කදිර පුර සිට හෙළ දැය සුරකින කතරගම දෙවියෝ …

තානු තරුණ අරුණ කිරණ බරණින් යස         තේජනේ
බානු අසුර අසුරන් යුද ඔද වැඩි ගිරි                    රාජනේ
මූණු සයකි අත් දෙළසකි මයුරා පිට                   වාහනේ
රූණු රටේ පිහිටි කන්ද කදීර දේව                     රාජනේ                   

සුබ සිද්ධිය යහපත ප්‍රසන්න බවින් සියළු දනන්හට සුබ පල ගෙනෙන කතරගම දෙවියෝ ලොව සුපතල දෙවිකෙනෙකි. කතරගම වාසභවන කරගෙන වැඩ වෙසෙන දෙවියන්ගේ ස්වරූපය අති ශෝභමාන බවත් කතරගම දෙවියෝ දේහ විලාශය හා දරනු ලබන ආයුධාදිය අතින් ද වෙනත් බොහෝ දෙවිවරුන්ට ආරෝපනය නොවුණු තේජසක්‌ හා ආශ්චර්යයක්‌ මතු කොට දක්‌වයි. කඳ සුරිඳුන්ට මුහුණු සයකි. අත් දොළසකි. සිරුර රන්වන්ය. ස්වර්ණ මයුර (මොණරා) වාහනයද‌,   කෙටේරියක්‌, දුන්නක්‌, හීයක්‌, පළිහක්‌, පොතක්‌, කඩුවක්‌, අඬකුසයක්‌, මුගුරක්‌, සැවුල් ධජයක්‌, සංඛයක්‌, තෝමරයක්‌ යන අවි දොළසක්‌ අත් දොළොස සමග රක්ත වර්ණ ශක්තීන් සමග  කීර්තිය බලය සමග සැමට පිහිට වන බව ජනප්‍රවාදයේ සදහන් වෙයි.      සිංහල ජනතාව අතර “කතරගම දෙවියන්” “කදිර සුරිදු”  යන නමින් ද හින්දු ජනතාව අතර  ස්කන්ධ, කුමාර, , මුරුගන්, වේලන් ආදි නමින් හඳුන්වන හින්දු මේ දෙවියෙක් වෙති. මුරුගන් දෙවියන්ගේ ආයුධය – වේලායුධය වේලන්ගේ ආයුධය නොහොත් වේලායුධය යනු ගිනි දළුවක හැඩයකින් යුතු තලයකින් සමන්විත හෙල්ලයකි.  එය ස්කන්ධගේ පූජනීය සංකේතය බවට පත්ව ඇත. අදටත් වේල් යන නමින් ‍ද්‍රවිඩ ජාතිකයන් ඇදහීමට භාජනය කරන මෙය වේලන් නොහොත් කතරගම දෙවියන්ට තම මෑණියන් වන පාර්වතී විසින් තම බලය පුතුට ලබා දීමක් ලෙස සුරපද්මන් සමඟ යුද්ධයේදී භාවිතා කිරීමට ලබාදුන් බවත් ‍විශ්වාස කෙරේ. එසේම මුරුගන් ශක්තිමත් තරුණයෙකු බවට පත්වූ කළ දේවයෝ ඔහු තම නායකයා ලෙසින් පිළිගත් බවත් ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළ බවත් සඳහන් වේ. “මුරුගන්” යන නමින් ද අද වනවිට ඉතාම ජනප්‍රිය දේව විශ්වාසය ඈත අතීතයේ සිටම පැවතී තිබේ.

