දක්ඛිළණ ස්ථූපය ( The Dhakkina Sthupa ) - IFBC Organization | Dhamma

සිංහල දේශය එක්සේසත් කළ මහා විමුක්තිදායකයා ලෙස ඉතිහාසයට නම එක්වී ඇත්තේ දුටුගැමුණු රජුගේය.

වැඩිම පරිච්ඡේද ගණනක් දුටුගැමුණු රජු වෙනුවෙන් වෙන් කරන්නට මහාවංසය රචනා කළ මහානාම හිමියන් ක්‍රියා කළේද ඒ නිසාය. මහා වංසයේ පරිච්ඡේද ‍ෙදාළහක් පුරා ගාථා 877ක්ම දුටුගැමුණු රජු පිළිබඳව ලියැවී ඇත්තේය.
උතුරෙන් හැඩි දෙමළු, දකුණෙන් ගොළු මුහුද, අතපය දිගහැර නිදාගන්නේ කෙලෙසක දැයි තම මෑණියන්ගෙන් ඇසූ කුඩා ගැමුණු කුමරු එළාර රජු සමඟ සටන් වැදුණේ “මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව, බුදු දහමේ චිරස්ථිතිය සඳහාය” කියමිනි. අද වනතුරු මෙරට බුදු දහමක් ඉතිරි වන්නට දුටුගැමුණු රජු කළ ශාසනික සේවය ඍජුවම බලපාන්නේය.

තමා අතින් මිය ගිය සතුරාට පවා ගෞරව කරමින්, ඔහුගේ සොහොන අසලින් යන බෙර වාදකයන්ට පවා එය නතර කරන්නටත්, අසුන් පිට හෝ රථයක යන්නන් ඉන් බැස ගෞරව කළ යුතු වගටත් ආඥාවන් කළේ දුටුගැමුණු රජුය. එපමණටම මානුෂීය ගුණාංගයන් ගෙන් පිරී ගිය දුටුගැමුණු රජු අවසන් හුස්ම හෙළුවේ තමා හදන්නට ආරම්භ කළ මහාථූපය දෙස බලාගෙන මහාථූප මළුවේදීය.

කාලය තම වැලිතලාව මතින් දුටුගැමුණු රජු අමතක වන්නට නොදී රැගෙන ආවේ ඔහු අමතක කරලීම මනුසත්භාවයට කරන්නා වූ අසාධාරණයක් වග සිහිතබා ගනිමිනි. එහෙත් එක් වරෙකදී කාලයට ඒ යුතුකම පැටලැවුණේය. ඒ දුටුගැමුණු මහ රජු ආදාහනය කළ ස්ථානය සම්බන්ධයෙනි.

මහාවංසයේ එන පරිදි දුටුගැමුණු රජු ආදාහනය කොට ඇත්තේ සංඝයාගේ කම්මාලකයේදීය. මේ ස්ථාන නාමය කාලයත් සමඟ බොහෝ වෙනස්කම්වලට ලක්වූ බව කියැවේ. මූලාශ්‍රය ග්‍රන්ථවල මහ පුළිලමළුව ලෙස දැක්වෙන්නේද එම ස්ථානය පිළිබඳව යැයිද විද්වත්හු මත පළ කරති. මහා වංසයේ එන පරිදි ආදාහනය සිදුකර ඇත්තේ මහා විහාර සීමාවෙන් පිටතය. වළගම්බා රජුගේ ඇමැතියකු වූ උත්තිය ඇමැති දුටුගැමුණු රජු දැවූ ස්ථානයේ දක්ඛිණ ථූපය නමින් සෑයක් කරන ලද බවද වංසකතාවල දැක්වේ.

එහෙත් පසු කාලය වන විට එවන් දක්ඛිණ ථූපයක් පිළිබඳ සලකුණු සොයා ගැනීමට නොහැකි විය. එහෙත් එළාර රජුගේ සොහොන යැයි සැක කළ ස්ථූප නම් ශ්‍රී මහා බෝධිය අසලම දක්නට ලැබිණි.

