දළදා පෙරහර අනාගතයට ... - IFBC Organization | Dhamma

ඇසළ උත්සවය මූලික කොටගෙන පැවැත් වූ ඇසළ පෙරහර සම්පූර්ණයෙන්ම දළදා පෙරහරක් බවට පත්වන්නේ බෞද්ධ පුනරුදයේ පුරෝගාමී වූ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් ගේ මූලිකත්වයෙනි. ඉන් අනතුරුව පෙරහර හා සමාජය අතර වූ බැඳීම, දේවත්වය හා බැඳුණු කි‍්‍රයාවලිය තව දුරටත් වර්ධනය විය. ඒ හා සමඟ රණකාමී බව ද ප‍්‍රකට විය.

දළදා වහන්සේ උදෙසා පෙරහර ආරම්භ වීමත් සමඟ එය අප රටේ ඓතිහාසික අගයෙන් පරිපූර්ණ වූ සුවිශේෂී ම ආගමික, ජාතික හා සංස්කෘතික කලා මංගල්‍යය බවට පත් විය. පෙරහර අධ්‍යනය කිරීමෙන් ඒ හා බැඳුණු ආර්ථිකමය, සමාජ සම්බන්ධතාවයන් මනාව හඳුනා ගත හැකි ය. පෙරහරේ ඕනෑම කාර්්‍යයක නිරත වන පුද්ගලයන් සඳහා අතීතයේ නින්දගම් ප‍්‍රදානය කෙරුණි. පෙරහර කුල ධූරාවලිය, නිල ධූරාවලිය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යාම වැඩවසම් නින්දගම් ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන.

අද අප ජීවත්වන සමාජය ඉතා වේගයෙන් කාර්මීකරණය වෙමින් තිබේ. වාණිජ කරණයට ලක් වෙමින් තිබේ. එක් පැත්තකින් වැඩවසම් සමාජ මූලයන් වේගයෙන් බිඳ වැටෙමින් පවතින අර්බුදයට ලක්වෙමින් පවතින වකවානුවකි. අනෙක් පසින් බලන කල සමාජයේ සමානාත්මතාව, පොදු බව, කුසලතා, පිළිබඳ ඇගයීම එක්තරා ප‍්‍රමාණයකට වර්ධනය වෙමින් පවතින යුගයකි. මෙවන් වාතාවරණයක දී රටේ ප‍්‍රධාන කලාකාමී උත්සවය වන ඇසළ පෙරහර කෙසේ පවත්වාගෙන යා යුතු ද යන්න සාකච්ඡාවට ලක් කළ යුතු වේ. ඇසළ පෙරහරේ අනාගත සංරක්ෂණ කාර්්‍යයෙහි ලා එය ඉතා වැදගත් වන බැවිනි. මේ කතිකාවට පෙරහර කරවන වග කිව යුත්තන්, රජය, ආගමික ආයතන, ප‍්‍රජාව, බුද්ධිමතුන් යන මේ සියලු දෙනා ගේ ම ඉතා සියුම්, සංවේදී අවධානයක් යොමු වීම වැදගත් වේ.


අද පෙරහරේ සංයුතිය අධ්‍යයනය කළ විට විවිධ දුර්වලතා සහ අඩුපාඩු හඳුනා ගත හැකි ය. උදාහරණ ලෙස පෙරහරට නින්දගම් ලබාගත් පන්දම් කරුවන් ගේ සහභාගිත්වය අවමය. ඒ වෙනුවට කුලී පන්දම්කරුවන් ගේ දායකත්වය ලබා ගැනේ. සමහර වයෝවෘද්ධ පන්දම් කරුවන්ට පන්දම් ඔසවා ගෙන යාම අපහසුය. මේ පිළිබඳ යම් යම් චෝදනා එල්ල වූ අවස්ථා ද ඇත. වැදගත් වන්නේ මේ කාර්යය පිළිබඳ ව අවබෝධයක් ඇති සුදුසු ම පුද්ගලයින් තෝරා ගැනීම යි. බොහෝ කලා කණ්ඩායම්වල තත්ත්වය ද මෙපරිදිය. පැරැණි නින්දගම් ක‍්‍රමය යටතේ මහනුවර නගරයේ වැඩි ඉඩකඩම් ප‍්‍රමාණයක් අයිතිව තිබුණේ දළදා මාලිගයට සහ සතර දේවාලයන්ට ය. මේවායින් නින්දගම් ලැබු, දේපළ හිමිකම් ලැබු පුද්ගලයින්ගේ ඒ ඒ වකවානුවල පෙරහර සමයේ ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් ප‍්‍රමාණයක් ද තිබේ. එහෙත් වර්තමානයේ දී මේ යුතුකම් හා වගකීම් ඒ ආකාරයෙන් ම ඉටුවේ ද යන්න ගැටලු සහගත ය.