ඉන්දියාවේ ලියා තිබෙන ආගම් ඉතිහාසයේ ඈතම වකවානුව වන සෘග්වේද සමයෙහි “ස්‌කන්ධ” යන නමින් හැඳින්වුණු දෙවියන් පසු කලෙක ස්‌කන්ධ නමින් ප්‍රකට වූ දෙවියන් යයි විචාරකයෝ විශ්වාස කරති. වේද සාහිත්‍යයේ එන තොරතුරු අනුව ස්‌කන්ධ දෙවියන් එකල ජනප්‍රිය දෙවිවරුන් වූ අග්නි, සෝම ඉන්ද්‍ර, මරුත් ආදී දෙවිවරුන් හා සම ලක්‌ෂණ හා තේජස දැරූ ජනතාවගේ හදවත්හි නිරතුරුව වැජඹුණු දෙවිවරයෙක්‌ විය. කලක්‌ ගතවීමේදී මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී ගොස්‌ බ්‍රාහ්මණ සාහිත්‍ය යුගය වනවිට මෙම දෙවියන් තව තවත් තෙදින් බලයෙන් ඔද වැඩි ගිය අයුරු එම වීර කාව්‍යයන් හි එන ස්‌කන්ධ පිළිබඳ තොරතුරුවලින් අනාවරණය වේ. ඊශ්වර හෙවත් ශිවගේත් පාර්වතියගේත් පුතකු ලෙස ස්‌කන්ධ දෙවියන් හඳුන්වනු දකුණු ඉන්දිය කුමාර, කාර්තිකේය, සුබ්‍රමනියම්, මුරුගන් යන නම්වලින් ස්‌කන්ධ දෙවියන් හඳුන්වයි. මෙසේ ඉන්දියාවේ බලපරාක්‍රමයෙන් වැඩි ගිය මේ දෙවිදුන් පිළිබඳ විශ්වාසය ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ භාරතියන් සමග ලංකාවට පැමිණි බවත් එසේ සංක්‍රමණය වූ ස්‌කන්ධ භක්‌තික පිරිස්‌ රුහුණේ මැණික්‌ ගඟ අසබඩ ජනාවාස ගොඩනගා ගැනීම නිසා එම විශ්වාසයෙහි ලාංකේය කේන්ද්‍රස්‌ථානය කතරගම වූ බවත් ඓතිහාසික තොරතුරු අනුව සලකා ගත හැකිය. කතරගම දෙවිඳුන් යන නමින් එතුමන් හැඳින්වෙන්නට වූයේ මේ හේතුව නිසාය. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. ඈත අතීතයේ කාරක නම් අසුරයෙක්‌ ලක්‌දිව දකුණු දෙසෙහි ජනතාව පෙළමින් සිය අණසක පතුරවා ගෙන සිටි බව සඳහන් වේ.

ඉන්දියාවේ කීර්තිමත් නිර්භීත සෙන්පතියකුව සිටි කඳකුමරු ලංකාවට පැමිණ කාරක අසුරයා විනාශ කොට එහි බලය සිය අණසක යටතට ගෙන ජනතාවගේ අතිශය ප්‍රසාදයට භාජන වන පරිදි පාලනය ගෙන ගියේය. ජන හදවත්හි ඇති වූ ප්‍රසාදයෙහි ඵල වශයෙන් එතුමා දේවත්වයෙන් පිදීමට ජනතාව පෙළඹුණු අතර සෙසු ප්‍රදේශවල ජනතාව අතරටද පැතිර ගියේය. තවත් ජනප්‍රවාදයකට අනුව කතරගම දෙවියෝ ප්‍රතාපවත් නරපරයෙකු වූ මහසෙන් රජතුමන්ය. කතරගම රාජධානිය කොට රජකළ මොහු අභාවයෙන් පසු දේවත්වයට පත් වූ බව ජනතාව සලකයි. අනුරාධපුර යුගයේදී රුහුනේ මාගම විසූ ගැමුණු කුමරයා මැණික්‌ නදී තෙරෙහි පෙහෙවස්‌ සමාදන්ව භාවනානුයෝගීව සිටියදී කතරගම