(11) අසිරිමත් මැදින් පොහොය වර්ණනාව ... - IFBC Organization | Dhamma


හේමන්ත සෘතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලොකාර්ථචයාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය.

ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයට ද ආරංචි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය.

බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට වැඩමවා ගනු පිණිස සුද්ධෝදන රජතුමා ඇමතියෙකු කැඳවා පුරුෂයන් දහසක් පිරිවර වශයෙන් දී රජගහ නුවරට ගොස් රජහුගේ පණිවුඩය කියා බුදුරදුන් වැඩමවාගෙන එන්නට පිටත් කෙළේය. ඔහු පිරිසක් සමඟ කපිල වස්තු පුරයෙහි සිට සැට යොදුන් මග ගෙවා රජගහ නුවර වේළුවනාරාමයට ගියේ ය.

එවේලෙහි බුදුරජාණන් වහන්සේ සිවුපිරිස මැද දහම් දෙසමින් වැඩ විසූහ. ඇමති තෙමේ රජුගේ පණිවුඩය පසෙකින් තබා බණ අසා පිරිවර සමඟ රහත් ව මහණ විය. රජතුමා ඇමතියා ආපසු නොපැමිණෙන හෙයින් නැවත ද ඇමතියකු ඇතුළු දහසක් පිරිස යැවී ය. මෙසේ සුද්ධෝදන රජතුමා නව වාරයක් ඇමතියන් නව දෙනකු ප්‍රධාන නව දහසක් පිරිස බුදුරදුන් කිඹුල්වත් පුරයට වැඩමවා ගෙන එනු පිණිස යැවී ය. එහෙත් බුදුරදුන් සිය නුවරට ගෙන්වා ගන්නට අසමත් විය. ඒ සියලු දෙනා ම බණ අසා රහත් ව පැවිදි වූහ.

අවසානයෙහි සුද්ධෝදන රජතුමා බෝසතුන් හා එකදා උපන් කාලුදායි නම් ඇමතියා කැඳවා, ‘දරුව‘, මාගේ පුත්‍රයා කැඳවා ගෙන එනු පිණිස ඇමතියන් නව දෙනකු නව දහසක් පිරිස සමඟ බුදුන් වෙත යැවීමි. එහෙත් එවුන් ගැන කිසිදු ආරංචියක් නො මැත. මාගේ ජීවිතය අවසන් වන්නට පෙර, පුත්‍රයා කැඳවාගෙන වුත් දක්වා ලන්නට හැකි දැයි විචාළේ ය. එබසට අමාත්‍ය තෙමේ, ඉදින් පැවිදි වන්නට අවසර දෙතොත් එය ඉටු කරන්නෙමි යි කීයේ ය. රජතුමා එයට අවසර දුන්නේ ය. කාලුදායි ඇමතියා පිරිවර දහසක් පිරිස සමග වේළුවනාරාමයට ගොස් බණ අසා පිරිවර සහිත ව රහත් ව මහණ විය. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා මේ වන විට විසි දහසකටත් අධිකය. ශාක්‍ය ජන පදයෙන් පැමිණි පිරිස දස දහස් දසයෙක් (100010) වූහ. අංග – මගධ දෙ රටින් පැමිණ පැවිදි වූ පිරිස දස දහසෙකි.

කිඹුල්වත් පුරයට වැඩමවීම

කාලුදායි රහතන් වහන්සේ මහණ ව සතියකින් පසුව බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙස ආරාධනා කළහ. සුද්ධෝදන පියරජතුමා තමන් වහන්සේ දක්නට කැමැත්තෙන් සිටින බව ද පැවසූහ. බුද්ධත්වයෙන් දසමසක් සම්පූර්ණ විය. මැදින් පුර පසළොස්වක් පොහොය එළඹියේ ය. පැරණි කොළ වැටුණු වෘක්ෂයෝ අලුත් දලු ලා ගිනිදලු මෙන් බබළති. හැම තුරු ලියක් ම පිපුණු මලින් සැරසී ඇත.

දසත සුවඳ පතුරා ලති. මඟ වෙහෙස නිවනට මඳ පවන් මල් සුවඳ මුසු ව ඒ මේ අත හමායෙයි. බුදුපුදයට සැරසුනාක් මෙන් රජගහ නුවර සිට කිඹුල්වත් නුවර දක්වා මඟ දෙපස මෙබඳු අසිරිමත් සිරියෙන් බැබළෙමින් තිබිණි. කාලුදායි තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වැඩමවීමට සුදුසු කාලය එළඹි ඇති බව දන්වමින් ගමන් වර්ණනාව ගාථා සැටකින් ප්‍රකාශ කළ හ.

