පූජනීය අනුරාධපුරවරය, ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මඟින් නම් කර තිබේ. එසේ නම් කිරීමට හේතු වූ සාධක අතර ඉතා වැදගත් ප්‍රධාන සාධකයක් පිළිබඳ යුනෙස්කෝව සඳහන් කරයි. එය නම් අති පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරවරයේ වැඩහිඳීමයි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ සිංහල බෞද්ධයන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. එහෙත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිසා ශ්‍රී ලාංකිකයන් ලද ශ්‍රේෂ්ඨ දායාද කවරේ ද යන්න නිවැරැදිව දන්නා අය ඉතා දුර්ලභ බව අපගේ වැටහීමයි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු, සිද්ධාර්ථ ගෞතම තවුසාණන් ලොව්තුරා බුද්ධත්වය අවබෝධ කළ මොහොතේ, උන්වහන්සේට සෙවණ සලසමින් හා පිටදී වැඩ හිඳීමට උපකාරී කළා වූ දඹදිව බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව වෙති.

දඹදිව මෞර්ය රාජ වශයේ ශ්‍රේෂ්ඨතමයා ලෙස සැලකෙන ධර්මාශෝක මහා අධිරාජ්‍යයා විසින් මේ ශ්‍රේෂ්ඨ දායාදය ශ්‍රී ලංකාවට තිළිණ කර එවන ලදී. ඒ සිය අදෘශ්‍ය මිත්‍ර දේවානම්පියතිස්ස රජතුමාගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රී ලංකාද්වීපයට බුදු දහම නිල වශයෙන් හඳුන්වා දුන් මිහිඳු මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීම මත, උන්වහන්සේගේ නැඟණිය වූ සංඝමිත්තා මහරහත් තෙරණිය බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවූහ.ය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආගමනයත් සමඟම ශ්‍රී ලාංකික ජන සමාජයේ ඉතා වැදගත් පරිවර්තන රාශියක් සිදු වී තිබේ. එයින් පළමුවැන්න, භික්‍ෂුණී ශාසනය ශ්‍රී ලංකාද්වීපයෙහි ස්ථාපිත වීමයි. වංශ කතාවල සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකරවීමේ මුඛ්‍ය පරමාර්ථය වශයෙන් දක්වන්නේ ද එයයි. උත්තරා, හේමා, පදුමා, පසදමාලා, අග්ගිමිත්තා, මල්ලා, සුමා, මහාදේවී ඇතුළු තෙරණින් වහන්සේල, එකොළොස් නමක් සමඟ සංඝමිත්තාවෝ මෙරටට වැඩම කළහ. දේවානම්පියතිස්ස මහ රජතුමාගේ මළණුවන් වූ මහානාග යුවරජතුමාගේ බිසව හෙවත් අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවෝ බුදු සසුනේ පැවිදි බව ලැබීමත් සමඟම ප්‍රථම වරට ශ්‍රී ලංකාද්වීපයේ භික්‍ෂුණී ශාසනය ඇතිවිය. ඒ සමඟම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසගෙන් ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පෝෂිත විය. එය එතෙක් බ්‍රාහ්මණ, ජෛන ආදී ආගම්වලින් සිරකොට බැඳ දමා තිබූ බැමි පුපුරුවා හරිමින් ශ්‍රී ලාංකික ස්ත්‍රියට නිසි ගෞරවය හා විමුක්ති මාර්ගයේ දොරටු විවෘත කිරීමේ යෝධ පියවරක් විය.

බෝධි ආගමනය නිසා ඇති වූ අනෙක් පරිවර්තනය එතෙක් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ නොතිබූ එකකි. මහාවංශය, බෝධිවංශය ප්‍රධාන වංශ කතාවල මේ පිළිබඳ ඉතා වැදගත් තොරතුරු හමු වේ. බෝධි ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවීම පිණිස නැව දියත් කළ ත්‍රාමලිප්තයේ දී ධර්මාශෝක මහා අධිරාජයා, ශ්‍රී ලංකාවෙන් එහි ගිය අරිට්ඨ කුමාරයාව තමා අසලට කැඳවා තිබේ. අරිට්ඨ කුමාරයා, දේවානම්පියතිස්ස මහ රජතුමාගේ හසුන් පත ධර්මාශෝක මහා අධිරාජයා වෙතට රැගෙන ගිය රාජ දූතයා වේ. එහිදී අධිරාජයා, කුමාරයාට පැවසූ පණිවුඩය ඉතා ගැඹුරු අර්ථ සම්පාදනය කරයි. “මම තුන්වරක් මහා බෝධිය රාජ්‍යයෙන් පිදුවෙමි. එසේම මාගේ යහළු වූ රජතෙම රාජ්‍යයෙන් පුදවා” (මහාවංශය, 19 ප, 12, 13, 14, 15 ගාථා)

