ගමේ කුස්සියට මොකද උනේ ?

අදනම් ලෝකෙ හරි දියුණුයි. ගෙවල් දෙරවල් නවීන ඉලෙක්ට්‍රොනික් බඩුවලින් පිරිල. විනාඩි පහෙන් බත් මුට්ටියක් උනත් උයල දෙයි. විනාඩි දෙකෙන් අයිස් හදල දෙයි. අලුත් කෑමත් එමටයි. දැන් ගෙවල්වල බත් උයන‍්නෙ නෑ. උයන්නෙ “රයිස්”. මාලුපිණි උයන්නෙ නෑ. “කරි” තමයි ඉදෙන්නෙ. කපන්න කොටන්න දේවලුත් නෑ. පැගට් එක කැඩුව. වලදට දැම්ම. රසකාරක පැකට් එක ‍දැම්ම. පොල් පිටි කිරි දියකරල වැක්කෙරුව. තැම්බුව. ගිල්ල. අද ඉන්න “භාග අම්මල” හරියට ළමයි දහයක් වැදුව වගේ. හැරෙන්න, පෙරලෙන්න, නැමෙන්න කැමති නෑ. හරියට අර චීන ඊරියො වගේ. මනුස්සය කීය හරි ගෙනත් දුන්නම ත්‍රීවීල් එකට කියල ගෑස් එක ගෙන්න ගන්නව. රයිස්කුකර්ථ ටොස්ටර්, බ්ලෙන්ඩර්, අවන්, අරව මේව ඔක්කොම ප්ලග් වලට ගහනව. හරියට ගරාජ්එකක් වගේ කුස්සිය. ඉතින් මොනව හරි කඩෙන් ගේන වහ ගහපු එලවලුවක් තම්බනව. ඊටපස්සෙ රස නැති වෙනකොට අජිනමොටෝ, මැගී සුප් දානව. ඉතින් ගිලපන්. ඊටපස්සෙ ලෙඩ ගොඩවල් ශරීර. ඉතින් ගෑනුන්ගෙ ඇට දිරන්න පටන්ගන්නවලු. මේ මේ ඇට කිව්වෙ ඇටකෝටු ගැන හොදද. ඉතින් බීපන්කො ඇන්ලීන්. ඊලගට වෙන වෙන අමාරු. ඉතින් පලයන්කො චැනල් කරන්න. මනුස්සය මොයන ඔක්කොම චැනල් කොරන්න වියදම් කොරනව. යන්නෙත් ගමේගොඩේ වෙද මහත්තුරු ගාවට එහෙම නෙවෙයි. ඉස්පෙෂලිස්ට්ල හම්බවෙන්න. ඒකත් හරි තමයි. ගිලින වසවිෂ වල හැටියට හැදෙන ලෙඩ අපේ දොස්තරලට හොයන්න ලැබෙන්නෙ නෑ.
බලන්නකො අපේ අතීත ගෙදර කුස්සිය. මොනතරම් සරලද? ‍ෙකා් ඔය කියන ලෙඩ. කෝ ඔය කියන විටමින් අඩුපාඩු. ඕව මොකුත් නෑ. ඒකට හේතුව තමයි සරල ජීවන රටාවෙ ඇතුලෙ සංකීර්ණ පෝෂණයක් අපේ ගැ‍මි ගෙවල්වල තිබුන. උයන්නෙ දර ලිපේ මැටි වලංවල නිසා ආයි අජිනමොටෝ ඕනි නෑ. අපේ පැරණි සිංහල ක්‍රමයට අනුව වසර පටන්ගන්නෙ බක් මාසෙන්.

