අසිරිමත් රන්මසු උයන ( The Glorious Ranmasu Uyana) - IFBC Organization | Dhamma

වසරේ මාස නවයක් පුරා පවතින් අධික දාහය සමනය කරනු වස් ස්භාවික පරිසරයේ නිර්මිත අපුර චමත්කාරය උපයෝගි කරගෙන පොකුණු මෙන්ම උද්‍යාන ඉදි කිරිමට අතීත ලාංකීක කලා කරුවාට තිබුණේ අපූර්වතම ප්‍රතිභාවකැයි රන්මසු උයන හෙවත් මඟුල් උයන දෙස බලන්නෙකුට නිතැතින්ම ප්‍රත්‍යක්ෂ වනු නිසැකය. වර්තමානය වනවිට එහි සැකිල්ල පමණක් දිස් වුවද එහි අතීත විරාජමානත්වයේ නතබුන් ශේෂව පැවතීම අපට මහඟු දායාදයකී.

මේ ජල ශාස්ත්‍රයටත් එහි අංගයක් වු පොකුණු පැරණි සිංහලයන්ගේ කලා කෞෂල්‍ය මෙන්ම ඒ සා වූ හැකියාවන් මොනවට පිළිඹිබු කරන්නකි. අනුරාධපුර යුගයේ ඉදිවු පොකුණු අතර රන්මසු උයන ප්‍රධාන තැනක් ගනී. එයට හේතුව වන්නේ තාක්ෂණික වශයෙන් මෙම පොකුණේ ඇති විශිෂ්ට භාවයයි.

පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය යන මූලාශ්‍ර ඇසුරෙන් රන්මසු උයන පිලිබද තොරතුරු අනාවරණය කර ගැනිමට හැකියාව ලැබේ. ඒ අනුව පුරා විද්‍යත්මක වශයෙන් ශිලා ලිපි මීට නිදසුන් සපයයි. එනම් iv වන මිහිදු රජු විසින් ස්ථාපනය කරන ලද වෙස්සගිරි ශිලා ලිපියෙන් රන්මසු උයන පිලිබද තතු අනාවරණය වී තිබේ. සාහිත්‍යමය අතින් ගත් කල මහාවංශයෙන් හා සද්ධර්මාලංකාරයෙන්ද මේ තොරතුරු අපට අනාවරනය වී ඇත.

“වෙස්සගිරි ශිලා ලිපියේ විස්තර වන ආකාරයට තිසා වැවේ බැම්මට පහළින් පිහිට ඇති පොකුණු කිපයක් එම පොකුණු වලට ජලය ගෙන යන ගඩොලින් තැනු ඇළ මාර්ග ද අනුරාධපුර රජවරුන් පරිභොජනය කළ උයන මගුල් උයන හෙවත් රන්මසු උයන ලෙසය.”

