‘දළදා පූජාවක් නෙමෙයි මේ පාරමිතාවක්’; නැදුන්ගමුවේ රාජා පෙර අත්භවයක රජ කුමරකු වී ඉන්න ඇති …

අලි – ඇතුන් ගැන, අලි – මිනිස් ගැටුම් ගැන බොහොමයක් කතා ඇසෙන කාලයකි මේ. ඒ සියල්ල අතර ‘‘නැදුන්ගමුවේ ඇතා’’ ගැන සමාජයේ තැන තැන මුමුණනු ඇසේ. ඒ, සෙංකඩගල දළදා පෙරහැර ගැන නිසාම වුවත්, සමාජයක් ‘‘නැදුන්ගමුවේ රාජා’’ ඇතා ගැන කතාකරන්නේ මෙම ඇත් රජු වත්මන් සමාජයේ වැඩිම අවධානයක් හා වැඩිම ආදරයක් දිනාගත් ඇතා වන නිසාය. අති උතුම් දන්ත ධාතූන් වහන්සේගේ කරඬුව පෙරහැරේ වඩම්මාගෙන යන තවත් ඇතුන් සිටියත් ඒ අතර නැදුන්ගමුවේ රාජා ගැන මේ සමාජයම කතාකරන්නේ පාරමිතාවක් පුරමින් දෝ මේ ඇත් රජු දළදා කරඬුව වැඩමවීමේ ඒ උතුම් පුණ්‍යකර්මය සඳහා වාර්ෂිකව සෙංකඩගලට පැමිණෙන්නේත්, ආපහු නැදුන්ගමුව බලා පිටත්වන්නේත් පාගමනින්ම වන නිසාය. එසේම ඇත් රජුගේ ප‍්‍රතාපවත් බව, ගාම්භීරබව මෙන්ම, වශීකෘත රූපකාය සමාජයක අවධානය සැණෙකින් දිනාගන්නා නිසාය.

නැදුන්ගමුව පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ, බැලූම්මහර හන්දියෙන් හැරීයන බියගම පාරේ, රතුපස්වල හන්දියට මඳක් නුදුරෙනි. රතුපස්වල හන්දියෙන් වමට හැරී නැදුන්ගමුව විදුහල් භූමිය පසුකරත්ම හමුවන්නේ සුප‍්‍රකට නැදුන්ගමුව වෙද පරම්පරාවට අයත් නැදුන්ගමුව වෙදැදුරු වලව්වය. මේ වෙදැදුරු වලව්ව නැදුන්ගමුව ඇත් රජුගේද නිවහන වෙයි. වර්තමානයේ එහි හිමිකරු හා සුප‍්‍රකට හෙළ වෙදැදුරු නැදුන්ගමුවේ හර්ෂ ධර්මවිජය මහතාගේ සාඩම්බර හිමිකාරත්වය හිමි මෙම ‘‘නැදුන්ගමුවේ (විජය) රාජා’’ ගම්පහ – කොළඹ බොහෝ ඇසළ පෙරහැර මංගල්‍යය නිමාකර, සෑම වසරකම පාහේ අවසන් මංගල්‍යය ලෙස සෙංකඩගල, ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පාගමනින්ම සහභාගිවන්නේ පාරමිතාවක් පුරනු මෙන් ඒ උතුම් දළදා කරඬුව තම කර මතින් වැඩම කරවීම සඳහාය.

නැදුන්ගමුවේ රාජා මිල්ලන්ගොඩ රාජා තරම්ම ජනප‍්‍රිය වූත්, පාගමනින්ම සෙංකඩගලට ළඟාවූත් දළදා කරඬුව වැඩමවාලීමට තරම් වාසනාව ලද්දාවුත් මීළඟ හස්ති රාජයාය. ආසියාවේ දිගුම දළ සහිත ඇතා ලෙස විරුදාවලිය ලත් මිල්ලංගොඩ රාජා මෙලොව හැරයාමත් සමඟ දළදා ඇතුන්ගේ ජනපි‍්‍රයත්වය එකමිටට තමන්ට නතුකරගත් නැදුන්ගමුවේ රාජා දෙවි දේවිතාවන්ගේ මෙන්ම හමුදාවේ ආරක්‍ෂාව මැද සෙංකඩගල දළදා පෙරහැර සඳහා පමණක් යාමට සහ ඒමට පාගමනින් ගෙවා දමන දුර කිලෝමීටර් දෙසීයද ඉක්මවයි. එසේම වාර්ෂිකව පෙරහැර මංගල්‍යය සඳහා කිලෝමීටර් දහසකට ආසන්න දුරක් ඇවිද යන බව කියනු ලැබේ.