බක් මහ සැමරුමට සූදානම් වෙන්නෙ අස්වැන්න නෙළාගෙන, අටුකොටු පුරවා ගත්තට පස්සෙයි. මේ කාලෙදී සෑම ආකාරයකින්ම සශ්‍රීකත්වයට පත්වෙලා සිටින නිසා. කඩේට ගිහින් ගේන්න තිබුණෙ බඩු අඩු ප්‍රමාණයක්. පළමුවෙන් ම අලුත් සහලින් දේව දානය දීලා, ඊට පස්සෙ අලුත් අවුරුද්ද සමරන්න කටයුතු කළා. අදත් මේ තත්ත්වය දකින්න පුළුවන්. ඒත් එදා ගමක් ගත්තොත් වැඩිපුර සිටියෙ ගොවියො. අද තිබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. අද ඉන්නෙ විවිධ රැකියාවලට යන අය. ගොවිතැනින් ජීවිකාව ගෙවන අය අඩුයි. මේ නිසා එදා මා දුටු සශ්‍රීකත්වය, සරු බවින් පිරුණු අලුත් අවුරුද්ද, නිදහස නැතිවෙලා ගිහින්. එදා කැවුම්, කොකිස් හැම ගෙදරකම ඉව්වා. ඒත් අද කඩෙන් අරන් ඇවිත් අවුරුදු මේසයට තියන තත්ත්වයක් දකින්න තියෙන්නෙ.
එදා බෙදා හදාගෙන කෑවත්, අද ජීවන රටාව වෙනස් වීම නිසා එවන් තත්ත්වයක් දකින්න නෑ. පරගැති බව හා ණයගැති බව නිසා මුළු සමාජ ක්‍රමයම උඩු යටිකුරු වෙලා. මට මතකයි ඒ කාලේ අපේ අම්මා හාල් මිටක් හැමදාම මුට්ටියක දාලා ඉතිරි කළා. ගෙදරට එන නැති බැරි කෙනෙකුට, දානයකට දෙන්න ඒ හාල් ප්‍රයෝජනයට ගත්තා. එදා වැසි කාලෙට පෙර වෙනමම සූදානමක් තිබුණා. කොස් ඇට එකතු කරලා වැලි කොස් ඇට මුල්ලක් හැදුවා. ලුණු දෙහි, අටු කොස්, අඹ එකතු කළේ ඒවා නැති කාලෙදි ප්‍රයෝජනයට ගැනීමටයි. එදා ඉතිරි කිරීම් කළේ මුදලින් විතරක් නෙමෙයි. ඒත් එදා පැවැති මේ සමාජ රටාව අද වන විට වෙනසකට ලක් වෙලා. මවුපියො ආදර්ශ චරිත විදිහට නොසිටීම නිසා, පරම්පරා ගණනක් තිස්සේ පැවැති චාරිත්‍ර වාරිත්‍ර වත්මන් දරු පරපුරට උරුම වෙලා නෑ.
අපේ මහගෙදර හෝ වෙනත් ගැමි ගෙදරක කුස්සියට පැත්තකින් ඇත්තේ දිය මැස්සකි. දිය මැස්ස යනු ශක්තිමත් කණු හතරක් මත, කිතුල් පටි ගසා සකස් කළ ශක්තිමත් මැස්සකි. ඒ මත කළ ගෙඩි දෙක තුනක්, එය හොඳින් පිරිසුදු කරගත් ලොකු පොල් කටු වලින් වසා ඇත. ඕනෑම කෙනකුට වතුර බොන්න අවශ්‍ය නම් දියමැස්ස ළඟට ගොස් වතුර පානය කළ හැකි ය. වැරැදිලාවත් දිය මැස්සේ කළයක වතුර නොමැති නම් වතුර තිබෙන අනෙක් කළයෙන් බීමේ පුරුද්දක් නැත. කෝප්පය දිය මැස්සේ තබා ළිඳට ගොස් වතුර කලයක් ගෙනැවිත් වතුර බොනු ඇත. ඒ නිසා දිය මැස්සේ කළ ගෙඩි කොයි වෙලාවේත් ජලය පිරී තිබිණි. එය ගෙදර වාසනාවන්තකමේ ලක්ෂණයක් ලෙස ගැමියෝ සැලකූහ.
එහෙත් අද කාලයේ නම් සෑම ගෙදරක ම පාරේ නළ ජලය ඇත. ඒ නිසා ජලයේ අරපරෙස්සමක් ද නැත. වත්ත පහළ ළිඳෙන් දිය ඇද වතුර බිව් අපට ජලය අපතේ යාමට හුරුවක් නොවුන නමුත් අද සමහර තැන්වල ජල කරාමයක් ඇරියොත් ඇරියාම ය.

දිය මැස්සට එහායින් තවත් මැස්සකි. එය ඒ තරම් ශක්තිමත් නොවූවත් කණු හතරක් මත පුවක් පටිවලින් හෝ සවිමත් ලී කෝටු වලින් තනා ඇත. එය ‘වළං මැස්ස’ නම් විය. උදේට, දවාලට හැලි වළං සෝදා වේලෙන්නට තබන්නේ මෙහි ය. දැඩි හිරු රැසින් වළං වල යම් විදියකින් වෛරස්, විෂබීජ, බැක්ටීරියා තිබුණේ නම් නැති භංගවනු නියත ය. ඒ නිසා අතීතයේ රෝගීන් අඩු විය.
ඊටත් ටිකක් ඈතින් ඇත්තේ දර මඩුවයි. හතර පැත්තම විවෘතව ඇති එහි එක් තැනක වියළි පොල් කොළ අතු ය. තවත් තැනක, වියළා ගත් පොල් ලෙලි ය. අද මෙන් ඩෙංගු මදුරුවන්ට නිජ බිම් වන පොල් කටු ද වියළා එක් මුල්ලක ය. ඊළඟට ඇත්තේ ළිපේ දැමීමට සැකසූ, කුරුඳු දර, කැලෑ දර, පොල්පිති යනාදිය වෙයි. වහලේ එල්ලා ඇත්තේ කොළපු හනසු ය. මිටි බැඳ ඇති ඒවා පසු කාලයේ දී කැවුම් උයන්නට උපයෝගි කරගන්නා වහා ඇවිලෙන සුලු දාහක විශේෂයකි. එදා අපට ගෑස් ගණන් ගියාට කේන්ති යන්නේ නැත. ගෑස් ඉවර වුණාට කලබලයක් නැත. ගෙදර කොයි කවුරුත් එකතු වී හවස් කාලයේ දර සපයා ගැනීම එක්තරා විධියකට ව්‍යායාමක් මෙන් ම විනෝදාංශයකි.

අපේ දර මඩුවේ මැද අඩියක් පමණ උසට මැටියෙන් තැනූ බිත්ති හතරකින් වට වූ කොටුවකි. එහි වියළි මැටි සහ වැලි ඇත. වැල වරකා කාලයට එකතු වන කොස් ඇට හොඳින් සෝදා වියළා ගෙන මෙහි තබා ඇත.