මෙය අක්කර 40 පමණ ප්‍රදේශයක් පුරා පැතිරි තිබූ උයනකි. රන්මසු උයනේ ව්‍යාප්ති ප්‍රදේශය ගැන අවධානය යොමු කිරිමේදි මෙහි උතුරු දෙසින් මිරිසවැටි විහාරය දක්වාද, දකුණු දෙසින් ඉසුරුමුණි විහාරය දක්වාද, බටහිරින් තිසා වැවේ වැව් තාවුල්ල දක්වාද, විසිරි පැතිරි ඇති බව වංශත්තප්පපාශිණිය (මහාවංශ ටීකාව ) සදහන් කරයි. නැගෙනහිර ප්‍රදේශයේ කිසිදු අරාමයක් නොතිබු නිසා රන්මසු උයනේ ව්‍යාප්තිය වැඩි දුරටත් නැගෙනහිර ප්‍රදේශය කරා පැතිරි ගිය බවට පුරාවිද්‍යාත්මක නටබුන් සනාථ කරයි. රන්මසු උයනේ මුල් තත්වය පාදා මතු කර ගැනිමට අසීරූ වී ඇත. අද සමහර පෙදෙස් ජනී ජනයාගේ පෞද්ගලික ඉඩම් බවට පත් වි ඇත. රන්මසු උයනේ සමහර ගොඩනැගිලි කැණීම් මගින් සනාත කර ගැනීමත අපොහසත් වී ඇත. මෙහි සැලැස්ම නිර්මාණයේ ආරම්භය කවර දවසක සිදු වුවාද යන්න අවිනිශ්චිතය. නමුත් පුරා විද්‍යඥයන්ගේ අදහස වන්නේ මෙම උයනේ ගොඩනැගිලි බොහෝමයක් ක්‍රි.ව 9 -10 සියවස් වලට අයත් වූවක් බවයි. උද්‍යනයේ සැලැස්ම අනුව මෙහි ඉදිකිරීම් කලින් කලට ක්‍රමිකව සිදුවී ඇති ආකාරයක් දැකිය හැකිය. කෙසේ නමුදු මෙම උයන දේවානම්පියතිස්ස රජ්‍ය සමයේ සිට අනුරාධපුර රාජධානියේ අවසානය දක්වා රජ්‍ය හෙබවූ රජුන්ගේ විනෝදකාමි ජිවිතයේ සුඛවිහරණය සදහා භාවිතා වූවක් බව වංශත්තප්පපාශිණියේ සහ පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත.

DSjjjC_0259

 

මෙම උද්‍යානයට මඟුල් උයන ලෙසත්, රන්මසු උයන ලෙසත්, හැදින්වීමට හේතුව පිළිබද විවිධ අරුත් දී ඇත. මඟුල් උයන ලෙස හදුන්වා ඇත්තේ අනුරාධපුර රාජකීයන් තමුන්ගේ සුඛවිහරණය සදහා මෙම උයන භාවිතා කොට තිබීමයි. එසේම රන්මසු උයන නමින් මෙම උයනට අරුත් දී ඇත්තේ රන්වන් වර්ණයෙන් යුත් මත්සයින් මෙම උයනේ පොකුණුවල සැරි සැරු නිසා බවත් විද්වත් මතයයි. මන්ද මෙම පොකුණු වල ස්වර්ණ වර්ණ මත්සයින් විසූ බව ක්‍රි.ව 956 – 972 රජකල 4 වන මිහිදු රජුගේ වෙස්සගිරි සෙල් ලිපියක සදහන් වේ. කෙසේ නමුදු මේ කී උද්‍යානයේ දැනට කටු කොහොල් හැර මතු කරගත් ශෛලමය පොකුණු ද්විත්වය කෙරෙහි පුරාවිද්‍යඥයින්ගේ නීරික්ෂණ ඇස යොමු වීමෙන් පුරාණ කලා කාමීන්ගේ කලාත්මක කුසලතාවය පිළිඹිබු වේ. මෙම පොකුණු හදුනා ගැනීමේ පහසුව සදහා A B යනුවෙන් නම් කර තිබේ. ඉන් පළමුවැන්න A හතරැස්ය. පැත්තක දිග අඩි 21 ක් පමණ වේ. පොකුණේ පැති වටේටම බදාම තට්ටු දෙකකට බෙදි අවට භූමියේන් අඩි 4 1/2 ක් පමණ පහලත බසී. පොකුණේ මේ තට්ටු ක්‍රමය නිසා ඉඩ කඩ ඇහිරි ඇති බවක් දක්නත ලැබේ. දෙපස පියගැට පෙළ වලින් පොකුණට බැසිය හැකිය. වර්තමානය වන විට පියගැට 7ක් දැකිය හැකිය. ඒවා ප්‍රාග්කල්ප යොදා අලංකාර කර තිබේ. පොකුණේ භූමියට පිටතින් ගල් ‍යොදා ඇත. ඒ පිටතින් පැමිණෙන ජලය පොකුණට ඇතුළු වීම වැලැක්වීමටය. පොකුණේ සිට අඩි 70ක් පමණ දික් වූ පොළොව අභ්‍යන්තරයේ නිර්මිත කාණුවක් විය. මේ කාණුව අඩි 3ක් පළලය. පොකුණේ ඇති ජලය කාණුව දිගේ ගොස් ඒ අසල ඇති පොකුණකට එකතු වේ. එම පොකුණු සැබවින්ම අලංකාරය සදහා නිමවෙන්නට ඇතැයි වියතුන් මත ඉදිරිපත් කරයි. එසේම ඒ ලගම ඇති රන්මසු උයනේ විසිතුරු මල්ගොමු වලට ජලය සැපයිමට ජල මාර්ග පද්ධතිය සකස් කර ඇති බව විද්වත් මතයයි.

