ජාතිය ද? පක්‍ෂය ද? - IFBC Organization | Dhamma

මහාවංශය ආදී වංශ කථාවන්හි සිංහල ජාතියේ ආරම්භය විජය රජතුමා ගෙන් වී යයි කියතත් හැම ඉතිහාසඥයකු ම එය පිළිගන්නේ නැත. ඇතැමුන් සිංහලයා ගේ මුල රාවණා රජු තෙක් ඈතට ගෙන යන්නේ ද කරුණු ඇති වැ ය. ආරම්භය කාගෙන් කවදා සිදු වුවත් සිංහලයා ආර්ය වංශයට අයත් මනුෂ්‍ය ජාතියෙකි. මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්නට පෙරැ ද සිංහලයා සෑහෙන තරම් දියුණු ප්‍රෙ‍ෟඪ ජාතියක් හැටියට වැජඹුණු බව පණ්ඩුකාභය රජතුමා ආදීන් ගේ පුවත්වලින් පැහැදිළි වෙයි. සිංහලයා බෞද්ධ වූවාට පසු එවකට ලොවැ කිසි ම ජාතියකට දෙවැනි නොවන තරම් දියුණුවකට පත්වී ය. සිංහලයාට විශිෂ්ට ආගමක්, භාෂාවක්, කලාවක්, ඉතිහාසයක්, සංස්කෘතියක් හා ශිෂ්ටාචාරයක් ද ඇත. සිංහලයා ආගමට සේවය කෙළේ ය; භාෂාවට සේවයක් කෙළේ ය; ජාතියට සේවය කෙළේ ය‍.

සිංහලයා ගේ ආගමික සේවාව විශිෂ්ට ය. සිංහලයා බුද්ධාගමය පිළිගත්තේ මහාපරිත්‍යාගයෙකිනි. එනම් තමන් එතෙක් කල් අදහාගෙන ආ ආගම හා ආචාර ධර්ම ස්වල්ප වශයෙන් වත් මිශ්‍ර නොකොට ඉතා පිරිසුදු වැ ය. සිංහලයා ආගමට කළ සේවාව අනුරාධපුර පොළොන්නරු ආදි ප්‍රදේශයනට ගිය කෙනෙකුට වහා ම අවබෝධ වනු ඇත. බුද්ධ ධර්මය පහළ වූයේ භාරතයෙහි ය. එහෙත් එය ආරක්‍ෂා වූයේ ලංකාවෙහි ය. කට පාඩමින් ගෙනා බුද්ධ ධර්මය බැමිණිටියා සාය කාලයෙහි ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කොට වළගම්බා රජු ගේ උපකාරයෙන් ග්‍රන්ථාරූඪ කළෙ‍ා‍් සිංහල භික්‍ෂූන් වහන්සේ ය. අටුවා, ටීකා, අනුටීකා සකස් වූයේ ද සිංහල භික්‍ෂූන් වහන්සේ ගේ පුරෝගාමීත්වයෙනි. පාලිය භාෂාවක් හැටියට ඉගෙනීමට උවමනා නිඝණ්ඩු, ව්‍යාකරණ, ඡන්දස්, අලංකාර ආදී සියල්ල ම සම්පාදනය වූයේ සිංහල භික්‍ෂූන් වහන්සේ ගේ පුරෝගාමිත්වයෙන් ම ය. මේ කරුණු නිසා බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම හා පාලි භාෂාව වර්ධනය කිරීම පිළිබඳ වැ මුළු ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සිංහලයා තමා ගේ යයි කිව යුතු කලාව, සාහිත්‍ය, භාෂාව, ආදි හැම දෙයක් ම බුද්ධාගමයෙන් පෝෂණය කැරැගත්තේ ය. සිංහලයාට බුද්ධාගමයෙන් වෙන් වූ කිසිවක් නැතැ යි කිව යුතු තත්ත්වයකට පැමිණියේ ය. බුද්ධාගමය නැතිදාට සිංහල ජාතියක් නැත්තට ම නැතැ’යි ශ්‍රීමත් රාමනාදන් තුමා කීවේ ද එහෙයින් ම ය.