පොල් කටුව නම් කුස්සියට නැතුවම බැරි දෙයකි. අප කුඩා කාලයේ අලස වුවහොත් ‘කම්මැලි කොල්ලනේ, පොල්කටුව ගෙන අතිනේ, පලයවු හිඟමනේ, තොපට වෙන නැත වැඩක් ඉතිනේ’ යයි කීවේ අලසකම දුරු කරවන්නට ය.
පොල් නටුවෙන් නිමැවූ පොල් කටු හැන්ද නම් අද ගෙවල්වල ඇත. අපේ කුස්සියෙ ‘හැඳි අලුව‘ නම් දෙයක් දුම අයිනේ එල්ලා ඇත. එය පන් වලින් වියා ඇත. නැති නම් පුවක් කොළයකින් කපා සිදුරු සාදා ඇත.

එහි විවිධ හැඳි තබා ඇත. බත් හැන්ද, කැඳ හැන්ද, මාලු හැන්ද, එළවලු හැන්ද, බැදුම සඳහා හිල් විඳින ලද හැන්ද, රස කැවිලි සඳහා අලුවා හැන්ද, යනාදී ලෙස හැඳි එල්ලා ඇත. මේවායේ ස්ථානගතවීම අනුව කුස්සියේ කවුරුත් හැඳි හඳුනනවා ඇත.
‘ලුණු පොල් කටුව‘ නම් අවශ්‍යමය. ලුණු පොල් කටුව ශිව දෙවියන්ගේ කුස්සියේ සිට පැවැත ගෙන ආශ්චර්යවත් බඳුනකි. ශිව දෙවියන් කරදිය වළල්ල වටේ යාමට ගණ දෙවියන්ට කීවිට තම මී වාහනයෙන් පොල් කටුව වටේ රවුමක් ගසා පෙන්වා තම බුද්ධිය ප්‍රකාශ කළ බවට ජනප්‍රවාදයක් ඇත. අපට නම් කුඩා කල ලුණු පොල්කටුවට සමීප වන්නට වූයේ අමු අඹ, වෙරලු, ලොවි, ඇඹැරැල්ලා ආදිය රස බලන්නට අවශ්‍ය විටක දී ය. ලුණු සමඟ ප්‍රතික්‍රියා නොකරන පොල් කටුව චිරාත් කාලයක් කුස්සියේ තබා ඇති බව අපට දකින්නට ලැබේ.

ගෙදර දොර මනින මිම්මක් ලෙස ද පොල් කටුව යොදාගනී. කුඩා දරුවන් උපන් මුල් දිනවල නාවන්නේ හිලක් විඳින ලද පොල් කටුවෙනි.
අපට විශාල ප්‍රශ්නයක් වන තැන තැන පොල් කටු විසි කර වතුර පිරි මදුරුවන් බෝ වන සිරිතක් එදා කුස්සියෙන් පාලනය විය. ළිපේ දැමීමට අමතරව, අඟුරු ඉස්ත්‍රික්කයට දැමීමට, සවස් කාලයේ සාම්බ්‍රානි දුම් ඇල්ලීමට යොදා ගන්නා නිසා ද පොල් කටු එක් රැස්වීමක් ද නොවී ය.
කුස්සියේ භාවිතයට ගත් වංගෙඩිය ලොකු බුරුත කොටයකින් හෝ කොස් කොටයකින් හාරා ගත් එකකි. ඇතැම් ගෙවල්වල කලුවර, පතඟි වැනි ශක්තිමත් දැවයෙන් තනා ඇත. මෝල් ගහෙන් හොඳට කෙටීමට පිත්තල විල්ලක් ද දමා ඇත.
අපේ ගෙදර ලී වංගෙඩිය පිටි කෙටීමට, වී කෙටීමට මිස වෙනත් දේකට යොදා නොගනී. පසෙකින් වූ ගල් වංගෙඩිය, මිරිස් තුනපහ කෙටීමට ය.
නැතිනම් ඉඳහිට අතක් පයක් කඩා ගත් විට බෙහෙත් කෙටීමට ද, වයස්ගත වූවන්ගේ වාත අමාරු සඳහා තැවීමට ගන්නා බෙහෙත් කෙටීමට ද යොදා ගනී.

අපේ ගෙවල්වල උදේට පාන් කන සිරිතක් නොවීය. අද කාලයේ මෙන් “නැගිටපාන්’, නැගිටපාන්” කියමින් දුව එන චූන් පාන් ත්‍රිරෝද රථ එදා නොවීය. හීලට පාන් කන එක නම් නොකරන දෙයකි. ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, බත් කෑමට ගන්නේ දවස පුරාම හයිය ශක්තිය තියා ගන්නට ය. එහෙම නැත්නම් හීල් බත් කන්නට දෙනු ඇත. ඒ බව ජනකවියා මෙසේ කියා ඇත.
“එළිය වෙන්න ඉස්සර බැහලා දොර ට
පිරිය වෙන්න අතු ගා පන් මිදුල ව ට
හීලට තිබුණු බත් දීපන් කොල්ලන් ට
රාලට දෙකක් ඇනපන් වැඩකට යන් ට

