කඨිනානිසංස ගැන දේශනාකල ස්ථානය අනවතප්ත විල ගැන දැනගනිමු. - IFBC Organization | Dhamma

Posted by | September 03, 2014 | සිරි සදහම් ( Dhamma) | No Comments


(මෙය උපුටා ගැනීමක් වේ. සමහර ස්ථානයන් පිළිබද විශ්වාස කිරීම පවා අපහසු වේ. එහෙත් මෙය උපුටාගත් පොත පරිශීලනය කල හැකිනම් ඒ සියලු තොරතුරු ඔබට නිවැරදිව දැන ගත හැකිය. කෙසේ උවද බුදු පසේබුදු මහ රහත් උතුමන් පැන් පහසුව ලද අනවතප්ත විල පිහිටි හිමාලය ගැන දැනගන්න.)

බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේ ඉදිරියේ දී නාගිත මහ රහතන් වහන්සේ විසින් කථිනානිසංස දේශනාව පවත්වනු ලැබුවේ අනවතප්ත විලේදීය. අනවතප්ත විල පිහිටියේ හිමාලයේය. හිමාලය ලෝකයේ උසම කන්ද වශයෙන් සැලකේ. නාගාදිධිරාජ යයිද කියයි. භාරතයෙහි උතුරු දිශාවෙහි හිමාලය පිහිටා ඇත්තේ. එය මහ පොළව මනින දණ්ඩක් වශයෙන් සාහිත්‍ය කෘතීන්හි විස්තර කෙරේ.
“ අසත්‍යුත්තරස්‍යාං දිශි දේවතාත්මා
හිමාලයෝ නාම නාගාධිරාජහ්
පූර්වාපරො තොය නීධීවගාහ්‍ය
සථිත්ථහ් පෘථිව්‍යා ඉව මානසණ්ඩහ්”
(කුමාර සම්භව 1.1. )
යනුවෙන් කාලිදාසයන් දක්වන අයුරින් නැගෙනහිරින් හා බටහිරින් මුහුදට යොමු වී ඇති එම හිමාලය දෙවියෙකු වශයෙන් සැලකේ. භාරතයේ ශීර්ෂය වැනි වූ හිමාලය සත්පුරුෂ වූ ධර්මයෙහි යෙදෙන්නා වූ මුණිවරයන්ගේ පුණ්‍යකරමයන්ට අග්‍රස්ථානයක් වන බවද දැක්වේ. පුරාණ කාලයේ සිට හිමාලය දෙවියන්ගේ වාසස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධය. දෙවියන්ගේ නිබද වාසයෙන් පිවිතුරු වූ ස්ථානයක් වශයෙන්ද දැක්වේ. මෙහිම,
@ තපෝ වනය
@ නන්දන වනය
@ ව්‍යාස ගුහාව
@ ගණේශ ගුහාව
@ සගරාශ්‍රමය
@ සිග හා පළල
ශීත හා උෂ්ණ
දිය වළවල් හෙවත් විල්
@ වසූධා ආදී වූ ප්‍රපාත

ආදී වූ බොහෝ දෙනාගේ නෙත් සිත් පිනවන ස්ථානයෝය. හිමාලය ක්‍රමයෙන් උස්වීම අනුව කොටස් තුනකට බෙදේ. එහි පළමු කොටස මහ ගස්වලින් ගැවසීගත් මහ කැලෑව වෙයි. මෙහි ඉහළ තැනිතලාවන්හි මිනිස්සු වාසය කරති. විවිධ වූ ධාන්‍ය වර්ගයෝද වැඩෙති. දෙවැනි කොටසෙහි උණ ගස් වැනි ඉතා උස වූ තෘණ වර්ගයෝද දරුණු මෘගයෝද වෙත්. මෙහි ජනාවාස නොමැත. තෙවැනි කොටසෙහි සියයකට අධික අහස ස්පර්ෂ කරන්නා වූ කදු ශිකරයෝය.
හිමයට වාසස්ථාන වන බැවින් හිමාලය නම් වේ. හිම සුදු පැහැයෙන් යුක්ත හෙයින් රිදී පර්වතයක් මෙන් ඈතට දිස් වේ. එය දිගින් හා පළලින් යොදුන් තුන් දහසක් පමණ වන බවද උසින් යොදුන් පන්සියයක් පමණ වන බවද දැක්වේ. හිමාලය වනයෙන් ගංගාවෝ පන්සියයක් ගලා බසිති. හිමවා, හිමාචල, හිමවන්ත යන නම් වලින්ද හිමාලය මැදින් වේ. එය ගන්ධමාන පර්වතය වට‍ා පිහිටි කදු පේලි හතෙන් එකකි. ප්‍රමාණය යොදුන් තුන් ලක්ෂයක් පමණ වන හිමාලයෙහි කදු මුදුන් අදූහාරදහසක් පමණ වන බවද දැක්වේ. ඒවායින් උසම කදු මුදුන යොදුන් පන්සියයක් වශයෙන්ද දැක්වේ.
