(01) අසිරිමත් වෙසක් පෝය වර්ණනාව …

‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදී ය
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක් බර ජීවිතයට සැනසුම උදාකර, ඔවුන් සසර සයුරෙන් එතෙර කිරීමේ මහත් කරුණාවෙන් සැදුණු අප සිදුහත් බෝ සතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධයන් වූ අප සැමට අසම වූ උතුම් දිනයකි. මෙදින වූ අසිරිමත් සිදුවීම් රාශියකි.
මෙයින් සාරා සැකි කප් සුවහසකට පෙර සුමේධ තාපසව සිටිය දී දීපංකර සම්බුදුරදුන් හමුවේ දී බුද්ධත්වයට පත්වීම පිළිබඳව පළමු කොට නියත විවරණ ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකය.
කපිලවස්තු පුරයෙහි පාලක ශාක්‍යය වංශික සුද්ධෝදන රජතුමාණන්ගේ අගබිසව වූ මහාමායා මෙහෙසිය කුසින් ලුම්බිණි සල් වනයේ දී බෝ සතුන් බිහි වීමේ අසිරිමත් සිදු වීම ද වූයේ වෙසක් පුන් පොහෝ දිනකය. ‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදීය.
බුද්ධත්වයට පත්වීමත් සමඟ ඇතිවූ මහත් පී‍්‍රතිය ප්‍රකාශ කරමින් ‘අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං’ යන ආදී වශයෙන් ශ්‍රේෂ්ඨ වදන් ප්‍රකාශ කරන ලද්දේ ද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දිනයේදී ය.
බුද්ධත්වයෙන් හතළිස් පස් වසරක් මුළුල්ලේ සවි සතුනට අමාමහ නිවන් සුව සලසාලමින් වැඩ සිට අවසානයේ කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනෙහි පැවැති යමක සාල වෘක්‍ෂයන් අතර පනවන ලද ආසනයෙහි සැතපී වැඩ සිටිමින් අන්තිම බුද්ධ වචනය වූ ‘අප්පමාදේන සමිපාදේථ’ යනුවෙන් නිවන් සුව ළඟා කර ගැනීම සඳහා අප්‍රමාදිව ක්‍රියා කරන්න’ යයි තම ශ්‍රාවකයනට අවවාද දී අසූවන වියේ දී බුදුරදුන් පිරිනිවන් පා වදාළේත් වෙසක් පුන් පොහෝ දිනයක ය.
සම්බුදුරදුන් දෙවන වර නාගදීපයට වැඩි අවස්ථාවෙහි මණිඅක්ඛිත නාරජුන් කළ ආරාධනයට අනුව පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගෙන බුද්ධත්වයෙන් අටවන වසරෙහි කැලණියට වැඩමවා දහම් දෙසා සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමනළ කඳු මතට වැඩම කොට සිරිපා සටහන පිහිටුවන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයක ය. මෙවර ලංකාවට වැඩමවූ බුදුරදුන් තවත් ස්ථාන දොළහකට ද වැඩමවා ඒවා පූජණීයත්වයෙන් උසස් තත්ත්වයකට පත් කළහ.
සුද්ධෝදන රජතුමාගේ ඇරැයුමෙන් විසි දහසක් පමණ සඟ පිරිස පිරිවරාගෙන රජගහ නුවරින් පිටත්ව පිය රජතුමාණන් පාලනය ගෙන ගිය කිඹුල්වත් පුරය වෙත වැඩමවන ලද්දේත්, එහි දී ශාක්‍යයන්ගේ මානය තුරන් කිරීම පිණිස යමා මහ පෙළහර දක්වන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය.
සම්බුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක ධුරය දැරූ ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරණුවන් එකසිය විසි වසරක් වැඩ සිට පිරිණිවන් පාන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයකය.
බෞද්ධ ආගමික වර්ෂයත්, සිංහල ජාතික වර්ෂයත් දෙකම එක් දිනයක් බවට පත් වීමේ වැදගත් සිදුවීම අප සිත්හි සනිටුහන් කරමින් වංශ කතාව සඳහන් කරන අන්දමට සිංහල ආර්ය වංශික ප්‍රථම පාලකයා වූ විජය රජතුමා සත්සියයක් පිරිස සමඟ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සැපත් වූයේ ද වෙසක් පුන් පොහෝ දිනයක ය.
අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයෙකු වූ දෙවනපෑතිස් රජතුමා ඉන්දියාව පාලනය කළ අශෝක අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි දෙවන වරට ආර්ය අභිෂේකය සිදු කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය. ශ්‍රී ලංකාව විදේශීයන්ගෙන් නිදහස් කොට ගත් දුටුගැමුණු රජතුමා අනතුරුව අනුරාධපුරයෙහි රුවන්වැලි සෑය සෑදවීමට වැඩ ආරම්භ කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය.
ඒ අනුව සියලු සිදුවීම් මෙසේ පෙලගැසේ

1. සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේබුදුවීම, සහ බුදුන් වහන්සේ ගේපරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත්, ඓතිහාසිකත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයක් වීම.

2. දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.

3. කිසාගෝතමී දේවිය විසින් “නිබ්බුතා නූන සා මාතා”යන නිබ්බුත පද පැවසීම.

4.බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.

5. බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම,එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම.

6. විජය කුමරු ලංකාවට පැමිනීම.

7. පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහලජාතිය රක්නා ලෙස පැවරීම.

8. දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම.

9. අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම.

10. ආනන්ද හිමියන් පිරිනිවන් පෑම.

11. මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම.

12. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම.

අතිශයින් ශ්‍රේෂ්ඨ වූ බුදු තෙමඟුල ප්‍රධාන මෙහි දැක් වූ වෙසක් පුන් පොහෝ දිනයන්හි වැදගත් සිදුවීම් සිහියට නගා ගනිමින් සෑම දෙනාම සැදැහැබර ගෞරවයෙන් පිරිපුන්ව සියලු පව් වලින් දුරුව උතුම් වූ ප්‍රතිපදාවන්හි යෙදීමට අධිෂ්ඨාන කර ගනිමු.

එවන් උත්තරීතර පොහොයදිනයක අපිද ජීවිතයේ එක් වරදක් හෝ නිවැරදි කරමින් සම්බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා තබමු.

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

(02) අසිරිමත් පොසොන් පෝය වර්ණනාව …
550 බ්‍රහ්මඉසි ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.