කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව

චීවරයක් දැකීමෙන් බෞද්ධයෙකුගේ සිත තුළ පහළ වන ප්‍රසන්න භාවය සහ ඊට දක්වන ගරුත්වය මෙපමණකැ ‘යි කිව නොහැකි ය. භික්ෂූන් වහන්සේ නමක් දුටු පමණින් පවා ඉඳගෙන සිටින අසුනින් බොදුනුවා නැගී සිටින්නේ මහත් ගෞරවයෙනි. චීවරයට මෙතරම් ගෞරවයක් දක්වන බෞද්ධයෝ කඨිනය යන නම ඇසු පමණින් ම සැදැහැයෙන් සැනසෙති.

විහාරස්ථානයක කඨින පූජා උත්සවයක් පවත්වනු ලබන්නේ වසරකට එක් වතාවක් පමණි. ඒ සඳහා බෞද්ධයෝ මාස ගණනාවකට පෙර සිටම සූදානම් වෙති. කඨින පූජාව සිදු කරන්නේ විහාරස්ථානයක වස් විසූ උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේ නමක් වෙත ය.

වස් කාලය – පෙර වස් කාලය සහ පසුවස් කාලය වශයෙන් කාල දෙකකි.

පෙර වස් කාලය – ගිම්හාන සෘතුවේ අටවැනි පෝය එළඹි ඇසල මස (ජුලි) පුර පසළොස්වක පෝය දින පොහොය කොට පෙර වස් විසීම ආරම්භ කෙරේ.

වස් පවාරණය – පෙර වස් පවාරණය වප් පෝය දිනද (ඔක්තෝම්බර්) පසු වස් පවාරණය ඉල් පෝය දිනද (නොවැම්බර්) සිදු කෙරේ.

ඉහත සඳහන් දින දෙකින් එක් දිනක දී හෝ වස් නො විසූ භික්ෂූන්ට සිදුවන ඇවතක් ඇත. මෙසේ වස් සමාදන් වූු භික්ෂූන්වහන්සේට වස්සාන සෘතුවේ හයවැනි පෝය දින වස් පවාරණය නමැති විනය කර්මය සිදුකර ගැනීමෙන් කඨින චීවරය ලබා ගැනීමට අවසර ඇත.

මෙම කඨින චීවරයේ හිමිකම ලැබෙන්නේ පෙරවස් විසූ භික්ෂූන් වහන්සේට ය. පසු වස් විසූ භික්ෂූන් වහන්සේ නමකට කඨින චීවරය ලබා ගැනීමේ වරප්‍රසාදයක් නැත.

චීවර මාසය – දායක පක්ෂය විසින් චීවර වස්ත්‍රයක් සොයාගනු ලැබේ. සියලු දෙනා සහභාගි කිරීමෙන් ලබා ගන්නා මුදලින් එය සපයා ගැනීම විශේෂයකි. ඉන් අදහස් කරන්නේ සියලු දෙනාගේ සහභාගිත්වයයි. චීවර මාසය නමින් හඳුන්වනු ලබන්නේ් මෙම කාලයයි.

කඨිනය ඇතිරීම- වස් විසීම සහ කඨිනය ඇතිරීම බෞද්ධ විනයෙහි වැදගත් විනය ප්‍රඥප්තියකි. වස් සමාදන්ව එය ආරක්ෂා කරන සෑම භික්ෂූන් වහන්සේ නමකටම කඨින චීවරයක් ඇතිරීමට බුදුරජාණන්වහන්සේ අනු දැන වදාළහ.