මෙහෙම කෑම ගෙන පාසල් ගිය අපේ කාලයේ උදේ රැස්වීමේ දී ක්ලාන්ත වන ශිෂ්‍යයන් දක්නට නොලැබුණේ බඩ පිරෙන්න කෑම ගත් නිසා සහ හිස් බඩේම වෑන්වලට නොයන නිසා ය.
මිරිස් ගල මවු ගල සහ දරු ගල නම් විය. මිරිස් ඇඹරීම, තුනපහ ඇඹරීම, අපේ ගෙවල්වල අක්කලාට හොඳ ව්‍යායාමයක් විය. එහෙම අඹරාගත් මිරිස්, තුන පහ ගුලි කුස්සියේ පිඟානක තබා ඒ මත ලුණු කැටයක් තබා මැටි කෝප්පයකින් වසා ඇති සැටි අදත් මතකයට නැඟේ.
එදා අපේ ගෙවල්වල කුඩා බංකු දෙක තුනක් විය. පහළම මට්ටමෙන් වාඩිවීමට ‘කොලම්බු’ නම් වූ බංකුවක් විය. අපේ පවුලේ අයියලා, අක්කලා, නංගිලා හවසට වාඩි වී ආගිය තොරතුරු කතා කරමින්, විනෝද වන්නේ මේවායේ වාඩි වෙමිනි. සමහර විට අවට ගෙවල්වල නෑයින් ද එනු ඇත. ඇත්තටම එදා අප කතා කළේ ඕපා දූත නොව සමාජ සබඳතා පවත්වා ගනිමින් සාමූහික දිවි පෙවතකට ව්‍යවහාර වශයෙන් හුරු වීමකි. කවර ගැටුමක් වුව ද හවසට රෑ බතට ඒවා නිම වෙයි.

අද නම් අවාසනාවකට මෙන් මුහුණ බලාගෙන වට වි ඉඳගෙන පවුලේ අය කතා කරන පුද්ගලාන්තර සබඳතා අවම ය. එක්කෝ පරිගණකයක් ඉදිරියේ ය. නැතිනම් රූපවාහිනිය ඉදිරියේ ය. එසේත් නැත්නම් කන වසාගෙන ජංගම දුරකතනයෙන් දෙබසක ය. කෙසේ වෙතත් ‘එස් එම් එස්’ ලෝකය හමුවේ අපේ මේ පරපුරේ අයට දුරස්ථ සබඳතා වලින් අදහස් පමණක් හුවමාරු කරගනු ඇත.
අපට කුස්සිය ගැන කතා කරන විට ‘අටුව‘ හෙවත් ‘දුම’ ගැන සඳහන් නොකර ම බැරි දෙයකි. කුස්සියේ සාදන ලද ළිප් දෙකට උඩින් දුම සාදා ඇත. ශක්තිමත් දැවයෙන් සාදා ඇති දුමෙහි තට්ටු දෙකක් හෝ තුනකි. ආසන්න තට්ටුවේ නිතර ඉවීමට පිහීමට අවශ්‍ය මැටි වළං ඇත. කරවල මුට්ටිය, උඩින් එල්ලා ඇත්තේ පොල් කටුවක් ද සමඟය. ඒ නිසා මීයන් වැනි සතුන්ට එයට ඇතුළු විය නොහැකි ය. මේ මුට්ටි එල්ලීමට ගන්නේ යකඩ කොකු නොවේ. ලී කෙක්කෙන් කපාගෙන එය උඩු අතට සිටින සේ දුමෙහි පටි අතර එල්ලා ඇත. මේ තට්ටුවේ නොවැරදී ම ඇති දෙයක් නම් වෙනිවැල්ගැටය කි. ඇඟ පත වෙහෙසුන විටෙක වෙනිවැල් ගැට මුට්ටියක් තම්බා පානය කරනු ඇත.

වේලාගත් අටු කොස්, දෙල්කූරු, බිළිං පන් මලු වල දමා ඇත්තේ උඩම තට්ටුවේ ය. උඩ තට්ටුවේ ඇත්තේ තරමක ලොකු වළං ය. ඒවා යමක් කමක්, උත්සවයක් දානයක් පිරිතක් දාට කෑම උයන්නට යොදා ගනී.
අද කාලයේ වගේ සංඛ්‍යාවට අනුව ‘ෆුඩ් සෙන්ටර්’ වලින් කෑම පැකට් හෝ ආහාර බඳුන් ගෙන සංග්‍රහ කිරීමක් ඒ කාලයේ නොවී ය. දුම යටින්, ලුණු මුට්ටිය, කෂාය මුට්ටිය ද වෙයි. කෂාය මුට්ටිය වටේට යකඩ කම්බියක් ගැට ගසා ඇත්තේ භූත දෝෂ වලට වඩා හඳුනා ගැනීමේ පහසුවට විය හැකි ය.

දකුණේ උපන් අපට කුස්සිය පැත්තේ ඇති ජාඩි මුට්ටිය ද අමතක කළ නොහැකි ය. යහමින් බලයන්, හුරුල්ලන් වැනි මාලු ඇති කාලයට ජාඩි දමන්නේ මාලු හිඟ කාලයට ප්‍රයෝජනයට ගැනීමටයි. ජාඩි සමඟ රතු කැකුලු බත්’ යයි සඳහන් වුණු හෝටලයක් මා උපන් කොස්ගොඩ ගමේ දකින්නට ලැබුණ ද ඒ කාලයේ අපේ කොයි ගෙදරත් ජාඩි දැමීමේ තාක්ෂණය ගෘහණියන් සතු විය. බලන්න අපේ තාක්ෂණය. බතක් බෙරි උනාම මොකද කරන්නෙ. ලුණු ටිකක් මිශ්‍රකරනවනෙ. මාලුවක ලුණු වැඩි උනාම. අර්තපල් ගෙඩියක් දාන්නකො. අඹවගේ මාලුවකට සීනි ටිකක් දාල බලන්න රහ කොච්චරද කියල. මේව අද අපේ අය දන්නවද?

