ඇසළ පෙරහර මංගල්‍යයේ පෙළ ගැස්ම ... - IFBC Organization | Dhamma

දුරාතීතයේ පටන් ලක්දිව පැවති පෙරහර සංස්කෘතිය මහින්දාගමනයෙන් පසු වඩාත් වර්ධනය වී තහවුරු විය. අනුරපුර කිත්සිරිමෙවන් මහරජු දවස දළදා වහන්සේ වැඩමවීමත් සමඟ ඇසළ පෙරහර මංගල්ලය දළදා පූජෝපහාරය මුල්කොට පැවැත්වීම ඇරඹිණ. මහාවංශයට අනුව කිත්සිරිමෙවන් රජ තෙමේ මහත් බහුමානයෙන් දළදා වහන්සේ පිළිගෙන පළිඟුමිණෙන් කළ කරඬුවක බහා ධම්මචක්කගේහය හෙවත් දෘාධාතුඝරයෙහි තැන්පත් කොට වාර්ෂිකව නව ලක්ෂයක් දන වැය කොට දළදා පෙරහර කළේය.

එපමණක් නොව දන්ත ධාතුන් වහන්සේට මෙබඳු පූජා කරවන්නැයි ව්‍යවස්ථා නියෝගයක් ද පැන වූ බව දාඨාවංශයෙහි විස්තර වේ. එරජු පටන් ලක්දිව සිටි සෑම රජ කෙනෙකුම පාහේ දළදා පූජෝපහාරය පිණිස පෙරහර මංගල්ලයන් පැවැත්වූ අයුරු නානා විධ මූලාශ‍්‍රයන්ගෙන් හෙළිවේ. අනුරපුර යුගයේදී පෙරහර සංවිධානය වූ අයුරු හා පෙළගැසුණු අයුරු චීන ජාතික පාහියංගේ දේශාටන වාර්තාවෙන් අනාවරණය වේ.


එම දේශාටන වාර්තාවට අනුව හස්තියෙකු පිට මනාව සැරසුණු පුරුෂයෙකු නංවා ඇසළ පෙරහරට දින දහයකට පෙරාතුව අණබෙර සමඟ නුවර පුරා පෙරහර හා දළදා ප‍්‍රදර්ශන දින සංනිවේදනය කරවීය. එය ඇසූ නුවර වැසියෝ මඟ සම කොට සරසා පන්සිය පනස් ජාතක කථා සිතුවමට නංවා තොරන් බඳවා තැනින් තැන තැබවූහ. කොඩි සේසත් ගත්තවුන් අලි ඇතුන් නැට්ටුවන් බෙර වාදකයන් පේළි ගැසී එම පෙරහරේ ගමන් කළ අයුරු සිතා ගත හැකිය.

පොළොන්නරු රාජධානියේ පළමුවන පරාක‍්‍රමබාහු මහරජතුමාගේ සමයේ පෙරහර ගමන් ගන්නා මග අතුල් තලයක් සේ සමතලා කරවා නොයෙක් තන්හි සිතියම් දරන තොරන්බඳවා තොරන් යට කුසුම් දම් එල්වා විසිතුරු කොඩි චාමර ආදියෙන් සරසා කෙසෙල් පුවක් පොල් ආදි ගසින් හොබවා පුන් කලසින් සරසා පෙරහර යන මඟ විසිතුරු ලෙස සැරසූහ. වීණා වස් කුලල් මිහිඟු බෙර ආදියෙන් ද නැටුම් හා ගීයෙන් ද ඡත‍්‍ර චාමර ධජ පතාකාදියෙන්ද ඇතුන් අසුන් හා නොයෙක් භේරි නාදයෙන් ද මනෝහර කාහල නාදයෙන් ද ගැඹුරු පටහභේරි නාදයෙන් ද පෙරහර පේළි ගැසී ගමන් කළ අයුරු මහාවංශයේ විස්තර වේ. රජු ද සර්වාභරණයෙන් විභූශිත වී මංගල හස්තියෙකු පිට නැගී පෙරහරේ ගමන් ගත්තේය.

දඹදෙණියේ දෙවෙනි පරාක‍්‍රමබාහු රජු සමයෙහි නගර මාර්ගයන් බෙර ඇසක් සේ සමතලා කරවා සුදු වැලි අතුරා දෙව්පුරයක් සේ නුවර සරසා රන් රිදී විසිතුරු ධජ පතාකාදියෙන් ද පුන්කලසින් ද විසිතුරු කරවා නොයෙක් පූජා වස්තුවෙන් ද නාට්‍යකරුවන්ගේ හා වාදකයන්ගේ ද අලි ඇතුන් හා අසුන්ගේ ද සහභාගීත්වයෙන් පෙරහර පෙළ ගැසී තිබිණ.

කුරුණෑගල රාජධානි සමයේ දළදා සිරිතට අනුව සුබ නැකැත් බලා දළදා මාලිගාව පිරිසිදු කර සත් දවසක් පූජා පවත්වා සුර පුරය මෙන් නගරය සරසා උතුරු මුළු අයතැන් සිටිතැන් හා ගණවැසි කිලිං දෙකුලයෙන් නිස්සන් සමග මනා කොට සරසන ලද රථය ගමන් ගත් බව පෙනේ. ගණ වැසි කිලිං දෙකුලයෙන් සුදුස්සන් දෙදෙනෙකු ඒ රථය සමග ගමන් කළහ. සුබ ලකුණින් යුත් ඇතෙකු රථය ඇදගෙන ගියේය. මහා සංඝයා වහන්සේ පිරිත් දේශනා කරමින් පෙරහරේ පළමුව ගමන් කළහ.