‘මහණෙනි! වස් වැස නිම කළ භික්ෂූන්ට කඨිනය ඇතිරීම අනුදනිමි’ කඨින චීවරය සඳහා පිරිසුදු වස්ත්‍රයක් දායකයන් විසින් සාංඝිකව පූජා කළ යුතුය. සිවුර පිළියෙළ කිරීමට අවශ්‍ය ඉඳීකටු නූල්, පඬු ආදිය ගිහියන් විසින් සපයා දිය යුතුය. එම කාර්යයෙහි නියුත භික්ෂුන්වහන්සේට අවශ්‍ය දානය ද සපයා දෙන්නෝ ගිහියන් විසිනි. කඨිනය ඇතිරීම සඳහා ව්‍යක්ත භික්ෂුන්වහන්සේ නමකට සංඝ සම්මතයෙන් කඨිනය පැවරිය යුතුය. මේ සඳහා ගිහියන් විසින් වස්ත්‍ර කිහිපයක් සපයා ඇත්නම් එයින් තෝරා ගැනෙනුයේ සුදුසුම වස්ත්‍රය යි.

කඨිනය ඇතිරීම (කඨිනත්ථාරය) සඳහා වස් ජේදනය නොවූ භික්ෂුවක් හෝ කිහිප නමක් අවශ්‍ය වෙයි. ඒ සංඝයා ගේ ගණන මෙපමණකැ යි නියමයක් නැත. කඨින පූජාව සිදු කරන්නේ භික්ෂූන්ටය. ඒ සඳහා අඩුම වශයෙන් පස් නමක්වත් සිටිය යුතුය. කඨිනය ඇතිරීමේ ආනිසංස ලබන්නේ එම විහාරස්ථානයේම වස් විසූ භික්ෂුන්වහන්සේලාය. භික්ෂූන් ගණනින් සතර නමක් හෝ ඊට අඩු නම් අනෙක් භික්ෂුන්වහන්සේ ගණ පුරාණය හැටියට සලකා කඨිනය ඇතිරිය යුතු වෙයි.

කඨිනය ලැබිය යුත්තෝ – දිරාගිය සිවුරක් ඇති භික්ෂුවක් සිටීනම් කඨිනය දියයුත්තේ එම භික්ෂුන් වහන්සේටය. දිරාගිය සිවුරු ඇති අය බොහෝ වෙත්නම් එය දිය යුත්තේ වැඩිමහලුම භික්ෂූන්වහන්සේටය. වැඩිමහළු භික්ෂූන්ද වැඩිවෙත්නම් ඒ අතරින්ද මහත් පිරිස් ඇති භික්ෂුවක් වෙත්නම් එදිනම සිවුර අතුරන්නට හැකිනම් එය උන්වහන්සේට පිදිය යුතුය. ඒ ස්වාමීන්වහන්සේට එදිනම කඨින සිවුර කරන්නට අපහසු බැවින් එය නවක භික්ෂුවකට දිය යුතුය. එසේ වුවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ එය පිළිගන්න අපි කැපීම්, මැසීම් කර දෙන්නෙමු යැයි කිව යුතුය.

දිරාගිය සිවුර දෙපට හෝ තනිපට සිවුරක් නම් අතුරන්නට දෙන කඨින වස්ත්‍රයද එපමණින් ම විය යුතුය.

කඨින වස්ත්‍රය ගැනීමට යමෙක් ලෝභව සිටී නම් එය ඔහුට නොදිය යුතුය. එසේම කඨින වස්ත්‍රය ගන්නා අය කඨිනය අතුරා පසුව සිවුරු දෙකක් කර ගන්නෙමැ යි සිතන අයට ද කඨින වස්ත්‍රය නොදිය යුතුය. කඨිනය දිය යුතු පිළිවෙළ ව්‍යක්ත භික්ෂූන් වහන්සේ නමක් විසින් ;මසේ සංඝයාට දන්වති.

‘ස්වාමිනි සංඝයාට කඨින වස්ත්‍රයක් ලැබුණි. එය මේ මහණහට කඨිනය ඇතිරීමට දෙන්නේය යනුවෙනි. එය ලබන අයට සංඝයා වහන්සේ කැමති නම් නිශ්ශබ්ද වෙති. රුචි නොවේ නම් ඒ බව ප්‍රකාශ කරති. ඉන් පසු එය ලබාගත් භික්ෂූන් වහන්සේ සංඝයා ඉදිරියේ අසුනක් තබා කඨින චීවරය දෙ අතින් ගෙන ‘ඉමං කඨින චීවරං සංඝස්ස දේම’ යනුවෙන් තෙවරක් ප්‍රකාශ කරමින් අසුන මත තබා සංඝ සන්තක කරති.

