ජේතවනාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The Jethawanarama Stupa )

ලෝකයේ පවතින විශාලත්වයෙන් අගතැන්පත් බෞද්ධ ස්තූපය වූ ජේතවන චෛත්‍ය දෙවැනි වන්නේ ලෝකයේ පුදුම හතෙන් එකක්සේ ගැනෙන මිසරයේ පිරමීඩයන්ට පමණි.

මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276 – 303 ) කරවූ ස්තූපය අඩි 400 ක් පමණ උස් වූ බව කියැවෙයි. එහෙත් 1832 වසරේ මේජර් ස්කිනර් විසින් ඇඳින ලද සැලැස්මට අනුව සෑයේ උස අඩි 244 කි. වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ පොතේ සඳහන්ව ඇත්තේ දා ගැබේ උස අඩි 249 ක් බවත් වට අඩි ප්‍රමාණය අඩි 1200 ක් බවත් ය. මෙම සුවිසල් ස්තූපය අක්කර 8 ක පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිරී පවති යි.

සෑයේ නිධන් කර ඇති දේ පිළිබඳව මහාවංශයේ සඳහන් නොකළ ද පූජාවලියට අනුව මෙහි නිධන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ පටී ධාතුවයි. අනුරාධපුරයේ ඇති මහා ස්තූපයන් තුනෙන්, එකක් වන ජේතවන චෛත්‍ය ඇත්තේ අනුරාධපුරයේ ජෝතිවනය නම් භූමියේ ය. එමනිසා මෙය ජේතවනාරාමය ලෙස ප්‍රචලිත විය. එහෙත් ශිලා ලේඛනයන්හි හා පැරැණි පොත පතෙහි සඳහන් ව ඇත්තේ දෙනාවෙහෙර – දෙනායකය ආදී නම් වලිනි.

මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් බිහි වූ මහා විහාර සම්ප්‍රදායට එරෙහි වූ මහසෙන් රජතුමා ලෝවාමහාපාය සහ තවත් පූජනීය වස්තූන් විනාශ කිරීමට තරම් කුරිරු වූයේ මහායාන සම්ප්‍රදායට නතු වූ සංඝමිත්‍ර නම් පාපමිත්‍ර භික්‍ෂූන් වහන්සේගේ බහට මුලා වී එම භික්‍ෂුවගේ උපදෙස් අනුව ය. මෙම සැහැසි ක්‍රියා හමුවේ මුළු රටම කැළඹුණි. රජතුමාගේ කුළුපග මිතුරකු වූ මේඝවර්ණ නම් අමාත්‍යවරයා මලය රටට පලාගොස් සේනා සංවිධානය කර යුද වදින්නට පෙරලා පැමිණියේ රජතුමා කළ මෙම නොපනත්කම් ඉවසීමට නොහැකි වූ නිසාවෙනි.

එහෙත් ගිනිගන්නට ගිය දේශයේ වාසනාවකට යුද්ධය නැවතුණි. මහසෙන් රජු ඔහු අතින් වූ වරද පිළිගෙන නැවත මහා විහාරය ගොඩනැඟීමට එකඟ වූ නිසා දෙදෙනා අතර සමාදානය ඇති විය. ඉන් පසුව මහා විහාරය ගොඩනැඟුණද රජතුමා හා මහා විහාරය අතර ප්‍රබල සම්බන්ධතාවයන් ඇති වූයේ නැත. මහා විහාර භූමිය තුළ තවත් ස්තූපයක් ඉදිකිරීමට මහසෙන් රජතුමාට අවශ්‍ය විය. එය නිශ්ඵල ප්‍රයත්නයක් බව මහාවිහාරික භික්‍ෂූන් පෙන්වා දුන්න ද රජතුමා එයට එකඟ නොවී ය. එසේ හිතුවක්කාර ප්‍රයත්නයක ප්‍රතිඵලය ලෙස ලෝකයේ සුවිසල් වූ ජේතවනාරාම මහා ස්තූපය ඉදිවිය. මේ මහා දාගැබ සාදවා ජේතවනාරාම විහාරයේ අයිතිය පවරා දුන්නේ මහා විහාර සම්ප්‍රදායට එරෙහිව කටයුතු කළ තිස්ස නම් භික්‍ෂූන් වහන්සේ වෙත ය.

