ඓතිහාසික අනුරාධපුරයේ ඇති අනභිබවනීය වූ බෞද්ධ සිද්ධස්ථාන අතර ඉසුරුමුණියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තිසාවැවට නැගෙනහිර දෙසින් සහ රන්මසු උයනට දකුණින් ඉසුරුමුණි විහාරස්ථානය පිහිටා තිබෙයි.

වළාකුල් පොකුරක ස්වරූපයෙන් දිස්වන ගල්පර්වතයක් ආශ්‍රයේ රමණිය දසුනක් මැවීමට සමත් ස්වාභාවික පරිසර පද්ධතිය තවත් විචිත්‍රවත් චිත්‍රයක් පරිද්දෙන් ඔපවත් කරමින් මෙම ඓතිහාසික සිද්ධස්ථානය ගොඩනංවා ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250 – 210) විසින් බව කියැවෙයි.

ඉසුරුමත් පුරුෂයන් පන්සියයක් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදිව විසූ ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා වෙහෙරක් කළ බවත් එය ඉසුරුමුණිය නම් වූ බවත් වංශ කතාවල සඳහන් වෙයි. මෙහි ඇති යුග කීපයකට අයත් පුරා විද්‍යාත්මක සාධක සංචාරකයන්ගේ මෙන්ම වන්දනාකරුවන්ගේ සිත් සතන් වඩාත් මෝහනයට පත් කරවීමට සමත්ව තිබේ. ගල්පර්වතය ඉහැත්තෑවේ ඇති කුඩා ස්තූපය, පර්වත මධ්‍යයේ ගුහා විහාර මන්දිරය, පාද මූලයේ ශෛලතලාවේ කෘතිමව සාදා ඇති දිය පොකුණ, මෙන්ම පසෙක දිස්වෙන ඓතිහාසික බෝ සමිඳුන්, නැග බැස යන ශෛලමය පිය ගැට පෙළ ආදියෙන් ස්වභාව ධර්මයේ නිර්මාණයට තවත් හැඩ තල එකතු කළ මෙම අපූරු ඉදිකිරීමක චමත්කාරය වන්දනීය මෙන්ම වින්දනීය හදවත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වෙයි.

පොකුණට දකුණ පැත්තේ ඇති බෝධීන් වහන්සේ ලාංකේය බිමේ බෝධි වංශ කතාවේ ප්‍රබල ස්ථානයක් නියෝජනය කරයි.

මේ පිළිබඳව 1912 වසරේදී සිතියම් සහිත පුරාවිද්‍යාව නම් ග්‍රන්ථය ලියූ වලිසිංහ හරිශ්චන්ද්‍ර මෙසේ පවසයි. “දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේ පිහිටුවා අටවැනි දිනයෙහි දේවානම්පියතිස්ස මහ රජතුමා විසින් රෝපණය කරන ලද බෝ ඵලයෙන් හටගත් අංකුර අටෙන් සතරවැනි පැළය ඉසුරුමුණි විහාරස්ථානයෙහි පිහිටුවන ලදී. එද දැනුදු පවතී.” අතිපූජනීය වූ ශ්‍රී මහාබෝධින් වහන්සේට පමණක් දෙවැනි වන අෂ්ටඵලරුහ බෝධින් වහන්සේ ගෙන් එක් ඵලයක් රෝපණය කර ඇත්තේ ඉසුරුමුණි විහාරස්ථානයේ බව වංශකතා සියල්ලම පාහේ සනාථ කරයි.

ඓතිහාසික විහාරස්ථානයේ අගය වඩාත් ප්‍රබල වීමට මෙම සන්සිද්ධිය හේතු පාදක වී තිබෙයි.

අෂ්ට ඵල රුහ බෝධින් වහන්සේ රෝපිත වූ ස්ථාන නාමයන් කිහිපයක් තවමත් නිශ්චිත කරනොගෙන ඇති පසුබිමක, ඉසුරුමුණි විහාරයේ බෝධින් වහන්සේ පිළිබඳ පැහැදිලි සාධනීය කරුණු මතුවීම තුළින් ද මෙම සිද්ධස්ථානයේ පූජනීයත්වය වඩාත් ඉස්මතු වී පෙනෙයි.