කඨිනය අතුරන ආකාරය විනය න්‍යායයට අනුව මෙසේ විස්තර කෙරේ.

‘පස්නමකට නො අඩුව වැඩ උන් සංඝයා විසින් මේ කඨින චීවරය කවර නමකට දීමට සුදුසුද? බුදුරජාණන්වහන්සේ විසින්ද දුර්වල සිවුරු ඇති භික්ෂුව කවරෙක්දැයි විමසා එවැනි නමක් නැත්නම් සංඝ සම්මතයෙන් පංචානිසංඝය හා අෂ්ට මාතෘකාව දන්නා නමකට කඨිනය ඇතිරීමට නියම කරනවා ය’ යනුවෙනි.

එයින් පසුව කඨින වාක්‍යය දන්නා භික්ෂුන් වහන්සේ නමක් නැගී සිට තුන්වාරයක් නමස්කාර කරමින් ‘සුනාතු මෙ භන්තෙ සංඝො… එව මෙතං ධාරයාමි’ යනුවෙන් කර්ම වාක්‍යය කියා නියම කරන ලද භික්ෂුන් වහන්සේට දුන් පසු උන්වහන්සේ සිවුර ගෙන ඇඳ සිටි පරණ සිවුරෙහි කොණක් ඒ මත තබා අලුත් සිවුර ගෙන තුන් වරක් නමස්කාරය කියා වැළඳගත් සිවුරෙහි කඨිනය අතුරන්නේ් නම්, ‘ඉමාය සංඝාටියා කඨිනං අත්ථරාමි’ යන වාක්‍යය තුන් වරක් කියා කඨිනය අතුරනු ලබයි. කඨිනය ඇතිරීම පිළිබඳව කඨින බන්ධකයේ මහා විපත් විසිහතරක් දක්වා ඇත. එයින් එකක් යෙදේ නම් කඨිනය අතුරනු නොලබයි. සේදු වස්ත්‍රයක්, කෑලි කපන ලද වස්ත්‍රයක්, හිස් (තැනින් තැන) නූල් ඇද තිබෙන වස්ත්‍රයක් ආදි වශයෙනි.

කඨිනය ඇතිරීම සඳහා සම්පූර්ණ වියයුතු සම්පත් දා හතක්ද දක්වා ඇත. සම්පත් වශයෙන් දක්වා ඇත්තේ සුදුසු දේ යනුයි. මේ සම්පත් නම්, අලුත් වස්ත්‍රයකින් ඇතිරීම, පාංශකූල වස්ත්‍රයකින් ඇතිරීම, දෙපට සිවුරෙන් ඇතිරීම ආදී වශයෙනි.

වැඩිවිස්තර සඳහා ම.ව.පා. 630 පිටු බලන්න.

කඨිනය අනුදැන වදාළ බුදුරජාණන් වහන්සේ කඨිනය බඳින රැහැනක් ද නියම කර ඇත.

‘අනුජානාමි භික්ඛවෙ කඨිනං කඨින රජ්ජුං තත්ථ තත්ථ ඔ බන්දිත්වා සිබ්බේතුං’ චු. ව. පා 664 පිට

මහණෙනි, ඒ ඒ තැන තබා සිවුරු මැසීමට කඨිනය හා කඨිනයෙහි බඳින රැහැනද නියම කරමි.

