ඍද්ධිබලයෙන් බුදු හිමියන්ට පමණක් දෙවෙනි වූ විශ්මයම විශ්මිතකල මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

අටවිසි බුදුරජාණන් වහන්සේලා අතර “අනෝමදස්සී” බුදු රජාණන් වහන්සේගේ නම ඔයාල අහල ඇති. අද මම විස්තර කරන්න යන මුගලන් මහ රහතන් වහන්සේගේ ජීවිත කතාවේ උන්වහන්සේ මුලින්ම නියත විවරණ ලැබුවේ මේ බුදුන් වහන්සේගෙනුයි. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.
මුගලන් මහ තෙරුන් ඒකාලේ ගොවි කුලේක ඉපදුණා. නම “සිරිවඩ්ඪ”. සැරියුත් මහ තෙරුනුත් බමුණු කුලේක ඉපදුණා. නම “සාරද”. ඉතින් මේ දෙන්නා තරුණ වයසට එළඹිලා, තාපසයන් බවට පත් වෙලා, සත්‍ය සොයාගෙන යන ගමනේ සාරද බමුණාට අනෝමදස්සී බුදුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගේ දකුණත්අග්‍ර ශ්‍රාවක “නිසභ” තෙරුන් දැකල පැහැදිලා කවදා හෝ බුදු කෙනෙකුගේ අගසව් තනතුරක් හිමිවේවා කියල ප්‍රාර්ථනා කළා. ඒ පැතුම ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සාරද තාපසතුමාට නියත විවරණ ලබා දුන්නා. ඊට පස්සෙ සාරද තාපසතුමා තමාගේ මිත්‍ර සිරිවඩ්ඪ තාපසතුමා සොයාගෙන ඇවිත් විස්තරේ කියලා තමා අගසව් තනතුර ප්‍රාර්ථනා කළ බුදුන් වහන්සේගේම දෙවන අගසව් තනතුර ප්‍රාර්ථනා කරන්න කියල ඉල්ලා හිටියා. ඉතින් සිරිවඩ්ඪ තවුසත් සත් දිනක් දාන මාන පවත්වලා අවසානයේ බුදු පාමුල වැඳ වැටිලා අගසව් තනතුර ප්‍රාර්ථනා කළා. ඒ පැතුම් ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සිරිවඩ්ඪ තාපසතුමාටත් නියත විවරණ ලබා දුන්නා.
ඒ දෙපල එතැන් පටන් නොයෙක් පින්කම් කරමින් ඉඳල මරණින් මතු සුගතියේ ඉපදිලා ගොඩක් කල් සසර සැරිසරලා ගෞතම බුදු රජාණන් වහන්සේගේ කාලෙ “උපතිස්ස” හා “කෝලිත” නමින් රජගහනුවර බමුණු කුල වල උපත ලැබුවා. ඒ කාලෙ වාර්ෂිකව පැවැත්වුණු “ගිරග්ග සමජ්ජ” කියන නාට්‍ය සංදර්ශනේ බලලා, සසර කලකිරිලා, ගිහිගෙයින් නික්මිලා සත්‍ය සොයාගෙන ගිය කතාව ඔයාල දන්නවනෙ. ඉතින් ඉස්සෙල්ලම ගියේ “සංජය” පරිබ්‍රාජකතුමා ලඟට. එතනදී තවුස් භාවය ලබාගෙන, උගත් යුතු සියල්ල ඉගෙන ගෙන, එයින් පලක් නැති බව හිතලා නියම දහම් මඟ හොයාගෙන ගියානෙ. එහෙම ගිය ගමනෙදි තමා උපතිස්ස පරිබ්‍රාජකතුමාට “අස්සජි” මහ රහතන් වහන්සේ හමුවුණේ. උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ දැක පැහැදිලා කිසිවක් නොකියා පසුපසින්ම ගමන් කළා. දන් වළඳලා ඉවර වුණාම ලඟට ගිහින් උන්වහන්සේගෙන් විස්තර ඇහුවා. එහිදී තමා “යේ ධම්මා හේතුප්පභවා…” ගාථාව දේශනා කළේ. උපතිස්ස පිරිවැජියාගේ නුවණැති බව කොච්චරද කියනවා නම් ගාථාවේ දෙපදයක් අහද්දීම සෝවාන් පලයට පත් වුණා. අස්සජි මහ රහතන් වහන්සේගෙන් බුදු රජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානය අහල දැනගත්තු උපතිස්ස පිරිවැජියා කෙළින්ම ගියේ තම මිත්‍ර කෝලිත පිරිවැජියා මුණගැහෙන්න. ගිහින් “යේ ධම්මා හේතුප්පභවා..” ගාථාව පැහැදිලි හඬින් දේශනා කළා. සම්පූර්ණ ගාථාව අවසානයේ කෝලිත පිරිවැජියාත් සෝවාන් වුණා. බුදුන් දකින්නට යන්න පළමුව ඒ දෙදෙනාට මතක් වුණේ සංජය පිරිවැජියාව. ඔහුට කොතෙක් කතා කළත් ඔහු බුදුන් හමුවට යාම ප්‍රතික්‍ෂේප කළා. ඒ නිසා උපතිස්ස- කෝලිත පිරිවැජියන් දෙදෙනා ඔවුන් සමඟ යාමට කැමති තවත් 250ක පිරිසක් එක්ක ගෙන වේළුවනාරාමය බලා පිටත් වුණා. (මේ කතාව ඔයාල හැමෝම දන්නවා නේද? දන්නෙ නැති එක්කෙනෙක් වත් හිටියොත් කියලයි කිව්වේ)
එවෙලෙ දම්සභාමණ්ඩපයෙහි වැඩහුන් බුදුන් වහන්සේ ඈත එන පිරිස දැකලා “මගේ ශාසනයේ දෑගසව්වන් වන්නේ ඉදිරියෙන්ම එන ඒ දෙදෙනා බවත්, උපතිස්ස තෙමේ “සාරිපුත්ත” නමින් දකුණත් සව් වන බවත් කෝලිත තෙමේ “මහා මොග්ගල්ලාන” නමින් වමත් සව් වන බවත්” වදාළා. ඊට පස්සෙ ඒ පිරිස බුදුන් වහන්සේ ළඟට පැමිණිලා පැවිද්ද ඉල්ලා හිටියා. බුදුන් වහන්සේ ඒ සියලු දෙනාටම “ඒහි භික්ඛු” භාවයෙන් පැවිද්ද ලබා දුන්නා. ඊට පස්සෙ ධර්මය දේශනා කළා. දේශනාව අවසානයේ සැරියුත්, මහ මුගලන් තෙරුන් හැර අනික් 250 දෙනාම රහත් බව ලැබුවා.

