තෙරුවන් ගුණ අනුහසින් සෙත සලසන පිරිත ... - IFBC Organization | Dhamma

Posted by | September 10, 2014 | සිරි සදහම් ( Dhamma) | No Comments

“ අපි පිරිත් කීමේදී පළමුවෙන් පිරිත් මණ්ඩපය සකසා ඒතුලට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් වඩමයි. ඒ තුලින් සුවිශාල ආශිර්වාදයක් ලබනව. මෙවන් ස්ථානයකදි බුදු හිමියන් විසින් දේශනා කල ධර්මය දේශනා කිරීමේදී එහි ශක්තිය කියා නිමකල නොහැකියි. මණ්ඩපය තුල වැඩ සිටින මහා සංඝරත්නය පසුදා පහන්වන තුරු දේශනා කරන්නේ බුදු හාමුදුරුවන් දේශනා කල භාෂාවයි. ඒවචන, ඒ අකුරු ඒ අයුරින්ම මේ හාමුදුරුවරු දේශනා කරනව. දැන් සිංහලෙන් පිරිත් කියන කාලයක්. නමුත් බුදු හාමුදුරුවන් දේශනා කල වචන, ඒ වචනවල බලය, ගණ පිහිටුවීම සිංහලට ගන්න බෑ. ඇයි සිංහලෙන් කියන්නෙ කියල ඇහුවොත් එයාල කියන්නෙ තේරෙන්න ඕනිලු. පිරිත තේරෙන්න අවශ්‍ය නෑ. තේරෙන්න බණ කියන්න ඕනි. පිරිත කියන්නෙ ආශිර්වාදයක්. ඒකෙ තේරුම අවශ්‍ය නෑ එතනදි. ඒක නොතේරුනයි කියල ආශිර්වාදය නැතිව යන්නෙ නෑ. බුදුහාමුදුරුවන්ගෙ වචනවල, භාෂාවෙ, ඒ අකුරුවල ගණ පිහිටල තියෙන හැටි මේවයින් විශාල ආශිර්වාදයක් ලබා ගන්න පුලුවන්.”

පසුගිය දිනක ස්වාධීන රෑපවාහනී සේවයේ ඉරිදා ආයුබෝවන් වඩ සටහනට සහභාගි වූ අතිපූජනීය වැලමිටියාවේ කුසලධම්ම නායකහාමුදුරුවන් වහන්සේ දැක්වූ අදහසකි මේ.

යාලුවනේ දීඝායු කුමාරය යක්ෂයෙක් විසින් පැහැරගෙන යන්න හදද්දි බුදුහාමුදුරුවො සතියක්ම පිරිත් කියල එයාව බේරගත්ත. මොද ඒ පොඩි පුතාට ඔය කියපුව තේරුනාද? ඔය මහා ධර්මස්කන්ධය. නමුත් පිරිතෙ ආශිර්වාදෙන් තමයි එයා බේරුනේ.

යහලුවනේ මම මීට ඉස්සරත් පිරිත් ගැන ලිපියක් පලකලා. ‍ඒකත් බලන්න. අපි අද බලන්නෙ පිරිත් සිරිත් පිලිබදව. මේව මගෙ පුද්ගලික අදහස් නෙවෙයි. උපුටාගෙන සංස්කරණය කල දේවල් කියල අමතක කරන්න එපා. හරිහමන් ලින්ක් එකක් දෙන්න බැරි කියවල අවබෝධ කරන් ලියන ඒව නිසයි.

හරි. පිරිත පාලියෙන් ‘පරිත්තං’ යනුවෙන් හැඳීන්වෙනව. සියලු උවදුරු දුරලන භය අනතුරු සහ සන්තාපය වළක්වා එයින් ආරක්ෂා කරන බලයක් එහි ඇත යන අරුතෙන් එය පරිත්තං නම් වෙයි.

පිරිත් දේශනයේ ආරම්භය

පිරිත පෙර බුදුවරයන් දවස සිට මුඛ පරම්පරාවෙන් ගෙන ආවක්. අප දන්නා හැටියට පිරිතේ ආරම්භය රතන සූත්‍ර දේශනාවයි. විශාලා මහනුවරට පැමිණි තුන් බිය පහ කරනු පිණිස බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට රතන සුත්‍රය ඉගැන්වූහ. එසේ උගන්වා රතන සුත්‍රය දේශනා කරමින් නගරයට පැන් ඉසීමට උන්වහන්සේ වදාළහ. ඒ අනුව ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් නගරයේ පිරිත් පැන් ඉසූහ. ලිච්ඡවි රජ දරුවෝ ද මේ සමග ගමන් ගත්හ. එයින් පසුව විශාලා මහනුවරට පැමිණි තුන් බිය ඉවත්ව රට විපත්තියෙන් මිදිණි.