එසේම මතභේදයට තුඩු දී ඇති පෞරාණික මේඝගිරි විහාරය වර්තමාන ඉසුරුමුණිය විය හැකි බවට ද වියත් අදහස් පළවෙයි.

මහාචාර්ය පරණවිතානයන් එය සනාථ කිරීමට සාධකගෙන හැර දැක්වූ ප්‍රකට පුරාවිද්‍යාඥයෙකි. හේමමාලාවන් සහ දන්ත කුමරු සතුරු උපද්‍රව මැද දන්ත ධාතුන් වහන්සේ සඟවාගෙන රැගෙන ලංකාවට පැමිණ අනුරාධපුරයේ මේඝගිරි විහාරයේ නැවැතී ඇත. එතැන වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ නමක් වෙතින්, එකල ලංකාවේ රජ කළ කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජතුමාට පණිවිඩයක් යවන ලද බව දාඨාවංශයේ පැවැසෙයි. ලාංකේය බිමට උරුමකර දීම සඳහා අති උතුම් පූජනීය වස්තුවක් වූ දළදා වහන්සේ රැගෙන ඒමට තරම් පරිත්‍යාගශීලී වූ මෙම තරුණ රාජකීය යුවළ පිළිගැනීමට සමත්වූ මේ භාග්‍යවත් භූ®මිය දන්තධාතූන් වහන්සේගේ පහස වින්දනයට සමත්වීමෙන් ද එහි පිවිතුරු බව උදාරත්වය මොනතරම් අගනේ දැයි හැඟෙයි.

එහෙත් මේඝගිරිය ඉසුරුමුණියම දැයි නිශ්චිත කර ගැනීමට තවමත් සමත් නොවීම අභාග්‍යයකි.

මහාචාර්ය පරණවිතාණයන්ගේ මතයට එරෙහි වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ පවසන්නේ මෙසේය. “දළදාව මුලින්ම තැන්පත් කළ ස්ථානය පිහිටියේ ඇතුල් නුවරට උතුරේ මේඝගිරි විහාරයේ ය. වර්තමාන ඉසුරුමුණිය පිහිටා ඇත්තේ ඇතුල් නුවරට දකුණෙන් නිසා පරණවිතාන මතය පිළිගත නොහැකිය. පැරැණි ඉසුරුමුණිය මෙම ස්ථානයට මඳක් ඈතින් පිහිටා ඇති දැනට වෙස්සගිරිය නමින් හැඳින්වෙන ස්ථානය බව මහාචාර්ය චන්ද්‍රාවික්‍රම ගමගේ පවසයි.

වර්තමාන ඉසුරුමුණියේ ලෙන් විහාරයට වම්පසින් ගල්පර්වතයේ බහු උන්නතව නෙලා ඇති ‘මිනිසා සහ අශ්ව හිස’ නමැති කලා නිර්මාණය මේ වන විට ලෝක ප්‍රකට වී අත. සාමාන්‍ය රසකාමියකුට මෙම නිර්මාණයේ ඇති ලක්‍ෂණ මතින් අපූර්වතම රසාස්වාදයක් වින්දනය කර ගත හැක. එහි අරුත් විමසීමේදි නම් වියතුන් අතර විවිධ මත ඵල වෙයි. මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ පවසන්නේ ප්‍රතිමා ලක්‍ෂණ අනුව මෙය සෙනවියකු සහ ඔහුගේ වාහනය වූ අශ්වයකු බවයි. මහාචාර්ය පරණවිතානයන් පවසන්නේ මිනිස් රුව වර්ෂාවට අධිපති පර්ජන්‍ය බවත් අශ්වයා අග්නිය බවත්ය. එමෙන්ම මෙම ස්ථානය වර්ෂාව ලබා ගැනීමට පුද පූජා පැවැත්වූ ස්ථානයක් බවත් ඔහුගේ නිගමනය වී තිබෙයි. පරණවිතානයන් මෙම ස්ථානය මේඝගිරිය ලෙස හැඳින්වීමට මෙම තත්වයන්ද පාදක කරගන්නට ඇත.

