දහමෙන් නිරවුල් වන සැනසුමේ කැදැල්ල ... - IFBC Organization | Dhamma

පවුල යනු සමාජ විද්‍යානුකූලව සමාජ සංස්ථාවකි. මෙකී සමාජ සංස්ථාව සැකසී ඇත්තේ අම්මා තාත්තා දුව පුතා ආදී ලෙස වූ න්‍යෂ්ටික පවුල සහ ආච්චී සීයා ඇතුළු විස්තෘත පවුලකිනි. ගුණවත් පවුල් ඒකකයක් සකසා ගනු ලබන්නේ කෙබඳු අයුරින් ද යන්න අප බුදුරජාණන්වහන්සේ විසින් සූත්‍ර රාශියක් මගින් පෙන්වා දී තිබේ. ඒ සූත්‍ර අතර සිඟාලෝවාද, චතුසංවාස, සත්ත භරියා ආදී සූත්‍ර නිදසුන් ලෙස ගත හැකිය. එමෙන්ම මීට අදාළ ජාතක කථා රැසක් ද ආදර්ශයට ගත හැකි ය.
වර්තමානයේ බොහෝ දෙනකුට පවුල් ප්‍රශ්න තිබෙන බව අසන්නට ලැබේ. එවැනි පසුබිමක් නිර්මාණය වන්නේ පුද්ගලයා හරි අවබෝධයකින් තොරව ජීවත්වීම නිසාය. තම ස්වාමියා හා භාර්යාව අන්‍යොන්‍ය විශ්වාසයක් හා බැඳීමකින් යුතුව ජීවත් විය යුතු ය. ස්වාමියා හා බිරිය අතර මනා බැඳීමක් තිබිය යුතුය. ඔවුනොවුන් පි‍්‍රයවාදීව විසිය යුතු ය. එය ගුණවත් පවුල් දිවියකි. සිගාලක ගෘහපති පුත්‍රයාට බුදුරදුන් දේශනා කළේ පතිකුලය තුළ බිරියක් ජීවත්විය යුතු වන්නේ කෙසේද යන්නයි. එහිදී බිරියක් ලෙස ඇයගෙන් ඉටුවිය යුතු කාර්යය මනාකොට ඉටුකොට තිබේ නම් ස්වාමියාගේ ආදරය ලබාගත හැකිය. අඬදබර කලකෝලාහල නොමැති සන්සුන් සාමකාමී පවුල් දිවිය මගින් දෙදෙනාම සැප ලබයි. එසේ නොමැති තැන පවුල් දිවිය නීරසව එකිනෙකා පිළිබඳ සැකය, අවිශ්වාසය, වෛරය ජනිත කරයි. එය හොඳ පවුල් දිවියක් ගෙවීමට බාධාවකි. මේ නිසා අප බුදුරදුන් අනුදත් යහපත් පවුල් දිවියකට අවශ්‍ය ධර්ම කරුණුවලින් දැනුමක් ලබා තිබීම අත්‍යවශ්‍ය වේ. සිඟාලෝවාද සූත්‍රයේ ඇති එබඳු ඉගැන්වීමක් යන්නේ යුතුකම් අයිතිවාසිකම් පිළිබඳ හඳුන්වාදීමයි. මේ සූත්‍රයේ බිරියට සැමියාගෙන් ඉටුවිය යුතු යුතුකම් අපරදිග දිසාවෙන් පැහැදිලි කර දී තිබේ. එහිදී සැමියා සම්මානයෙන් ,අපහාස නොකිරීමෙන් , පරඹුවන් කරා නොයෑමෙන්, ගෙදර කටයුතු වල අධිපති බව පැවරීමෙන් , අබරණ, ඇඳුම් පැළඳුම් ලබාදීමෙන් , යන කරුණු පහකින් බිරියට අනුග්‍රහය දැක්විය යුතුය. එවැනි සැළකිල්ලක් බිරියට දක්වන විට ඇය තම ස්වාමියාට විරුද්ධව ගමන්කළ ඛ්ැකි නොවේ. ඉන්පසු ඇයද තම ස්වාමියා කෙරෙහි දයාබරිතව කටයුතු කරනු ඇත. ඇයද තම යුතුකම් මනාව ඉටුකළ යුතු අයුරු, බිරියගෙන් සැමියාට ඉටුවිය යුතු යුතුකම් කොටසින් පැහැදිලි කර දී තිබේ. ඒවා වන්නේ