මෙලෙස ධර්මාශෝක මහා අධිරාජයා, සිය ජම්බුද්වීප හා අධිරාජ්‍යයෙන් බෝධි ශාඛාව තුන් වාරයක් පිදීමෙන්, ඒ සියල්ලටම වඩා බෝධි ශාඛාව කෙතරම් උතුම් ද යන්න ගම්‍ය වේ. ඒ සමඟම එකී සංකේතාත්මක කාර්යය හා බැඳුණු වඩාත් ගැඹුරු අර්ථයක් එමඟින් ධ්වනිත කෙරේ. එය රාජ්‍යත්වය හා සම්බන්ධ වූවකි. එය තහවුරු කෙරෙන ඉතා වැදගත් පුවතක් වංශකතාවල හමුවේ.

දේවානම්පියතිස්ස රජතුමා රාජ්‍යත්වයට පත් වූ කළ ශ්‍රී ලංකාද්වීපයෙහි නොයෙක් ස්ථානයන්හි ඉතා දුර්ලභ නිධානයෝ රැසක් පැන නැඟී ඇත්තාහ. එතුමා ඒවා බොහොමයක් එය අදෘශ්‍ය මිත්‍ර ධර්මාශෝක මහා අධිරාජ්‍යයාට තිළිණ කර යවා ඇත. ඒ පිළිබඳ බොහෝ පහන් වූ ධර්මාශෝක මහා අධිරාජයා, එම රාජ දූත මෙහෙවරෙහි යෙදුණු අරිට්ඨ කුමාරයා ප්‍රධාන පිරිසට විවිධාකාර තනතුරු සහ තෑගි බෝග පිරිනමා ගෞරව දක්වා තිබේ.

එපමණක් නොවූ සිය යහළු රජතුමාට බොහෝ තෑගි පඬුරු දී නැවත අභිෂේකයට අවශ්‍ය සියලුම වස්තූ ද ලබා දීමට ධර්මාශෝක අධිරාජයා කටයුතු කළේ ය. ඒ අතර එතෙක් තමාට භාවිත කළ ‘දේවානම්පිය’ හෙවත් දෙවියන්ට පිය වූ යන අභිධානය ද තිස්ස රජතුමාට පිරිනමා තිබේ.

ඒ සියල්ල ලබා දී ධර්මාශෝක අධිරාජ්‍යයා අරිට්ඨ කුමාරයාට පවසා ඇත්තේ මම බුදුන් දහම් සඟ සරණ ගත වූයෙමි. ශාක්‍ය පුත්‍ර බුදු සසුන්හි උපාසක බැව් ගිවිස්සෙමි. නරොත්තමය තෙපිද ශ්‍රද්ධාවෙන් සිත පහදාගෙන මේ තුණුරුවන් සරණ යමි. නැවතත් මගේ යහළුවා හට අභිෂේක කරව (මහාවංශය, 11 පිර. 34, 35, 36 ගාථා) යනුවෙනි. වෙසක් පුණු පොහෝ දිනයක, තිස්ස රජතුමාට ‘දේවානම් පිය තිස්ස’ යනුවෙන් දෙවන වරටත් අභිෂේක කර ඇත්තේ ධර්මාශෝක අධිරාජයාගේ ඉල්ලීමෙහි ප්‍රතිඵලයක් වශයෙනි. එම අභිෂේකය මෞර්ය රජ පෙළපතේ සම්ප්‍රදායයන්ට අනුව සිදුකළ එකකි. එය ‍ෙමෟර්ය අධිරාජ්‍යයේ බල පරාක්‍රමය ශ්‍රී ලංකාද්වීපයෙහි තහවුරු කරන්නකි.