එමෙන්ම මෙම ස්ථානයේ ඇති පස්වැනි සියවසට අයත් ඉසුරුමුණි පෙම් යුවල විශාල නොවු ගල් පතුරක කළ සාමාන්‍ය ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් එහි කලාත්මක අගය මහා ගල් පර්වතයක විශාලත්වය අභිබවමින් ලෝ ප්‍රකට වී විශිෂ්ට නිර්මාණයක් බවට පත්වී තිබේ.

මහාචාර්ය චන්ද්‍ර වික්‍රමයන්ගේ මතය නම් මෙහි සිටින පේ‍්‍රමවන්තයා, සියලු ශිල්ප ශාස්ත්‍රයන්ට මෙන්ම දර්ශනයන්ට අධිපති මංජු ශ්‍රී නම් බෝධි සත්ව රුව බවයි. දිගැසිය ඔහුගේ බිරිඳයි. ඇතැම් විද්වතුන්ට අනුව මෙම පෙම්යුවල සාලිය සහ අශෝකමාලාය. රූපය බලා ගැඹුරට නොයන්නවුන්ට මේ දෙදෙනා ශ්‍රෘංගාර රසය ජනනය කරනා සුන්දර පෙම්වතුන් යුවළක්ය. එසේම අද ඉසරුමුණි කෞතුකාගාරයේ තැන්පත්ව ඇති රජ පවුලේ ශෛලමය ඵලකයද ප්‍රකට කලා නිර්මාණයකි.

ඉසුරුමුණි පැරැණි ලෙන් විහාරයට පිය ගැට පෙළ මතින් ගමන් කළ හැක. ලෙන ඉදිරියේ ශෛලමය මකර තොරණද පෙර කලාකරුවාගේ කලාත්මක නිමැවුමකි. වලිසිංහ හරිස්චන්ද්‍රයන් පවසන්නේ ශෛලමය බුද්ධ ප්‍රතිමා ගෘහය ලංකාවේ නිමවන ලද මුල්ම ප්‍රතිමා ගෘහය බවය. (සිතියම් සහිත පුරාවිද්‍යාව) පසුකාලීනව විවිධ රජවරුන්ගේ පූර්ණ අනුග්‍රහය මත විවිධ වූ ඉදිකිරීම් මෙන්ම ප්‍රතිසංස්කරණයන්ට බඳුන්වෙමින් පැමිණි ගමන්මගේදි ඉසුරුමුණි විහාරයේ නොයෙක් වෙනස්කම් සිදුවී අත.

මෑතකදී ඉදිවී ඇති විහාර මන්දිරය නිසා ස්වභාව ධර්මයේ විචිත්‍රවත් අනුකූලතාවයට සමගාමීව එදා කලා ශිල්පියා කළ අපූරු නිරමාණයට බාධාවක් ඇතිවී තිබෙන බව හැඟෙයි.

එය කෙසේ වෙතත් අති උත්තම රහතන් වහන්සේගේ පහසින් පූජනීය පිවිතුරු බිමක් මෙන්ම සෙසු බොදු මහා ලකුණු මත සේම විශ්මකර්ම දිව්‍ය පුත්‍ර ඓතිහාසික ගල්වඩු දෑතින් කලාගාරයක් බවට ද පත්වී ඇති ඉසුරුමත් මිනිසුන්ගේ ඉසුරුමුණිය ලාංකීය බිමේ ඉසුරුමත් බව හඬගා පවසන පිවිතුරු වූද සුන්දර වූද අභිමානවත් සිහිවටනයකි.

– බුදුසරණ ඇසුරිනි.