සිංහලයාගේ භාෂා සේවාව ද විශිෂ්ට ය. පුරාණ ලංකා‍ෙව් අද ‍ෙමන් ඉ‍ෙගනී‍ෙම් පහසුක‍ම් ‍ෙනාවී ය. එ‍ෙහත් උගතුන් ගෙන් අඩුවක් නොවී ය. සිංහල සාහිත්‍ය දෙස බලන්න. හතුරන් විසින් වාර ගණනකට ගිනි තබා ඉතිරි වී තිබෙන පොත් ටික වුවත් කොපමණ වටිනවා ද? මේ ගත්කරුවන් අතර භික්‍ෂූන් වහන්සේ පමණක් නොවැ රජවරු ද වූහ. අද රජවරුනට කරන්නට වැඩ නැත. එදා රජවරුනට නිකම් ඉන්නට ඉඩ නැත. ඒ තරම් කටයුතු ය. ඒ දහසක් කටයුතු මධ්‍යයෙහි දී සිංහල රජවරුන් විසින් පවා ‍ලියන ලද පොත් දෙස බැලූ විට සිංහලයා ගේ භාෂා සේවාව මැනැවින් වැටැහෙනවා ඇත. මේ තරම් වටිනා පොත් ලියූ රජවරු සිංහලයන් අතර හැරැ අන් ජාතීන් අතර ඇද්දැ යි නොදනිමි.

ජාතීන්ගේ ආරක්‍ෂාව සඳහා ලක්‍ෂ ගණනින් දිවි පිදූ සිංහලයෝ ජාතික සංවර්ධනය ද ඉතා ඉහළින් ම සිදු කළ හ. සිංහලයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැන යි. අහසින් වැටෙන හැම වතුර බිඳක් ම මහජනයා ගේ ශුභ සිද්ධිය සඳහා යොදවනවා යැ යි ඇතැම් රජවරුන් කී කීම වැනි උදාර කියුම් ලෝක ඉතිහාසයෙන් සොයා ගැනීම එතරම් පහසු නොවනු ඇත. ඔවුහු උද‍ාර ලෙස කීවාක් මෙන් ම උදාර ලෙසට ක්‍රියාවෙහි ද යෙදුණෝ ය. අපේ මුතුන් මිත්තන් විසින් කරවන ලද වැව් ගණන තිස් දහස ඉක්මවා ගොස් තිබෙන්නේ එහෙයිනි. කෝටි පහකට නොඅඩු ජන සංඛ්‍යාවක් හොඳට කා බී අතිරේක ආහාර පිටරට යැවූ බව වාර්තා ගත වී ඇත්තේ ද එහෙයිනි.

සිංහලයා විසින් රෙදි කර්මාන්තය ද හොඳින් දියුණුකැරැ තුබුණු බව නොයෙක් වාර්තා කියයි. විශේෂයෙන් කාශ්මීර රටෙහි රජ බිසෝවරුන් ඇන්දේ ලංකාවේ වියන රෙදි යයි කාශ්මීර ඉතිහාසය වන රාජතරංගනියෙහි සඳහන් වේ. මහාවංශයෙහි තරම් ගිලන් හල් සූතිකාගාර ගැන සඳහන් වන අන් ඉතිහාසයක් නැතැ යි උගත්තු කියති. පොළොන්නරු මහාරෝග්‍යශාලාව තරම් උසස් ගිලන් හලක් එවකට ලොවැ කොහි වත් තුබුණේ නැත යනු උගතුන් ගේ පිළිගැනීම යි. වාරිමාර්ග ඉන්ජිනේරු ශිල්පය පිළිබඳ එවකට සිංහලයා පරදවන්නට සමත්හු ලොව නොවූහයි කියති. මේවා සිංහලයා කෙබඳු දැයි වටහාගැනීමට බින්දු මාත්‍ර සාධක ය. මේ කරුණු නිසා සිංහලයා විශ්ව කීර්තියට පත් වූ බව නොයෙක් දෙස් විදෙස් වාර්තාවලින් පැහැදිළි වේ.