අද කාලයේ මෙන් ඇලුමිනියම් භාජන හෝ ආහාර නොඇලෙන භාජන හෝ ගෑස් වලට ගැළපෙන මැටි හට්ටි හෝ නොවූයේ ය. හට්ටි මුට්ටි කාර්යය අනුව වෙන් විය. බොල් වී ගිය ඇතිලිය ‘කබල’ නම් විය. කබල ගන්නේ රොටී පිච්චීමටත් යම් යම් දේ බැඳ ගැනීමටත් ය. මුට්ටි තුනක් හාල් වලට වෙන් විය. එක් මුට්ටියක් සුන් සහල් ය. අනෙක් මුට්ටිය ඉවීමට ගන්නා හොඳ හාල් ය. තවත් මුට්ටියක ‘පිං හාල්’ ය. පිං හාල් යනු උයන විට නෑඹිලියෙන් ඉවත් කරන හාල් මීට එකතු කරන මුට්ටියයි. මේ හාල් ඒ කාලයේ එන යාචකයන් සඳහා දෙනු ඇත.
බත් මුට්ටිය, රා මුට්ටිය, කෂාය මුට්ටිය, උනු වතුර මුට්ටිය, කරවල මුට්ටිය, කැවිලි මුට්ටිය, බෙලි මල්, රණවරා පාන වර්ග තම්බන මුට්ටිය, කැඳ මුට්ටිය ඒ ඒ ආහාර සහ ප්‍රයෝජනය අනුව කුස්සියේ වර්ග කර ඇත්තේ ඉතා සියුම් විදියට ය. කුස්සියේ මැටි වළං අතරට, ඇතිලි, හට්ටි, මැටි කෝප්ප, නෑඹිලි, වහන්තරා ආදී සියලු දේ කුඹල් කර්මාන්තයේ හැකියාවන් ය.
කුස්සියේ කුල්ල, ඇතුල්පත, වට්ටිය, පෙට්ටිය, මාගල, දරනුව, වැඩි ප්‍රමාණයක් පන්වලින්, බට පොතු වලින්, වේවැල් වලින්, ඉඳිකොළ වලින් තනා ගෙන ඇත. මේවා ප්‍රයෝජනයට ගෙන අබලි වූ විට පොළොවටම දිරා ගොස් කාබනික කොටස් බවට පෙරළී නැවත ශාක උරා ගන්නවා ඇත. ඒ නිසා අද කාලයේ කියන ප්‍රතිචක්‍රීකරණ කතාවක් නැත. අලුතෙන් ගෙනා කුල්ලේ ඉදුණු බෙලි ගෙඩියක් අතුල්ලා පසු පස ඝන රෙද්දක් අලවන්නේ වඩා සකසුරුවම් ලෙස උපයෝගි කරගැනීමට ය. කුල්ලෙන් පොලන ගීතවත් හඬ කනට හුරු ය. එහි රිද්මය, ලතාව ප්‍රිය ජනකය. ඒ නිසා පාසලක, කලායතනයක කලා උලෙළක් වුවොත් කුලු නැටුමක් අනිවාර්ය විය.

වත්ත පහළට ගොස්, ගොටුකොළ, ගැටතුඹ, සාරණ, පොල් පලා, කිරිහැන්ද, ගෙඳ වර්ග, මුගුණුවැන්න කපා ගෙන එන්නේ ඇතුල් පතට ය. අම්මලා පයට පාගා ගත් පිහිය කොළඹු කොටේ වාඩි වී හීනියට ලියන පලා එකතු කරන්නේ ද අතුල් පතට ය.
කුස්සියට ඇතුලු වනවිට ම උලුවස්සේ අලවා ඇත්තේ වස් දන් සීට්ටුවයි. අසවල් දින හීල දවාල දානය ද හවසට ගිලන්පස අසවල් විහාරස්ථානයේ තුන් නමකට” යනුවෙන් අසම්පූර්ණ වාක්‍යයක් කොපි කොළ තීරුවක ලියා අලවා ඇත.
ඒ එක්කම කඩෙන් මිලදීගත් බඩු ඔතා ගෙන එන්නේ කඩදාසි පත්තරවල ය. කඩදාසි කම්බි කොක්කක එල්ලා ඇත. මෙය මාස දෙක තුනකින් පිරී ඉතිරී ගිය විට සිල්ලර කඩේට දෙනු ඇත. ඒ වෙනුවෙන් ‘ලොසින්ජර’ පහක් හයක් මුදලාලි කඩදාසි ගෙනෙන දරුවාට දෙයි. කුස්සියේ කැලි කසල ඉවත් කිරීම ද ක්‍රමවත් ය. අද මෙන් ප්ලාස්ටික් බාල්දියකට ෂොපින් බෑගයක් දමා එකතු වූ විට ගැටයක් ගසා පාර දෙපැත්තට වීසි කර යාමක් එදා නැත.

තරමක් හිල් වූ බාල්දියකට කුණු එකතු කොට ඒවා කුණු වළකට දමනු ඇත. කුණු වළ පිරුණු විට තවත් වළක් කපා පරණ වළෙහි කෙසෙල් පැළයක් රෝපණය කරනු ඇත. ඒ එදා ගෙදර කෙසෙල් ලබාගත් අයුරු ය.

