ගත සිත සුවපත් කරන කාරුනික උපස්ථානය …

යමකු ගිලනුන්ට උවටැන් කරයිද හෙතෙම තමන් වහන්සේට උපස්ථාන කළා හා සමානයි යන බුදුවදනෙන් ද අවධාරණය කරන්නේ රෝගියකුට උපස්ථාන කිරීම ගෞරවාන්විත හා සදාචාරාත්මක කාර්යයක් බවයි. එහිදී ඥාති බන්ධු මිත්‍රාදී හා ස්වකීය පරපුරේ යැයි සිතා තෝරාගත් රෝගී පිරිසකට පමණක් උපස්ථානය සීමා නොකළ යුතුය. තරාතිරම නොබලා දයාවෙන් පිරි සිතින් රෝගීන්ට උවටැන් කළ යුතු වන්නේ කවර හෝ මොහොතක තමන් ද රෝගියකු විය හැකි බැවිනි.

සසර ගමනෙහි මැරෙමින් ඉපදෙමින් නිමක් නැති දුකක් විඳින ලෝක සත්වයා කෙරෙහි බුදුරජාණන් වහන්සේ දැක්වූයේ සානුකම්පිත කරුණාබර ආකල්පයකි. සත්වයාගේ කෙලෙස් රෝගයට මතු නොව කායික රෝග පීඩාදියටද නිවැරැදිම ඖෂධය නිවැරැදිම වේලාවට ලබා දුන් අනූපමේය වෙදැදුරාණන් උන්වහන්සේම විය

මේ ලිපිය මගින් අප බලාපොරොත්තු වන්නේ කායික ව්‍යාධි සඳහා බුදුන් වහන්සේ වදාළ උපදෙස්වලින් බිඳක් විමසා බැලීමටයි. මහාවග්ග පාලියේ එන භෙසජ්ක්‍ධඛන්‍ධකයේ දී, රෝගීන් සුවපත් කිරීම සඳහා පානීය ඖෂධ මෙන්ම විරේචන ක්‍රම පවා අනුගමනය කිරීමට උන්වහන්සේ උපදෙස් ලබා දී තිබේ. විවිධ බරපතළ අසාධ්‍ය තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් සඳහා උවටැන් කළ යුතු පිළිවෙළ බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ.

ඉතා දිළිඳු අන්ත අසරණයාටද පොහොසත් වංශවතාටද නිවන්මඟට පිළිපන් ප්‍රතිපත්ති පූරණය කරන භික්ෂූන් වහන්සේට සහ අතිඋතුම් ලෝකෝත්තර මගඵලලාභී ක්ෂීණාශ්‍රවයන් වහන්සේටද යන කවර තරාතිරමක අයකු හට වුවත් ගිලන් වූ කල වෙනත් අයකුගේ උපස්ථානය පැතීමට සිදුවේ. භික්‍ෂු සමාජයේ කිසිවකුට රොවින් පෙළෙද්දී පිහිටක් නොවී සිටීමට කිසිදු අවසරයක් නැත. “යො ගිලානස්ස උපට්ඨපේති සෝ මං උපට්ඨපේති” යමෙක් ගිලනුන්ට උවටැන් කරයිද හෙතෙම තමන් වහන්සේට උපස්ථාන කළා හා සමානයි යන බුදුවදනෙන් ද අවධාරණය කරන්නේ රෝගියකුට උපස්ථාන කිරීම එතරම්ම ගෞරවාන්විත හා සදාචාරාත්මක සද්කාර්යක් බවයි. එහිදී ඥාති බන්ධු මිත්‍රාදී හා ස්වකීය පරපුරේ යැයි සිතා තෝරාගත් රෝගී පිරිසකට පමණක් උපස්ථානය සීමා නොකළ යුතුය.

