ත්‍රිපිටකය ග්‍රන්‍ථාරූඪ කිරී‍‍ෙම් සිට කිතුවසින් පස්වන සියවස දක්වා කාලය තුළ ශාසනික සංසිද්ධි කිහිපයක් …

මේ කාල පරිච්ඡේදය තුළ රජවරු 56 දෙනෙකුන් රජකම් කර ඇත. ශාසනයේත්, සමාජයේත් දියුණුවට බොහෝ කටයුතු සිදුවී ඇත. එයින් විශේෂ ශාසනික කටයුතු පමණක් සැකෙවින් සඳහන් කෙරෙමි.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම

මහාකස්සප මහරහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පැවැති ධර්‍ම සංගායනාවෙහි දී ත්‍රිපිටකය අද තිබෙන අයුරින් සම්පාදනය කරන ලදී. අ‍ානන්ද මහරහතන් වහන්සේ එකශ්‍රැතිධාරියෙකි. බුදු රජාණන් වහන්සේ විසින් දෙ‍්ශිත අසූසාර දහසක් බුදුරජාණන් වහන්සේගෙන් ද දෙදහසක් ශ්‍රාවක සංඝයාගෙන් ද අසා දැන ගෙන සිටියහ.

ධර්‍මසංගායනාවෙන් පසු මුල් පෙළේ රහතන් වහන්සේලා පිටක වශයෙන් ග්‍රන්ථ වශයෙන් ත්‍රිපිටකය කටපාඩමෙන් රැක ගෙන යන්නට තීරණය කැරැ ගත්හ. එය අනුව උන්වහන්සේලාගේ ශිෂ්‍ය ප්‍රශිෂ්‍යයෝ ත්‍රිපිටකය රැක ගත්හ. මිහිඳු මහරහතන් වහන්සේ ද එ‍් පරම්පරාවේ කෙනෙකි. උන් වහන්සේ සිංහල ද්වීපයට වැඩම කොට ත්‍රිපිටකය කටපාඩමෙන් රැක ගෙන යෑම සිංහල භික්‍ෂූන් වහන්සේට පැවැරූහ.

වළගම්බා රජතුමා ගේ කාලයෙහි ඇති වූ මහාසාගත කාලයෙහි ද සිංහල රහතන් වහන්සේ දිවි පුදා ත්‍රිපිටකය හොඳින් රැක ගෙන ත්‍රිපිටකය පොත්වල ලිවීමට තීරණය කැර ගත්හ. මාතලේ ආලෝක ලෙණ හෙවත් අලුවිහාරයට රැස් වූ සිංහල රහතන් වහන්සේ ත්‍රිපිටකය පොත් වල ලිවීමෙන් කළ ශාසනාරක්‍ෂාව හා ශාසන සේවය වචනයෙන් කියන්නට නොහැකි තරම් ශ්‍රේෂ්ඨ වේ.

වළගම්බා රජතුමාට මහෝපකාරී වූ තිස්ස හා මහාතිස්ස තෙරුන් වහන්සේලා දෙනමට කෘතෝපකාර කිරීම සඳහා අභයගිරි විහාරය තනවා පෞද්ගලිකව පූජා කිරීම නිසා මහරහතන් වහන්සේගෙන් පිරී තුබුණු මහාවිහාරවංශයට අතිරේක ව අභයගිරි නිකාය නමින් අලුත් නිකායක් හට ගැනීම මේ කාලයෙහි සිදු වූ අවාසනාවන්ත ම සිද්ධිය යි.