දෙවිදුන් ඔහු හමුවෙහි පෙනි සිට බුදුසසුන වනසන එළාර රජුට එරෙහිව නොබියව සටන් වදින ලෙසත් තමන් නිරතුරුවම ඔහුගේ සහායට පැමිණෙන බවත් සඳහන් කළැයි ජන ප්‍රවාදයෙහි සඳහන් වේ. දුටුගැමුණු රජු විසින් දැන් කතරගම දෙවොල පවතින ස්‌ථානයෙහි එම දෙවොල මුලින්ම ගොඩ නගන ලද්දේ ද මෙයට කෘතගුණ දැක්වීමට යෑයි සැලකේ. සිංහල දෙමල මුස්ලිම් යන ප්‍රධාන ජාතීන්ද සියළු ආගමිකයන්ද  කතරගම වන්දනා කරති. එය සර්ව ආගමික මධ්‍යස්ථානයකි.  කාචරගම (කතරගම) යෙහි මහා ස්‌ථුපය (කිරිවෙහෙර) පිහිටන බිමෙහි සමවත් සුවෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහා ඝෝෂා නම් දෙවියෙකුට මතු සසුන බබුළුවන එම බිම ආරක්‌ෂා කරන්නැයි පැවරූ බව ධාතුවංසයේ සඳහන් වේ. මේ මහා ඝෝෂ දෙවිඳුන් කඳ සුරිදුන්ම බව විශ්වාස කළ හැකිය.  සියලු ලාංකිකයෝ මෙම දෙවිදුන්ට හිතාදර භක්‌තියකින් යුතුව පූජෝපහාර පවත්වන අතර තම දුක්‌ ගැනවිල්ලෙහිලා පිහිටට එන ආරක්‌ෂකයාණන් කෙනෙකු ලෙස පිළිගනීයි  ඇසළ පෙරහැර ඉල් මස කච්චි හෙවත් කාන්ති උත්සවය හා සිංහල හා හිංදු අලුත් අවුරුදු උත්සවය යනුවෙන් උත්සව 3ක් පැවතුනත් ඉන් වඩාත් ප්‍රසිද්ධ හා වැදගත් වී ඇත්තේ කතරගම ඇසළ පෙරහර ය.

කතරගම ඇසළ මහ පෙරහැර ආරම්භ වීමට මොහොතක්‌ තියා ඈත වැඩිහිටි කන්දෙන් කතරගම මහා දේවාලය වෙත ආලෝකය සහිත හීයක්‌ විදුලි සැරයෙන් එන බව ජනවහරින් කියවෙයි. මේ විදුලි සැරය දුටු අයද සිටියි. එසේම මේ විදුලි සැරය කතරගම මහා දේවාලයේ ගිනි පෑගීමට මොහොතකට කලින් එන බව පැවසේ. මේ විදුලි සැරයද දුටු අය සිටිති. මේ විදුලි සැරයෙන් හඟවන්නේ කතරගම දෙවියන් මහා දේවාලයට වැඩිය බව යෑයි විශ්වාසයක්‌ පවතී. කතරගම දෙවියන් කතරගම කිරි වෙහෙර අසල කිහිරි වනයේදී සිද්ධාර්ථ ගෞතම සර්වඥයන් වහන්සේගෙන් බණ අසා බෞද්ධයකු වී සෝවාන් මාර්ග ඵලය ලබා මිනිස්‌ ලොව ආශ්‍රිතව ජීවත් වන මහා දෙවියකු බව පරම්පරාවෙන් පරම්පරාවට ජනවහරින් කියවෙමින් එයි. කතරගම ඇසළ මහ පෙරහැර නරඹන්නට විදුලි ආලෝකයක්‌ සහිත හීයක්‌ මවාගෙන කතරගම මහා දේවාලය වෙත වඩින කතරගම දෙවියන් සමග වල්ලි අම්මාද එන බව විශ්වාස කරනු ලැබේ. කතරගම ඇසළ මහා පෙරහැර නරඹන කතරගම දෙවියන් සහ වල්ලි අම්මා දේවියද එම පෙරහැර නරඹන සියලු දෙනාද දකින පෙරහැර එන මඟ අවහිර කරන වැද්දන්ගේ රැඟුම තුළින් දැන් අපි