තරාතිරම නොබලා දයාවෙන් පිරි සිතින් රෝගීන්ට උවටැන් කළ යුතු වන්නේ කවර හෝ මොහොතක තමන් ද රෝගියකු විය හැකි බැවිනි. එවන් විටකදී කවරකුගේ හෝ සරණක් පැතීමට තමන්ටද සිදුවන නිසාත් රෝගියකුට උවටැන් කිරීමෙන් ජීවිතයේ පවත්නා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය පිළිබඳව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කර ගැනීමට අවස්ථාවක් ලැබෙන නිසාත් රෝගීන්ට කරන උපස්ථානය තමන්ටද මහත් සේ උපකාරවත්ය. පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේට තථාගතයන් වහන්සේ සියතින්ම උවටැන් කිරීමෙන් ගිලානෝපස්ථානයේ වැදගත්කම ආදර්ශයෙන්ම පෙන්වා දුන් සේක.

උවටැන් කිරීමේදි නිවැරැදි ඖෂධය නිසි පරිදි පාවිච්චි කළ පමණින්ම හෝ උපස්ථාන කරන කෙනා යහපත් වූ පමණින්ම රෝගියකු සුවපත් නොවේ. ඒ සඳහා රෝගියා අතින් ද යම් කාර්යභාරයක් ඉටුවිය යුතුය.සංයුක්ත නිකායේ ගිලාන සූත්‍රයෙහි, ගිලනකු විසින් අත්හරිනු ලැබිය යුතු කරුණු පහක් ද අනුගමනය කළ යුතු කරුණු පහක් ද දක්වා ඇත. එයින් පෙනී යන්නේ රෝගියකු වටිනා ප්‍රතිපත්ති කිහිපයක් පුරන පරිද්දෙන් රෝගය දුරුකර ගැනීම සදහා කරුණු කිහිපයක් අනුගමනය කළ යුතු බවයි. රෝග සුවය වෙනුවෙන් කැපවිය යුතු බවයි.අත්හළ යුතු ගතිගුණ අතර මුලටම එන්නේ ‘අසප්පායකාරි හොති” (ලෙඩට අහිතකර දෑ කරන සුළු) යන්නය. අනුගමනය කළ යුතු ඊට සමගාමී යහපත් ගතිගුණය වන්නේ ‘සප්පායකාරි හොති’ (ලෙඩට හිතකර දෑ කරන සුළු) යන්නය. ව්‍යාධියක් වැළඳුණූ පසු පළමුව කළ යුත්තේ ඊට අහිතකර දැයින් වෙන්වීමයි. එසේ නොමැති වුවහොත් කොතරම් ප්‍රතිකාර කළත් ඉන් ඵලක් නොලැබේ. ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් චක්ඛු රොගො, සොත රොගො, ඝාණරොගො, ජීව්හා රොගො, කායරොගො, සීසරොගො, කණ්හ රොගො, මුඛ රොගො, දන්තරොගො යනාදි වශයෙන් දැක්වෙන ව්‍යාධි ජීවිතයේ කවර හෝ මොහොතක වැළැඳිය හැකිය. එසේ වැළැඳුණූ යම් රෝගයක් ගැන නොසිතා නොතකා උණුදිය ඇල්දිය ආදිය සිතු සිතුසේ පාවිච්චි කරමින් ,අව්ව වැස්ස පින්න ගැන නොතකා, අපත්‍ය ආහාර ගනිමින් නොගිලනකු සේ හැසිරීමෙන් ප්‍රතිකාරයේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට නො හැකිය. රෝගයට හිතකර දෑ පමණක් ගනිමින් හැමවිට රෝගයට ඔරොත්තු දෙන විලසින් දෛනික චරියාව ක්‍රියාත්මක කිරීම මින් අවධාරණය වේ.