සිරි සඟබෝ රජතුමා

මහියංගණයෙහි වාසය කළ සංඝතිස්ස – සංඝබෝධි – ගෝඨාභය යන යහළුවන් තිදෙනා අනුරාධපුරයෙහි රජකම් කරන විජයිඳු හෙවත් දෙවන විජයතුමාට උපකාර කරන අදහසින් ගියහ. පාර අයිනේ වාඩිවී සිටි අන්ධ ශබ්දශාසත්‍රඥයෙක් මේ තිදෙනා යන විට අනාගතයෙහි මේ තිදෙනා ම රජ වෙනවා යයි කීය. අන්තිමට ගිය ගෝඨාභයට මෙය හොඳින් ඇසුණා. ඔහු ආපසු ගොස් රජතුමාට පක්‍ෂපාත වැ සේවය කළහ.

මහියංගණ විහාරයෙහි වාසය කළ නන්ද මහතෙරුන් වහන්සේ සංඝබෝධි කුමරු ගේ මාමා ය. දෙමාපියන් විසින් බාර දෙන ලදු ව සංඝබෝධි හැදුණේ නන්ද මහතෙරුන් වහන්සේ ගේ ආශ්‍රයෙනි. එහෙත් ගෝඨාභය ගේ ආශ්‍රය නිසා රජ ගෙදර දී විජයිඳු රජු මැරීමට සංඝබෝධීන් දුරින් හෝ සම්බන්ධ වී ඇත.

විජයිඳු රජතුමා ගේ මරණයෙන් පසු සංඝතිස්ස රජ වී ය. ඔහුගේ මරණයෙන් පසු සංඝබෝධි රජ විය. ඔහු ස්වභාවයෙන් ම සංසුන් ය, බුද්ධිමත් ය. එහෙයින් මහවිපත් දෙකක දී සත්‍යක්‍රියා බලයෙන් මුළු රටට ම ශාන්තිය සිදු කැර දුන් නිසා ජනතාව ගේ ගෞරවාදරයට භාජනය වී ය.

ගෝඨාභය ස්වභාවයෙන් නපුරු ය. රජවීමේ ආශාව දිනෙන් දින වැඩි ය. එය තේරුම් ගත් සංඝබෝධි රජතුමා තාපස වේශයෙන් අත්තනගල්ල වනයට ගොස් විවේක ව වාසය කළේ ය. බත් මුලක් සහිත මගියකු එ‍් අසලින් යද්දී තාපසයාණන් දැක ඉතා සතුටින් බත්මුලින් සංග්‍රහ කළා. ඔහුගෙන් අනුරාධපුර තොරතුරු විමසූ විට දැනගන්නට ලැබුණු කරුණුවලින් එකක් සිරිසඟබෝ රජතුමා ගේ හිස ගෙන දෙන කෙනෙකුට කහවණු දහසක් දෙන බව යි. එ‍් අවස්ථාවේදී තවුස‍ා සඟබෝ තමා බව කියා හිස දුන්නේ ය. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකාශ වන ඉතා වැදගත් සිද්ධියෙකි.

අවාසනාවන්ත කාලයක්

ගෝඨාභය රජු ස්වභාවයෙන් නපුරු වුවත් ශාසනික කටයුතු ද සපුරා කළා. මේ කාලය වන විට අභයගිරි විහාරය වෛතුල්‍යමතධාරීන් ගේ භූමියක් වැ තුබුණා. එහි ඇතැමුන් මහා විහාරය නැති කරන කරම් ප්‍රකෝපකාරී වැ සිටියහ. රජතුමා වෛතුල්‍යමතධාරීන් ගෙන්වා නිග්‍රහ කොට රටින් නෙරපා දැම්මා.

එහෙත් මහසෙන් රජ තමා වෙත හරවා ගත් සංඝමිත්‍ර භික්‍ෂුව විසින් මහාවිහාරය විනාශ කරවන ලද්දේ ය. රජුගේ ඉතා හිතවත් මේඝවර්‍ණාභය අමාත්‍යතුමාගේ දූරදර්ශී ක්‍රියාමාර්‍ගය නිසා මහසෙන් රජු සුමගට අවුත් සමාව ඉල්ලා මහාවිහාරය නැවැත යථා තත්ත්වයට පත් කරන ලදී. ප්‍රකෝපයට පත් රාජ දේවිය ගේ උපක්‍රමයකින් සංඝමිත්‍ර භික්‍ෂුව මරුමුවට පත්වී ය‍. මහාවිහාරය නැවැතත් මුල් තත්වයට පත් වැ ශාසන සේවය සිදු කළා.