හිමාල වනයෙහි පසේ බුදුවරුන් පිරිනිව් පානා ස්ථානයක් ද තිබේ. එය මහා පපාත කදු මුදුන නම්වේ. සමහර නාග වර්ගයෝද තම පැටවුන් බිහි කිරීමට හිමාලයට යති. භික්ෂූන් වහන්සේලා පන්සියයක් සමග සාවත්ථි නුවර සිට හිමාලයට වැඩීමට සීවලී තෙරුන්ට දින අටක් ගතවිය. දෙවියෝ හිමාලයෙන් නාග ලතා රිකිලිත්, බෙහෙත් අරලු හා බෙහෙත් ඇඹුලුත් අඹත් ගෙනැවිත් අශෝක රජතුමාට දුන්හ. මහා ස්ථූපයේ අත්තිවාරමට පළිගු කැට ලෙන ආවේද හිමාලයෙනි.
හිමාලයෙහි විශාල විල් හතක් තිබේ. ඒවා එක් විල දිගින් පළලින් හා ගැඹුරින් යොදුන් පණහ බැගින් වේ.
@ අනෝතත්ත විල
@ කණ්ණමුණ්ඩ විල
@ රථකාර විල
@ ඡද්දන්ත විල
@ කුණාල විල
@ මන්දාකිණි විල
@ සීහප්පටක විල

යනුවෙන් ඒවා හැදින් වේ. මේවාට කිසි දිනෙක කෙළින්ම හිරුරැස් පතිත නොවේ.
මජ්ජිම තෙරුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කොට අසූ කෝටියක් හිමාලය අවට ප්‍රදේශවාසී මිනිසුන් නිරයෙන් මුදවා ගත්හ. කස්සපගොත්ත මූලදේව, ( ආලකදේව ) සහදේව හා දුන්දුබිස්සර යන තෙරුන් වහන්සේලාද මෙයට සහභාගි වූහ. මෙම එක් එක් තෙරුන් වහන්සේ රජධානි පහක මිනිසුන්ට දම් දෙසා ලක්ෂය බැගින් පැවිදි කරවූහ. පොහොය දිනවල දෙවිවරු හිමාලයට එක් වී දම්සභා මණ්ඩපය පවත් වති.
බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කුමරුවන් හිමාලය පෙදෙසට කැදවාගෙන ගියහ. මෙම සිදුවීම විස්තර කෙරෙන්නේ කුණාල ජාතකයේදීය. මහා සමය සූත්‍ර දේශනාව පැවැත්වූයේද මෙම කුණාල ජාතකය අවසානයේදීය. කුණාල ජාතකය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා ‍ෙකාට වදාලේ පැවිදිදෙහි කළකිරුණා වූ පන්සියයක් භික්ෂූන් ගේ එම කළකිරීම දුරු කිරීමටය. එක් නියං ක‍ාලයකදී ගොවිතැන් කිරීමට රෝහිණී ගංගාවේ ජලය ලබාගැනීමට අවශ්‍ය විය. මෙම ජලය බෙදා ගැනීමේදී ශාක්‍යවරුන් හා කෝළිය වරුන් අතර යුද්ධයක් අැතිවන්නට ගියේය. බුදුරජාණන් වහන්සේ වැඩම කොට මෙම යුද්ධය සංසිදවූහ. මෙයට පැහැදුනු ඔවුහු එක එක රටින් කුමාර වරුන් දෙසිය පණහ බැගින් පන්සියයක් කුමාරවරුන් බුදුරජාණන් වහන්සේට පැවිදි කිරීමට භාර කලහ. පැවිදි වූ ඔහුහු තම ගිහි ජීවිතය හා ගිඑි ජීවිතයේදී ඇසුරු කල පුරාණ භාර්යාවන් සිහිවී පැවිද්දෙහි කළකිරීමට පත් වූහ. මෙම කළකිරීම දුරු කිඑීම සදහා බුදුරදුහු ඍද්ධි බලයෙන් ඔවුන් හිමාලය වනය පෙන්වීමට රැගෙන ගියහ.හිමාලය වනයේදී බුදු රජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබ‍ාගෙන එම පන්සියයක් භික්ෂූහු රහත් වූහ. කුණාල ජාතකය දේශනා කලේ මෙම භික්ෂූන් වහන්සේලා පන්සියය නිමිති කොට ගෙනය. හිමාලය වනයට රැගෙන ගිය එම භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ හිමාල වනයෙහි අසිරිමත් බව පෙන්වූහ.