එයින් පසු බුදු රජාණන් වහන්සේ ගංගාව දිගේ රජගහ නුවරට වැඩියහ. ඒ නිසා මේ ගමන සහ උත්සවය ‘ගංගා රෝහණ’ නමින් හැඳින්විණි. මේ නිසා මහා වංශයේ රතන සුත්‍රය හඳුන්වා ඇත්තේ ගංගා රෝහණ සූත්‍රය නමින්

දීඝායු නම් කුමාරයෙක් යක්ෂයෙකුට බිලිවෙන්න ගිහින් පිරිත් කියල බේරගත්ත හැටි ඔයාල අහල ඇති. ඒ පිරිත් දේශනය සිදුකලේ බුදුහිමියන්‍ගේ අනුදැනුම ඇතිවයි..

බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ලක්දිවට පැමිණි විජය කුමරු ඇතුළු පිරිස ආරක්ෂා කිරීමට උපුල්වන් දෙවියන් පිරිත් නූල් බැඳ පිරිත් පැන් ඉස පිරිසට සෙත් පැතූ බව මහා වංශයේ සඳහන් වෙයි.

විජය කුමාරයා ප්‍රධාන කොට ඇති සියල්ලෝ උහුවත අවුත් ‘පින්වත්නි ! මේ තෙමේ කවර දිවයිනෙක් දැ’යි විචාළෝය. හේ තෙමේ ලක්දිව යැයි කියා මිනිස්සු මෙහි නැත්තාහු යැයිද තොපට භයෙක් නොවන්නේ යැයිද කීය. මෙසේ කියා කෙණ්ඩිකායෙන් ඒ මිනිසුන් (පිරිත්) පැන් ඉස උන් අත්හි (පිරිත්) හුද බැඳ අහසින් ගියේය.

මහා වංශය 7 වෙනි පරිච්ඡේදය 35 පිටුව

පිරිත් මණ්ඩපය

පිරිත් මණ්ඩපයෙන් පිළිබිඹු කරන්නේ බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ අවස්ථාවයි. පිරිත් දේශනා කරනු ලබන භික්ෂූන් වහන්සේ වැඩ හිඳ ගැනීම සඳහා වර්තමානයේ සකස් කරන්නේ අටපට්ටම් හෝ හතරැස් කොටුවකි. නමුත් එය නිවැරදිවනම් අටපට්ටම් විය යුතුය. එය ඉදිකරනුයේ පට්ටම් (පැති) අටක එකතුවන සේය. ඉන් ප්‍රධාන දොරටුව ඇතුළු තවත් තුන් පැත්තක කවුළු තුන තරමක් විශාල ලෙස සකස් කෙරේ. අනෙක් පට්ටම් හතරේ කවුළු කුඩාවට සකස් කෙරෙන අතර ප්‍රධාන දොරටුව උතුරට හෝ නැගෙනහිර දිසාවට මුහුණලා සකස් කෙරේ. මේ දිසා දෙක එනම් නැගෙනහිර හා උතුර සුබ දිසාවන් ලෙස පිළිගැනේ. බුද්ධත්වය නැගෙනහිර දිසාව තුළින් ද පරිනිර්වාණය උතුරු දිසාව තුළින් ද සංකේතවත් කෙරේ. බොහෝවිට දොරටුව තබන්නේ නැගෙනහිර දෙසටය.
පිරිත් මණ්ඩපයේ ඇතුලුවන දොරටුව පලල අඩි 2ක හා උස අඩි හතක් වේ. පිරිත් මණ්ඩපයක උස ද අඩි හතකි. පිරිත් මණ්ඩපයේ බහුල වශයෙන් දක්නට ලැබෙන නෙලුම් මල බෞද්ධයන් පූජනීය වස්තුවක් වශයෙන් බුදු සිරිතට ද සම්බන්ධ කොට තිබේ. සඳකඩ පහනේ නෙළුම් පෙති අඩ විකසිත බවින් නිවන් මඟට පිවිසීම වශයෙන්ද සලකා ඇත. කෙසේ වෙතත් මෙම නෙළුම් මල යොදා ගැනීමෙන් තමා සිදු කරන කාර්යයෙහි ප්‍රසන්න භාවය හා නිර්මලභාවය ප්‍රකට කරයි. එසේම ස්වාභාවික අයුරින් මෙ සකස් කිරීමෙන් දේවාශිර්වාදය ලැබෙන බව විශ්වාස කෙරේ. දළදා පෙරහැරේදී පෙරහැර කරඩුව වටා සමන් පිච්ච මල් වැල් එල්ලන්නේ දෙවියන්ට වැඩ සිටීමට බවට මතයක් පවතී. මේ පිරිත් මණ්ඩපයද ස්වාභාවිකව ගොඩ නැගෙන්නේද ඒ පදනම මතය. එසේම බුදුහිමියන් පරිසර දූෂණය පිටුදකින නිසා හැකිතාක් සොබා දහමට අවනතව මෙය නිර්මාණය කෙරේ. එසේ හෙයින්දේශීය අමු ද්‍රව්‍ය වන ගොක් කොළ ආදියෙන් මෙය සරසනු ලැබේ. පිරිත් මණ්ඩපයේ උඩු වියන් බැඳීම විශේෂ චාරිත්‍රයකි. ඉහලින් වියනක් ලෙස ඉතාම පිරිසිදු සුවද පැන් ඉසින ලද සුදු රෙද්දක් බැදීම සාමාන්‍ය සිරිතයි උඩුවියන් බදිනට යටින් අතු එල්ලීමට බදින නූලට කියන්නේ “වාල” යන නාමයයි. නූල් සැමවිටිම උතුරත් දකුණත්, නැගෙන හිරත් බටහිරත් යාවන අයුරින් බදිනු ලැබේ. ඒ නූල් සැම විටම බදින්නේ අගල් නවයෙහි දුරිනි. එය වැදගත්ම අත්‍යාවශ්‍ය කරුණකි. දැන් උඩු වියනෙහි නූල් ඇද නාදළු, බුලත්, සිවිය, කොළ සහ මල් එල්ලා අලංකාර කරයි. එය ඇතුලුවන දොරටුව අසල ඇති දික් අතට යන නූල් වල හරස් අතට යන පලවෙනි නූලෙන් පටන් ගනී.. ඊතන, බුලත් කිණිති, නා කිනිති, නා දලු ආදිය මෙහි එල්ලයි. මෙහි විශේෂත්වය වන්නේ මණ්ඩපයට භාවිතයට ගන්නා පුවක් හා පොල් ගස් දේව රුකෂ ගණය අයත් වීමයි. එසේම ආධ්‍යාත්මික පැත්තෙන් දෙවියන් මෙවන් පත්‍ර කෙරේ ඇල්මක් දක්වනවාලු. එසේම නා දලු හා බුලත් ගිණිතිවල ශරීරයෙන් පිටවන විෂ කිරණයන් උරාගන්නා ශක්තියක් තිබෙන බව හා යහපත් කිරණ නිකුත් කරයි. එසේම ඊතන වලින්ද සම්‍යදෘෂ්ඨික දෙවි වරුන්ගේ ආකර්ෂණය ඇති වේ. . එහි විසුරුවන ලද පස් මල් වලින් දක්වන්නේ බුදු රජාණන් වහන්සේ වාඩිවීමට සකස් කළ කුස තණ ඇතිරියයි. උන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට සූදානම් වූයේ සන්ධ්‍යාවේ සිටය. රාත්‍රි තිස් පැයේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කර බුද්ධත්වය ලබා ගන්නේ උදෑසනය. ඒ අනුව සන්ධ්‍යාවේ ආරම්භ කළ පිරිත අවසන් වන්නේද පසු දින උදෑසනය. පිරිත බුදුරජාණන් වහන්සේ ගේ මුවින් පිටවූ වාග් මාලාවයි.