මිහිදු පෙරහැරේ ආරම්භය

මහසෙන් රජතුමා ගේ ඇවෑමෙන් ප්‍රියපුත්‍ර සිරිමෙවන් කුමරු රජකමට පත්වී ය. පාපමිත්‍ර සේවනය නිසා පියා සිදු කළ වැරැදි ගැන කනගාටුවට පත් වුණාක් මෙන් ම එවා යථා තත්ත්වයට පමුණුවා බුද්ධශාසනය බබුළුවන්නට තීරණය කළා.

සිරිමෙවන් රජතුමා මහාවිහාරවාසී භි‍‍‍‍‍‍ක්‍ෂූන් වහන්සේ රැස් කරවා සියලු විස්තර කතා කළා. සත්මහල් ලොහොපාය ද විනාශ කොට නොයෙක් දේවල් අභයගිරි විහාරයට ගෙන ගිය සැටිත් මහාසීමාව ආරක්‍ෂා කැර ගත් සැටිත් කියා දුන්නා. රජතුමා බලවත් සංවේගයට මෙන් ම බලවත් සතුටට ද පත් වී විනාශ කළ සියලු විහාරංග පිළිසකර කළා.

සිරිමෙවන් රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ තොරතුරු අසා අතිශය සතුටට පත් වැ මිහිඳු පෙරහැරක් කරන්නට තීරණය කළේ ය. උන් වහන්සේ ගේ රූපයක් රනින් හදවා මහා පෙරහරින් මිහින්තලේ සිට අනුරාධපුරයට වැඩම කරවන ලද්දේ ය. රජතුමා ප්‍රධාන රජගෙදර සියලු දෙනාමත් පෙරහැරෙහි ගමන් කළහ. මිහිඳු මහ රහතන් වහන්සේට ගෞරව කිරීමක් වශයෙන් සිරකරුවෝ ද සුදුසු පරිදි නිදහස් කරන ලදහ.

දළදා වහන්සේ වැඩමවීම

සිරිමෙවන් රජතුමාගේ කාලයෙහි හේමමාලා කුමරිය හා දන්ත කුමරු කලිඟු රට සිට දළදා වහන්සේ සිරිලකට වැඩම කරවූ හ. රජතුමාණෝ එය මහත් ගෞරවයෙන් පිළිගෙන පුදපෙරහරින් වැඩමවා ධර්‍මචක්‍ර ගෘහයෙහි තැන්පත් කරවූ හ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩම කළා සේ ගෞරවය දක්වමින් වාර්ෂික පෙරහර ද ආරම්භ කළහ‍.

හෙළදිව වෛද්‍ය විශාරදයා

බුද්ධදාස රජතුමා නමට ම ගැළැපෙන බෙ‍ෟද්ධ ගතිවලින් යුක්ත කෙනෙකි. සතර අගතියෙන් තොර ව විනිශ්චය කළ, සතර සංග්‍රහ වස්තුවෙන් ජනතාවගේ හිත් දිනා ගත් රාජ්‍යනායකයා ය. එසේ ම ඉතා ම දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි. කොහේ යතත් බෙහෙත් පෙට්ටිය ගෙන යන්නේ අතර මග දී ලෙඩ මනුෂ්‍යයකු හෝ තිරිසන් සතකු හෝ දුටුවොත් බෙහෙත් කිරීමට ය. එලෙසින් පිළියම් කළ වාර ද බොහො ම යි.