හිමාලය වනයෙහි තිබෙන රන් පර්වත, රිදී පර්වත, මැණික් පර්වත, ඉගුල් පර්වත, අංජන පර්වත, පාංශු පර්වත, ස්ඵලික පර්වත, ස්වාසූ දහසක් රුවන් කුලුද, ගංගා යමුනා අචිරවතී සරභූ මහී ආදී වූ පංච මහා ගංගාවන් ච පෙන්වූහ. කර්ණමුණ්ඩ කුණාල ආදී වූ විල්ද පනසක් රුවන් ආකරද පෙන්වූහ.
තවදුරටත් හිමාලයෙහි ඇති කුණාල විල පිළිබදවද මෙහි සදහන් වේ. නොයෙක් ආකාර වූ ජලජ කුසුමන්ගෙන් යුත් විවිධ වූ පද්ම ජාතීන්ගෙන් සැදුම් ලත් විලක් වශයෙන් දැක්වේ. එසේම ත්‍රිවිධ වූ උත්පලයන්ගෙන්ද කුණාල විල වටා දෙල්, එළකිදි, ඇසතු,පියුමිතුරු, නා, කීණ, ඇසළ, බක්මී, සපු, දුණුකේ ආදීනොයෙක් වෘක්ෂයන්ගෙන් වට වූ ස්ථානයක් වශයෙන්ද දැක්වේ.
ඉන්දියාණු අර්ධද්වීපය වෙන්වන්නේ හිමාලය කදු පන්තියෙනි. සිංදු හා ගංගා නම් ගගට ජලය ලැබෙන්නේ ද හිමාල කදු වැටියෙනි. ලොව උසම කදු වැටිය හිමාලයෙහි පිහිටා ඇති අතර එවරස්ට් නමින් හැදින්වෙ එය මීටර අටදාස් අටසිය හතලිස් අටකි. හිමාලයට දකුණින් විශාල තැනිතලාවකි. එම තැන්න ගංගා දෙකක් මැදිකොට පිහිටා තිබේ. ගංගා නම් කගේ හා සිංදු ගගේ නිම්න භූමිය මෙසේ විශාල තැනි තලාවක් වශයෙන් පිහිටා තිබේ. යමුනා නදියද මෙම ගංගානම් ගගේ විශාල ශාඛාවකි. සිංදු ගගේ ප්‍රධාන අතු ගංගා පහක් ගලා බසින ප්‍රදේශය පංජාබය නමින් හැදින්වේ.
ඉන්දියාවේ උතුරු දේශ සීමාවට අයත් හිමාලය කදු වැටිය ඇෆ්ගනිස්ථානයේ සිට ඇසෑමය දක්වා දිව යයි. ලෝකයේ ඉතාම උස් කදු වලින් යුක්ත මෙය සැතපුම් එක්දහස් හයසීයක් පමණ දුරට විහිදෙයි. ඉන්දියාවට උතුරු දෙසින් ඇතුලු වන්නට නොහැකි වීමට තිබෙන ප්‍රධාන බාධකය මෙම කදු වැටියයි. හිමාලය, ඉන්දු ගංගා තැනි තලාව හා දෙකාන සානුව යයි සාමාන්‍යයෙන් ඉන්දියාව ප්‍රධාන ස්වභාවික ප්‍රදේශ තුනකට බෙදනු ලැබේ.
ඉන්දියාව හා පකිස්ථානය ලෝකයේ සෙසු රටවල් වලින් වෙන් වන්නේද මෙම කදු වැටිය නිසාය. සිනුදු, සරස්වතී, වෙත්‍රවතී, විනංශ හා චන්ද්‍රභාග යන ගංගා පසද හිමාලයෙන් ගලා බසී.
හිමාලයේ තිබෙන මංජුසක නම් ව‍ෘක්ෂ රාජයා විශේෂයෙන් සදහන් කල හැකිය. මෙය නන්දමූල නම් පර්වත ගුහ‍ාවෙහි තිබෙන රන් ගුහාව, රිදී ගුහාව, මැණික් ගුහාවද යන ගුහා අතරින් මැණික් ගුහාව ඉදිරියේ පිහිටා තිබේ. නන්දමූල නම් පර්වත ගුහාව තිබෙන්නේ ගන්ධමාදනකූට පර්වතයෙහිය. මෙම වෘක්ෂයෙහි දිය ගොඩ පිපෙන හැම වෘක්ෂයක්ම පිපෙන බව දැක්වේ. එසේම හිමාලය දසවිධ සුගන්ධයන්ගෙන් නිරතුරුවම සුවදවත් වේ. මූලගන්ධ, සුගන්ධහර සුවද කොවුල සුවද, ලවංගාදී වූ පොතු සුවද, පපටිකා සුවද, රස සුවද, පූපටික සුවද,එල සුවද, තමාලාදී වූ පත්‍ර සුවද, යන ඒවා අතුලුව දසවිධ සුගන්ධයෝ සෑදේ. එසේම විවිධ වඋ ඔසු වලින්ද සමන් විතය. රාම සීතා කථාවේ සත්‍ය සිද්ධිය කෙසේ උවත් රාමයන් මරණින් මුදවා ගත් බෙහෙත් මෙරටට ගෙනආවේ හෝ මෙරට රෝපණය කලේ හිමාලයෙන් ලබාගෙනය.