එදිනම මහ මුගලන් තෙරුන් බුදු රජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන මගධ රට “කල්ලවලමුත්ත” කියන පිටිසර ගමට ගියා භාවනා කරන්න. දවස් 7ක්ම සක්මන් කරමින් භාවනා කළා. නමුත් කිසිම මාර්ගඵලයක් ලැබුණේ නෑ. නිදි කිරා වැටෙමින් උන්නා. බුදුන් වහන්සේ දිවැසින් මේ සිද්ධිය දැකලා මුගලන් තෙරුන් වෙත වැඩම කරලා උන්වහන්සේට එයින් මිදෙන්න ධර්මාවවාද ලබා දුන්නා. ඊට පස්සෙ නැවත බුදුන් වහන්සේ උන්නු තැනටම වැඩියා. බුදුන් වහන්සේ දුන්නු අවවාද අනුව භාවනා කරලා මුගලන් තෙරණුවෝ මහ රහත් භාවයට පත් වුණා. එපමණක් නෙමේ, සෘධිමත් භාවයෙනුත් ඉහළම ස්ථානයට පැමිණුනා.
මුගලන් තෙරුන් රහත් බව ලබා සතියකින් සැරියුත් තෙරුන් රහත් බව ලැබුවා. අනතුරුව බුදුන් වහන්සේ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිවරා ගෙන වේළුවනාරාමයට වැඩලා සියළුම භික්ෂූන් රැස් කරලා සැරියුත්- මුගලන් දෙපළට අගසව් තනතුරු පිරි නැමුවා.

මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙවෙනි වුණේ බුදු රජාණන් වහන්සේට පමණයි. සියලු බුදු වරුන්ට පමණක් විශේෂ වුණු සෘද්ධි කීපයක් හැරුණාම අනිකුත් සියළු සෘද්ධි පෑමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඉතින් තනතුරු පිරිනමන අවස්ථාවේදී මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය, දෙවන අග්‍ර ශ්‍රාවක තනතුර, ධර්ම පුරෝහිත කියන තනතුරු තුනක්ම උන්වන්සේට හිමිවුණා.

මුගලන් මහ රහතන් වහන්සේගේ සෘද්ධිමත් භාවය, ධර්මඥාණය ප්‍රකට කරන සිදුවීම් රැසක් තියෙනවා. මේ එව්වයින් කීපයක්.

විශ්වයේ සැරිසැරීම
මහා මුගලන් රහතුන් වහන්සේගේ සෘද්ධිබලය කෙතරම් වීද යත් මොහොතකින් එක්‌ චක්‍රාවාටය බැගින් සත් දිනක චාරිකාවෙන් චක්‍රාවාටයන් 584,800 ක්‌ තරණය කරන ලද බව දීඝනිකායෙහි සූත්‍රයන්හි විස්‌තර වීමය. එක් අවස්ථාවක දී, සක්වළෙන් සක්වළට පා තබමින් සක්වළවල් ගණන් කර ගැනීමට ගිය අප සෘද්ධිමතුන් අතර අග්‍ර වූ මුගලන් මහ රහතන් වහන්සේ දින ගණනාවක් නොකඩවා සක්වළ සිසාරා ගමන් කර අවසන් කර ගත නොහැකිව විඩාපත් වී තිබෙනවා. එවිට බුදු රදුන්ගේ මඟ පෙන්වීමෙන් පසු යළි මනුලොවට වැඩම කළ මුගලන් හිමියන්ට බුදුරදුන් දේශනා කොට වදාරා ඇත්තේ.