පිහිටි ගලෙහි කැටයම් කරන ලද “මිනිසා සහ අශ්ව හිස” පිළිරුව

11746891803_3efefa3149_b

 ඉසුරුමුණි විහාර භූමියේ පිහිටි කැපීපෙනෙන නිර්මාණය වන්නේ එහි ගල් පර්වත කපා හාරා සකසා තිබෙන මිනිසා හා අශ්ව හිස කැටයමයි. ඉඟේ සිට හිස දක්‌වා අඩි 2 ක්‌ හා අඟල් 7,2/1 ක්‌ උසැති උක්‌ත මිනිස්‌ රුව තේජාන්විතව හා ආත්ම ශක්‌තියෙන් යුතුව ඉදිරිපස නිරීක්‍ෂණය කරන විලාශයක්‌ පෙන්නුම් කෙරෙන අතර මුහුණෙහි කල්පනාකාරී හා වෙහෙසකර ගතියක්‌ ඇත. නහය දිගු වන අතර තොල් සඟල් කුඩාය. මහා රාජ ලීලාසන ලීලාවෙන් හිඳ සිටින මෙහි මනා සංයමයක්‌ සහිත ශරීර ඇඳුම් පැළඳුම්වල දුබලභාවයත් පාද, අත් සිහින්ව හා දිගටි ලෙස වාත්තු කළ ආකාරයට තනා තිබීම යන සාධක පදනම් කරගෙන මහැදුරු පරණවිතානයන්ගේ අදහස වන්නේ කාංචියේ පල්ලවයන්ගේ අනුදැනුම මත ගොඩනංවන ලද මුර්ති සිහිකැඳවන බවයි. දළ වශයෙන් ක්‍රි.ව. 8 සියවස්‌වල නිමවන්නට ඇතැයි සිතිය හැකි මෙහි මිනිස්‌ රූපයෙහි ඇතුළත් චාම් ඇඳුම් පැළඳුම් අතර කර්ණාභරණ, ගෙල පැළඳි මාලය, වළලු, දිගු කෙස්‌ කළඹ, පාසිලම්බුව කැපී පෙනේ. එහෙත් මෙම මූර්තියෙහි අන්තර්ගත වී ඇත්තේ මිථ්‍යා හෝ ඓතිහාසික චරිතයක්‌ද යන්න උගතුන් අතර පවා නිශ්චිත එකඟතාවයක්‌ නැත.

මුලින්ම මෙහි කලාත්මක වටිනාකම පරීක්‍ෂා කළ ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා විශ්වාස කරන්නේ මෙහි කපිල ඍෂිවරයා නිරූපණය වන බවයි. හින්දු මිථ්‍යා කතාවල ඇතුළත් කපිල Rෂිවරයා පාතාල ලෝකයට යැම මෙමගින් ඉදිරිපත් කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. එහෙත් වෝගල්, සෙනරත් පරණවිතාන ඇතුළු උගත්හු මෙම මතය තරයේම ප්‍රතික්‍ෂේප කරති. උක්‌ත මිනිස්‌ රූපය යෝගාසන ක්‍රමයට නොහිඳීම, කුමාරස්‌වාමි මතය බිඳ දැමීම සඳහා පරණවිතානයන් පෙන්වා දෙන ප්‍රධාන තර්කය වේ. පරණවිතානයන්ගේ අදහස වන්නේ මෙහි අග්නි හා පර්ජන්‍ය යන වෛදික දෙවිවරුන් මූර්තිමත් වී තිබෙන බවයි.

එනම් අශ්ව හිසෙන් අග්නිද මිනිස්‌ රූපයෙන් පර්ජන්‍ය හෙවත් වර්ෂාවට අධිපති දෙවිඳුන්ද සංකේතවත් වන බවත් පුරාණ අනුරාධපුරය කෘෂිකාර්මික පුරවරයක්‌ බවත් ගොවියෝ වර්ෂා ජලයෙන් ගොවිතැන් කළ බවත් එහෙත් නියං කාල පරිච්ඡේද වල ගොවීහු වර්ෂාව ලබා දෙන ලෙස දෙවියන්ගෙන් අයෑද සිටි බවත් එබැවින් මෙහි වර්ෂාව ලබා දෙන පර්ජන්‍ය මූර්තිමත් කර තිබෙන බවත් පරණවිතාරණ වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මීට අමතරව ඇතැම් උගත්හු මෙහි සිදුහත් කුමරුන්ගේ අභිනිෂ්ක්‍රමණය හෝ විහාරමහාදේවියගේ දොලදුක සංසිදුවීම පිණිස කාවන්තිස්‌ස නියමය පිට අනුරාධපුරයට ප්‍රයානය කළ වේළුසුමනයන් හෝ අශ්වාරෝහක සොල්දාදුවකු මූර්තිමත් වී තිබෙන බවට මත පල කරති. ආචාර්ය ඊ. එම්. රත්නපාලයන්ගේ මතය වන්නේ අයියනායක දෙවිඳුන් මෙහි වස්‌තු බීජය වී තිබෙන බවයි. අයියනායක දෙවිඳුන් අසකු පිට නැගී සංචාරය කළ බවට පවතින ගැමි පුරාවෘත්ත ඔහු ස්‌වකීය මතය සනාථ කිරීම සඳහා උපයෝගී කර ගනී. (දිවයින ඇසුරිනි)