විවිධ වූ තිරිසන් සතුන්ද හිමාලයේහි ජීවත් වෙති. සංහයෝද, අශ්වයෝද, ඇත්තුද, ව්‍යාඝ්‍රයෝද, මුව, ගෝන, ගව, ගවර, සූකර, ආදී වූ සිව්පාවෝද, වසති. හංස, මයුර, කූරවි, කොවුල්, ගිරා, සැලලිහිණි, පරවි, කින්නර, ගිජුලිහිණි, උකුසු, බකුසු, ආදී වූ පක්ෂීහුද වෙසෙති, හිමාලයේ වසන විශේෂ නාග වර්ගය කොබෝ නයි ලෙසින් හදුන්වයි. නාගයාගේ පුරුකෙන් පුරුක ගැලවී ගොස් අන්තිමට ඉතිරිවන කොටස පිහාටු සෑදෙයි. එවිට එම නාගයාට පියාසර කල හැකිය. උන් ඉතාම විශ සහිත වේ. මීට අමතරව සෙසු නාග, පොළොන්, උරගයෝද හිමාලය ඇසුරුකොට වෙසෙති. හිමාල වනයෙහි සිංහයෝද වර්ග හතරකි. එනම්,
01.තෘණ සිංහයෝ
02.කාල සිංහයෝ
03.පාඩු සිංහයෝ
04.කේශර සිංහයෝ යනු ඔවුනුයි.

වර්ණයෙන් පරෙවියන්‍ගේ පැහැයට සමාන තෘණ සිංහයෝ ආහාර වශයෙන් තණකොල ගණිති. කලු පැහැති ගවයන්ගේ පැහැයට සමාන කාල සිංහයෝද ආහාර වශයෙන් තෘණ වර්ග අනුභව කරති. පඩුවන් පැහැයෙන් යුත් ගවයන් බදු පාඩු සිංහයෝ මාංශ අනුභව කරති. මේ සියල්ලනට්ටම වඩා උතුම් වන්නේ කේශර සිංහයෝය. මේ සිංහයන් තුන් යලක් පමණ සිහ නාද කරන්නට පෙර ඒ සදහා සරමසන අවස්ථාව සිංහවිජෘම්භණය නම් වේ.
විවිධ වූ වර්ණයන්ගෙන් යුතු කේශර සිංහයෝද මුඛය, වල්ගය, පාද ආදිය රත් පැහැයෙන් යුක්ත වේ. ශරීරය කද මැද ප්‍රාද්ශය කේශරයන්ගෙන් යුක්තය. මාංශ අනුභව කරන මොවුන්ගේ ශරීරයන්හි අවශේෂ කොටස් සුදු පැහැයෙන් යුක්තය. මෙම සිංහයන්ගේ සිංහ නාදය යොදුන් තුනක් පමණ ඈතට විහිදේ.
හිමාලයෙහි වසන කූරවි කෙවිලියෝද සුවිශේෂී පක්ෂි වර්ගයකි. ඔවුහු සියලු පක්ෂීන්ට වඩා ඉතාම මිහිරි වූ හඩින් නද දෙති. තවද හිමාල වනය කස්තුරි මවන්ගෙන් සුවදවත් වූ පෙදෙසකි. කස්තුරි මාවෝ ලොවෙහි වද වීගෙන යන මුව විශේෂයකි. කස්තුරි මුවන්ගේ පෙණියෙහි කස්තුරි සෑදේ. කස්තුරි ඉතාම වටිනා ඔසුවක් ලෙස සැලකේ. කස්තුරි ලබා ගැනීමට කස්තුරි මුවන් මැරීම නිසා කස්තුරි මුවන් වද වීමේ තර්ජනයකට මුහුන පා ඇත.