“මහ රහතන් වහන්සේ කෙනෙකු සිය සම්පූර්ණ ජීවිත කාලය තුළ සක්වළ පුරා අඛණ්ඩව ඇවිද ගියද සිය ජීවිත කාලය ගෙවී අවසන් වුවද සක්වළ තවත් අනන්තයට පැතිර පවතින” බවයි.

ඍද්ධි පාර්තිහාර්ය දැක්වීමම.
බුදු හාමුදුරු‍වො සත්වන වස්කාලව තව්තිසා දෙව්ලොව වැඩඉදල මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කරල සෝවාන් කලා. වස්කාලය අවසානයේ වප් පෝදින තමයි පොළවට බැස්සෙ. ඒ සංකස්ස පුයට. සැවැත් නුවර ඉදල සංකස්ස පුරයට යොදුන් තිහක් කියෙනව. ( හැතැප්මනම් 48ක් විතරනෙ ) ඉතින් තව පොඩි වෙලාවයි තියෙන්නෙ බුදු හිමියන් වඩින්න. සැවැත්නුවර වැසියන්ට සංකස්සපුරයට යන්න වෙලාවක් නෑ. ඒත් යන්නම ඕනි. මොකද එදා තමයි මහපොළවට දෙව්ලොව විවර වන දේවාහරෝහන පූජාව තියෙන දවස. දැන් මුගලන් හාමුදුරුවො මේ අය ගෙනියන්න ඉදිරිපත් උනා. සමහරු බුලත්විට කන්න සැවැත්නුවරදි ඇගිල්ට හුණු ගත්ත කටින් තියනකොට හිටියෙ සංකස්ස පුරේලු. නැත්නම් ගැහැනු අය සැවැත් නුවරදි කොණ්ඩෙ බදින්න පටන් ගත්තම සංකස්ස පුරෙදිත් බැද බැද හිටියලු‍. මේ කියන්නෙ මොහොතකින් ඒ අය සැවැත් නුවරින අතුරුදන්වෙලා සංකස්ස පුරෙදි පහල වෙලා. ඒ බව පූජාවලිය, දෙවොරොහණ පූජා කථා වලදි මෙන්න මෙහෙම දක්වල තියෙනව.

“එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළහ. එකල මහ තෙරුන් වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන් දැ’ යි විචාළහ. ‘උපාසක ජනයෙනි ! මේ නුවරට තිස් යොදුනකැ’ යි වදාළ සේක…

….. එ කෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහ පිරිස් ආකාශයෙන් යන සක්විති පිරිසක් සේ ඉක්බිති ගෙයක් මඟුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැතිව පතුල් බොලැට ගැහුමකුත් නැතිව යන්නාහු, සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණු වත තිස් යොදුන් මග ගෙවා ගොස් සකස්පුර දොරදී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නාහු, ඔබ වන් කලම බැඳ නිම වූහ…..”
මෙතනදි නවීන විද්‍යාත්මක න්‍යායක් භාවිතා වෙනව. ඒකට කියන්නෙ පණුසිදුරේ න්‍යාය කියල. නැත්නම් Worm Hole Theory කියලයි කියන්නෙ. අන්තර්ජාලයෙ ඒ ගැන තොරතුරු තියෙනව. කියවල බලන්න.

මහපොළොව පෙරළීමට අවසර ඉල්ලීම
දොලොස්වන වස් කාලය බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ගත කරන්නේ වේරංජා නුවර. ඒ කාලයේ වේරංජා නුවර දරුණු දුර්භික්ෂයක් ඇති උනා. ආහාර පාන හිඟ උනා. දාන මාන ලබා ගැනීමේ හැකියාව ඉතා අඩු උනා. ඒ නිසා මුගලන් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙත පැමිණිලා, භික්ෂූන් වහන්සේලාට භික්ෂාව ලබා ගැනීමේ අපහසුතාවය පවසලා, මහපොළවේ යට කොටස රසවත් බැවින් මහ පොළොව පෙරළන්න අවසර ඉල්ලුවා. ඊට අවසර ලැබුණේ නෑ. ඉන් පස්සෙ උතුරු කුරු දිවයිනට පිඬු සිඟා වඩිමු කියා බුදුන් වහන්සේට යෝජනා කළා. නමුත් සියළු සත්වයෝ අටලෝ දහමට මුහුණ දිය යුතු නිසා බුදුන් වහන්සේ ඒ ඉල්ලීමටත් එකඟ වුණේ නෑ.