නැදුන්ගමුවේ රාජා ලෙස අද මෙම ඇත් රජු විරුදාවලිය ලැබුවත් මෙම හස්තියා ශ‍්‍රී ලංකාවේ උපන් හස්තියකු නොවේ. ඉන්දියාවේ මයිසූර් ප‍්‍රාන්තයේ උපත ලද මෙම හස්තියා කුඩා කල ජීවත්ව සිට ඇත්තේ එම ප‍්‍රාන්තයේ මහාරාජාවරයකුගේ ඇත්ගාලකය. එසේ දිවිගෙවූ කුඩා රාජා ශ‍්‍රී ලංකාවට පැමිණීම හා නැදුන්ගමුව වෙදගෙදර ඔස්සේ දළදා පෙරහැරට සම්බන්ධවීම හරි අපූරු කතාන්දරයකි. ඒ කතාව අහගන්නට අප පසුගියදා හමුවුණේ රාජාගේ වත්මන් සාඩම්බර හිමිකරු නැදුන්ගමුවේ හර්ෂ ධර්මවිජය වෙද රාළහාමිය.

මා වෙදරාළහාමි වෙත කැටුව ගියේ නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙණේ යටියන සිරිවිමල පොඩි හාමුදුරුවන් විසිනි. ඇතු නැදුන්ගමුවේ සිට මහනුවර බලා යන ගමනේදී වාර්ෂිකව පළමු රාත‍්‍රිය ගත කරන්නේ නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙණේය. ඒ සඳහා සියලූ කටයුතු සොයා බලමින් වාර්ෂිකව ඇප උපස්ථාන භාරව කටයුතු කරන්නේ සිරිවිමල හාමුදුරුවන්ය.

එනිසාම ඇතු මෙවර මහනුවර බලා පිටත්ව යන්නට මත්තෙන් ඒ සඳහා පවතින පෙර සූදානම දැනගැනීම පිණිස මෙසේ සිරිවිමල හිමියන් මාද කැටුව වෙදරාළහාමි දකින්නට පසුගියදා නැදුන්ගමුව වෙදැදුරු වලව්වට ගියේය.

අප එහි යන දිනයේ ඇතා හිටියේ නැත. ඒ, බෙල්ලන්විල පෙරහැර පැවැති සමය නිසාය. මෙවරද බෙල්ලන්විල පෙරහැරේ කරඬුව රැගෙන ගියේ නැදුන්ගමුවේ රාජා නිසාය. ඇතා නැතත්, අප වෙද රාළහාමි සමඟ පිළිසඳරකට එක්වූයේ, ඇතා ගැන පුරසාරම් දොඩන්නට ඔහුගේ පැවැති බලවත් නොකැමැත්ත මධ්‍යයේය. ඔහු කීවේම හාමුදුරුවනේ, ඇතාට ලැබිල තියෙන ප‍්‍රසිද්ධිය දැන් හොඳටම ඇති…. තවත් මාධ්‍ය ප‍්‍රචාර නම් ඕනෙම නෑ….’’ කියාය.

‘‘තවත් මාධ්‍ය ප‍්‍රචාරවලට මම පෙනී හිටියොත් ඒක ඇතාටත් හොඳ නෑ..’’ ඔහු අවධාරණය කළේය.

මම එය එකපයින් අනුමත කළෙමි. මම කීවේද ඇතා හෝ වෙදරාළහාමි ජනප‍්‍රිය කරවීම අපේ අරමුණ නොව, ඇතා ගැන, ඇතාගේ ගතිගුණ, හික්මීම, දිනචර්යාව ගැන දැනගැනීම අපට ප‍්‍රයෝජනවත් බවය.

සිරිවිමල හිමියන් මාව නමින් හඳුන්වාදුන් පසු වෙදරාළහාමි බලවත් සේ සතුටට පත්ව කීවේ ඔබ ඉතින් අලින්ගේ අයිතිවාසිකම් ගැන කතාකරන අයකු නිසා එහෙනම් ඉතින් ප‍්‍රශ්නයක් නැහැ කියාය.