එදා දර වෙනුවට අද ගෑස් ලිපකි. එදා මැටි වළං වෙනුවට ලෝහමය වළං ය. එදා ලුණු පොල් කටුව වෙනුවට ප්ලාස්ටික් බදුන්වල පුරවා ගත් ජලය විය. පොල් කටු හැඳි වෙනුවට ප්ලාස්ටික් හැඳි ය. බත් මුල් බඳින ලද කෙසෙල් කොළ, නෙලුම් කොළ වෙනුවට ‘ලන්ච් ෂීට්’ ය. සියල්ල ඉතා පහසු ලෙස කර ගැනීමට සිදු වූයේ නවීන තාක්ෂණය නිසා විය හැකි ය. එහෙත් එදා මහ පොළොවේ මැටි වලින් හට්ටි මුට්ටි තනාගෙන, ගහකොළ පත්‍ර, පොතු ආදියෙන් කුලු, වට්ටි, පෙට්ටි හදාගෙන, අපතේ යන දිරා ගිය දරවලින් කෑම උයා ගෙන ලෙඩ දුක් නැතිව හිතේ හැටියට රසට කෑම හැදූ කුස්සිය පරිසරයේ ද්‍රව්‍ය වලින් ඈත් වී ගියේ නිකම්ම නොවේ.

කැකුළු සහලින් පිසින ලද බත් කල් තබා ගැනීම සඳහා ගෙවිලිය භාවිත කළ තාක්‌ෂණය සරල වූවා සේ ම දියුණු ක්‍රමවේදයක්‌ ද උනා. මෙහි දී භාවිත කළ ප්‍රධාන මෙවලම කොළපත විය. කොළපත යනු පුවක්‌ ගසේ අත්ත වියළී වැටෙන විට අත්ත සමග ගැලවී හැළෙන ගසට සම්බන්ධ වූ කොටසයි. කොළපත හොඳින් පිරිසිදු කර පළමුවෙන් ම කළ කාර්යය වූයේ ලුණු වතුර ඉසීම ය. එය විෂ බීජ නාශකයක්ද උනා. ලුණු වතුර ඉසින ලද කොළපතට බත් බෙදා නැවතත් ලුණු වතුර යෙදීමෙන් පසු කොළපත හොඳින් ගැටගසා ගනු ලබයි. මෙසේ කොළපතේ ඔතා ගැටගසා ගත් බත්, වේල් 5ක්‌ පමණ නරක්‌ නො වී තබා ගැනීමට හැකි විය. බලන්නකො අපේ තාක්ෂණය.

මේ බලන්න අපේ ආහාර රටාවන්.
මුදවපු මී කිරි
මුදවපු මී කිරි කල් තබා ගැනීමේ දී පැරැන්නන් විසින් භාවිත කරන ලද ක්‍රමවේද ඉතා ම සරල ය. මුදවපු මී කිරි පිරිසිදු රෙදි කඩක පොට්‌ටනියක්‌ ලෙස ගැටගසා මුළුතැන්ගෙයි වහලේ එල්ලා තැබී ය. මෙසේ එල්ලා තැබූ මී කිරි ඇඹුල් නො වී සතියක්‌ පමණ කල්තබා ගැනීමට හැකි විය. පොල් ගෙඩියේ ආධාරයෙන් මී කිරි මුදවා කල් තබාගැනීමේ ක්‍රමවේදයක්‌ ද ගැමියන් අතර විය. මෙහි දී පොල් ගෙඩියක්‌ පිරිසිදු කර වතුර ඉවත් කර පොල් ගෙඩිය තුළට මී කිරි දමා පසුව සුළං නො වදින ලෙස පොල් ගෙඩියේ සිදුර වසා දමනු ලැබේ. ගෙඩියේ සිදුර වැසීම සඳහා පිරිසිදු රෙදි කැබැල්ලක්‌ භාවිත කෙරෙයි. වතුර ඉවත් කළ පොල් ගෙඩිය තුළට දැමූ මී කිරි මිදෙයි. මේ ආකාරයෙන් මුදවාගත් මී කිරි දින 3ක්‌ පමණ ඇඹුල් නො වී තබාගැනීමට පුළුවන.

මඤ්ඤොක්‌කා අල
මඤ්ඤොක්‌කා අල කපා අව්වේ වියළා මැටි වළංවල ඇසිරීම ද කල්තබා ගැනීම සඳහා භාවිත කළ ක්‍රමවේදයකි.

මාළු
දෛනික ආහාරය සඳහා කැළේ හෝ ගම මැදින් ගලන දොළකින් හෝ ඇළකින් හෝ මාළු අල්ලා ගන්නා ගැමියා මාළු වැලකට ඇමිණීම නිතර ම කළ දෙයකි. මාළු ඇමිණීම සඳහා වැලක්‌ තෝරා ගැනීමේ දී ඔහු මාළු නරක්‌ නො වන වැලක්‌ තෝරාගැනීමට අමතක නො කළේ ය. ඔහු සතු ව තිබුණු දේශීය විද්‍යාත්මක දැනුම අනුව ඒ සඳහා කිරිවැල් හෝ කලවැල් භාවිත කෙරිණි. කැළේ බහුලව තිබෙන බෝ කොළ වැල් තෝරා නො ගත්තේ බෝ කොළ වැලේ ඇමිණූ මාළු ඉක්‌මනින් නරක්‌ වන බැවිනි.

