කොණාගමන බුද්ධ වංශය ( Koṇāgamana Buddha Wanshaya ) - IFBC Organization | Dhamma

කකුසඳ බුදුරදුන් ට පසු කාලයෙ හි සම්බුදු වූ දෙපා ඇති සතුන්ට උතුම් වූ ලොව ට උසස් වූ නරදෙටු “කෝණාගමන” නම් ජිනරාජතෙම පහල විය. දස පෙරුම් දම් පුරා සසර කතර ඉක්මවූ සේක. සියලු කෙලෙස් මල සෝදා හැර උතුම් සම්බෝධිය ට පැමිණි සේක.

කොණාගමන නම් ලෝනාහිමිඳු දම්සක් පවත්වන කල් හි කෝටි තිස් දහසක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය. මිසදිටු වාද මැඩීමෙ හි ලා පෙළහර කරන කල් හි ද කෝටි විසි දහසක් දෙනෙකුන් ට දෙවන ධර්මවබෝධය වී ය.

අනතුරු ව පස්මරුන් දිනූ කෝණාගමන සම්බුදුරජතෙම විකුවර්ණ ඍධිය කොට දෙව්ලොව ට වැඩි සේක් එ හි පඬුපුල් සලස්නෙ හි වැඩහිඳි සේක. ඒ මුනිඳු ප්‍රකරණ සත දෙසමින් වස් විසී. කෝටි දස දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්මවබෝධය වී.

දෙවියන් ට දෙවි වූ ඒ බුදුරදුන් ට ද, තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති රහතන් වහන්සේලා ගේ එක් සන්නිපාතයක් වී ය. ඒ කාලයෙ හි චතුරෝඝයන් ඉක්මවූ මරණය බිඳදමූ රහත් වූ තිස් දහසක් භික‍ෂූන් ගේ සමාගමය වී ය.
මම ඒ කාලයෙ හි “පබ්බත” නම් රජෙකි. මිතුරන්ගෙන් හා ඇමතියන්ගෙන් යුත්වූයේ බොහෝ සේනා වාහන ද විය. බුදුරදුන් දැකීමට ගොස් උතුම් දහම් අසා ජිනරාජයන් සහිත සංඝයා ට ආරාධනා කොට කැමති සේ දන් දී, පත්තුණ්ණ දේශයෙ හි නිපදවන ලද පිළි ද, චීන පිළිද,  කොසෙය්‍ය පටපිළි ද, කම්බිළි ද, රන් පාදිකා වහන් ද, ශාස්තෘන් වහන්සේ ට හා ශ්‍රාවකයන් ට පිදුවෙමි.

ඒ මුනි සඳ ද, සඟ මැද වැඩහිඳ,  මේ රජ තෙම මේ භජ් කල්පයෙ හි බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

ඒ තථාගත තෙම ඒ දිනයෙ හි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම, බුදූවීම ට උත්සාහකොට දුෂ්කර ක්‍රියා ද කොට ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙ හි හිඳ,  එ හි දී කිරිබත පිළිගෙන නේරංජරාව ට එළඹෙයි.

නැවත ඒ ජිනරාජතෙම නේරංජරා නදී තීරයෙ හි දී කිරිබත වළඳයි. ඉක්බිති බෝධිය කරා එළඹෙයි. මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණු කොට ඇසතු ගස මුල දී බුදුබව අවබෝධ කර ගන්නේ ය.

මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද, “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ. “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි.

අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදුන් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.   අත්පොලසන් දෙත්.   සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ කෝණාගමන බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

මම ඒ බුදුරජුන් ගේ වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි.  දස පෙරුම්  දම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි. මම මිනිසුන් ට උතුම් වූ බුදුරදුන්ට දන් දී, රජය හැරපියා, සර්වඥ බව සොයමින් උන්වහන්සේ වෙත පැවිදිවීමි.

කෝණාගමන බුදුරදුන් උපන් නුවර “සොනවතී” නමි.  එ හ “සොන” නම් රජකේ වී ය. ඒ නුවරෙ හි බුදුරදුන් ගේ මහා නෑ කුලය වාසය කළේ ය. ශාස්තෘ වූ ඒ කෝණාගමන බුදුරදුන් ගේ ඒ පිය තෙම “යඤ්ඤදත්ත”  නම් බමුණු විය.  “උත්තර” නම් බැමිණි තොමෝ මව් වූවා ය.

ඒ  බුදුරජතෙම අවුරුදු තුන් දහසක් ගිහිගෙයි විසී.  “තුසිත” ය,  “සන්තුසිත” ය,  “සන්තුට්ඨි” ය යන උතුම් තුන් පහයක් වූ හ.

මනා ව සරසන ලද පිරිවර අඟනෝ නො අඩු වූ සොළොස් දහසකි. බිරිඳ “රුචිගත්තා” නම් වූවා ය. පුත් තෙම “සත‍ථවාහ” නම් වී ය.

පුරුෂෝත්තම තෙම සතර පෙර නිමිති දැක ඇත් යානයකින් මහබිනික්මන් කළේ ය. සය මසක් මුළුල්ලේ ප්‍රධන් වීර්යයෙ හි හැසුරුණේ ය. මහාවීර වූ මිනිසුන් ට උතුම් වූ කෝණාගමන නම් ලෝනා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ මිගදායෙ හි දී දම්සක් පැවැත්වූ සේක.

කෝණාගමන නම් ශාස්තෘන් වහන්සේ ට “භිය්‍ය” ද,  “උත්තර” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම “සොත‍ථීජ” නම් වී ය. “සමුද්දා” ද,  “උත්තරා” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය “දිඹුල් ගස” ය යි කියනු ලැබේ. “උග්ග” ද, “සොමදේව” ද යන අග්‍රඋපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. “සීවලා” ද, “සාමා” ද යන අග්‍රඋපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.

ඒ බුදිරජතෙම උසින් තිස් අට රියනක් උස් වීය.  උදින් මුවෙ හි රත්රන් යම් සේ ද එ සේ බුදුරදුන් ගේ රශ්මිය පැතිරුනේ වෙයි.

ඒ කාලයෙ හි කොණාගමන බුදුරදුන් ගේ ආයුෂය අවුරුදි තිස් දහසකි.  ඒතාක් කල් උන්වහන්සේ වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක. ධර්ම නමැති සෑයක් ගොඩනගා  සිවුසස් නමැති ධජ පතාකයෙන් හොබවා දහම් නමැති මල් ගුල කොට ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජතෙම  පිරිනිවි සේක.

උන්වහන්සේ ගේ ලොවුතුරු දහම් පළවන මහා විලාසය ද, ශ්‍රාවක ජන සමූහයා ද යන සියල්ල අතුරුදන් විය.  සියලු සංස්කාරයෝ හිස්වූවාහු නො වෙත් ද?

“කොණාගමන” නම් බුදුරජතෙම “පබ්බතාරාමයේ” දී පිරිනිවි සේක.  ඒ ඒ පෙදෙස්වල උන්වහන්සේ ගේ ධාතු පැතිරීම වී ය.

[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, කොණාගමන බුද්ධ වංශය]

කාශ්‍යප බුද්ධ වංශය ( Kassapa Buddha Wanshaya )
කකුසඳ බුද්ධ වංශය ( Kakusanda Buddha Wanshaya )

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.