බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ද උපදේශයෙන් ද ලෝකයාට චාම් ජීවිතය ඉගැන්වූ උත්තමයෙකි. චාම් ජීවිතය බෞද්ධයාට උරුම වූ දෙයකි. ගේ දොර යාන වාහන ඇඳුම් පැළැඳුම් ආදියෙන් විචිත්‍ර වූ ජීවිතය ඇස් කන් නාසාදි ඉන්ද්‍රියයන් පොළඹවන්නෙකි. මේ ජීවිතයේ පරමාර්ථය ඉන්ද්‍රියයන් පිනවීම යැ යි සලකන්නවුන් හට නම් විචිත්‍ර ජීවිතය තරම් උසස් දෙයක් නො විය යුතු ය. බෞද්ධයාට ඊට වඩා උසස් පරමාර්ථයක් ඇත්තේ ය. එය ලැබිය හැක්කේ ඉන්ද්‍රියයන් පෙළඹවීමෙන් නො ව සංවරයෙන් හා චිත්ත දමනයෙනි.

තිරිසනාට ඉන්ද්‍රියයන් පිනවීමට වඩා ජීවිතයේ පරමාර්ථයක් නැත්තේ ය. දෙවියන් තුළ ද බහුල ව ඇත්තේ ඉන්ද්‍රියයන් පිනවීමේ පරමාර්ථය බව කිව හැකි ය. බුදුරජාණන් වහන්සේට උවමනා කළේ මිනිසා තිරිසන් තත්ත්වයෙනුදු මුදා දේවත්වයට ද වඩා උසස් ව ගෙන යන මඟ කියා දීම ය. ඒ කාරිය සිදු කළ හැක්කේ බාහිර අලංකාරයෙන් නො ව අභ්‍යන්තර දියුණුවෙනි.

ගිහි බෞද්ධයාට විචිත්‍ර ජීවිතය සම්පූර්ණයෙන් තහනම් නැත. එ සේ ම තමා ගේ උසස් පරමාර්ථය සිදු කැරගැනීමට චාම් ජීවිතය මෙන් උපකාර ද නැත. ඒ නිසා බෞද්ධයන් විසින් චාම් ජීවිතයක් ඇති කැර ගැනීම සඳහා “අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සුභරතා,” යන ගුණත්‍රය ද ඇති කැරගත යුතු ය.

අප්පිච්ඡතා නම්, ඇස් කන් නාසා ආදි ඉන්ද්‍රියයන් පිනවන නොයෙක් විදියේ රස විදීමේ ආශා බහුල නොවන බව යි, හෙවත් තමා ‍ෙග් ප්‍රමාණය ඉක්මවා නොයන ස්වල්ප වූ බලාපොරොත්තු ඇති බව යි. ඉතාලියේ සුප්‍රසිද්ධ චින්තකයකු වූ ද, කලාකාරයකු වූ ද ලෙනා‍ෙඩා ද වින්චි මහත්මා කීවේ, ‘මා දුප්පතකු ලෙස නොසලකන්න. දුප්පතා නම් බොහෝ දේවල් ප්‍රාර්ථනා කරන්න‍ා’ යනු යි. ඒ නිසා අල්පේච්ඡතාවට ලඡ්ඡා නො විය යුතු යි.

සන්තුට්ඨිතා නම්, දුටු දුටු දෙයට ආශා නො කැර තමන් ගේ ශක්තියේ බලයේ හා ලැබීමේ සැටියට ලද දෙයින් සතුටු වන බව යි.

සුභරතා නම්, ඇදුම් – පැළඳුම්, කෑම් – බීම් ආදියෙන් පහසුවෙන් පෝෂණය – නඩත්තු කළ හැකි බවයි.

ආර්යවංශ ප්‍රතිපදාව

චාම් ඇඳුමෙන් සතුටු වීම ය. චාම් ආහාරපානයෙන් සතුටු වීම ය, චාම් සේනාසනයෙන් සතුටු වීම ය, භාවනාවට නැමුණු සිතක් ඇති බව ය යන මේ සතර, ආර්යවංශ (පෙර උතුමන් ‍ෙග් වංශයට අයත්) ප්‍රතිපදාව ය යි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

මේ ආර්යවංශ ප්‍රතිපදාව පෙරදිගත් අවරදිගත් ආර්යයන් අතර ඉතා හොඳින් පැවැත්තේ ය. දඹදිව බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි ඉතා ඉහළින් පැවැති මේ ප්‍රතිපදාව අශෝක රජු ගේ කාලයෙහි ද උසස් තැනක් ගත් බව අශෝක ශිලා ලිපිවලින් පෙනෙයි.