අතීතය වෙතට යමු. කතරගම දෙවියන් වශයෙන් අප හඳුන්වන රුහුණු පුරයට කඳු හත් වළල්ලට, මයුර වාහනයට අරක්‌ගෙන වැඩ වසන්නා වූ මුහුණු සයකින්ද අත්දොළසකින්ද යුක්‌තව ලෝක සත්වයාගේ සෑම කන්නලව්වකටම ඉතා ඉක්‌මණින් ඇස්‌ ඉදිරිපිට පිහිට ලබාදෙන ශ්‍රී තේජෝ බලධාරී කතරගම දේවරාජෝත්තමයාණන් හෙවත් කන්දස්‌වාමි රුහුණට එන්නට පෙර සිටියේ දකුණු ඉන්දියාවේය. මේ රටේ අනාගතය ගැන සැලකිල්ලක්‌ දැක්‌වූ ගෞතම බුදුන් වහන්සේ දැන් කිරි වෙහෙර ගොඩනඟා තිබෙන ශුද්ධභූමියේ තිබුණු කිහිරි වනය අසලට ජනයා රැස්‌ කරවා කතරගම දෙවියන්ව හඳුන්වා දී කතරගම දෙවියන්ට පුද පූජා පවත්වන අයගේ කර්ම ශක්‌තිය අනුව කතරගම දෙවියන් ඔවුනට පිහිට වනවා ඇති බව දේශනා කළහ. ඉන්පසු බුද්ධ ආඥාව ලැබූ කන්දස්‌වාමි කතරගම දෙවියන් නමින් රුහුණට අධිපති වූහ. සිද්ධාර්ථ ගෞතම සර්වඥයන් වහන්සේගෙන් කරතගමදී බණ අසා සෝවාන් වූ කතරගම දෙවියන්ගේ පින් බල මහිමය වැඩි නිසාත් උන්වහන්සේ පිනට පිහිට වී බොහෝ කුසල් රැස්‌කර ගන්නා නිසාත් ගෞතම බුදුන්වහන්සේ ගෙන් බණ අසා රහත් වී නිවන් දකින බවට විශ්වාසයක්‌ පවතී. ඒ නිසා දීර්ඝ කාලයක්‌ උන්වහන්සේ මේ රටද රකිනවා ඇත. අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද නාහිමියන් විසින් කතරගම දෙවියන් පිළිබඳව නාඩි වාක්‍යවලින් දකුණු ඉන්දියාවේදී ලබාගත් විස්‌තරයක්‌ හෙණ්‌ඩියගල සීලරතන මහ නාහිමියන් විසින් බොහෝ කලකට පෙර ලියන ලද විශිෂ්ටතම ධර්ම ග්‍රන්ථයක්‌ වන පුනර්භවය නමැති ග්‍රන්ථයේ සඳහන් වේයි.  කතරගම දෙවියන් බවට පත්වූ ඉන්දියාවේ සිටි මහා රණශූර දෙවියකු වූ කන්දස්‌වාමි භාරතයේ උපත ලබා සිටි ඈත භවයන්හි ඔහුගේ භාර්යාව වශයෙන් සිටියේ වල්ලි අම්මාය. මේ දෙදෙනා අතර තිබුණ ස්‌නේහවන්ත බැඳීම ඉතා ශ්‍රෙෂ්ඨ එකක්‌ විය. නමුත් මේ දෙදෙනාගේ උත්පත්තිවල වෙනස්‌වීම් කිහිපයක්‌ පසුව ඇති විය. කන්දස්‌වාමි දිව්‍ය ආත්මය ලැබුවාට පසුව ඔහුට සුර අසර යුද්ධයටද සහාය වීමට සිදුවිය. කන්දස්‌වාමීන්ද සුර අසුර යුද්ධයේ දී මහා විස්‌කම්පෑ දෙවියකු බවට පත්විය. සුර අසුර යුද්ධයෙන් සුරයන් ජය ගැනීමෙන් පසුව කන්දස්‌වාමි දෙවියන්ට වල්ලි අම්මා පිළිබඳ මතකය මනසට ආවේය. පෙරකල කුසල් බලය නිසා අදි මානසික තත්ත්වයක්‌ තිබුණ දෙවියකු වූ ඔහු අධික මානසික ශක්‌තිය මෙහෙයවා වල්ලි අම්මාව සෙව්වේය.