ක්‍රි.ව. 4 – 6 සියවසට අයත්යයි සැලකෙන
ඉසුරුමුණියේ පෙම්යුවල

18

දැනට ඉසුරුමුණි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙන පෙම් යුවළ කැටයමට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ක්‍රි. ව. 5-6 අතර කාල සමය තුළ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි මෙහි පුරුෂයකු හා ඔහුගේ වම් කලවය මත ලයාන්විත ලෙස හිඳ සිටින තරුණ කාන්තාවක්‌ නිරූපිතය. මහැදුරු ඒ. වී. සුරවීරයන්ට අනුව ඉන්දියාවේ මිථුන අදහසට ළං කළ හැකි එකම නිදසුන වන්නේ මෙයයි. විශේෂයෙන්ම මේ හා සමාන මිථුන රූප ඉන්දියාවේ අජන්තා, කජුහාරෝ, බදාම් වැනි ස්‌ථානවල පිහිටි කෝවිල්වල දක්‌නට ලැබෙන බව කිව යුතුය. කෙසේ වෙතත් මෙමගින් පිළිබිඹු වන්නේ කවරෙකුදැයි යන්න මෙතෙක්‌ උගතුන් අතර නිශ්චිත එකඟතාවක්‌ නැත. එය ශිව හා පාර්වතී විය හැකි බවට සමහරෙකුගේ අදහසයි. සිද්ධාර්ථ කුමරු හා යශෝධරාවන්ගේ ප්‍රේමාන්විත අවස්‌ථාවක්‌ හෝ ධනයට අධිපති කුවේර දෙවිඳුන් ස්‌වකීය ප්‍රියම්බිකාව සමග සිටින ජවනිකාවක්‌ දැක්‌වෙන බව තවත් බුද්ධිමතුන් පිරිසකගේ මතයයි.

හැඩි දැඩි ශරීරය, ඝන තොල් සඟල, අසිපත් මිට වැනි අංග හේතු කොටගෙන මෙම පුරුෂ රූපයෙන් සොල්දාදුවකු නිරූපණය වන බවත්, එබැවින් මෙහි දීර්ඝ කාලයක්‌ යුද්ධ සේවයේ යෙදී සිටි අයකු තම ප්‍රියාව මුණගැසුණු උද්වේගකර අවස්‌ථාවක්‌ කැටයම් වී තිබෙන බව යන්න මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතයයි. එහෙත් මීට වඩා විප්ලවකාරී මතයක්‌ දරන මහැදුරු සෙනරත් පරණවිතානයන් පවසන්නේ සාලිය හා අශෝකමාලාවන්ගේ ඓතිහාසික ප්‍රේම වෘතාන්තය මෙහි දැක්‌වෙන බවයි. ස්‌වකීය මතය සනාථ කිරීම සඳහා දීර්ඝ ලෙස කරුණු දක්‌වන ඔහු පුරාවෘත්තවල සඳහන් වන ආකාරයට පෙම්වතුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවන් මඟුල් උයනක සිදුවීමත්, අශෝක මාලාවන්ගේ උපන් ගම වන හෙල්ලෝලිය ඉසුරුමුණිය ආසන්නයේ පිහිටා තිබීම යන සාධක පදනම් කොට ගනී.