ලංකාව සිංහලයන් ගේ රට යි. මෙහි නෙ‍ායෙක් ජාතීන් අ‍ැතත් මහා ජාතිය සිංහල යි. එහෙත් සිංහලයා මහාජාතිය වී ඇත්තේ ජනගහනයෙන් පමණි. අනෙක් හැම කරුණෙකින් ම සිංහලයා දුර්වල කොටසක් වී ඇත. එයට ප්‍රධාන හේතුව සිංහලයාගේ අලසකම, අදූරදර්ශී භාවය හා අසමඟිය යි. අප්‍රධාන හේතුව විදේශීන් ගේ පාලන කාලයන්හි මහ ජාතිය වන සිංහලයා දුර්වල කරන්නට උපක්‍රම යෙදීම යි.

සිංහලයා දුර්වල කොට තැබීමට යෙදූ උපක්‍රමවලින් ප්‍රධාන දෙකක් පමණක් සඳහන් කරන්නෙමි. කෙනෙකුට දියුණු වන්නට හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතු ය. එහෙත් සිංහලයාට විශේෂයෙන් සිංහල බෞද්ධයාට උසස් අධ්‍යාපනය ලබන මං අවුරා තිබිණි. උසස් අධ්‍යාපනයක් ලබන්නට උසස් අධ්‍යාපනායතන එනම්, පළමු වැනි ශ්‍රේණියේ පාසල් තිබිය යුතු ය. ලංකාවට නිදහස ලැබී කාලයක් යන තුරු ම පළමු වැනි ශ්‍රේණියේ පාසල් තුබුණේ හැට පහක් ය. එයින් තිස් දෙකක් තුබුණේ යාපනය දිස්ත්‍රික්කයේ ය. යාපනය හැර මුළු ලංකාවට ම තුබුණේ තිස් තුනකි. දැන් පළමු වැනි ශ්‍රේණියේ පාසල් වැඩි වී ඇතත් තවමත් ලංකාවේ උතුරු කෙළවරෙහි යාපනේ දිස්ත්‍රික්කයේ සියයට අනූනමයක් අසිංහල ළමයිනට උසස් අධ්‍යාපනයක් ලබන්නට පළමු වැනි ශ්‍රේණියේ පාසල් තිස් තුනක් ඇතත් ලංකාවේ දකුණු කෙළවරෙහි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට අනූ නමයක් සිංහල ළමයිනට උසස් අධ්‍යාපනයක් ලබන්නට පළමු වැනි ශ්‍රේණියේ එක ද පාසලක් වත් නැත.

ශිෂ්‍යයනට අධ්‍යාපනය හොඳින් දිය හැක්කේ පුහුණු ගුරුවරුනට ය. අභ්‍යාස විද්‍යාලය අතිනුත් සිංහලයාට බලවත් අසාධාරණයක් කැරැ තිබිණි. 1958 පමණ වන විට ද සිංහල මාධ්‍යයෙන් උගන්වන ගුරුවරුන් පනස් තුන් දහස් ගණනක් සිටි අතර දෙමළ මාධ්‍යයෙන් උගන්වන ගුරුවරු දහතුන් දහස් ගණනක් ගණනක් සිටිය හ. ඒ දහතුන් දාහට පුහුණු වන්නට අභ්‍යාස විද්‍යාලය අටක් තුබුණු අතර සිංහල මාධ්‍යයෙන් උගන්වන පනස් තුන් දහසක් ගුරුවරුනට පුහුණු වන්නට අභ්‍යාස විද්‍යාලය තුබුණේ නවයෙකි. සිංහලයන් දූරදර්ශී වැ සමඟියෙන් කටයුතු කළා නම් මේවා නිසි පරිදි යොදාගන්නට තිබිණි. මේ කරුණු නිසා රජයේ හා පෞද්ගලික ආයතනයන්හි ද උසස් තනතුරක දක්නට ලැබුණේ අසිංහලයෙක් ම ය. සිංහලයෙක් වී නම් හෙද අබෞද්ධයෙක් ම ය.