ඈ මනාකොට වැඩ කටයුතුවල යෙදෙයි, පිරිවර ජනයාට මැනවින් සංග්‍රහ කරයි, පරපුරුෂයන් නොපතයි, රැස්කරගත් ධනය රැකගනී ,සෑම කටයුතු වලම අනලස්ව දක්ෂව යෙදෙයි, මේ අනුව බලන විට සාර්ථක පවුල් දිවියක මඟ මේ කරුණු මගින් හෙළි කරනු ලබයි. ඔබ ඔබගේ පවුල් දිවිය තුළ මෙකී කරුණු දහය අන්තර් ග්‍රහණය කොට තිබේදැයි මදක් විමසා බලන්න. එසේ නොමැති නම් ඔබටද අප්‍රමාදව මේ කරුණු මත පවුල් ඒකකය සකස් කර ගත හැකි බව මනාව හිතට ගන්න. එවිට ඔබටත් පී‍්‍රතිමත් යුග දිවියක් ගත කිරීමට හැකියාව ලැබේ. වර්තමානයේ බොහෝ දෙනෙක් පවුල් දිවියේ ගැටුම් ඇතිකරගන්නේ තමා සතු කාර්ය පවුල තුළදී නිසි ලෙස සිදු කිරීමට නොහැකි වීමත් අනියම් සබඳතා ගොඩනගා ගැනීමත් නිසා ය. දැන් තරුණ පිරිස් අතර ඇති මතයක් වන්නේ (සමහර අය තුළ පමණි) විවාහ දිවියට පත්වීමට පෙර හොඳට ජීවත් වන අතර සුරා සූදුවෙන් තොර දිවිය සකසා ගත්තද විවාහ දිවියට ඇතුළත් වීමෙන් පසු සමහර අය මත්පැන් පානයට ඇබ්බැහි වේ. එය පවුල් ආරවුල් නිර්මාණය කරවීම කෙරෙහි බලපායි. මෙය හොඳින් තේරුම් ගත් පුද්ගලයාට ඉතා ගුණවත් හා සාර්ථක පවුල් දිවියක් ගත කළ හැකි වේ. බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක පවුල් දිවියේ පුද්ගලයන් සතර දෙනෙක් පිළිබඳව සඳහන් කරනු ලබයි. එය අංගුත්තර නිකායේ පඨම සංවාස සූත්‍රය හෙවත් චතු සංවාස සූත්‍රය නමින් හඳුන්වනු ලැබේ. මේ සූත්‍රයේදී ස්වාමියාත් භාර්යාවත් යන දෙදෙනා තුළ පිහිටි ගැළපීම් නොගැලපීම් පෙන්වා දෙයි.

එහිදී ඡවෝ ඡවාය සද්ධිං සංවසති, ඡවො දෙවියා සද්ධිං සංවසති, ද්වෝ ජවාය සද්ධිං සංවසති, ද්වෝ දෙවියා සද්ධිං සංවසති,

මෙයින් පළමු යුගලය වන්නේ පංච දුශ්චරිතයෙන් යුතු බිරියත් ස්වාමියාත් ය. දෙදෙනාම ගුණ ධර්මයෙන් මළ අය වේ. එම පවුල අඳුරුය. මේ දෙදෙනාම පවට අනුගතව සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය මෙන්ම දුරාචාරී දිවියක් ගත කිරීම නිසා ඡවෝ ඡවාය සද්ධිං සංවසති යනුවෙන් එය සඳහන් කර ඇත. දෙවන යුගලය වන්නේ දෙවියෙක් වන් මිනිසෙකි. ඔහු පන්සිල් රකිමින් පොහොය අටසිල් සමාදන් වෙමින් දන් දෙමින් ගුණවත් සාධු චරිතයකින් යුක්ත වන අතර එබඳු අයකු ගුණධර්ම කිසිත් නැති කන්තාවක් සමඟ එකට එකතුව වාසය කිරීම දෙවෝ ඡවාය සද්ධිං සංවසති යනුවෙන් පෙන්වා දී තිබේ. මේ දෙදෙනා ගමන් ගන්නා ප්‍රතිපත්ති දෙයාකාරයක් බැවින් ගැටුම් ඇති වී පවුල් දිවිය අඩාල වේ. මීළඟට මළ මිනිසෙක් වැනි ගුණ ධර්ම නැති මිනිසෙක් දෙවඟනක් වන් ගුණධර්ම වලින් යුක්ත කාන්තාවක් විවාහ කර ගැනීමයි. මෙයද ඉහත කරුණු හා සමාන වේ. බිරිය සදාචාරවත් දිවියක් ගෙවන විට ස්වාමියා දුරාචාරි බවට පත්ව ඇත. දෙවෝ දෙවියා සද්ධිං සංවසති යනු ස්වාමියාද පන්සිල් අටසිල් හා දසපුණ්‍ය ක්‍රියාවල යෙදෙන අයකු වන විට බිරියද ඔහු අනුගමනය කරමින් සිල්වත්