පිරිත් මණ්ඩපය ආශි‍්‍රත නිර්මාණයන්ගෙන් වැදගත් වන තවත් නිර්මාණ තුනකි, පුන්කලස ඉන්ද්‍රඛීලය (රාජගහ) සහ පැන් කලය.

මණ්ඩපය ස්ථානයේ සතරවරම් දෙවියන්ට සහ ගම්භාර දෙවිවරුන් උදෙසා මල් පැල පිහිටවනු ලබයි.

පුන් කලස –
මෙයද ස්වාභාවිකව සකස් කෙරේ. විශේෂයෙන්ම කොහෙල් බොඩ සහ ගොප්කොළ වලින් මෙ නිර්මාණය කෙරේ. සශ්‍රීකත්වය හා සෞභාග්‍යය පිලිබිඹු වේ. පහන් තැබීම සදහා දොරටුව දෙපස පුන් කලස් තැබීම සාමාන්‍ය සිරිතයි. හොදින් බලන්න. පිරිත් දේශනාවකින් පසු නැවත භාවිතයට ගැනීමට ඇත්තේ ඉතාම සුලු ද්‍රව්‍යය ප්‍රමාණයක්. ඉතිරි සියල්ල ඉවත දමන දේවල්. මෙතනිනුත් පෙන්වන්නේ අනිත්‍යය ස්වභාවයයි.

