කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයන් වහන්සේ ( Katharagama Kiriwehera Sthupa )

සොළොස්මස්ථානයේ දහසය වැනි ස්ථානය නොහොත් අවසන් පූජනීය ස්ථානය ලෙස නම් කර ඇත්තේ කතරගම කිරි වෙහෙර ය.

බුදුරජාණන් වහන්සේ අප මාතෘභූමිය වෙත තෙවන වර වැඩි ගමනේ දී කතරගම කිරිවෙහෙර ඉදිකර ඇති ස්ථානයේ ද සමවත් සුවයෙන් වැඩ සිටි නිසා කිරි වෙහෙර ද සොළොස්මස්ථානයන්ගෙන් එකක් වශයෙන් නම් කර තිබේ.

එහෙත් මේ පිළිබඳව සඳහන් වන්නේ ධාතු වංශයේ පමණි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැණ නැගුණු අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේගෙන් එක් නමක් රෝපණය කළ ස්ථානයක් ලෙස කතරගම නම් කර තිබේ. ඒ බව මහාවංශයේ සඳහන් වෙයි. නමුත් බුදුන් වහන්සේ කතරගම වැඩි බවක් එහි සඳහන් නොවේ.

කෙසේ හෝ මේ වන විට කතරගම කිරි වෙහෙර සොළොස්මස්ථානයන්ගෙන් එකක් බවට පත් වී ඇති නිසාත් අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ නමක් පිහිටි බිමක් නිසාත් මෙය සුවිශේෂී පූජනීය ස්ථානයක් බවට පත්ව තිබේ.

බුදුන් වහන්සේ සපැමිණෙන විට එහි සිටියේ ‘මහාඝෝෂ’ නම් දෙව් රජකු බවද සඳහන් වෙයි. කතරගම දෙවිඳුන් ඇතැම් තැනක ‘මහාසේන’ යන නමින් හැඳින්වෙන බව කියැවෙතත් ‘මහාඝෝෂ’ යනු එතුමන්මදැයි සැකයක් පවතී. එය කෙසේ වෙතත් බෞද්ධ පුරාවෘත්තය හා බැඳුණු කතරගම පුරවරයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි.

බුදුන් වහන්සේ සපැමිණ ධර්මය දේශනා කිරීමෙන් පසුව එහි වැසියන් බෞද්ධාගමට අනුගත වූ බවත් ‘කිහිරි වනයේ’ උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ පසු කලෙක කිහිරි නොහොත් ‘කිරි වෙහෙර’ ඉදි කළ බවත් කියැවෙයි.

කිරි වෙහෙර ඉදි කරවන ලද්දේ ක්‍රි.පූ. 1 වැනි සියවසෙහි රුහුණේ රජ කළ ‘මහානාග‘ නම් රජු විසිනි. හමු වූ එක් ශිලා ලේඛනයකට අනුව මෙම චෛත්‍යය ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයේ දී කටගමුවේ විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් විසින් කරවන ලද බවට ද මතයක් පවතියි. පස්වන ශතවර්ෂයට අයත් ශිලා ලේඛනයක කිරිවෙහෙර හඳුන්වා ඇත්තේ මංගල මහා චෛත්‍ය ලෙස ය.

කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී තිබුණ කිරිවෙහෙර නැවත ප්‍රතිසංස්කරණය වන්නේ 1961 වසරේදී ය. දැනට අඩි 96 ක් පමණ උස චෛත්‍යයේ බිම් මට්ටමේ වට ප්‍රමාණය අඩි 280 ක් පමණ වෙයි. අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ නමක් කතරගමට ප්‍රදානය කිරීමට හේතු වී ඇත්තේ, ශ්‍රී මහා බෝධිය අනුරාධපුරයට වඩමවන ඒ මහා උත්සවයට කතරගම ක්‍ෂත්‍රිය ප්‍රධානියෙක් ද සහභාගී වීම ය. එසේ නම් ඒ වන විට කතරගම ප්‍රදේශය වඩාත් අවධානයට යොමු වූ ක්‍ෂත්‍රිය පරපුරට නෑකම් කියූ ජනාවාසයක්ව පවතින්නට ඇත.

කතරගමට වඩමාගෙන ආ අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ මැණික් ගඟ අසබඩ රෝපණය කිරීමෙන් පසුව අනුරාධපුර යුගයේ දි කතරගම පුරවරය දකුණේ ප්‍රධාන බෞද්ධ පූජනීය ස්ථානයක් බවට පත්විය.

දුටුගැමුණු රජතුමා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමේ ඒකායන අරමුණෙන් සටන් බිමට අවතීර්ණ වීමට ප්‍රථම කතරගම බෝ සමිඳුන් වෙත පැමිණ බෝධි පූජා පවත්වා පඬුරක් ගැට ගසා භාරයක් වූ බව ජනප්‍රවාදයේ පැවැවෙයි. යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව දුටුගැමුණු රජතුමා කතරගම දෙවිඳුන් වෙනුවෙන් ද දේවාලයක් ඉදි කළ බවත් වර්තමාන කතරගම දේවාලය පවතින්නේ එම ස්ථානයේම බවත් පිළිගැනීමක් තිබේ.