ඉහත කී පොකුණට බටහිරින් එනම් ඹ් කුඩා පොකුණු සමූහයක් වෙයි. ඒ අසලම ගල් කුටිය නමින් හැදින්වුන ගොඩනැගිල්ලක් විය. පැරණියේ “ධාරාගෘහ” නමින් හදුන්වා ඇත්තේ මේ ගල්කුටිය හා පොකුණයි. පොකුණේ දිග 24 x 4 කි. පළල 12 x 3 කි. පොකුණ පැති තට්ටු තුනකට සාදා ඇත. උඩ තට්ටුවේ පුරුද්දා හිටවන ලද ගල් කණු අටකි. මේ ගල් කණු උසට දක්නට නැතත් එහි මුල් කොටස් දක්නට ලැබේ. මින් අපට පැහැදිලි වන්නේ පොකුණට වහලක් තිබු බවයි.

මඟුල් උයන හෙවත් රන්මසු උයනට ජලය සපයා ඇත්තේ තිසා වැවේ “මොහොල්නග” නම් සොරොව්වෙනි. මෙම ශිලාමය පොකුණු පද්ධතිය කරා තිසා වැවේ සිට ජලය රැගෙන එන්නේ අඩි 2650 තරම් දිග ගඩොලින් නිර්මාණය කල විවෘත කාණු පද්ධතියකිනි. එම සොරොව්වේ සිට දකුණු අතට ගලා යාමට තනා ඇති ජල මාර්ග දිගේ එන ජලය පොකුණට මැදිකොට තැනු “කෙලගෙය” නම් ගෘහයද එතැනින් ඇතුන් දිය නාන කැටයමින් යුත් පොකුණට ද එය පසු කර ඊට දකුණින් පිහිටි විශාල පොකුණට ගලා ගිය අයුරු දිස්වේ. එසේම මේ පොකුණු එකිනෙකට එකක් පොළොව යටිනුත් (උමං මාතිකා) මතුපිටිනුත් සම්බන්ධ කොට ඇත්තේ වර්තමාන තාක්ෂණය පවා අභිබවා යාමට තරම් කලාත්මක නෛපුණ්‍යතාවයක් හෙළ කලාකරුවාට තිබු බව විශද කරවමිනි. මේ පොකුණු පිළිබදව ගවේශණය ක යෙදුණු එච්. සී. බෙල් මහතා පවසනුයේ මෙම පොකුණු වල ජල මාර්ග පද්ධතිය මිනිස් සිරුරේ ස්නායු පද්ධතියට සමානකමක් උසුලන බවයි. මෙවැනි අතිවිශිෂ්ට සියුම් කලවක් නිර්මාණය කරන්නට තරම් අතීත හෙළ විරුවාට තිබු නෛසර්ගික කෞෂල්‍ය මෙමගින් මොනවට ස්පුට නොවේද?

2533446238_99ee12115a

 