ගිලනකු අත්හළ යුතු දෙවැනි ගතිගුණය ලෙස සඳහන් වන්නේ, ‘සප්පායෙ මත්තං නජානාති’ (හිතකර දෙයෙහි ප්‍රමාණය නොදන්නේය) යන්නයි. ඊට සමගාමීව රෝගියා කළ යුතු වන්නේ ‘සප්පාය මත්තං ජානාති’ (හිතකර දෙයෙහි ප්‍රමාණය දැනීම) යන්නය. ව්‍යාධියේ සුවතාව පිණිස යම් ආහාරපාන, බෙහෙත්හේත්, ඇවතුම් පැවැතුම් හිතකර වුණත් ඒවායෙහි ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් එකී රෝගය උත්සන්න වෙයි. සමහරවිට රසයෙහි ගිජුකම නිසා ප්‍රමාණයට වඩා ආහාර ගැනීමෙන්, ඉක්මනින් සුවවීමට සිතා පමණට වඩා ඖෂධ ගැනීමෙන් සුවකළ නොහැකි අසාධ්‍ය රෝගියකු විය හැකිය. ඒ නිසා හිතකර දෙයෙහි ප්‍රමාණය දැනගෙන කටයුතු කිරීම ඉතාමත් යෝග්‍යය.

ගිලනකු හට අයෝග්‍ය වන තෙවැනි කරුණ නම් “භෙසජ්ඣං නසේවි හොති (බෙහෙත් නසෙවියේ වේ) යන්නයි. ඊට සමගාමීව තමන් තුළ ඇතිකර ගත යුතු ගුණය නම් “භෙසජ්ඣං පටිසෙවනාති‘ (බෙහෙත් සෙවියේ වේ) යන්නයි. සමහර රෝගීන් බොහෙත් පිළිකුල් යැයි සිතා ද වමනය ඔක්කාරය වන්නේ යැයි කල්පනා කිරීමෙන්ද දුගඳ හමන්නේ යැයි හෝ අමීරස, තිත්තරස හෝ යැයි සිතාද නිශ්චිත බෙහෙත පාවිච්චි නොකරයි. ඇතැම්විට ඉවත දමයි. වෛද්‍ය උපදෙස් අනුව උපස්ථායක ඇතැම්විට ඉතා අසීරුවෙන් සකස් කරගෙන සැලකිල්ලෙන් ලබාදෙන ඖෂධය රෝගියා ප්‍රතික්ෂේප කරන්නේ නම් රෝගය සුවවේද? ඒ නිසා පවතින රෝගී තත්ත්වය අනුව අකැමැත්තෙන් වුවත් නියමිත බෙහෙත ලබාගැනීමට සිදුවේ. සතර නිශ්‍රය දේශනා කිරීමේදී පුතිමුත්ත භෙසජ්ක්‍ධං නිස්සාය පබ්බජ්ජා (ගවමුත්‍රාදී ඖෂධයෙන් පවා භික්‍ෂුව යැපිය යුතුය) යන සම්බුදුවදනින්ද රෝගියකු කටුක ඖෂධයෙන් වුවත් යැපෙන්න වගබලාගත යුතු බව ගම්‍ය වෙයි. භේසජ්ඣඛන්ධකයට අනුව, පවතින රෝගී තත්ත්වය නිසා වලස්තෙල්, මත්ස්‍ය තෙල්, කිඹුල්තෙල්, ඌරුතෙල්, කොටළු තෙල් පවා කකාරවා පරිභෝජනය කිරීමේ යුක්ති යුක්ත භාවය පෙන්වා ඇත.මේ තරම් කඨෝර ඖෂධ සමහර රෝගීන් ඇතැම්විට ජුගුප්සාජනක විය හැකිය. එසේ වුවත් වැළැඳී ඇති රෝගයේ අසාධ්‍යතාව අනුව එය වුවත් පරිභෝජනය කිරීමට සිදුවේ.

