(04) අසිරිමත් නිකිණි පෝය වර්ණනාව …


කුසල් දම් පුරනා භික්‍ෂූන් වහන්සේත් උන්වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කරනා බොදු සැදැහැතියාත් අසිරිමත් පින් ඵල නෙළා ගැනීමේ භාග්‍ය උදාකර ගන්නා වූ සුපින්බර පොහොය වන්නේ නිකිණි පුර පසළොස්වකයි. බුද්ධත්වයෙන් වසරක ඇවෑමෙන් සසුනෙහි වූ විසිතුන් දහසකට අධික භික්‍ෂූන් වහන්සේ මහා වැස්සට තෙමෙමින් දඹදිව්තලයෙහි පැවැති පුරාතන නීති ද නොතකමින් ගම් නියම්ගම් පුරා වස්සාන කාලයේ දී ද පාද චාරිකාවේ යෙදුණහ.

කුසල් දම් පුරනා භික්‍ෂූන් වහන්සේත් උන්වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කරනා බොදු සැදැහැතියාත් මහත් වූ පින් ඵල නෙළා ගැනීමේ භාග්‍ය උදාකර ගන්නා වූ සුපින්බර පොහොය වන්නේ නිකිණි පුර පසළොස්වකයි. බුද්ධත්වයෙන් වසරක ඇවෑමෙන් සසුනෙහි වූ විසිතුන් දහසකට අධික භික්‍ෂූන් වහන්සේ මහා වැස්සට තෙමෙමින් දඹදිව්තලයෙහි පැවැති පුරාතන නීති ද නොතකමින් ගම් නියම්ගම් පුරා වස්සාන කාලයේ දී ද පාද චාරිකාවේ යෙදුණහ.

මෙසේ වැඩම කරනා ආර්යන් වහන්සේලාගේ පා යුගවල මඩ තැවරී මිය යන කුඩා ජීවීනුත් දළු ලා වැඩෙන නිල් තණත් පෑගී විනාශ වෙද්දී කෝපයට පත් වූ මිනිස්සු භික්‍ෂූන් වහන්සේට අවමන් කරමින් දොස් නැගූහ. මෙම තත්වය ගැන දැනුවත් වූ බුදුපියාණන් වහන්සේ දෙවැදෑරුම් වූ පෙර හා පසු වස් එළැඹීම් වදාරා ඒවා පිළිපදින්නැ’යි භික්‍ෂූන් වහන්සේට ඔවදන් දුන් සේක.

මෙසේ දඹදිව්තලයෙහි ඇරැඹු වස් එළැඹීමේ බෞද්ධ චර්යා ධර්මතාවයෙන් ලක්දිව්තලය බැබළ වූයේ බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් දෙසිය තිස් හය වසරක ඇවෑමෙන් ය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අරිට්ඨ රහතන් වහන්සේ ඇතුළු සිංහල රහතන් වහන්සේලා ඇටසැටලෙන්හි වස් එළැඹී ලක්දිව තලය ප්‍රථම වස්සූපගමනයෙන් අසිරිමත් කළහ. මෙසේ පුරාතනයේ සිටම වස් එළැඹීමේ පිළිවෙත නිබඳවම රැක ගන්නා භික්‍ෂූන් වහන්සේ සැදැහැති බෞද්ධයා පිරිනමන දැහැත් ගොටුුත් වැසි සළුත් පිළිගනිමින් පෙර වස් එළැඹෙන්නේ අධි පොහොයක් ඇති මේ වසරේ නිකිණි මහේ පුර පසළොස්වකදා ය.