කොස්‌
කොස්‌ කල් තබා ගැනීමේ දී භාවිත කළ ක්‍රමවේද අද බොහෝ දුරට අප්‍රකටව පැවතිය ද ඒ පිළිබඳව විමසීමේ දී දේශීය ආහාර තාක්‌ෂණයේ දියුණු ලක්‌ෂණ මැනැවින් විද්‍යමාන වෙයි. වාරයේ දී අසීමිත ඵල ලබා දෙන කොස්‌ දෛනිකව පාරිභෝජනයෙන් පසු ඉතිරි වන කොටස හෙවත් අතිරේකය කල් තබා ගැනීමේ ක්‍රමවේද මඟින් සංරක්‌ෂණය කෙරිණි. අටුකොස්‌ සෑදීම ප්‍රධාන අංගයක්‌ විය. අටුකොස්‌ ක්‍රම දෙකකට සාදා ගැනිණි. ඇට ඉවත් කර ඉරාගත් කොස්‌ මදුළු නටන උණු වතුරේ බාගෙට තම්බා තද හිරු රශ්මියෙන් වියළා ගනියි. නැත හොත් දින කිහිපයක්‌ වියළා ගැනීමෙන් පසු අටු කොස්‌ වශයෙන් හෝ ලුණු අටු කොස්‌ වශයෙන් හෝ සාදා ගනියි.

අටුකොස්‌
කොස්‌ මදුළු කල් තබා ගැනීමේ දී අටුකොස්‌ මදුළු ලෙස කල් තබා ගැනීම සිදු කෙරිණි. පැසුණු කොස්‌ මදුළු ගෙන එහි ඇට ඉවත් කර ගනී. ඉන්පසුව සිහින්ව ඉරා ගත් මදුළු උණු ජලයේ දමා බාගෙට තම්බා වතුර පෙරා ඉවතට ගත් කොස්‌ මදුළු තද අව්වේ දින තුනක්‌ වියළා ගනියි. මෙසේ හොඳින් වියළාගත් කොස්‌ මදුළු පිරිසිදු වියළි භාජනයකට දමා වාතය ඇතුළු නො වන ලෙස හෙවනේ හුළං නො වදින ලෙස අසුරා තබාගනී.

ලුණු අටුකොස්‌
තැම්බූ කොස්‌ කල් තබා ගැනීම තවත් ක්‍රමයකි. ආහාරයට සුදුසු වන සේ තම්බා ගත් කොස්‌ පළමුව කැබැලිවලට කපා තද අව්වේ වියළා ගනී. ඉන්පසු වාතය ඇතුළු නො වන සේ කවරයක දමා භාජනයක අසුරා තබයි. මෙය ඉතා ම රසවත් ආහාරයක්‌ වන අතර කොස්‌ මදුළු තැම්බීමේ දී ලුණු එකතු කරන බැවින් වියළා ගත් පසුව රසයේ වෙනසක්‌ සිදු නො වේ. මේ අටුකොස්‌වලින් සාදා ගන්නා ආහාරය ලුණු අටුකොස්‌ නමින් හැඳින්වෙයි.

කොස්‌ මදුළු පපඩම් ලෙස සකස්‌ කරමින් කල්තබා ගත් ක්‍රමයක්‌ ද ගැමියන් අතර විය. ඇට ඉවත් කරගත් කොස්‌ මදුළු වෙන් නො වන සේ පලා ගනී. මෙසේ පලාගත් කොස්‌ මදුළු, ලුණු වතුර සාමාන්‍ය ප්‍රමාණයට දමා බාගෙට තම්බා ගනී. ඉන්පසු ඉතිරි වී ඇති වතුර ඉවත් කර ලුණු කුඩු, කහ, මිරිස්‌ යනාදිය දමා තෙලට දමා රන්වන් පැහැ වන තෙක්‌ බැද ගනී. මෙසේ තෙලෙන් බැදීම කොස්‌ මදුළු දිගු කලක්‌ තබා ගැනීමට හේතු වෙයි.

මේ ක්‍රමවලට අමතරව ඉවත දමන කොස්‌ඇට සිවිඩි පවා රසවත් ආහාරයක්‌ ලෙස කල් තබා ගැනීමට පැරැණි ගැමියෝ දැන සිටිය හ. ඉවත දමන කොස්‌ සිවිඩි නටන උණු වතුරේ දමා තම්බා ගනී. ඉන්පසු තද අව්වේ තබා හොඳින් තෙතමනය සිඳෙන තෙක්‌ වියළා ගනී. කල් තබා ගැනීම සඳහා පිරිසිදු වියළි භාජනයක අසුරා වාතය ඇතුළු නො වන සේ වසා තබයි. අවාරයේ දී ප්‍රයෝජනයට ගන්නා මේ කොස්‌ සිවිඩි තෙම්පරාදු කරගත් විට රසවත් වෑංජනයක්‌ වෙයි.

වැලි කොස්‌ ඇට හා අටු කොස්‌ ඇට
පැසුණු කොස්‌ ගෙඩියක ඇට ඉවත් කර තෙතමනය නො රැඳෙන සේ වියළා ගනී. විශාල මැටි භාජනයක්‌ ගෙන එයට වියළි වැලි තට්‌ටුවක්‌ දමා ඉන්පසු පැසුණු පොත්ත සමග තුවාල නො වූ කොස්‌ ඇට දමා නැවතත් ඊට උඩින් වැලි තට්‌ටුවක්‌ දැමීම සිදු කරයි. හොඳින් තද කර කොස්‌ ඇට නො පෙනෙන සේ තබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. මෙහි දී සැලකිය යුතු කරුණක්‌ වන්නේ කොස්‌ ඇට සැඟවීම සඳහා භාවිත කරන වැලි සහ මැටි භාජනය වියළි ස්‌වභාවයෙන් තිබිය යුතු වීමයි. එසේ නො වුව හොත් කොස්‌ ඇට පැළ වීම සිදු වෙයි. බොහෝ ගෙවල්වල මුළුතැන්ගෙයි ගොම මැටි පිහින ලද පොළොවේ බිත්ති දෙකක්‌ අතර මුල්ලකට වැලි කොස්‌ ඇට දැමීම සිදු කරයි.