වෛද්‍ය විශාරදයා ගේ රෝහලේ ප්‍රමාණය මිහින්තලේට ගොස් එහි නෂ්ටාවශේෂ බැලීමෙන් දත හැකි වේ. එතුමා විසින් ජීවක වෛද්‍යතුමා මෙන් කරන ලද ශල්‍යකර්‍ම හා බෙහෙත් පිළියම් මහා වංශයෙන් දත හැකි වේ.

රජතුමා ප්‍රධාන ගමක් පාසා බෙහෙත් හල් පිහිටුවා ගම් දහසකට ප්‍රධාන වෛද්‍යවරයකු ගණනේ පත් කළේ ය. එහි සියලු වියදම් රජය ගණනේ ය. ඔහු කායික රෝගවලට මෙන් මානසික රෝගවලට ද දක්‍ෂ ලෙස පිළියම් කළ හැටි කුෂ්ට රෝගියා ගේ කතාවෙන් පැහැදිලි වේ.

දහසක් සාමාජික වැඩ අතර ශාසනික වැඩ ද අඩුවක් නැති වැ සම්පූර්ණ කළා. මොනර මහ පිරිවෙන කරවා එහි පාලන වියදම් සඳහා ගම් දෙකක් ද පූජා කළේ ය. මෙතුමාගේ කාලයෙහි සිදු වූ අපමණ ශාසනික සේවාවන්ගෙන් මුල්තැන ගන්නා මහ පින්කම නම් මහතෙරුන් වහන්සේ විසින් කරන ලද සූත්‍රපිටකය හෙළ බසට පරිවර්‍තනය කිරීම යි.

බුද්ධදාස රජතුමාගේ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ විශේෂඥතාව පෙන්වමින් පම්පාදිත සාරාර්‍ථ සංග්‍රහය නම් වෙද පොත මෙකල ආයුර්වේද දෙපාර්තුමේන්තුව විසින් මුද්‍රණය කරවා ඇත.

හෙළ අටුවා පෙළබසට පරිවර්‍තනය කිරීම

මහාන‍ාම රජතුමාගේ කාලයෙහි සිදු වූ ඓතිහාසික සිද්ධිය නම් හෙළ අටුවා පෙළ බසට පරිවරර්‍තනය කිරීම යි. ලෝකයෙහි ප්‍රථම විශ්ව විද්‍යාලය ලෙස සලකන නාලන්දාව ආරම්භ කළේ දෙවැනි සියවසෙහි ය. පස් වැනි සියවසෙහි පටන් නාලන්දාව විශ්ව විද්‍යාලය තත්ත්වයට පත්වැ තිබුණා යැයි යුරෝපීය ඉතිහාසඥයෝ කියති. එය එසේ නම් අනුරාධපුර මහාවිහාරය අංග සම්පූර්ණ බෞද්ධ විශ්ව විද්‍යාලයකි.

මහාවිහාරයෙහි පරිවෙණ නමින් ව්‍යවහාර කළේ පිරිස් පාළන පහසුවට යොදා තිබූ කුඩා ආරාම යි. මෙකලැ විශ්ව විද්‍යාලයන්හි ‘කැම්පස්’ නමින් හදුන්වන නිවාස වලට සමාන ය. මෙකලැ උපකුලපති තත්ත්වයෙහි එකල සිටියාහු සංඝපාල මාහිමියන් වහන්සේ ය.