අද මහනුවර නගරාශි‍්‍රත ප‍්‍රසිද්ධ හෝටල් සහ, වෙළෙඳ සැල්වලින් පෙරහර කටයුතු උදෙසා ලැබෙන සේවය හෝ මුදල් හෝ ඉතා අවමය. සමහර අවස්ථාවල දී එය කොප්පරා ටිකකට, තෙල් ටිකකට පමණක් සීමා වේ. එහෙත් මේ ආයතන පෙරහර සමයේ ලබන ලාබය අති විශාල ය. සංචාරකයින් ගේ පැමිණීම, නවාතැන් පහසුකම් සහ ආහාර සැපයීම, වෙනත් විවිධ සේවා සැපයීම ආදි කටයුතු මඟින් මේ ආයතන වෙත විශාල මුදල් ප‍්‍රමාණයක් ලැබේ.

මේ අනුව ඇසළ පෙරහර තවදුරටත් වැඩවසම් ව්‍යුහයෙහි ම පවත්වාගෙන යනවා ද, එසේත් නැතිනම් නූතන කාර්මික, වාණිජ සන්දර්භය හා සමගාමීව ගමන් කරන ලෙස සංවර්ධනය කරනවා ද යන්න පිළිබඳ ව කතිකාවක් ඇති කළ යුතු ය.

මහනුවර ඇසළ පෙරහර රටේ ජාතික මහා කලා සංදර්ශනයයි. එහි දී රටේ සෑම ක්ෂේත‍්‍රයක ම විශිෂ්ඨ ගණයේ රංගන ශිල්පීන් ගේ සහභාගිත්වය අවශ්‍ය වේ. ඒ සඳහා යම් ප‍්‍රමාණයකට තිබෙන ගැටළු අතික‍්‍රමණය කිරීමට සිදුවේ. ලංකාවේ සෑම ප‍්‍රසිද්ධ පාසලක ම, විද්‍යාස්ථානයක ම පාහේ අති දක්ෂ වෙස් නැටුම් හා රංගන ශිල්පීන් සිටී. මේ අය ගේ සහභාගිත්වය ලබා ගන්නේ කෙසේ ද? මේ සඳහා වූ නව ක‍්‍රමයක් නිර්මාණය කර ගැනීමට පුළුවන. පෙරහර සඳහා ළා බාල ලී කෙළිකරුවන් සහ පන්තේරුකරුවන් පමණක් සහභාගි කරවාගන්නේ යැයි බොහෝ අවස්ථාවන්හි චෝදනා නැඟුණි. ජාතික නෘත්‍ය කණ්ඩායම්වල දී තේරී පත්වන කණ්ඩායම් මේ සඳහා සහභාගි කර ගත හැකි ය. මේ අය දිනපතා ම පෙරහරේ රංගන ඉදිරිපත් කළ යුතු යැයි ඉන් අදහස් නොවේ. මහ පෙරහර සඳහා හෝ ඔවුන් ගේ දායකත්වය ලබා ගැනීමට පුළුවන. ඒ හරහා ජාතික මහා කලා මංගල්‍යය විශිෂ්ඨ රංගන කණ්ඩායම්වල සංදර්ශනයක් බවට පත්කර ගත හැකි ය.

ඇතැම් අවස්ථාවන්හි පෙරහර අවසන් වී නිවෙස්වලට යන රංගන ශිල්පීන්, බෙර වාදකයන් පැය ගණන් බස් නැවතුම්වල රැඳී සිටින අයුරු දැකගත හැකි වේ.

අඩු ම තරමේ ඔවුනට ප‍්‍රවාහන පහසුකම් හෝ සලසා දිය යුතු ය. ඇසළ පෙරහර සඳහා විවිධාකාරයේ ආධාර උපකාර විශාල වශයෙන් ලැබේ. මේවා ඵලදායි ලෙස ප‍්‍රයෝජනයට ගත්තේ නම් මේ ගැටළු බොහොමයක් පහසුවෙන් විසඳ්‍රගත හැකි ය.

අපේ සමාජය සාම්ප‍්‍රදායික බෙර වාදන ශිල්පීන් බෙරවායන් ලෙස හංවඩු ගැසීම වැනි හේතූන් නිසා පෙරහර කාර්්‍යයට ඒ පරම්පරාවල සමහර දරු මුණුපුරන් ගේ සහභාගිත්වය ඉතා අවම ය. ඒ නාමයෙන් හංවඩු ගැසීමට ඇති අකැමැත්ත හේතුවෙනි.