මෙයට අමතරව අටු කොස්‌ ඇට ලෙස ද කොස්‌ ඇට කල් තබා ගැනීමේ ක්‍රමවේදයක්‌ ගෙවිලිය අනුගමනය කළා ය. හොඳින් පැසුණු ගෙඩියක කොස්‌ ඇට ජලයේ හොඳින් තම්බා ගැනීම සිදු කරයි. ඉන්පසු වතුර ඉවත් කර තද අව්වේ දින කීපයක්‌ දිය සිඳෙන තෙක්‌ වියළා ගැනීමෙන් අනතුරුව භාජනයක අසුරා මාස කීපයකට පසුව හෝ මැල්ලුමක්‌ ලෙස පිස ගැනීමට පුළුවන. මෙසේ වියළා ගත් අටුකොස්‌ ඇටවලින් ආහාර පිස ගැනීමට පෙර මේවා මඳ වේලාවක්‌ වතුරේ දමා පොඟවා ගත යුතු ය.
විද්‍යාත්මක පර්යේෂණවලට අනුව කොස්‌ යනු කාබොහයිඩේ්‍රට්‌ බහුලව අඩංගු ආහාර බෝගයකි. මෙයට අමතරව ප්‍රොaටීන, ඛනිජ ලවණ හා විටමින් වර්ග ද අඩංගු ය.

කොස්‌ ඉදුණු විට වැල හෝ වරකා යනුවෙන් හැඳින්වෙයි. කොස්‌ වාරයේ දී හොඳින් පැසී ඉදුණු වරකා ගෙඩි ඒ අයුරින් ම කල්තබා ගත් අතර මදුළු ලෙස ද කල් තබා ගැනීමට ගෙවිලියට හැකියාව තිබිණි. හොඳින් පැසී ගසේ ඉදුණු වරකා ගෙඩියක්‌ කඹයක්‌ ආධාරයෙන් බිමට බා ගැනීම පළමුව සිදු කෙරෙයි. හුඹස්‌ මැටි ප්‍රමාණවත් ලෙස ගෙන ගොරකා ගම්මිරිස්‌ තැම්බූ ජලයෙන් පදමට හුඹස්‌ මැටි අනාගනී. මෙසේ පදමට අනාගත් හුඹස්‌ මැටි වරකා ගෙඩියේ පිටත මෙන්ම නැට්‌ටේ ද තවරනු ලබයි. මෙසේ මැටි තවරාගත් වරකා ගෙඩිය ශක්‌තිමත් ලණුවක්‌ ආධාරයෙන් නැට්‌ටෙන් දුම් රස්‌නය තරමක්‌ වැදෙන ලෙස කුස්‌සියේ දුමේ එල්ලා තැබීමෙන් මාස 3ක්‌ පමණ ගත වූ පසුත් අලුත් වරකා ගෙඩියක්‌ මෙන් රසයේ හා ගුණයේ වෙනසක්‌ නො වී ආහාරයට ගැනීමට පුළුවන. වරකා මදුළු වශයෙන් ද කල් තබා ගැනීමේ ක්‍රමවේද ගෙවිලිය මැනවින් දැන සිටියා ය. වරකා මදුළු වශයෙන් කල් තබා ගැනීමේ දී පළමුව වරකා මදුළු මී පැණිවල දමා බෝතල්වල අසුරා ඇත. මී පැණි නොමැතිනම් සීනි උණු කර සාදාගත් පැණිවල දැමීමෙන් වරකා බොහෝ කල් තබා ගෙන ඇත.

වරකා වියළා ගැනීමෙන් එහි ස්‌වරූපය වෙනස්‌ කිරීම ද කල් තබා ගත් ක්‍රමවේදයක්‌ විය. මෙහි දී වරකා සිහින්ව ඉරා පළමුව තෙලේ බැදගනී. පසුව අහුරා තබා ආරක්‍ෂිතව ගබඩා කර අවශ්‍ය අවස්‌ථාවල දී පැණි උණු කර එයට මිශ්‍ර කර රසවත් ආහාරයක්‌ ලෙස ආහාරයට ගත හැකි ය.
මේ ක්‍රමවලට අමතරව හොඳින් පිරිසිදු කළ කොළපතක වරකා ගෙඩියේ පිට කටුව ඉවත් කර මදුළු ගැලවී නො යන සේ කොළපතෙහි තබා හොඳින් බඳිනු ලැබේ. ඉන්පසු දුම් මැස්‌සේ ගිනි රස්‌නය නො වැදෙන සේ එල්ලා තබයි. මේ ක්‍රමයෙන් ද මාස තුනක පමණ කාලයක්‌ වරකා කල්තබා ගත හැකි ය. වැල ගෙඩියේ මදුළු ඉවත් වූ පසු ඉතිරි වන වැලවහල්ල හෙවත් වහල්ල වියළා ගෙන අවශ්‍ය වූ විට දී කැබැලිවලට කපා වෑංජනයක්‌ ලෙස සකස්‌ කර ආහාරයට ගැනීම ගෙවිලිය ගේ ආහාර තාක්‌ෂණ දැනුමේ අගය පෙන්වන්නකි.

දෑ හිතකාමීත්වයෙන් යුතුව එරන්ද ලක්මාල් විසිනි.

බෞද්ධ සමාජය තුළ ඔබ කෙබඳු බිරියක් ද?
අපායේ උපතක්‌ ...

Join the discussion One Comment

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.