එසේම ධර්මාශෝක මහා අධිරාජ්‍යයා තම යහළුවාට ද සිය රාජ්‍යයෙන් බෝධිය පුදන ලෙස කළ ඉල්ලීමත් සමඟම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත් වීම ද සිදු වී තිබේ. අනුරාධපුර මහමෙවුනා උයනේ මහා බෝධි ශාඛාව පිහිට වූ දින සිට, අනුරාධපුර රාජධානිය නිමාවන තෙක් පුරා සියවස් දහතුනකට සමීප කාලයක් තිස්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයේ, රාජ්‍යත්වයේ සංකේතය බවට පත් වී තිබේ.

අනුරාධපුරයේ සිටි සියලුම රජවරු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිය දිවි දෙවැනි කොට සැළකීම ඊට එක් සාධයක් පමණකි.

ඔවුහු සියලු දෙනාම තම තමන්ට හැකි ඉහළම ශක්තියෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්‍ෂා කර තිබේ. හැකි ඉහළම පුද පූජා පවත්වා තිබේ. දුටුගැමුණු, භාතිකාභය, ධාතුසේන යනු ඒ අතුරින් ද විශේෂිත රජවරු කිහිපදෙනෙකු පමණකි.

සැළකිය යුතු අනෙක් ඉතා වැදගත් කරුණ නම්, සමස්ත අනුරාධපුර රාජධානී කාලය තුළදී විවිධාකාර පරසරතුරු ආක්‍රමණයන්ට අනුරාධපුරවරය ගොදුරු වූවද බෝධීන් වහන්සේට කිසිදු හානියක් සිදු නොවීමයි. ඔවුන් වෙහෙර විහාර වනසමින් වස්තුව කොල්ලකද්දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානි නොකිරීමට හේතුව උන්වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත් වී තිබීම විය හැකි ය.

බෞද්ධයන්ට අති පූජනීය වස්තුවක් වූ, බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ, ශ්‍රී මේසඝවර්ණ (ක්‍රි.ව. 303 – 337) රජ දවස ශ්‍රී ලංකාවට වැඩම කරවා තිබේ. වර්තමානයේ දී පවා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පැවැත්වෙන වාර්ෂික මංගල්‍ය සතරේ, අලුත් අවුරුදු සහ වෙසක් මංගල්‍යවලදී උන්වහන්සේට රජෙකුට සේ රන්සළු පිළි සහ ආභරණ පැළඳවීමේ චාරිත්‍රය සිදු කැරේ. පස් වැනි මිහිඳු (ක්‍රි.ව. 1012 – 1044 ) රජතුමාව, රාජේන්ද්‍ර නම් සොලී ආක්‍රමණිකයා විසින් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමත් සමගම වසර 1400 ක් පමණ විරාජමාන වූ අනුරාධපුර යුගය නිමාවට පත් විය. ඒ සමඟම ආරක්‍ෂාව පතා රාජධානිය පොළොන්නරුවටත්, අනතුරුව රටේ නිරිත දිගටත් වරින් වර ගෙන යන ලදී. මේ ගමන්වලදී ජීවමාන වස්තුවක් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තැනින් තැනට රැගෙන යා නොහැකි විය. එහි ප්‍රතිඵලයක් වූයේ එසේ රැගෙන යා හැකි අති පූජනීයම වස්තුව වූ දළදා වහන්සේ එතැන් පටන් රාජ්‍යත්වයේ සංකේතය ලෙස සැලකීමයි.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ ඊළඟ ඉතා වැදගත් කාරණය, බෝධි ආගමනයේ දී උන්වහන්සේගේ තේවාව පිණිස ධර්මාශෝක මහා අධිරාජ්‍ය එවූ දහ අට කුළයක ජනතාව හා බැඳී පවතී. වංශ කතාවල සඳහන් වන්නේ ධර්මාශෝක මහා අධිරාජයා මේ පිරිස ශ්‍රී ලංකාද්වීපයට එවා ඇත්තේ බෝධීන් වහන්සේගේ තේවාව සඳහා වන බවයි. එය සත්‍යයකි. මින් පෙර තමන් නොදුටු, නොදැන සිටි පූජනීය වස්තුවකට කළ යුතු පුද සත්කාර පිළිබඳ දේශීය ජනතාව නොදැන සිටීම යුක්ති යුක්තය. එමෙන්ම එකී සත්‍යය ඉක්මවා ගිය ගැඹුරු සාමාජික කාර්යයක් ද එම දහ අට කුළයක ජනතාව වෙතින් ඉටු කෙරී ඇති වග, මේ සමස්ත සිද්ධි මාලාවම විමර්ශනය කරන විට හඳුනා ගත හැකි වේ.