කතරගම පුද බිමෙහි පන්සියයක් රහතන් වහන්සේ වැඩ විසූ බවක් ද කියැවෙයි. මාගම විසූ ‘ගෝඨාභය’ රජ කතරගම දස බෑ රජ දරුවන් මරවා දඬුවම් පිණිස ‘ගෝඨාභය’ විහාරය ආදී විහාර රාශියක් කළ බව ධාතු වංශයේ සඳහන්ව තිබෙයි.

ඉතා ශුෂ්ක කලාපයක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ බහුලව දකින්නට ලැබෙන්නේ එම පරිසරයට ඔරොත්තු දෙන ලෙස වැඩී ඇති කටු සහිත ශුෂ්ක ශාඛයන් ය. දිය විරළ කටුක පරිසරයක් පසුකර කතරගම පුරවරයට පිවිසීමේ දී අප කාටත් දැනෙන්නේ වාලුකා කතරක් මධ්‍යයේ පිහිටි කෙම් බිමකට අප සපැමිණි බවකි. සොඳුරු මැණික් නදී තීර්ථයේ නිල්ලෙන් පිරි කුඹුක් ගස් පෙළින් සහ නොයෙකුත් මහා වෘක්‍ෂයන්ගෙන් සෙවන සිසිලස ලද රමණීය පරිසරයක මෙම කතරගම පුද බිම පිහිටා තිබේ. සොබාදම් මාතාව විසින් දායාද කළ මේ අපූර්වත්වයෙන් පිරි රමණීය අඩවිය සංචාරකයින් සඳහා උචිත අපූරු සොඳුරු පරිසරයක් නිර්මාණය කර තිබේ.

සම්බුදු පහසින් පවිත්‍ර වූ බිමෙක අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේත්, සොළොස්මස්ථාන නියෝජනය කරන සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කර සාදා ඇති කිරිවෙහෙරත්, කතරගම ස්කන්ධ කුමාර දෙවිඳුන් වෙනුවෙන් ඉදි වී ඇති දේවාලයත් මේ අසිරිමත් පුද බිම වර්ණවත් කිරීමට දායක වී තිබේ.

එහෙත් සැදැහැති බෞද්ධයන්ගේ වන්දනාමානයට බඳුන්වන අති ප්‍රබල ඓතිහාසික පූජනීය බෞද්ධ ස්මාරකයන් දෙකක් අභිබවමින් මේ වන විට පුද බිමෙහි ප්‍රබල ලකුණ බවට පත් වී ඇත්තේ කතරගම ස්කන්ධ කුමාර දේවාලය යැයි සිතයි. සිත් සතන් සමාධිගත කරවීමට සමත් මහත් සුව සහනයක් දැනෙනා කිරිවෙහෙර සමීපයට ගොස් ඇපයෙන් බේරීමට මෙන් කඩි මුඩියේ මලක් පුදා පහනක් දල්වා හනිකට දුව එන අපගේ බහුතරයක් බොදු ජනතාව ආත්මාර්ථය පෙරදැරි කරගෙන සඵල නොවන බලාපොරොත්තු රැසකින් හිස බර කර ගනිමින් කතරගම දේවාලය අභියස දිගු පෝලිමක රැඳී වරු ගණනක් කන්නලව් කරමින් යදින්නන් බවට පත් වී සිටිති.

හිස්, හිත් පුරවන වියවුල් ලිහා ගැනීමට අවැසි නිසි ක්‍රමවේදය උතුම් සම්බුදු දහමින් පහදා දෙයි. එවන් පසු බිමක් යටතේ සද්ධාවන්ත සැබෑ බෞද්ධයන්ට සිත සුවපත් කර ගැනීම ඉතා පහසු ය.

කතරගම කිරිවෙහෙර අභියස නිවිහැනහිල්ලේ මලක් පහනක් පුදා සමාධිගත වන සිතින් බෝ සමිඳුන් වෙත ගොස් ඒ මහා වෘක්‍ෂය සමීපයේ සිසිලස විඳිමින් පවිත්‍ර වූ චේතනාවන් සමගින් දෙවියන්ට පින් අනුමෝදන් කිරීම එක් යහපත් ව්‍යායාමයකි. එහෙත් දහස් ගණන් වටිනා පූජා වට්ටි මත දහසින් බැඳි පියළි තබා මෝහයෙන් මුළා වූ ව්‍යාකූල සිතින් අප අයාලේ දිව යන්නේ කොතැනට ද?

මොහොතක් සිතා බලන්න. ඓතිහාසික බොදු උරුමයක් වූ කතරගම ශුද්ධ භූමියෙන් ඔබ පිටවන්නේ සද්ධාව, අන්ධ විශ්වාසය සහ භක්තිය තෝරා බේරා ගැනීමට නොහැකි ව්‍යාකූල සිතකින් නම් එහි ඇති ඵලය කුමක්ද?

පින්වන්ත පෙම්වන්තියක් වන්න
සේල චෛත්‍යරාජයන් වහන්සේ ( Sela Sthupa )

Join the discussion One Comment

  • […] 1) මහියංගන‍ය  2) නාගදීපය 3) කැළණිය 4) ශ්‍රී පාදස්ථානය 5) දිවා ගුහාව 6) දීඝවාපිය 7) මුතියංගනය 8) තිස්ස මහා විහාරය 9) ශ්‍රී මහා බෝධිය 10) මිරිසවැටිය 11) රුවන්වැලි සෑය 12) ථූපාරාම‍ය 13) අභයගිරිය 14) ජේතවනාරාමය 15) ශෛල චෛත්‍යය 16) කතරගම කිරි වෙහෙර […]

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.