එමෙන්ම ශිලා පොකුණු ආසන්නයේ ගල්කුළු දෙකක් යා කොට ගල් පුවරු අතුරා එ මත සකස් කරන ලද ගොඩනැගිල්ලක අවශේෂ අදට ද දැකගත හැකිය. එම ගොඩනැගිල්ල අසල ඇති ස්භාවික පාෂාණ උද්ගත සකස් කොට නිර්මාණය කරණ ලද කුඩා ලෙන් කිහිපයක් ඒ කාණු අසලින් දැකිය හැකි අතර එක් ලෙනක බිත්තියක නෙලා ඇති සියුම් රේඛා සහිත සංඛේත චක්‍ර හෙවත් විශ්වචක්‍රය ලෝකප්‍රසිද්ධ නිර්මාණ අතරට ගැනේ. බොහෝ විචාරක අදහස් වලට අනුව විශ්වය සමග ගනුදෙනු කල ස්ථානයක් වශයෙන් මෙම ලෙන හදුන්වන අතර මෙහි ඉදිරිපිට ගලෙහි නෙලා ඇති ආසන හා චක්‍රයේ ඇති සංරචක හේතුවෙන් චිත්ත ඒකාග්‍රතාවය සදහා භාවනා කිරිමට යොදා ගත් ස්ථානයක් වශයෙන් පුරවිද්‍යාඥයන් හදුනාගෙන ඇත.

මෙම කලා කෘතියේ තවත් විශේෂිත ලක්ෂණ ගණනාවක් තිබු බවට ශේෂව පැවති නෂ්ටාවශේෂ සාක්ෂි සපයයි. මෙම පොකුණට සම්බන්ධ ගර්භයක් පැවති බව ද එය ආයත චතුරස්‍රාකාර බව ද සදහන් වේ. එහි සිට ගර්භයට නැගිමට පියගැට තුනක් දක්නා ලැබේ. මෙම ගර්භයෙහි ස්ථම්භ ඉතාමත් දර්ශනීය අකාරයෙන් නිර්මාණය කර ඇත. පියගැටපෙල මකර රුවක්ද කැටයම් කල ගරාදි අත්වැලකින්ද හෙබිය. එහි දෙපස ඇති මුරගල් දෙකෙහිම පුන්කලස් රුප කැටැයම් කර තිබේ. කුටියේ දකුණු බිත්තියත යාව ගල් ඇදක් වෙයි.

කුඩා පොකුණු සමූහය සම්බන්ධ කිරිමට ආවරණයක් සේ යෙදු ගර්භය මෙහිලා වැදගත් වේ. ගර්භයේ ඉදිරිපස ඉතා අලංකාර ලෙස සකස් කර තිබේ. ඊට ඇතුලු වීමට අඟල් අටක හතරැස් කණු දෙකකින් යුත් ද්වාරයකි. ගර්භය සම්බන්ද කර ඇති පර්වතය මුදුනේ මණ්ඩපයකි. මේ මණ්ඩපය හදුන්වා ඇත්තේ “නාගගෙඩි” යනුවෙනි. ඊට නැගිමට ගල් පඩි පෙළක් විය. මණ්ඩපය දිගින් අඩි 36 කි. පළල අඩි 23 කි. එහි ගඩොල් බිත්ති අඩි හයක් ඝනකමින් යුක්තය. ඒ නිසා මණ්ඩපයේ අතුළත ඉඩකඩ ඇහිරි ගොසිනි. මේ පොකුණ වටා පවුරක් තිබු බවට අනුමාන කෙරේ.ඊට හේතුව ගඩොල පවුරක අත්තිවාරමක් හමුවී තිබිමය. එය වැවට සමාන්තරව විහිදි ගිය බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