මෙකල ද ඉන්දියාවාසීන් තුළ මේ ප්‍රතිපදාව, එනම්, චාම් ජීවිතය ඉතා හෙ‍ාඳින් ඇත්තේ ය. මහත්මා ගාන්ධි, ශ්‍රීමත් නෙ‍්රු, ශ්‍රීමත් රාජෙන්ද්‍ර ප්‍රසාද්, ශ්‍රීමත් රාජාගෝපාලාච‍ාරී ආදී උතුමන් ගේ ජීවිත කොපමණ චාම් දැ යි සිතා බලන්න. භාරතයේ සමහර පවුල්වල පින්වත්හු හරි දැකීම පහළ වන්නට පෙර යුරෝපීය අනුකරණය නිසා ඇඳුම් ‍සේදීමට එංගලන්තයට යැවූ හ. කෙනෙකු උසස් වන්නේ ඇඳුමෙන් නොව ගුණයෙන් බව තේරුම්ගත් ඒ පින්වත්හු වහා ම චාම් ජීවිතයට බැසගත් හ. චාම් ජීවිතය නිසා විචිත්‍ර ජීවිතයට යොදන කාලය, ධනය, ඥානය හා ශක්තිය වෙන යහපත් දෙයකට යෙදීමෙන් එතුමෝ ලෝක පූජිත වූ හ. එතුමන් ගේ ගේ-දොර, ඇඳුම්-පැළැඳුම්, යාන වාහනාදිය පිළිබඳ චාම්කම ගැන සිතන කා හට වුව ද අප රට බොහෝ දෙනා ගේ පුහුකම් වැටැහේ ම ය.

උගතුන් ගේ මතය කෙසේ වෙතත් බුද්ධ ධර්මය අනුව බුරුම රට වාසීහු ද ආර්යයෝ ය. ඔවුන් තුළ ද ගේ-දොර, බඩු මුට්ටු, ඇඳුම්-පැළැඳුම් යාන වාහන පිළිබඳ චාම්කම ඉතා හොඳින් ම ඇත්තේ ය. එ රට අගමැති තුමා ගේ භාර්යාව අඳින ඇඳුම් ටිකට රුපියල් පනහකට වඩා වියදම් නොවන බව කියති, එහෙත් අපේ රටේ අගමැති තුමා ගේ නොහොත් සාමාන්‍ය මැතිතුමකු ගේ භාර්යාව වුවත් ඇඳුම් සඳහා කොපමණ මුදල් හා කාලය නාස්ති කරනුවා දැ යි සිතා බැලිය යුතු ය.

ගුණ දහමට තැනක් නුදුන් අලුත් අධ්‍යාපන ක්‍රම නිසා යුරෝපා වාසීන් ගේ ආර්ය ගති බොහෝ දුරට අඩු වී ගොස් තිබේ. එහෙත් පූර්වයෙහි නම් ඔවුන් තුළ ද මේ ආර්යවංශ ප්‍රතිපදාව නොඅඩු ව ම පැවැත්තේ ය.

සොක්‍රටීස් නම් සුපුසිද්ධ ග්‍රීක දාර්ශනිකයා දිනක් සුඛෝපහෝගී විචිත්‍ර බඩු තිබෙන සාප්පුවකට ගියේ ය. එහි තුබුණු බඩු එකක් පාසා බලා මට මේ බඩු නැති ව ජීවත්විය හැකි යැ යි සිතමින් මේ ලෝකයෙහි මට උවමනා නැති දේවල් කොපමණ තිබේ දැ යි කියා අන්තිමේ දී හිස් අතින් ම ගෙදර ගියේ ය. මෙ බඳු අය ‘පිස්සෝ’ යැ යි සිතන සමහරු සාප්පු යෑමේ වුවමනා බොහොම අමාරුවෙන් හිතා මතා ඇති කරැ ගනිති.

ක්‍රි: පූර්ව සතර වැනි සිය වසෙහි සෙ‍්නෝ” ගෙන් පටන් ගත් ස්ටෙයික් සම්ප්‍රදායේ මූලික ඉගැන්වීම වූයේ, කාම කෝප ඉවැසීම, ඉන්ද්‍රිය දමනය, චාම් ජීවිතය, සතුට හා සුභරතා ද යන ගුණයෝ ය.

මෙ සේ පෙර’පර දෙ දිග ම පැවැති මේ ආර්යවංශ ප්‍රතිපදාව ඇතුළත් අරියවංශ සූත්‍රයෙන් බණ ඇසීමට ලක්වැසියෝ ඉතා ප්‍රිය කළ හ. යොදුන් ගණන් දුර සිට ද ධර්මාභිලාෂීහු පැමිණිය හ.

මේ ආර්යවංශ ප්‍රතිපදාව දේශනා කිරීමට විශේෂ දේශකයෝ ද වූ හ. උන් වහන්සේලාට රජවරුන් පවා නොයෙක් පුද පූජා පවත්වා තිබේ. අරියවංශ වට්ටය” නමින් අරියවංශ සූත්‍ර දේශකයනට දෙන පඬුරු ක්‍රමයක් ද තුබුණු බව සෙල්ලිපිවලින් පෙනෙයි.

බොහෝ කාලයක් ලංකාවේ පැවැති චාම් ජීවිතය නැති වී ගියේ විදේශීන් ගේ පැමිණීම නිසා ය. ඔවුහු අප ගේ වැදගත් ශිෂ්ටාචාරය හා සභ්‍යත්වය නැති කැරදැමීමටත් ඔවුන් ගේ රටවලට මුදල් ඇදැගැනීමටත් හේතු වන භයානක වැඩ පිළිවෙළක් ඇති කළ හ. ඒ උගුලට අප රට වැසියෝ අසු වූ හ.