උපකෘත පාසල් රජයට ගැනීමෙන් පසු මේ තත්ත්වය තරමකට වෙනස් වී ඇත. එහෙයින් සිංහලයන් ගේ අසමඟිය නිසා විශේෂයෙන් පක්‍ෂ දේශපාලන භේදය නිසා සිංහලයා තව තවත් පිරිහෙන ලකුණු පහළ වී ඇත. දැනට රැකීරක්‍ෂා නැතියවුන් ගේ සංඛ්‍යාව අති විශාල ය. එයින් සියයට අනූපහක් පමණ සිංහලයන් විය යුතු ය. දුප්පත් ජනතාව ගෙන් සියයට අනූවක් පමණ සිංහලයෝ ය. සිංහලයාගේ මේ දුප්පත්කම අසරණකම තව තවත් උග්‍ර වන ලකුණු යි පෙනෙන්නට ලැබෙන්නේ. කවුරු කවුරුත් සිංහලයාගේ කර පිටින් රජකම් කරන්නට සූදානම් වෙති.

ඉන්දියානුවනට පුරවැසිකම දෙන්නට පටන් ගත් කාලය පටන් මේ වන තුරු පුරවැසිකම් දී ඇත්තේ එක් ලක්‍ෂ පනස්දහසකට පමණ ය. එ තරම් සුළු ගණනකට ඡන්ද බලය තිබිය දී උඩරට කඳුකරයේ එක ද ආසනයක් ඉන්දියානු කම්කරු නායකයනට හිස නමන්නේ නැති වැ සිංහලයකුට දිනාගත නොහැකි ය. තව අවුරුදු කිහිපයෙකින් ඡන්ද බලය ඇති ඉන්දියානුවන් ගේ සංඛ්‍යාව ලක්‍ෂ පහක් පමණ විය හැකි ය. එවිට සිංහලයාගේ තත්ත්වය කෙබඳු වේද? මැතිවරණයක් පැමිණි විට සිංහලයාගේ භේද නිසා සිංහල දෙන්නකු තුන්දෙනකු තරඟයට ඉදිරිපත් වනු ඇත. ඔය අතරට ඉන්දියානුවකු ඉදිරිපත් වී ජය ගන්නටත් පිළිවන.

මීට ප්‍රථම එබඳු වාරයක් තුබුණු බව අමතක කරන්න එපා. එසේ ඉන්දියානුවකු ඉදිරිපත් නූණොත් දිනන්නට පිළිවන් වන්නේ ඉන්දියානු කම්කරු නායකයනට වැඳ වැටුණු කෙනෙකුට ය. ඉන්දියානු කම්කරු නායකයන් මහ ආඩම්බරයෙන් සිටිනු ඇත. ඡන්දාපේක්‍ෂක සිංහලයා දෙකට තුනට නැමී ඇඹැරි – ඇඹරී ඔහු වෙත ළඟා වනු ඇත. ඔහු එක වරට ම “පෝඩා පෝ” කියා නොඑළවන්නට පිළිවන. එහෙත් යක්‍ෂයන් ගේ ප්‍රේතයන් ගේ හෝ ඡන්දය ලබාගෙන දිනන්නට බලාපොරොත්තු වන සිංහලයාට ඉන්දියානු කම්කරු නායකයන් ගේ දස පනතට ම යටත් වන්නට සිදුවනු ඒකාන්ත යි.

සිංහලයන් පක්‍ෂ භේද අමතක කොට සමඟි වැ එක සිංහලයකු ඉදිරිපත් කළොත් සිංහ විලාසයෙන් ජය ගන්නට පිළිවන.

සිංහලයන් සමඟි නොවුව හොත් නුදුරු අනාගතයෙහි උඩරට සිටින සිංහලයන් සුන් වනු ඇත. පහත රට සිටින සිංහලයනට පාත්තයා කියා බැණ – බැණ ඉන්දියානු ද්‍රවිඩයනට පාත් වෙල‍ා ඉන්නට සිදුවනු නිසැක ය.