එහෙත් මහැදුරු චන්ද්‍ර වික්‍රමගමගේ, මහැදුරු සෙස්‌ටියර්, දොහානියන් ඇතුළු උගතුන් රැසකගේ අදහස වන්නේ මෙහි මඤ්ජු ශ්‍රී බෝධිසත්වයන්ගේ වේෂයක්‌ වන ස්‌ථිර චක්‍ර හා ඔහුගේ භාර්යාව වන ප්‍රඥ නිරූපිත බවයි. විශේෂයෙන්ම කඩුව හා ඒ වටා තිබෙන රැස්‌ වළල්ල හේතුකොටගෙන ස්‌ථිර ලෙසටම මෙය මඤ්ජු ශ්‍රී බෝධිසත්වයන්ගේ ලෙස හඳුනා ගත හැකි බවත්, එසේම කඩුවෙන් හා රැස්‌ වළල්ලෙන් පිළිවෙළින් ප්‍රඥව, ප්‍රඥ ආලෝකය සංකේතවත් වන බව ඔවුහු පවසති. එහෙත් ඩී. ටී. දේවේන්ද්‍රයන් මෙම මතය තරයේ ප්‍රතික්‍ෂේප කරයි.

මෙම මූර්ති නිර්මාණකරුවන්ට බලපා ඇති විදේශීය කලා ආභාෂයන් පිළිබඳ විමසන විට මහැදුරු පරණවිතානයන් පෙන්වා දෙන්නේ ගුප්ත මූර්තිවල අන්තර්ගත ආවේණික කලා ලක්‍ෂණ ආංගික කඩවසම් බව හා ප්‍රසන්නභාවය විශිෂ්ට ලෙස දක්‌වා තිබෙන බවයි. එහෙත් මේවා ඉන්දුනීසියානු ජාවා මූර්ති හා සැසඳිය හැකි බවත්, ඉන්දුනීසියානු කැටයම්කරුවකුගේ කෘතියක්‌ විය හැකි බවත් මහැදුරු වික්‍රමගමගේ මහතාගේ මතයයි. කෙසේ වෙතත් උක්‌ත මිථුන රූපවල ඇතුළත් කලා ලක්‍ෂණ පරීක්‍ෂා කරන විට විශදවන වැදගත් කරුණක්‌ වන්නේ ඉතාමත් තාත්විකව හා උද්වේගකර ලෙස ස්‌ත්‍රී-පුරුෂ ප්‍රේමය කැටයම් කර තිබීමයි. විශේෂයෙන්ම ඔහු ප්‍රේක්‍ෂක සිත් වසඟ කරවන සුළු ලෙස ස්‌ත්‍රී රූප නිරූපණයේ විශේෂඥයකු බව පෙනේ. ඒ බව මනාව පසක්‌ වන්නේ පෙම් යුවළ කැටයමේ ඇති ස්‌ත්‍රී රූපයේ ස්‌වභාවික ලෙස පුළුල් උකුල, සිහිනිඟ,

පිරුණු කලවා, පරිපූර්ණ පයෝධර වැනි ශාරීරාංගවලිනි. තවද මෙවැනි ආනන්දජනක අවස්‌ථාවක ස්‌ත්‍රිය වෙතින් පිළිබිඹු වන ලැඡ්ජාව මුසු ආදරය කැටයම්කරු ඇයගේ මුහුණින් මනාව ඉදිරිපත් කර ඇත. එසේම ඇයගේ වස්‌ත්‍රය පාදයේ වළලුකර දක්‌වාම දීර්ඝ කිරීමෙන් ස්‌ත්‍රියගේ විනීතකම වගේම කැටයම් ශිල්පියාගේ සංයමයද කියාපාන බව මහැදුරු සුරවීරයන්ගේ අදහසයි. නිර්භීත ලෙස දකුණු පයක්‌ පෙරට තබා සිටින හැඩිදැඩි පුරුෂ රූපයෙන් උදාරතරභාවයක්‌ දිස්‌වන අතර, ප්‍රේමයේදී හෙතෙම ස්‌වකීය සහකාරිය කෙරෙහි දක්‌වන නොවිසිලිවන්තභාවය මුහුණින් හා අනෙකුත් ශරීර ඉරියව්වලින් මැනවින් දක්‌වා ඔප් නංවා ඇත. 

