(කාලිගෝධාපුත්ත) භද්දිය මහරහතන් වහන්සේ ... - IFBC Organization | Dhamma

මෙම මහා භද්‍රකල්පයෙහි කල්ප ලක්ෂයකට පෙර “පදුමුත්තර” නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි භද්දිය රහතන් වහන්සේ මහත් ධනවත් පරපුරක ඉපිද සිටියේය. පදුමුත්තර බුදුන්ගෙන් බණ ඇසීමට ගොස් සිටි අවස්ථාවක උන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට කුලීන භික්ෂූන් වහන්සේ අතර අග තනතුර ප්‍රදානය කළ සේක. එය දුටු හෙතෙම පසු දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය උදෙසා මහා දන් පිරිනමා, “ස්වාමීනි, මේ මම කළ මහත් පිනෙන් දේව බ්‍රහ්ම ආදී සැප නොපතමි. යම් බුදුවරයෙක් හමුවේ කුලීන භික්ෂූන් අතර අග තනතුර පතන්නෙමි” යනුවෙන් ප්‍රකාශ කළ විට අනාගතය දෙස දිවැසින් බැලූ ඒ බුදු හිමියෝ, මතු බුදුවන ‘ගෞතම’ නම් බුදු සසුනෙහි එම තනතුර ලැබෙන බවට විවරණ දී වදාළ සේක.

‘ඒ සඳහා කළ යුතු පින් දහම් මොනවාදැ’ යි භික්ෂූන්ගෙන් විචාල විට ධර්මාසන කැරවීම, ධර්මාසන වලට ඇතිරිලි දැමීම, විජිනිපත් පූජා කිරීම, ධර්ම දේශකයන් වහන්සේලාට උපස්ථාන ආදිය කිරීම, පහන් පූජා පැවැත්වීම, ආදී පන්කම් කළයුතු බව දැන්වූහ. ඔහු ද එවැනි බොහෝ පින්කම් කොටැ මිය ගොස්, කාශ්‍යප බුදුන් සමයෙහි බරණැස් නුවර එක්තරා කෙළඹි පුත්‍රයකු වශයෙන් ඉපැදිනි. එසමයෙහි ගන්ධමාන පර්වතයෙන් වැඩමවන පසේ බුදුවරයන් වහන්සේලාට වැඩ සිටීමට ගල් පුවරු අටක් කරවා පූජා කැරෙන ලදී. තව තවත් දානාදී පිංකම් බොහෝ කොටැ, එයින් ද මිය පරලොව ගොස් දෙව් මිනිස් සැප විඳ, අප ගෞතම බුදුන් සමයෙහි කිඹුල්වත් පුරයෙහි විසූ ‘කාලිගෝධා’ නම් ක්ෂත්‍රිය මෙහෙසියගේ කුසයෙහි උපන්නේය. හෙතෙම ‘භද්දිය’යන නම ලැබීය.

තරුණ වියෙහි දීමැ රාජ්‍යත්වයට ද පත් විය. ඉතා කුලුපග මිතුරකු වූ ‘අනුරුද්ධ’ කුමාරයාගේ ඉල්ලීම පරිදි, ඔහු සමග පැවිදි වීමට එකග විය. අනතුරුවැ ඔවුන්ගේ යහලු කුමාර වරුන් වන ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාර වරුන්ද ඔවුනට එක්වූහ. ඔවුන් සියලු දෙනාම පැවිදි බව ලබා ගැනීමට පිටත්වැ රාජ්‍ය සීමාවට පැමිණ තම තමන් සතු වටිනා ආභරණ ආදිය තමන්ගේ සේවකයකු වන ‘උපාලි’ නම් කරණවෑමියා අතට දී, ඒවා ශාක්‍යයන්ට භාර දෙන මෙන් දන්වා පිටත්වැ ගියහ.

උපාලි තෙමේ ද මෙම වටිනා ආභරණ ගෙන ගියහොත් ශාක්‍යයන් තමන් කුමාරවරුන්ට අනතුරක් කරන්නට ඇතැ’යි සැක කරනු ඇති’යි සිතා, එම ආභරණ පොදිය කැමැති කෙනෙක් ගනිත්වා’යි ගසක එල්ලා කුමාරවරුන් වෙතට ගියේය. ඔහු පැමිණෙනු දුටු කුමාරවරු ඔබ කළේ ඉතා යහපත් ක්‍රියාවකි’යි ඔහුට ප්‍රශංසා කළහ. පසුව කුමාරවරු උපාලි නම් එම කරණවෑමියා සමග බුදුන් වහන්සේ වෙතැ එළඹ, “ස්වාමීනි! ශාක්‍යයෝ වන අපි ඔබ වහන්සේ ළඟ පැවිදිවීමට ආවෙමු. එසේම අපි කුල මානයෙන් යුතු ජන වර්ගයක් බැවින් අපගේ කුල මානය දුරු කරනු පිණිස, අපගේ කරණවෑමියා පළමුවැ පැවිදි කරනු මැනවි. එවිට ඔහුට වැදීම් ගරු බුහුමන් කිරීමෙන් අපගේ කුල මානය දුරු කැර ගත හැකිය” යනුවෙන් සැළ කර සිටියහ. බුදුරජාණන් වහ්නසේ ද උපාලි කපුවා පළමුව පැවිදි කළ සේක. මෙසේ කුමාරවරුන් සියලු දෙනාම පැවිදි බව ලබාගෙන නොබෝ කලෙකින් මාර්ග ඵල, ධ්‍යාන ආදිය ලබා ගත්හ. එක්තරා දිනක බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයේ දී භික්ෂූන් වහන්සේලා අමතා “ඒතදග්ගං භික්ඛවේ මම කාවකානං භික්ඛුනං උච්චාකුලීනං යදිදං පුත්තෝ භද්දියෝ” යනුවෙන්.

“මහණෙනි, මාගේ ශාසනයෙහි කුලීන භික්ෂූන් වහන්සේ අතර මෙම කාලිගෝධාවගේ පුත් භද්දිය තෙමේ අග්‍ර වන්නේය” යි අග තනතුර දෙවා වදාළ සේක. මෙලෙස කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණ අග තනතුරු ලැබූ භද්දිය මහරහතන් වහන්සේ බොහෝ කාලයක් ලෝ වැඩ සළසමින් සිට නිරුපධිශේෂ පරිණිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පා වදාළ සේක.

මිහිරි කටහඩ ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරූ ලකුණ්ටක භද්දිය රහතන් වහන්සේ ...
දිවැස් ලැබූ උතුමන් අතරින් අග්‍රවූ අනුරුද්ධ රහතන් වහන්සේ

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.