(02) අසිරිමත් පොසොන් පෝය වර්ණනාව …

ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ දූත පිරිසට ඇතුළත් වූහ.

අන්රටවලට වඩා ශ්‍රී ලංකාවට එවනලද දූත පිරිස සුවිශේෂත්වයක් ගත් බව පැහැදිලිය. මේ දූත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය සුහදතාව දැඩි ලෙස පැවතීම වැදගත් ලක්ෂණයකි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුතණුකෙනෙක් වූ අතර “සුමන” සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාගේ “සංඝමිත්තා” නම් දියණියගේ පුත්‍රයා වූහ. මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වශයෙන් “භණ්ඩුක” උපාසකතුමා සඳහන් වේ.මෙවැනි රාජකීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට සැපැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.

මිහිඳු මා හිමියන් ප්‍රධාන බෞද්ධ ධර්ම දූත පිරිස අනුරාධපුරයේ මිහින්තලා කඳු මුතට වැඩම වන අවස්ථාව වන විට ලංකාවේ පාලකයා වූ දෙවනපෑතිස් රජතුමා පෙර සිරිත අනුව හතළිස් දහසක් පිරිස සමග පොසොන් සැණකෙළිය සඳහා මුව දඩයමේ යෙදෙමින් ඒ මිහින්තලා පර්වතය අසල කල්ගත කළේය. මිහිඳු මා හිමියෝ රජතුමා අමතා “අපි ධර්ම රාජ වූ බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණියෙමු” යනුවෙන් ප්‍රකාශ කළහ.රජතුමාගේ තුටු පඬුරු ගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහ ඇමතියන් මගින් තුණුරුවන් පිළිබඳ පණිවුඩය කලින් එවා තිබූ හෙයින් පැමිණි මේ දූත පිරිස පිළිබඳ සෑහෙන අවබෝධයක් දෙවනපෑතිස්ස රජතුමාට ලැබී තිබුණි. මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වූවාට සැක නැත.

ඇතිවූ සුහද සාකච්ඡාවකින් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්‍ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න මාලාව ඉතා වැදගත්ය. ලංකාවේ පැවැත්වූ ප්‍රථම බුද්ධි පරීක්‍ෂණය වූ මෙයින් ලක් රජතුමා තුළ පැවැති උසස් ඥාන ශක්තිය ගැන පැහැදුනු මිහිඳු මාහිමියෝ “චුල්ලහත්ථි පදෝපම සූත්‍රය” මාතෘකා කොට මෙරටට වැඩම වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදීම ධර්මය දේශනා කළහ.තුණුරුවන් පිළිබඳවත් ශාසනයට අතුළත් වීමත් භික්‍ෂූන්ගේ පැවැත්මත් ධර්මයෙන් ලබාගත හැකි අග්‍ර ඵලයත් යන වැදගත් කරුණු පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි අන්දමට මේ සූත්‍රය තෝරා ගැනීම අතිශයින් වැදගත්ය.මේ ප්‍රථම ධර්ම දේශනාව අවසන්වත්ම මහත් ප්‍රසාදයට පත් රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වූහ.මේ පොහොය වඩාත් වැදගත්වීමට රටේ පාලකයා බෞද්ධයකුවීම හේතුවක් විය.

පොසොන් පෝ දින සිදු වූ තවත් වැදගත් ආගමික සිදු වීමක් වූයේ භණ්ඩුක උපාසකතුමා මිහින්තලේ දී පැවිදි කොට උපසම්පදාවට පත් කරීමයි. බුද්ධ දේශනාව අනුව ඉන්දියාවේ මධ්‍යදේශයෙන් බැහැර කවර ස්ථානයක දී හෝ භික්‍ෂු නමක උපසම්පදා කිරීමට උපසපන් භික්‍ෂූන් පස්නමකගේ සහභාගිත්වය ප්‍රමාණවත් බව සම්බුදු රදුන්ගේ නියමයයි. මේ කරුණ මැනවින් දැන සිටි මිහිඳු මා හිමියන් තම ධර්ම දූත පිරිසට උපසම්පදා භික්‍ෂූන් පස්නමක් සම්බන්ධ කර ගැනීම උනවහන්සේ තුළ පැවති බුද්ධි මහිමය ප්‍රකට කරන සිදුවීමකි. මහින්දාගමනයෙන් අනතුරුව මේ රටේ දී ප්‍රථම පැවිද්දා හා උපසම්පදාව සිදු කළ දිනය වශයෙන් පොසොන් පොහොය වඩාත් වැදගත් බවට පත්විය.