භාරතයේ බ්‍රාහ්මණයන් වාදකරුවන් බොහොම සිටියා. එබඳු බ්‍රාහ්මණ පවුලක ඉපිදැ හැදුණු වැඩුණු ඝෝෂ නමින් බ්‍රාහ්මණයකු සිටියා. හේ තරුණ කල ම ත්‍රිවේදයෙහි විශාරදයෙක් වීය. ඔහු නොයෙක් දෙනා සමග වාද කරනුයේ රේවත මහරහතන් වහන්සේ සමග වාද කරන්නට ගොස් නිරුත්තර වීය. එහෙයින් හේ බුද්ධධර්‍මය ඉගෙන ගන්නට පැවිදි වීය. ඉන්පසු ඝෝෂ බුද්ධඝෝෂ වී ය. බුද්ධධර්‍මය හොඳින් හදාරා සිටින කල්හි ආචාර්‍යපාදයන් වහන්සේ‍ ගේ නියමය පරිදි හෙළ අටුවා පෙළබසට පරිවර්‍තනය කිරීම සඳහා හෙළදිවට පැමිණ අනුරාධපුර මහා විහාරයට පැමිණියෝ බුද්ධඝෝෂ හිමියෝ ය. මහාවිහාරාධිපති සංඝපාල මාහිමියෝ බුද්ධඝෝෂ යතිඳුන් බාර ගෙන වාසයටත් ඉගෙනීමටත් සියලු පහසුකම් සලසා දුන්හ. බුද්ධඝෝෂ යතීන්‍ද්‍රයාණෝ ධර්‍මයත් ථෙරවාද ශාසන සම්ප්‍රදායත් හොඳින් ඉගෙන, තමන් පැමිණි කාර්යය පැහැදිලි කැර දුන්හ.

සංඝපාල මාහිමියන් වහන්සේ බලාපොරොත්තු වන කාර්යය ට උන්වහන්සේ සුදුසු දැයි තීරණයක් ගැනීම සඳහා බුද්ධි පරීක්‍ෂණයක් කළහ. එනම් සංයුක්ත නිකායට අයත් “අන්තො ජටා බහි ජටා” ආදී ප්‍රශ්නෝත්තර ගාථා දෙක දී මෙයට අටුවාවක් හෙවත් විස්තරයක් ලියන්නට යයි නියම කළහ. එයට සර්‍වසම්පූර්ණ විස්තරයක් ලියා දුන්හ. සංඝපාල මාහිමියන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා එය පිළිගත්තා පමණක් නො ව එයට “විසුද්ධිමග්ග” යන නම ද ලැබිණ.

බුද්ධඝෝෂ යතිඳාට හෙළ අටුවා පෙළ බසට නගන්නට අවසර ලැබිණ. අද මෙන් ලිවීමේ පහසුකම් තිබුණේ නැත. තුබුණේ පුස්කොළ හා පන්හිඳයි. එසේ වුවත් සමන්තපාසාදිකා නම් විනය අට්ඨ කථාව ඇතුළු හෙළ බසින් තුබුණු ප්‍රධාන අටුවා දහතුනක් පෙළ බසට හෙවත් පාලි භාෂාවට පරිවර්තනය කළහ. මෙයින් හෙළ අටුවා නැතිවීමෙන් හෙළ අපට බලවත් පාඩුවක් වුවත් බෞද්ධ ලෝකයටම විශාල ශාන්තියක් සිදුවුණා.

කේෂ ධාතූන් වැඩම කරවීම

ධාතුසේන කාශ්‍යප මුගලන් රජවරුන්ගේ කාලය ඉතා නොසංසුන් යුගයකි. ඔවුනොවුන් මරා ගැනීම අවාසනාවන්ත සිදුවීම් ය. කාශ්‍යප රජු ආරක්‍ෂාවට හදා ගත් සීගිරියේ චිත්‍ර කලාත්මක වශයෙන් ඉතා වටී. එහි සටහන් කුරුටු ගී අපේ ශිෂ්ටාචාරය පෙන්වන ගමන් ම අපේ සාහිත්‍යය ද පෝෂණය කරයි.

මේ කාලයෙහි සිදු වූ ඉතා වැදගත් සිද්ධිය කේශ ධාතූන් වැඩම වීමයි. කාශ්‍යප රජුගේ පීඩන නිසා මුගලන් රජු සමග ශිලාකාල නැමැත්තෙක් ද දඹදිව බලා ගියේ ය. ඔහු එහිදී පැවිදි ව අඹහෙරණ ශිලාකාල නමින් හැදින්වුණා. පසුව මුගලන් රජුගේ කාලයේ ශිලාකාල හෙරණට බුදුරජාණන් වහන්සේ ගේ ජීව කේශ ධ‍ාතූන් ලැබී සිරිලකට ගෙන එන ලදී.

