තිස්ස බුද්ධ වංශය ( Thissa Buddha Wanshaya )

සිදුහත් බුදුරදුන් ට අනතුරු ව පසු කාලයෙ හි අසම වූ තමහට සමාන පුද්ගලයෙක් නැති අපමණ තෙද ඇත්තා වූ  බොහෝ පිරිවර ඇති ලෝනාහිමි තිස්ස නම් බුදුරජ ලොව පහළ විය. අනුකම්පා ඇතිසේක්  මහා වීර්යය ඇති සේක්  පසැස් ඇති සේක් මොහඳුරු නසා දෙවියන් සහිත ලෝකයා හොබවා ලෝකයෙ හි උපන් සේක.

ඒ තිස්ස නම් බුදුරදුන් ගේ ද ඍධිය අසම ය. සීල හා සමාධිය ද අසමාන ය.   උන්වහන්සේ සියලු ධර්මයන් හි පරතෙරට පැමිණ දම්සක් පැවැත්වූ සේක. ඒ බුදුරජතෙම දස දහසක් සක්වළෙ හි පිරිසිඳු වූ වචනය හෙවත් ධර්මය දෙසූ සේක. පළමුවන දම් දෙසුමෙ හි දී කෝටි සියයක් දෙනා ධර්මාවබෝධය කළ හ.

ඒ කාලයෙ හි උන්වහන්සේ වෙත ට පැමිණි දෙවි මිනිසුන් දෙවන දම් දෙසුමෙ හි දී අනූ කෝටියක් ද, තුන්වන දම් දෙසුමෙ හි දී සැට කෝටියක් ද සසර බැඳුමෙන් මිදූ සේක.
තිස්ස නම් ලෝනාහිමිඳුන් කෙරෙහි තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති රාගාදී කිලුටු නැති රහතුන් වහන්සේලා ගේ රැස්වීම් තුනක් වූ හ.  රහතුන් ලක්ෂයක් දෙනෙකුන් ගේ පළමුවන සමාගමය වී ය. අනූ ලක්ෂයක් දෙනෙකුන් ගේ දෙවන සමාගමය වී ය. රහත් ඵල විමුක්තියෙන් ප්‍රබෝධ වූ රාගාදී කිලුටු නැති රහතුන් අසූ ලක්ෂයක් දෙනෙකුන් ගේ තුන්වන සමාගමය වී ය.

මම ඒ කාලයෙ හි සුජාත නම් රජ ව මහත් සම්පත් හැරදමා තාපස පැවිද්දෙන් පැවිදිවූයෙමි. මා පැවිදි වූ කල් හි ලෝනාහිමි වූ බුදුරජතෙම ලොව පහළ වූ සේක.  බුද්ධ යන වචන අසා මට සතුටක් උපන්නේ ය.

දෙව්ලොව හටගත්තා වූ මදාරා මල් ද, පියුම් ද, පරසතු මල් ද, දෙඅතින් දැඩිකොට ගෙන සලමින් අහසින් බුදුරදුන් වෙත පැමිණියෙමි.
මම ඒ පියුම් මලක් ගෙන සිවුවණක් පිරිස් පිරිවරණ ලද තිස්ස නම් ලෝනාහිමි ජිනරාජයන් මත ජත්‍රයක් දැරූයෙමි. ඒ බුදුරජතෙම ද, ජන සමූහයා මැද වැඩහිඳ, මෙ තෙම මෙයින් අනූ දෙවන කපෙ  හි බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

ප්‍රධන් වීර්යය හා දුෂ්කරක්‍රියාව ද කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය. මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද,  “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි.

අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.   අත්පොලසන් දෙත්.   සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ තිස්ස බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.

ඒ  තිස්ස බුදුරදුන් ගේ ද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි. මහ තවුස් වූ තිස්ස බුදුරදුන් ගේ උපන් නගරය “ඛේමක” නම් වී ය. පිය තෙම  “ජනසන‍ධ” නම් රජ ය. වැදූ මව “පදුමා” නම් වූවා ය.

ඒ බුදුරජතෙම අවුරුදි හත් දහසක් ගිහිගෙයි වාසය කළේ ය. “ගුහාශෙල” ය,  “නාරී” ය,  “තිස්ස” ය යයි උතුම් ප්‍රාසාද තුනක් වූ හ. මනාව සරසන ලද පිරිවර අඟනෝ සමතිස් දහසක් වූ හ. ප්‍රසිද්ධ වූ බිරිඳ “සුභද්දා” නම් වූවා ය. පුත් තෙම “ආනන‍ද” නම් වී ය.

තිස්ස ජිනරාජතෙම සතර පෙර නිමිති දැක අස් යානයෙන් මහබිනික්මන් කළේ ය. නො අඩු අට මසක් මුළුල්ලේ ප්‍රධන් වීර්යය කළේ ය. මහාවීර වූ,  “තිස්ස” නම් ලෝනාහිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ උතුම් “යසවතී” නම් වනයෙ හි දී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ “තිස්ස” බුදුරදුන් ට, “බ්‍රහ්මදෙව” ද,  “උදය” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම “සුමංගල” නම් වී ය. “ඵුස්සා” ද, “සුදත්තා” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝරුක “පියා” (මොර) ගස ය යි කියනු ලැබේ.

“සම්බල” ද, “සිරි” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වු හ.   “කිසාගෝතමී” ද, “උපසේනා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.

පස්මරුන් දිනූ ඒ බුදුරජ තෙම ද උසින් සැට රියනක් ඇත්තේ වී ය.  උපමා රහිත වූ සේක්,  අසම වූ සේක් හිමාලය පර්වතය මෙන් දක්නා ලැබේ.
අසම තෙද ඇති ඒ බුදුරදුන් ගේ ද ආයුෂය ඉතා දික්වූයේ ත්  ඉතා මද නො වූයේත් විය.  පසැස් ඇති උන්වහන්සේ අවුරුදි සියක් දහසක් ලෝකයෙ හි වැඩ සිටි සේක.

උතුම් වූ ප්‍රවර වූ ශ්‍රේෂ්ඨවූ මහා යසස් ඇති ගිනි කඳක් මෙන් දිලිහී ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක. පවනින් වලා මෙන් ද, හිරු කරණකොට ඇති දිලිසෙන පිනි මෙන් ද, පහනින් අඳුර මෙන් ද,  ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

ජිනරාජ වූ තිස්ස බුදුරජතෙම “නන‍දාරාමයෙහි” දී පිරිනිවි සේක. එ හි ම උන්වහන්සේ ගේ ජිනථූපය තුන් යොදුනක් උස්වී ය.

[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, තිස්ස බුද්ධ වංශය]

උපුටා ගැනීම -www.thiryak.org

ඵුස්ස බුද්ධ වංශය ( Phussa Buddha Wanshaya )
සිද්ධත්ථ බුද්ධ වංශය ( Siddhattha Buddha Wanshaya )

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.