බෝධීන් වහන්සේ මෙරටට වැඩම කළ පිරිසේ රාජ කුමාරවරු අට දෙනෙක් සිටියහ. බෝධි ගුප්ත කුමාරයා ප්‍රධානත්වය ඉසිලූ ඒ පිරිසේ ඉතිරි කුමාරවරු වූයේ සුමිත්ත, චන්ද්‍රගුප්ත, දේවගුප්ත, ධර්මගුප්ත, සුරියගුප්ත, ගෝතම සහ ජුතින්දර යන කුමාරවරු වෙති. ඔවුහු සෘජුවම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාවට හා තේවා කටයුතුවලට සම්බන්ධ වූවෝ වෙති.

බෝධීන් වහන්සේ වෙත සිය මෙහෙවර පිදුවද, ඉතිරි දහ අට කුලයක ජනතාව යනු, කර්මාන්ත ශ්‍රේණීන් දහ අටක අයත් වූවෝ බව ඉතා පැහැදිලිවම පෙනේ. එකී ශ්‍රේණි දහ අට නම් බලන්න, උයන්පලු, කුලිංග, මාලාකාර, කප්ප, පෙසකර, සිබ්බකාර, ඡත්ථකාය, කරච්ච, ගන්ධකාර, කුම්භකාර, සුද කම්මාර, ලෝහකාහි, සුවණ්ණකාර, වඩ්ඪකී, චිත්තකාර, සහ අතොවජ්ජක කුලය වේ. ඔවුහු ගොවිතැනේ සිට වඩුවැඩ, යකඩවැඩ, කුඹල් කර්මාන්තය, ආයුධ තැනීම, රෙදිවිවීම, ආහාර පිසීම, රන්රිදී වැඩ ඇතුළු ඕනෑම ජන සමාජයක යහ පැවැත්මට අවශ්‍ය කරන කර්මාන්ත දහ අටකට අයත් වූවන් බව පෙනේ. එමඟින් ධර්මාශෝක මහා අධිරාජයා එවකටත් ශ්‍රී ලංකා ජන සමාජය තුළ තිබූ කර්මාන්තවලට නව ජීවයක් ලබා දීම හෝ අභිනවයෙන්ම කර්මාන්ත හඳුන්වා දීම හෝ සිදු කර ඇති බව පෙනේ. ඒ සියල්ල සමාජ දේහය තුළ විධිමත් ලෙස ස්ථාපනය වීම යනු, එකී සමාජය උසස් ජීවන තත්ත්වයකින් පිරිපුන් සමාජයක් බවට පත් කිරීමට හේතු වන්නක් වේ. මේ නිසා බෝධි ආගමනයත් සමඟම උන්වහන්සේ කේන්ද්‍ර කර ගනිමින් නව ආකල්ප, විශ්වාස, සිරිත් විරිත්, කර්මාන්ත හා කුසලතා ආදියෙන් පිරිපුන් යහපත සමාජ සංවර්ධනයක් ශ්‍රී ලංකාද්වීපයේ ආරම්භ කෙරිණි.