ථේරිය හෙවත් මහා විහාරයට එරෙහිව ධම්මරුචි නමින් අභයගිරි නිකාය බිහිව තිබූ අතර – ජේතවන විහාරය ආශ්‍රයෙන් සාගලික හෙවත් ජේතවන නිකාය ඇති වූයේ ඉහත සිදුවීම් පෙළත් සමඟ ය. මහා වංශය ඇතුලු ඉතිහාස ග්‍රන්ථයන් බහුතරයක් මහසෙන් රජතුමා පිළිබඳව ඇඳ තබන්නේ මෙසේ දුර් වර්ණ වූ චිත්‍රයකි.

එහෙත් සී.ඩබ්ලිව්. නිකොලස් සහ ඇස්. පරණවිතානයන්ගේ “සංෂිප්ත ලංකා ඉතිහාසය” නම් ග්‍රන්ථයට අනුව වසර 27 ක මහසෙන් රාජ්‍ය සමය තුළ වාස්තු විද්‍යා, වාරිමාර්ග, ඉංජිනේරු විද්‍යා අතින් රටේ විශාල දියුණුවක් ඇති වූ බව සඳහන් කරයි. රජතුමා කරවූ ජලාශ ගණන 16 කි. ඒ අතර මින්නේරිය ජලාශය විශිෂ්ට නිර්මාණයකි. එසේම ග්‍රන්ථය පවසන්නේ මහාවිහාරයට පක්‍ෂපාතී වූ ඓතිහාසික පොත පත මඟින් මහසෙන් රජු හෙලා දකින ලද නමුත් එතුමා කළ පොදු ජන සේවාව නිසා ජනතාව මරණින් මතු එතුමා දේවත්වයෙන් පිදූ බව ය. අද ද ‘මින්නේරි දෙවියෝ’ නමින් ප්‍රචලිතව ඇත්තේ මහසෙන් රජතුමා ය. 1215 රජරට මාඝගේ පාලනයට අයත් වීමත් සමඟ ජේතවන විහාරයේ පරිහානිය උදා විය. වනවැදුනු නටබුන් ස්තූපය 1829 දී කළඑළි කරන ලදී. 1832 මේජර් ස්කිනර් විසින් අඳින ලද සැලැස්මට අනුව ස්තූපයේ උස සඳහන්ව ඇත්තේ අඩි 244 ක් වශයෙනි. 1890 දී මෙරට ප්‍රථම පුරාවිද්‍ය කොමසාරිස් එච්.සී.වී.බෙල් මහතා විසින් ජේතවන ස්තූපයේ පුරා විද්‍යා ගවේෂණ කටයුතු ඇරැඹීය.