නන්දෝපනන්ද නා රජු දමනය
දිනක් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තව්තිසා දෙව්ලොවට වැඩම කරන වෙලාවෙ මහමේරු පර්වතය මුදුනේ නන්දෝපනන්ද නා රජුගේ විමන ඉහළින් වැඩියා. එයින් නා රජු කෝපයට පත් වුණා. මහ කළු නයි වෙසක් මවාගෙන මහමේරු පර්වතය හත් පාරක් දරණින් වෙලාගෙන, තව්තිසා දිව්‍යලෝකෙත් යටිකුරු කරලා පෙණයෙන් වහගෙන හිටියා. වෙනදට වඩා කිසියම් වෙනසක් දුටු රට්ඨපාල මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඒ පිලිබඳ විමසුවා. බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කලාට පස්සෙ රට්ඨපාල මහ රහතන් වහන්සේගේ නා රජුගේ තේජස බිඳ දමා දමනය කිරීමට අවසර ඉල්ලුවා, නමුත් අවසර ලැබුණේ නෑ. ඒ ආකාරයෙන් කාළිගෝධා පුත්‍ර භද්දිය මහ රහතන් වහන්සේ, ජිනපුත්‍ර රාහුල මහ රහතන් වහන්සේ ඇතුළු මහාශාක්‍ය මහ රහතන් වහන්සේලා නා රජ දමනයට අවසර ඉල්ලුවත් අවසර ලැබුණේ නෑ. අවසානයේ මුගලන් මහ රහතන් වහන්සේ ඒ සඳහා අවසර ඉල්ලුවම බුදුන් වහන්සේ අවසර දුන්නා. නොයෙක් වෙස් ගනිමින්, නොයෙක් සෘද්ධි පාමින් මුගලන් මහ රහතන් වහන්සේ නන්දෝපනන්ද නා රජු දමනය කළා පමණක් නෙවේ, අවසානයේ ඔහු බුදුන් සරණ ගියා

නන්දුත්තරා පරිබ්‍රාජිකාව පැරදවීම
නන්දුත්තරා කියන්නෙ කුරු රට කම්මාස්සදම්ම නියම් ගමේ බමුණු පවුලක උපන්නියක්. හොඳින් සිප් සතර හදාරපු ඇය නිඝන්ඨ ආශ්‍රමයක පැවිදි වෙලා විවිධ දුෂ්කර වත් පිළිවෙත් පිරුවා. පසුව ඒවා පසෙක ලා නොයෙකුත් වාද ඉගෙන ගෙන, තමා සමඟ වාද කිරීමට සමතෙක් සොයමින් දඹදිව පුරාම ඇවිද්දා. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇයට හමුවෙලා වාද කරලා, එයින් අන්ත පරාජයක් ලැබුවා. ඉන්පසු උන්වහන්සේගේ ධර්මවාවද පිළිඅරන් මෙහෙණවරකට ගිහින් පැවිදි වෙලා විදර්ශනා වඩලා රහත් වුණා.

කෝසිය සිටුතුමාගේ මසුරුකම දුරු කිරීම
මසුරු කෝසිය සිටුතුමාගේ කතාව ඔයාල දන්නවා නේ.. අර කැවුම් කන්න ආස හිතිලා හොරෙන් කැවුම් උයන්න හැදුවේ… ඒක ආයේ කියන්න ඕන නෑනේ නේද? ඉතින් බුදු හාමුදුරුවෝ දිවැසින් බලද්දී කෝසිය සිටුතුමා සෝවාන් බව ලැබීමට තරම් පින් ඇති කෙනෙක් බව දැකලා මුගලන් තෙරුන් එහෙ යැව්වෙ ඔහුගේ මසුරු බව දුරු කරන්න. නොයෙක් පෙළහර පා අවසානයේ සිටුතුමා සහ දේවිය පහදවාගෙන බුදුන් වහන්සේ වෙත කැඳවාගෙන ආවේ උන්වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේගේ දායකත්වය නිසා සිටුතුමාටත් දේවියටත් සෝවාන් වෙන්න පුළුවන් වුණා වගේම සතර අපායෙන් සදහටම මිදෙන්න හැකි වුණා.

බුදුරදුන්ගේ ඇරයුමෙන් පූර්වාරාමය පයින් ගසා සෙලවීම
බුදුන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටින කාලයේ එහි මහල් විහාරයේ යට මහලේ මහත් හඬින් කෑකෝ ගසමින් උන්නා. බුදුන් වහන්සේ ඒ ඇසී අනඳ තෙරුන් ලවා මුගලන් මහ රහතන් වහන්සේ කැඳෙව්වා. කැඳවලා ඔවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන ලෙස දැන්වූවා. ඒ ඇරයුමෙන් මුගලන් මහ රහතන් වහන්සේ මහල් වෙහෙර අසළට වැඩලා එහි පාදමට වම් පයේ මහපට ඇඟිල්ලෙන් පුංචි පහරක් ගැසුවා. එතකොට මහා භූමිකම්පාවක් වගේ මහල් විහාරය පැද්දෙන්න පටන් ගත්තා. ඇතුලෙ හිටපු නොහික්මුණු භික්ෂූන් වහන්සේලා බය වෙලා විහාරයෙන් එළියට ආවා. බියවී සංවේගයට පත් වෙලා ඉන්න පිරිස දැකපු බුදු රජාණන් වහන්සේ එතනට වැඩලා කරුණු විමසලා ඒ මුගලන් මහ රහතන් වහන්සේගේ වැඩක් බව පැවසුවා. ඉන්පසු මුගලන් තෙරුන්ගේ ගුණ වර්ණනා කළ බුදුන් වහන්සේ ඔවුන්ටද එවන් තත්ව ලබා ගැනීමට උත්සහ කළ යුතු බව පවසා දහම් දෙසුවා. දේශනා අවසානයේ ඒ පිරිස හික්මී දහම් මාර්ගයේ පිහිටියා.