පොහොය වර්ණනාව

i අංගාරිනොදානි දුමා හදන්තෙ
එලෙසිනො ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තො ච පහාසයන්ති
සමයො මහාවීර භගීරථානං

ii දුමානි ඵුල්ලානි මනොරමානි
සමන්තතො සබ්බදිසා පවන්ති
පත්තං පහාය ඵල මාසසානං
කාලො ඉතො පක්ක මනායවීර

iii නෙවාති සීතං න පනාති උණ්හං
සුඛා උතු අද්ධනියා භදන්තෙ
පස්සන්තු තං සාකියා කොලියා ච
පච්ඡා මුඛං රොහිණිං තාරයන්තං

iv ආසාය කස්සතෙ ඛෙත්තං
ඛීජං ආසාය වප්පතෙ
ආසාය වාණිජා යන්ති
සමුද්දං ධනහාරකා
යාය ආසාය තිට්ඨාමි
මෙ ආසා සමිජ්ඣතු

v පුනප්පුනං චෙව වපන්ති බීජං
පුනප්පුනං වස්සති දෙවරාජා
පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා
පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං

vi පුනප්පුනං යාචනකා චරින්ති
පුනප්පුනං දානපති දදන්ති
පුනප්පුනං දානපති දදිත්වා
පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානං

vii වීරො භවෙ සත්තයුගං පුනානි
යස්මිං කුලෙ ජායති භූරිපඤ්ඤො
මඤ්ඤාමහං සක්කති දෙවදෙවො
තයාභභිජාතො මුනි සච්චනාමො

viii සුද්ධෝදනො නාම පිතා මහොසිනො
බුද්ධස්ස මාතා පන මායනාමා
යං බොධිසත්තං පරිහරිය කුච්ඡිනා
කායස්ස හෙදා තිදිවම්හි මොදති

ix සා ගොතමී කාලකතා ඉතො චුතා
දිම්බෙහි කාමෙහිසමංගිභූතා
සා මොදතී කාම ගුණෙහි පඤ්චහි
පරිවාරිතා දෙවගණෙහි තෙහි

i භාග්‍යවතුන් වහන්ස! දැන් වෘක්ෂයෝ ගිනි අඟුරු මෙන් රතු පැහැති මල් දලු ඇත්තාහ. පරණ කොළ වැටීමෙන් මලින් සැරසී ගිය වෘක්ෂයෝ දැන් ඵල දැරීමට කැමැති ව සිටිති. වෘක්ෂයෝ ගිනි දැලින් යුක්ත වූවන් සේ බබළත්, මහා වීරයන් වහන්ස, භගීරථ පරම්පරා ගත ශාක්‍යයනට හිත පිණිස වැඩීමට මේ සුදුසු කාලය යි.

ii පිපුණුමල් ඇති වෘක්ෂයෝ සියලු දිශාවනට සුවඳ විහිඳුවත්, ඔවුහු පැරැණි කොළ වැටීමෙන් පසු ඵල අපේක්ෂාවෙන් සිටිත්. වීරයන් වහන්ස, දැන් මෙයින් පිටත්වීමට සුදුසු කාලය යි.

iii ඉතා ශීත හෝ ඉතා උෂ්ණ හෝ නැත. වහන්ස, සෘතුව සුව ගෙන දෙයි.

ගමනට සුදුසු ය. ආපසු හැරී රෝහිණී ගඟින් එතර වන ඔබ වහන්සේ ශාක්‍යකෝලිය රජහු දකිත්වා

iv ගොවි තෙමේ මතු බලා ම කුඹුරු සායි. හාන්නවුන් විසින් ද මතු බලා ම බීජ වපුරනු ලැබේ. ධන රැස් කරන වෙළඳහු මතු බලා සමුද්‍ර තරණය කරති.