බෞද්ධ ධර්ම දූත පිරිස පොසොන් පුන් පෝදා වැඩමවීමෙන් පොහොයේ වැදගත්කම කලින් දැක්වූ කරුණු කිහිපයෙන් ප්‍රකට වෙයි. එහෙත් දීර්ඝ කාලීනව බලනවිට පොසොන් පොහොයෙහි අගය වෙසක් පොහොය දිනයට පමණක් දෙවන වන ශ්‍රේෂ්ඨ දිනයක් වශයෙන් සැලකිය හැකිය.එදා දෙවනපෑතිස් රජතුමා බුදුදහම වැලඳ ගැනීමේ සිට මේ රටේ බලයට පත්වන සැම පාලකයෙකුම බෞද්ධයෙකු විය යුතුය යන ස්ථීර වූ සමාජ පිළිගැනීම අඛණ්ඩ මතයක් විය. මේ නිසා මෙරට පාලනය බලහත්කාරයෙන් ලබා ගත් එළාර රජතුමාටත් ධාතුසේන රජතුමාට පෙර රට අයත්කොට ගත් පණ්ඩු ආදී ද්‍රවිඩ පාලකයන්ටත් බෞද්ධ සම්ප්‍රදාය අනුව පාලනය කරන්නට සිදු වූයේ එහෙයිනි. එපමණක් නොව රාජ්‍ය ආගමද බුද්ධාගම බවට අනිවාර්යෙන්ම පත්වීමට මේ කරුණූ හේතු වූ බව පෙනේ.

මිහිඳු මා හිමියන් එදා ඉදිරිපත් කළ ධර්මය මේරටේ දී පැවිදි වූ භික්‍ෂූන් වහන්සේ රට තුළ ව්‍යාප්ත කළහ.උන්වහන්සේ රටේ පාලකයාගේ සිට මුළු මහත් ජනතාවගේ ම අනුශාසක වරයාණෝ වූහ.මේ නිසා පංචශීලය මැනවින් ආරක්‍ෂාකරන සමාජයක් ගොඩනැගීමට පහසුවිය.බුදුරදුන් පෙන්වා දුන් ධර්ම නීතියත්,බෞද්ධ රජවරුන් ක්‍රියාත්මක කළ රාජ්‍ය නීතියක් එකට බැඳී ක්‍රියාත්මක කිරීම නිසා සාරධර්මයන්ගෙන් සපිරුණු සමාජයක් බිහි විය. එය මොනතරම් දුරට පාලනය කෙරෙහි බලපෑවේ ද යන්න ශිලාකාල ආමණ්ඩ ගාමණි අභය වැනි රජවරුන් කවර සතෙකු වුවත් මරණයට පත් කිරීම තහනම් කෙරෙන අන්දම “මාඝාත ආඥාව “පැනවීමෙන් වටහා ගත හැකිය.එය තවදුරටත් පසු කාලයේදී ඉදිරියට ගොස් ගවයන් මැරීම මරණීය දණ්ඩනය පැනවීමට තරම් බලගතු වරදක් බවට නීති පණවා තිබුණු බව වේවැල්කැටිය ශිලා ලේඛනයෙන් පැහැදිලි වේ.

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමන ගැන සඳහන් කරන ‘ලංකාවේ බුදුසමයේ ඉතිහාසය’ නම් ග්‍රන්ථයෙහි එක් තැනක මෙසේ සඳහන් වෙයි. ‘මහින්දාගමනය සැලකිය යුත්තේ සිංහල සභ්‍යත්වයේ ප්‍රභවය ලෙසය, උන්වහන්සේ ලංකාවට ගෙන ආවේ හුදෙක් අභිනව ආගමක් පමණක් නොවේ. එවකට මෞර්ය රාජ්‍යයේ උපරිම පෙත්තට නැග තිබූ මුළු ශිෂ්ටාචාරය ද ගෙන ආහ. අධ්‍යාපනය, සාහිත්‍යය , ගෘහ නිර්මාණ, කෘෂිකර්මාන්තය පමණක් නොව සාරධර්මයන්ගෙන් සපිරුණු පැවැත්ම ආදී සෑම අංශයකම ගුණාත්මක අභිවෘද්ධියක් ඇති කිරීමට පොසොන් පෝදාක ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමිපාණන්ට හැකිවූ බව මේ අනුව පැහැදිලිය.

එවන් උත්තරීතර පොහොයදිනයක අපිද ජීවිතයේ එක් වරදක් හෝ නිවැරදි කරමින් සම්බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා තබමු.

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

(03) අසිරිමත් ඇසළ පෝය වර්ණනාව …
(01) අසිරිමත් වෙසක් පෝය වර්ණනාව …

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.