එම ස්ථානය දුටුගැමුණු රජුගේ සතුරු එළාර රජු යුදයේදී මැරී වැටුණු ස්ථානයේ ඉදිකරන ලද චේතියක් වශයෙන් ජනයා එය විශ්වාස කරන්නට විය.

කාලයාගේ ඇවෑමෙන් පසුගිය ශත වර්ෂයේ අග භාගයේදී එච්.සී.පී. බෙල් මහතා එළාර සොහොන ලෙස හැඳින් වූ ස්ථානය පරීක්ෂා කර බැලුවේය. වරෙක මෙහි පරීක්ෂණ කටයුතු කරමින් සිටියදී ඔහුට දෙබර ප්‍රහාරයකටද ලක්වන්නට සිදුවිය. බෙල් මහතා දිගින් දිගටම කළ පර්යේෂණවලදී සොයාගත් තොරතුරු අනුව එළාර සොහොන ලෙස සැක කළ කඳු ගැටය පැරැණි අනුරාධපුරයේ ප්‍රධාන ආරාම කීපයෙන් එකක් වූ දක්ඛිණ විහාරයේ ස්තූපය ලෙස හේතු ඉදිරිපත් කළේය.

දක්ඛිණ විහාරය ගැන පුරාණ වංසකතා හා බිම් සලකුණු ඇසුරින් ඔහු ඒ මතය පළ කළේය. එහෙත් හෝකාට් මහතා විසින් එම මතය නොපිළිගත් අතර, ඔහු ජනප්‍රවාදයේ ආ එළාර සොහොන තවදුරටත් අනුමත කළේය.

කෙසේ නමුත් මේ ස්ථානය වන්දනාකරුවන්ගේ වැසිකිළි බවටද පත්වුණේය. 1946 ඔක්තෝබර් මාසයේදී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් එළාර සොහොන ලෙස හැඳින්වූ මෙහි කැණීම් ආරම්භ කළේය. එහිදී මීට පෙර බෙල් මහතා විසින් කැණීම් කරන ලද අගල් පරීක්ෂා කර බැලූ පරණවිතානයන් පැවැසුවේ අනුරාධපුරයේ වෙනත් මහා ස්ථූපවල මෙන් මෙම ස්ථූපයේත් “වාහල්කඩ” වැනි පූජාසන ලක්ෂණ පවතින බවය.

මාස ගණනාවක් කැණීම් ගවේෂණ කරමින් කළ සටනේ ඉක්මන් ඵල ලබා ගැනීමට නොහැකි වූවේ බෙල් මහතාටත් පෙර නිධන් හොරුන් මෙම ථූපය කැණීම් කර තිබීමෙනි. එය පරණවිතානයන් තම පුරාවිද්‍යා වාර්තාවල සඳහන්කොට තිබුණේ මෙසේය.

“බස්නාහිර වාහල්කඩ පිටුපසින් නොහොත් එය තිබෙන්නට ඇතැයි සැකකරන ස්ථානයට පිටුපසින් උමඟක් කැණ ඇත. මෙය නිධන් හොරුන් විසින් ඇතුළටම කණින ලද්දකි. උමඟ හාරා ඇත්තේ ඉහළම පේසාවේ මට්ටමෙනි. හිස් හුනුගල් කරඬු ගණනාවක්ද ඒවායේ පියන්ද සුන්බුන් අතර විය.

රුවන්වැලි සෑයේ දකුණු වාහල්කඩ අසලින් ලැබුණු කරඬුවලට මේවා සමාන විය. වෙනසකට තිබුණේ මේවායේ වස්තු කොල්ලකා භාජන සහ පියන් නොවටිනා දේ ලෙස ඉවත දමා තිබීමය.”

