කඨිනානිසංස කියාදෙන නාගිත ථේරාපදානය ….

අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලේ නාගිත කියලා පිරිමි ළමයෙක් ධනවත් ගෙදරක උපන්නා. පස්සේ කාලෙක මහණ කමට හිත ගිහිල්ලා බුදු හාමුදුරුවෝ ළඟ මහණ වෙලා රහත් වුණා.

දවසක් බුදු හාමුදුරුවෝ උන්වහන්සේගේ ප්‍රිය උපස්ථායක හිමියන් වන ආනන්ද හාමුදුරුවන්ට කථා කරලා මෙහෙම කිව්වා.

“ආනන්ද අද එහි භික්ඛු උපසම්පදාවෙන් පැවිදි වෙච්ච මහ රහතන් වහන්සේලා 500ක් රැස් කරන්න” ආනන්ද හාමුදුරුවෝ ඒ කියන විදිහට කලාම ඒ 500ක් මහ රහතන් වහන්සේලා සමඟ හිමාලයේ අනවතත්ත කියන විල ළඟට වැඩියා. එතන අර කියන නාගිත මහ රහතන් වහන්සේත් වැඩ හිටියා.

ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ රහතන් වහන්සේලා අමතලා මෙහෙම ඇසුවා. “මහණෙනි, ඔබ වහන්සේලා අතරින් කවුරු හරි කෙනෙක් ඉස්සර කාලේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා විශේෂ පින්කමක් කරලා තිබෙනව නම් කරුණා කරලා මට කියන්න”

මේ කාරණය අහපු මහ රහතන් වහන්සේලා අතරින් නාගිත කියන මහ රහතන් වහන්සේ ඉදිරියට ඇවිත් මේ විදිහට කියන්න පටන් ගත්තා.

“ස්වාමීනි, මාගේ බුදුරජාණන් වහන්ස ! මීට අනූ එක් කල්පයකට පෙර විපස්සි කියලා බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා හිටියා. ඒ කාලේ බන්දුමතී කියලා නුවරක තිබුණා. ඒ නුවර තමයි මම ඒ කාලේ උපන්නේ. ඒ කාලේ මම දුගී මගී යාචකයන්ට හරියට දන් දුන්නා. නිතර නිතරම පන්සිල් අටසිල් මම සමාදන් වෙලා සිල් ආරක්ෂා කළා. එක දවසක් බන්දුමතී නගරයේ රජ්ජුරුවන් සහිත පිරිස මැද්දේ සවණක් ගණ බුදුරැස් විහිඳුවමින් වැඩ සිටිය විපස්සි බුදු හාමුදුරුවන්ව දැකල බණ අහල සිත පැහැදුන නිසා උන්වහන්සේ ඇතුළු මහා සංඝයාට මම ශ්‍රද්ධාවෙන් දන් දුන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරලා වස් වැසූ ස්වාමීන් වහන්සේලාට පිරිකර සහිත කඨින චීවර දානයක් පූජා කරලා මෙයින් මට උත්තම වූ රහත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා ඉඳලා මේ වනතෙක්ම මම සතර අපායේ උපන්නේ නැහැ. දිව්‍ය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි තමයි මම දිගටම උපන්නේ. ඒ තමයි මම කළ කඨින චීවර පූජාවේ ප්‍රතිලාභ නැත්නම් ආනිසංස.

උන් වහන්සේ පහත සඳහන් ගාථා කියමින් මේ විදිහට කඨිනයක ඇති ආනිසංස නැත්නම් ප්‍රතිඵල ගැන ප්‍රකාශ කළා.

කඨින දානං දත්වාන
සංඝෙ ගුණවරුත්තමෙ
ඉතෝ තිංසෙ මහා කප්පේ
නාභිජානාමි දුග්ගතිං

උතුම් වූ ගුණ ඇති සංඝයා කෙරෙහි කඨින දානයක් දී මහා කල්ප තිහක් දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනයක ආනිසංස.

ata

අට්ඨාරසන්නං කප්පානං
දෙවලෝකේ රාමමහං
චතුත්තිංසක්ඛත්තුං දෙවින්දො
දෙවරජ්ජමකාරයිං

කල්ප දහ අටක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වාසය කළා. තිස්හතර වාරයක් සක් දෙව් රජුව ඉපදුණා. මේ තමයි කඨිනයක් පූජා කිරීමෙන් ලැබුණු ප්‍රතිඵල.

ආරපථෙ ආරපෙථ
චක්කවත්ති සිරිං ලභෙ
අසිතිං ච චතුක්ඛත්තුං
චක්කවත්ති අහොසහං

ගැසූ ගැසූ එක ඉදිකටු පාරක් පාසා තිසිහතර වාරයක් බැගින් සක්විති රජ වන්නට හේතු සම්පත් ඇත ද සසර එපමණ බොහෝ කලක් නොසිටි හෙයින් අසූ හතර වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබූ බව දැක්වීමෙන් කඨින දානයෙහි අනුසස් පැවැසූ අයුරුයි.

යත්ථයත්ථූපපජ්ජාමි
ලභිත්වා සබ්බසම්පදං
පුරිසානං උත්තමො හොමි
කඨිනදානස්සිදං ඵලං

උපනූපන් සෑම තැනම සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වුණා. මේ තමයි කඨින දානයක ආනිසංස.