මුගලන් මහ රහතන් වහන්සේගෙත් සැරියුත් මහ රහතන් වහන්සේගෙත් තිබුණේ සංසාරගත මිත්‍ර කමක්. වරක් එක් පුරුෂයෙක් මේ දෙනම විරසක කරන්න එකිනෙකාට කේලම් කිව්වා. නමුත් එය හරිගියේ නෑ. එකිනෙකා කෙරෙහි හොඳ අවබෝධයෙන් උන්නු ඒ දෙන්නගේ සමඟිය බිඳුනේ නෑ. ඒ වගේම සැරියුත් තෙරුන් අසනීප වුණු සෑම අවස්ථාවකම පාහේ ඒ සඳහා ගත යුතු බෙහෙත් මොනවාදැයි විමසලා , ඒ බෙහෙත් සපයා දෙන්නත් මුගලන් තෙරණුවෝ ක්‍රියා කළා.

මුගලන් මහ රහතන් වහන්සේ ඉතා ලඟින් ඇසුරු කරපු භික්ෂූන් වහන්සේ කෙනෙක් තමා ලක්ඛණ තෙරුන් වහන්සේ. මුගලන් තෙරණුවෝ ගිජ්ජකුට පර්වතයේ වැඩ වාසය කරන කාලයේ රජගහනුවරට පිඬු සිඟා වැඩියේ ලක්ඛණ තෙරුන් සමඟයි. එසේ පිඬු සිඟා වඩින්නට පර්වතයෙන් බහින අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ සිනා පහල කරනවා. ඒ අවස්ථාවේදීම ලක්ඛණ තෙරුන් සිනහවට කරුණු විමසන නමුත් මුගලන් තෙරුන්ගේ පිළිතුර වෙන්නේ “සවස භාග්‍යවතුන්වහන්සේ හමුවේදී මගෙන් ඔය ප්‍රශ්නය අසන්න” කියායි. එසේ සවස බුදුන් වහන්සේ හමුවේ මුගලන් තෙරුන්ගෙන් ඒ පිලිබඳ ඇසුවාම උන්වහන්සේ තමා සිනා වුණු කාරණා පැහැදිලි කළා. බුදුන් වහන්සේ එම කතා අනුමත කරමින් තමන් වහන්සේද ඒ සිද්ධි එලෙසින්ම දැක ඇති බවත්, කිසියම් ශ්‍රාවකයෙකු ඒවා දකින තුරු එම සිද්ධි විස්තර නොකළ බවත් පවසමින් ඒවායේ අතීත කතා දේශනා කරනු ලැබුවා. මේ එවැනි සිද්ධි කීපයක් ලුහුඬින්.

ඇටසැකිලි ප්‍රේතයෙක් – රජගහ නුවර සිටි ගවයන් මරන්නෙක්
මස් වැදැල්ලක් බඳු ප්‍රේතයෙක් – ඔහුත් රජගහ නුවරම සිටි ගවයන් මරන්නෙක්
මස් පිඬක් බඳු ප්‍රේතයෙක් – රජගහ නුවර ලිහිණියන් මරා මස් විකිණූ තැනැත්තෙක්
සිවිය නැති පුරුෂ ප්‍රේතයෙක් – රජගහ නුවර සිටි බැටළුවන් මරන තැනැත්තෙක්
අසිලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් – රජගහ නුවර සිටි ඌරන් මරන තැනැත්තෙක්
සැත්ලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් – රජගහ නුවර සිටි මුවන් මරන්නෙක්
හී ලොම් ඇති පුරුෂයෙක් – රජගහ නුවර සිටි වධකයෙක්
හිඳිලොම් ඇති පුරුෂයෙක් – රජගහ නුවර සිටි රථාචාර්යයෙක්
හිඳිලොම් ඇති තවත් පුරුෂ ප්‍රේතයෙක් – රහගහ නුවර කේලම් කියමින් සිටි තැනැත්තෙක්
කළගෙඩියක් තරම් අන්ඩයක් ඇති පුරුෂ ප්‍රේතයෙක් – රජගහ නුවර සිටි බොහෝ අල්ලස් ගත් ඇමතියෙක්
අසූචි වලක ගිලුණු පුරුෂ ප්‍රේතයෙක් – රජගහ නුවර සිටි පරඅඹුවන් සේවනය කළ තැනැත්තෙක්
අසූචි වලක ගිලී අසූචි කන පුරුෂ ප්‍රේතයෙක් – කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ කාලයේදී භික්ෂු සංඝයාට දනට ආරාධනා කොට අසූචි වළඳන්නයි කියා, අසූචි පිරවූ ඔරු පෙන්වා නින්දා කළ පවිටු බමුණෙක්
සිවිය නැති ප්‍රේත ස්ත්‍රියක් – රජගහ නුවර සිටි ගණිකාවක්
අතිශයින්ම කුණු ගඳ ගසන පිළිකුල් සහගත ප්‍රේත ස්ත්‍රියක් – රජගහ නුවර සිටි මන්තර ගුරුකම් කළ යක්දැස්සියක්
ගින්නෙන් පැසී ගිය, ගිනි අඟුරු වලින් වට කරගත් ප්‍රේත ස්ත්‍රියක් – කලිඟු රජතුමාගේ අග බිසව වූ තැනැත්තියයි. රජුගේ අනෙක් බිසව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඇගේ ඇඟ මතට ගිනි අඟුරු කබලක් හෙලීම නිසා
අහසෙහි ගමන් ගන්නා කවන්ධයක් – රජගහ නුවර “හාරිත” නමින් ප්‍රකට චෝරඝතකයෙක්
ගිනිගෙන දැවෙන ප්‍රේත මහණෙක් – කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මහණෙක්
ගිනිගෙන දැවෙන ප්‍රේත මෙහෙණක් – කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මෙහෙණක්
ගිනි ගෙන දැවෙන ප්‍රේත සික්ඛමානාවක් – කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සික්ඛමානාවක්
ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරයෙක් – කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරයෙක්
ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරියක් – කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරියක්සර්පයෙක් වැනි ප්‍රේතයෙක් – බරණැස් නුවර වැඩ හුන් පසේබුදු කෙනෙකුගේ අසපුව ගිනිබත් කළ දුෂ්ට ගොවියෙක්
සට්ඨිකුට ප්‍රේතයා – “සුනෙත්ත” නම් පසේබුදු වරයන් වහන්සේට අතේ ඇඟිලි ශිල්පය යොදා ගනිමින් ගල් කැටයක් විදි පුරුෂයෙක්
පිඹුරු ප්‍රේතයෙක් – කාශ්‍යප බුදුන් කළ සිටි “සුමංගල” නම් සිටුතුමා, බුදුන් වහන්සේට පිදූ විහාරය ගිනි තබා විනාශ කළ සොරා