බෝධි රෝපනයේ දී උන්වහන්සේගෙන් අෂ්ඨඵලරුහ සහ දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලා හටගෙන තිබේ. මෙම බෝධීන් වහන්සේලා, හතළිස් නම රෝපණය කරවා ඇති ආකාරය ඊළඟට ඉතා වැදගත් වේ. අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේල, උතුරෙත් දඹකොළ පටුනේත් දකුණේත් කතරගම හා සඳුන්ගමත් රෝපණය කරවා තිබේ. දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලා නැඟෙනහිරෙන් සේරුවාවිලත්, බටහිරෙන් මහාපල්ලික කෙවුල්ගම (කළුතර) සහ බෙල්ලන්විල ඇතුළු රටපුරා විවිධ ප්‍රදේශවලත් රෝපණය කරවා තිබේ. එවකට ජනාවාස වී තිබූ බවට සැලකිය හැකි සමස්ත ශ්‍රී ලංකාද්වීපයම මෙම බෝධීන් වහන්සේලාගෙන් ආවරණය වී තිබෙන බව වංශ කතා විමසීමෙන් පැහැදිලි වේ. මෙම බෝධීන් වහන්සේලාත් සමඟම යටකී දහ අට කුළයක ජනතාවද රට පුරා පැතිරී ගිය බවට සැකයක් නැත. එහි ප්‍රතිඵලය බෝධීන් වහන්සේ සමඟ මෙරටට පැමිණි නව ආකල්ප, සිරිත් විරිත්, කර්මාන්ත, කුසලතා ආදිය රට පුරා ප්‍රචලිත වීමයි. එමෙන්ම දහ අට කුලයක ජනතාව රාජානුග්‍රහයද ලබමින්, ස්වදේශික ජනතාව සමඟ ආවාහ විවාහ සිදුකිරීම් ද ස්වාභාවිකය. එය ඔවුන් සතු ඤාණය හා තාක්‍ෂණය ආදිය දේශීය ජනතාවට කාන්දු වීමට හේතුවකි. එය පුළුල් ජනතාවක් අතරට යමින් ක්‍රමිකව වර්ධනය වෙමින් දේශීය අවශ්‍යතා අනුව සැකසෙමින් පරපුරකින් පරපුරකට දායාද වන්නට ඇත.

මහින්දාගමනය නිසා ඊට සියවස් දෙකකට මඳක් වැඩි කාලයක දී මෙරට ආරම්භ වී ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති සිංහල සංස්කෘතිය, සිංහල බෞද්ධ සංස්කෘතිය බවට පත් විය. ඒ සමඟම සිදු වූ ජය ශ්‍රී මහා බෝධි ආගමනය නිසා එකී සංස්කෘතිය දඹදිව මෞර්ය සංස්කෘතිය අනුව යමින් නව සිරිත් විරිත්, කර්මාන්ත ආදියෙන් පෝෂණය වීම ඇරඹුණි. එහි අවසාන ප්‍රතිඵලය මෞර්යයන්ට පවා නොමැති ලෙස මුළු ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වූ සිංහල කැටයම් හා ප්‍රතිමා කලාව, චිත්‍ර හා මූර්ති කලාව, සාහිත්‍යය මෙරට බිහි වීමය. සිංහලයන්ටම අනන්‍ය වූ සාගර පරදන මහා වාරි කර්මාන්ත, බිසෝකොටු, සොරොව් විශ්මිත ඇළ මාර්ග ආදී වාරි නිර්මිතයන් ඉදි කිරීමය. ලෝහ මහා ප්‍රාසාදය, දාගැබ්, චේතියඝර, බෝධිඝර රෝහල් සංකීර්ණ ඇතුළු විශිෂ්ට වාස්තුවිද්‍යාත්මක නිර්මිතයන් ගොඩනැඟීමය. මේ සියල්ලෙන්ම පිරිපුන් අසමසම සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් ශ්‍රී ලංකාද්වීපයේ බිහි වීමය.

කවර හේතුවක් නිසා හෝ ජය ශ්‍රී මහා බෝධි ආගමනය සිදු නොවුණා නම් සිංහල බෞද්ධ සංස්කෘතිය සහ සභ්‍යත්වය ශ්‍රී ලාංකිකයන්ට උරුම නොවීමට ඉඩ තිබුණි. එබැවින් ශ්‍රී ලාංකික ජනතාව සමස්ත ලෝකයේම ශ්‍රේෂ්ඨ තත්ත්වයක් හිමිකර ගත්තේ නම් ඊට ප්‍රධාන මූල සාධකයක් බවට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පත් වී ඇති බව ඉතා වැදගත් සත්‍යයක් බව අපගේ වැටහීමයි.

මේ නිසා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු හුදු ආගමික සංකේතයක් හෝ වස්තුවක් පමණක් නොවේ. උන්වහන්සේ ශ්‍රී ලංකාද්වීපයේ මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ද අනන්‍යතාවයේ සහ ශ්‍රේෂ්ඨත්වයේ සංකේතය ද වෙති.

මිරිසවැටි මහා සෑ රදුන් ( Mirisawati Sthupa)
තිස්සමහාරාම සෑ රදුන් (Thissamaharama Sthupa)

Join the discussion One Comment

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.