ල්ලි අම්මා සෙල්ල කතරගම වැදි ගෝත්‍රයක උපත ලබා සිටින බව ඔහු දුටුවේය. කන්දස්‌වාමි වහා ලංකාවේ සෙල්ල කතරගම වෙත ආවේය. නමුත් වැදි සිරිත අනුව පිටස්‌තරයකුට වැදි තරුණියක හමුවිය නොහැකි විය. වැදි ගෝත්‍රිකයෝ ඉතාමත් නපුරු ප්‍රචණ්‌ඩ දරුණු අය වූහ. ඒ නිසා කන්දස්‌වාමි ඉක්‌මන් නොවූහ. වැදි රැළ දඩයමේ යන තුරු බලා සිටි කන්දස්‌වාමි හෙමින් සීරුවේ වල්ලි අම්මා සිටි පැලට ගියේය. අධි මානසික ශක්‌තියක්‌ තිබුණු වල්ලි අම්මා කන්දස්‌වාමි හඳුනා ගත්තාය. වැඩිහිටි කන්දේ අතු පැලක නතර වුණු කන්දස්‌වාමි නිතර වල්ලි අම්මා බලන්නට ගියේය. එහෙත් බලය යොදා ඇයව පැහැරගෙන යැම නින්දාවක්‌ සේ සැලකුවේය. දිනක්‌ මහ රෑ වැඩිහිටි කන්දේදී වැදි රංචුව කන්දස්‌වාමිව කොටුකර ගත්තේය. වැදි කෙල්ලක්‌ සමග හාදකම් පවත්වා මේ පිටස්‌තරයා තමන්ට අවමන් කළ බව වැදි රංචුවේ චෝදනාව විය. මහා ගෝරනාඩුවකින් පසුව වැදි රංචුව සමාදානයකට එන්නට කැමැති විය. ඔවුන්ගේ තීරණය වූයේ තමන්ට කළ අපහාසයට කන්දස්‌වාමි විසින් වසරකට වරක්‌ කප්පමක්‌ ගෙවිය යුතු බවයි. කන්දස්‌වාමි එකඟ වී පළමු කප්පම ගෙවා වල්ලි අම්මා සමග ඉන්දියාව බලා ගියේය. ඉන්පසු බුදුන්වහන්සේ සමග කතරගමට පැමිණි කන්දස්‌වාමි ප්‍රබලත්වයට පත්වී කතරගම දෙවි නමින් මහා ප්‍රසිද්ධියට පත්විය. කන්දස්‌වාමි ප්‍රබල දෙවි කෙනෙකු බව දැනගත් සෙල්ල කතරගම වැදි රංචුවේ පරම්පරාවේ වැද්දෝ කතරගම ඇසළ මහා පෙරහැර ඇරැඹීමෙන් පසුව කතරගම දෙවියන්ගෙන් ලැබුණු කප්පම පිළිබඳව පුවත මහා පෙරහැරේ ඉදිරිපත් කරන්නට අවසර ලබා ගත්හ. ඈත අතීතයේ පටන් කතරගම ඇසළ මහා පෙරහැරේ මේ සිද්ධිය රඟ දැක්‌වෙයි. නමුත් ඒ බව දන්නා අය විරලය.

අන්තර්ජාලය ඇසුරින් උපුටාගන්නා ලදි …

බුදු සසුන සුරකින බවට විශ්වාස කෙරෙන ශ්‍රී විෂ්ණු දෙවියෝ ...
අවාරයේ සිරිපතුල වඳින්නට එන සුදු ඇතා කවුද?
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.