මේ ඇතුළු තවත් ප්‍රේතයන් සමූහයක් මුගලන් තෙරුන් දුටුවා. ප්‍රේතයින් පමණක් නෙමේ, මුගලන් තෙරණුවෝ තව්තිසා දෙව්ලොව දේව චාරිකාවේ යෙදෙද්දී බොහෝ දෙවියන්, දිව්‍යාංගනාවන් මුණ ගැසුණා. ඔවුන් ඒ සා සැප සම්පත් ලැබීමට හේතු වූ කරුණු ඔවුන්ගෙන්ම අසා දැනගෙන එම තොරතුරු බුදුන් වහන්සේට පැවසුවා. බුදුන් වහන්සේ ඒ කරුණු මුල් කරගෙන දහම් දෙසුවා. මේ ඒ වගේ කතා කීපයක් ඉතා ලුහුඬින්;

පතිව්‍රතා දෙවඟන – සැවැත්නුවර සිටි, දිවිහිමියෙන් පතිව්‍රතා ධර්මය රැකීම නිසා දෙව්ලොව ඉපිද මහත් සේ බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
පීඨවිමාන දෙව්දුව – පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ කෙනෙකුට සැදැහැයෙන් දන් පිරිනමා අවසානයේ උන්වහන්සේ වැඩ සිටි අසුනද පූජා කොට, දෙව්ලොව ඉපිද සිතේ වේගයෙන් අහසේ ගමන් කළ හැකි විමානයක් වන් අලංකාර පුටුවක් ලැබූ කෙනෙක්
කුඤ්ඤර දෙව්දුව – සැරියුත් මහ තෙරුන් වහන්සේට තමාගේ අතින්ම සකස් කළ දානය පිළිගන්වා උන්වහන්සේ වැඩ හුන් පුටුවද පූජා කොට, දෙව්ලොව ඉපිද සුදු ඇත් වාහනයක් ලද තැනැත්තියක්
නාවුකා දෙව්දුව – පිපාසයෙන් හා කායදාහයෙන් පීඩාවට පත්වී සිටි භික්ෂූන් වහන්සේලා 16 නමකට සැදැහැ සිතින්පැන් පිළිගන්වා, දෙව්ලොව ඉපිද මනහර පොකුණක්ද නැව්විමනක්ද ලැබූ තැනැත්තියක්
දීප විමාන දෙව්දුව – ඝන අඳුරක් පැවති පොහෝ දින ධර්ම ශාලාවක රැය පහන් වන තුරු පහන් දල්වා, දෙව්ලොව ඉපිද සිකුරු තරුව මෙන් බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
තිලදක්ෂිණා දෙව්දුව – බුදුරදුන් හට තල දෝතක් පිරිනමා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලැබූ ගැබ්බර කාන්තාවක්
සුණිසා දෙවඟන – තමාගේ ආහාර කොටස රහතන් වහන්සේ නමකට පිළිගන්වා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලද තැනැත්තියක්
භික්ඛාදායිකා දෙවඟන – බුදු රජාණන් වහන්සේට දන් පිළිගන්වා දෙව්ලොව ඉපිද සුරූපී බබළන ශරීරයක් ලද තැනැත්තියක්
අනේකවර්ණ දිව්‍ය පුත්‍රයා – සුමේධ බුදුන් වහන්සේගේ සසුනේ ශ්‍රාවකයෙක්ව සිට, උන්වහන්සේගේ ධාතුන් නිධන් කොට තැනූ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර, දෙව්ලොව ඉපිද නොයෙක් වර්ණයෙන් බබළන ශරීරයක් ලැබූ අයෙක්
සුවර්ණ දෙව් පුතු – බුදුන් වහන්සේට සියල්ල සපිරි මනරම් විහාරයක් සාදවා පූජා කොට, දෙව්ලොව ඉපිද සත් රුවනින් සැදි විමානයක් සහ රන්වන් ශරීරයක් ලැබූ අයෙක්

උන්වහන්සේ මේ අමනුෂ්‍යයන් සමග සංවාදයේ යෙදුන අවස්ථාද තියෙනව.

