කොණ්ඩඤ්ඤ බුද්ධ වංශය ( kondanna Buddha Wanshaya )

දිවකුරු බුදුරදුන් ට පසු කාලයෙ හි කෙළවරක් නැති තෙද ඇති,  අපමණ පිරිස් ඇති,  පමණ කළ නො හැකි ගුණ ඇති,  ළංවිය නො හැකි කොණ්ඩඤ්ඤ නම් වූ ලෝකනායක බුදුවරයෙක් විය. උන්වහන්සේ ඉවසීමෙන් පොළව ට බඳු උපමා ඇත්තේ ය.  සීලයෙන් සාගරය ට බඳු උපමා ඇත්තේ ය. සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේ ය. නුවණින් අහස ට බඳු උපමා ඇත්තේ ය.

බුදුරදහු හැම කල් හි සියලු සතුන් ට හිත පිණිස ඉන්ද්‍රිය, බල, බොජඣංග,  මග්ග, සච්ච යන මොවුන් ප්‍රකාශවන දහම් දෙසති. කොණ්ඩඤ්ඤ නම් ලෝ නාහිමිඳුන් දම්සක් පවත්වන කල් හි කෝටි ලක‍ෂයක් දෙවි මිනිසුන් ට පළමුවන වර ධර්මාවබෝධය විය. ඉන් පසු ත් දෙවි මිනිසුන් ගේ රැස්වීමක දහම් දෙසන කල් හි කෝටි අනූදහසක් දෙනා ට දෙවනවර ධර්මාවබොධය විය. යම්කලෙක තීර්ථකයන් මඩිමින් දහම් දෙසී ද,  එ කල කෝටි අසූ දහසක් දෙනා ට තුන්වන වර ධර්මාවබෝධය විය.

මහඍෂී වූ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණ ඇති රහතන් වහන්සේලා ගේ රැස්වීම් තුනක් වූ හ. කෝටි සියක් දහසක් රහතුන් ගේ පළමු රැස්වීම විය. කෝටි දහසක් රහතන්ගේ දෙවන රැස්වීම වී.  අනූ කෝටියක් රහතුන් ගේ තුන්වන රැස්වීම විය.
ඒ කාලයෙ හි මම “විජිතාවී” නම් සක්විති රජ ව,  මුහුදු කෙළවර අවසන්කොට පොළොවෙහි ඉසුරු බව (සක්විති රජය) පවත්වමි. මම ලොව නාහිමිඳු (බුදුරජහු) සමග රාගාදී කිලුටු නැති රහතන් වහන්සේලා කෝටි සියක් දහසක් මිහිරි ආහාරයෙන් වැළඳවීමි. ඒ ලෝනාහිමි වූ කොණ්ඩඤ්ඤ බුදුරදහු ද, මෙයින් (කපින්) පමණ නො කළ හැකි කපෙ හි ලෝකයෙ හි බුදුවන්නේ ය යි මා පිළිබඳ ව ප්‍රකාශයක් කළ සේක. ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද, කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ නමින ඇසතු  ගසක් මුල දී බුදුවන්නේ ය. මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය.   පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය.   මේ තෙම “ගෞතම” නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද,  “උපතිස්ස-” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   “ආනන‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි. අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

මම ඒ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ගේ කීම අසා බොහෝ සේ සිත පැහැදවීමි. ඒ බුදුවීමේ අර්ථය ම සිදුකරගන්නේ (සක්විති) මහරජය ජිනරාජයන් වෙත පිදියෙමි. සක්විති මහරජය පුදකොට උන්වහන්සේ ගේ සමීපයෙහි පැවිදිවීමි. සූත්‍ර පෙළ ද,  විනය පෙළ ද,  නවාංග (කොටස් නවයක් ඇති) ශාස්තෘශාසනය ද, යන සියල්ල ඉගෙනගෙන බුදුසසුන හෙබවීමි. මම ඒ කාලයෙ හි නො පමාවූයේ, වෙසෙසින් සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා,  පඤ්චාභිඤ්ඤාවන් ගේ පරතෙර ට ගොස් බඹලොව පැමිණියෙමි.