රාජ ගහ (ඉන්ද්‍රඛීලය)
රාජ ගහ සදහා ගනු ලබන්නේ වංශවත් කුලවලයැයි සැලකෙන ගස්ය. සපු, ඉඹුල් ආදී මේ සදහා යොදාගන්නා අතර සමහර පැතිවල පුවක් ගසද යොදාගන්නා අවස්ථා ඇත. එහෙත් ගස් කදන් නැවත පැලවීම සිදුවන ශාකයක් තෝරා ගැනීම සුදුසු බව සදහන් වේ. කෙසේ හෝ ඉඹුල් හෝ සපු ගස සැකසීමේදී ගස වටා ශුද්ධ කර වතාවත් කර අඩි හත අටක්උසට කද කපා ගනී. එය බිමට නොකපන අතර කරේ තබා උස් තැනකට රැගෙන එනු ලැබේ. ඉන්පසු සුවද පැන්න නාවා මණ්ඩපය නිර්මාණය වැඩ අවසන් වූ පසු රාජගහ නිර්මාණය කරනු ලැබේ. පළමුව අඩි හයක පමණ කොටසක් කපා ගනු ලැබේ. දොරටුවට මුහුණලා මණ්ඩපය තුළ රාජ ගහ (ඉන්ද්‍රඛීලය) නමින් ගසක් සිටුවනු ලැබේ. මණ්ඩපයේ ආසන පිළියෙළ කරන්නේ රවුමක සිටින සේ ය. රාජගහ සිටුවනු ලබන්නේ මෙහි (මුල් පුටු) ප්‍රධාන ආසන දෙකට පිටුපසිනි. පිරිත් පිරීම කෙරෙන්නේ මෙම ස්ථානයේ සිටය. (පිරිත් මණ්ඩපය නිර්මාණය ආදී මෙවන් තොරතුරු මල්වතු පාර්ශවයේ පරම්පරාවේ පොත්පතෙහි පැහැදිලිවම දක්වා ඇත.) රාජගහට සක්දෙවියන්ගේ සථම්භකය යන නමින් ඉන්ද්‍රඛීලය යන නමද භාවිත කරයි. මේ රාජගස පිරිත් පිංකමෙන් පසු අසාරවත් භූමියක රෝපනය කලහොත් එය නිසැකවම සාරවත් භූමියක් බවට පත්වන බව පැහැදිලිව දක්වා ඇත.

රාජ ගහ නිර්මාණය

රාජගස සුදු රෙද්දකින් ආවරණය කෙරේ. එහි පලමුවත්‍යෛයක කොත් කැරැල්ල මෙන් වලලු හතක් නිර්මාණය කෙරේ. එය සප්ත මහා සාගරය සං‍ෙක්තවත් කරයි. ඊලග රැලි කුනේරුපර්වතය හා සුනේරු පර්වතය සංකොතවත් කරයි. මේ පර්වතයන්හි හිටියේ සුරයන් හා අසුරයන්ය. ඊලග රැලි වලින් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන සංකේතවත් කරයි. ඉන්පසු කොටස විජිනි පතක ස්වරූපයට සකස් කර ඇත. එය කොටස් විසි හතරකි. එයින් සූවිසි විවරණය දැක්වේ. ඉතින් ඉන්ද්‍රඛීලය ලෙසද හදුන්වනේනේ සතර දිගින් හමන මහ සුලගට නොසෙල්වී සිටින මහ රහතන් වහන්සේ හා සමාන බලයක් මෙහි ඇති බව විශ්වාස කෙරේ.

මණඩලය ඇතුලත සැකසීම.
ධාතු කරඬුව සහ පිරිත් කරනු ලබන පූජා ද්‍රව්‍ය තැබීම සඳහා වෙනම ආසනයක් (මේසයක්) මෙහි ඇත. පිරිත් කිරීම සඳහා අලුත් පැන් කලයක් ද එහි තබනු ලැබේ.කළය ගොක් කොළ වලින් සරසා ඇත. මණ්ඩපය වටා පොල් තෙල් පහන් දැල්වීමට පුන් කළස් හතරක් තබනු ලැබේ. ඒවාද ගොක් කොළ වලින් සරසා ඇත. අති උතුම් සධාතුක කරඩුවත්, පිරිත් පැන් කලයත්, පිරුවානා පොත් වහන්සේත්, අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නයත් මේ සියල්ල හරාහා පිරිත් ශක්තිය විහිදෙන්නේ මෙම ස්ථානයෙනි.

පිරිත් හුය
ඔබ දැක ඇති පිරිත් පිංකමට තරමක් විශාල ලණුවක් වැනි පිරිත් හුයක් රැගෙන එන ආකාරය. එය පිරුවානා පොත් වහන්සේ, පිරිත් පැන් කළය, සධාතුක කරඩුව මෙන්ම රාජ ගහද යන මේ සියල්ල ස්පර්ශය කරමින් පිරිත් මණ්ඩලය පුරා වාල (කොළඅතු එල්ලන නූල්) මතින් ගමන් කරයි. එය මහා සංඝ රත්නය අතින් අතට පමණක් ගමන් කරන අතර පිරිත් මණ්ඩපයෙන් පිටට ගමන් නොකරයි‍. එයට සම්බන්ධවන තුන් නූල පුවක් මලක ඔතා ශ්‍රාවක පින්වතුන් අතට පත් කෙරේ. ආතුරයකු සිටී නම් පුවක් මල් කිණිත්ත සහිත පිරිත් නූල් පන්දුව දෙන්නේ ඔහු අතට ය. පිරිත් නූල තුන් නූලකි. ඒ බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන සංකේතවත් කිරීමටය.

