Skip to main content

ගත සිත සමාධි ගත වන පොළොන්නරුවේ ගල් විහාරය …

ඉපැරැණි පොලොන්නරු පුද බිමේ පිහිටි බෞද්ධ සිද්ධස්‌ථාන අතුරින් ගල් විහාරයට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි.
ලක්‌වැසි බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨ උරුමයක්‌ද වන මෙය දූරාතීතයේ පටන්ම වන්දනීය, පූජනීයත්වයට පත්ව තිබේ.
දොහොත් මුදුන්දී, සාධුකාර දෙමින් සැදැහැවතුන් මෙහි පැමිණෙන්නේ ජීවමාන බුදුන් දකින්නට මෙනි.මෙම නිසල ආගමික පරිසරයේ කොතකුත් වේලා සමාධිගත වන්නට හැකි යෑයි කිවහොත් වඩා නිවැරදිය.
වන අරණක සෙවන ලබන බිමේ ගල් කුලකට බුදුගුණ ගැන්වීමෙන් හෙළ කලාකරුවාගේ විස්‌මිත නිර්මාණ හැකියාව එක්‌ පසෙකින් ලොවටම විදහා දැක්‌වීමකි.


බුදුන් පුදන්නට එන සැදැහැවත් පිරිසට මෙන්ම විශිෂ්ට කලා නිර්මාණයක අගය දකින්නට රිසි ඕනෑම අයෙකුට එතුළින්ද සිත සුවපත් කර ගැනීමට මෙහිදී හැකියාව ලැබෙනු නොඅනුමාය.

දොළොස්‌වන සියවසේ පොළොන්නරුවේ රජකම් කළ ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් කැරවූ ගල්විහාරය ඇතුළු බෞද්ධ ආගමික සිද්ධස්‌ථාන, වෙහෙර විහාර අපට කියා පාන්නේ එකල රටේ පැවැති ආර්ථික මෙන්ම ආගමික දියුණුවය.

ඉපැරණි පොලොන්නරු පුදබිමේ අනෙකුත් සිද්ධස්‌ථාන අතුරින් ගල්විහාරය අපට වැදගත් වන්නේ පෙර සඳහන් ලෙසින් ජීවමානව බුදුන් දැකිය හැකි බඳු පින් බිමන් නිසාවෙනි.

ජීවය කැටිකොට ගල් කුල මතින් එක්‌ පෙළකට සිටින සේ මතුකරගත් බුදු පිළිම හතරක්‌ ප්‍රධාන වශයෙන් අපගේ නෙත ගැටෙන්නෙකි. දෙස්‌ විදෙස්‌ පුරා විද්‍යාඥයන් පවා විවිධ මත පළකොට තිබෙන ගල් විහාරයේ මෙහි විශිෂ්ට නිමැවුම මහා පැරකුම්බාවන්ගේ සුවිශේෂි විහාර කර්මාන්තයට නව අරුතක්‌ සපයන්නක්‌ ලෙසද එම විද්වත් මත හෙළිකොට ඇත.
ගල් විහාරයේ මෙම බුද්ධ ප්‍රතිමා සම්බුද්ධ චරිතයේ යම් කිසි අවස්‌ථා හතරක්‌ නිරූපණය කිරීම සඳහා මෙසේ නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ගල් විහාර බුද්ධ ප්‍රතිමා පෙළෙහි බුද්ධ ප්‍රතිමා හතරෙන් දෙකක්‌ සමාධි මුද්‍රdවෙන් වැඩ හිඳින පිළිම වන අතර එකක්‌ හිටි පිළිමයෙකි. අනෙක්‌ බුදු පිළිමය සැතපෙන පිළිමයෙකි. ගල් කුලෙහි වම් පස ඉදිකොට ඇති හිඳි පිළිමය උසින් අඩි 15 ක්‌ පමණ වේ. සමාධි මුද්‍රdවෙන් යුත් මෙම පිළිමය ගල්කුල සියුම් ලෙස හාරා මතුකරගත් අපරිමිත බුදු ගුණය විහිදුවන විස්‌මිත නිමැවුමකි.