‘අත්තකාමස්ස ගිලානුපට්ඨාකස්ස න යථා භූතං ආබාධං අවිතක්කකො හොති’ (රෝගියාගේ හිත කැමැති ගිලාන උපස්ථායකයා හට වැඩෙන රෝගය, සන්සිඳුණු රෝගය නොකියන්නේ වේ) තමන්ගේ රෝගයේ වත්මන් තත්ත්වය රෝගියාගේ සුවය අපේක්‍ෂා කරන උපස්ථායක හට නොදැන්වීම ගිලනකු තුළ තිබිය යුතු යහපත් ලක්‍ෂණයක් නොවේ. ඒ වෙනුවට අනුගමනය කළ යුතු වන්නේ ‘අත්තකාමස්ස ගිලානුපට්ඨකස්ස, යථාභූ®තං ආබාධං ආචික්ඛන්තො හොති’ (රෝගියාගේ හිත කැමැති උපස්ථායකයාට තම වැඩෙන රෝගය වැඩෙන බවත් සන්සිඳුණූ රෝගය සන්සිඳුණූ බවත් ප්‍රකාශ කරන්නේ වේ) යන සිව්වැනි හොඳ ගුණාංගයයි. ඒ ඒ ඖෂධවලින් ඒ ඒ වාරයේදී රෝගය සන්සිඳුණු ප්‍රමාණය, අඩුවැඩි වශයෙන් පවතින ප්‍රමාණය නිශ්චිත වශයෙන් උපස්ථායකයාට ප්‍රකාශ කිරීම ඉතා වැදගත්ය. ඖෂධ අඩුවැඩි වන්නේ්ත්, බෙහෙත් දෙන වාර ගණන අඩුවැඩි වන්නේත්, අලුතෙන් බෙහෙත් වර්ග අඩුවැඩි වශයෙන් මිශ්‍රණය වන්නේත් මේ ප්‍රකාශ කිරීම නිසාය. ඊට අනුව රෝගියා තමන්ගේ රෝගය තමන්ට දැනෙන ආකාරය ගැන නිශ්චිත ප්‍රකාශයක් කිරීමට සිහිනුවණ එළවාගත යුතුය.

මෙම ගිලාන සූත්‍රයේ’ රෝගියකු අත්හළ යුතු පස්වැනි කාරණය, වශයෙන් සඳහන් වන්නේ ‘උප්පන්නංවා ශාරිරිකානං අමනාපානං පානහරනං අනධිවාසක ජානකො හොති’ (උපන් දුක් හෝ තීව්‍ර වු රළු වු කටුක වු අමධුර වු අමනාප වූ ප්‍රාණහරණ වු ශාරීරික වේදනාවන් නො ඉවසන සුළු) යන්නයි. සමගාමීව තමන් තුළ පිහිටුවාගත යුතු ගුණාංගය වන්නේ, උපන්නා වු තීව්‍ර වූ රළු වූ කටුක වූ ශාරිරික වේදනා ඉවසනාසුළු වීමයි. රෝගයෙන් හටගන්නා බරපතළ වේදනාව වුව ඉවසීමේ ගතිය නියත වශයෙන් පැවැතීම රෝගියකුගේ සුවිශේෂ ලක්‍ෂණයක් බව නොකිවමනාය. රෝගයෙන් දැනෙන වේදනාව ඉවසිය නොහැකිව සමහරුන් කෑගසමින් නොයෙක් අසභ්‍ය වදන් කියමින් උමතුවූවන් ලෙස හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. සමහරු වේදනාව ඉවසිය නොහැකිව සියදිවි පවා නසාගනිති.

එවැනි පටු ක්‍රියා බුදුරජාණන් වහන්සේ කිසිසේත් අනුමත නොකළහ. ඉවසීම පාරමිතාවක් ලෙසත් වේදනාව අනුපස්සනාවක් වශයෙනුත් අනුදැන වදාළේ එබැවිනි. ඉහත කරුණට අනුව ඉවසීම හෙවත් ක්‍ෂාන්තියත්,වේදනානුපස්සනාවත් රෝගියකු විසින් මෙනෙහිකළ යුතුය. මෙම අනුගමනය කළ යුතු යහපත් ගතිලක්‍ෂණ පහ සහ අත්හළ යුතු පස්වැදෑරුම් ගතිගුණ ගැන සැලකිලිමත් වීමෙන් රෝගියකු උපස්ථායකයාගේ හිත මනාපය ලබාගෙන සැලකිල්ලෙන් උපස්ථාන ලබනු ඇත. එවැනි ගිලනුන්හට උවටැන් කිරීමට පහසු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

එමෙන්ම සංයුක්ත නිකායේ ගිලාන වග්ගයට, අනුව, විශාලාමහනුවර කූටාගාර ශාලාවේදී රෝගාතුර වු භික්‍ෂුවක අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරුණූ පහකින් සම්පූර්ණ වු ගිලන් භික්‍ෂුවක චිත්තවිමුක්තියත් පඤ්ඤා විමුක්තියත් ලබන බවයි. එම කරුණු පහ මෙසේයි.