මම ද ඔබ වහන්සේ කිඹුල් වතට වැඩම කරවන්නට යම් පැතුමකින් සිටිම් ද, ඒ මාගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේවා.

v ගොවියෝ නැවත නැවත ධාන්‍ය වපුරත්, වැස්ස නැවත නැවත වසී. ගොවීහු නැවත නැවතත් කුඹුරු සාත්, නැවත නැවත හැල් ආදි ධාන්‍ය රටට ලැබේ.

vi යාචකයෝ නැවත නැවත කුලයන් කරා එළඹෙත්. දානපතී හු ද නැවත නැවත දන් දෙත්. එසේ දීමෙන් නැවත නැවත ස්වර්ග යෙහි උපදිති.

vii යම් කුලයෙක මහා ප්‍රාඥ වූ වීර පුරුෂයෙක් වේ නම් හෙතෙම සත් මුතු පරම්පරාව දක්වා පරම්පරාව යුග සතක් මනා ප්‍රතිපත්ති හේතුයෙන් ශුද්ධ කරයි’ දෙලෝ වැඩ දන්නා හෙයින් මුනි යන නාමය සත්‍ය වශයෙන් ලත් දේවාතිදේව වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එයටත් වඩා පව් සමනයෙහිත් අනුන් යහපතෙහි පිහිටුවාලීමෙහිත් සමර්ථයහ යි සිතමි.

viii මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ ගේ පියා සුද්ධෝදන මහ රජතුමාණෝ ය. යම් උත්තමාවක් බෝසතුන් කුසින් දරා සිට, මරණින් මතු දෙව් ලොව දිව්‍ය පුත්‍රයෙක් ව ඉපිද, සැපසම්පත් විඳීද, ඒ මායා දේවිය භාග්‍යවතුන් වහන්සේගේ දයාබර මෑණියෝ ය.

xi මේ මිනිස් ලොවින් කලුරිය කළ ගෞතම ගෝත්‍රයට අයත් ඕ මායාදේවී තොමෝ දෙව්ලොව ඉපිද දේව සමූහයා පිරිවරා පඤ්ඤකාම ගුණයන් ගෙන් සමන්විත ව මහත් සැප සම්පත් විඳී. යනාදී ගාථා සැටකින් බුදුරජාණන් වහන්සේ ගේ කිඹුල්වත්පුර ගමනට ඉතාමත් යෝග්‍ය කාලය එළඹී ඇති බව කාලුදායි හිමියෝ ප්‍රකාශ කළහ. භාග්‍යවතුන් වහන්සේ ද කිඹුල්වත් පුරයට වැඩමවීමට සුදුසු කාලය යි සලකා විසි දහසක් පමණ වූ භික්ෂු සමූහයා පිරිවරා ගෙන රජගහනුවර වේළුවනාරාමයෙන් සවස් වේලෙහි පිටත් වූ සේක.

බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් පසු ජාතග්‍රාමය කරා වැඩම වීමේ ප්‍රථම මංගල ගමන සිදුවූයේ මැදින් පුර පසළොස්වක් පොහෝ දිනයක මේ ආකාරයෙනි. දයාබර පියතුමා ඇතුළු ඥාති සමූහයාට විමුක්ති මාර්ගය හෙළි කර දෙනු පිණිස මහා කරුණාවෙන් රජගහ නුවරින් කිඹුල්වත් නුවර කරා ගමනාරම්භ කළ මේ අසිරිමත් පොහොය දිනය සමස්ත බෞද්ධ ලෝකයාගේ ම හදවත් තුළ සොම්නස් සහගත පින් සිතිවිලි දහරා උපදවන ශ්‍රේෂ්ඨ ආගමික දිනයෙකි.

කිඹුල්වත් පුර දෙසින් හමා එන සිසිල් මඳ පවන් පවා උන්වහන්සේගේ ගතට සිතට සොම්නස් දැන වී මෙහි සමත් බව වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ලෝක ශාන්තිය උදාකරලීමට උපන් බිමින් ලැබුණු අනුපමේය සේවාවට කෘතවේදීත්වය දැක්වීමක් වශයෙනි. එබැවින් උන්වහන්සේ ගෙන් කල් යල් බලා සිදුවූයේ යායුතුª ගමනකි’ කළ යුතු ශ්‍රේෂ්ඨ පන්තියේ යුතුකමකි. සිය පියාණන් හට දැක්විය යුතු ඉහළ ම සැලකිල්ලෙකි. ස්වකීය ඤාති සමූහයාට කළ යුතු උතුම් ම ඤාති සංග්‍රහයකි. මේ මහා සේවාවට මුල පිරූ මැදින් පුන් පොහෝ දිනය බෞද්ධයා ගේ සදා ගෞරවයට පත් විය යුතු ය.