ලෙන තුළ වැඩ හිඳින අනෙක්‌ පිළිමය තුළින් බුදුරදුන්ගේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණ විදහා දැක්‌වෙන බව කියෑවේ. උසින් අඩි 04 යි අඟල් 07 ක්‌ පමණ තරම් වන මෙම සමාධි බුදු පිළිමය පිහිටි ලෙන විඡ්ජාධර ගුහාව (විධ්‍යාධර) ලෙසින් හැඳින්වේ. මෙම ලෙනෙහි ඇත්තේ මහා මායා දේවිය මරණයෙන් පසුව තව්තිසා දෙව් ලොව මාතෘ දිව්‍ය රාජයාව ඉපිද සිටියදී එම දෙව් රදුන් ඇතුළු පිරිසට ධර්මය දේශනා කළ අවස්‌ථාව නිරූපණය කිරීමක්‌ බවද කියෑවේ.
ගල් විහාර පුදබිමේ සෙසු පිළිම අතුරින් හිටි පිළිමයද ඉතාමත්ම සුවිශේෂීය. ලෝක ප්‍රකට ගල් විහාර බුදු පිළිමය මෙය ලෙසින් හැඳින්වීම නිවැරදිය. අඩි 22 යි අඟල් 09 ක්‌ උසින් යුත් මෙම හිටි පිළිමය තුළින් නිරූපණය වන්නේ බුදුන් වහන්සේ පරිනිර්වාණයට එළඹ ධ්‍යාන සුවයට සමවැද මොහොතක්‌ ඉන් නැගී සිටි අවස්‌ථාවය. ලෝ වැස්‌සන් වෙනුවෙන් ඉටුවිය යුතු සියලු කාර්යයන් තමන් වහන්සේ වෙතින් ඉටුවී දැයි විමසා බලන අවස්‌ථාව මෙය බවත් එම සියලු කාර්යයන් නොපිරිහෙලා මනාව ඉටුකිරීමෙන් තමන් වහන්සේ ලද ප්‍රීති ප්‍රමෝද බුදුන් වහන්සේගේ මුහුණින් මේ අවස්‌ථාවේ පිළිබිඹු වන බවද විද්වත් මතය වී තිබේ. මෙය සෙනරත් පරණවිතාන සූරීන් හඳුන්වා ඇත්තේ පරදුක්‌ඛදු(ත මුද්‍රdවෙන් හිඳිනා ආකාරය නිරූපණය කෙරෙන පිළිමයක්‌ ලෙසිනි.
ගල් විහාරයේ සැතපෙන පිළිමය පිහිටා ඇත්තේ දකුණු දිසාවෙහිය. දිගින් අඩි 46 අඟල් 04 ක්‌ තරම් සුවිසල් බුදු පිළිමයද විස්‌මිත නිමැවුමකි.

මෙය බුදුන් වහන්සේගේ පරිනිර්වාණ අවස්‌ථාව ලෙසද උන්වහන්සේ සැතපී සිටින ආකාරය නිරූපණය කරන්නක්‌ ලෙසටද මෙම පිළිමය සම්බන්ධයෙන් මතයන් පවතී.

බොහෝ දුරට මෙය බුදුරදුන්ගේ පරිනිර්වාණය සංකේතවත් කරන්නක්‌ ලෙස පිළිමයේ ඉරියව් පිළිබඳව විග්‍රහ කරන නූතන පුරාවිදු ඇදුරන් මත පළකොට තිබේ.

පොලොන්නරු පුදබිමේ මෙම සුවිශේෂි බෞද්ධ සිද්ධස්‌ථානය, ශ්‍රේෂ්ඨ කලා නිර්මාණය අබිමුවට පිවිසෙන විට දිස්‌වන බුදුපිළිම අතරේ තිබෙන පර්වත ලිපියද අපගේ විශේෂ අවධානය යොමුවිය යුත්තකි.
ගල් විහාර කතිකාවත නමින් හැඳින්වෙන මෙම පුවරු ලිපිය මහා පැරකුම්බාවන් බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම ඉටුකළ අමිල මෙහෙවර අපට කියා පාන්නකි. විශේෂයෙන්ම භික්‍ෂූන් වහන්සේගේ විනය පැවැත්මට ඉවහල්වන නීති රීති කෙටුම්පත් කරන ලද ශිලා ලේඛනයකි. මහා පැරකුම්බා රජු දිඹුලාගල විසූ මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ අවවාද, අනුශාසනා මග පෙන්වීම යටතේ මෙම අණපනත් ඇතුළත් කතිකාව කෙටුම්පත් කළ බවද කියෑවේ.
සැබැවින්ම සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා කටයුතු කළ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පාලකයකු ලෙස මහා පැරකුම්බාවන්ගේ නාමය වංශ කථාවන්හි ඉහළින්ම ලියෑවී තිබේ.

ගත සිත සමාධි ගත කරන නිසල ආගමික පරිසරයෙන් සමුගන්නට පෙර එම අතීත රජ දරුවන් කෙරෙහිද අපගේ ගෞරවය ආචාරය නිතැතින්ම හිමි විය යුතුය.

කරුණාරත්න ගමගේ

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.