මුගලන් රජතුමා කේශ ධාතූන් ගෙ‍ෟරවයෙන් පිළිගෙන පිළිමිණි කරඬුවක් තැන්පත් කොට වන්දනමානන කළ බව සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ විසින් සත්සති අන්තයෙහි තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයනට දෙන ලද කේශ ධාතූන්ගෙන් කොටසක් තිරියාය චෛත්‍යයෙහි තැන්පත් කොට ඇති බව ද ඉතිහාසයේ කියයි.

 

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරී‍‍‍‍ෙම් සිට කිතුවසින් පස්වන සියවස දක්වා
කාලය තුළ රජවරුන් ගේ නාම ලේඛනය යි

 

01‍. වළගම්බා බු.ව. 440 ක්‍රි.පූ. 104 –
02. පූලහත්ථ ආදීහු බු.ව. 440 – 455 ක්‍රි.පූ. 104 – 88
03. වළගම්බා (දෙවන වර) බු.ව. 455 – 467 ක්‍රි.පූ. 88 – 76
04. මහාචූල මහාතිස්ස බු.ව. 467 – 481 ක්‍රි.පූ. 76 – 62
05. චො‍්රනාග බු.ව. 481 – 493 ක්‍රි.පූ. 61 – 50
06. කුඩා තිස්ස බු.ව. 493 – 496 ක්‍රි.පූ. 50 – 47
07. ‍අනුලා බු.ව. 496 – 502 ක්‍රි.පූ. 47 – 42
08. ‍මකලන් තිස්ස බු.ව. 502 – 524 ක්‍රි.පූ. 42 – 20
09. භාතිකාභය බු.ව. 524 – 552 ක්‍රි.පූ. 20 – ක්‍රි.ව. 9
10. මහදැළියා මානා බු.ව. 552 – 564 ක්‍රි.ව. 9 – 21
11. ආමණ්ඩගාමිනී බු.ව. 564 – 573 ක්‍රි.ව. 21 – 30
12. ‍කණීරජානු තිස්ස බු.ව. 573 – 576 ක්‍රි.ව. 30 – 33
13. චූලාභය බු.ව. 576 – 557 ක්‍රි.ව. 33 – 34
14. සීවලී කුමරි බු.ව. 576 – 557 ක්‍රි.ව. 34
අරාජික කාලයක්
15. ඉළනාග බු.ව. 580 – 586 ක්‍රි.ව. 37 – 43
16. සඳමුහුණු බු.ව. 586 – 595 ක්‍රි.ව. 43 – 52
17. යසලාලක තිස්ස බු.ව. 595 – 602 ක්‍රි.ව. 52 – 59
18. ශුභ බු.ව. 602 – 608 ක්‍රි.ව. 59 – 65
19. වසභ බු.ව. 608 – 652 ක්‍රි.ව. 65 – 109
20. වංකනාශික තිස්ස බු.ව. 652 – 655 ක්‍රි.ව. 109 – 112
21. ගජබා බු.ව. 655 – 677 ක්‍රි.ව. 112 – 134
22. මහල්ලකනාග බු.ව. 677 – 683 ක්‍රි.ව. 134 – 140
23. භාතිය තිස්ස බු.ව. 683 – 707 ක්‍රි.ව. 140 – 164
24. කනිට්ඨ තිස්ස බු.ව. 707 – 735 ක්‍රි.ව. 164 – 192
25. චූලනාග බු.ව. 735 – 737 ක්‍රි.ව. 192 – 194
26. කුංඩනාග බු.ව. 737 – 738 ක්‍රි.ව. 194 – 195
27. සිරි නාග බු.ව. 738 – 757 ක්‍රි.ව. 195 – 214