සැටයොදුන් මඟ

බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට දිනකින් සැට යොදුන් මඟ ගෙවා කිඹුල්වත්පුරයට වැඩම කළහ. මේ කාලය තුළ පිය රජතුමාගේ මාළිගයෙන් කාලුදායි රහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය ගෙනවුත් දෙන ලදී. ශාක්‍යයෝ බුදුන් ප්‍රමුඛ විසි දහසක් භික්ෂු සංඝයා හට වැඩ සිටීමට නිග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරාමයක් සාදවා තැබූහ. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුර පසළොස්වක්දා කිඹුල්වත් පුරයට වැඩම කළහ.

ශාක්‍යයෝ බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු පිරිස පිළිගෙන නිග්‍රෝධාරාමයට වැඩමවා ගෙන ගිය හ. මානයෙන් යුත් ශාක්‍ය රජවරු බුදු වුවත් ඔහු අපට බාලයයි කල්පනා කොට බුදුරජාණන් වහන්සේට නො වැඳ බාල – කුමර කුමරියන් ලවා වැන්ද වූහ. ඔවුන් ගේ අදහස් දැනගත් බුදුපියාණන් වහන්සේ මානයදුරු කරනු පිණිස අහසට නැඟ යමාමහ පෙළහර දැක්වූහ.

මෙය දුටු සුද්ධෝදන රජතුමා මේ මාගේ තුන්වන වැඳීම යැයි කියමින් බුදුරජාණන් වහන්සේට වැන්දේ ය. සෙසු ශාක්‍ය රජවරු ඉන්පසු බුදුරජාණන් වහන්සේට නමස්කාර කළහ. එකල්හි මහා වැස්සෙක් විය. එය නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළහ. ශාක්‍යයෝ බුදුන් වැඳ ප්‍රදක්ෂිණා කොට නිවෙස් කරා ගියහ. කිසිවකු හටත් පසුවදා දානයට ආරාධනා කරන්නට නො හැකි විය. බුදුරජාණන් වහන්සේ පසුවදා උදෑසන විසි දහසක් රහතන් වහන්සේ පිරිවරා කිඹුල්වත්පුරයට වැඩ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසුරුණු සේක. මෙය දුටු යසෝදරා දේවිය ඒ බව සුද්ධෝදන රජතුමා හට කීවා ය. එය ඇසූ රජතුමා ලජ්ජාවට පත්ව සළුව හඳිමින් වේගයෙන් රජ මාළිගයෙන් නික්මී ගොස් බුදුන් වැඳ; ස්වාමීනි, පිඬු සිඟීමෙන් කුමක් හෙයින් අපට නින්දා කරන්නේ දැ” යි ඇසී ය. “මහරජ, මේ අපගේ බුද්ධවංශයෙහි සිරිතැ” යි කියමින් පිය රජතුමාට මගදී ම ධර්ම දේශනා කළහ.

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය
ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති
අස්මිං ලොකෙ පරම්භි ච”

උත්ථාන වීර්ය කරන්නේ ය.නො පමා වන්නේ ය. සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේ ය. ධර්මයෙහි හැසිරෙන පුද්ගල තෙමේ මෙලොව පරලොව දෙක්හි ම සුවසේ වාසය කරන්නේ ය. මේ දේශනාවසානයෙහි පියරජතුමා සෝවාන් පළයෙහි පිහිටියේ ය.. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මාලිගයට වැඩමවා දන් පිරිනැමී ය. වළඳා අවසනැ භාග්‍යවතුන් වහන්සේ

ධම්මං චරෙ සුචරිතං
නනං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති
අස්මිං ලොකෙ පරම්භි ච”

යන ගාථාවෙන් ධර්ම දේශනා කළ සේක. එය අසා රජතුමා සකෘදාගාමී විය. මහාප්‍රජාපතී ගෞතමිය සෝවාන් ඵලයෙහි පිහිටියා ය. දන් වළඳා අවසානයෙහි රජ ගෙදර වැසි සියලු ස්ත්‍රීහු අවුත් බුදුන් වැන්දා හ. එහෙත් යශෝදරා දේවිය පමණක් නො පැමිණියා ය. එතුමිය මාගේ යම්කිසි ගුණයෙක් තිබේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩින සේක්වා” යි සිතමින් සිය නිවෙසෙහි ම විසුවාය.