කඨින චීවරයෙන් පිදුම් ලැබීමට සුදුසු වූ පෙර වස් එළැඹෙන භික්‍ෂූන් වහන්සේ අධි පොහොයක් නොමැති වසරක දී සම්මතයට අනුව පසු වස් එළැඹෙන පොහොය වන්නේ ද නිකිණි පුර පසළොස්වක පොහොය දිනයයි. විශාඛා සිටු දියණියගේ සුවිශේෂී ඉල්ලීමක් වූ වැසි සළුව සිහි ගන්වමින් හතර පස් රියනක සුදෝ සුදු වස්ත්‍රයක් භික්‍ෂූන් වහන්සේට පිළිගන්වා වස් ආරාධනා කිරීමේ මහා භාග්‍ය සැදැහැති බෞද්ධයාට උදා වන්නේ අද ය.හදිසි අවස්ථාවකදී බෞද්ධයාට පිහිටවීමට දුර ගම් දනව් වෙත පිවිසෙන භික්‍ෂූන් වහන්සේ සත්වන රැය උදාවීමට පෙරම වස් විසූ ආරාමයට වැඩම කරමි’ යි අධිෂ්ඨාන කර ගන්නා දිනය මෙවර යෙදී ඇත්තේ ද අද වැනි පොහොය දිනකදීය. වස් විසූ භික්‍ෂූන් වහන්සේ සත්තාහකරණයෙන් වැඩම කළ යුතු බව මහා වග්ග පාලියේ වස්සූපනායිකක්ඛන්ධකයෙහි ද සඳහන් ය. මෙවන් සුවිශේෂී ධර්මතා සාම්ප්‍රදායිකව අදටත් සුරැකෙමින් පවතින්නේ භික්‍ෂූන් වහන්සේ එදා බුදු වදනට නිබඳවම දැක් වූ ගරුත්වය නිසාය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව් මසක ඇවෑමෙන් සුභද්‍රගේ අවිනීත වූ වදන් මත ඇති වූ ගැටලුව මූලික කර ගනිමින් වේහාර පර්වතයේ දී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ ද නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනකදී ය.

සංගායනාවේ දී අපරමිත මෙහෙවරකට ඇප කැප වූ මහා කාශ්‍යප, උපාලි, මහා කච්චායනා, අනුරුද්ධ, පුණ්ණමන්තානිපුත්ත, කොටිටක, වංගිස, කුමාර, කස්සප සමග පන්සියයක් රහතන් වහන්සේලාගෙන් සංගායනාව ඒකාලෝක වූහ.

මහා කාශ්‍යප මා හිමියන්ගේ සාධුකාර මධ්‍යයේ සෘර්ධි බලය පාමින් සංගායනාවට වැඩම කළ ආනන්ද තෙරුන් වහන්සේ එදින අලුයම් කාලයේ දී සිව් ඉරියව්වෙන් තොරව රහත් ඵලය ලැබුවේ ද නිකිණි මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

බෞද්ධයාගේ අසම සම සදා පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් වැඩ සිටින මහනුවර සිරි දළදා මැඳුර මුලික කර ගනිමින් බොදු උරුමයන් ලොවට පෙන්වා දුන් අසිරිමත් දළදා පෙරහර අවසන් වන්නේ ද මෙම පුර පසළොස්වක පොහොය දිනයේදී ය.

විවිධ ජාතීන්ගේ එකමුතුවෙන් එක් දෙවියකු ඇදහීමට විචිත්‍ර අංගයන්ගෙන් සපිරුණු රුහුණු කතරගම මහ දෙවොලේ දේව පෙරහර අවසන් වන්නේ ද අද වැනි පොහෝ දිනකදී ය.

මහා වංශ කතාවට අනුව වෝහාරක තිස්ස, දුටුගැමුණු රජවරුන් අරියවංශ දේශනාවට රාජානුග්‍රහය ලබා දෙන උළෙල පැවැත්වූයේ ද නිකිණි මහේ පුර පසළොස්වක පොහෝ දිනකදීය.

බෞද්ධයාගේ සිත පුබුදු කර වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වසර එකසිය පනහකට පෙර වල් අලින්ගෙන් රැක ගැනීමට දිවි හිමියෙන් සටන් කළ රජරට වැසියන් ගිනි මැල ගසා ගැනීමට අවශ්‍ය දරමිටි පෙරහරකින් රැගෙන ගියේ ද නිකිණිපුර පසළොස්වක පොහොය දිනකදී ය. මේ නිසා ‘දරමිටි පොහොය’ නමින් හඳුන්වන පොහොය වන්නේ ද නිකිණි මගේ පුර පසළොස්වකයි.

මෙවන් සුවිශේෂී සිදුවීම් රැසකින් බැබළ වූ නිකිණි මහේ පුර පසළොස්වක පොහොය බෞද්ධයාට මහත්ඵල මහානිසංස සහිත පින්ඵල නෙළා දෙන භාග්‍ය උදාර කරවන පින්බර පොහොය දිනයයි.

(05) අසිරිමත් බිනර පොහොය වර්ණනාව ...
(03) අසිරිමත් ඇසළ පෝය වර්ණනාව …

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.