පිරිත් පැන් කලය
පිරිත් පැන් කළය නැවුම් මැටි බදුනක් විය යුතුය. ඉන් කියැවෙන්නේ අලුතින්ම ගත් කළයක් යන්නයි. එයට පිත්තල හෝ ඇලුමිනියම් යොදා ගැනීම නුසුදුසුය. මන්ද පසුදා පහන්වන තුරු පිරිත දේශනාවෙන් පසු මෙහි ඉතා ප්‍රබෝධමත් සුගන්ධයක් වහනය වේ. අන් කිසිම කළයකින් එය සිදු නොවේ. එසේම ශබ්ද ශක්තිය මැටි කළයට හොදින් උරා ගනී. පිරිත් කලය සැකසීමද ඉතාම විචිත්‍රවත් කටයුත්තකි. අලුත් මැටි කළය ගෙන දහයියා දමා පුලුස්සනු ලබේ. ඉන්පසුසෙ පුච්චන ලද දෙහි ගෙඩිවල දෙහි වතුර හා කහවතුර ගෙන එකට කවලම් කර පැන් කළය සෝදනු ලැබේ. නැවත වරක් සුවද පැනින් නාවා පිරිත් කළයට පැන් පුරවනු ලැබේ. ඒ පැන් අලුතින් කපන ලද ලිදක නොඉදුල් වතුර හෝ ඉතා පිරිසිදු ජලාශ්‍රිත ස්ථානයක වලක් හාරා (පුහු ලිද) ඉන් නොඉදුල් වතුර ලබා ගනී. කළය සම්පූර්ණ පුරවන්නේ නැත. අගල් කිහිපයක් ඉතිරිවන අයුරින් පුරවනු ලැබේ. මේ කිසිම අවස්ථාවක කළය බිමින් නොතබනු ලැබේ. ඉන්පසු හේවිසි හඩ මධ්‍යයේ පිරිත් කළය මණ්ඩපයට වඩමවයි. අගල් නවයකට සකස් කල වාලම (කළය පරලීම නැවතීමට යටින් බදින වළල්ල) බැද ගොක් කොල බන්දා සකස් කරනු ලැබේ. පිරිත් කීමෙදී සිදුවන අසිරිමත් සිදුවීමක් තමයි පිරිත් කළය උතුරන එක. හරියට පිරිත කියවෙනවනම් පාන්දර වෙනකොට පිරිත් පැන් කලේ උතුරනව මගෙ ඇස්දෙකින් දැකල තියෙනව. පොල් මලේ මල් කිණිති දිගේ වතුර වැක්කෙරෙනව බලන්න පුදුමයි. කවදාවත් සිංහල පිරිතකින්නම් ඕක බලපොරොත්තු වෙන්නෙපා.

ස්වාමීන් වහන්සේ
පිරිත් පින්කමකට භිකෂූන්වහන්සේ අටනමක් හෝ දාසය නමක් යොදාගන්නා ලෙස අභය රාජ කුමාරයාට පිරිතක් සංවිධානය කිරීමේදී බුදුහිමියන් නියම කොට ඇත. එය අද දොළොස් නමක් වැඩමවීම සිදුවේ. කෙසේ උවද කවර පිරිතක් සදහා උවද තුන් නමකට වැඩියෙන් භික්ෂූන් වහන්සේලා සහභාගි වීම අනිවාර්ය වේ.

පිරිතට අඩංගු දේ

මුල් කාලයේ දී පිරිත සඳහා යොදා ගෙන තිබුණේ රතන සූත්‍රයයි. නමුත් කල්යෑමේ දී පිරිත සඳහා තවත් සූත්‍ර ගණනාවක් එකතු විය. මිලින්ද ප්‍රශ්නයේ පිරිතට රතන, බන්ද. මෝර පරිත්ත ධජග්ග ආටානාටිය සහ අංගුලිමාල යන සූත්‍ර එක් විය. දීඝ නිකායේ අට්ඨකතාවේ වැදගත් පිරිත් සුත්‍ර වූයේ මෙත්ත, ධජග්ග, සහ රතන සූත්‍රයයි. පසු කාලය වන විට තවත් සූත්‍ර එකතු වී සංවර්ධනය විය. පිරුවානා පොත් වහන්සේ ගේ සරණාගමනය, දස සික්ඛා පද, සතර ප්‍රත්‍යවේක්ෂණ හා ඛත්තිංසාකාරය ඇතුළු බණවර සතරක්ද තවත් ධර්ම දේශනා ගණනක් සහ සතර කමටහන් සෙත් පිරිත් දොරකඩ අස්න හා අනුශාසනා ආදියද ඇතුළත් ය.
(මේ පිලිබද දැනගන්නට මා පලකල අනෙක් ලිපියේ සබැදුම මේ ලිපිය අවසානයේ දමා ඇත. එය කියවන්න. )
පිරිත් පොතේ ඇති ප්‍රධාන අන්තර්ගතය සතර බණවර ලෙස හැඳින්වේ.
පළමු බණවරට – සරණාගමනය, දස සික්ඛා, සාමනේර පඤ්හා, ද්වස්තිථියාකාර, පච්චවෙක්ඛනා, දසධම්ම, මංගල, රතන හා කරණීය තුන් සූත්‍ර, මිත්තානිසංස, ඛන්ධ, මෙත්ත, මෝර, චන්ද, සූර්ය, ධජග්ග, ඇතුළත් වෙයි.
බොජ්ඣංග, ගිරිමානන්ද, ඉසිගිලි මහා කස්සප ථෙර බොජ්ඣංග, මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග, මහා චුන්දථෙර බොජ්ඣංග, පරිත්ත දෙවන බණවරයි.
තුන්වන හා හතරවන බණවර දෙක ආටානාටිය සූත්‍රයේ සජ්ඣායනය වේ.
මේවාට අමතරව, සූත්‍ර 7 ක් ඇත. ඒවා සූත්‍ර දේශනා ලෙස හැඳින්වේ. ධම්මචක්කය, මහාසමය, ආලවක, පරාභව, අග්ගිභාරද්වාජ, සච්චිවිභංග යයි.

