තිස්සමහාරාම සෑ රදුන් (Thissamaharama Sthupa)

තිස්සමහාරාම චෛත්‍ය වන්දනා ගාථාවේ කියැවෙන්නේ “සම්පූර්ණයෙන් සඳ මඬලක් වැනි වූ ලළාට ධාතූන් වහන්සේ නිධන්කොට කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද තිස්සමහාරාම චෛත්‍යයට මම නමස්කාර කරමි” යන්නය.

බුදුරජාණන් වහන්සේ තුන් වැනි වරට ලංකාවට සපැමිණි අවස්ථාවේ දී සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස මෙම තිස්සමහාරාමය හඳුන්වයි.

2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් සම්පාදනය කරන ලද ‘2500 ජයන්ති ඉතිහාසය’ නම් ග්‍රන්ථයට අනුව සටහන්ව ඇත්තේ ‘තිස්ස මහා විහාර කීපයක් ඇතත් මහා ස්ථානය වූයේ එයින් කුමක්දැයි හරි හැටි තේරුම් ගැනීම දුෂ්කර බවයි.’

මහාවංශාදී සැලකිය යුතු ග්‍රන්ථයක නැති මෙම ස්ථානය පිළිබඳව ධාතු වංශය සඳහන් කරයි. එහි දැක්වෙන්නේ කාවන්තිස්ස රජ විසින් සිය නම තබා මාගම එකක් ද සේරුවිල තවෙකක් ද වශයෙන් තිස්ස විහාර දෙකක් කළ බවයි. ඒ දෙතැනටම බුදුන් වහන්සේ වැඩි බව එහි දැක්වෙයි. ජයන්ති ඉතිහාසය තව දුරටත් සඳහන් කරන්නේ මෙසේ ය.

‘සේරුවිල මංගල චෛත්‍යයේ ලළාට ධාතු පිහිටීමේ පුවත ඇතුළත් තිස්සමහා වෙහෙර ධාතු පිළිවෙළ කතාව වශයෙන් හැඳින්වෙන ධාතු වංශය අනුවැ සැලැකිය හැක්කේ බුදුරදුන් සේරුවිලට වැඩි බව මැයැ.’

‘එහි එකල විසුවෝ නාග ග්‍රෝත්‍රිකයෝ යැ. ඔවුන්ගේ පාලකයා ‘සුමන’ නම් නා රජෙකි. සේරුවිල සමීපයේ පිහිටි නයින්ගේ විල්ගම් වෙහෙරේ ද ඵල රුහ බෝධීන් පිහිටි බව බෝධිවංශය කියයි. එයින් ද එහි නාගයින් විසූ බව තහවුරු වෙයි. බුදුන් පාරිබෝග කළ ස්ථානයේ නයින් කළ චෛත්‍යය ලළාට ධාතු පිහිටුවා කාවන්තිස්ස රජු දියුණූ කළ බවත් තිස්ස මහා විහාර නම් මහා ස්ථානය එය බවත් මාගම වූයේ භික්‍ෂූන් විසූ තිස්සමහාරාමය බවත් සිතිය හැක.’

නමුත් අද අපි සම්ප්‍රදායිකව සොළොස්මස්ථානයේ තිස්සමහාරාමය වශයෙන් හඳුනා ගන්නේ රුහුණු පුරවරයේ තිස්සමහාරාමයය.

ක්‍රි.පූර්ව දෙවන ශත වර්ෂයේ දී රුහුණු මාගම්පුර පාලනය කළ කාවන්තිස්ස රජතුමා විසින් මෙම විහාරය ඉදිකරන ලදී. මහානාග, යටාලතිස්ස, ගෝඨාභය යන රුහුණේ රජ කළ රජවරු විසින් බුදුන්ගේ ලලාට ධාතූන් වහන්සේ වැඩ හිඳුවා ගොඩ නංවන ලද ධාතු ඝරයට පුද සත්කාර කරන ලද බවත් පසු කලෙක එම ධාතුඝරය වට කොට කාවන්තිස්ස රජු තමාගේ නම යොදා එදා තිස්ස මහ විහාරය කර වූ බවත් කියැවෙයි. ජෙට්ටතිස්ස රජු විහාරයට ඉඩකඩම් කෙත්වතු පූජා කළේ ය. එසේම වසභ රජු ද ළමැනි මිහිඳු රජු ද තිස්සමහාරාමයේ නඩත්තුව සඳහා කෙත්වතු පූජා කර තිබෙයි.