රාජාගේ ලංකා ගමන ඔහු කීවේ ඉන්පසුවය. නැදුන්ගමුවේ රාජා මෙන්ම, කොළඹ ගංගාරාමයේ හිඳ මියගිය නවම් රාජාද දෙසෝයුරන් වැන්නවුන්ය. ඉන්දියාවේ මයිසුර් ප‍්‍රාන්තයේ උපන්නෝය. මේ දෙදෙනා ලංකාවට ලැබුණේ නීලම්මහර වෙද හාමුදුරුවන්ට ලැබුණු තුටු පඬුරක් ලෙසය. ඒ පනහ දශකයේදී වෙද හාමුදුරුවන් විසින් මයිසූර් ප‍්‍රාන්තයේ මහාරාජාවරයකුගේ උමතුවෙන් පෙළුන ඥාතියකු සුවකරදීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මේ ඇත්පැටවුන් දෙදෙනාගේ සැබෑ හිමිකරුවූයේ නීලම්මහර වෙද හාමුදුරුවන්ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මේ ඇත්පැටවුන් දෙදෙනා වයස අවුරුදු 15 කදී පමණ සම වයසේදී ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සහ හොරණ ප‍්‍රදේශයේ ප‍්‍රභූන් දෙදෙනකු වෙත දෙපැත්තකට භාර කෙරුණේ බලි බැලීම ලේසි වුවත් අලි බැලීම ලෙහෙසි කටයුත්තක් නොවූ හෙයිනි. එසේ වසර 10 ක් පමණ හැදී වැඩුණු හොරණ ඇතා වයස අවුරුදු 25 දී පමණ 1978 වසරේදී නැදුන්ගමුවේ ලොකු වෙද රාළහාමි විසින්ද, අනෙකා (ඇඹිලිපිටියේ ඇතා) ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් විසින්ද මිලදී ගන්නට යෙදිණි. ඒ අනුව අලූත් භාරකරුවන් යටතට පත් ඇතුන් අලූත් ජීවිත පටන් ගන්නා ලද අතර නැදුන්ගමුවේ ලොකු වෙදරාළහාමි, අලි-ඇතුන්ට අතිශයෙන් ඇලූම් කළ පුද්ගලයකු වූ නිසා, මෙන්ම ඔහුට අලි-ඇතුන් හදන්නට සැබෑ වත්කමක්ද තිබුණු නිසා ඉතා සෙනෙහසින් අලි ඇතිකිරීම කරගෙන යන ලදි. ඒ අතර රාජාට ඉහළම සැලකිල්ල දක්වන ලදි. ගංගාරාමයේ ඇත් සොයුර, ‘‘නවම් රාජා’’ නම් වෙද්දී නැදුන්ගමුව වලව්වේ ඇතු නැදුන්ගමුව ‘‘විජය රාජා’’ බවට පත්විය.

මෙසේ කලක් ගෙවූ නැදුන්ගමුවේ රාජා එතරම් ජනපි‍්‍රය චරිතයක් බවට පත්ව නොසිටි බවත්, 2005 සිට නුවර පෙරහැරට වසර 10 ක් තිස්සේ සහභාගි වුවත් ජනපි‍්‍රය නොවූ ඇතා 2016 දී පටන් ජනපි‍්‍රය කරන්නට මාධ්‍ය කටයුතු කළ බවද වෙද රාළහාමි පැවැසුවේය.

‘‘2005 ඉඳන් අපි පාරදිගේ ලන්තෑරුම් පත්තුකරගෙන තමයි දහසකුත් කරදර මැද, වාහනවලින් බේරගෙන ඇතා නුවර ගෙනිච්චෙ… නෝනයි මමයි කාර් එකෙන් මගට ගිහිල්ල කැවිලි හදාගෙන පලතුරු අරගෙන ගිහිං නිදි මරාගෙන, බෝක්කු කණු උඩට වෙලා ඉඳගෙන ඉඳල තියෙනවා ඇතා එනකම්.’’ යැයි වෙද රාළහාමි පවසන්නේය.

‘‘මහත්තයෝ ඇතාට කියල අපි විශේෂ දේවල් කන්න දෙනවා අඩුයි. අලි-ඇත්තු කන පොල් අතු, කිිතුල් අතු, කිතුල් කොට, තවත් අතු වර්ග, පලතුරු අඩු නැතිවෙන්න දෙනවා. අමතරව සතා පයින් යන හින්ද බෝඅතු, නුග අතු, කෙසෙල්, මඤ්ඤොක්කා අතු වගේ එයා කැමැති මෙකී නොකී බොහොමයක් දේවල් කඩාගෙන කනවා. ඒක නිසාමයි අපි එයාව පයින් අරින්නෙ. වතුර ටික, කෑම ටික ලැබෙනවා වගේම, පයින් යන හින්ද හොඳ ව්‍යායාමයකුත් සතාට ලැබෙනවා. ඒ නිසා ලෙඩ හරිම අඩුයි.