හිමාලයෙහි ඇති ඡද්දන්ත විල ඉතා පිරිසිදු ජලයෙන් යුක්තය. ඉන්ද්‍රනීල මාණික්‍ය පැහැයෙන් බබලයි. කහලාර වනය, නිලුපුල් වනය, රක්තෝත්පල වනය, ශ්වෙතේත්පල වනය, රන් පියුම් වනය, හෙළ පියුම් වනය, කෞමද වනය, මිශ්‍රක වනය ආදි ලෙසින් ගොඩ බිම හා ජලයෙහි පිපෙන මල් වලින් යුක්ත වනයෝ අට දෙනෙක් ඡද්දන්ත විල වටා තිබෙත්. එසේ රත්හැල් වනයද, උදකාන්ත වනයද, ඒ සමග පවතී. සුලු මෑ, මහ මෑ, උදු, මුං, ලබු, පුහුල්, කැකිරි, තියඹරා, සහ කොමඩු ආදියෙන් යුක්ත වනයෝද පිලිවෙලින් පිහිටා තිබෙත්. උක් වනය, සල්වනය, කොසෙල්වනය, කොස් වනය, මිශ්‍රක වනය, හුණ වනය යනාදී වනයෝද ඈතින් පිහිටා තිබෙත්. මීට අමතරව ස්වර්ණ පාර්ශ්ව පර්වතය , මණි පාර්ශ්ව පර්වතය , චන්ද්‍ර පාර්ශ්ව පර්වතය , උදක පාර්ශ්ව පර්වතය , මහාකාල පර්වතය, චුල්ල කාල පර්වතය, ආදියද පහිටා තිබේ. ඡද්දන්ත විල අදල පිහිටා ඇති විශේෂ වෘක්ෂය නම් නුග අරලු වෘක්ෂයයි. මෙය විලෙන් ගිණිකොන පැත්තෙහි පිහිටා ඇත. මෙම නුලග අරලු වෘක්ෂය යට ග්‍රීස්ම ඍතුවෙහි ඡද්දන්ත හස්තීහු වාසය කරති. ඔවුන්ගේ පදයන් රතු පැහැයෙන් යුක්තය. සොඩකින් හා වල්ගයකින් යුක්තය, සුදු පැහැතිය. දළ සයකින් යුක්ත වෙති. ඉහළින් දෙකක් මැදින් දෙකක් හා යටින් දෙකකි.
මන්දාකිණි විලද පිරිසිදු ජලයෙන් යුක්ත මත්සයන් රහිත විලකි. එම විල වටකරගෙන හෙළ පියුම් වනය පිහිටියේය. මැනවින් පිපුණු වන මල්වල රේණු සුළගින් ගැල වී පියුම් පත් මත වැටේ. ඒවා සුළගින් මද මදව දිය බින්දු ඉසී තෙත් බවට පත් වේ. සූර්ය රශ්මියෙන් රත් වී ඉතා රසවත් බවට පත් වේ. මේවාට පොකුරු මී යයි කියනු ලැබේ. හිමාලයෙහි වසන තවුසෝ මෙම පොකුරු මී ගෙන ගොස් වළදති. මෙහිද රත් පියුම්, රත් කුමුදු. හෙළ කුමුදු, නිලිපුල්, රක්තොත්පල, ශ්වේතෝත්පල, සුවද රත්හැල්, කැකිරි, තියඹරා, ලබු, පුහුල්, උක් ආදී වනයන්ද පිහිටා තිබේ.
ඒ උක් වනයෙහි වසන හස්තීහු උක්දඩු ගෙන ගොස් ගල් තලයෙහි තබා කුඩා කැබලි වශයෙන් කඩා කති. එයින් වැගිරෙන පැණි ගල් තලාවෙහි හිදැස් අතරෙහි පිරෙති. ඒවා සූර්ය රශ්මියෙන් වියලි කැට බවට පත් වේ. බුදු , පසේබුදු, මහරහතන් වහන්සේලා විවේක සුවය පිණිස හිමවතට වැඩම කල කල්හි එහි වසන හස්තීහු එම උක් කැට කඩා ගෙනැවිත් උන්වහන්සේලාට පිළිගන්වා නමස්කාර කොට ආපසු යති.
කුණාල විල, කර්නමුණ්ඩ විල, රථකාර විල, සිංහ ප්‍රතාප විල, යන විල් හතරද පිරිසිදු ජලයෙන් පිරුණු ස්ථානයෝය. පියුම් වර්ගයන්ගෙන්ද, කීණ, සපු, සල්, ඇසළ, එළකිද, ඇසතු දෙල් කොස්, අඹ, දඹ, මී, දොඩම්, නාරම් ආදී වෘක්ෂයන්ගෙන් ගැවසී ගත්තේය. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා ඉදිරියේ නාගිත මහරහතන් වහන්සේ කඨිනානිසංස දේශනාව පැහැත්වූයේ අනේතත්ත විලේදීය. අනෝතත්ත විල වටා පර්වත පහක් පිහිටා ඇත.
1‍ සුදර්ශන කූඨය
2.චිත්‍ර කූඨය
3.කාල කූඨය
4.ගන්ධමාන කූඨය
5.කෛලාශ කූඨය යන ඒවායි.