අටවන සිය වසෙන් පසුව වල් බිහිවී ගිය මෙය 17 සහ 18 සියවස් හි දී අලුත් වැඩියා කර ඇත.

මහනුවර යුගයේ දී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තිස්ස විහාරයේ සංරක්‍ෂණය කළ බව ද කියැවෙයි.

වළගම්බා රාජ්‍ය සමයේ දී ඇති වූ බැමිණිටියාසායේ දී වසර සියයකට පමණ සෑහෙන ධාන්‍ය තොග මීයන් විසින් කා දමන ලද බවත් විභංග අටුවාවෙහි සඳහන් වෙයි. තිස්ස මහා විහාරයට අයත් ව තිබූ ‘සිලාපස්ස පිරිවෙණ භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් සැදි මහා පිරිවෙනක් බව සිතිය හැකි වේ. බැමිණිටියා මහා දුර්භික්‍ෂය වන විට මෙහි දොළොස් දහසක් මහරහතන් වහන්සේ වැඩි සිටි බව වංශ කතා අනුව කියැවෙයි.

තිස්සමහාරාම චෛත්‍ය රුහුණු පුරවරයෙහි මහා සෑය නොහොත් ‘රුවන්වැලි’ මහ සෑයට සමාන කරමින් හැඳින්වීමෙන් පෙනී යන්නේ මෙය ද අප මාතෘ භූමියේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පූජනීයත්වයට පත්ව ඇති බවයි. තිස්ස මහා වැවත් නිල්ලෙන් පිරි කෙත්වතු මධ්‍යයේ කිරුළක් සේ දිදුලන තිස්ස මහා ස්තූපය. එම පරිසරයට චමත්කාරය එක් කරළමින් සොඳුරු දර්ශනයක් මවයි.

සොළොස්මස්ථානය පිළිබඳව කතා කිරීමේ දී ඇතැම් ස්ථානයන් පිළිබඳව නිශ්චිත නිගමනයට එළැඹිය නොහැක. ඉතිහාසඥයන්, පුරා විද්‍යාඥයන් පුරා විද්‍යා සාධක මත ගැඹුරට ගවේෂණයන් කළහොත් බොහෝ ස්ථානයන් එම පරීක්‍ෂණ වලදී අසමත් වීමට ඉඩ ඇත. එහෙත් පාරම්පරිකව පැවැතඑන සම්ප්‍රදායන් සහ ජනශ්‍රැති මත චිරාත් කාලයක් තිස්සේ අපගේ වන්දනාමානයට බඳුන් වෙමින් මෙම ස්ථාන අද වන විට පූජනීයත්වයෙන් අනූන සුවිශේෂී පුද බිම් බවට පත් වී තිබේ.

මෙවන් මහා දැවැන්ත ස්තූපයන් ආවාට ගියාට ගොඩ නැඟෙන්නේ ද නැත. එවන් මහා සෑ රඳුන් අභියසදී බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩෙන සිත් සතන් මොහොතකට හෝ සැනසෙන බව නම් සත්‍යයකි. සේරු නුවරදී වුවත් තිස්සමහාරාමයේ දී වුවත් මෙවන් මහා ස්තූප රාජයන් අභියසදී අපගේ සිත් සතන් නිවී පහන් වී සමාධි ගත වේ නම් ඒ මහා පිවිතුරු ආලෝකය පැතිරෙන්නේ අවර ගිරෙන් දැයි පෑල දොරින් දැයි ගැටලුවක් ඇති කර ගත නොහේ. ඒවා අපගේ ළය මඬලේ පිවිතුරු, ධවල පැහැයෙන් ගොඩනැඟී ඇත්තේ කිසිදා අක්මුල් සිඳ ගලවා ඉවත් කළ නොහැකි අපගේ සංස්කෘතිය හා බැඳි බොදු උරුමයේ මහා ස්මාරකයන් ලෙසය. විලම්භීත දැක දුවන සිත, නිවන මේ මහා සැදැහැති බොදු උරුමයන් දිවි හිමියෙන් සුරැකිය යුතු වන්නේ ද ඒ නිසාම ය.

බුදුසරණ ඇසුරිණි

ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ( JayaSri maha Bhodhin wahanse )
මුතියංගණ චෛත්‍යරාජයන් වහන්සේ ( Muthiyangana Sthupa )
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.