ගුණවත් දිවියකට අනුරූපව සිටී. දෙදෙනාම ගුණධර්මයෙන් පිරිපුන් අය වෙති. ගුණයෙන් මළ අයකු වසර සියයක් ජීවත් වුවද පලක් නැත. දැහැමිව එක දවසක් ගත කිරීම ද ඉතා වටිනා බව ධම්ම පදයේ සහස්ස වග්ගයෙන් පෙන්වා දී ඇත. ධාර්මික සදාචාරවත් දිවිය තුළ සියලු සමාජගත යහපත සැලසෙන බව මනාකොට අවබෝධ කරගෙන ජීවිතය ගත කළ යුතු ය. බොදුනුවන්ගේ උසස්ම උපාසිකාව ලෙස සලකනු ලබන විශාකාව පතිකුලයට පිවිසෙද්දී ඇයට යහපත් ස්වාමි දුවක් වශයෙන් කටයුතු කිරීමට ඇගේ පියා උපදෙස් දහසක් ලබාදුන් බව සඳහන් වෙයි. ඒ මගින් පැහැදිලි වන්නේ බිරියක් සේ නිවසේ ඇතිවන ගැටලු හා පිටත ඇතිවන ගැටලු වලට යහපත් මනසින් යුතුව මුහුණ දිය යුතු බවයි. සංයුක්ත නිකායේ සත්ත භරියා සූත්‍රය මගින්ද කුලවත් ගුණවත් භාර්යාවක් විය යුතුª කෙසේදැයි බුදුරදුන් අනේපිඬු සිටුතුමාගේ ලේලිය වන සුජාතාවට පැහැදිලි කර දී තිබේ. එහි විවිධ චරිත ස්වභාව ඇති භාර්යාවන් හත් දෙනෙකු ගැන සඳහන් වෙයි.

මාතු භරියා- මවක් බඳු බිරිය
භගිනි භරියා – සොහොයුරියක් බඳු බිරිය
දාසි භරියා – දාසියක් බඳු බිරිය
සඛී භරියා – මිතුරියක් බඳු බිරිය
චෝර භරියා – සොරෙක් බඳු බිරිය
වධක භරියා – වධකයෙක් බඳු බිරිය
සාමි භරියා – ස්වාමියෙක් බඳු බිරිය

මෙම බිරින්දෑවරු හත් දෙනාගෙන් යහපත් භාර්යාවරුන් වන්නේ මාතු භරියා, භගිනි භරියා, දාසි භරියා, සඛි භරියා යන අය යි. මෙම සිවු දෙනා ස්වාමියාට ලැදි, ආදරයෙන් දයාවෙන්, කරුණාවෙන් යුතුව ඔහුට සැලකිලි, ඇප උපස්ථාන සිදුකරන අයයි. ඉතිරි තිදෙනා ස්වාමියාට එරෙහිව යන අය වේ. ස්වාමියා ඉදිරියේ බොරු රඟ දැක්වීම් කර වෙනත් පරපුරුෂයන් කරා ළඟාවන අයයි. චෝර භාර්යා යනු ස්වාමියා හරි හම්බ කරගෙන ගෙනත් දෙනු ලබන සෑම ධනයක්ම පිටුපස දොරින් හොර සැමියාට ලබාදෙන කෙනෙකි මෙයට හොඳම ඬදසුන් ලෙස ජාතක කථා කිහිපයක් දැක්විය හැකිය. අන්ධභූත ජාතකය හා තක්කාරි ජාතිකය යන ජාතක කථා මඟින් පැහැදිලි වන්නේ තම ස්වාමියාට හොරෙන් වෙනත් පුරුෂයන් කෙරෙහි ලොල්ව, වස්තුව ඒ පුද්ගලයන්ට ලබාදෙන ස්ත්‍රීන් පිළිබඳවයි. පදුම ජාතකය තුළින් පෙන්නුම් කරන්නේ් තම දිවි දෙවෙනි කොට ආරක්ෂා කළ බිරිය පදුම කුමරුට හොරා කොරෙයකුට පෙම්බැඳ පදුම කුමරුගේ දිවි තොර කිරීමට උපක්‍රම යෙදූ අයුරුයි. මේ නිසා දෙදෙනකු ඉන්න තැනට තුන්වැන්නෙකු වීම, ඉතා අනතුරු දායකය. වැරැදි ලෙස කම්සැප සෙවීම තුළින් මරණයට ද පත්විය හැකි ය. එවැනි කථා අප රටේ පත්‍ර වල පළවී ඇති අයුරු අපට පෙනෙයි. තුන්වැනි සිල් පදය ආරක්ෂා කිරීම දෙලොව සැපයට හේතුවන බව වටහාගත යුතු ය. පරාභව සූත්‍රය මගින් දුරාචාරි දිවිය මෙලොව ධන විනාශයට හේතු වන බව පෙන්වා දී තිබේ. ඉත්ථිධුත්තෝ, සුරාධූත්තෝ යනුවෙන් යම් පුද්ගලයෙක් දැඩිව ස්ත්‍රී ලෝලත්වය දක්වන්නේ නම්, ඔහුගේ ධනය විනාශ වී දිළිඳු බවට පත්වන බව, එහි සඳහන් වෙයි. මෙය වර්තමාන සමාජයේ ජීවත්වන ඔබ සැම හොඳින් සිතට ගත යුතු ය. මහා ධනපතියන් දැඩි ස්ත්‍රී ලෝලත්වය නිසාම ධනයෙන් හීන වී ඇති අයුරු වර්තමානයේ අප රටේ සමහර ප්‍රදේශ වලින් අසන්නට ලැබෙයි. ඉන් ලැබෙන අපකිර්තියද චරිතයට කැළලකි. මේ කරුණු හොඳින් තේරුම් ගෙන ඉතා සැලසුම් සහගතව තම පවුල් දිවිය ගතකිරීමට මහන්සි ගත යුතු ය. බෞද්ධ සහිත්‍යයේ බුදුරදුන්ගේ සම්මානනීයත්වයට පත් යහපත පවුල් දිවියක් ගතකළ දෙදෙනා වන්නේ නකුල පිතා හා නකුල මාතා යන දෙදෙනා යි. ඔවුන් බුදුරදුන් දකින විට වයසට පත්ව සිටිය ද ගත කළ ජීවිතයේ දී දෙදෙනා අමනාප වී නොමැති බවත් එකිනොකාට පියවාදීව කටයුතු කළ බවත් බුදුරදුන් ට දන්වා තිබේ. එවැනි දයාබරිත පවුල් ඒකකයක් සකස් කර ගත යුතුªය. එසේ නොමැතිව නිතර රණ්ඩු දබර ඇති නිවස තුළින් ජනිත වන දරුවන් සමාජමය වශයෙන් පසුබෑමකට ලක් වෙයි. විවිධාකාර විසමාචාර වලට යොමු වී සමාජයට අහිතකර ලෙස ජීවත්වීමට එවැනි දරුවෝ පෙළඹෙති.