සුදර්ශන කූඨය රන්වන් පැහැයෙන් යුක්තය, කවුඩකුගේ මුඛය මෙන් ඇතුලට නැමී ඇත. චිත්‍ර කූඨ පර්වතය රත්නමය වේ. කාල කූඨය අදුන් පැහැයෙන් යුක්තය. කෛලාශ කූඨය රිදී පැහැයෙන් යුක්තය.
හිමාලයේ පිහිටි විල් හතෙන් එකක් වන අනෝතත්ත විල මුලින් සදහන් කල කදු පහෙන් වටවී තිබේ. සුදස්සන කූඨය උත්තලාකාරව පිහිටා තිබේ. අනික් කදු මුදුන් වලින්ද ආවරණය වී සුදස්සන කූඨයේ සෙවනින් වැසී තිබේ. විලේ දිග ගව් එකසිය පනහක් වන අතර පළල ගව් පනහක් පමණ වේ. ගැඹුරද ගව් පනහක් පමණ වේ. කදු මුදුන් වලට වැටෙන වර්ෂා ජලය මෙම විලට ගලා බසී. එාස්ම කදු මුදුන් වලින් පටන් ගන්නා ගංගා ජලයද මෙම විලට ගලා බසී. එසේම සූර්ය හෝ චන්ද්‍ර රශ්මිය කිසි දිනෙක මෙම විලට නොවැටේ. මේ නිසා මෙහි ජලය නිරතුරුවම සිසිල් වේ. මෙම විලට අනෝතත්ත යැයි කියන්නේ මෙහි ජලය කිසිදා සිසිල් නොවන බැවිනි.
මෙම විලෙහි මත්ස්‍යයන්, ඉදිබුවන් වැනි සතුන් නොමැත. නෑමට සුදුසු තැන් මෙහි පිහිටා තිබේ. බුදු, පසේබුදු, මහරහතුන් වහන්සේලා මෙම ස්ථානයේ ස්නානය කෙරෙති. සතර දිශාවට ජලය ගලා යන සොරොව් හකරක් මෙහි ඇත.

01. සිංහ මුඛ
02. හත්ථි මුඛ
03. අස්ස මුඛ
04. වෘෂභ මුඛ

යන නම් වලින් එම ස්ථාන හැදින් වේ. සංහ මුඛ නම් ස්ථානයේ සිංහයෝ නාති. එහි බොහෝ විට සිංහයෝ රැදී සිටිති. හස්ථියෝද, අශ්වයෝද වෘෂභයෝද අනික් දොරටුවල දිය නාති. සොරොව් සතරින් ගංගාවෝ සතරක් ගලා බසිති. නැගෙන හිර දිශාවට ගලන ගග අනෝතත්ත විල වටා තුන් වරක් ගමන් කොට හිමාලයේ මිනිස් වාසයෙන් තොර පෙදෙසයන්ට ජලය ලබා දෙමින් සාගරය වෙත ගලයි. උතුරු හා බටහිර දිශාවන්ට ගලන ගංගා වන සතුන් වසන පෙදෙස් ඔස්සේ සාගරය වෙත ගලා බසී. දකුණු දිශාවට ගලන ගග අනොතත්ත විල වටා තුන් වරක් ගොස් ගව් හැටක් දුර ගිරි දුර්ග ඔස්සේ ගොස් පලලින් සැතපුම් හයක් පමණ වන දිය ඇල්ලක් බවට පත් වී ප්‍රපාතයට ඇද හැලී දකුණට ගලයි. මෙම ජලය ගව් හැටක් පමණ වාතය ගුලින් (ප්‍රපාතයට ඇද වැටී) තියග්ගල නම් පර්වතය මතට පතිත වේ. එම ජල පහරේ වේගය නිසා ජල ගල මත තියක්කල පොක්ඛරණී නම් ගව් ගණනක් ගැඹුරු ආවාටයක් සෑදී ඇත. මෙම විලෙහි ජලය පර්වත කුහරයක් තුලින් ගව් හැටක් දුර ගමන් කර තවත් ගව් හැටක් පෘථිවි ගර්භය තුලින් ගමන් කොට ඇළ වූ විජ්ඣ නම් කන්ධ වෙත පැමිණෙයි. මෙහිදී ජල පහර කොටස් පහකට බෙදේ. අතේ ඇගිලි මෙන් මේවා බෙදේ.