(දිවයින ඇසුරිනි)

 

ඉසුරුමුණියේ රජ පවුල

360359238_5dd86ecd34

ඉසුරුමුණි විහාර කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබෙන කිසියම් වැදගත් ප්‍රභූ පිරිසක්‌ දැක්‌වෙන සමූහ කැටයම් සුවිශේෂී වේ. අතිශය ලෞකිකත්වයට බර මෙහි දුටුගැමුණු රජ පවුල හෝ සිදුහත් කුමරු ප්‍රමුඛ රජ පවුල නිරූපිත බව බොහෝ උගතුන් කල්පනා කරති. නමුත් ඉහත කී මත සියල්ලක්‌ම නිෂ්ප්‍රභා කරන මහැදුරු වික්‍රමගමගේ විශ්වාස කරන්නේ මෙහි දෙව්ලොව වාසය කරන බෝධිසත්වයකුගේ හා ඔහුගේ ප්‍රියම්බිකාව ඇතුළු පිරිවර අන්තර්ගත වන බවයි. ස්‌වකීය මතය තහවුරු කිරීම සඳහා හෙතෙම උක්‌ත ප්‍රධාන පුරුෂ රූපයෙහි ඇතුළත් දිව්‍යමය කිරුළ ඉදිරිපත් කරයි. තවද මෙහි ඉන්දුනීසියානු කලා ලක්‍ෂණ දැක්‌වෙන බවත්, විශේෂයෙන්ම මෙහි ප්‍රධාන පුරුෂ රූපයෙහි පාද තබා සිටින ආකාරය හා සමාන ලෙස බොරෝබුදුර්හි මහායාන බෞද්ධ කැටයම්වලද මූර්තිමත්ව තිබෙන බව වික්‍රමගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ප්‍රධාන වශයෙන් මෙම සමූහ ප්‍රභූ කැටයමෙහි ප්‍රධාන පුරුෂ රූපයට අමතරව ඔහුගේ ප්‍රියම්බිකාව, පුත්‍රයා යෑයි සිතිය හැකි රූප දෙකකුත් චාමර සලන සේවිකාවකගේ රූපයක්‌ හා අතිරේක පුරුෂ රූපයකුත් අන්තර්ගතය. විශේෂයෙන්ම දකුණු අතෙහි කිසියම් හස්‌ත මුද්‍රdවක්‌ සහිත ප්‍රධාන පුරුෂ රූපයකුත් අන්තර්ගතය. විශේෂයෙන්ම දකුණු අතෙහි කිසියම් හස්‌ත මුද්‍රdවක්‌ සහිත ප්‍රධාන පුරුෂ රූපයෙහි වම් අත යාබද කාන්තා රුවෙහි වම් කලවය මත තබා සිටින අතර මුහුණෙහි සොම්නස්‌ භාවයක්‌ ආරෝපිතය. සෑම වැඩිහිටි කැටයමක්‌ම ආභාරණවලින් පරීක්‌ෂේපිතය. විශේෂයෙන්ම මෙහි සෑම කලා නිර්මාණයක්‌ම සියුම් ලෙස නිමවා ඇති බව පෙනේ. මෙම ප්‍රභූ කැටයම ඉපැරණි ගොඩනැඟිල්ලක සවිකර තිබුණු එකක්‌ විය හැකි බව ආචාර්ය ඊ. ඇම්. රත්නපාලයන්ගේ අදහසයි.  (දිවයින ඇසුරිනි)

 