ඉඳල හිටල බඬේ අමාරුවක්, වාත අමාරුවක් වගේ දෙයක් හැදෙනකොට ඒවට දෙන බේත් හේත් ගැන අපි දන්නවා. 1978 ඉඳන් අපි ළඟ මේ ඇතා අවුරුදු 40 ක් ඉන්නවා. නුවර පෙරහැරට මුලිින්ම යනකොට එයාගේ වයස අවුරුදු 52 ක්. දැන් වයස 65 ක් විතර වෙනවා. ඒත් එයා නිරෝගියි. තාම හකු ගෙවිල නැහැ. ඒත් මේක තීරණාත්මක අවුරුද්දක්. දැන් වයසත් එක්ක අපි ආයෙමත් මේ ඇතාව මහන්සි කරවන්නේ නැහැ. ඊළඟට නුවර පෙරහැරට යනව නම් ඒකට සති දෙකක්වත් කල්දෙන්න මම තීන්දු කළා. ඒ නිසා දවසකට ඇවිදයන දුර ඉතා සීමා කරන්නයි මගේ බලාපොරොත්තුව. අලි බාසුන්නැහේත් අවුරුදු 15 ක් විතර අලිය බලනවා. සියල්ලන් ගැනම හිතලා විශේෂයෙන් අලියාගේ සෞඛ්‍ය තත්ත්වය හිතල තමයි ලබන අවුරුද්දෙ ඉඳන් කටයුතු කරන්නේ. නුවර පෙරහැර හැරුණු කොට ආයිමත් එක දවසෙ දේකට විතරයි ඇතාව යවන්නේ’’ යැයි වෙද රාළහාමි දිගු විස්තරයක් කළේය.

2016 දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එවක පටන් ‘‘යුද හමුදා’’ ආරක්‍ෂාව ඇතාට ලබාදෙන්නට රජය කටයුතු කළේය. ගාමිණි ජයවික‍්‍රම පෙරේරා ඇමැතිවරයා මේ තීන්දුව කි‍්‍රයාත්මක කළේය. එහෙයින් ඇතු ජාත්‍යන්තරයේ පවා ප‍්‍රකට විය. අදටත් එම ආරක්‍ෂාව නොඅඩුව ලැබේ. ඒ, ‘‘නැදුන්ගමුවේ රාජා’’ ජාතික වස්තුවක් වශයෙන් සලකාය. ඒ නැතත් ඉන්දියාවේ ඉපිද, ශ‍්‍රී ලංකාවට පැමිණ නොකඩවා වසරක් පාසා දළදා සමිඳුන්ට උත්තම පූජාවක් සිදුකරන රාජා සැබෑ ලෙසම පාරමිතාවක් පුරනු නොඅනුමාන බව වෙද රාළහාමි පවසයි.

‘‘මෙයා බ‍්‍රහ්මචාරී දිවියක් ගත කරන්නෙ මිනිස්සු කරන තරම්වත් පවක් මේ සතා අතින් සිදුවන්නේ නැහැ. පන්සිල් පද සියල්ලම මෙයාගෙන් රැකෙනවා. තවත් මොනවද කෙරෙන්න තියෙන්නේ. මේක පාරමිතාවක්. මීට ඉහත ආත්මවල රජ කෙනෙකු වෙලත් මෙයා ඉන්න ඇති.’’ යැයිද හර්ෂ ධර්මවිජය වෙදැදුරු කියාගෙන යයි.

‘‘අනේ හාමුදුරුවනේ මෙයාට කන දෙයක් කන්න දීල පාඩුවේ ඉන්න දෙන්න. පලතුරු-එළවළු ලොරි ගණන් ගෙනත් මේ සතාට දෙන්න හොඳ නෑ. හැමදාම කන කොළ වර්ග හරිය කාල වතුර ටිකක් නාගත්තහම එයාට හොඳටම ඇති’’ ඒ ඔහුගේ අදහසයි.

ඉන්පසු එළැඹි අගෝස්තු 14 වැනිදා ඇතා මහනුවර ඇසළ පෙරහැරට නැදුන්ගමුව වලව්වෙන් පිටව ගියේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේය. පිරිත් පැන් ඉස, එම පැන් තොලගා, පිරිත් නූල් බැඳ, භික්‍ෂූන්, හාම්පුතුන් නමස්කාර කර නැදුන්ගමුවෙන් රාජා පාරට නික්ම හමුදා ආරක්‍ෂාව සඳහා එක්වුණේ විටෙක මේ ගමන යන්නට බැහැයි කියන්නාක් මෙන් කම්මැලිකමකින් වුවත්, මහමගදී උජාරුවෙන් ගමන් ගන්නේ දළදා හිමියන්ගේ නමස්කාරය මතක් වී ඇති සැටියෙන් බව පෙනුණි.

( 2018/ 08/26 ඉරිදා දිවයින ඇසුරිනි )

බුදුරදුන් ගොඩ නැගූ ධර්ම රාජ්‍යයෙහි මහ ඇමතිවරු " අසූමහා ශ්‍රාවකයන් වහන්සේ ..."
දෙව්ලොව සිට මිනිස් ආත්මයක් ලබාගත් බුදුරජුන් ඇසින් දුටු ලදරුවෙකුගේ පාපොච්චාරණය ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.