මුළු මහත් සිංහල ජනතාවට සිදු වන විපත ඊ ළඟට සිතා බලන්න. උඩ රට කඳුකරයේ ආසන ටිකක් අසිංහලයනට ගියොත් පාර්ලිමේන්තුවේ ආසන එක සිය පනස් පහෙන් පනස් පහක් පමණ අසිංහලයන් සතු වනු ඇත. සිංහලයන් බෙදී තරග කොට ඉතිරි ආසන සීයෙන් පනහකට ටිකක් අඩු වැඩි ගණනක් එක් එක් හවුල් පක්‍ෂය විසින් දිනාගනු ඇත. ඉතින් වැඩි ගණනක් දිනූ සිංහල හවුල් පක්‍ෂය රජ වන්නට අසිංහලයන් ගේ සහාය පතනු ඇත. එදාට අසිංහලයන් කේශර සිංහන් බඳු වනු ඇත. එදාට අසිංහලයන් ගේ සහාය ඉල්ලන සිංහලයනට එකසිය දස පනතක් ඉදිරිපත් කරනු ඇත. බලයට කැමැති සිංහලයා එයට යටත් වී රජකමට පත්වනු ඇත. ඉතින් සිදු වන්නේ කුමක් ද? අවුරුදු පහෙන් පහට සිංහලයන් ගේ අයිතිවාසිකම් අසිංහලයනට විකුණා කෑම යි. සිංහලයන් ගේ අසමඟිය නිසා ඒ තත්ත්වය පැමිණෙන්නට හොඳට ම ඉඩ ඇත. ඉදින් එසේ කළොත් ඔවුන් මැරී අපායට යනව‍ා ඇත. මෙහෙ‍් ජීවත් වන සිංහලයන් අපායක මෙන් වෙසෙනුවා ඇත. එවිට මුළු සිංහල ජාතිය ම අපායේ ය. මේ කාරණා පක්‍ෂ භේදයෙන් තොර වැ මධ්‍යස්ථ වැ නුවණින් සලකා බලන්නේ මැනවි. දැනට සිංහලයා ආර්ථික ආදී හැම අංශයෙකින් ම දුර්වල වී ජනගහනයෙන් පමණක් මහාජාතිය වශයෙන් පෙනී සිටී. එහෙත් පවුල් සංවිධානය නම් වූ අදූරදර්ශී වැඩ පිළිවෙල නිසා අනාගතයෙහි දී සුළු ජාතියක් නැත් නම් සම ජාතියක් වන්නට ද පිළිවන. අසිංහලයන් ඔවුන් ගේ ජනගහනය වැඩි කරන අතර කල්ලතෝනින් වශයෙන් පැමිණෙන දහස් ගණන් ලක්‍ෂ ගණන් අසිංහලයන් මේ රටෙහි පදිංචි වෙති. සිංහලයෝ ජනගහනය අඩු කෙරෙති. මේ ක්‍රමය දිගට ගෙන ගියොත් අවුරුදු දෙතුන් සියයක දී සිංහල ජාතියේ අනාගතය කෙබඳු වේ ද? ඉදින් සිංහලයන් සමඟි නොවුවොත් අනාගතය අඳුරු යි, අඳුරුයි, අඳුරුයි. සිංහලයෙනි, සමඟි වන්න, සමඟි වන්න.

ටිබැට් ජාතික මහින්ද හිමියන් ගේ කවියක් මෙයට එකතු කරන්නේ ද සිංහලයාගේ ඇස් ඇරවීම සඳහා ය.

බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි ලූ ල
ණු මෙන් පුපුරන්නෙ ය කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්
නෙ ම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා.”

 

ශ්‍රී ලංකාදීප 1966.10.28

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

භාෂාව ද? පක්‍ෂය ද?
රට ද? පක්‍ෂය ද?

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.