දේව භවේ උපපජ්ජාමි
දෙවෙවා පි ච මානුසෙ
අඤ්ඤං ගතිං න ජානාමි
කඨිනදානස්සිදං ඵලං

දිව්‍ය ලෝකෙත්, මනුෂ්‍ය ලෝකෙත්, හැර නරකාදී දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනානිසංස,

දේව කුලේ උපපජ්ජාමි
බත්තියෙ වා පි බ්‍රාහ්මණෙ
හීනෙ කුලෙ න ජානාමි
කඨිනදානස්සිදං ඵලං

රජ සහ බ්‍රහ්මණ යන කුල දෙකේ හැර එයින් පහත් කුලයක උපන්නේ නැහැ. මේ තමයි කඨින දානයේ ප්‍රතිලාභ.

චක්කවාළමූපාදාය
මහිං සාගර කුණ්ඩලං
බොමදූස්සෙහි ජාදෙය්‍යං
කඨිනදානස්සිදං ඵලං

චතුස්සාගර පර්යන්ත වූ චක්‍රවාට පර්වතය ඇතුළත මුළු පොළොව සුදු පටපිළියෙන් වසන්ට පොහොසත් වුණා. මේ කඨින දානයෙහි අනුසස් තමයි.

අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ
අහෝ සංඝස්ස සම්පදා
පරිත්තදානං දත්වාන
ලද්ධං මේවිපුලං සුබං

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ අර්හත්වය, නෛයර්්‍යාණිකත්වය, දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂ ආශ්චර්යය, මවිසින් එක කඨින චීවරයක් දුන් විපාකයෙන් මේසා මහත් සම්පත් ලැබුවා.

තෙනෙව කුසලකම්මෙන
පියොහං දෙවමානුසෙ
තස්සෙ ව භද්දකම්මස්ස
පත්තොස්මි අමතං පදං

ඒ කඨින චීවර දානමය කුසල චේතනාව නිසා දෙව්ලොව උපන් විට දෙවියන්ට ද, මිනිස් ලොව උපන් විට මිනිසුන්ට ද, ප්‍රියමනාප පුද්ගලයෙක් වූයෙමි. ඒ යහපත් කුසල කර්මයෙන් නිවනද ලැබුණා.

ඒවං නාගව්හයෝ ථෙරො
මජ්ක්ධ සංඝස්ස සොභනො
පකාසෙයි සකං කම්මං
අනොතත්ත මහාසරෙ

මසේ සඟ මැද බබලන ශාන්ත වූ ගුණ ඇති නාගිත මහරහතන් වහන්සේ අනොතත්ත මහවිල්හිදී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දානයේ ආනිසංස ප්‍රකාශ කළා.

කඨින චීවරයක් මහා සංඝයා වහන්සේට පූජා කරන්නට ලැබෙන එක වාසනාවනක්, එයින් ලැබෙන පින මහා බලසම්පන්නයි. ඒ පින සොර සතුරටන්ට ගන්න බැහැ. රජවරුන්ට, ආණ්ඩුවලට රාජසන්තක කරන්න බැහැ. අව්වෙන් වැස්සෙන් ගින්නෙන් අවි ආයුධ වලින් විෂ වර්ගවලින් හෝ වෙනත් යන්ත්‍ර මන්ත්‍රවලින් විනාශ කරන්න බැහැ. ඒ නිසාම එයට කඨිනය කියන තේරුම ලැබිල තියෙනවා.

කඨිනය කියන එකේ තේරුම තමයි තද බව, ඝන බව, ශක්තිමත් බව, ස්ථාවර බව, කියන එක.

පඨවිරිව න ජාතු කම්පතෙ
නචලති මේරු රිවාති වායුනා
වජිරමිව න භිජ්ජතෙ ඝනං
තමිද මතො කඨිනන්ති චුච්චනි

කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින මහ පොළොව මෙන් කම්පා වන්නේ නැහැ. කම්පා කරවන්නත් බැහැ. මහ මේරු පර්වතය මෙන් සුළඟින් සොළවන්නත් බැහැ. දියමන්ති කන්දක් බිඳින්න බැරුව වගේ කඨිනයෙන් ලබන පිනද බිඳින්න බැහැ. ඒ තරමට ඒ පින ස්ථාවරයි. ශක්තිමත් බලසම්පන්නයි.

මෙලෙස සලකා බලන කළ මැනවින් පැහැදිලි වන කරුණ නම්, කඨින චීවර දානයෙහි ඉෂ්ට විපාක කොතරම් බල සම්පන්න ද යන්නයි.

ලැබුවාවූ උතුම් මිනිස් බව සාරවත් කර ගැනීම බුද්ධිමත් පිළිවෙතකි. ශ්‍රද්ධාව හා ප්‍රඥාව මූලික කර ගනිමින් පින් සිතිවිලි පහළ කර ගැනීමෙන් කුසලය ක්‍රියා වල නිරත වී නිවන් අවබෝධ කරගැනීමට ඔබට හැකි වේවා’යි ප්‍රාර්ථනා කරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි…

‍ගෞතම බුදු සසු‍නේ පළමු වස් කාලය ...
කඨිනානිසංස ගැන දේශනාකල ස්ථානය අනවතප්ත විල ගැන දැනගනිමු.

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.