පිරිත ආරම්භ කිරීම

පිරිත ආරම්භ කිරීමට පෙර අබ, විළඳ, සමන් කැකුළු, සුන් සාල් සහ ඊ තණ යන ලද පස් මල් මණ්ඩපය තුළ විසුරවනු ලබයි. මෙම චාරිත්‍රය ආරම්භ කරන්නේ සඳුන්, කිරි, පැන් ආදියෙන් අත් පිරිසුදු කර ගැනීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් පිරිතක් ආරම්භ කරන්නේ රාත්‍රී 9.00 ට පමණ ය. පිරිත් මණ්ඩපයට ධාතු කරඬුව, පිරුවානා පොත් වහන්සේ සහ භික්ෂූන් වහන්සේ වැඩම වන්නේ ශබ්ද පූජා සහිත පෙරහරෙන්ය. වියන් යටින් වැඩම කරන භික්ෂූන් වහන්සේගේ පා දෝවනය කර සුදු පියවිලි මතින් කැඳවා මණ්ඩපයේ වඩා හිඳුවයි. ධාතු කරඬුව උස් ආසනයක වඩා හිඳුවා එය සුදු මලින් පූජා කරති. පිරුවානා පොත් වහන්සේ ද යුග ආසන ඉදිරිපිට මේසයක් මත තබයි. පිරිත් පැන් කලයද මණ්ඩපයට වැඩම කරන්නේ හේවිසි සහිත පෙරහරෙනි. පිරිත ආරම්භ කිරීමට පෙර ධාතුන් වහන්සේට සහ සංඝයා වහන්සේට ගිලන් පස පූජාවක් ද සිදු කැරේ. පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේට චතු මධුර සහ ඉඟුරු මිශ්‍ර සූකිරිද පිළිගන්වනු ලබයි. මේ පිරිත් පිංකමට වඩින ස්වාමීන් වහන්සේලා බොහෝවිට ඒ සදහා සූදානම් වී මාංශ ආහාරයෙන් වැලකී ඉතා ගරුසරු ඇතිව පිරිතට සහභාගී වේ.
( සාමාන්‍යයෙන් මෙය ගිහි පිරිතක්නම් එම ගිහියන් විසින් දවස් හතක් තිස්සේ මස් පාලු නොකමින් පේවීමක් සිදුකරයි. සමහරුන් ඒ දින හත ආහාරයට ගන්නේ කිරිහොදි සහ බත් පමණි.)
මෙයින් පසු මණ්ඩපය වටාත් පිට ඇති මල් පැල වලත් පහන් දල්වනු ලැබේ. ඊළඟට මඟුල් බෙර වාදනයයි. ඒ සමඟම භික්ෂූන් වහන්සේ නමක් පිරිස පංච ශීලයෙහි පිහිටුවති. එයින් පසු ගිහි දායකයෙක් භික්ෂූන් වහන්සේට දැහැත් වට්ටියක් පිළිගන්වා සර්ව රාත්‍රික පිරිත් දේශනය පවත්වන ලෙස ආරාධනා කරයි. එය පිළිගත් භික්ෂූන් වහන්සේ පිරිත් දේශනය පැවත්වීමේ අරමුණ සහ එහි අනුසස් කෙටියෙන් වදාරති. පිරිත් දේශනය ආරම්භ කිරීමට පෙර භික්ෂූන් වහන්සේ එහි පැමිණි පිරිස ලවා පහත සඳහන් ගාථාව කියවති.

‘විපත්ති පටිබාහාය
සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ දුක්ඛා විනාසාය
පරිත්තං බ්‍රෑත මංගලං’

මෙහි එන ‘සබ්බ දුක්ඛ’ දෙවන වර කියවීමේදී සබ්බ භය යනුවෙන්ද, තෙවන වර කියැවීමේදී ‘සබ්බ රෝග‘ යනුවෙන්ද කියවනු ලබයි.