මහා විද්‍යා තාක්‍ෂණ ඤාණයෙන් පරිපූර්ණ මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අප මාතෘභූමිය යටත් වීමෙන් පසුව එම දේශයේ සිට පැමිණ 1860 වසරේ දී ලංකාවේ මහ ලේකම් ධූරය ඉසුලූ ඇමර්සන් ටැනන්ට් විසින් ලියා ඵලකළ ‘සිලෝන්’ නැමැති ග්‍රන්ථයේ ජේතවන දාගැබ පිළිබඳව සටහන් කරන්නේ මෙසේ ය. මෙම විශාල ගොඩනැඟිල්ලට ගෙන තිබෙන ගඩොළු හා හුනු යන ද්‍රව්‍යයන් ප්‍රමාණය පුදුම ඵලවන සුළු ය. මෙහි විස්කම්භය අඩි 360 ක් ද උස අඩි 249 ක් ද වෙයි. මුළු බැම්මේ ප්‍රමාණය ඝන අඩි දෙකොටියකට අධිකය. වර්තමානයේ ගොඩනැඟිලි තැනීමට සාදාගෙන තිබෙන යන්ත්‍රවල ආධාර ද ඇතිව කර්මාන්තකාරයන් 500 දෙනෙකු ගඩොළු බැඳීමෙහි යෙදී වැඩ කළොත් ජේතවනාරාමය වැනි ගොඩැඟිල්ලක් තැනීමට වසර 7 ක් පමණ කාලයක් වැය වෙයි. එයට වියදම ඉතා අඩු වශයෙන් රත්‍රන් පවුම් දශ ලක්‍ෂයක් වුවමනා ය. දිගෙන් සැතැප්ම බාගයක් ඇති වීථි 30 ක් පිළියෙළ කර ගෙවල් අට දහසක් තැනීමට මේ දාගැබේ උපකරණ ප්‍රමාණවත් ය. එම උපකරණ වලින් එංගලන්තයේ 67, 000 ක ජනගගනයක් වෙසෙන ‘ඉප්සවීම්’ නගරය හෝ 70,000 ක ජනගහනයක් වෙසෙන ‘කොවැන්ට්රි’ තරම් විශාල නුවරක් ගොඩනැගිය හැක. තවද එම ද්‍රව්‍යයන්ගෙන් ඝනකම අඩියක් උස අඩි 10 ක් ඇති ප්‍රාකාරයක් ලොන්ඩන් නුවර සිට ‘ඇඩින් බරෝ’ නුවර දක්වා තැනිය හැකි ය’. (මෙම නගර දෙක අතර දුර සැතැපුම් 330 කි. කී.මී. 528 ක් පමණ ය.)

බ්‍රිතාන්‍යයන් පවා මවිත කළ මෙම විස්තරයෙන් ගම්‍ය වන්නේ ජේතවනාරාම චෛත්‍ය විශ්මිත නිර්මාණයක් බව ය.

එදා මුතුන් මිත්තන්ගේ ඉදිකිරීම් තාක්‍ෂණයේ දියුණුව අද්විතීය වේ. අපගේ ඓතිහාසික තාක්‍ෂණිය දියුණුව, සශ්‍රීකත්වය, උදාර සංස්කෘතියක මහා ගුණය මෙන්ම අතීත, අභීත ශ්‍රී විභූතිය පිළිබඳ පසුබිම් කථනයන් මෙවන් නිර්මාණ මතින් සන්නිවේදනය කරවන සුළුය.

ආගමික වියවුල් මධ්‍යයේ නිකාය භේදයකට ද මුල පිරූ මෙම ජේතවන මහා දාගැබ පිළිබඳ පුරා වෘත්තය ප්‍රසන්න නොවුන ද අටමස්ථාන වන්දනා මාන කරන සැදැහැති බෞද්ධයා වෙත රැගෙන එන්නේ කිසිවිට අශුභ අඳුරු චිත්‍රයක් නම් නොවේ. මේ මහා ජේතවන දාගැබ අභියසදී අපගේ දොහොත් මුදුනට එසවෙන්නේ සම්බුදුරජාණන් නමදින චෛත්‍ය වන්දනාවෙන් ජනිත වන සැදැහැති බව තවත් තිවෘ කරමිනි. මෙම ආශ්චර්යවත් යෝධ නිර්මාණය මේ රටට දායාද කළ අපගේ මුතුන්මිත්තන්ගේ විශ්මිත ඤාණ, කාය ශක්තියට ගෞරවයද පුද කරමිනි. ඒ මුතුන් මිත්තන්ගේ ජාන ගුණයන් අංශු මාත්‍රයක් හෝ අපගේ ශරීරගත වී ඇතැයි හැඟෙන ආත්ම අභිමානය ද සමගිනි.

අභයගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The abayagiri Stupa )
මිරිසවැටිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The Mirisawetiya Stupa )
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.