එහෙත් ඉදිරියට එන තවත් පිරිසක් සිටී. මේ අයට කුල පීඩනයක් නැත. හේවුඩ් විද්‍යාලය වැනි පාසල්වල දක්ෂ බෙර වාදන ශිල්පීන් ඕනෑ තරම් සිටී. ඒ ශිල්පීන් මේ සඳහා දායක කරගත හැකි ය. එසේ නොවූ තැන ‘ජාතික කලා සම්ප‍්‍රදාය අලුත් වෙනස්වීම් හමුවේ විනාශ වී යාමට පුළුවන. වැඩ වසම් ක‍්‍රමය අනුව නින්දගම් ලැබු පිරිස් මත ම යැපෙන්නට උත්සාහ කරනවා නම් මෙවැනි දක්ෂ කලාකරුවන් ගේ සහභාගිත්වය නැති වී යා හැකි ය. අනෙක් පසින් බලන කල වැඩිහිටි දක්ෂ බෙර වාදන ශිල්පීන් ද අද ඉතා අඩුය. මේ නිසා බෙර පදවල සම්ප‍්‍රදාය, අනන්‍යතාවය ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව තරුණ ශිල්පීන් හා වැඩිහිටි ශිල්පීන් අතර සාකච්ඡාවක් පැවතීම වැදගත් වේ.

සම්ප‍්‍රදායිකව පැවත එන රංගන කණ්ඩායම් වෙනුවට නව ශිල්පීන් සහභාගි කර ගනිමින් පෙරහර නවීකරණය කිරීම අපහසු යැයි මෙහි දී කෙනෙක් තර්ක කිරීමට පුළුවන. එහෙත් පෙරහර ක‍්‍රම ක‍්‍රමයෙන් නවීකරණය වී තිබේ. මුල් කාලයේ විදුලිය භාවිත වූයේ නැතත් අද පෙරහරේ විදුලි ආලෝකය භාවිතයට ගැනේ. මුල්කාලීන පෙරහරට ජපන් ජාතික භික්ෂුන් වහන්සේලා ගේ දායකත්වය ලැබුණේ නැත.

එහෙත් අද උන්වහන්සේ ලා පෙරහරට සහභාගි වෙති. සමහර වාදන හා රංගනයන් ද යම් ප‍්‍රමාණයකට නවීකරණය වී තිබේ. මෙහි දී වඩා වැදගත් වන්නේ නවීකරණය වීම යන කරුණ නොවේ. නවීකරණය අර්ථාන්විත වීමය.

පෙරහරේ ඇති සම්ප‍්‍රදායයන් අපහසුවෙන් රැකගැනීමට යාමෙන් ද එහි යම් යම් ගුණාංග බිඳ වැටීමට ඉඩ තිබේ. කෙසේ හෝ අලි ඇතුන් ගෙන යන්නේ යැයි සිතා දම්වැල් වලින් බැඳ සිර කරමින් ඔවුන් ගෙන යා යුතු නොවේ. ඒ සඳහා හීලෑ අලි ඇතුන් හදාගැනීමේ ක‍්‍රමයක් සකසා ගත යුතු ය. වර්තමානයේ අලි අයිතිකාරයන් අඩු වීමේ ප‍්‍රවණතාවක් ද වේ. ඒ පිළිබඳ ව ද සිතා මේ සඳහා පිළියම් යෙදීම අවශ්‍යව ඇත.

සමාජයක ඉදිරි පැවැත්මට යහපත් සමාජ සංයුතියක් තිබීම අත්‍යවශ්‍ය ය. ඇසළ පෙරහරෙහි ඒ සඳහා අවශ්‍ය නම්‍යතාවයක් තිබේ. උදාහරණ ලෙස නුවර පෙරහරේ කතරගම දේවාලය නියෝජනය කරන දේවාල පෙරහර සමඟ හින්දු ජන සහභාගිත්වය වර්ධනය කිරීමට පුළුවන. එහි එන රංගන විධි අර්ථාන්විත කිරීමෙන් හින්දු සංස්කෘතික අනන්‍යතාවයක් ගොඩනැඟීමට පුළුවන. සමහර අවස්ථාවල කාවාඩි නැටුමේ දී වේග රිද්ම වාදන භාණ්ඩ භාවිතය දැකගත හැකි වේ. ඒ වෙනුවට සාම්ප‍්‍රදායික කාවාඩි නැටුම් වාදන ප‍්‍රයෝජනයට ගත හැකි ය. මෙය සියුම්ව අධ්‍යයනය කිරීමෙන් පසු කළ යුතු කාර්්‍යයකි.