1. අසුභානුපසසිං විහරති (කයෙහි අසුබය නුවණින් දැක වෙසෙයි.)
2. සබ්බලෝකෙ අනභීරත සඤ්ඤා (නොඇලීමෙහි සිහිය)
3. ආහාරෙ පටික්කුල සඤ්ඤා (ආහාරයේ පිළිකුල් බව පිළිබඳ සිහිය)
4. සබ්බ සංඛාරෙසු අනිච්චානුපස්සි (සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දැකීම)
5. මරණ සඤ්ඤි (මරණය පිළිබඳ සිහිය)

මෙම කරුණු පහ සමස්තයක් ලෙස සලකා බැලු කල පඤ්චස්කන්ධයේ පවතින අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණ කෙරෙහි ඍජු ආරම්මණයක් තැබීමට රෝගියාට පෙළැඹවීමක් සිදු කෙරේ. එහෙත් මෙය බාහිර වශයෙන් ගත්කල ව්‍යාධියෙන් සන්සිඳීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ප්‍රතිපත්ති මාලාවක් ලෙස සැලකිය හැකිය.

පළමු කාරණයට අනුව, පීඩාකාරි දුක් දෙන රෝගයක් වැළැඳුණූ කල කෑගසමින් කෙඳිරිගාමින් අනුන්ට කරදරයක් වන ලෙස වේදනාව පළකරනවාට වඩා තම ශරීරයේ පවතින දෙතිස් මහා කුණප ගැන සිතීමෙන් අපහසුතා සමනය කරගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇත. තමන්ට කුළුපග දායකයන් හා ඥාතීන් කෙරෙහි ලොල් වී ඔවුන්ගේ පැමිණීම, උදව් ලබාගැනීම හා නොයෙක් ඇප උපකාර ලබාගැනීම ආදිය අදහස් කිරීම මෙහිලා සිහියට නොගත යුතු බවද දෙවැනි කරුණින් අවධාරණය කෙරෙයි. තමන් පිළිගන්නා ආහාරය සමහර විට රෝගයට උචිත, අහම්බෙන් ලැබෙන රසමුසු අහරක් විය හැකිය.එහෙත් ඊට කෑදර සිතින් නැවත නැවතත් ලබා ගැනීමේ අටියෙන් වළඳනවාට වඩා ආහාරයේ පිළිකුල වටහාගෙන අනුභව කිරීම යෝග්‍ය වේ. අනෙක් අතට නිරෝගීව සිට ගනු ලබන ආහාරය ලෙඩ වූ කල සිතට ගතට එපාවීම නිසා ඉක්මනින් පිළිකුල් බව පසක් වෙයි. තෙවැනි කරුණින් අදහස් වූයේ එයයි. එසේම තමන් විසින් තම අන්තේවාසිකයන්ට, දායක පාර්ශවවලට කරන ලද මෙහෙවර ගැන සිතමින් හා ඔවුන්ගෙන් තමන්ට ලැබුණු නොලැබුණු පුද සත්කාර ගැන සිතමින් කාලය නැසීමට වඩා ඒ සියල්ලෙහි අනිස්ථීර බව සලකා කටයුතු කළ යුතු බවද සිව්වන කරුණින් සිහිකර දෙයි. ‘මරණ සඤ්ඤි’ යන පස්වැනි කරුණෙන් කායික විපරිණාමයේ ස්වභාවය තුළින් මරණයේ යථා ස්වරූපය මෙබඳු වේයැයි වැටහීමක් ඇතිකර ගනිමින් මරණානුස්මෘතිය කෙරෙහි අවධානය යොමු කළ යුතුය යන්න අදහස් කෙරේ.