මේ නිසා තමා මෙන්ම තම දරුවන්ටද යහපත් සමාජයක් උදා කරදීම, මවුපියන් සතු යුතුකමකි. බටහිර ලොව විවාහ වීම විනෝදයක් මෙන්ම දික්කසාද වීම ද, එවැනිම සුළු සිද්ධියක් ලෙස සලකනු ලැබේ. නමුත් අප රටේ අපරදිග රටවල මෙන් දික්කසාද නඩුවලින් උසාවි පිරී නැත. එවැනි ශිෂ්ට නැති සංස්කෘතික ලක්ෂණ අප ආදර්ශයට ගතයුතු නොවේ. අප පෙරදිගින් ලද සාරධර්ම පෝෂණයෙන් උත්කෘෂ්ට සංස්කෘතියක හිමිකරුවන් වී ඇත. මව, පියා, දුව, පුතා යන සංකල්පය තුළ පිටි කිරි නොව මවුකිරි බී හැදෙන වැඩෙන දරුවන් මවුපිය ගුණය හඳුනන අය බවට පත්කළ යුතු වන්නේ ගුණගරුක මවුපිය ඇසුරින්ම ය. එවැනි පසුබිමක් උදාකිරීමට තරම් පවුල් සංස්ථාව යහපත්විය යුතු යැයි පෙන්වා දෙන්නේ මතු පරපුරේ අනාගතය යහ පැවැත්ම උදෙසා ය. අඳුරෙන් අඳුර කරා පියමන් කරන පවුල් දිවියට වඩා ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කරන පවුල් දිවිය උතුම් ය.

පවුල් ජීවිතයක සාර්ථකත්වය රඳා පවතින්නේ අඹුසැමි දෙපළ සමාන ගුණ දහමින් හා සමාන ගති පැවතුම් වලින්ද, සමාන සිතුම් පැතුම් හා අදහස් උදහස් වලින්ද යුතු වූ විට ය. මේ නිසා බොදුනුවන්ට පමණක් නොව සෑම මිනිසකුටම උසස් පවුල් දිවියක් සඳහා අවශ්‍ය උපදෙස් රැසක් බුදුදහමෙන් ලබා දී ඇති බව පෙනෙයි.

උපුටාගැනීම
http://www.lakehouse.lk/budusarana/2008/09/28/tmp.asp?ID=vision03

සත්වයා කෙරේ මෙත් සිතින් එරන්ද ලක්මාල් විසිනි.

බුදුන් වහන්සේ ලොවට දුන් පණිවිඩය
නවීන විද්‍යාවට වඩා විද්‍යාත්මක බුදුදහම ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.