පෙරහර අධ්‍යයනය කිරීමේ දී ඇතැම් විට වාණිජමය ආකෘතිවලට නැඹුරු වන ස්වභාවයක් ද විද්‍යමාන වේ. අලි ඇතුන් සැරසීමට ගන්නා වස්ත‍්‍රාභරණ සඳහා වෙළෙද නාම භාවිත කිරීම ආදිය නිදසුන්ය. මෙවැනි දේ අවම කළ යුතු වේ. පෙරහර ශුද්ධ ලෙස ම කලා කෘතියක් බවට පත්විය යුතුය. අවශේෂ වටපිටාව ප‍්‍රයෝජනයට ගෙන අවශ්‍ය නම් වාණිජ පරමාර්ථ ඉටු කර ගැනීමට පුළුවන. වීදිවලට ආලෝකය සැපයීම, බැනර් යෙදීම, පුවරු එල්ලීම ආදි වශයෙනි.

ඇසළ පෙරහරේ විවිධත්වය ආරක්ෂා කර ගැනීම ද වැදගත් කරුණකි. බොහෝ විට වැඩි අවධානයක් යොමු කැරෙන්නේ දළදා මාලිගයේ පෙරහර කෙරෙහි පමණි. සිව්මහා දේවාලයන් හි පෙරහරවල විවිධ විචිත‍්‍ර භාවය, අනන්‍යතාව ද ආරක්ෂා කර ගත යුතු ය. ඒ සඳහා යම් යම් අංග ආදේශ කරනවා නම් පෙරහරේ සංයුතිය, අනන්‍යතාවය ආරක්ෂා වන ලෙස කළ යුතුය.

පෙරහරේ සන්නිවේදනාර්ථ ද ඉතා ප‍්‍රබල ය. පළමු පෙරහර නැරඹීමෙන් කුඩා දරුවන් ගේ වස්දොස් දුරුවේ යැයි විශ්වාසයක් තිබේ. පෙරහර බැලීමෙන් සෞභාග්‍යය, සශී‍්‍රකත්වය උදාවන බවට තවත් මතයකි.

රන්දෝලි පෙරහරට පඬුරු දැමීමෙන් තම බාරහාර ඉටුකළා යැයි තවත් කෙනෙක් විශ්වාස කරති. පෙරහර කරඬුව වැඳ පුදා ගැනීම ජීවමාන බුදුන් වහන්සේ වන්දනා කළ හා සමානව සලකති. වැදගත් වන්නේ මෙහි තිබෙන අර්ථ තේරුම් ගැනීමය.

සිව් මහා දේවාල පෙරහරේ දේවාභරණ ගෙන යති. එමඟින් මිනිසුන් කෙරෙහි දෙවියන් වෙත වූ විශ්වාසය, බලාපොරොත්තු අර්ථාන්විත කරයි. සමස්ත පෙරහර ම බෞද්ධ දර්ශනය හා සර්ව ආගමික මතවාදයන් සමඟ බැඳී තිබේ. ජන ඇදහීම්, ජනශ‍්‍රැති, ජන විශ්වාස හා බැඳී තිබේ.

මහනුවර නගරයේ මුළු නගර සංයුතිය ම එක්තරා විදිහකට පෙරහර හා සම්බන්ධ ය. ගැටඹේ විහාරය, නගරයේ පිහිටි ප‍්‍රධාන මුස්ලිම් දේවස්ථානය වන වීරමක්කම් පල්ලිය, පුල්ලෙයාර් කෝවිල, ගැටඹේ තොට, කොළඹ පාර, හා නගරයේ සෑම වීදියක් ම සහ විවිධ ගොඩනැඟිලි යම් යම් ආකාරයෙන් පෙරහර හා බැඳී තිබේ. පෙරහර කළ යුතු වන්නේ මේ අන්තර් සම්බන්ධතාවය දැනෙන, තේරෙන, මූර්තිමත් වන ලෙසටය.

පෙරහරේ ගෙනයන කොඩිවලින් සමස්ත ශී‍්‍ර ලංකාව ම නියෝජනය කරන්නේ ය. ඒවා ප‍්‍රජාවට තේරෙන අයුරින් අර්ථාන්විත කිරීම ද අවශ්‍යය.

ඇසළ පෙරහර හා සමඟ බැඳුණු සම්ප‍්‍රදායයන් ඊළඟ පරම්පරාවට ගෙන යන්නේ කෙසේ ද? පෙරහර හුදු පෙරහරක් පමණක් වන්නේ නැත. එයින් විද්‍යමාන වන සමාජයීය, දේශපාලනික, සංස්කෘතික අංගයන් මැනවින් වටහා ගත යුතුය. පෙරහර අනාගතයට සංරක්ෂණය කර ගත හැකි වන්නේ එවිට ය.

උපුටා ගැනීම – http://www.silumina.lk/2009/08/02/Dalada/_art.asp?fn=ad0908028

දළදා හේවිසි පූජා ...
ධාර්මිකත්වයේ හා සෞභාගයේ සංකේතය ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.