මෙයින් සිවුර මැසීමට අච්චුවක් සාදා ගැනීමට නියමකර ඇත. සිවුර එම අච්චුවෙහි අතුරා මසනු ලැබේ. චුල්ලවග්ග විස්තරය අනුව කඨිනය යනුවෙන් දක්වා ඇත්තේ සිවුර බඳින රාමුවයි. මෙය අච්චුවක් බව

‘විසමෙ කඨිනං පත්තරන්ති කඨිනං පරිභිජ්ජති’ විසම වූ තැන කඨිනය තබයි ද කඨිනය කැඩී බිඳී යයි යනුවෙන් දක්වා තිබීමෙන් පැහැදිලි වෙයි.

කඨිනය ඇතුරූ භික්ෂුවට ලැබෙන ආනිසංස (වරප්‍රසාද) පහකි. ඒවා නම්,

1. ආනමන්ත චාර – කඨිනාස්තරණය කළ දින සිට මැදින් පුර පසළොස්වක දක්වා ආරාමික භික්ෂුන්ගෙන් නො විමසා ගම්වල හැසිරිය හැකිය.

2. අසමාදානචාර – තුන් සිවුරෙන් තමන් කැමති සිවුරකින් වෙන්ව විසීම

3. ගණ භෝජන – ආරාධනාවක් අනුව සතර නමකට වැඩි ගණනක් කෑමදෙනු මැනැවැයි කියා ඉල්ලමින් ගොස් වැළඳීම

4. යාවදත්ත චීවර – කැමති ප්‍රමාණයක් සිවුරු පරිභෝජනය චීවරුප්පාදය.

කඨිනයක් ලැබූ භික්ෂුවකට හේමන්ත කාලය අවසාන වනතෙක් එම ආරාමයට ලැබෙන සියලු සිවුරු අයිතිය.

කඨින පූජාවේ පින් මහිම

කඨින පූජාව සියලුම බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද්දකි. කඨින පූජාව අටමහ කුසල් වලට ඇතුළත් උදාර මහ පින්කමකි.

‘පඨවිරිව නජාතු කම්පතෙ – නචලති මේරුරිවාති වායුනා
වජිරම්ව නභිජ්ජතෙ ඝනං – තම්ධමතො කඨිනං වුච්චති’

මහ පොළොව මෙන් කම්පා නොවන මහමෙර මෙන් නොසැලෙන වජ්‍ර පර්වතය මෙන් නොබිෙඳන ස්ථාවර වූ කුසල කර්මය කඨිනය යි.

නාගිත තෙරුන් වහන්සේගේ කඨින පූජාව බුදුරජාණන් වහන්සේ විසින්ද ප්‍රශංසා කරන ලද්දකි.

නාගිත තෙරුන් වහන්සේ පෙර කරන ලද එකම කඨින පූජාවෙන් ලත් වාසනා සම්පත් මෙසේය.

* කල්ප තිහක් කිසිම දුකක් නොවිඳ සිටීම

* කල්ප දහ අටක් දිව්‍ය සම්පත් ලැබීම

* දහස් වාරයක් මහා බ්‍රහ්ම සම්පත් විඳීම

* ඉඳිකටු සිදුරක් සිදුරක් පාසා සක්විති රජ සැප ලැබීම

* වාර ගණනාවක් ප්‍රදේශ රජ වී සැප විඳීම

* ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ ආදී උසස් කුලවල ඉපදීම

* ඇත් අස් රිය රුවන් සම්පත් සහ උතුම් කන්‍යාවන් ලැබීම

* මනා රූප සම්පත්තියක් ලැබීම

* මහා මන්දිර වල සැප විඳීම

මෙම කඨිනානිසංස ස්ත්‍රී භාවයෙන් මිදීමටත්, දෙව් හා මිනිස් සැප ලබා ගැනීමටත්, නිවන් සැප ලබා ගැනීමටත් හේතුවන එකම මඟ වන බව සිඛී බුදුරජාණන්වහන්සේ වදාළ සේක.

වස්‌ ආරාධනාව හා ඒ සමඟ බැඳි සිරිත් විරිත් ...
වසර 1000 ක් පැරණී වායු සමීකරණ තාක්ෂණය රජගලින් හෙලිවේ
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.