පිරිත් නූල දළදා රථයට සම්බන්ධ කර තිබිණි. දොරනාවැසි කුලයේ සුදුස්සෙකු රිදී කටාරමින් පිරිත් පැන් ගෙන මග දෙපස ඉසින ලදී. ධූර හා විජ්ජතුන් රථය ලගින්ම ගමන් කළහ. අනතුරුව සිව්රග සෙනග සමග ඇමතිවරු ගමන් කළහ. මෙලෙසින් නුවර පැදකුණු කොට කරඬුව වැඩමවා මුද්‍රා කඩා මහා සංඝයාට දක්වා ඉන් පසු රජු උස්ව සිටින තැනකදී අවට සිටියවුනට දළදාව දැක්වීය. කුරුණෑගල යුගයේ පෙරහර පෙළ ගැසීමේ ස්වරූපය බොහෝ දුරට මහනුවර යුගයේ ඇසල පෙරහරට ආදර්ශ වූවා නිසැකය.

මහනුවර යුගයේ මුල් භාගයේ ඇසළ පෙරහර දළදා වහන්සේ මුල් කොට පැවැත්වුනැයි සැලකෙන්නේ පසුකලෙක දෙවියන් උදෙසා කර වූ පෙරහරක්ව පැවතුණු බව අනාවරණය වේ. ශ‍්‍රී දළදා මාලිගාව පෙරටු කොට වර්තමාන පෙළගැස්ම ඇරඹුණේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුු දවසය. ස්‍යාමොපසම්පදාව සඳහා වැඩම කළ සියම් දේශයේ ප‍්‍රවර උපාලි තෙරුන් හා ලක්දිව අසරණ සරණ සරණංකර සඟජ මාහිමියන්ගේ උපදේශනය මත ශ‍්‍රී දළදා මාලිගාව පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි පෙරහර පැවැත්වීම ඇරඹිණ. නගරය දෙව් පුරයක් සේ සරසා ඇතුන් අශ්වයන් බෙරකරුවන් නැට්ටුවන් ද ආයුධ දරන්නන්ද නොයෙක් භාෂාවේ නිපුණන් ද ඒ පෙරහරේ ගමන් ගත්හ.

දිසාවේ ඇතුළු පිරිස් ද පෙරහරේ ගමන් කළහ. රජතුමා ද පෙරහරේ ගමන් ගත්තේය. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා 1753 දී ඇරඹූ පෙරහර අතිශය උත්කර්ෂවත් පෙරහරක් විය.

ජෝන් ඩේවිඩ් දුටු පෙරහරේ පෙළගැස්ම පහත දැක්වෙන අයුරු විනැයි වාර්තා වේ

1. හස්තියා පිට නැගි ගජනායක නිලමේ

2. කොඩිතුවක්කු ලේකම් හා එම කාර්යාංශය

3. කොඩිතුවක්කු අත් තුවක්කු හා කොඩි ගත් සතර කෝරළේ දිසාවේවරු හා වැසියන්

4. හත් කෝරළේ වැසියෝ

5. ඌවේ වැසියෝ

6. මාතලේ වැසියෝ

7. සබරගමුවේ වැසියෝ

8. වලපනේ වැසියෝ

9. උඩපලාතේ වැසියෝ

10. උණලී වලින් තැනවූ යක්ෂ රූප

11. කරඬුව රැගත් මාලිගාවේ ඇතා හා සෙසු ඇතුන්

12. දියවඩන නිලමේ

13. නායක්කාර ලේකම්

14. කොඩි කුඩ ධජ පතාක රැගෙන යන පිරිස

15. පංචතූර්ය වාදකයෝ

16. නැට්ටුවෝ

17. දුන්න ඊතලය රැගත් නාථ දේවාලයේ හස්තියා

18. පරිවාර ජනයා

19. බස්නායක නිලමේ

20. විෂ්ණු දේවාලයේ දුන්න ඊතලය රැගත් හස්තියා

21. පිරිවර ජනයා

22. කතරගම දේවාලයේ හස්තියා

23. පත්තිනි දේවාලයේ හස්තියා

24. මහලේකම් හා බද්දේ ජනයා

25. අතපත්තු ලේකම්

26. රටේ මහත්වරු

27. උඩුනුවර, යටිනුවර, තුම්පනේ, දුම්බර, හේවාහැට

28. වෙඩික්කාර කාර්යාංශය

29. වඩන තුවක්කු කාර්යාංශය

වර්තමාන ඇසළ පෙරහර මංගල්ලයේ පෙළගැස්මේ විශේෂාංග කිහිපයක්

1. ආරක්ෂක රථය

2. කස කරුවන්

3. ගිනිබෝල කරුවන්

4. බෞද්ධ කොඩි

5. දිසා කොඩි (රෙදි)

6. පිත්තල දිසා කොඩි

7. කඩු ගෙනයන්නෝ

8. හස්තියෙකු පිට ගමන් ගන්නා පෙරමුණේ රාළ

9. හේවිසිකරුවෝ

10. ගජනායක නිලමේ

පනාවල ධම්මධජ හිමි
විද්‍යොදය පිරිවෙණ
මාලිගාකන්ද

දළදා මාලිගාව සහ එහි ඓතිහාසික පසුබිම ...
දළදා පෙරහර ජාතික සමගියේ ලකුණකි ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.