28. ‍‍ෙ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ව‍‍‍ා‍්හාරතිස්ස බු.ව. 757 – 779 ක්‍රි.ව. 214 – 236
29. ‍අභයනාග බු.ව. 779 – 787 ක්‍රි.ව. 236 – 244
30. 2.සිරිනාග බු.ව. 787 – 789 ක්‍රි.ව. 244 – 246
31. විජයිඳු බු.ව. 789 – 790 ක්‍රි.ව. 246 – 247
32. සංඝතිස්ස බු.ව. 790 – 794 ක්‍රි.ව. 247 – 251
33. සිරිසංඝබෝධි බු.ව. 794 – 796 ක්‍රි.ව. 251 – 253
34. ගෝඨාභය බු.ව. 796 – 809 ක්‍රි.ව. 253 – 266
35. ජෙට්ඨතිස්ස බු.ව. 809 – 819 ක්‍රි.ව. 266 – 276
36. ‍මහා‍ෙ‍‍‍‍ස්න බු.ව. 819 – 847 ක්‍රි.ව. 276 – 304
37. මේඝවණ්ණ බු.ව. 847 – 875 ක්‍රි.ව. 304 – 332
38. ‍2. ‍ෙජට්ඨතිස්ස බු.ව. 875 – 884 ක්‍රි.ව. 332 – 341
39. බුද්ධදාස බු.ව. 884 – 913 ක්‍රි.ව. 341 – 370
40. ‍2.උපතිස්ස බු.ව. 913 – 955 ක්‍රි.ව. 370 – 412
41. මහානාම බු.ව. 955 – 977 ක්‍රි.ව. 412 – 434
42. ‍‍ෙස‍ාත්ථි‍‍‍‍‍‍ෙස්න බු.ව. 977 ක්‍රි.ව. 434
43. ‍ජන්නගාහක බු.ව. 977 – 978 ක්‍රි.ව. 434 – 435
44. මිත්තසේන බු.ව. 978 – 979 ක්‍රි.ව. 435 – 436
45. ද්‍රවිඩ සදෙනෙක් බු.ව. 979 – 1004 ක්‍රි.ව. 436 – 461
46. ධාතුසේන බු.ව. 1004 – 1022 ක්‍රි.ව. 461 – 479
47. කාශ්‍යප (සීගිරි) බු.ව. 1022 – 1040 ක්‍රි.ව. 479 – 498
48. ‍මුගලන් බු.ව. 1040 – 1058 ක්‍රි.ව. 497 – 515
49. කු‍මාරදාස බු.ව. 1058 – 1067 ක්‍රි.ව. 515 – 524
50. ‍උපතිස්ස බු.ව. 1067 – 1069 ක්‍රි.ව. 524 – 525
51. ශිලාකාල බු.ව. 1069 – 1082 ක්‍රි.ව. 525 – 539
52. දාඨාපභූත බු.ව. 1082 ක්‍රි.ව. 539
53.
  1. මුගලන්
බු.ව. 1082 – 1102 ක්‍රි.ව. 539 – 559
54. කිත්තිසිරිමේඝ බු.ව. 1102 – 1103 ක්‍රි.ව. 559 – 560
55. ‍මහානාග බු.ව. 1103 – 1106 ක්‍රි.ව. 560 – 563
56. ‍1. අග්‍රබෝධි බු.ව. 1106 – 1140 ක්‍රි.ව. 563 – 597

 

 

බුද්ධශාසන අමාත්‍යංශයේ උත්තරීතර අනුශාසක මණ්ඩලය වෙත ඉදිරිපත් කැරුණෙකි.

දිවයින 1966.07.30

ප්‍රඥාප්‍රභා 6

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහාත් බෙ‍ෟද්ධ ප්‍රබෝධය සඳහාත් ධර්මසංගායනාවක් පවත්වමු ...
දේව පුද පූජා ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.