දරුවන් පස් දෙනෙකු සහිතව සිටි පංචපුත්තා නම් ප්‍රේතිය දැක මුගලන් තෙරුණුවන් ඇගෙන් විමසන්නේ.

නග්ගා දුබ්බණ්ණරූපාසි – දුග්ගනධා පූති වායසි
මක්ඛිකාහි පරිකිණ්ණා’ච – කා නූ තවං ඉධ තිට්ඨසි

යනුවෙන් ‘නිරුවත්ව විරූපීව, දුගඳ හමමින්, මැස්සන්ගෙන් ගැවසී සිටින ඔබ කවුද?’ යනුවෙනි.
මේ අයුරින් එම තොරතුරු මිනිසුන්ට පැහැදිලි කර සුගතියට ගැනීමට උන්වහන්සේ උත්සාහ කර ඇත.

මේ ආකාරයෙන් දේව චාරිකාවේදී මුණ ගැසුණු දෙව් පුතුන් සහ දිව්‍ය අංගනාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අඹ දෙව් පුතු, උළාරා දෙවඟන, පාරිච්ඡත්තක දෙවඟන, සුනික්ඛිත්ත දිව්‍ය පුත්‍රයා, කුණ්ඩලී දෙව්පුතු, භික්‍ෂාදායක දෙව්පුතු, මඤ්ජෙට්ඨක දෙවඟන, කඤ්ජිකදායිකා දෙවඟන, නාග විමාන දෙව්පුතු, උපස්සයදායක දෙව්පුතු, රජ්ජුමාලා දෙවඟන, කන්ථක දෙව්පුතු, කර්කටකරසාදයක දෙව්පුතු, ගෝපාල දෙව්පුතු වගේ අය….

මේ මහා පුරුෂ රත්නයේ සාංසාරික පැතීම අනුව ධර්ම සේනාපති යන තනතුරදලැබභමට හැකිඋනා.

දැන් එමු මුගලන් මහ රහතන් වහන්සේගේ අවසාන කාලයට.. තීර්ථකයෝ මුගලන් මහ රහතන් වහන්සේ සමඟ ඇති කරගෙන තිබුණු වෛරය නිසා උන්වහන්සේව මරන්න සොරු කණ්ඩායමකට මසු දහසක් දුන්නා.
ඒකට හේතුවක් තිබුනා. සාමාන්‍යයෙන් බුදුවරයෙක් අපායකට වඩින්නෙ නෑ. ඒත් මහ මුගලන් වහන්සේ අපායට වැඩිය. එහෙ තොරතුරු මිනිස්සුන්ට කීව. දෙව් ලොවටත් වැඩිය. එහෙ තොරතුරුත් මිනිස්සුන්ට කීව. මේ දේවල් නිසා බුදු දහම වේගයෙන් මිනිසුන් අතර පැතිර ගියා. අන්‍ය තීර්ථකයන්ගේ ලාභ සත්කාර අඩුවී ගියා. ඔවුන් වෛර බරදගත්තා.
ඒ කාලේ මුගලන් තෙරණුවෝ වැඩ උන්නේ රජගහ නුවර ඉසිගිලි පර්වතය පාමුල කළුගල් ලෙනේ. මේ හොරු කණ්ඩායම දෙවරක්ම කළුගල් තලාව වට කළා. ඒ දෙවාරයේම ඍද්ධි බලයෙන් ශරීරය සියුම් අංශුවලට බෙදල දොරේ යතුරු සිදුරෙන් රිංගා ඉවතට වැඩිය. නමුත් තුන්වෙනි වතාවේ එතනින් ඉවත් වෙන්න උන්වහන්සේට හිත දුන්නේ නෑ. තමන් වහන්සේගේ ආයු ගෙවී ඇති බවත් පෙර කර්ම පළදෙන්න තියෙන බවත් නුවණින් දැක්ක උන්වහන්සේ ඒ අවස්ථාවට පලා නොගොස් මුහුණ දුන්නා. ඉතින් තුන්වෙනි වතාවේ මේ සොරු කට්ටිය උන්වහන්සේට තදබල විදියට පහර දීලා, ඇට කැබලි කුඩුපට්ටම් වන තරමට පහර දීල උන්වහන්සේ මැරුණා කියල හිතලා පැනල ගියා.
තමන්ගේ සෘද්ධි බලයෙන් කුඩුපට්ටම් වී තිබුණු ශරීරය නැවත සකසාගෙන මුගලන් තෙරුන් වහන්සේ අවසන් වතාවට බුදුන් වහන්සේ දකින්න වැඩියා. තමන් වහන්සේගේ ආයු ගෙවී තියෙන නිසා පිරිනිවන් පාන්න අවසර ඉල්ලා හිටියා. එහිදී බුදුන් වහන්සේගේ ඉල්ලීම මත උන්වහන්සේ දන්නා සියලුම ප්‍රාතිහාර්ය දක්වලා, අහසේ ඉඳන්ම ධර්මය දේශනා කළා. ඊට පස්සේ බුදු පාමුල වැඳ වැටිලා, සිරිපතුල් සිඹලා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වෙතින් සමු අරන් කළුගල් ලෙනට වැඩම කරලා නැවත නොනැගිටින අදහසින් දකුණු ඇලයෙන් සයනයේ සැතපුනා. පසුදින අලුයම් කාලයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාලා.