මෙහි මුල් අනෝතත්ත විල වටා ගමන් කරන කොටස අවට්ඨ ගංගා නම් වේ. ගිරි දුර්ග මාර්ග ඔස්සේ ගව් හැටක් දුර ගමන් ගන්නා දිය පහර කණ්භ ගංගා නම් වේ. වාතය හරහා ගව් හැටක් ගමන් ගන්නා දිය පහර ආකාශ ගංගා නම් වේ. තිග්ගලපොක්ඛරණියෙන් පිටවී පර්වත කුහරය තුලින් ගව් හැටක් ගමන් කරන දිය පහර බහල ගංගා නම් වේ. පෘථිවි ගර්භය ගුලින් ගලා යන දිය පහර උම්මග්ග ගංගා නම් වේ. විජ්ඣනම් ඇළ වූ කන්දෙන් පසු බෙදී යන ගංගා පහ ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නම් වේ. සිඤ්චන කවාට නම් සුළගින් අනොතත්ත විලේ ජලය ගෙන ගන්ධමාන පර්වතයට ඉසිනු ලැබේ. ලෝක විනාශයේදී අන්තිමට සිදී යාමට නියමිත විල් වලින් එකකි මේ අනෝතත්ත විල. මෙහි නෑමෙන් මනාව පිරිසිදු වේ. මහා මායා දේවිය මහ බෝසතාණන් වහන්සේ උපදින දිනයෙහි අනෝතත්ත විලට ගෙනගොස් තමාව නහවා පිරිසිදු කරන අයුරු සිහිනෙන් දුටුවාය. අයට පිංවත් පුතෙකු ලැබෙන බවට මෙය පෙර කිමිත්තකි.
බුදුවරු ලොව පහළ නොවන වකවානු වලදී පසේ බුදුවරු පහළ වෙති. උන්වහන්සේලා හිමාලයේ ගන්ධමාන පර්වතයේ වැඩ වෙසෙති. ඉසිපතනය හෝ වෙනත් ප්‍රදේශ කරා ගුවනින් වඩින්නට පෙර මෙම විලෙහි ජලයෙන් මුව ධෝවනය කරති. බුදුරජාණන් වහන්සේද මුව ධෝවනය කිරීම සදහා බොහෝ විට අනෝතත්ත විලට වඩිති. ඇතැම් අවස්ථාවලදී අනෝතත්ත විලේ සිට උතුරුකුරු දිවයිනනට පිඩු සිගා වඩිති. දිවා ආහාරය පිණිස නැවතත් අනොතත්ත විල වෙත පැමිණේ. උන්වහන්සේ උණුසුම් කාලය විලේ ඉවුර මත ගතකරති. සෙසු ඍෂිවරුද අනේතත්ත විල නිබද ඇසුරු කරති.
ඒ ඒ උතුමන්ට ස්නානය පිණිස වෙන් වෙන් වූ ස්ථානයන් මෙම විලෙහි පිහිටා තිබේ. බුදු රජාණන් වහන්සේ ස්නානය කරන ස්ථානය මෙම විලෙහි වෙනම පිහිටා ඇති අතර පසේ බුදුරජාණන් වහන්සේලා ස්නානය කරන්නේ තවත් තැනකය. එසේම භික්ෂූන් වහන්සේලා හා තාපසයන් වහන්සේලා ද වෙන් වෙන් වූ ස්තානයන්හිම පැන් පහසු වෙති. සතර වරම් දෙවි වරුන්ට මෙන්ම දෙව් ලොව වසන සෙසු දෙවි වරුන්ටත් ස්නානය සදහා වෙන් වෙන් වූ ස්ථාන වෙති. දිළු්‍යාංගනාවෝ තවත් තැනක ස්නනය කරති. දිව්‍යාංගනාවෝ අනෝතත්ත විලෙහි ස්නානය කොට මනෝසිලාතල නම් විල් ඉවුරෙහි විවෙකයෙන් කල් ගෙවති.
ඍද්ධි බලයෙන් යුත් අය ඍද්ධියෙන් වැඩම කොට අනෝතත්ත විලෙහි ජලය ගෙන යති. එක් වරක් සුමන සාමණේරයන් වහන්සේ ඍද්ධි බලයෙන් මෙම විලට වැඩම කොට අනෝතත්ත විලෙහි ජලය ගෙන ගොස් බුදුරජාණන් වහන්සේට පිළිගැන් වූහ. අනුරුද්ධ මහ රහතන් වහන්සේ ලග පැවිදි වූ සුමන සාමණේරයන් වහන්සේ හත් හැවිරිදි වයසේදීම රහත් වූහ. ගිහි කාලයෙහි සුමන නමින් හැදින් වුන මෙම සත් හැවිරිදි කුමාරයෝ වින්ධ්‍යා වනයෙහි මුණ්ඩ නම් නියම් ගමෙහි වාසය කලෝය.