ඇත් රූප සමූහ කැටයම

Isurumuniya_Elephant_Pond

ඉසුරුමුණි විහාරස්‌ථානයට දකුණෙහි පිහිටි ගල් පර්වතය පාමුල තිබෙන පොකුණෙහි දිය මට්‌ටමට ඉහළින් ස්‌වභාවිකත්වය රැකෙන පරිදි නෙළා තිබෙන ඇත් රූප පෙළ පිළිබඳ මීළඟට විමසා බලමු. ගණනින් හතරක්‌ වන මේවා තනා ඇත්තේ පොකුණේ ජල මට්‌ටමට ඉහළින් ජල ක්‍රීඩාවේ යෙදෙන ආකාරයටය. එබැවින් මේවායේ පාද නිර්මාණය කර නැත. මක්‌නිසාද යත් පොකුණේ ජලය පිරුණු අවස්‌ථාවක ඇත්රූප අර්ධ වශයෙන් ජලයෙහි ගිලී පවතින ආකාරයට සජීවී ලෙස ප්‍රේක්‍ෂකයාට පෙන්වා දීමට කලාකරුවාට අවශ්‍ය වූ බැවිනි. තවද මෙහි ජල ක්‍රීඩාවේදී ඇතුන් අනුගමනය කරන විවිධ ඉරියව් මැනවින් ඉදිරිපත් කර තිබෙන බව කිවයුතුය. ඒවා අතර එක්‌ ඇතකු සොඬින් සිය ශරීරයට ජලය ඉසගන්නා ආකාරත්, තවකෙකු, පොකුණෙහි ජලය සොඬින් ගෙන ඈතට විදිමින් සිටින ආකාරයත්, නිරූපිතය. එමෙන්ම එකෙකු තම ශරීරයේ හිස හා කඳ කොටස ජලයෙහි ඔබාගෙන පසුපස කොටස වලිගය සමග ඉහළ ඔසවා සිටින අවස්‌ථාවක්‌ද මෙහි නිරූපිතය. මීට අමතරව මෙම දර්ශනයෙහි සජීවී ගතිය තවදුරටත් ඉස්‌මතු කරලීම සඳහා කැටයම්කරුවා විසින් ඇත් රූප අතරට ජලයෙන් එසවුනු නෙළුම් මල්, නෙළුම් කොළ හා කැකුළු රූප මනහර ලෙස ඇතුළත් කර තිබේ. තවද ඇතුන්ගේ තේජස්‌සම්පන්නභාවය ජවසම්පන්නභාවය මැනවින් දක්‌වා තිබෙන බව පෙනේ. නමුත් පරිපූර්ණ වශයෙන් මෙහි දේශීය කලා ලක්‍ෂණ පෙනෙන්නට නැත. සමකාලීන දක්‍ෂිණ භාරතීය පල්ලව කැටයම් කලා ආභාෂය ලැබී ඇති බව කිව යුතුය. විශේෂයෙන්ම මාමල්ලපුරම්හි විශාල පර්වතයක නෙළා තිබෙන කලක්‌ අර්ජුනගේ තවුස්‌දම යනුවෙන් වරදවා හැඳිනගෙන තිබුණු “ගංගාවතරණය” නම් අද්විතීය කැටයම් නිර්මාණය හා ඉසුරුමුණි ඇත්රූප පෙළ කැටයම් අතර ඇත්තේ මහත් සමානතාවකි.  (දිවයින ඇසුරිනි)

වෙනත් කැටයම්

images (1)

ඉහත කී කැටයම්වලට අමතරව ඉසුරුමුණියෙන් හමුවූ කලාත්මකභාවයෙන් අගතැන්පත් අවශේෂ කැටයම් රාශියකි. ඒවා සැකෙවින් සඳහන් කළොත් ඉසුරුමුණි ලෙන් විහාර දොරටුවේ මකර තොරණ, ප්‍රවේශ දොරටුවේ පහළ පිහිටි මුරගල, සඳකඩ පහණ, තිරස්‌ අතට ඇත්රූප සහිත කොරවක්‌ ගල් කැටයම් මෙන්ම සඳකිඳුරු කැටයම්, විවිධ සෞන්දර්යාත්මක ඉරියව් රැගත් වාමන කැටයම් පුවරු වැදගත් වේ. විශේෂයෙන්ම ඉසුරුමුණි කෞතුකාගාරයේ තැන්පත්කර තිබෙන මිනිස්‌ ශරීරය හා පක්‍ෂියකුගේ පාද සහිත කිඳුරු රූප ත්‍රිත්වය කැපී පෙනේ. බැලූ බැල්මට ඔවුහු කිසියම් නර්තනයක හා සංගීත භාණ්‌ඩ වාදනයක යෙදී සිටින බවයි. මීට අමතරව මටසිළිටි ලෙස කැටයම් කර තිබෙන වාමන රූප පිළිබඳව ද විමසීම සුදුසුය. ඇතැම් විට දෙව්ලොව ගාන්ධර්වයින් ලෙස උපකල්පනය කළ හැකි මෙම වාමන රූප අතර නර්තනයෙහි යෙදෙන වාමන රූප මෙන්ම සංගීත භාණ්‌ඩ වාදනයෙහි යෙදී සිටින වාමන රූපද අන්තර්ගතය. (දිවයින ඇසුරිනි)

සොළොස්මස්ථාන... (Solosmasthana)
අසිරිමත් රන්මසු උයන ( The Glorious Ranmasu Uyana)

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.