ඒත් එක්කම අහස දෙදරුවා. මහා භූමිකම්පාවක් ඇති උණා. මුහුදු රලේ වේගය වැඩි වුණා. දෙව් බෙර පැලුනා. මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත්තු දෙවිවරු උන්වහන්සේට අවසන් ගෞරව දක්වන්න කළුගල් ලෙනට වැඩියා. මුගලන් තෙරණුවෝ පිරිණිවන් පාද්දී සැරියුත් තෙරුන් පිරිණිවන් පාලා දින 15ක් ගත වෙලයි තිබුණේ.

බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ලවා මුගලන් මහ රහතන් වහන්සේගේ දේහය දෙවිවරු විසින් කරවපු සඳුන් චිතකයක නංවා ආදාහනය කළා. ඉතිරි වුණු ධාතුන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කරලා රාජ්‍ය අනුග්‍රහ ඇතිව ස්ථුපයක් කරවලා ඒකෙ තැන්පත් කළා. එය වන්දනාවට ලක්වෙන වස්තුවක් බවට පත් කළා.

අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් චරපුරුෂයින් විසින් සොරු කණ්ඩායම අල්ලා ගත්තා. මුගලන් තෙරුන් මරා දැමීමේ විපාක වශයෙන් ඔවුන්ටත් දිට්ඨධම්මවේදනීය කර්මය පලදීමෙන් මරණ දඬුවම ලැබුනා.මුගලන් මහ රහතන් වහන්සේට මේ වගේ දුක්ඛිත මරණයක් උදා වුනේ ඇයි කියලත් හොයල බලන්න ඕනනේ නේද? බුදුන් වහන්සේ ඒකට හේතුවත් පසුකාලයේ වදාළා.

පෙර භවයක මුගලන් තෙරණුවෝ බරණැස් නුවර කුලපුත්‍රයෙක් වෙලා තමාගේ මහලු මව්පියන්ට උපස්ථාන කරගෙන හිටියා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ සුදුසු විවාහයක් කරගන්න කියන එකයි. නමුත් මේ කුල පුත්‍රයා හැමවිටම ඒක ප්‍රතික්ෂේප කළා. බැරිම තැන මනාලියක් කැන්දාගෙන ආවා. මුලදී ඇයත් මේ දෙමව්පියන්ට ඇප උපස්ථාන කරගෙන උන්නත් කල් යද්දී යද්දී ඒ සැලකිලි අඩු වුණා. මේ දුෂ්ට කාන්තාව ස්වාමියා රැකියාවට ගියාම නොයෙක් අකටයුතුකම් කරලා ඒවා කලේ මහලු මව්පියන් බව හැඟෙව්වා. එපමණක් නෙවේ, තවදුරටත් තමාට ඒ නිවසේ ඉන්න බැරි බවත් දෙමාපියන් හෝ තමා යන දෙකින් එකක් තෝරාගන්නා ලෙස පුතාට කිව්වා. අගසව් තනතුරකට පෙරුම් පුරන මේ කුලපුත්‍රයා පවිටු ස්ත්‍රියගේ බසට රැවටිලා දෙමාපියන් හොඳින් සරසවලා මහ වනයක් මැදට ගිහින් සොරු පැමිණි බව අඟවලා තමාගේ අතින්ම ලොකු පොල්ලක් අරගෙන ඔවුන් දෙදෙනාට මැරෙන තුරුම පහර දුන්නා. මේ මහා පවට අවීචි මහා නරකයේ ඉපදිලා බොහෝ කල් දුක් වින්දා. රහත් බව ලබා සසර නිමවන අවසන් භවයේදීත් ඉතිරිව තිබූ අකුසලය විපාක දීමක් තමා සිදු වුණේ. (ඔන්‍න‍ බලන්න ආනන්තරීය පාපකර්මයක බලවත්කම)
ඒ මහා මුගලන් වහන්සේ සිදුකල ගිහියකුව සිටියදී සිදුකල වැරදි වලින් අපිදු ජීවිතයට පාඩමක් ඉගෙන ගරැනීමටත් ඒ මහා ගුණකද අපේ ජීවිතයට එක් කර ගැනීමටත් අදිටන් කරගනිමු.

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

සම්බුදු සිරුරට බෙහෙවින් සමාන ලකුණු තිබූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
අනන්ත විශ්වයේ බුදුන්ට පමණක් දෙවැනි වූ ප්‍රඥා පහන සැරියුත් මහරහතන් වහන්සේ ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.