යසෝධරාවගේ ගෞරවය

බුදුරජාණන් වහන්සේ පිය රජුත් සමඟ යශෝධරාවන්ගේ ගෙට වඩින සේක් යශෝධරාවන්ගේ ශෝකය සංසිඳෙන තුරු ඇයට සිත් සේ වඳින්නට ඉඩ දෙන ලෙස වදාළහ. බුදුරජාණන් වහන්සේ යශෝධරාවන්ගේ ගෙට වැඩම කොට පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. එකල්හි රාහුලමාතා තොමෝ පැමිණ බුදුහිමි සිරිපතුල් අල්ලාගෙන වැඳ වැටී හඬන්නට පටන් ගත්තා ය. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාව ඇය කෙරෙහි පතුරුවා නිහඬව වැඩ සිටිය හ. මඳවේලාවකින් පසු ඕ තොමෝ සිහි ලැබ බියෙන් පසකට වී සිටියා ය.

එකල්හි සුද්ධෝදන රජ තෙමේ යශෝධරාවන්ගේ ගුණ කියනුයේ, ‘ස්වාමීනි, මගේ දුව ඔබ වහන්සේ කසාවත් හැඳි බව අසා කසාවත් හැඳ පෙරවූවා ය. නුඹ වහන්සේ එක වේලෙහි වළඳනු අසා ඇය ද එක බතින් යැපුනා ය. ඔබ වහන්සේ උස් අසුන් මහ අසුන් අත්හැරිය බව අසා ඇය ද උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකුණා ය. ඔබ වහන්සේ මල් ගඳ විලවුන් දැරීම අත්හැරි බව අසා ඕ තොමෝ ද එසේ කළා ය. ඔබ වහන්සේ මහණ වූ බව අසා සම කුලයෙහි කුමාරවරුන් සරණ පාවා ගන්නට කළ යෝජනා ඇය ප්‍රතික්ෂේප කළා ය. යනාදීන් සුද්ධෝදන රජතුමා යසෝදරාවන් ගේ විශිෂ්ට ගුණයන් වර්ණනා කළේ ය.

බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කොට සඳ කිඳුරු ජාතකය වදාරා යසෝධරාවන්ගේ අතීත සම්බන්ධත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළහ. දේශනාව අවසන යසෝධරාව පැවිදි වීමට කැමැත්ත දැක් වූ නමුත් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෞතමියට මෙහෙණ සස්න ඇති කිරීමට ඉඩ දිය යුතු හෙයින් ඒ ඉල්ලීම නො පිළිගත් හ. පසුව භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කළහ.

නන්ද කුමරුන් ගේ පැවිද්ද

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩි තුන් වැනි දා නන්ද කුමාරයන් ගේ රාජ්‍යාභිෂේක මංගල්‍යය ද, ගෘහ ප්‍රවේශ මංගල්‍යය ද, විවාහ මංගල්‍යය දැයි මංගලත්‍රයයෙක් විය. මේ උත්සව දිනයෙහි බුදුපියාණන් වහන්සේ නන්ද කුමරුගේ මාළිගයට වැඩම කොට දන් වළදා පාත්‍රය ඔහු අතට දී පෙරටුව වැඩියහ. නන්ද කුමරු දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගන්නා සේකැ, යි සිතමින් බුදුන් කෙරෙහි ගෞරවය නිසාම නිශ්ශබ්දව පසු පස පාත්‍රය රැගෙන ගියේ ය. නන්ද කුමාරයන් හා විවාහ වීමට සිටි ජනපද කල්‍යාණි නම් රාජ කුමාරිය නන්ද කුමාරයා බුදුරදුන් පසු පස යනු දැක ස්වාමි පුත්‍රය, වහා එනු මැනැවැ යි කීවා ය. ඒ වචනය ඇසූ නන්ද කුමාරයාගේ හදවත කම්පා විය.

එහෙත් බුදුරජාණන් වහන්සේට පාත්‍රය ගන්නා සේ කියන්නට නො හැකි හෙයින් එයත් රැගෙන විහාරයට ම ගියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, ‘නන්දය, මහණ වන්නෙහි දැ යි ඇසූහ. කුමාර තෙමේ ජනපද කල්‍යාණිය නිසා එයට නොකැමති නමුත් බුදුන් කෙරේ ගෞරවයෙන්, ‘එසේය ස්වාමීනි, පැවිදි වන්නෙමි. යි කී ය. එකෙනෙහි ම බුදුහු සිය මලණුවන් පැවිදි කරවූහ. ඔහු පසු කලෙක දී සියලු කෙලෙසුන් නසා රහත් විය.