1948 වර්ෂයේ ආරම්භ වන තුරුම මෙම පර්යේෂණවලින් හමුවූයේ එතරම් නිශ්චිත සාක්ෂි හඳුනාගත හැකි පුරාවස්තු නොවේ. හමුවූයේ කාසි, පබළු, කැටයම්, කැබලි වැනි දේය. නිධන් හොරුන් දාගැබ බිඳ එහි ධාතු ගර්භයටද ඇතුළු වී තිබිණි.

1948 මාර්තු මාසයේදී කළ කැණීම්වලදී මෙහි වැලිමළුව පාදාගන්නට හැකිවිය. ඒ අනුව ස්ථූපයේ දකුණු වාහල්කඩ හා බස්නාහිර වාහල්කඩ අතර තිබූ බවට විශ්වාස කළ හැකි ගල් පුවරු කිහිපයක් හමුවූ අතර, ඒවා ශිලා ලිපි බවටද හඳුනාගනු ලැබිණි.

තුන්වැනි සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා තිබූ ගල් පුවරුවල පළමුවැන්නේ “දකිණි විහර” ලෙස ලියැවී තිබිණි. ඒ අනුව කාලයක් පුරා බලාපොරොත්තු වී තිබූ දේ ඉෂ්ට වූයේ ඒ අයුරිනි.

ඒ අනුව මෙතෙක් ප්‍රශ්නයක්ව තිබූ එළාර සොහොන කුමක්දැයි හඳුනා ගැනීමට හැකි වූ අතරම, 1948 දී වසර හැත්තෑ ගණනකට පෙරදී බෙල් මහතා විසින් අනුමාන කළ නිගමනයද නිවැරැදි විය.

එවකට හමුවූ ලංකාවේ දීර්ඝතම බ්‍රාහ්මී සෙල් ලිපියද වූවේද මෙයයි. ගල් පුවරු 16ක් මත ලියූ ලිපිය අඩි 46ක් දිග අඩි 7ක් පුළුල් වූවකි. අඩි තිහක් පමණ ගැඹුරට
වැළලී තිබූ මෙම ලිපිය දුටුගැමුණු රජු හා එළාර රජුගේ සොහොන් පිළිබඳ වූ සැකය දුරු කරන්නට මතුවූවක් විය.

ශිලා ලිපියෙන් පමණක් සෑහීමකට පත් නොවූ අග්‍රගණ්‍ය විද්වතාණන් තව තවත් ගැඹුරට කැණීම් කරන්නට විය. ඒ කැණීම්වල අවසනදී පිලිස්සී කරවී ගිය ගඩොල් කැට, අඟුරු, අළු ද හමුවිය. මහා සංග්‍රාමයක විජයග්‍රහණය ඒ ඔස්සේ වැඩියේය.

මේ කදිම අවස්ථාවක් හා සාක්ෂියක් බව දැනගත් පරණවිතානයෝ එම අළු පරීක්ෂණ සඳහා විදේශයකට යැවීය. එහිදී ලැබුණු ප්‍රතිඵල අනුව එය ඊට වසර දෙදහසකට පෙර විසූවකුගේ බව තහවුරු කෙරිණි. ඒ අනුව දකිණි වෙහෙර නම් ශිලා ලිපියත්, අළුවල කාබන් කාලනිර්ණයත් හේතුකොටගෙන මෙතෙක් එළාර සොහොන ලෙස සැලකූ ස්ථූපය දක්ඛිණ ථූපය බවත්, දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානයේ පසු කලෙක මෙම ථූපය ඉදිකළ බවද තහවුරු විය.

අනුරාධපුර රාජධානියේ සේම ලාංකේය රාජාවලියේ අසහාය නරපතියා සැතපුණේ මේ දක්ඛිණ ථූපය යටය.

සඳලංකා සුදුසිංහ

වෙස්සගිරිය ( The Vessagiriya )
නඛා වෙහෙර ( Naka Vehera )

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.