පිරිත් දේශනයක චාරිත්‍රානුකූල අංග දහයකි

ඒවා මෙසේය

1 පිරිත් පේ කිරීම
මේ පිරිත් දේශනාවේ ආරම්භයයි. මෙහිදී අවිජ්ජා පච්චයා සංඛාරා, ඉතිපිසෝ භගවා අරහං ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ යනාදී දේශනා පවත්වනු ලබයි.
2 මහ පිරිත දේශනා කිරීම
3 යුග කීම
4 සරණාගමනය
5 සුත්‍ර දෙසීම
6 විහාර අස්න
7 දොරකඩ අස්න
8 අනුශාසනා අස්න කීම
9 හමාර දෙසීම සහ
10 සෙත් පිරිත් දෙසීම

විහාර අස්න දොරකඩ අස්න සහ අනුශාසනා අස්න තිස්පැයේ පිරිතට ඇතුළත් වන්නේ නැත. මේ අංග දහය ඇතුළත් වන්නේ සත් වරුවේ හෝ සත් දින පිරිතටය.

මහ පිරිත සහ ධම්මචක්ක සූත්‍ර අවසානයේදී ශබ්ද පූජා පැවැත්වේ. සම්පූර්ණ පිරිත දේශනා කරන්නේ එකම විරිතකින් නොවේ. පිරිත් පේ කිරිම යුග දෙසීම ආදියේදී දේශනා විරිත් වෙනස් වෙයි. ආටානාටිය දේශනා කරන්නේ උච්ච වේගවත් ස්වරයකිනි.

සත් වරුවේ සහ සත් දින පිරිත්

මෙම පිරිතක දී පිරිත පේ කළ පසු දේශකයාණන් වහන්සේ පිරිත් මණ්ඩපය වටා පිරිත් පැන් ඉස දොරටු වසා බැහැර යති. පසු දින දොරකඩ සඳහා පේවී සිටින අය ලවා පිරිතට නැවත ආරාධනා කරති. ඒ සඳහා නැවත ආරාධනා ගාථා කියවා දෙනම බැගින් යුගාසනව පිරිත් දේශනා කරති. මේ ආකාරයට සවැනි දවස සවස් වන තුරු සෑම දිනකම උදේ 6 ට සවස 3.00 ට සහ රාත්‍රි 9.00 ට සියලු දේශකයාණන් වහන්සේ මහ පිරිත් දෙසුම පවත්වති.

මහ පිරිතෙන් පසු මුල් බණ වර දෙකින් පිටස්තරව සූත්‍ර හතක් දේශනා කරති. ඒ විවිධ ශෛලියෙන්ය. අනුශාසනා සඳහා සිටින භික්ෂූන් වහන්සේ විහාර අස්න දේශනා කරති. එයින් විහාර දේවාල වල දෙවියන්ට පිරිත අවසාන කිරීමට ආරාධනා කෙරේ. මේ පිරිතට දෙවියන්ට පණිවිඩ ගෙන යෑම සඳහා දේව දූතයෙක් සිටියි. ඔහු හොඳ ගති ඇති පිරිමි ළමයෙකි. දොරකඩ අස්න සහ අනුශාසනා අස්නෙන් පසු සියලු භික්ෂූන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කරති. දේව දූතයා අනුශාසනා කරන භික්ෂූන් වහන්සේ සමග කෙටි සංවාදයක් පවත්වයි. දොරකඩ අස්න සහ අනුශාසනා අස්න දෙසීමෙන් පසු දෙවියන්ට පින් පමුණුවති. මෙයින් පසු සෙත් පිරිත් දේශනයෙන් පිරිත අවසන් කරනු ලැබේ. මේවා ඉතාම වැදගත් සංස්කෘතික අංගයන් වන අතර “ මොඩිෆයි පිරිත්” ක්‍රම මගින් මේවා ඉවත්කර ආගමික චාරිත්‍ර සංස්කෘතිය විනාශ කර දැමීම අනුමත කළ නොහැකිය. නිකම්ම පිරිත් කොටුවක් සාදා පැන් කළයක් තියා බුදුගුණ ටිකක් සිංහලෙන් කියා යාම පරිත්‍රාණ ධර්මදේශනයක් නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇත.

පිරිත් දේශනා කරන ආකාරය
පිරිස් දේශනා කිරීම සඳහා විවිධ දේශනා ශෛලීන් සහ සජ්ඣායනා ක්‍රම සකස් වූයේ පසු කාලීනව පිරිත, සෙත් පැතීමේ බෞද්ධ චාරිත්‍රයක් බවට පමණක් නොව ජනපි‍්‍රය උත්සවයක් බවටද පත්වීමත් සමඟය. බුද්ධ දේශනාව ධාරණය කර ගැනීම සඳහා එය හඬ නඟා උච්චාරණය කිරීම, ශාසනයේ ආරම්භයේ සිටම භික්ෂූන් වහන්සේ අතර පැවැති පිළිවෙතක් වුවත්, පිරිත් සජ්ඣායනා කිරීම හුදෙක් උච්ච ස්වරයෙන් ශබ්ද නඟා බුද්ධ වචන ප්‍රකාශ කිරීමක් නොවේ. එසේම එය බුද්ධ වචනය ගීත ස්වරයෙන් ගායනා කිරීමක් ද නොවේ. බුදුරජාණන් වහන්සේ විසින්ම බුද්ධ වචනය ගීත ස්වරයෙන් ගායනා නොකළ යුතු බව නියම කොට , එහි ආදීනව ද මෙසේ දක්වා ඇත. එනම්,