රහල් කුමරුන්ගේ පැවිද්ද

තථාගතයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම වීමෙන් සත්වැනි දිනය එළඹියේ ය. බුදුහු විසිදහසක් මහා සංඝයා පිරිවරාගෙන සුදොවුන් රජු මාළිගයට වැඩම කළහ. යසෝධරා දේවි තොමෝ සත් හැවිරිදි සුරතල් රාහුල කුමරුන් සරසා නරසීහ ගාථා කියා පියා ගැන හඳුන්වා පිය සතු ධනය ඉල්ලා ගන්ට යැයි පවසා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා ය. රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පීතෘප්‍රේමය උපදවා ගෙන පියාණන් වහන්ස, ඔබ වහන්සේ ගේ සෙවණෙහි වාසය මට සැපය, යි කීයේ ය.

භාග්‍යවතුන් වහන්සේ දන් වළඳඅනුමෙවෙනි බණ වදාරා මාළිගයෙන් වැඩි සේක. රහල් කුමරා ද බුදුන් පසු පස ගියේ ය. කිසිවෙක් ඔහු නොනැවැත්වූහ. විහාරයට වැඩම කළ බුදුහු රහල් කුමරුන් පැවිදි කරන සේ සැරියුත් හිමියනට පැවරූසේක. සැරියුත් හිමි රහල් කුමරා පැවිදි කළේ ය. රහල් කුමරුන් ගේ හිස කෙස් බසිවුරු හැන්දවීම මුගලන් හිමියන් විසින් ද, අවවාද දීම මහකසුප් හිමියන් විසින් ද, උපාධ්‍යායවීම සැරියුත් හිමියන් විසින් ද සිදු කරන ලදී.

රහල් කුමරුන් ගේ පැවිද්ද නිසා සුදොවුන් රජුට බලවත් ශෝකයක් හට ගත්තේ ය. එතුමා සොවින් යුතු ව බුදුරදුන් වෙත අවුත් වැඳ එකත් පසෙක්හි හිඳ මෙසේ කීයේ ය. “පුත්ත පෙමං භන්තෙ ජීවං ජින්දති, ජවිං ජෙත්වා චම්මං ජින්දති, චම්මං ජෙත්වා මංසං ජින්දති, මංසං ජෙත්වා නහාරුං ජින්දති, නහාරුං ජෙත්වා අට්ඨිං ජින්දති, අට්ඨං ජෙත්වා අට්ඨිම්ඤ්ජා ආගම්ම තිට්ඨති.” යනුවෙන් ස්වාමීනි , භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස වනාහි සිවියත්, මසත්, නහරත්, ඇටත් විනිවිද ගොස් එයින් නො නැවතී ඇට මිදුලු වල හැපී පවතීයැ යි කීය.

ස්වාමීනි, මවු පියන්ගෙන් අවසර නො ලත් කුලදරුවන් පැවිදි නොකරන්නේ නම් මැනවැ යි කී ය. එතුමාගේ ඉල්ලීම පිළිගත් බුදුහු භික්ෂූන් වහන්සේලාට මහණෙනි, මවු පියන් ගේ අවසරය නොලත් දරුවකු පැවිදි නො කරවූ යි වදාළ සේක. පසු දිනයෙහි තථාගතයන් වහන්සේ රජ මාළිගයට වැඩම කොට දන් වැළඳූ සේක. පසුව සුදොවුන් රජතුමා එකත් පසෙක්හි හිඳ, ස්වාමීනි ඔබ වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයෙහි දේවතාවකු අවුත් තොපගේ පුත්‍රයා මළේ යැ යි කී නමුත් මම එය නො පිළිගතිමි යි කීය. එකල්හි බුදුහු, මහරජ, ඔබ දැන් පමණක් නො වැ පෙරත් එසේ නොපිළිගත්හ යි කියමින් මහා ධර්මපාල ජාතකය වදාළ සේක. රජතුමා එය අසා අනාගාමී ඵලයට පැමිණියේ ය.

මේ සා විශාල සේවාවක් ස්වකීය ඥාති පිරිසට කිරීමට තථාගතයන් වහන්සේට හැකිවූයේ මැදින් පුන් පොහෝ දා සිදු වූ ගමනයි.

එවන් උත්තරීතර පොහොයදිනයක අපිද ජීවිතයේ එක් වරදක් හෝ නිවැරදි කරමින් සම්බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා තබමු.

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

මාපලගම සිරි සෝමිස්සර නා හිමි
පොහොය වර්ණනාව කෘතියෙනි


උපුටා ගැනීම – දිණමිණ පුවත්පතිනි

(12) අසිරිමත් බක් පෝය වර්ණනාව ...
(10) අසිරිමත් නවම් පෝය වර්ණනාව ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.