කෙනෙකු කායික වශයෙන් ලෙඩ වු විට ඇතැම් විට ඊටත් වඩා වේගයෙන් මානසික වශයෙන් ලෙඩ වේ. කායික ව්‍යාධියට මුහුණදීමේදී ශක්තිමත් මනැසක් ඇතිකර ගැනීම තුළින් රෝගයෙන් මිදෙමින් සමබර සෞඛ්‍ය තත්ත්වයක් රඳවා ගැනීමට ඉහත කරුණු පහ වැදගත් වේ.

සංයුත්ත නිකායේ ගිලාන වග්ගයේ සඳහන් පරිදි, රෝගී වූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේටද මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේටද සප්ත බොජ්ඣංග ධර්ම මෙනෙහි කරමින් සූත්‍ර දේශනා බුදුහිමියන් විසින් පවත්වන ලදී. එමෙන්ම මහාචුන්ද හාමුදුරුවන් වහන්සේට අනිච්චසඤ්ඤා ,අනත්තසඤ්ඤා , අසුබ සඤ්ඤා , පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා, සබ්බ ලොකේ අනභිරත සඤ්ඤා, සබ්බ සංඛාරෙසු අනිච්ච සඤ්ඤා ආදි වශයෙන් මෙනෙහි කරන ලෙස දේශනා කළේද කායික ව්‍යාධියක් හටගත් අවස්ථාවකදීය.

රෝගියකු හට උපස්ථාන කරන උපස්ථායකයාද උවටැන් කිරීම සඳහා කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුතු සිහි බුද්ධියෙන් වැඩකරන අයකු විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. විශේෂයෙන් සංයුක්ත නිකායේ ගිලානුපට්ඨාන සූත්‍රයේදී උපස්ථායකයකු විසින් දුරැලිය යුතු කරුණූ පහක් දක්වා ඇත. එවැනි ලක්‍ෂණවලින් යුතු අය ගිලනුන්ට උවටැන් නොකළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. එම ලක්‍ෂණ පහ මෙසේයි.

1. බෙහෙත් සංවිධානය කිරීමේ හැකියාවක් නොමැතිවීම
2. සප්පායදෑ,අසප්පාය දැ නොදැනීම; එනම් රෝගියාට හිතකර -අහිතකර දෑ නොදැනීම
3. මෙත්සිත නැතිකම සහ ලාභ අපේක්‍ෂා ඇතිව උවටැන් කිරීම
4. මළමුත්‍ර වමනය සහ කෙළ ආදිය පිළිකුල්වීම
5. කලින් කල කළ යුතු දැහැමි කතාවෙන් කරුණු දක්වන්නට හෝ සමාදන් කරවන්නට හැකියාවක් නැතිකම

මේ කරුණු අනුව පෙනී යන්නේ රෝගියකුට උවටැන් කළ යුත්තේ ඒ වෙනුවෙන් උනන්දුවක් ඇති, පැසුණූ බුද්ධියක් සහ කරුණාබර හදවතක් ඇති අයකු පමණක් බවයි. රෝගියාද ධර්මය පසක්කර ගැනීමට රෝගය මාධ්‍යක් කරගත යුතු බව මින් පෙනේ. රෝගය යනු මරණයෙහි අනුගාමික ඡායාවක් වන අතර රෝගියා උපස්ථායකයාගේ හිත දිනාගෙන, ඖෂධයෙන් යැපී ඉක්මනින් සුවපත් වීමට සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතු බවද මේ අනුව නිගමනය කළ හැකිය.

උපුටා ගැනීම – http://www.lakehouse.lk/budusarana/2012/12/20/tmp.asp?ID=fea01

මම එරන්ද ලක්මාල්ද සිල්වා

මිනිස් ලොව සිටිය දී දෙව් විමන් ලද කුමරා ...
භාගිණ්‍යෙ සංඝරක්ඛිත පොඩි හාමුදුරුවෝ ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.