මහඍෂී වූ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ගේ නුවර “රම්මවතී” නම් විය.   පියතෙම “සුනන‍ද” නම් රජ ය.   වැදූ මව “සුජාතා” නම් බිසව ය. ඒ කොණ්ඩඤ්ඤ නම් බුදුරජතෙම අවුරුදි දස දහසක් ගිහිගෙයි විසී ය. “රුචි” ය,  “සුරුචි” ය,  “සුභ” ය  යන උතුම්  ප්‍රාසාද තුනක් වූ හ. මනා ව අබරණින් සරසන ලද පිරිවර අඟනෝ තුන් ලක‍ෂයකි.   බිරිඳ “රුචිදේවී” නම් විය. පුත් තෙම “ජිනසේන” නම් විය. කොණ්ඩඤ්ඤ නම් ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රියකින් මහබිනික්මන් කළේ ය. නො අඩු දසමසක් මුළුල්ලේ  ප්‍රධාන වීර්යය හෙවත් බුදුවීම පිණිස වෙර වෑයම් කළේ ය.

මහා වීර්යය ඇති දෙපා ඇති සත්ත‍වයන් ට දෙවි මිනිසුන් ට උතුම් වූ කොණ්ඩඤ්ඤ බුදුරජ තෙම බඹහු විසින් අයදිනා ලද්දේ, දෙවියන් ගේ උතුම් නගරයේ දී හෙවත් දෙව්ලොවදී දම්සක් පැවැත්වූ හ.

මහඍෂීවූ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ට “භද්ද” ද, “සුභද්ද” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ.   උපස්ථායක තෙම “අනුරුද්ධ” නම් වීය. මහඍෂී වූ බුදුරදුන් ට “තිස්සා” ද,  “උපතිස්සා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. සලකලණ ගස බෝරුක විය. “සෝන” ද,  “උපසෝන” ද, යන අග්‍ර උපස්ථායයෝ දෙදෙනෙක් වූ හ. “නන‍දා” ද,  “සිරිමා” ද, යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූ හ. කොණ්ඩඤ්ඤ මහා මුනික්‍ෂ අසූ අට රියනක් උස ය. පුන් සඳ මෙන් ද,  දින මැද හිරු මෙන්ද බබලයි. ඒ කාලයෙ හි අවුරුදි සියක් දහසක්(100,000) ආයුෂ ඇත. ඒතාක් කල් වැඩ වසමින් ඒ බුදුරජතෙම බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.

පොළොව රාගාදී කිලුටු නැති රහතූන් කරණකොටගෙන විසිතුරු විය. අහස තරුවලින් යම් සේ අලංකාර වී ද,  එ සේ ඒ බුදුරජතෙම විශේෂයෙන් බැබලුනේ ය. සීලාදී ගුණයෙන් පමණ නො කළ හැකි සතුරන් විසින් නො කැළඹිය හැකි  ළංවිය නො හැකි,  මහ පිරිවර ඇති,  නාග නම්වූ ඒ රහතුන් වහන්සේලා විදිලි හෙලීමක් මෙන් චරිතයන් දක්වා පිරිනිවුනා හ.

පස්මරුන් දිනූ බුදුරදුන් ගේ පමණ කළ නො හැකි ඒ ඍධිය ද, සවන් නැණ ද,  නිතර වඩන ලද සමාධිය ද යන සියල්ල අතුරුදන් වී සියලු සකරදම් හිස්වූවාහු නො වෙත් ද?

උතුම් වූ කොණ්ඩඤ්ඤ නම් බුදුරජතෙම “චන්දාරාම” යේ දී පිරිනිවි සේක.  එ හි ම විසිතුරු සෑය (දාගැබ) සත්යොදුන් කොට බඳින ලද්දේ ය.
[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, කොණ්ඩඤ්ඤ බුද්ධවංශය]

උපුටාගැනීම – www.thiryak.org

මංගල බුද්ධ වංශය ( Mangala Buddha Wanshaya )
දීපංකර බුද්ධ වංශය ( Deepankar Buddha Wanshaya )

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.