අද ලංකාවේ ආර්ථික ප්‍රශ්නය විසඳාගැනීම ඉතා දුෂ්කර වී තිබේ. ඊට හේතුව කුමක් ද? ගුණධර්ම වනසන අධ්‍යාපන ක්‍රමවලින් රටවැසියා බාහිර අලංකාරයට ගිජුවීම යි. නො කා නො බී විචිත්‍ර ලෙසට අඳින්නට ඉගැන්වූවෝ කවරහු ද? මේ වසංගතය අන්තිම පිටිසර තෙක් පැතිරවූවෝ කවරහු දැ යි මඳක් සිතා බැලිය යුතු යි.

අද ලංකාව පුරා ක්‍ෂය රෝගයෙන් හා මන්ද පෝෂණයෙන් පෙළෙන්න වුන් ගේ සංඛ්‍යාව දිනෙන් දින ම වැඩි වෙයි. හේතුව කුමක් ද? කෑමට තිබෙන මුදල් ටික නො කා නො බී බාහිර අලංකාරයට යෙදීමත් නරක චිත්‍රපටිවලින් ඉගෙන ගන්නා දුශ්චරිත අත්හදා බලන්නට යෑමත් නො වේ ද?

ඉදින් පින්වත්නි, මේවා නුවණින් විමසා බල‍ා චාම් ජීවිතයටත්, භාවනාවටත් නැවැතත් බැසගනිමු. චාම් ජීවිතයක් නැති තැන භාවනා කිරීම පහසු නැත. භාවනාවක් නැති තැන චාම් ජීවිතය ස්ථිර වන්නේ ද නැත. එ නිසා මේ ගුණ යුවළ සෑම බෞද්ධයකු තුළ ම තිබිය යුතු ය.

චාම් ජීවිතයක් නැති විට විනාශ වන්නෝ උසස් පෙළේ අය නො ව මධ්‍යම පන්තියේ අය හා දුප්පත් පෙළේ අය ය. එහෙත් උසස් පෙළේ අය ආදර්ශයක් නො දී සාමාන්‍ය අයට මෙය ඉගැන්විය නොහැකිය. ඇඳුමට සැලැකීම මෙ කල සිරිතක් ව පවතී.

නායකයන් ගේ ආදර්ශය

මහත්මා ගාන්ධි, ශ්‍රීමත් නේරු ආදී ජන නායකයන් මෙන් කෙනෙකු උසස් වන්නේ ඇඳුමෙන් නො වේ යැ යි අපේ ජන නායකයනට හොඳ ආදර්ශයක් දිය හැකි ය. එ විට සාමාන්‍ය ජනයා ද ඒ මඟ ගමන් කරනුවා ඇත. උපාසක ඇඳුම, සුදු රෙද්ද හා බැනියම මඟුලටත් මරණයටත් පන්සලටත් සබයටත් රටටත් හොඳ ම ඇඳුම නො වේ දැයි සිතා බලන්න.

ගෑනු ළමයිනට තිබෙන ඇඳුම් අතුරෙන් ලොව ඇති හොඳ ම ඇඳුම, ළමා සාරිය ය යි කිව යුතු ය. එය දුටුවන් ඇස් නොකළඹවන්නාක් මෙන් ම ඉතා අලංකාර ය, ශෝභන ය. ඒ නිසා කුඩා ළමයින් කෙසේ වෙතත් දස දොළොස් විය ඉක්මවා ගිය ළමයින් විසින් ළමා සාරිය ඇඳීම ඉතා යහපත් බව කිව යුතු ය.

සිංහල ස්ත්‍රීන් ගේ ඇඳුම් පුරාණ වුවත්, ශෙ‍ා‍්භන වුවත්, මෙ කල එය මුදල් නාස්ති වන ලෙසට යොදාගෙන තිබීම නොමනා ය. පුරාණයේ චාම් ජීවිතය හා අරපරිස්සම පිළිබඳ හොඳ කීර්තියක් දරා සිටි සිංහල කාන්තාවෝ අද ඇඳුම් සඳහා මුදල් නාස්ති කරන පිරිසක් බවට පත්වේ ගෙන යති.

ඒ නිසා පිළිවන් කරම් අඩු වියදමෙන් චාම් ලෙස ඇඳුම් පැළැදුම් පිළියෙළ කැරගන්නට සිංහල බෞද්ධ කාන්තාවෝ සිතට ගනිත් වා! එ සේ ම ආගමික වූ ද ජාතික වූ ද උත්සවයනට සහභාගි වන විට ජාතික වූ ද චාම් වූ ද ශිෂ්ටාචාරයට ගැළැපෙන්නා වූ ද ඇඳුමින් සැරැසී යන්නට සෑම බෞද්ධයෝ ම සිතට ගනිත් වා!

 

රසවාහිනී පොසොන් කලාපය 2501 / 1957

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

මැදුම් පිළිවෙත ...
බුදු රදුන් කුල කාන්තාවනට දුන් අවවාද ...

Leave a Reply

IFBC Home Page