මහණෙනි, දික් වූ ගී හඬින් දහම් ගැයීමෙහි ආදීනව පසෙකි, තෙමේත් ඒ හඬෙහි ඇලෙයි, අන්හු ද ඒ හඬෙහි ඇලෙත්, ගිහියෝ ද ලාමක කොට සිතත්, ස්වර ක්‍රියාව (හඬ නැංවීම) පතන මහණහුගේ චිත්ත සමාධිය ද ඉන් බිඳී යයි. පශ්චිම ජනතාව එයින් දෘෂ්ටානුගතියට පැමිණෙයි. මහණෙනි, දික් වූ ගී හඬින් දහම් නොගැයිය යුතුයි. යමෙක් ගයන්නේ වී නම් ඔහුට දුකුලා ඇවැත් වන්නේ ය’ යනුවෙනි.

එසේ වුවත් ධර්මය මිහිරි කටහඬින්, මධුර ස්වරයෙන් ප්‍රකාශ කිරීම අසන්නාගේ ප්‍රසාදයට හේතුවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත. එසේම මධුර ස්වරයෙන් විචිත්‍ර ආකාරයෙන් ධර්ම දේශනා කරන ශ්‍රාවකයන් අතර අග තනතුරු පවා ඇතැම් ශ්‍රාවකයන්ට ලබාදී ඇත.

එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං මඤ්ජුස්සරානං යදිදං ලකුණටක භද්දියො එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං චිත්තකථිකානං යදිදං කුමාරකස්සපො’

මේ අනුව පෙනී යන්නේ අසන්නන්ට පි‍්‍රය උපදවන ආකාරයෙන් ධර්මය සජ්ඣායනා කිරීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදයට ලක් වූ බවයි. තමන් කියන දෙයෙහි අර්ථය වටහා ගනිමින්, නිවැරැදි උච්චාරණයක් ඇතිව සජ්ඣායනා කිරීම උතුම් කොට සලකා ඇත.

පිරිත් සම්ප්‍රදාය අභාවයට යාම
1. ස්වර ව්‍යඤ්ජනාක්ෂර, අල්පප්‍රාණ- මහප්‍රාණ ආදිය උච්චාරණයේදී සැලකිල්ලක් නොදැක්වීම
2. පාලි භාෂාවෙන් ඇති පිරිත සිංහලට නගා දේශනා කිරීම
3. පිරිතෙහි ඇතුළත් ඇතැම් කොටස් ප්‍රතික්ෂේප කිරීම
4. පිරිත හා සම්බන්ධ ඇතැම් සිරිත් විරිත් ප්‍රතික්ෂේප කිරීම
5. සම්ප්‍රදායානුකූ®ල සජ්ඣායනයෙන් බැහැර වීම යනාදියයි.

යහලුවනේ මොකද කියන්නෙ. බෞද්ධයා කීවහම ඊලගට කියැවෙන්නේ සිංහල කියන නමයි. අපේ රට මේ තරම් පූජනීය උනේ බුදු දහම පිලිගන්ත ඉතාම බුද්ධිමත් සදාචාරවත් ජන කොටසක් වෙච්ච නිසයි. අදත් ලෝකෙ මිනිස්සු වදින්නෙ සිංහල කමටවත් බෞද්ධකමට නොවෙයි. සිංහල බෞද්ධ යන දෙකම නිසයි. මේ දෙකම ගහට පොත්ත වගේ. අපේ සංස්කෘතිය තුලින් තමයි බුද්ධ පූජාව ඔපවත් උනේ. බලන්නකො බුද්ධ පූජා විධි මොනතරම් තියෙනවද සංස්කෘතියට බද්ධ වෙච්ච. අලුත් සහල් මංගල්‍යය, දළදා පෙරහැර වගේ දේවල් සංස්කෘතිය නිසා ඇතිවුන බුද්ධ පූජාවල්. සිංහල සංස්කෘතිය විනාශ කිරීම බුදු දහම විනාශ කිරීමට හොද මාර්ගයක්. ඒකයි ඔය වගේ සංස්ක විනාශයන් රට හරහා ගලා යන්නෙ. මේ සමහර බොදු නම් ගහගත්ත අය කරන්නෙ ඔය විනාශයම තමයි.
එවන් පහත් බලවේගයන්ට හසු නොවී චිරාත් තාලයක් සෙත සැලසූ උතුම් පිරිත් පින්කම තව චිරාත් කාලයත් පවතීවා …

රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ඉතිහාස කථාව ...
බෝසත් සිතක නැගුනු සිතිවිලි (සියැටල්ගේ සිතිවිලි ...)

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.