව සිතිය හැක. ඇසළ පෙරහර යනු සැබවින්ම බෞද්ධ හා හින්දු සංස්කෘතියේ මිශ‍්‍රනයකි. ඒ අතර බෞද්ධ සංස්කෘතික අංග වලට මූලිකත්වය හා එහි අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් පෙරහැර පවත්වාගෙන යන්නට කටයුතු කර ඇති බව පෙනේ.

ඇසළ පෙරහර බෞද්ධ හා හින්දු ආගමික සමගිය තහවුරු කෙරෙන වැදගත් අවස්ථාවකි. පෙරහරේ කටයුතු ඇරඹෙන්නේ නැකැතකට අනුව කප් සිටුවීමේ චාරිතුයෙනි. ඉන් පසු දළදා මැදුර ඇතුළත පෙරහර පැවැත්වෙයි. පෙරහර වීදි සංචාරය ඇරඹෙන්නේ කුඹල් පෙරහරිනි. එය නැටුම් හා අලි ඇතුන්ගෙන් අඩුවූවකි. මහ පෙරහර වශයෙන් සැළකෙන්නේ රන්දෝලි පෙරහැරයි. දේවාල පෙරහරෙහි දෝලා වලින් දේවාභරණ ගෙන යන නිසා ඒ නම යෙදේ. බි‍්‍රතාන්‍ය රාජ්‍ය පාලනය යටතේ 1815 මැයි මස පැවති මුල්ම ඇසළ පෙරහැරේ දළදා කරඬුව සමීපයේ අස්ගිරි හා මල්වතු මහා විහාරවල භික්ෂූන් 150 ක් ගමන් කළහ.

රජු වෙනුවෙන් පෙරහරේ ගමන් කළේ ඇහැළෙපොල නිලමේවරයාය. අසනීප තත්ත්වය නිසා ඔහු සුදු අශ්වයකු මත ගමන් කළ බව පැවසේ. ඔහුගේ පිරිවර ලෙස මොල්ලිගොඩ ඇතුළු නිලමේවරු කීප දෙනෙක් ගමන් කළහ. 1818 වසරේ පැන නැඟªන නිදහස් අරගලය හේතුවෙන් වසර දහයක් යන තුරු ඇසළ පෙරහර නොපැවැත්වුණි. 1828 නැවත පෙරහර ඇරඹුණි. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ ආර්යාව ද දෝලාවකින් එම පෙරහරේ ගියා ය. වර්තමානයේ භික්ෂූන් වහන්සේලා පෙරහරේ ගමන් කරන්නේ නැත. රජුගේ වගකීම සහ අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන්ගේ වගකීම පැවරුණ ගිහියකු ලෙස දියවඩන නිලමේවරයා දළදා පෙරහරේ අවසානයේ ගමන් කරයි.

රන්දෝලි පෙරහරේ අවසාන දිනයේ ධාතු කරඬුව අස්ගිරිය ගෙඩිගේ රාජමහා විහාරයෙහි තැන්පත් කොට තබා දිය කැපීමේ චාරිත‍්‍ර ඉටු කිරීම සඳහා සතර දේවාල පෙරහර ගැටඹේ මහවැලි තොටුපොල වෙත පිටත් වෙයි. පසුදින දහවල් පෙරහර වන තුරු දළදා මැදුරේ දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන හේවිසි පූජා චාරිත‍්‍ර ගෙඩිගේ රාජමහා විහාරයේ දී සිදු කෙරේ.

දළදා වහන්සේට ගරු බුහුමන් දැක්වීම රටට සෞභාග්‍ය උදා කිරීම සඳහා පුද සිරිත් පැවැත්වීම රජුගේ අභිමානය නිරූපනය කිරීම වැනි කරුණු මුල් කරගත් ඇසළ පෙරහර මංගල්‍යය නිමා වීමෙන් පසු එම කටයුතු මැනවින් සිදු කළ බවට රජුගේ සැලකිරීම නිලමේවරුන්ගේ රාජකාරියකි. ඒ අනුව වර්තමානයේ ද පෙරහර සාර්ථකව සිදු කළ බව සඳහන් කරමින් රාජ පාලකයා වන ගරු ජනාධිපතිතුමාට පෙරහැර සන්දේශය පිළිගැන්වීම චාරිත‍්‍රානුකූලව සිදු කෙරෙන නිල කටයුත්තකි.

දියකැපීම යනු ඇසළ පෙරහරේ විශේෂ චාරිත‍්‍රයකි. එය වර්ෂාව ලබා දීම සම්බන්ධයෙන් පැවැති විශ්වාසයන් සමග බැඳී පවතින්නකි. ගංගා ජලය වැලැක් වූ නපුරු බලවේග පරදවා ජලය නිදහසේ ගලා යන්නට ඉන්ද්‍ර දෙවියා කටයුතු කළ බවට සෘග් වේදයේ සදහන් සිදුවීම සමග දිය කැපීමේ සිරිත බැදී ඇතැයි ඇතැම් විද්වත්හු පවසති. ඒ අනුව පෙරහරේ ගෙන යන ඇතුන්ගෙන් සංකේතවත් වන්නේ වළාකුල්ය.

මහනුවර අස්ගිරි මහා විහාරවාසී
මැදගම ධම්මානන්ද හිමි

ඇසළ පෙරහර මංගල්‍යයේ පෙළ ගැස්ම ...
දළදා වහන්සේ ලක්දිව බෞද්ධ සංස්කෘතිය කෙරෙහි කළ බලපෑම ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.