ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ( The Jaya Sri Maha Bodhi )

ශ්‍රී ලාංකික බෞද්ධ වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපගේ සංස්කෘතික නව ප්‍රබෝධයේ සුවිශේෂී ලකුණක් බවට ද පත්විය. එසේම එය සැදැහැති බෞද්ධ ජනතාවගේ ගෞරව බහුමානයට මෙන්ම වන්දනාමානයට පාත්‍ර වූ ද පූජනීය අටමස්ථානයන්ගෙන් ද එකකි.

දේවානම්පියතිස්ස මහරජතුමා මහමෙව්නා උයන මහා සංඝරත්නයට පූජා කළ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේ වෙත දෑ සමන් මල් පැසක් පූජා කළේ ය. උන්වහන්සේ ඒ දෑසමන් මල් අට මිට බැගින් ඉසින ලද ස්ථානයන් අට පූජනීය වූ අටමස්ථානය බවට පත් විය.

එම අටමස්ථානය නම් මේ කල්පයේ බුද්ධත්වයට පත් කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම යන සිව් මහා සම්බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදී සිටි පූජනීය වූද පාරිශුද්ධ වූ ද ස්ථානයන් ය. එහි එක් ස්ථානයක මේ කල්පය තුළ ලොව්තුරා බුද්ධත්වයට පත් කකුසඳ කෝණාගම, සහ කාශ්‍යප යන තුන් බුදුවරුන් පිට දුන් බෝධීන් වහන්සේලාගේ දක්‍ෂිණ ශාඛාවෝ රෝපණය කළ පිවිතුරු බිම පිහිටියේ ය. එම පාරිශුද්ධ වූ බිම් කඩෙහිම ගෞතම බුදුරජාණන් වහන්සේ පිටදුන් ශ්‍රී මහා බෝධී දක්‍ෂිණ ශාඛාව රෝපිත බව වංශ කතාවල සඳහන්ව තිබේ.

එය අද දක්වා විරාජමානව වැඩ වසන්නේ අනුරාධපුරයේ, මිහිඳු මහරහතන් වහන්සේ වෙත පූජා කළ මහා විහාර භූමියේ මහමෙව්නාව නම් රමණීය වූ උද්‍යානය තුළය. විෂම වූද අතිශය සංකීර්ණ වූද අනන්තාපරිමාන සංසාර චක්‍රයේ යථා ස්වරූපය මනාසේ දැක පරම සත්‍යාවබෝධය, මාර්ග ඥානය අවබෝධ කර ගැනීම ‘බුද්ධ’ යන වචනයේ අර්ථයයි. අප මහා සම්බුදුරජාණන් වහන්සේ එම ලොව්තුරා අග්‍ර ඵලය වූ සම්බුද්ධත්වයට සපැමිණීම උදෙසා වැඩහිඳිමින් සෙවන, සිසිලස සලසා ගත්තේ ගයා ශීර්ෂයේ නේරංජනානම් සුන්දර නදිය තීර්තයේ පිහිටියා වූ ඇසතු නම් මහා වනස්පතිය සමීපයේ දී ය. ඒ සමඟම ඇසතු වෘක්ෂය බුද්ධියේ වෘක්‍ෂය බවට පරිවර්තනය විය. බුද්ධියේ වෘක්‍ෂය නොහොත් බෝ වෘක්‍ෂය එළෙස ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ තුඩ තුඩ රැඳුණු වන්දනීය වූද පූජනීය වූද මහා වෘක්‍ෂය බවට පත් විය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට බුදුසසුන හඳුන්වා දීමෙන් පසුව දෙවනපෑතිස් රාජෝත්තමයාගේ ඉල්ලීම පරිදි බුද්ධ වර්ෂ 237 උඳුවප් පුර පොහෝ දින දඹදිව තාම්‍රලිප්තයෙන් නැව් නැඟී සංඝමිත්තා මහරහත් මෙහෙණීන් වහන්සේගේ සුරතින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව අප මාතෘභූමියේ දඹකොළ පටුන නැව්තොට වෙතට වඩමවාගෙන සපැමිණි බව වංශකතාවලින් සනාථ වෙයි. ශ්‍රී ලංකාව නම් ධර්මද්වීපයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙම පිවිතුරු බිමෙහි රෝපණය වී දැනට බුද්ධ වර්ෂ 2319 ක් වූ ආයු කාලයක් ගෙවමින් දැනටද විරාජමානව වැඩ හිඳියි.උප්පත්ති කතාවේ සිට සාක්‍ෂි සහිත පැටිකිරියක් සහිත ලෝකයේ ඉපැරණිම වෘක්ෂය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වීම සමස්ත ලෝක ඉතිහාසයටම සුවිශේෂී වූ කාරණයකි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ පිවිතුරු භූමියේ වඩා හිඳුවාලු මොහොතේ සවනක් රැස් විහිදුවමින් පෙළහර පාමින් මුළු මිහිතලයම ප්‍රකම්පිත වූ බවත් මහා වංශයේ මෙන්ම වංශ කතාවන්හි සඳහන්ව තිබේ. කම්පාවීම යනු මේ මහී මණ්ඩලය ඒ උත්තරීතර වස්තුව සාතිශය සතුටින් පිළිගත් බව ලෝ ධාතුවට හැඟවීමට කළ සංඥාවය. එම ඓශ්චර්යවත් දර්ශනය දුටු දේවානම්පියතිස්ස නිරිඳාණෝ එයට උපහාර පිණිස දොහොත් මුදුන් දී වැඳ මේ ලංකා රාජ්‍යය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නාමයට පූජා කළ සේක.

උපුටා ගැනීම – http://www.lakehouse.lk/budusarana/2011/11/18/tmp.asp?ID=fea02

ලෝවාමහාපාය ( The Lovamahapaya )
ලංකාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The Lankaramaya Stupa )

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.