සුමන මාසණේරයන්ගේ රහත් බව නොදත් වැඩිමහල් භික්ෂූහු උන් වහන්සේ පොඩි ළමයෙකු යයි සිතා නිතර විහිලු තහලු කලහ. වැඩිහිටි භික්ෂූන් මෙසේ සුමන සාමණේරයන් විඩාවට පත් කිරීම නුසුදුසු බව දුටු බුදු රජාණන් වහන්සේ සුමන සාමණේරයන්ගේ ආනුභාවය සෙසු භික්ෂූන්ට පෙන්වීම සදහා මෙසේ පැන් ගෙන එන ලෙස දැන්වූහ. සුමණ සාමණේරයන්ට හැර වෙන කිසි කෙනෙකුට මෙය සිදුකල නොහැකි විය. මෙම සිදුවීමෙන් පසු සුමන සාමණේරයන්ට තිබූ අවහිරතා දුරුවිය. බුදුරජාණන් වහන්සේට සුමණ සාමණේරයන්ට හත් හැවිරිදි වයසේදීම උපසම්පදාව ලබා දුන්හ.
යහ් භික්ෂුවක් ළදරු උවත් බුදු සසුනෙහි මනාකොට යෙදේනම් උන් වහන්සේ වළාවෙන් මිදුණු පුන් සද සේ ආත්මභාව සංඛ්‍යාත ලෝකය ඤාණය නැමැති ආලෝකයෙන් බබුලුවන බවද දෙසූහ.
සෝණ නම් තාපසයාද ඍද්ධි බලයෙන් අනෝතත්ත විලෙන් දිය ගෙනාවේය.ඔහු එසේ කලේ තම තාපසාරාමයට තම සොහොයුරා වන නන්ද සමග පැමිණි රජවරු එකසිය එක් දෙනාට තම ඍද්ධි බලය පෙන්වීම සදහාය. උසස් පුද්ගලයන්ට අනෝතත්ත විලෙනි දිය ගෙනැවිත් දීම ඒ අයට කරන ‍ගරුත්වයක් වශයෙන්ද සැලකේ. ජව හංස නම් හංස රජු හා බරණැස් රජතුමා අතර මිතුරු බවක් ඇතිවිය. මෙම මිතුරු බව නිසා හංස රජු බරණැස් රජුගේ ශරීරය දොවනය සදහා අනෝතත්ත විලෙන් ජලය ගෙනවුත් දුන්නේය. ැනෝතත්ත විලෙහි නා රජ පන්නක නම් වේ. ඔහු තම අවිනීත හැසිරීම දුරු කරගැනීම සදහා සුමණ සාමණේරයන්ට අනොතත්තවිලෙනි ජලය ගෙන දීමට පොරොන්දු විය. තම අකීකරු කමට සොහොයුරාගෙන් සමාව ගැනීමට සිතූ නන්ද තම සොහොයුරාට අනොතත්ත විලෙන් පැන් ගෙනවැති දීම ඒ සදහා සුදුසුම ආකාරය බව සිතුවේය.
අනොතත්ත විලේ ජලය රෝග සුව කිරීමට පුදුම බලයක් ඇති බවටද කියැයව්.අනොතත්ත විලේ ජලයෙන් අනුරුද්ධයන්ගේ රෝගාබාධය දුරු විය. දෙවියෝ අනොතත්ත විලෙන් අශෝක මහ රජතුමාට ජලය ගෙනැවිත් දුන්හ.කද අටක් වශයෙන් හා මුට්ටි දහසයක් වශයෙන් මෙසේ ජලය ගෙන ආහ. යක්ෂාධිපති වෙස්සයණ තම පරිහරණය සදහා අනොතත්ත විලේ ජලය ගෙන ඒම සදහා යක්ෂණියන් වාර පිළිවෙලින් යෙදීය. මෙහිදී එක් එක් යක්ෂණියකගේ කාලය මාස හතරක් හෝ පහක් විය. මෙය ඉතාම දුෂ්කර කාර්යයක් වූ අතර ඇතැම් යක්ෂණියෝ තම කාලය අවසන් වන්නට පෙර මිය ගියහ. දෙවියන්ගේ හා යක්ෂයින්ගේ රැස්වීම් අනෝතත්ත විලේ ඉවුරු වල වරින් වර පැවැත් වූහ.අනෝතත්ත විලේ ජලය ආපසු නොහැරී ගංගානම් ගග දිගේ මුහුදට ගලා යයි. බුදුරජාණන් වහන්සේද තම අවසාන ජන්මයේදී බුද්ධත්වය පිණිස යන ගමන චක්කවත්තී රජ වනු පිණිස වෙනස් නොකලහ. නාගිත මහ රහතන් වහන්සේ කඨිනානිසංස දේශනාව සිදුකර වදාලේ මෙවන් උතුම් සුන්දර වන භූමි පරිසරයකදීය.
කඨින චීවර පූජාව, අනොතත්තවිග හා කඨිනානිසංස වර්ණනාව පොතෙන් උපුටා ගන්නා ලදි.

බුදුන් දවස පැමිණි පිටසක්වල ජීවීන් නිසා දේශනාවට හේතු වූ චින්තා සූත්‍රය
සිදුහත් කුමාරයාණෝ සැබැවින්ම පැන ගියාද ?

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.