රන්මසු උයනේ අසිරිය ගැන අපේ අවධානය යොමු කිරිමේදී කාගේ වුවද චිත්ත්ඃග්‍රහනයට හසු වන්නේ චිරප්‍රසිද්ධ අමරණිය පෙම් පුවත සාලිය අශෝකමාලා ප්‍රේම වෘතාන්තයයි. දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමාරයා චණ්ඩාල කුලයෙහි උපන් රූමතිය වු අශෝකමලාවන් ප්‍රථම වරට නෙත ගැතෙන්නේ මෙම රන්මසු උයනේදීය. මන්ද අශෝකමාලා විසුවේ යැයි ප්‍රකට හෙල්ලොලගම පිහිටියේ දක්ෂිණ විහාරයටත් ඉස්සරසමණ (වෙස්සගිරිය ) විහාරයටත් අතර ප්‍රදේශයකය. ඒ අනුව බලනකල පැරණි රන්මසු උයන එම ගමේ සීමාව දක්වා විහිදි තිබු බව විද්වතුන්ගේ මතයයි. එසේම හෙල්ලොලගම චන්ඩාල කුලයට සීමා වූ ගමක් බව මහාවංශය හුවා දක්වයි. එම නිසාම බොහෝ කලා විශාරදයෝ ඉසුරුමුණි පෙම් යුවළ කැටයම සාලිය අශෝකමාලා බවට තහවුරු කරති. එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙම පෙම්යුවළ කැටයම රන්මසු උයනේ කැණීම් වලදී සොයා ගැනීමයි. කෙසේ නමුත් වර්තමානයේ ඉසුරුමුණි විහාරයේ ඉදිරිපිට ඇති කෞතුකාගාරයේ මෙම කැටයම තැන්පත් කර තිබේ . එම නිසා මෙය ඉසුරුමුණි පෙම්යුවළ නමින් හදුන්වනු ලබයි. නමුත් මෙම කැටයමේ මූල පිහිටිම රන්මසු උයනයි.

මෙම කැටයම අඟල් 27 1/2 පළලැති අර්ධ උන්නතව පැතලි ගලක ඉතා සියුම් හා නිසසල ලෙස නෙලා ඇත. කැටයමේ දැක්වෙන දෙදෙනා පිරිපුන් සිරුරු වලින් යුක්තය. ඔහු ආසනයක් මත වාඩිලා වම්පස හකුලා එම පාදය ආසනය මත තබාගෙන සිටි. දකුණු පාදය සැහැල්ලු ලෙස අසුනෙන් පහතට දම සිතී. ආසනය මත තබා ගත් පාදයේ කලවා මත ස්ත්‍රිය හිදුවා ඔහු වම් අතින් ඇය තුරුළු කරගනියි. ඉතාමත් කලාත්මක ලෙස කාගේ වුවද නෙත් සිත් ආකර්ෂණය වන දසුනක් බව නොරහසකි. එය කලාකාමී විරුවාගේ අගනාම කලා කෘතියකි.
පෙම්යුවළ කැටයම පිළිබදව විද්වතුන් අතර විවිධ මත පවති. සාලිය අශෝකමාලා පෙම් පුවත මෙයින් නිරුපණය වන බව මහාචාර්ය පරණවිතාන මහතාගේ අදහසයි.

තවත් අදහසක් නම් ශිව හා පාර්වති බවයි. සිදුහත් කුමරු හා යශෝදරා දේවිය නිරුපණය වන බව පැවසීම තවත් මතයකි. තරුණ සෙබළෙකු තම පෙම්වතිය හමුවන ආකාරයක් ඉන් නිරුපණය වන බව තවත් මතයකි. මෙවැනි මත ගණනාවක් මේ පෙම් යුවල පිළිබදව ඉදිරිපත් වී ඇත. කෙසේ නමුදු මෙම මඟුල් උයන නොහොත් රන්මසු උයනට හිමි වී ඇත්තේ අද්වීතීය ස්ථානයකී. පෞඩ කලාකෘති රැසකට හිමිකම් කියන අනුරාධපුරයට මෙය ද තවත් මුදුන් මල් කඩකි.

අනුරධපුරයට යන කාගේ වුවද නෙත් සිත් මේ කලා භූෂණයෙන් සමලංකෘත අද්වීතීය නිර්මාණය රන්මසු උයන කෙරෙහි ආශක්ත කරනුයේ සිහල ජාතියේ අභිමානවත් කලා කෙත අස්වැද්දු රුධිර ධාරවේ අභිමානයයි.

( උපුටාගැනීම – http://www.infosrilanka.com/index.php/common/95-heritage/architechture/232-ranmasuuyana)

3_640x480 5_640x480 6_640x480 8_640x480 9_640x480 Gallery_Ranmasu_Uyana_640x443 img_1742_640x480

ඉසුරුමත් වූ ඉසුරුමුණිය (The wealthy Isurumuni temple)
වෙස්සගිරිය ( The Vessagiriya )

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.